ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

අවුරුදු තිස්‌ හත් දහසකට පසු යළි පැමිණි පාහියන්ගල මුත්තා

සිහින් සිරිපොද රූරා වැටෙමින් ඇත. එ සිරිපොද අප අභියස වන විසල් ගිරිහිස පාමුල විහිදෙන මහා වනස්‌පතීන් ගේ පතල අතුපතරින් බේරී විත් විටෙක දෙකොපුල් මත ඇදහැලේ. ජීවයෙන් පිරී ගිය නැවුම් බවකින් හාත්පස පිරීගොස්‌ය. තෙතබරිතවූ නොසියුම් සෙල්මුවා පඩිමත සීරුවට අඩි තබමින් ගමන් කරමින් සිටියෙමු. 

මේ රළු සෙල්මුවා හිනිමග අවසන් වන්නේ මහා ලෙන් භූමියකිනි. එම ලෙන් බිම මානව ඉතිහාසයේ අප්‍රමාණ වස්‌තු විෂයයන් සඟවා ගනු ලැබූ අතීත මානව සංස්‌කෘතියේ කෝෂ්ඨාගාරයක්‌ වූයේය. කුමණ හෝ හේතුවක්‌ නිසා මේ ලෙන පාහියන් ලෙන ලෙස ජනවහරට පැමිණ තිබිණි. ඓතිහාසික යුගයේ ස්‌වර්ණමය අවධියකදී චීන ජාතික ෆාහියන් හිමියෝ මෙරටට වැඩම කළහ. එ වකවානුව ක්‍රිස්‌තු වර්ෂ 4 වන සියවස තෙක්‌ ඈතට දිවෙයි. එකල්හි එතුමෝ මේ ලෙනට වැඩියා හෝදෝයි නොදනිමු. ජන වහර ප්‍රකාරව උන්වහන්සේ මේ ලෙන් භූමියට වැඩියේ නම් එ වඩින්නටත් අවුරුදු තිස්‌ හයදාහකට එපිට සිට මේ ලෙනේ මිනිස්‌සු ජීවත් වූහ. 

ගණනය කරගැනීමටත් නොහැකි තරම් ඈතින් වූ එ අතීතයේ ජීවත්වූ මිනිස්‌සු තවමත් මේ ලෙන් භූමියේ පත්ලෙහි සාමදානව අවසන් නින්ද නිදමින් සිටිති. එ අතීත මිනිසෙකුගේ අවසන් නින්දේ සමාදානය පසුගිය දිනෙක බිඳී ගොස්‌ තිබිණි. ඒ සිදුවීම වන්නේ ඔහු මියගොස්‌ අඩුම තරමින් අවුරුදු තිස්‌ දහසකට පසුවය. එය විමසිය යුතු අසිරියක්‌ විනි. අවුරුදු තිස්‌ දහසක ඈත අතීතයෙන් හමුවන එ මිනිසා අප ඉදිරියෙන් වන ලෙන්බිමේ එදා අවසන් නින්ද සැතපුන අයුරින්ම මතුව උන්නේය. මුළු ශරීර ස්‌වභාවයේම හැඩ රුව ප්‍රකට කරමින් මතුව උන්නේය. මීට පෙර අවසන් නින්ද සැතපුනාවූ අතීත මිනිසකුගේ පූර්ණ ඇටසැකිලි අපට හමුවන්නේ පොතාන ගුහාවෙන්. බෙල්ලන් බැ`දි පැලැස්‌සෙන් අලිගලින් හා හුංගම පල්ලෙමලලිනි. හුංගම පල්ලෙමලල මිනිඇතිලිය ප්‍රදේශයේදී හමුවූ සම්පූර්ණ ඇටසැකිල්ල අයත් මිනිසාට මිනිස්‌සු මැණික්‌ හාමි හෙවත් හුංගම මුත්තා යෑයි කීහ. හුංගම මුත්තාත් මීට ඉහතදී හමුවන පූර්ණ ඇට සැකිලි වලට උරුමකම් කී මිනිස්‌සුත් ජීවත් වන්නේ මීට අවුරුදු පන්දහසකට පමණ ඉහතදීය. දැන් මේ ෆාහියන් ලෙනේ අවුරුදු තිස්‌ දහසට ආසන්න පස්‌ තට්‌ටු වලින් හමුවන මුත්තා හුංගම මුත්තලාගේත් මී මුත්තෙකි. 

සෙල්මුවා පියගැට පෙළ අවසන විසල් පියස්‌සක්‌ සහිත දැවැන්ත ලෙන් බිම පැතිරී යයි. ලෙන් මුව ඈත නිම්න භූමිය වෙත විවරව ඇත. සබරගමු නිම්නයේ මනරම් දැකුම් සහිතව මේ ලෙන් බිමේ සුරක්‌ෂිත වූ අතීත මානවයින් ගැන විසිතුරුව සිත පුරවාලනු සේය. නිම්න භූමිය දෙස බලා ගෙන ලෙනෙහි සිටගත් විට මුවවිට ආසන්නයේ වම්පස කෙළවර කැණීම් වළකින් පාහියන්ගල මී මුත්තා මතුව සිටියේය. උන්දෑගේ දෙපා කතිරයක ආකාරයට පිහිටා තිබුණේය. කොන්ද වකුටුවූ ස්‌වරූපයක්‌ ගත්තේය. හිස දැවැන්ත ගල් කුට්‌ටි දෙකකින් යටවූ ආකාරයක්‌ පෙනුණි. මුත්තාගේ ඇටකටු ඉතා සීරුවට පස්‌ අංශු අතරින් බේරා ගෙන මේ කැණීම කරගෙන යමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගියත් නැවත මේ කටයුත්ත ස`දහාම කැ`දවා තිබූ කැණීම් විශේෂඥයෙක්‌ සේ සැලකෙන එල්.වී.ඒ. ද මැල්ය. සත්ත්ව පුරාවිද්‍යාව පිළිබ`ද ප්‍රවීණයෙක්‌ වූ ජූඩ් පෙරේරාත්, කැණීම් නිලධාරී සුසන්තත් ක්‌ෂේත්‍රයේ ජීවත්වෙමින් මෙම සූක්‌ෂම කැණීම ස`දහා කැපවී සිටියහ. 

ඇට සැකිල්ල හමුවූ හැටි
අවුරුදු තිස්‌ දහසක්‌ පමණ පැරණි විය හැකි යෑයි විශ්වාස කෙරෙනා පාහියන් ලෙනේ මේ පුරාණ මිනිසාගේ තොරතුරු හමුවන්නේ අහඹු ලෙසිනි. ඕනෑම කැණීමක්‌ ස`දහා අර්ථයක්‌ හා අරමුණක්‌ තිබේ. පාහියන් ලෙනේ මේ කැණීම සිදුවූයේ ඇටසැකිලි හොයන්නට නොවේ. වර්ෂ 1968 දී සිරාන් දැරණියගලයන් විසින් ලංකාවේ ආරම්භ කර පියවර ගණනාවක්‌ ඔස්‌සේ පවත්වාගෙන පැමිණි ප්‍රාග් ඓතිහාසික කැණීම් මාලාවේ නව අදියරක්‌ ලෙස අලුත් දත්ත ලබාගෙන විධිමත් හා දියුණු තාක්‌ෂණික ඥානය භාවිතකර ඒවා නැවත විශ්ලේෂණය කිරීම ස`දහාය. ඒ ස`දහා ගල් ලෙන් කැණීම් ව්‍යාපෘතියක්‌ වර්ෂ 2005 දී බටදොඹ ලෙනෙන් ආරම්භ වූයේය. එම කැණීම සිදුවූයේ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්‌ෂණය යටතේය. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ස`දහා කළ මේ කැණීම ලෝක අවධානයට ලක්‌විණි. එහිදී ආචාර්ය දැරණියගලයන් වර්ෂ 1984 දී කළ කැණීමෙන් මතුකරගත් ජනාවාස පස්‌තට්‌ටු හත ස්‌තර එකසිය දහතුනකට බෙදිණි. කාල නිර්ණයන් ඉතාම නිවැරදි වූයේය.

දෙවන කැණීම ආරම්භ වන්නේ අතිශයින්ම ශාස්‌ත්‍රීය සම්භාවනාවට ලක්‌විය යුතු දුලබ වටිනාකමක්‌ සහිත මේ පාහියන් ලෙනෙහිය. අප වැනි නවීන මානවයන් ගැන දකුණු ආසියාවේදී හමුවන පැරණිම සාධක හමුවූයේ මේ ලෙන් භූමියෙනි. ඒ තොරතුර සාධනය කළේ වර්ෂ 1986 දී ආචාර්ය ඩබ්ලියු. විඡේපාලයන් කළ කැණීමය. එහිදී අදින් වසර තිස්‌ හත්දාහකට පමණ ඉහත ජීවත් වූ නවීන මානවයා පිළිබ`ද තොරතුරු පාහියන් ලෙනෙන් ලැබිණි. එය දකුණු ආසියාවේ ජීවත්වූ නවීන මානවයා ගැන ලැබුණ පැරණිම තොරතුර වූයේය. 

එබැවින් මෙම බිම් පෙත ජාතික උරුමයක ස්‌වරූපයද ඉක්‌මවූ සැබෑ විශ්වීය උරුමයක්‌ විණි. එහෙත් ආවාට ගියාට පහුරු ගා විනාශ නොකළයුතු විනාශ කළහොත් ඒ විනාශ වූ භූමියේ දත්ත කිසිකලෙකත් ප්‍රතිනිර්මාණය කළ නොහැකි සේ වැනසී යන, අසිරිමත් අතීතයක්‌ ස`ගවාගත් මේ මහා දත්ත සාගරය වර්ෂ 2008 දී කළ කැණීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පණ්‌ඩිතයෙකුට ඇ`දගත් උපාධිධාරී ළදරුවෙක්‌ විසින් අනාථ කළේය. මේ කැණිම ස`දහා දැරූ වියදම මිල කළ හැකි වුවද ඉන් වූ හානියට මිලක්‌ නොවුනි. ලබාගත් දත්ත සාම්පල මුළුමනින්ම වැරදි සහගත ඒවා වූයේය. දැන් මේ දියත්වන කැණීම ඒ වැරදි සහගත පහුරුගෑමේ අවුල් වූ දත්ත නිවැරදි කිරීම ස`දහා දියත් වූවකි. 

එහෙත් වාසනාවකට මෙන් ඒ වැරැද්ද අවසානයේදී විපුල ඵලයක්‌ ගෙනාවේය. ඒ විපුල ඵලය මේ මොහොතේ අප අභියස පෙනෙමින් තිබිණි. එය පූර්ණ මානව ඇට සැකිල්ලකි. ආචාර්ය විෙ-පාලයන්ට හමුවූ අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි මානවයා තරමටම වයස්‌ගත අවධියකින් හමුවන මානවයෙකි. 

වර්ෂ 1986 දී ආචාර්ය විෙ-පාලයන් මේ ලෙන් භූමියේ කළ කැණීමේදී අවුරුදු තිස්‌ හත් දාහේ සිට අවුරුදු හාරදහස දක්‌වා කාල සීමාවට අයත් මානව ජනාවාස අවධි හතරක්‌ සොයා ගනු ලැබිණි. එම අවධි වලට අයත් මානව සැකිලි කැබලි දාහතරක්‌ හමුවූයේය. එහෙත් එම සැකිලි බෙහෙවින්ම ජීර්ණයට ලක්‌ වී පැවතිනි. කාන්තාවන්, ළදැරුවන්, විවිධ වයස්‌ මට්‌ටම්වලට අයත් පිරිමින්ට අයත්වූ එම මානව අවශේෂ විශ්ලේෂණය කරනු ලැබුවේ ඇමරිකාවේ කෝර්නල් සරසවියේ මානව විද්‍යා අංශයේ එවකට ලෝක සම්භාවනාවට ලක්‌ වූ මහාචාර්යවරයෙක්‌ වන ආචාර්ය කේ. ඒ. ආර් කෙනඩිය. එහෙත් මෙපමණ පැරණි ජනාවාස ස්‌ථරයකින් අරුමයක්‌ සේ මෙවැනි පූර්ණ ඇටසැකිල්ලක්‌ මතුවීම මීට පෙර සිදුවූයේ නැත. 

ඇට සැකිල්ලේ සංවාදය
මේ මතුවීමත් සමග රටේ බොහෝ දෙනෙක්‌ පාහියන්ගලින් ලද මේ මානව ඇටසැකිල්ල ගැන කතා කරන්නට වූහ. අඩි තුනහමාරක පමණ ගැඹුරකින් හමුවූ මෙම ඇටසැකිල්ල අවුරුදු දස දහසකට වඩා පැරණි නොවිය හැකි බවටත් මෙය ලෙන් භූමියේ යම් ගැඹුරකට හාරන ලද වළක වළදමා ඇති බවටත් මුලින්ම අදහසක්‌ පැන නැගුනේය. එහෙත් ආචාර්ය දැරණියගල හා ආචාර්ය නිමල් පෙරේරා විසින් මේ ලෙන් බිමේ මේ තරම් ගැඹුරට කැණිය හැකි තාක්‌ෂණයක්‌ එකල නොවූ ආකාරය තහවුරු කළහ. ඒ අනුව ඔවුන් ඇසින් කරන නිරීක්‌ෂණයට අනුව මෙම මානවයා සැතපී ඉන්නේ මීට වසර තිස්‌ දහසකට ආසන්න අතීතයක්‌ සහිත මානව ජනාවාස පස්‌ තට්‌ටු වල බව කියෑවිණි. 

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පැහැදිලි කරන ආකාරයට ඇස්‌ මට්‌ටමින් කරන නිරීක්‌ෂණ ප්‍රකාරව නම් මෙම අතීත මිනිසා ජීවත් වූ වකවානුව අවුරුදු තිස්‌ හත්දාහක ඈතකට දිවෙයි. ඒ ස`දහා ඇවැසි කාල නිර්ණයන් ලබාගැනීම ස`දහා දත්ත සාම්පල දැනට කාබන් දාහතර කාල නිර්ණය ස`දහා ලෝකයේ පිළිගත්ම තාක්‌ෂණික පහසුකම් සහිත විද්‍යාගාරය වන ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බීටා ඇනලිටික්‌ ඉන්ක්‌ ආයතනය වෙත යෑවීමට කටයුතු යොදා ඇත. මේ ලෙනේ නිදනා පාහියන්ගල මිනිසා ජීවත්වූ කාලය අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි වේ නම් ආසියාවෙන් මෙතෙක්‌ හමුවූ පුරාණතම පූර්ණ මානව ඇටසැකිල්ල මෙයය. ඒ අර්ථයෙන් නම් මුන්දෑ ලෝකයට පහළවූ මහා සම්පතක්‌ වැනිය. එසේ වීමට හේතු කාරණාද තිබේ. 

