ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

උඩරට රජුන්ගේ රාජසභාව

අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය.
ශ්‍රී දළදා මලිගාවටත් රජ මාලිගා පරිශ‍්‍රයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්‍රී ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගී‍්‍රසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ.
එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්‍ෂිත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලට ”මහ නඩුව” යන නමින්ද එදා ව්‍යවහරට එක්වී ඇත.
එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය.
උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්‍ර මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි.
ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන ආ බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම ප‍්‍රදේශයෙන්ම ගෙන ආ බව සඳහන් වේ.
මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගි‍්‍රසි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි.
එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත.
ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගී‍්‍රසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි.
එක්දහස් අටසිය තුනේ දී සිදු වූ ඉංගී‍්‍රසි උඩරට ආක‍්‍රමණයේ දී බොහෝ රාජකීය ගොඩනැගිලි ගිනි තබා විනාශ කළ බව 1803 පෙබරවාරි මස 24 වැනි දින ඉංගි‍්‍රසීන් විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.
එම හේතුව නිසාම 1815 දී ඉංගී‍්‍රසීන් උඩරට පාලනයද සියතට ගැනීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ ගොඩනැගීමේ කටයුතු නිමාකරන්නට ඇත.
එහෙත් 1875 වේල්ස් හි කුමරුව සිටි හත්වැනි එඩව්ඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එහි ප‍්‍රධාන සම්භාෂණය පැවති මෙම ගොඩනැගිල්ල එහිමුල් ස්වරූපයට හානි නොවන අයුරින් වෙනස් කොට ඇත.
මෙම ගොඩනැගිල්ලේ මුලින් පැවති දිග වූ අඩි 58 අඟල් 8ක ප‍්‍රමාණය තවදුරටත් දීර්ඝ කරමින් තවත් අඩි 31 අඟල් 6කින් දික් කර ඇති අතර එහි පළල අඩි 35 අඟල් 6ක ප‍්‍රමාණ වෙනස් නොකර ඒ අයුරින්ම තබා ඇත්තේ එහි පළල වැඩි කළහොත් ගොඩනැගිල්ල, දෙපැත්තේ ඇති දැවැන්ත ලී කණු නිසා පළල් කරන ලද ස්ථානයේ සිටින පුද්ගලයන්ට කිසිසේත්ම ප‍්‍රධාන මණ්ඩපය දැකිය නොහැකි නිසා විය හැකිය.
එවකට රජ මාලිගා පරිශ‍්‍රයට ඇතුළුවීම සඳහා ප‍්‍රධාන දොරටු තුනක් තිබී ඇති අතර දැනට දළදා මාලිගාවට ඇතුළුවීමේ දී එය පසුකරන දිය අගල අසලින් හකුලන පාලමක් තිබූ බව සඳහන් වේ.
දැනට එම හකුලන පාලම දක්නට නොමැති වුවත් 1821 දී මහනුවර ස්වරූපය සියැසින් දුටු ජෝන් ඬේවී නමැත්තා මෙසේ සටහන් කර ඇත.
අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි පාලමකින් ඇතුළු වී සුවිශාල ආරුක්කුවක්  යටින් වැටුණු පාරකින් ගමන්කොට පඩිපෙළක් නැග තවත් කුඩා ආරක්කුවක් යටින් ගියවිට මඟුල් මඩුවට ළඟාවිය හැකි බව එහි සඳහන් වේ.
වර්තමානයේ දළදා මාළිගෙයි පත්තිරුප්පුව අසල ඇති වාහල්කඩින් ඇතුළු වී වමට හැරී පඩිපෙළ නැග ගියවිට කුඩා ආරක්කුවක් හමුවේ එහි පඩිපෙළ නැග ගියවිට මඟුල් මඩුව හමුවෙයි.
ජෝන් ඬේවී සඳහන් කර ඇත්තේ එම පඩිපෙළ හා ආරුක්කුව විය හැකි බවය.
වර්ෂ 1815 මාර්තු මස 2 වැනි දින උඩරට ගිිවිසුම අත්සන් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ දීය. එම අවස්ථාව සියැසින් දුටු කපිතාන් ඇල් ද  බූෂ් ගේ දින පොතට අනුව මෙසේ සඳහන් වේ.
එදින පස්වරු 4.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක්ද සමගින් ඇහැලේපොල පළමු වැනි අධිකාරම් දෙවැනි අධිකාරම්වරු ඇතුලූ සියළු දිසාපතිවරුන් සමග මඟුල් මඩුවට පැමිණියහ.
මෙහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ගිවිසුම තීන්දුකොට සියලූ පාර්ශවයන් විසින් ගිවිසුම් පති‍්‍රකාව අත්සන් කරන ලදී.