පුරාණ මිනිස්‌සු මිනී වළදැමූ හැටි
අවුරුදු තිස්‌ හත්දාහකට පමණ එපිට ජීවත් වූ මිනිස්‌සු අතර නවීන මානව ලක්‌ෂණ සේ සැලකෙන යම් යම් අභිචාර විධි තිබිණි. මේ අභිචාර අතර මළමිනී වළදැමීමේදි ඔවුන් භාවිත කළ අභිචාරයන් වඩාත් ප්‍රකට වූයේය. මෙම වළදැමීම් ආකාර දෙකකට සිදුවිණි. එකක්‌ ප්‍රාථමික වළදැමීම්ය. එනම් සිරුර එලෙසින්ම භූමිදාන කිරීමය. අනෙක්‌ ආකාරය ද්වීතියික වළදැමීම්ය. එනම් එක්‌ තැනක සිරුර වළදා ටික කලකට පසු එහි කොටස්‌ රැගෙන විත් ලෙන් ආසන්නයේ හෝ ලෙන් තුළ වළදැමීමය. මෙයින් වඩාත් සුලබව හමුවී තිබුණේ මේ ද්විතියක වළදැමීම් ආකාරයයි. 

අපට දැන් පාහියන්ගලින් හමුවන මුන්දෑගේ ඇටසැකිල්ල මෙසේ ඉතිරිවන්නේ උන්දෑව මීට අවුරුදු තිස්‌දහසකට හෝ ඊට පෙර කාලයකදී සිරුර පිටින්ම වළදැමූ බැවිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මේ පිළිබ`දව කදිම කතාවක්‌ කියයි.

"දැන් මේ මතුවෙලා තියෙන්නෙ මහා දතත් සාගරයක්‌. නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්‌ෂණයෙන් මේ දත්ත විශ්ලේෂණ කරලා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අලුත් කියෑවීමක්‌ කරන්න සාධක මෙතැන තියනවා."

"පොඩි දෙයක්‌ කියන්නම්. මේ තැනැත්තා වළදමා තියෙන්නෙ ඉතා නොගැඹුරු වළක. වළදාල තියෙන්නෙ ඔලුවට ගල් දෙකක්‌ තියලා ඇ`ග උඩින් ගල් පතුරු දාලා. ඔහු මේ කාලයේ පරමායුෂ වන අවුරුදු හතලිහක ආයු කාලයක්‌ වි`දපු කෙනෙක්‌ වග පෙනෙනවා. ඒ කාලයට අයත් ඔහුගේ වසුරුත් අපට මේ පාංශු ස්‌ථරයේ තිබිලා හමුවුණා. බොහෝවිට මේ තැනැත්තා යම් ආසාදනයකින් පීඩා වි`දි අයෙක්‌ විය හැකියි. මේ ස්‌ථරයෙන් හමුවන සූක්‌ෂම දත්ත අතර රුධිර සෛල වැනි දේත් තියෙන්න පුළුවන්. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ ස්‌වරූපය ඒ වකවානුවේ තිබූ ලෙඩ රෝග, ජීවන චර්යාවන්, ආහාර පුරුදු ඔහු ලබාගත් ආහාර වට්‌ටෝරු වාගේ දේවල් සහිත මේ පුරාණ මනුස්‌සයගෙ ජීවන පරිසරය වටහා ගන්න වඩා පුළුල් පරාසයකට ගිහින් සියුම් දත්ත ලබා ගත හැකියි. ඒ කටයුත්ත කරන්න අපට ලෝකයේ දියුණු තාක්‌ෂණයක්‌ සහිත සරසවියකින් සහයෝගය ලබාගන්න වෙනවා. පාහියන්ගල කියන්නේ නවීන මානවයා ගොඩනැගුණ ලෝක උරුම ස්‌ථානයක්‌ . එය නුදුරේදීම ලෝක උරුමයක්‌ ලෙසින් නම්වේවි. එහෙම උනොත් ලෝකයේ ඉහළම දැනුම සහිත සරසවි හා සමග දියුණුම තාක්‌ෂණික ක්‍රමවේදයන් හරහා මේ පරීක්‌ෂණ කරගෙන යන්න වඩාත් පහසු වෙනවා." 

එසේ නම් මේ කාරණාව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධව එළිදකිනා නව කියවීමකි. මක්‌නිසාද යත් මෙතෙක්‌ කළ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක කැණීම්වලදී බොහෝවිට හමුවූයේ එකම ආකාරයේ දත්ත සමුච්චයක්‌ වූ බැවිනි. එහෙත් කැණීමක්‌ කරන්නට ගොස්‌ "ඇනගෙන" ඉන් ලැබුණු වැරදි දත්ත නිවැරදි කරගන්නට යැමේදී අහඹු ලෙස හමුවූ අවුරුදු තිස්‌දාහක්‌ පැරණි මානව සැකිල්ලක්‌ ලෙස දැන් අප හමුවේ තිබෙන්නෙ මහා දැනුම සම්පතකි. ඒ විරල දැනුම ලෝකයට ඵලදායී වන්නේ එය කියවාගන්නා ආකාරය අනුවය. 

ඒ කියෑවීම ස`දහා ලෝකයට ආරාධනා කරනා තුරු කාලනිර්ණ දත්ත සාම්පල ලබාගැනීමෙන් අනතුරුව මෙම කැණීම යළිත් වැලි වලින් වසා දැමීමට තීන්දු කර ඇති ආකාරය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසයි. අවුරුදු තිස්‌හත් දාහකින් පසු යළිත් මිනිසුන් අතරට පැමිණී පාහියන්ගල මිනිසා කියනා අසිරිමත් කතාව නුදුරේදීම අපට ඇසෙනු ඇත. ඒ කතාවේ රිද්ම රටා අතීත මිනිස්‌සුන් පිළිබ`ද කතාවේ අලුත්ම අලුත් මානයක්‌ ලෝකයට කියා දෙනු ඇත.
ජානක ලියනාආරච්චි - රංග විදානෙ
2012  ජුනි  24 ඉරිදා දිවයින

පාහියන්ගල මානවයාට මුහුදු වෙරළත් හුරු පුරුදු පාටයි

බුලත්සිංහල පාහියන් ගල ලෙනෙන් හමුවූ වසර 37000කට වඩා පැරණි මෙසෝලොතික මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල ලාංකීය පුරාවිද්‍යා උරුමයේ කොටසක් පමණක් නොව ලෝක පුරාවිද්‍යා උරුමයේ කොටසක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මාධ්‍ය හමුවකදී පැවැසීය. මේ ඇටසැකිල්ල පිහිටා තියෙන්නේ ගල් ඇන්දක හිර වෙලා. ඒ නිසා එය එතැනින් ඉවත් කිරීමේදී යම් හානියක් සිදුවීමේ අවදානමක් තියෙනවා. පාහියන්ගල ලෙනෙහි සිදුවූ පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්‍ෂ නිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය.
”මෙහි කැණීම් ව්‍යාපෘතිය 1986 වර්ෂයේ ආරම්භ කළේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. විජේපාල මහතා විසින්. ප‍්‍රධාන ගල් ලෙනේ කරපු කැණීම් වලින් කිසිදු තොරතුරක් නොලැබුණු නිසා පහළ ගල් ලෙනේ කැණීම් කටයුතු ආරම්භ කළා. එහිදී අදින් වසර 36000 සිට 5000 දක්වා කාල පරාසයට අයත් ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස අවධි 5ක් පිළිබඳව තොරතුරු සොයා ගනු ලැබූවා. ඉන්පසුව 2007 හා 2008 වර්ෂවලදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල්ගේ පුර්ණ මග පෙන්වීම මත ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදේශකත්වයෙන් හා පළපුරුදු කැණීම් නිලධාරීන් අතින් මෙම ඓතිහාසික පර්යේෂණ ඉතිහාසයේ 6 වන අදියර ආරම්භ වුණා. එහිදී පාහියන් ලෙනේ පහළ කුඩා ලෙන ආශ‍්‍රිතව සිදු කළ කැණීම්වලින් මානව ජනාවාස ස්තර උප සතරද සහිතව 129ක් හඳුනා ගත්තා. එහිදී ආදි මානව සංස්කෘතියක බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.
මේ පර්යේෂණයේ වැදගත්ම සංධිස්ථානය ලෙස ප‍්‍රථම වරට ලෙන් කැණීමක අනුසාරයෙන් සම්පූර්ණ ප‍්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ලක් සොයා ගත්තා. කාල නිර්ණ පරීක්‍ෂාවන්ට අනුව එය වසර 30000කට වඩා පැරණි බව විශ්වාස කරනවා. ඒ වගේම මෙහි කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයේ ලකුණ ලෙස හැඳින්වෙන ජ්‍යාමිතික ලකුණු යුත් ගල් ආයුධ සොයා ගත්තා. ඒ වගේම මෙම ලෙන ආශ‍්‍රිතව ලූණු බෙල්ලන්, මුහුදු පබළු හා මෝරෙකුගේ දතක් සොයා ගැනීමට අපට හැකි වුණා. මේ නිසා අපට හිතන්න පුළුවන් නවීන මානවයා, පුරාතනයේ සිටම මුහුදු ආශ‍්‍රිතව සම්බන්ධතා පැවැත් වූ බවට. මෙම කැණීම් සඳහා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තරුණ නිලධාරීන්ගේ වගේම විශ‍්‍රාමලත් නිලධාරීන්ගේ සහයෝගය ගත්තා. ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින්ගේ සහය ගැනීමට බලාපොරොත්තු වෙනවා.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා
”මෙම පුරා විද්‍යා කැණීම් සඳහා දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යාඥයින්ගේ අනර්ඝ සහයක් ලැබුණා. මගේ අත්දැකීමට අනුව ලෙන් කැණීමක් කියන්නෙ ඉතාම අපහසු කටයුත්තක්. පුරාවිද්‍යා කැණීමක් කරනවා කියන්නේ ශල්‍යකර්මයක් කරනවා වගේ ඉතාම සංකීර්ණ කටයුත්තක්. අවම වශයෙන් මෙවැනි කැණීමක් කරන්න අවුරුදු 10 - 15කවත් අතේ හුරුවක් තිබිය යුතුයි....”
2012 ජූනි මස 27 ලංකාදීප | . , ප‍්‍රභාත් කුමාර දේශප‍්‍රිය

පාහියන්ගලින් හමු වූ දකුණු ආසියාවේ විශිෂ්ටම සාක්ෂිය

අවුරුදු 20 ලක්ෂයක මානව වග විභාගයට ඔහු අවුරුදු 37,000ක් පැරණි නවීන මානවයාය.
ප්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන්  දැරණියගලයන් 1968 වර්ෂයේදී සිරිලක  ප්‍රාග් ඵෙතිහාසික ජනගහනය සොයා යන ගමනේ එක් සුවිශේෂ සන්ධිස්ථානයක් වනුයේ රයිගම් - පස්යොදුන් දෙකෝරළ මායිමේ පිහිටි බුලත්සිංහල පාහියන්ගල ගවේෂණය කිරීමය. ඉරණමඩු, බූන්දල, පතිරාජවෙල, උස්සංගොඩ ආදි ප්‍රාග් ඵෙතිහාසික ජනමාධ්‍ය ආශ්‍රිත ස්තර විශේ‍ලේෂණය මගින්ද සිරිලක ප්‍රාග් ඉතිහාසය  වසර එක්ලක්ෂ විසිපන්දහසේ සිට හත් ලක්ෂය දක්වා මහා ශිලා යුගයට නෑකම් කියන බව තහවුරු විය.
පාහියන්ගල මුල් අදියරේ කැණීම් සිදු කිරීමට උත්තේජනයක් වූයේ ඒ තහවුරු වීමය. එහෙත් ඒ පාහියන්ගල කැණීම් අවසාන වූයේ ප්‍රතිඵල රහිතවය.1986 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්. විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන අදියර ලෙස පාහියන්ගල කැණීමේ කටයුතු ආරම්භ විය. ජයග්‍රහණයක් අත්විණ. ඒ ප්‍රාග් මානවයන් පස්දෙනෙකුගේ ශරීර කොටස් හමුවීමත් සමගය.ඩබ්ලිව්.එච්. විජයපාල, ආචාර්ය සිරාන් දැරණිය-ගල ඇමෙරිකානු ජාතික ආචාර්ය කෙනත් කෙනඩි ප්‍රමුඛ දෙස් විදෙස් විද්වතුන් සමූහයකගේ සහ-භාගීත්වයෙන් සිදුකළ පාහියන්ගල 2 වන අදියරේදී සොයා ගත් මානව ‍පොසිල කාබන් 14 ක්‍රමයට අනුව කාල නිර්ණය කැරුණු අතර එහිදී එම ‍පොසිල වසර  තිස්හත්දාහක් පැරණි බව තහවුරු විය.ඒ අනුව බුලත්සිංහල පාහියන්ගල නූතන මානවයා (Homo Sapian) දකුණු ආසියාවේ දැනට හමුවූ ඉතාම පැරණි ‍පොසිලය බවත් එය හමු වූ ස්ථානය පැරණිතම ස්ථානය ලෙසටත් ලෝක ප්‍රාග් ඉතිහාසයට එක් විය.
1986 දී පාහියන්ගලින් හමු වූ එම, මානව ‍පොසිල යළිත් කාල නිර්ණයකට බඳුන් කැරිණ. ඒ 2007 දීය. ප්‍රධානත්වය ඉසිලුවේ වත්මන් පුරාවිද්‍යාඥ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ ආචාර්ය නිමල් පෙරේරාය.
අන්තර්ජාතික සහභාගීත්වයෙන් කැණීම් සිදු වුණු තුන්වන අදියරේදී ලැබුණු ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට කිසිවෙකුටවත් නොහැකි වී තිබේ.
මහාචාර්ය ඉයන් සිම්සන් ආචාර්ය ඇනා ‍පෝල්, ආචාර්ය නිකොස් ප්‍රමුඛ විද්වත් මඩුල්ල එකී තෙවන අදියරේ කැණීම් සාර්ථක කළ බව ඉන් ගම්‍ය වෙයි.
අද වන විට මෙම කැණීම්වලින් අත්කර ගැනුණු ප්‍රතිඵල අනුව අංග සම්පූර්ණ මානව ඇට-සැකිල්ලක් මතු කර ගැනීමට හැකි වී තිබේ.
ඩබ්ලිව්.එම්.සී. ඔෂාන් වෙදගේ ප්‍රමුඛ කැණිම් නිලධරයන්ගේ ඒ සමත්කම අප ලැබූ සැලකිය යුතු ජයග්‍රහණයකි
එය වසර  37000ක් පමණ පැරණි විය හැකි බව පුරාවිද්‍යාඥයන්ගේ අනුමානයයි. කැණීම් නිර්ණය කළ මහාචාර්ය ඉයන් සිම්සන්ගේ අදහසට අනුව පාහියන්ගල පාංශු ස්තරය වසර හතළිස් දහසක් තරම් ඉපැරණි විය හැකිය. කාල නිර්ණය තවමත් අවසන් නැත. එය අවසන් වූ විට තවත් ඉපැරණි බව නිශ්චය කිරීමට අසීරු වන්නේද නැත.
හමුවූ  මිනිස් ඇටසැකිල්‍ලේ දෙපා කතිරයක හැඩයට දැකගත හැකිය. දෙපයේ ඇඟිලි පතුල් ඇටය, දණහිස පැහැදිලිව නිර්ණය කළ හැකිය. ඉල ඇට, කශේරුව, දෙඅත් යන අංග ගල් සහ පස් ඉවත් කර නිරාවරණය කිරීමට ගත් උත්සාහයේදී හිස්කබල මතු කර ගැනීමට හැකි වී නැතත් ඉදිරිපස දත් ඇන්දේ දත් කිහිපයක් පැහැදිලිව දැකගත හැකිව තිබේ.
පාහියන්ගලින් හමුවූ සත්ව ඇටසැකිලිවලින් සෑදු මෙවලම් සුලභය. එසේම දියුණු තාක්ෂණයක් සහිත ඒවාය.
ඒ මහැදුරුගේ විශ්‍ලේෂණ අනුව ආදි මානවයා සර්ව භක්ෂකයෙකි. ඔහු ගත් ආහාර අතර බැදිදෙල් කැකුණ ඇට වැනි දේ තිබූ බව තහවුරු විය. ආහාර සියල්ල පුලුස්සා භුක්ති විඳ තිබේ. ඒ අනුව ගින්දරද භාවිත කර තිබූ බවද පැහැදිලිය. ලංකාවේ ආදිමානවයන් ගින්දර භාවිත කළ බවට පැරණිම සාධක හමුවන්නේද පාහියන් ලෙනෙණි.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  ආචාර්ය ප්‍රේමතිලකගේ පරාග විශ්‍ලේෂණයේදී ආදි මානවයා කෙසෙල්ගෙඩි ද ආහාරයට ගෙන ඇති බව තහවුරු වී තිබේ.
ඔහු ගත් සත්ව ආහාර අතර තෙත් කලාපයේ සුලභ මිරිදිය බෙල්ලන් සහ කරදිය බෙල්ලන් දෙවර්ගයම වෙයි.
පාහියන්ගල ආදි මානවයාට නෑ ගම්ද යෑමේ සිරිතක් තිබෙන බවට සාධක හමුවී තිබේ. ඒ සියුම් පුරාවිද්‍යාත්මක නිරීක්ෂණ මගිනි.
මීට පෙර හමු වූ හිස් කබල් දෙකක් ගුරුගල් අ‍ලේප කර තිබිම මගින් ආදි මානවයාගේ අවමඟුල් චාරිත්‍රද පාංශු ස්තරය විශ්‍ලේෂණයේදී හමුවූ මිනිරන් නිසා ඔවුනගේ ශරීර අලංකරණ ක්‍රම තිබූ බවද හෙළිදරවු කර ගැනීමට හැකි වී ඇති බව පවසන්නේ ඔෂාන් වෙදගේය. ඒ අලංකරණ ක්‍රම සිහිගන්වන්නේ වත්මන් පච්චකෙටීමේ ක්‍රමයි. ආදි මානවයාට පවු‍ලේ සුසාන භූමියක්ද තිබි ඇත.
සත්ව කොටස්වලින් සෑදූ පබළු ගැඹුරු මුහුදේ දිවි ගෙවන මෝරුන්ගේ දත් සිදුරු කර සත්ව සම්වලින් සෑදූ නුලක් ගෙල පැලඳි බව හෙළිවී තිබේ. ඉතා ශක්තිමත් මෝරදත් විදීමට තරම් දියුණු තාක්ෂණයක් අවුරුදු පහළොස් දහසකට පෙරද තිබුණු බව මේ අනුව අපට සිතිය හැකි නොවේද
විස්මිත වූ ඒසා විශාල දත්ත ප්‍රමාණයක් සොයා ගනුවස් පුරාවිද්‍යා නිලධාරීන් තම අඹු දරුවන්ද හැරදමා පැමිණ පාහියන්ගලට වී නිරත වන මෙහෙවර සුළුපටු නොවේ. නිසි අවසරයකින් තොරව ඒ ගවේෂණ නරඹන්නට පැමිණෙන ජනතාව නිසා ඇති වන බාධා නම් නිමක් නැති බව මෙහිදී නොලියාම නොහැකිය.
ඉකුත් අඟහරුවාදා (19) සවස පාහියන් ලෙනෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂණ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඇටසැකිල්ල පිළිබඳ කැණීම් තාවකාලිකව නතර කිරීමට තීරණය කෙරිණි. එය නිරුපද්‍රිතව ගොඩට ගැනීමට නොහැකි තත්ත්වයක තිබිම ඊට හේතුවයි. විදේශීය පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් ලෙනට ගෙන්වා, ඔවුන්ලවා එය විශ්‍ලේෂණය කරවන්නට කටයුතු යොදන බව ඔහු එහිදී මාධ්‍යවේදීන්ට කීවේය. 
-අරුණ ලක්ෂ්මන්  ප්‍රනාන්දු


2012 ජූනි 24 වෙනි ඉරිදා, ලක්බිම
සෝමරත්න ‍පොද්දෙනිය

අප්‍රිකාවෙන් නික්මුණු හෝමෝ සේපියන්ස් පාහියංගලින් මතු වෙයි

  • වසර 37000 ක් පැරණි විය හැකියි
  • හමුවී ඇත්තේ දකුණු ආසියාවේ පැරණිම සම්පූර්ණ ඇට සැකිල්ලයි
“ආහාර සම්පාදනය කර ගැනීමේ කාරණාවේදී මේ අයට කිසිම චාරයක් තිබුණු බවක් පේන්නෙ නෑ. එයාලා අතට අහුවෙන හැම සතෙක්ම දඩයම් කරලා කාලා තියෙනවා. වැඩිපුරම කාලා තියෙන්නේ වඳුරෝ. බෙල්ලෝ වර්ගත් කාලා තියෙනවා. ගස්වල ඉන්න පුවක් බෙල්ලෝ තිත්තයි. මේ අය උන් කොහොම කෑවාද දන්නෙ නෑ. අතටවත් අහුවෙන්නෙ නැති කුඩා බෙල්ලන්, සර්පයන් වගේම කබරගොයින් පවා කාලා තියෙනවා. කබරගොයි මස විෂ සහිතයි.  සමහර විට ඒ කා‍ලේ ඒවායේ විෂ ඉවත් කරන ක්‍රමයක් තිබුණාද දන්නෙ නෑ. අතට අහුවෙන ඕනෑම සතෙක් දඩයම් කරලා කාපු බව පේනවා.” පාහියන් ලෙන පිහිටි සුවිසල් ගල් පර්වතය යට වූ ගල් තැල්ලක හිඳගෙන සිටි ජූඩ් පෙරේරා මහතා අප හා කීවේය.
ජූඩ් පෙරේරා මහතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ව ඇට කටු විශ්‍ලේෂකවරයාය. ඔහු අපට මුණ ගැසුණේ  ඉකුත් අඟහරුවාදා (19), බුලත්සිංහල , යටගම්පිටියේ පිහිටි පාහියන් ලෙනෙහි කෙරෙන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් දැක බලා ගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය. 
පාහියන් ලෙන මුලින් ප්‍රසිද්ධ වූයේ , පාහියන් නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුව  ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවසේ දී පමණ එහි පැමිණි බව කියැවෙන ජනප්‍රවාද පුවත නිසාය. ලෙන ඉන් පසුව ප්‍රසිද්ධ වූයේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතාගේ මෙහෙයවීමෙන් 1986 සහ 1998 යන වර්ෂවල එහි කෙරුණු ප්‍රාග් ඓතිහාසික කැණීම් ද සමගිනි. ඉන් “බලංගොඩ මානවයන්” දොළොස්  දෙනෙකුගේ ඇට කටු අවශේෂ හමුවිණි. ඒවා අදින් වසර 31,000 ක් පැරණි බවට එකල කාලනිර්ණය කෙරිණි. පාහියන් ලෙන වූ කලී දකුණු ආසියාවේ පැරණිතම ආදි මානව ජනාවාසවලින් එකක් බව පර්යේෂණයෙන් හෙළි දරව් වූයේය. එහි විසූවෝ ඉපැරණි මධ්‍ය ශිලා යුගයට අයත් , “නවීන මානවයන්” (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) බව ද එයින් හඳුනා ගැනුණි. පුරාවිද්‍යාඥයින් ඔවුන් හඳුන්වන්නේ “බලංගොඩ මානවයන්” නමිනි. පසුව 2005 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පාහියන් ලෙනෙහි නැවත කැණීම් ඇරඹීය. එහිදී හෙළි දරව් වූයේ එහි පැවති බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 37,000ක් පැරණි බවයි.
පාහියන් ලෙන මේ දිනවල කතා බහට ලක් වී ඇත්තේ, මීට සතියකට පමණ ඉහත එයින් මතුකරගත් බලංගොඩ මානව ඇටසැකිල්ල නිසාය. ඉකුත් පෙබරවාරි මාසයේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි කැණීම් යළි පටන් ගත් අතර  කැණීම් නිලධාරීහු ලෙන් ‍පොළොවේ මීටර් එකහමාරක් ගැඹුරු පස් ස්ථරයකින් සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත්හ. එය “බලංගොඩ මානවයන්” යනුවෙන් හඳුන්වන “නවීන මිනිසෙකුගේ” ඇට සැකිල්ලකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසන්නේ නවීන මානවයාගේ මෙබඳු සම්පූර්ණ ඇට සැකිල්ලක් මින් පෙර දකුණු ආසියාවේ කිසිඳු රටකින් හමුවී නැති බවයි. මුලින් අනුමාන කෙරුණේ, එය අදින් වසර 12,000 ක් හෝ 15,000 ක් තරම් පැරණි විය හැකි බවයි. එහෙත් ඉකුත් අඟහරුවාදා (19) එය නිරීක්ෂණය කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු පැවැසුවේ ඇටසැකිල්ල ඊට වඩා බොහෝ පැරණි විය හැකි බවයි. එය ඇතැම් විට අදින් වසර 37,000 ක් පමණ පැරණි විය හැකි බවට සිරාන් දැරණියගල සහ නිමල් පෙරේරා යන මහත්වරු අනුමාන කළහ.
මානව ඇටසැකිල්ල හමුවූ පස් ස්ථර ආශ්‍රිතව තවත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් අවශේෂ විශාල සංඛ්‍යාවක් ද හමු විණි. 
ජූඩ් පෙරේරා මහතාගේ අත්දැකීම් අනුව, පාහියන් ලෙනෙහි වැසි මානවයෝ අලියාගේ පටන් කටුස්සා දක්වා වූ ගොඩබිම වෙසෙන සතුන්ද, ක්ෂීරපායී සත්ව විශේෂ 12ක් පමණ ද, ව්‍යාඝ්‍රයා, දියබල්ලා , රයිනෝසිරස්, ගෝනා, ඕලු මුවා, දඬු ‍ලේනා, වඳුරා, ‍ලේනා, වවුලා , පිඹුරා, කඹරගොයා, තලගොයා සහ විවිධ සර්පයන් ද, ලෙහෙල්ලා , ලූලා, දංකොල පෙතියා, මස් පෙතියා, මගුරා, හුංගා , අංකුට්ටා , මඩකනයා, ගං අරා වැනි මිරිදිය මසුන්ද, මෝරා , කිරිමෝරා සහ අඟුලුවා යන කරදිය මසුන්ද , ගොඩ බෙල්ලන් , දිය බෙල්ලන් ද , හබන් කුකුළා, වලිකුකුළා වැනි පක්ෂීන්ද, ආහාරයට ගෙන තිබේ. කැකුණ, වල් දෙල් , ඇටි කෙසෙල් සහ අල වර්ගද, වනයෙහි ඇති පලතුරු ද ඔවුන් භුක්ති විඳි ශාක ආහාර අතර වෙයි. කැණීම් නිලධාරීන් මේ තොරතුරු අපට කියන්නේ ඇට සැකිල්ල ආශ්‍රිත පස් ස්ථරවලින් සොයා ගත් ශාක සහ සත්ව අවශේෂ මූලික විශ්‍ලේෂණවලට ලක් කිරීමෙනි. ආහාර සකස් කරගෙන ඇත්තේ පුළුස්සා ගැනීමෙනි.
පාහියන් ලෙනෙහි වත්මන් පුරාවිද්‍යා කැණීම කෙරෙන්නේ, එහි ඇති මානව ජනාවාස සාධක තවදුරටත් විධිමත් ලෙස විද්‍යාත්මකව කාල නිර්ණය කිරීමේ අරමුණෙනි. එය මෙහෙය වන්නේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය  සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසිනි. පර්යේෂණයෙහි උපදේශකත්වය දරන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාය. 
පර්යේෂණ නිලධාරීන්ගේ අත්දැකීම් අනුව , ප්‍රාග්  ඓතිහාසික යුගයේ විසූ බලංගොඩ  මානවයන්ගේ ඇතැම් හැසිරීම් මහත් කුතුහලය උපදවන්නේය. ඉන් එකක් වන්නේ, ඔවුන් අදින් වසර දහස් ගණනකට ඉහත දී මුහුද සමග පැවැත්වූ සබඳතාවයයි. කුරුවිට බටදොඹ ලෙනෙහි කළ කැණීම්වලින් මඩු මාළුවෙකුගේ වලිගයක අස්ථි කොටසක්ද, මෝර මසෙකුගේ දතක්ද හමුවිය. උඩවලවේ, බෙල්ලන් බැඳි පැලැස්ස කැණීම් වලින් මෝර දත් සහ කරදිය මසුන්ගේ අවශේෂ සොයා ගැනුණි. කිතුල්ගල බෙලි ලෙනෙහි කළ කැණීම්වලින් මුහුදු බෙල්ලන්ගේ කටු හමු විය. ගම්පහ දිස්ත්‍රික්කයේ අලවල ගල් ලෙනෙන් ද මෝර දත් සොයා ගැනුණි. නොබෝදා පාහියන් ලෙනෙන් ද, කිරිමෝර දත් සහ මෝර පැටවුන්ගේ දත් ද, ලුණු බෙල්ලන්ගේ කටුද, හමු විණි. මේ සියලු බලංගොඩ මානව ජනාවාස රට මැද පිහිටි තැන්ය. ඒවායෙහි විසූ ආදි මානවයෝ මුහුද සහ මුහුදුබඩ පරිසරයෙහි විසූ සමකාලීන මානවයන් සමග සබඳතා පැවැත්වූ බව එම සාධකවලින් පෙනී යන්නේය. “මේක හරි පුදුම සහගතයි. ඒකා‍ලේ මුහුදුබඩ ඉඳලා රට මැදට මාළු ගෙනාවා කියලා හිතන්න බෑ. මොකද මාළු කුණු වෙනවා. සමහර විට රට මැද හිටපු අය මුහුදුබඩට ගමන් ගිහින්, එහේදී මාළු කාලා. කටු සහ අස්ථි කොටස් රට මැද ජනාවාසයට ගෙනාවා වෙන්න පුළුවන්. මාළු කටුවලින් ආයුධ සහ ආභරණ බඳු දේවල් නිපදවා ගත් බවට සාධක තියෙනවා.” එසේ කියන්නේ ආචාර්ය නිමල් පෙරේරා මහතාය.
කැණීම් නිලධාරීන්ගේ අත්දැකීම් අනුව, පාහියන් ලෙනෙහි විසූ මානවයන් ආභරණ පැළඳීම සහ ආ‍ලේපන ගැල්වීම කෙරෙහි සුවිශේෂ උනන්දුවකින් සිටි පිරිසකි. උරගා ඉතිරි කළ ගුරුගල්, සායම් මෙන් තවරා ගත හැකි උරගා ඉතිරි වූ මිනිරන් කැබලි, සත්ව ඇටකටු වලින් නිමවූ පබළු බඳු ද්‍රව්‍ය කැණීම්වලින් ඔවුන්ට හමුවී තිබේ. පාහියන් ලෙන කැණීම් භූමියෙහි ස්ථානභාර නිලධාරී ඔෂාන් වෙදගේ සහ කැණීම් නිලධාරී සුසන්ත නිහාල් යන මහත්වරු පවසන්නේ මෙවර කැණීමෙන් හමුවන “සත්ව ඇටකටු ආයුධ” සංඛ්‍යාව ඉතා ඉහළ බවයි.  මේ වන විට සත්ව ඇටකටු වලින් නිපද වූ ආයුධ 78 ක් හමුවී තිබේ. මීට පෙර කළ කැණීම් වලින් ගුරුගල් ආ‍ලේප කළ හිස් කබල්  දෙකක්ද පාහියන් ලෙනෙන් හමු වී තිබුණි. එය යම්කිසි අභිචාර ක්‍රමයක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