මේ අවස්ථාවේ දී මහමළුව ඉදිරිපිට පෙළ ගස්වා තිබූ කාලතුවක්කු වලින් රාජකීය ආචාර වෙඩිමුර පවත්වන්නට යෙදුණි.
එහෙත් එදා විරාජමානව උඩරට ගිවිසුම අත්සන් කිරීමට මඟුල් මඩුවට පැමිණි මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේ 1818 උඩරට කැරැුල්ලේ ප‍්‍රධාන චූදිතයන් වී ඔවුන් ඇතුළු උඩරට නායකයන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ ද, මෙම ගොඩනැගිල්ලේ දීය. උඩරට ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊට විරුද්ධවන උඩරට ප‍්‍රභූවරුන් ඝාතනය කරමින් එම ගිවිසුමේ ඇති ප‍්‍රධාන කොන්දේසියක් වූ බෞද්ධාගම ආරක්‍ෂා කරන බවට වූ කොන්දේසිය ද කඩ කරමින් ඉංගී‍්‍රසින් නොමිනිසුන් ලෙස හැසිරෙමින් ඓතිහාසික මඟුල් මණ්ඩපයේ කතෝලික පල්ලියක්ද ඉදි කළේය.
මෙමගින් උඩරට ජනතාව ඉංගී‍්‍රසීන් කෙරෙහි දැඩි කෝපයටත් කලකිරීමටත් පත්වූවත් ඉංගී‍්‍රසීන්ගෙන් ලාභ ප‍්‍රයෝජන ලැබූ එක්තරා ප‍්‍රභූ පැලැන්ති කිහිපයක් පමණක් ඉන් ප‍්‍රතිලාභ ලැබීය.
ඉංගී‍්‍රසීන්ට එරෙහිව නිදහස් සටන දියත් කිරීමේ දී සාංග‍්‍රාමික වශයෙන් උඩරට ප‍්‍රභූ පවුල් කිහිපයක් එකතු වුවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සබරගමුව ඌව හා මාතලේ ජනතාවයි. ඔවුන් බහුතරය ඉංගී‍්‍රසීන්ගේ නොමනා කි‍්‍රයා කලාපයට එරෙහිව සටන් වැදුණි.
කෙසේ නමුත් ඉංග‍්‍රීසීන් මෙම ගොඩනැගිල්ලේ ඔවුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සඳහා යොදාගෙන තිබී ඇත්තේ උඩරට රජවරුන් තානාපතිවරුන් හා වෙනත් විශේෂ අමුත්තන් හමුවීම සඳහා යොදා ගත් කොටසේයි.
මෙම කි‍්‍රයාවට උඩරැටියන්ගේ දැඩි විරෝධය එල්ලවීම නිසා ඉංගී‍්‍රසීන් දළදා මාළිගාවට මදක් ඈතින් පල්ලියක් ඉදිකිරීමට පියවර ගත්තේය. අද සාන්ත පාවුලූ දේවස්ථානය නමින් පත්තිනි දේවාලයත් නාථ දේවාලයත් අතර බිම් කඩක ඇති දේවස්ථානය එයයි.
අනතුරුව මඟුල් මඩුව නැවතත් අධිකරණ ශාලාවක් විය.
ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් ඇති ස්ථානයක් දැකිය හැකිය. එම ස්ථානය රජතුමාගේ සිංහාසනය තිබූ ස්ථානය වශයෙන් හැඳින්වෙන අතර, එහි සිට උඩරට රජවරුන් අධිකරණ කටයුතු රාජසභා පැවැත්වීම් ඇතුළු රටේ පරිපාලන කටයුතු කරගෙන ගොස් ඇත.
එදා අපගේ රජවරුන් පසුකලෙක ඉංගි‍්‍රසි පාලකයන් ශ්‍රී ලාංකික විනිසුරුවරුන් මුලූ මහත් දේශයටම වැදගත් වූ තීන්දු තීරණ ගත් මඟුල් මඩුව ඒ සියලූ මතකයන් විඳ දරාගෙන අදටත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස විරාජමානව නැගී සිටී.
2011 ඔක්තෝබර් මස 09  | ලංකාදීප කර්තෘ මණ්ඩලය





විල්පත්තුවේ කුවේණි මාලිගය

ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.
තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.
අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.
”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.
ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි.    ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.
ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.
”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ.  ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.
ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.
මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.
නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.
එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.
කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,
”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන්  අමතයි.
කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?
2011 ඔක්තෝබර් මස 02  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 අලංකාර පර්වත මුදුනක්
 පුරාණයේ මග්ගන වරාය ලෙස හැඳින් වූ මෝදර ගං ආරු ප‍්‍රදේශයේ දී
 ඔච්චප්පු කල්ලූ හි ලෙන් පරීක්‍ෂාව