ප්‍රාදේශීය කෞතුකාගාර කැණීම් නිලධාරී පාලිත වීරසිංහ, කැණීම් නිලධාරීන් වන කමල්නන්ද සිරිසේන, යූ.ඩබ්ලිව්. කරුණාසේන, සුසන්ත නිහාල් , සමන් කුමාර ඇරෑගම, පී.ජී. ගුණදාස, විශ්‍රාමික කැණීම් නිලධාරී ඇල් ප්‍රඩ් ද මැල්, සත්ව අවශේෂ විශ්‍ලේෂක ජූඩ් පෙරේරා , රුවන් ප්‍රමෝද් , කේ.පී. සුමනදාස ඇතුළු පිරිසක්  පාහියන් ලෙනෙහි ඉතිහාසය මතු කර ගැනීමට වෙහෙසවෙමින් සිටිති. ජාතික උරුම විෂය භාර ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාද, අමාත්‍යංශ ‍ලේකම් කාන්ති විජේතුංග  මහත්මියද වරින්වර කැණීම් භූමියට දුරකතන ඇමතුම් දෙමින් අවශ්‍ය පහසුකම් සලසවමින් උදව් කරති.
පාහියන් ලෙනේ සහ ලංකාවේ කෙරෙන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලට සම්බන්ධ වී සිටින හා ඒවාට උදව් කරන සියලුම  දෙනා සහාය වන්නේ ලාංකේය කාරණාවකටම නොවේ පාහියන් ලෙනෙහි කෙරෙන පර්යේෂණය මගින් ලංකාවේ විසූ ආදි නවීන මානවයාගේ ඉතිහාස කතාව දිග හැරෙන බව ඇත්තකි. එහෙත් ඒ ඉතිහාසය කතාව ගැට ගැසෙන්නේ ජාත්‍යන්තර තලයටය. එනම්, අදින් වසර මිලියන දෙකකට ඉහත දී අප්‍රිකානු මහද්වීපයෙන් මිනිසා ලොවට බිහිවීමත්, ඉන් පසුව ඔහු එක් පැත්තකින් යුරේසියාවට (යුරෝපය) ත්, අනෙක් පැත්තෙන් ආසියාවේ ඉන්දියාව, ලංකාව, ඉන්දුනීසියාව, බෝර්නියෝ, සුළුවෙසි දූපත් යන රටවල් ඔස්සේ ඕස්ට්‍රේලියාව දෙසටත් කළ “මහා සංක්‍රමණය” ගැන කෙරෙන පර්යේෂණ ධාරාවටය. 
ජාත්‍යන්තර තලයේ පුරා විද්‍යාඥයෝ මෙම සංක්‍රමණය, “අප්‍රිකාවෙන් නික්මීම” (භබ ධට ඒටපඪජච) යනුවෙන් හඳුන්වති. එහි පැරණි තොරතුරු සොයා පර්යේෂණ කරති. පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට , අප්‍රිකාවෙන් ලොවට බිහිවූ මිනිසා, “නවීන මිනිසෙකු” (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) බවට පරිණාමය වී ඇත්තේ අදින් වසර ලක්ෂයකට පමණ ඉහත දීය. ඒ වසර දහස් ගණනක් මුළුල්‍ලේ අප්‍රිකාවෙන් නික්ම යන ගමනේ දීය. ලංකාව සම්බන්ධයෙන් මේ කාරණය වැදගත් එකක් බව පුරාවිද්‍යාඥයෝ කියති. දකුණු ආසියාවේ  නවීන  මානවයාගේ පැරණිම සාධක ලංකාවෙන්ද හමුවීම ඊට හේතුවයි. 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා  මහතා කළ පර්යේෂණ මගින් කුරුවිට, බටදොළ ලෙන සහ පාහියන් ලෙනෙන් අදින් වසර 37,000ක් ඉපැරණි නවීන මානව සාධක ලැබිණි. කිතුල්ගල, බෙලි ලෙනෙන් අදින් වසර 27,000 ක් (1986 වසර) පැරණි නවීන මානව සාධක හමුවිණි.
ලංකාව නවීන මානවයාගේ පැරණිම සාධක හමුවන රටක් වන බැවින් ඔහුගේ ව්‍යාප්තිය ගැන කෙරෙන ජාත්‍යන්තර තලයේ පර්යේෂණවල දී අපේ රටට හිමිව ඇත්තේ ඉමහත් කීර්තියකි. එබඳු අවස්ථා බොහොමයකි. 
වර්ෂ 1940 දී පමණ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා උඩවලවේ බෙල්ලන් බැඳි පැලැස්ස එළිමහන් ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය කැණීම් කළේය. ඉන් හමුවුණ නවීන මානව අවශේෂ විශ්‍ලේෂණය කළේ ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ. ආර්. කෙනඩි මහතාය. ඔහු එයින් ලංකාවේ විසූ නවීන මානවයාගේ ශරීර ලක්ෂණ හඳුනා ගත්තේය. ඊට පසුව ආචාර්ය සිරාන් දැරණියගල මහතා ද එහි කැණීම් පාහියන්ගලින් කළේය. ඉන් පසුව 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා මහතා කළ කැණීම් වලින් බෙල්ලන්බැඳි පැලැස්සේ විසූ නවීන මානවයන් අදින් වසර 12,000ක් පැරණි බව කාලනිර්ණය කෙරිණි. 1980-1998 වසරවලදී ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතා පාහියන් ලෙනෙහි කළ කැණීම් වලින් සොයා ගත් මානව අවශේෂ විශ්‍ලේෂණය කළේ ද කේ.ඒ.ආර්. කෙනඩි මහතාය. ඒවා නවීන මානවයන්ගේ ශරීර ලක්ෂණ පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.
කුරුවිට බටදොඹ ලෙන  අරභයා 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා සහ ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරු කළ පර්යේෂණයට , ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ඒ සිම්ප්සන් මහතාද සම්බන්ධ විය. ඔහු ලෙනෙහි කැණීම් පාංශු පැතිකඩ ඉතා නවීන තාක්ෂණික ක්‍රමය යටතේ විශ්‍ලේෂණය කර, දකුණු ආසියාවේ විසූ නවීන මානවයාගේ තොරතුරු සම්භාරයක් හෙළි කළේය. 2005 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් මුල්බෙක් සහ ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු, නවීන මානවයා ඕස්ට්‍රේලියාවට ගිය අතීත ගමනේ දී ලංකාවේ දායකත්වය කෙබඳුදැයි පිරික්සූහ. ඉකුත් මැයි මස 24 වැනිදා කොළඹ  රාජකීය ආසියාතික සමිතියට පැමිණි එංගලන්තයේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ඩී. පැට්‍රාලියා මහතා, ආදි මානවයන් අප්‍රිකාවෙන් නික්මීමේ පුවත සහ දකුණු ආසියාවේ පුරාවිද්‍යා  පර්යේෂණ අරභයා, දෙසුමක් පැවැත්වීය. බ්‍රිතාන්‍යයෙන් පැමිණි 
විශේෂඥවරියක් මේ දිනවල ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අපේ බටදොඹ ලෙනෙන් හමු වූ ගල් ආයුධ නැවත විමර්ශනයට ලක්කරමින් සිටින්නීය. නවීන මානවයන් ආසියාව ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා ගිය ගමනේ දී ලංකාවේ ගල් ආයුධවල දායකත්වය කෙසේ දැයි ජාත්‍යන්තර සංසන්දනයක යෙදීම ඇගේ පර්යේෂණයි  පාහියන් ලෙනෙන් හමු වූ ඇටසැකිල්ලද මේ පර්යේෂණ ධාරාවට වැටෙන එකකි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දෙන අන්දමට. එබඳු නවීන මානවයෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් මින් පෙර කිසිදු දකුණු ආසියාතික  රටකින් මතෛක් හමු වී නැත. “මේ තැනැත්තා මිය ගියාම මළ සිරුර ගෙබිමේ කුණු ගොඩේ වළලා ඇති බවක් පේනවා. ඊට පසුව එය උඩින් ගල් දෙකක් තබලා. එය ඇතැම් විට අවමඟුල් සිරිතක් වෙන්නත් ඇති. නැතිනම් මළ සිරුර සතුන් ඇදගෙන යාම වළක්වන්නත් එහෙම කරන්න ඇති. ඊට පසුව එතැනම ලිප් බොක්කක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයා මැරුණා කියලා ජනාවාසය අත්හැර දමා නෑ. ඔවුන් ඒ ගෙබිමෙහි ජීවත් වෙලා තියෙනවා. ලිප්බොක්කේ ගින්දර නිසා ඇට  සැකිල්‍ලේ දෙපා යාන්තමට පිළිස්සුණු ස්වරූපයක් පේනවා. මට හිතෙන්නේ මේක තරුණ ගැහැනු ළමයෙකුගේ බවයි. මං කියන මේ දේවල් වැරදි වෙන්නත් පුළුවන්. මේක විද්‍යාත්මකව විශ්‍ලේෂණය කළ පසුව නිවැරදි තොරතුරු කියන්නට පුළුවන් වේවි. මේක සමහර විට අදින් වසර 37, 000 ක් පමණ පැරණි එකක් වෙන්නටත් පුළුවන්. එය හරියටම කිව හැක්කේ කාල නිර්ණ පරීක්ෂණවලින් පසුවයි. අපි ඉක්මනින්ම ඇට සැකිල්‍ලේ ස්ථාන හතරකින් අළු සහ  අඟුරු සාම්පල් කාල නිර්ණ පරීක්ෂණවලට යවනවා.” එසේ කියන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාය.
ඇටසැකිල්ල නිරීක්ෂණය සඳහා අඟහරුවාදා (19) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු පාහියන් ලෙනට පැමිණියහ. ඇටසැකිල්ල පිහිටා තිබෙනුයේ ගල් ස්ථරයක් මතය. අනෙක එය තිබෙන්නේ ඉතා සුළු ගැස්මකින් පවා හානි විය හැකි තත්ත්වයකය. එබැවින් එය නිරුපද්‍රිතව ගොඩට ගත නොහැක. “ඉස්සෙල්ලා අපි මේක කාල නිර්ණය කරනවා. ඊට පසුව විදේශීය පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මෙතැනට කැඳවලා ඔවුන් ලවා විශ්‍ලේ   -ෂණ කටයුතු කරවනවා. ඇටසැකිල්ල මෙතැනින් ඉවත් කළ නොහැකි තත්ත්වයක තිබෙන නිසා අපට වෙන කළ හැකි දෙයක් නෑ. මේක ලංකාවට අලුත් අත්දැකීමක් වේවි.” ආචාර්ය සෙනරත් දිසානායක මහතා එහිදී කියා සිටියේය.
2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, ලක්බිම 
ක්‍රිෂ්ණා විජේබණ්ඩාර

චිත්‍ර ලෙනෙහි අති සුන්දර නළඟන රුවෙහි හිමිකරුවා කවුද?

සියලු රහස් සඟවාගෙන නිහඬව බවුන් වඩන “ගිරිකුළ” කුමක් කියයිද?
චිත්‍ර ලෙනකට පිවිසීම දුෂ්කර කාරියකි. ලෙන් මිදුල පිහිටි ගල් පර්වතය දැඩි බෑවුම් සහිත වීම ඊට හේතුවයි. ලෙනට පිවිසීමට නම් අසීරුවෙන් හෝ බෑවුම් තරණය කළ යුතුය. බෑවුම් ගල් බිත්තියෙහි තැනින් තැන එක පේළියකට විඳින ලද සිදුරු සමූහයකි. ඒවා හෙළිකරන්නේ චිත්‍ර ලෙන පිළිබඳව පැරණි කතාවකි. චිත්‍ර ලෙන බෞද්ධ ආරාමයක්ව පැවැති අතීත සමයෙහි දැවයෙන් නිර්මිත පියගැට පෙළක් එහි සවිකර තිබෙන්නට ඇති බව ඒ කතා පුවතයි. පහළ කුඩා තැනි බිමෙහි සිට බලන විට චිත්‍ර ලෙන පිහිටා ඇත්තේ මීටර් 100කටත් වඩා උසිනි. චිත්‍ර ලෙන වූ කලී එක් ලෙනක් පමණක් නොවේ. දැවැන්ත ගිරි ශිඛරයෙහි එකිනෙකට යාබදව පිහිටි ලෙන් ගුහා තුනහතරක එකතුවකි. ඒවාද කටාරම් කෙටු ලෙන්ය. මේ ලෙන් පරිශ්‍රය හමුවන්නේ නීලගිරි කන්දේ මැද හරියට වන්නටය. චිත්‍ර ලෙනට උඩින් තවත් ඉහළට ගිරි කුළු පැතිර ඇති බව වන වඳුළු අතරින් පෙනෙයි. එහිද ලෙස ගුහා ඇති බව පුරාවිද්‍යා මිතුරෝ කීහ. අපි ඉතාමත් අසීරුවෙන් චිත්‍ර ලෙනටත් පිවිසියෙමු. එය ගල් පර්වතයේ කෝණාකාරව පිහිටි කටාරම් කෙටු ලෙන් ද්විත්වයකි. ලෙන් විවරය එකල ගඩොල් බිත්තියකින් ආවරණය කර ඇති බව තවමත් ඉතිරිව ඇති බිත්ති කොටස සාක්ෂි දරයි. චිත්‍ර ලෙන පහළ සිට ඉහළට විහිදෙන ෙශෙලමය පියගැටපෙළට මුහුණලා පිහිටි අතර, එහි බෑයා වූ අනෙක් ලෙන ගිරිකු‍ලේ අනෙක් බෑවුමට මුහුණලා පිහිටියේය. ලෙන් ද්විත්වය ස්වාභාවිකව තැනුණු කෙටි ගල්කුළකින්ද ගඩොල් බිත්තියකින් ද එකිනෙක වෙන්කර තිබිණි. චිත්‍ර ලෙන අඩි 10-12ක් පමණ පළලය.
චිත්‍ර ලෙන සිය බැතිබර අතීතයේදී “පිළිම ගෙයක්” ලෙස භාවිතා වන්නට ඇතැයි සම්පත් සහ පාලිත කීවෝය. එහි ෙශෙලමය අසුනක් මත බුදු පිළිමයක් තැන්පත් කර තිබුණු බවක් පෙනී යයි. පිළිමයට තැනූ ආවරණය ඇතත් දැන් එහි බුදුපිළිමයක් දක්නට නැත. සියල්ල බොහෝ කලක සිටම නිදන් සොරුන්ට බිළිවී තිබේ. අලංකාර චිත්‍ර සටහන් ඇත්තේ ලෙන් වියනේය. එය කිසියම් බදාමයකින් ආස්තරණය කර, ඒ මත චිත්‍ර ඇඳ ඇති බව පෙනී යයි.
ලෙන් වියනෙහි ඇඳ ඇත්තේ විශාල චිත්‍රයකි. ලෙන ඉදිරිපිට සිටගත් විට එහි වම් පසින් වූ වියන් තලයෙහි විශාල ලියවැලක් ඇඳ ඇති බව පෙනෙයි. ලිපි පෙළ ආරම්භයේදී අප පළකළ ඡායාරූපයෙන් දැක්වුණු සුන්දර නාරි රූපය ඇඳ ඇත්තේ ඒ ලියවැල ආශ්‍රිතවය. නාරි රුව, බැලූ බැල්මටම සීගිරි අප්සරාවකගේ රුවට සමානය. රුවෙහි උඩුකය නිරාවරණය. යටිකයට කෙටි ඇඳුමකි. ඇඳුම් ආයිත්තම්ද සීගිරි අප්සරාවන්ගේ  රුවට සමානය. ඇය නළඟනකි. රූපයෙහි ඈ සිටින විලාශය. නර්තන ඉරියව්වකි. වියන් චිත්‍රයෙහි නාරි රුව වර්ග අඩියක් පමණ විශාලය. ලෙන් වියනෙහි දකුණු පස ලියවැල් නෙළුම් මල් ආදිය ඇඳ තිබේ. ලෙනෙහි දකුණු පස වියනෙහි අශ්වයෙකු යැයි සිතිය හැකි සතකුගේ රූපයක කොටසකි. ලෙන වියනෙහි ඇඳ ඇති චිත්‍ර අතීතයේදී ඉතා හොඳින් වර්ණ ගන්වා තිබුණු බවත් පෙනෙයි. 
කාශ්‍යප රජ්ජුරුවන් විසින් අනුරාධපුරයේ සීගිරිය කරවූහයි කියන්නේ ක්‍රිස්තු වර්ෂ 447දී පමණය. නීලගිරි සෑය සමග නම කියැවෙන භාතිකාභය තිස්ස රජ්ජුරුවන් විසුවේ ඊට වසර 400කට පමණ ඉහත ක්‍රි.වර්ෂ 01 වැනි සියවසේය. මේ කාරණය මහත් කුතුහලය උපදවයි. චිත්‍ර ලෙනෙහි ඇති සීගිරි අප්සරාවක් බඳු නළඟන රුව සීගිරි නිර්මාණය කරන්නට පෙර අඳින ලද්දක්ද. නැත්නම් සීගිරියටත් පසුකාලීනව අඳින ලද්දක්ද? යන්න ඒ කුතුහලයයි.
කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා නිලධාරීහු නීලගිරි කන්දේ නළඟන රුව, සීගිරිය සමග සම්බන්ධ කරනවාට කැමති නැත. “මේ චිත්‍ර සොයාගැනීම ඉතා වටිනා, වැදගත් අවස්ථාවක්. අපි ඉදිරියේදී ලෙන් චිත්‍ර පිළිබඳව විද්වත් පිරිසක් මගින් ඒ ගැන වැඩිපුර පරීක්ෂණ කරන්න යනවා. එතකල් වැඩිදුර යමක් කියන්න බෑ.” ආචාර්ය සෙනරත් දිසානායක මහතා එසේ කියයි.
ලෙන් වියනෙහි චිත්‍ර ඇඳ ඇති කොටසෙහි මෑතක ලියූ කුරුටු සටහන්ද දක්නට ලැබේ. ඉන් චිත්‍රවලට මහත් හානිවී ඇති බව පෙනෙයි. “එචි. රටේරාල 1946, සුදු බණ්ඩි- මැංචිනෝනා 1934, වී.මුදලිහාමි, බබා නෝනා සහ ඉංගිරිසි බසින් ලියූ කේ.බි. ඇඩ්වින්” සහ තවත් වගවාසගම් බොහෝමයක් ඒවා අතර වේ. යුද්ධය එන්නට පෙර නීලගිරි කන්දේ නටඹුන් බලන්නට මිනිසුන් පැමිණි ඇති බවක්ද කුරුටු සටහන්වලින් පැහැදිලි වෙයි.
1965 සහ 1981 වර්ෂවල නීලගිරි කන්ද ගවේෂණය කළ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ (වත්මන් පාර්ලිමෙන්තු මන්ත්‍රී) සිය උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය, කෘතියෙහි මෙසේ සඳහන් කරති.
“මේ ලෙන් මනා ලෙස බිත්ති බැඳ ඇත. මෙයින් එකක බිත්ති බැඳ ඇත්තේ ගල් කුට්ටිවලිනි. බිත්තිය නෙරා ගොස් දොරටුවද ඇලවී ඇත. පුරාතනයේ බිත්ති මනා ලෙස කපරාරු කර තිබේ. ඒවා තවමත් බෙහෙවින් ආරක්ෂාවී ඇත. බදාම මත තවරන ලද සායමකි. යම් යම් පුද්ගලයන් මේ බිත්තිවල මෑතදී ලිවීම නිසා ඒවායෙහි  තත්ත්වය කෙළෙසී අවලක්ෂණ වී තිබේ. ලෙන තුළ කරවන ලදැයි සැලකෙන ප්‍රතිමාවල ගඩොළු ශේෂ හා ආසනවල ශේෂ මිස වෙන කිසිවක් දක්නට නැත. එවා නිදන් හොරුන් විසින් විනාශ කරන්නට ඇත. (17) 
උන්වහන්සේ මේ විස්තර කරන්නේ චිත්‍ර ලෙන ගැනය. අද එය එදාටත් වඩා විනාශ වී ගොස් ඇති අයුරු. අපි දුටුවෙමු. ලෙන් වියනෙහි ඇති චිත්‍ර සටහන් එකලද මිනිස් ඇසින් සැඟවී තිබෙන්නට ඇත.
ගිරුකුළ කටාරම් සහිත සෙල් ලිපි කෙටූ ලෙන්ද සමගින් නිහඬව බවුන් වඩනු වැන්න. කන්දේ මුදුනටම යාමට නම් තව පැය තුන හතරක්වත් ඉහළට නැගිය යුතුය. කන්දේ මුදුන් මාලයට වන්නට මීටර් දෙකක් පමණ උසට මීටර් එකහමාරක් පමණ පළලට තැනූ ප්‍රාකාර බැම්මක් බඳු ව්‍යුහයක් එහි ඇති බව සම්පත් සහ පාලිත කීවෝය. කන්ද ඉහළට වන්නට තවත් ලෙන් ඇති බවද ඔවුහු පැවසූහ. ගරාවැටුණු ගල් පඩිපෙළ බැසගෙන අපි ආපසු එන්නට පිටත්වීමු. වන මැද ගමන මහත් දුෂ්කර එකක් විය. සලකුණු තබමින් ගියද ආපසු එන අතරතුරදී අපට පාර වැරදින. උණු උණු අලි බෙටිද, තැනින් තැන වූ වලස්  පා සටහන්ද සිතට එක් කළේ භීතියකි. එක් වගුරු බිමක් බඳු තැනක මේ දැන් බොර කැලැත්තුන මඩවළකි. මඩවළ වටේම කැළෑ පඳුරුවල පවා මඩ ඉහී තිබිණි.   “මේක අලින්ගේ බාත්රූම් එකක්. දැන් නම් ඌරෝ නාලද කොහෙද”, සම්පත් අප හිනස්සමින් කීහ.
නීලගිරිසෑය මුල්කර ගෙන පැතිර ඇති ඉපැරණි නටඹුන් සහිත භූමිය අතිවිශාල එකකි. එහි සෑම තැනකම ඇත්තේ බෞද්ධ විහාරාරාම සංකීර්ණයක පැරණි ශේෂයන්ය. ඒවා හැඩඔය නිම්නයෙහිද පැතිරුණු අතීත රෝහණය හෙවත් පැරණි මාගම රාජධානියේ සලකුණ බව ඉඳුරාම කිව හැකිය. කුමන රජකුගේ සමයේ ඉදිවූවාද යන්න තවම හරියට සොයාගෙන නැතත් නීලගිරි සෑය ඉසව්වේ ඇති පෞරාණික නටඹුන් අතීතයේ පැවති මහා බෞද්ධ ආරාම සංකීර්ණයක් පෙන්නුම් කරන බව නම් පැහැදිලිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට දවසේදී ඒ සියල්ල හෙළිකර ගනු ඇත.
දැන් හැඩඔය නිම්නයෙහි අතීත රූපශ්‍රීය අරභයා අලුත් ගැටලුවක් මතුවී තිබේ. ඒ හැඩ ඔයෙන් එගොඩ නීලගිරි සෑය වනබිමෙන් අක්කර දහසක් කැබැලිවලට බෙදා ප්‍රදේශවාසීන් අතර බෙදාදෙන්නට යතියි කියන අපූරු යෝජනාවයි. ඉඩම් දෙතියි කියන්නේ ගොවිතැන් කරන්නටය. ලාහුගල ප්‍රාදේශීය ‍ලේකම්වරයා නම් කියන්නේ  තවම එබඳු යෝජනාවක් ආණ්ඩුවේ ආයතනවලට ඉදිරිපත්ව නැති බවයි. එහෙත් ප්‍රදේශවාසීන් සිතා සිටින්නේ කොයි මොහොතක හෝ රජය ඒ යෝජනාව ඉටුකරන බවයි.
මේ කාරණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ඉඩම් අයිතිය පැවරුණු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඉඳුරාම විරුද්ධය. එහෙත් යටිකූට්ටු සැලසුම් ක්‍රියාත්මක නොවෙතියි කියා කිසිවකුටත් සහතිකයක් නැත. “මෙතැනින් ඉඩම් දුන්නොත් කැලෙත් ඉවරයි. පුරාවස්තුත් ඉවරයි.” ඔවුහු කියන්නෝය.
ආපසු ගමනේදී හොඳටම පාර වැරදුණු පසුව තරංග සංජීවත් අමිල චන්දික ප්‍රසන්නත් ගස් මත නැග නීලගිරි සෑය තිබෙන ඉසව්ව සොයා ගන්නට තැත් කළහ. කැලය නිසා නීලගිරි සෑය නොපෙනයි. අපි සවස 2.30 පමණ වනතුරු වනයේ ඇවිද්දෙමු. කොයි හැටිවෙතත් දැන් අප සෑය කිට්ටුවට පැමිණ සිටිය යුතු බව සම්පත්ගේත් පාලිතගේත් නිගමනය විය.
සම්පත්, නීලගිරිසෑය කැණීම් භූමියේ පුරාවිද්‍යා සේවකයකුට දුරකතන ඇමතුමක් දුන්නේය.
“මේ, අපි පාර හොයා ගන්න බැරුව ඉන්නවා. මෙතන ඉඳන් හූවක් කියන්න. එතකොට අපිට ඉසව්ව හොයාගන්න පුළුවන්.” ඔහු කීවේය.
ඊළඟ මොහොතේ අපට බොහොම ළඟින්ම හූ දෙක තුනක් ඇසිණි. අප සෑයට කිට්ටුවෙන් ඉන්නා බව ඉන් පැහැදිලි විය. අපිද පිළිතුරු හූ කිව්වෙමු. ඊළඟ මොහොතේ කැණීම් භූමිය දෙසින් නරි රැළක් මෙන් හූ කියනු ඇසිණි. “ඒ හූ කියන්නේ නම් අපට පල් එකට” බණ්ඩාර කීවේය. තවත් විනාඩි පහළොවකදී පමණ සෑය අසලට යාමට අපට හැකිවිය. සවස 3.30 පමණ වෙද්දී පුරාවිද්‍යා වාඩියට පැමිණීමට අපට හැකි විය.


ස්තූතිය - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ට සහ නීලගිරිසෑය කැණීම් වාඩියෙහි සියලුම හිතමිතුරන්ට.
2012 ජූනි 11 වෙනි සදුදා, ලක්බිම

ලංකාවේ රත්තරන් ‘විලිසියානු’ රත්තරන්



ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. දැනුදු ඔවුන්ගේ ශේෂ ගම්වල දක්නට ලැබේ. ඒ අතර ප්‍රකට රිදී කැටයම් කරුවන් වූ නීලවල පරම්පරාව  මෙන්ම අඹන්පොල රන් කරුවන් ගේ පරම්පරාවද ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්වති.


කැලණි ගඟේ රත්තරන් මතුවීම නිසා මේ දින වල ඒ ප්‍රදේශයට වෙසෙසි අවධානයක් යොමු වී පවතී. රත්තරන් ලෝහය ලංකාවේ පොළවේ එතරම් සුලබ දෙයක් නොවේ. එහෙත් පුරාණ රජවරුන් මෙන්ම රන්කරුවන් ද මෙහි තිබෙන රන් ලෝහය අවශ්‍ය පමණින් ලබා ගෙන වැඩෙහි යොදා ගත්හ. සේරුවිල ප්‍රදේශය ක්‍රි.පූ. සයවැනි සියවසේ දී පවා තඹ වලට ප්‍රසිද්ධ විය. එය තම්බපිට්ඨ නමින් හඳුන්වන ලදී. මේ තඹ නිධිය අභ්‍යන්තරයේ රත්තරන් ද ස්වල්ප වශයෙන් ඇති බව හෙළි වී තිබේ. ඒ අතරේ රුහුණේ නිල්වලා ගඟ ඉස්මත්තේ කතරගම ආසන්නයේ මෙන්ම රම්බොඩ ප්‍රදේශයේ ද හඳුනා ගත් රත්තරන් ඉල්ලම් තිබේ. 1907 දී නිකුත් කරන ලද ඛනිජ දෙපාරතමේන්තුවේ පරිපාලන වාර්තාවේ ජේම්ස් ඩැනියෙල් මහතා රත්තරන් ගැන කරන හෙළි දරව්වක් ඇතුලත්ය.  රත්තරන් අඩංගු යයි සැලකෙන රම්බඩ තිරුවානා නිධිය පිළිබඳව එහි වෙසෙසි අවධානයක් දක්වා ඇත. මොරවක් කෝරළයේ රන්කැටි ඇල ආසන්නයේ ද රත්තරන් පවතින බව එම පැරණි වාර්තාවේ සඳහන්ය.   මේ වාර්තාවේ මෙන්ම නිල් පොතේද මේ රත්තරන් ගැන සඳහන් වන්නේ යයි මහාචාර්ය ඩබ්.එස්. කරුණාරත්න මහතා සිය ලිපියක සඳහන් කර ඇත.  ගංගාවලින් රත්තරන් ගරා ගන්නා හැටි ආනන්ද කුමාරස්වාමි මහතා ඉතා සැකෙවින් එම වාර්තාවේ දක්වා ඇත.
‘මෙය සිංහලයින් විසින් ගඟ අදිනවා යනුවෙන් හඳුන්වති. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ගංඟා පතුලේ ඇති මැණීක්  ගරන අතර රන් එක්කාසු වී ඇති පරිසරයක් නම් ඔවුන් විසින් රත්තරන් ගැරීම ද කරනු ලැබේ. මේ සඳහා අඩුම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු හෝ අට දෙනෙක් යොදා ගනිති. මේ සඳහා යොදා ගන්නා විශේෂ උදලු ගරන උදැල්ල හා පෝරු උදැල්ල යනුවෙන් හැඳින්වේ. මේ උදලු මිටි සැහැල්ලු රිටි වලින් සමන්විත වන අතර කෙටි මිටකින් ආරම්භ කර ගඟෙහි වැලි තමාගේ පාදය අසල තැන්පත් කර ගනු ලැබේ. ගඟේ සැඩ පහරට බර අඩු වැලි ගසා ගෙන යන අතර බර මැණික් සහ බර වැලි පාදය අසල තැන්පත් වේ. ඉන්පසු පුද්ගලයින් එතැනම සිට උදලු මිට රිටි බැඳ ක්‍රම ක්‍රමයෙන් දික් කරනු ලැබේ. මේ ක්‍රමයට සතියක් පමණ කාලයක් ගඟ පතුලේ ඇති වැලි අදිනු ලැබේ. ඉතිරි වී ඇති බර වැලි වන ඉල්මනයිට් සහ මොනසයිට් පොල් කටු මගින් එකුත කර නෑඹිලියකට දමා ගරා එහි රත්තරන් කැබලි ඇත්දැයි බලනු ලැබේ. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඇලපාත මිනිරන් දෙණිය කුඩා ඇළක රන් සෙවීමේ දී රත්තරන් හමු වුණි. එමෙන්ම ඇල්ල ඒකල තානායම අසල වෙලක අඩි අටක් ගැඹුට හෑරීමෙන් පසු තිරුවානා බොරලු ඇති මාලාව සේදීමෙන් ඉල්මනයිටි ගානට් සහ සර්කොන් වැලි සමග රත්තරන් හමු වූ බව වාර්තා වේ.’
රන්කරුවෝ මේ මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට ඔවුන්ගේම ගෘහස්ථ පට්ටලය යොද ගත්හ. තඹ රිදී වැලි ආදී කුමන ද්‍රව්‍යයක් තිබුණද ඒවා කොවේ දමා මකවා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන් සතු විය. ඖෂධීය ශාක වල ඉස්ම ඛනිජ ද්‍රව්‍ය ආදිය යොදා ගත් මිශ්‍රණයට මිශ්‍ර රත්තරන් හෝ රිදී දමා අවශ්‍ය නම් රිදී ද අවශ්‍ය නම් රත්තරන් ද ගරා ගැනීමට ඔවුහු දක්ෂ වූහ. අනතුරුව එම දියරය අච්චුවේ බහා සිසිල් වෙන්නට  තබා ගෙන රත්තරන් වාත්තුව ගත් බව පෙනේ.මේ සඳහා භාවිතා කළ වට්ටෝරු රාශියකි. පුස්කොළ ලේඛනයන්හි සඳහන් ඒවා ඇතැම් විට කවියෙන් ද වාක්‍ය ඛණ්ඩවලින් ද හමු වේ. ගංඟා වලින් ගරන මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට රසදිය යොදා ගනී. එම මිශ්‍රණය යොදන්නේ ගඟේ දී නොව පට්ටලයේ දීය. නයිට්‍රික් අම්ලය යොදා මුලින් රිදී හා රත්තරන් වෙන් කර අනතුරුව රත්තරන් එක්කාසු වීමට රසදිය යොදති. තඹ හා රන් මිශ්‍ර කර මසුරන් සාදා ගන්නා ආකාරය කියවෙන කවි යුගළයක් මෙසේය.
සුද්ද තඹෙන් සය කළඳක්   අර ගන්න – සුද්ද රනින් එක් කළඳක් අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න – සත්ත මිටක් කළ රන් මය අට වැන්න
කටහඬ ඇති දෙන්න එක තරමට ගන්න – සොඳදිය ගන්න මිතුරන් හට එක් වන්න
බැට දෙන ඉන්න තුන් වෙලුමෙන් අඹරන්න – තඹ සුණු ගින්න වෙයි මසුරන් දැන ගන්න 

මේ ලෝහ මිශ්‍රණයට දේශියව මසුරන් යයි භාවිතා කළහ.විදේශිකයින් එයට විලිසියානු රත්තරන් යයි කියූවේ විලිසියානුව නමින් කාසියක් ද තිබූ බැවිනි.කෝට්ටේ යුගයේ සිටි ප්‍රකට රණ ශූරයෙකු වූ වීදිය බණ්ඩාර පරංගින් සමග විරසක වී හිර ගෙයක කොටු වී සිටියදී එයට කපන ලද උමගකින් පළා විත් තම රාජධානිය බවට පත් කර ගන්නා ලද පස්යොදුන් කොරළයේ පැලැන්ද නම් ස්ථානයේ අවට යකඩ රිදී හා රත්තරන් ගරා ගන්නා ලද ස්ථාන දැනට ගවේශණය කර ඇත. මගුරු ගඟ රිදී විට ආදී ස්ථාන වල ආචාරීන් නවත්වා යට කී ලෝහ ලබා ගත් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. වීදිය බණ්ඩාර සෙන්පතියාගේ රත්තරන් නළල් පටය මේ රන් වලින් සාදන ලද අගනා කලා නිර්මාණයකි. මැටි මුට්ටියක බහා තිබූ මේ නළල් පටය බදුරලිය කම්මලක් අසලදී 1999 වසරේ දී සොයා ගන්නා ලද අවස්ථාවේ දී එය ඉතා හොඳ තත්වයේ පැවතුණි.  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය විසින් කරන ලද පර්යේෂණයේ දී තහවුරු වූයේ මේවා කැරට් විසි හතරේ රත්තරන් බවයි. විලිසියානු රත්තරන් යනුවෙන් එකළ හඳුන්වන ලද්දේ මේ රත්තරන්ය.
යටකී ලෙස ගංගා වලින් ගරා ගන්නා ලද විවිධ මිශ්‍රණවලින් යුක්ත රත්තරන් කොවේ දමා මකවා ප්‍රයෝජනයට ගන්නා ලදී. රිදී ප්‍රමාණය වැඩි නම් රිදී වෙන් කර ගන්නා ලදී. රිදී සෑදිම යනුවෙන් සඳහන් පුස්කොළ ලේඛණයක් දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. එහි ඇතුලත් මේ වට්ටෝරු මගින් රත්තරන් හා රිදී වෙන් කර ගන්නා සාම්ප්‍රදායික තාක්ෂණය  පෙන්නුම් කරයි.
‘රසදයි කළන් එකයි සාදිලිංගම් කළන් එකයි තුත්තනාගම් කළන් එකයි රත්තරන් පාසානම් කළන් එකයි. මේ දේ කලු අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනියම් කර ඉක්බිති හැර ගෙන තබා කළඳට මංචාඩි හතක බර දමා මකුනු. මෙහි සඳහන් බොහෝ දේ රස වෙදකමට ගැනෙන ඛනිජ ද්‍රව්‍යයන්ය. දහයියා මැදි කර පොල් කටු අඟුරෙන් ගිනියම් කරන ලද කෝවකකට දමා මකවා ගැනීම පැරණි සම්ප්‍රදායයි.’ මේ තවත් වට්ටෝරුවකි. ‘රත්තරන් අල්මාරි දෙකළඳයි රසදිය මංචාඩියයි. එලුමරින්දු ඇතුලේ සාරා දමා නුහුල් පොටකින් වෙනුවැන්න කිරි නෙල්ලි යුෂ තල තෙල් මෙකී දේ මුට්ටියක දමා ලිප තබා මැටි බැඳ ගිනියම් කර නැවත ගෙන කුඩු කර දෙකළඳ මංචාඩි තුන බැගින් ගෙන කෝවේ දමා මකවා ගැනීමෙන් රිදී ලබා ගත හැකිය.’
මේ ආකාරයට රන් රිදී හා තඹ ආදී ලෝහ මිශ්‍රව පවතින ස්ථාන සොයා බලා අමිශ්‍ර ලෝහ සාදා ගැනීම ලංකාවට විශේෂිත වූවක් යයි සිතමි. නිධි වලින් ගරා ගැනීමට වඩා මෙලෙස සුද්ද කර ගන්නා ලද ලෝහ ඇතැම් විට මිශ්‍රව යෙදීමෙන් බුදු පිළිම වැන අගනා නිර්මාණ රැසක් කරන ලදී.  යටත් විජිත යුගයේ සිට මේ අගනා කර්මාන්තය ගැන තොරතුරු රැසක් ගොනු වී තිබුණද ප්‍රමාණවත් තරම් අවධානයක් මෙතෙක් එයට යොමුව නැත. මෑතකදී කැළණි ගඟෙන් මතුවන්නට පටන් ගත් රත්තරන් කැබලි ද මේ ලෙස රටේ වාසනාවට මතුවීමක් ලෙස කල්පනා කළ හැකිය.  රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. රත්තරන් මතු වූයේ අනුරාධපුරයට ඊශාන දෙසින් තුන්යොදුනක් ගිය තන්හි ආචාරවිට්ටි නම් ගමෙහිය. රිදී විහාරය පිහිටි ලෙනකින් එලෙසම රිදී පහළ වූවායයි කියා තිබේ. මෙලෙස නොයෙකුත් ඛනිජයන් පහළ වීම මැනවින් කලමණාකරනයට ලක් කල හොත් ලංකාවේ අතීත සම්ප්‍රදායට සරිලන පරිදි අගනා කර්මාන්ත රැසක් යළිත් පණ පිහිටුවා ගත හැකිය. එහෙත් මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ වර්තමාන කාර්යභාරය වී තිබෙන්නේ රන් කරුවන් ගෙන් හා ගරන්නන් ගෙන් බලපත්‍ර ගාස්තු ලබා ගැනීම පමණකි. කැලණි ගඟේ රත්තරන් ගැරීමට ද රුපියල් දෙදහක මුදලක් අය කිරීමට තීරණය කර ඇත.  සාම්ප්‍රදායික රන් කරුවන් රාශියක්ම ලංකාවේ විවිධ තැන්වල විසිර සිටී. ඔවුන් ගේ කර්මාන්ත ආරක්ෂා කරලීමට හා දියුණු කරලීමට රජයට විධිමත් වැඩපිළිවෙලක් ද නැත. මීට වසර විස්සකට පණ ප්‍රථම රන්කරුවන්හට රත්තරන් කෝටාවක් ලබාදී ඇත.
ආත්මාර්ථකාමී චේතනාවන්ගෙන් පිරි දෙශපාලකයින් හා නිළධාරීන් අරක් ගෙන සිටින රජයේ ආයතන වලින් පොදු ජනතා සුභ සිද්දියක් සිදු වේ යයි  වර්තමානයේ නම් විශ්වාශ කළ නොහැකිය. කැළණි ගඟේ රත්තරන් මතුවීමේ සිද්දියෙන්ද මේ ඛේදවාචකය ඉස්මතු වී ඇත.එබැවින් මේ වාසනාව අවාසනාවක් වන්නටද වැඩි කලක් ගත නොවනු ඇත. පෙර රජවරන් තැන්පත් කළ නිදන් වස්තු වලට කරන විනාශය ගැන කල්පනා කළ හොත් මේ කොල්ල කෑමේ තරම වටහා ගත හැකිය.
- මතුගම සෙනෙවිරුවන්.

නූතනත්වයට අභියෝග කරමින් යළි ජීවය ලබන පෞරාණික හෙළ ගොවිතැන

June 3, 2012 at 12:05 am | Lanka C News

සිංහලයෝ ලොව අද ජීවමාන ව පවතින ඉපැරැණිතම සංස්‌කෘතියකට උරුමකම් කියති. මේ සුන්දර වූත්, නිවහල් වූත් සංස්‌කෘතියේ හර පද්ධතිය ථෙරවාදී බුදුදහම සමග බැඳුණකි. එකී සංස්‌කෘතියේ ජීවනාලිය වූයේ සිංහල ගොවිතැනයි. සිංහලයා ගේ සෞඛ්‍යය ද, සාහිත්‍යය ද, නීතිය ද, ක්‍රීඩාව ද ගොවිතැන සමග බැඳුණක්‌ විය. එමතු නො ව සිංහල ගැමියා ගේ දයාව, කරුණාව, මෛත්‍රිය මෙන්ම උපේක්‍ෂාව ද ගොඩනැඟුණේ ගොවිතැන සමඟිනි. සොබාදහමේ රිද්මය හඳුනා ගැනීමටත්, ඒ සමග වැඩ කිරීමටත්, එය නො ඉක්‌මවා යැමටත් සිංහල ගැමියා උගත්තේ ගොවිතැනෙනි.
රජරටත්, රුහුණේත් ඉදි කර ඇති දස දහස්‌ සංඛ්‍යාත වෙහෙර විහාර, ලොකු කුඩා වැව් අමුණු, ඇළ වේලි දෙස බැලූ විට එවන් නිර්මාණ කිරීමට විශාල ජනගහණයක්‌ සිටි බව සිතා ගැනීම අපහසු නැත. විටෙක කියෑවෙන්නේ රජරටින් වහලකට නැඟි කුකුළකුට මාගමින් බැසීමට හැකි වූ බවයි. ඵෙතිහාසික සාධක අනුව මහාවිහාරයේත්, අභයගිරියේත් විශාල භික්‍ෂූන්වහන්සේලා සංඛ්‍යාවක්‌ වැඩ සිට ඇත. මේ සැමට අවශ්‍ය ආහාර මෙරට නිපදවූවා මිස නොරටින් ගෙන්වූ බවට කිසිදු සටහනක්‌ නැත. එපමණක්‌ නො ව පොළොන්නරුවේ මහ පැරකුම් රජ දවස මෙරට “පෙරදිග ධාන්‍යාගාරය” වූ බවත් කියෑවේ. එකල ජනගහණය ප්‍රධාන ලෙස ම කේන්ද්‍රගත වූයේ ද රජරට සහ රුහුණේ ය. එසේ නම් එකල ගොවිබිම් ප්‍රමාණය අද දක්‌නට ඇති ප්‍රමාණයට වඩා බොහෝ වැඩි වීමට ක්‍රමයක්‌ නැත. එසේ වුවත් රට සහලින් මෙන්ම වෙනත් භෝගවලින් ද ස්‌වයංපෝෂිත විය.
මෙරට සේවය කළ ලන්දේසි සහ ඉංග්‍රීසි රජයේ සේවකයන් ගේ වාර්තා අනුව අදින් වසර දෙ තුන් සියයකට පෙර කුඹුරු ගොවිතැනින් ලබාගෙන ඇති සාමාන්‍ය අස්‌වැන්න අක්‌කරයකට බුසල් 30-40 පමණ ප්‍රමාණයකි. එහෙත් හරිත විප්ලවයේ නමින් හඳුන්වා දුන් “බටහිර ගොවිතැන” නිසා පසුගිය වසර 50ක කාලය පුරා වී වගාවේ අස්‌වැන්න ක්‍රමයෙන් වැඩි වෙමින් පැමිණ අක්‌කරයට බුසල් 70 සිට 150 පමණ අස්‌වැන්නක්‌ ලබා ගැනීමට අද හැකි වී ඇත. වැඩි දියුණු කරන ලදැයි කියන දෙමුහුම් බීජ, බටහිර තාක්‍ෂණික මෙවලම්, පළිබෝධනාශක සහ රසායනික පොහොර නිසා මේ ආකාරයේ අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකි වි ඇත.
අස්‌වැන්න වැඩි වුව ද ඒ හා සමානව ම ගොවිතැනේ වියදම ද ඉහළ ගොස්‌ ඇත. අද ශ්‍රී ලංකාව ලොව ඉහළ ම රසායනික පොහොර ප්‍රමාණයක්‌ භාවිත කරන රටකි. දකුණු ආසියානු කලාපයේ ම ඒ අතින් ඉදිරියෙන් ම සිටින්නේ අපයි. අනෙක්‌ අතට රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය නිසා ස්‌වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳී ඇත. ඒ ඔස්‌සේ එකතු වන බැර ලෝහ සහ විෂ සංයෝග නිසා වකුගඩු රෝග, පිළිකා, දියවැඩියා සහ හෘද රෝග වසංගතයක්‌ ලෙස පැතිර යමින් පවතියි. රටට බත සැපයූ ගොවියන් මෙන්ම සෙසු රටවැස්‌සෝ ද ශීඝ්‍රයෙන් රෝගීන් බවට පත් වෙමින් සිටිති. ඊටත් වඩා ව්‍යසනයක්‌ සිදු වූයේ සිංහල ගැමි ජීවිතයට ය. පංචශීලය සිය උතුම් වූ ප්‍රතිපත්තිය බවට පත් කරගෙන දැහැමෙන් සෙමින් කල් ගෙවූ ගැමියෝ මහා ප්‍රාණඝාතකයන් පිරිසක්‌ බවට පත් වූ හ.
කෘත්‍රිමව නිපදවූ බීජත්, රසායනික ද්‍රව්‍යත් නිසා ස්‌වාභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටී පළිබෝධයන් ප්‍රමාණය ඉහළ ගියේ ය. කෘමීන් වැඩි වන විට ඔවුන් මරා දැමීමට විවිධ වර්ගයේ කෘමිනාශක හඳුන්වා දෙනු ලැබිණි. පර පණ නසන්නකු, එය නො නවත්වා කරන්නකු තවදුරටත් බෞද්ධයෙක්‌ නො වේ. පර පණ නසන්නකුට, අදින්නාදානයත්, කාම මිථ්‍යාචාරයත්, මුසාවාදයත්, සුරාවත් අරුමයක්‌ නො වේ. කෘමිනාශක නිසා සැදැහැවත් බෞද්ධ ගොවියා අබෞද්ධයෙක්‌ විය. බුදුදහම සමග බැඳුණු සිංහල ගොවිතැන අසිංහල ගොවිතැනක්‌ විය. ගොවිතැන ජීවනාලිය කරගත් සිංහල සංස්‌කෘතිය පරිහානියට පත් විය.
මේ අතර හැත්තෑව දශකයේ ඇමෙරිකානු ශිෂ්‍යත්ව ලැබ, පශ්චාත් උපාධි ලබාගත් කෘෂිකර්ම උගත්හු අක්‌කරයට බුසල් 80-100 ඉදිරියට දමා, සිංහල ගොවිතැන නො වැදගත්, නූගත්, ගැමි අදහසක්‌ බවට පත් කිරීමට සමත් වූ හ. ඒ කෙසේ වෙතත් බටහිර ගොවිතැනට අදින් වසර පනහකට එපිට මෙරට තිබූ ගොවිතැනට වඩා වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකි විය. එහෙත් ඒ අපේ ගොවිතැන ද? අපේ වී ගොවිතැනෙන් ලැබුණේ අක්‌කරයට බුසල් 30-50 අස්‌වැන්නක්‌ ද? මේ කුඩා දූපත වගා කර පැරකුම් රජු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළේ කෙසේ ද?

පසුගිය වසර 2-3ක කාලය තුළ සිදු කළ ගවේෂණයෙන් දැනගත් කරුණු මඟින් අනාවරණය වූයේ බටහිර ආක්‍රමණ සමග අප සතු ව තිබූ ගොවිතැන අභාවයට ගිය බවයි. අදින් වසර් දෙ තුන් සීයකට පෙර ද, අක්‌කරයට බුසල් 30-50 ලබා ගෙන ඇත්තේ අපේ ගොවිතැනින් නො වන වග අනාවරණය විය. අප සතු ව ක්‍රමානුකූල වූත්, පරිසරය සමග සුසංගත වූත් මනා ගොවිතැන් රටාවක්‌, තාක්‍ෂණයක්‌ තිබිණ. එහි දැනුම ප්‍රධාන ලෙස ම ලැබී ඇත්තේ ආධ්‍යාත්මිකව සිත දියුණු කළ අය අතින් ය. අපි එය “පෞරාණික හෙළ ගොවිතැන” යෑයි හඳුන්වමු. ආධ්‍යාත්මික බලය පිරිහී ලෞකිකත්වයට මුල්තැන දුන් සමාජ රටාවක්‌ මෙරට පැලපදියන් වන්නට ගත් දා සිට අපේ ගොවිතැන ද පිරිහිණි. එහි උච්ච අවස්‌ථාව එළැඹියේ බටහිර ආක්‍රමණත් සමග ය. ලන්දේසි සහ ඉංග්‍රීසි ලේඛකයන් අක්‌කරයට බුසල් 30-50 අස්‌වැන්නක්‌ ගන්නවා ලෙස හැඳින්වූ, හරිත විප්ලවයේ නාමයෙන් පැමිණි බටහිර ගොවිතැනින් විස්‌ථාපනය වූ ගොවිතැන “පෞරාණික හෙළ ගොවිතැනේ අවශේෂ ව ගිය දැනුම යොදා සිදු කළ ගොවිතැනකි. පරම්පරාවෙන් ලැබුණු දැනුමක්‌ මිස කාලයත් සමග අලුත් වූ පරිසරයට අනුකූලව වෙනස්‌ වූ දැනුමක්‌ එහි නො වී ය. ඇමෙරිකානු පශ්චාත් උපාධිධාරීන් ලෙහෙසියෙන් උගුලා දැමුවේ ඒ අයුරින් “ඇට්‌ටකුණා” වූ ගොවිතැනයි. කුඹුර සකස්‌ කිරීම, බිත්තර වී සකස්‌ කර ගැනීම, වැපිරීම, විවිධ කෙම් ක්‍රම ආදී තාක්‍ෂණික ක්‍රම ගණනාවක්‌ ශේෂ ව අප සතු වුව ද රසායනික පොහොර, පළිබෝධනාශකවලට මුහුණ දීමට ඒවාට හැකි වූයේ නැත.

එහෙත් අප සතු වූ “පෞරාණික හෙළ ගොවිතැන” සිදු කළේ පංචශීල ප්‍රතිපදාවේ පිහිටි සිංහල ගැමියා ය. ආධ්‍යාත්මිකව මනස දියණු කළ විඤ්­න් ඔස්‌සේ ගොවිතැනට අවැසි ඥානය ඔහුට ලැබිණි. කුඹුර අවට පරිසරයෙන් ම පහසුවෙන් සොයාගත හැකි ශාක කොටස්‌ 20-30ක්‌ පමණ යම් වට්‌ටෝරුවකට අනුව සකසාගෙන කුඹුරට ඉසීමෙන් කුඹුරු පසත්, වී පැළෑටියත් වගාවට සුදුසු පරිදි වෙනස්‌ කර ගැනීම පෞරාණික හෙළ ගොවිතැනේ දී සිදු කෙරේ. සිංහල වෙදකමේ වට්‌ටෝරු මෙන් සිංහල ගොවිතැනට ද වට්‌ටෝරු විය. එම වට්‌ටෝරුව රජරටට එකකි. පස්‌දුන් රටට තවෙකකි. දිගාමඩුල්ලට අනෙකකි. රජරටට වුව ද වගා කරන වී වර්ගය, කන්නය සහ ජල සැපයුම අනුව වට්‌ටෝරු වෙනස්‌ විය හැකි ය.
එක්‌ ශාකයක කොටසක්‌ ගත හොත් එහි රසායනික සංඝටක සිය ගණනකි. එවන් ශාක කොටස්‌ 20-30ක්‌ ගත් විට දහස්‌ ගණනකි. ඒවා අතර අන්තර් ක්‍රියා ලක්‍ෂ ගණනකි. එකිනෙකෙන් අනුපාතය වෙනස්‌ වූ විට එලය ද වෙනස්‌ වේ. මේ ගැන දැකිය හැක්‌කේ දියුණු මනසකට ම මිස විද්‍යාගාර පර්යේෂණයකට නො වේ. එක්‌ වට්‌ටෝරුවක්‌ ගැන වසර 100ක්‌ විද්‍යාගාරයක පර්යේෂණ කළ ද එහි රසායනික ක්‍රියාකාරීත්වය නිසි පරිදි විශ්ලේෂණය කළ හැකි යෑයි සිතිය නො හේ. එහෙත් ඉන් ඇති වන ප්‍රතිඵලය කාටත් ඇස්‌ පනාපිට දැකිය හැකි ය. ආරම්භක වට්‌ටෝරුව අනුව ද්‍රාවණය පිළියෙල කර කුඹුරට යෙදූ පසු පස්‌වල වයනය (පසේ සංඝටක වල ස්වභාවය) වෙනස්‌ වේ. අවශ්‍ය නම් කෘෂිකර්ම උපාධිධරයකු ඒ පසේ ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනසක්‌ නිසා යෑයි පැහැදිලි කළ හැකි ය.
පෞරාණික හෙළ ගොවිතැනට අනුව කුඹුරු අක්‌කරයක්‌ කිරීමට එක්‌ කන්නයකට පිදුරු කිලෝ 25-50ක්‌, ගිනිසිරියා කොළ කිලෝ 25ක්‌ පමණ සහ ගොම බෙටි 30ක්‌ පමණ අවශ්‍ය වේ. අදාළ වට්‌ටෝරුව නිසි ක්‍රමවේදයට අනුව යෙදු විට මේ ශාක සහ අපද්‍රව්‍ය යම් සුවිශේෂ අකාරයට ජීර්ණය වේ. පෙර පැවසූ විද්‍යාර්ථියකු ගේ විග්‍රහය අනුව පැළෑටියට අවශ්‍ය නයිට්‍රජන්, ෆොස්‌ෆරස්‌ සහ පොටෑසියම් මෙමඟින් ලැබේ. ඊටත් වඩා ආකර්ෂණීය සිද්ධිය ගොයම් පැළෑටියේ වර්ධනය අවශ්‍ය පරිදි පාලනයයි. අඩි 4-5ක්‌ උස යන්නේ යෑයි ද, එක පැළයට එක බැගින් උණ බට ආධාරක සිටුවිය යුතු යෑයි ඇතැම් කෘෂි උගතුන් මත පළ කරන්නා වූ ද අපේ පැරැණි වී වර්ගවල උස මනාව පාලනය කර වැඩි පඳුරු සංඛ්‍යාවක්‌ ලබා දීමට මේ වට්‌ටෝරුවලට හැකි ය. වඩා මිටි නො වූ ද, උස්‌ නො වූ ද වී පැළෑටියක්‌ මේ ආකාරයට ඇති වන්නේ පැළෑටියේ හෝමෝන ක්‍රියාකාරීත්වය අවැසි පරිදි පාලනයෙන් බව දැන් අපට පැවසිය හැකි ය. ඒ සිංහල ගැමියන් ගේ දැනගැනීමට නම් නො වේ.
පෞරාණික හෙළ ගොවිතැනට දෙමුහුම් විශේෂ නො ගැලපේ. රත්දැල්, සුවඳැල්, මඩතවාළු, කුරුලු තුඩ, කළු හීනටි ආදී සුන්දර නම් ඇති වී වර්ග සිය ගණනක්‌ අප සතු ය. හරිත විප්ලවයේ උෂ්ණයට අතුරුදන් ව ගිය බහුජාතික සමාගම් කිහිපයක්‌ වැඩි මිලට සුපිරි වෙළෙඳසල් හරහා සුපිරි මිලට විකුණන මේ වී වර්ග ගණනාවක්‌ “පෞරාණික හෙළ ගොවිතැනේ” වට්‌ටෝරු අනුව වගා කර සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට අපට හැකි විය.
පුරා පනස්‌ වසරක්‌ පමණ බටහිර කාෂි උගතුන් ගේ අරියාදුවට ලක්‌ වෙමින් මේ බීජ රැකගැනීමට ක්‍රියා කළ දෑ හිතකාමීන් ගැන ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ප්‍රාදේශීය වශයෙන් වැඩි අස්‌වනු දෙන පසට, දේශගුණයට ගැලපෙන වී වර්ග අප සතු විය. කන්නය අනුව ද වඩා ගැලපෙන වී වර්ගය තෝරාගැනීමට තරම් විවිධත්වයක්‌ සිංහල වී ප්‍රභේද සතු ය. එපමණක්‌ නො ව පරිසරයත්, සතා සීපාවාත් විනාශ නො කර, අවුරුද්දකට කන්න 3ක්‌ වගා කිරීමට ද “පෞරාණික හෙළ ගොවිතැන” ඉඩ සලසයි. සීමිත බිමකින් වසරකට වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීමට අප සතු වූ තවත් උපක්‍රමයක්‌ වූයේ මෙසේ කන්න 3ක්‌ වගා කිරීමයි. මහාචාර්ය පරණවිතානට අනුව තෝනිගල පිහිටි කිත්සිරිමෙවන් රජු දවස කරවූ ශිලා ලිපියේ පිටදඩහස, අකලහස සහ මෙදහස යනුවෙන් හඳුන්වන්නේ මේ කන්න තුනයි. මහ කන්නයත් යල කන්නයත් අතර කාලයේ අඩු වයසින් අස්‌වැන්න දෙන බාල වී වර්ග වපුරයි. “හැටදා” යනු ඒ ආකාරයේ වී වර්ගයකි.
“පෞරාණික හෙළ ගොවිතැනේ” වට්‌ටෝරු අපට ලැබුණේ සමථ, විදර්ශනා මාර්ගයෙන් සිත දියුණු කළ අය ඔස්‌සේ ය. මේ අත්හදාබැලීම මුල් වරට කිරීමේ අභියෝගය බාර ගත්තේ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ය. එතුමා සිසු දරුවන් පිරිසක්‌ සමග එක්‌ ව හෙළ ගොවිතැන මහ පොළොව මත සිදු කළ හැකි ප්‍රායෝගික කටයුත්තක්‌ බව පසක්‌ කළේ ය. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ව සිටි නලින් ද සිල්වා මහාචාර්යතුමා ගුරු සිසු පිරිසක්‌ සමග පෞරාණික හෙළ ගොවිතැනේ වට්‌ටෝරුවල ප්‍රබලතාව පෙන්වා දීමට ඉදිරිපත් විය. ඒ අදින් වසර එක හමාරකට පමණ පෙර ය. ඉන් ලැබුණු පන්නරයත් සමග රටේ ස්‌ථාන 20ක පමණ පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැන සාර්ථක ලෙස ආදර්ශනය කෙරිණි. පදවි ශ්‍රීපුර, කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මොණරාගල, තණමල්විල, ලුණුගම්වෙහෙර ආදී රෝහල්වල, වෛද්‍යවරු පිරිසක්‌ ඊට ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූ හ. කළු හීනටි, මඩතවාළු, සුවඳැල් සහ පච්චපෙරුමාල් මේ අයුරින් වගා කළ වී ප්‍රභේද ය. සාර්ථක ම අස්‌වැන්න ලැබුණේ ගම්පහ කිනිගම ප්‍රදේශයෙන් ය. එහි ද මූලිකත්වය ගෙන ක්‍රියා කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ද වන වෛද්‍යවරයෙකි. සාමාන්‍යයෙන් රසායනික පොහොර, වල්නාශක/කෘමිනාශක/දිලීර නාශක සියල්ල යෙදීමෙන් පසුව ද තෙත් කලාපයේ ගම්පහෙන් ලබා ගන්නා අස්‌වැන්න අක්‌කරයට බුසල් 70කට වැඩි නො වේ. එහෙත් පෞරාණික හෙළ ගොවිතැනේ වට්‌ටෝරු ක්‍රමානුකූලව සකසා උපදෙස්‌ අකුරට ම ක්‍රියාත්මක කර සති දෙකෙන් දෙකට අදාළ සත්තාරය කිරීමෙන් ගම්පහ කිනිගිම දී අක්‌කරයට බුසල් 150ක අස්‌වැන්නක්‌ මඩතවාළු වගා කර ලබා ගැනීමට ගොවි මහතුන්ට හැකි විය.

අරුමය අස්‌වැන්න පමණක්‌ නො වේ. එකමුතුවයි, සහජීවනයයි. රසායනික පොහොර අනවශ්‍ය වූ විට, කෘමිනාශක වල් නාශක නැති විට, සිංහල සමාජ බැඳීම ද නැවත ඉස්‌මතු විය. වට්‌ටෝරුවට අවශ්‍ය ද්‍රව්‍ය සොයන විට වැඩිහිටියෝ සිංහල ගොවිතැනට එක්‌ වෙති. වට්‌ටෝරුව කොටන විට තරුණ තරුණියෝ එක්‌ වෙති. වපුරන දිනට ස්‌වාමීන්වහන්සේලා ද වැඩම කරති. වස විස නැති නිසා තිත්ත පැටවු ද, වැලිගොව්වෝ ද කුඹුරට පැමිණෙති. බත් කූරෝ ගොයමට උඩින් පියඹා යති. සමනළයෝ ඉස්‌මතු වෙති. සිරිපාදේ කරුණා කරන්නට යන සමනළයන් පෙන්වීමට අම්මලා දරුවන් කුඹුරු මානයට කැඳවාගෙන එති.

පෞරාණික හෙළ ගොවිතැන අස්‌වැන්න නෙළීමෙන් අවසන් නො වේ. කමත් චාරිත්‍ර වාරිත්‍ර එහි ප්‍රමුඛ අංගයකි. මෙවර හෙළ ගොවිතැනේ පුනර්ජීවනයට උපකාර කළ සියල්ලෝ එක්‌ ව ගම්පහ කිනිගම දී කමත් මංගල්‍යයක්‌ ද පැවැත්වූ හ. සිංහල සංස්‌කෘතිය ගොවිතැන සමග කෙතරම් බද්ධ වී ඇත් දැයි සැබෑවට දැනෙන්නේ කමතේ දී ය. සිංහල ගොවියා කමතේ සිතියම් අඳියි. වංකගිරිය, නයි දරණය, අටමගල ඇඳ දෙවියන් යෑද, වී රැක දෙන ලෙස කන්නලව් කරයි. කමත යනු නෘත්‍යයට ක්‌ෂේම භූමියකි. නැටුමත්, ගීතයත්, වාදනයත් කමතේ දී මනා කොට සංකලනය වේ. සිංහල සාහිත්‍යයේ අසමසම අංගයක්‌ වන සිව්පදය හෙළ ගොවියා ගේ අපූරු නිෂ්පාදනයකි. පැල්කවි, නෙළුම් කවි, කමත් කවි, දේව ස්‌තෝත්‍ර, යාදිනි එහි අපූරුතම කොටස්‌කාරයෝ ය. වස විස නො යෙදූ කුඹුරේ ඉපනැල්ලෙන් අපූරු සුවඳක්‌ හමා එයි. දෙමුහුම් බීජ වගා කළ විට ඒ සුවඳ නැති වූ බව පැරැණි ගොවියෝ පවසති. නැවතත් ඒ සුවඳ ඉපැද්දීමට අපට හැකි විය. ඉරි පැනීම, බුහු ගැහීම, එළුවා ඇල්ලීම මෙන්ම චක්‌ගුඩු ගැහීමට ද පණ එන්නේ ඒ සුවඳෙන් බව වැඩිහිටි ගොවියෝ තළු මර මරා සිහිපත් කරති.
මෙවර යල කන්නයේ රටේ ස්‌ථාන 50ක පමණ “පෞරාණික හෙළ ගොවිතැනට” අනුව වී වගාව සිදු වේ. මෙවර වැඩි අවධානය යොමු වන්නේ විවිධ හේතු නිසා යල කන්නය වගා නො කරන තෙත් කලාපයේ කුඹුරු වෙතයි. අතුරලියේ රතන හිමියෝ මේ සඳහා ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සියනෑ කෝරළයේ කුඹුරු අක්‌කර 100ක්‌ “පෞරාණික හෙළ ගොවිතැන” අනුව වගා කිරීමට සිය දායක දායිකාවන්ට සහ හිතවත් භික්‍ෂුන්වහන්සේලාට උපදෙස්‌ දෙමින් සිටිති.
මේ වට්‌ටෝරු ගොවිතැන වී වගාවට පමණක්‌ නො වේ. එළවළු සහ පලතුරු වගාවටත්, අනෙකුත් භෝග වගාවටත් ඒ යොදාගත හැකි ය. එළවළු වගාවට මේ තාක්‍ෂණ ක්‍රමවේදය නොච්චියාගම දීත්, ශ්‍රී පුර දීත් සාර්ථකව අත්හදා බැලිණි. පලතුරු වගාවට ද සාර්ථක ලෙස මේ උපක්‍රම යෙදිය හැකි බව තණමල්විල ප්‍රදේශයේ ආදර්ශ වගාවක්‌ සිදු කරන වෛද්‍යවරයකු ගොවි මහතුන් සමග එක්‌ ව පෙන්වා දී ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ බීජවල ය. පෞරාණික හෙළ ගොවිතැනට යොදා ගත යුත්තේ අපේ පැරැණි බීජ වර්ග ය. පැරැණි වී ප්‍රභේද රැසක්‌ විවිධ අය අතින් සංරක්‍ෂණය වී තිබුණ ද පැරැණි එළවළු සහ පලතුරු බීජ සොයා ගැනීම දුෂ්කර කටයුත්තක්‌ වී ඇත. ඒ සඳහා හේතු පාදක වී ඇත්තේ වසර කිහිපයකට පෙර විදේශීය සමාගම් කිහිපයක්‌ සිය දේශීය නියෝජිතයන් මඟින් ඉතිරි ව තිබූ පැරැණි එළවළු සහ පලතුරු බීජ ඉහළ මිලක්‌ දී රැගෙන යැමයි. බොහෝ විට මේවා නැවත අප හමුවට එන්නේ විදේශීය නමකින් දෙමුහුම් බීජ ලෙසිනි. අවාසනාවකට මේ වැඩිදියුණු කළ දෙමුහුම් බීජ වගා කිරීමෙන් ලැබෙන එළවළු සහ පලතුරුවල එක්‌කෝ බීජ නැත. නැත හොත් හටගන්නේ නැවත වගා කළ නොහැකි ප්‍රරෝහණ ශක්‌තියක්‌ නැති වඳ බීජ ය. එහි ප්‍රතිඵලය ගොවියාට ඊළඟ කන්නයේත් වෙළෙඳපොළට ගොස්‌ බීජ පැකට්‌ටුවක්‌ මිලට ගැනීමට සිදු වීමයි.
රසායනික පොහොර, කාමි නාශක, වල් නාශක අප මත පැටවූයේ වැඩි අස්‌වැන්නක්‌ පෙන්වා ය. ඒ තරගයෙන් ඔවුහු ජයගත් හ. සිංහල ගොවිතැන රැකීමට නම් ඒ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. එනම් රසායනික පොහොර, පළිබෝධනාශක නැති ව වගා කර ඒ හා සමාන හෝ ඊට වැඩි අස්‌වැන්නක්‌ ලබා ගෙන පෙන්වීමට අපට හැකි විය යුතු ය. අපි ඒ අභියෝගය භාර ගනිමු. එක්‌ කන්නයකින් දෙකකින් සියල්ල කණපිට හැරවීමට නොහැකි වුව ද අපි අපේ බීජ රට පුරා වපුරමින් සිටින්නෙමු. එහි ප්‍රතිඵලය ලැබීමට වසර කිහිපයක්‌ ගත වනු ඇත. එහෙත් ඉවසිලිවන්ත ලෙස බලා සිටීම ද අපට ප්‍රශ්නයක්‌ නො වේ. “ජාතිය රැකෙනුයේ එහි ජීවනාලිය වූ ගොවිතැන රැකුණොත් පමණි” යන ස්‌ථාවරයේ සිට අධිෂ්ඨානශිලීව ක්‍රියා කිරීම මේ අවස්‌ථාවේ ප්‍රමාණවත් ය. පසුගිය මහ කන්නයේ පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත් අස්‌වැන්නේ පළමු කොටස අපි රුවන්වැලි මහා සමිඳුන්ට කිරිපිඬු දානයක්‌ ලෙස පූජා කළෙමු. එහි දී අදහස්‌ දැක්‌වූ අධිෂ්ඨානශීලී යතිනමක්‌ වන මේ ගොවිතැන් ක්‍රමය සිය දෑතින් ම කර අත්දැකීම් ලබාගත් “එප්පාවල ෆොස්‌පෝට්‌ හාමුදුරුවෝ” යෑයි ප්‍රකට මහමන්කඩවල පියරතන හිමියන් ප්‍රකාශ කළ මේ වදන් පෙළ ලිපිය නිමා කිරිමට සුදුසු යෑයි හැඟේ.
“බෞද්ධයෙක්‌ නො කරන්නම ඕන දේ තමයි ප්‍රාණඝාතය. ඒ වුණාට අද අපේ රටේ ගොවියෝ ඔක්‌කොම ප්‍රාණඝාතය කරනවා. කෘමිනාශක යොදන ගොවියෙක්‌ කොහොම ද බෞද්ධයෙක්‌ වෙන්නේ? එහෙම ප්‍රාණඝාතය කරල හදන ආහාර තමයි බුද්ධ පූජාව විදියට තියන්නේ, අපට දානෙට දෙන්නේ. ඉතින් පිනක්‌ සිද්ධ වෙයි ද? මේ රසායනික ගොවිතැන නිසා ගොවියන් පව්කාරයෝ වෙලා, රට අබෞද්ධ වෙලා, ජාතිය පිරිහිලා. ඉතින් ශාසනයක්‌ රැකෙයි ද? ඔක්‌කොට ම ඉස්‌සර වෙලා අපි මේ දහජරා රසායනික ගොවිතැන රටෙන් අයින් කරන්න ඕන. මෙච්චර කල් අස්‌වැන්න නේ ප්‍රශ්නෙ කිව්වේ. දැන් ඒකටත් විසඳුමක්‌ තියෙනවා. ඉතින් ඇයි අපට මේක කරන්න බැරි?”
පෞරාණික හෙළ ගොවිතැන දේශගුණය අනුවත්, පස අනුවත් එකිනෙකට වෙනස්‌ වූ වට්‌ටෝරු අනුව අවට පරිසරයෙන් ලබා ගන්නා ශාක කොටස්‌ යම් නිශ්චිත අනුපාත අනුව කොටා ලබා ගන්නා මිශ්‍රණය තවදුරටත් සකස්‌ කර කුඹුරට යෙදීම මෙහි දී සිදු වේ.
බටහිර විද්‍යාත්මක දැනුම අනුව බැලුවොත් මෙහි දී සිදු වන්නේ පසේ සංඝටක ශාකයේ වැඩීමට අවශ්‍ය වන පරිදි වෙනස්‌ කිරීමත්, ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හිතකර අයුරින් සිදු කිරීමත්, වී පැළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්‌ කිරීම මඟින් ශාකයේ උස, පඳුරු සංඛ්‍යාව සහ අස්‌වැන්න වෙනස්‌ කිරීමත් ය.
පැරැණි වී වර්ග වගා කිරීමේ දී ගැටලු ලෙස බොහෝ දෙනකු අත්දකින වී ගස්‌ උස යැමත්, පඳුරු කඩාගෙන වැටීමත් මේ මඟින් මනාව පාලනය වේ. බීජ වැපිරීමට පෙර පොළොව සකස්‌ කර ගැනීමේ සිට අස්‌වැන්න නෙළාගන්නා තෙක්‌ සති 2කට වරක්‌ වට්‌ටෝරුවකට අනුව සකසාගත් මිශ්‍රණයක්‌ ඉසීම පමණක්‌ මෙහි දී ප්‍රමාණවත් ය.

රසායනික පොහොර, කාමිනාශක/වල්නාශක දිලීර නාශක භාවිතය කිසිසේත් අවශ්‍ය නො වන අතර දෙමුහුම් බීජ යොදාගෙන රසායනික ද්‍රව්‍ය යොදා සිදු කරන ගොවිතැනේ දී ලබාගන්නා අස්‌වැන්න හෝ ඊට වැඩි අස්‌වැන්නක්‌ පෞරාණික හෙළ ගොවිතැනෙන් ලබාගත ගත හැකි ය.
ආදර්ශ වට්‌ටෝරුවක්‌ සහ එහි ක්‍රියාකාරීත්වය අක්‌කර කාලක්‌ සඳහා
(මෙහි ක්‍රියාකාරීත්වය ලැබෙනුයේ මුළු වට්‌ටෝරුව ම එකට කොටා සුදුසු පරිදි සකසා ගත් විට පමණි).
පසේ කිවුල් ගතිය ඉවත් කර පස වී වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීමට
* තිප්පිලි කරල් 06
* සූදුරු තේ හැඳි 04
* අක්‌කපාන කොළ 20 - පසේ ඛනිජ ස්‌වභාවය හිතකර පරිදි සකස්‌ කිරීමට
* සතකුප්ප තේ හැඳි 04 - පසේ හිතකර ක්‍ෂුද්‍ර ජීවී වර්ධනය උත්තේජනයට
* නීරමුල්ලිය ගස්‌ 02 - බීජවල හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්‌ කර බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීමට
* ගොටුකොළ 10
* මදටිය ඇට 20 - ගසේ හෝමෝන ක්‍රියාවලිය වෙනස්‌ කර උස යැම සහ පඳුරු දැමීම පාලනය කිරීමට
* වට්‌ටක්‌කා ඇට 10
* වෙරළු ගසේ කඳේ ඇති පුස්‌ මේස හැඳි 02
* කොමඩු ඇට 20
* වැල් පෙනෙල කොළ අහුරයි - අනවශ්‍ය දිලිර මර්දනයට
* ඔළිඳ ඇට 10  නයිට්‍රජන් ප්‍රභවයක්‌ ලෙස
* නිදිකුම්බා මුල් - ගොම, අළු, පිදුරු සහ ග්ලිරිසිඩියාවලින් ෆොස්‌ෙෆaට්‌ අයන සහ පොටෑසියම් අයන නිදහස්‌ කිරීමට
* වල් කොත්තමල්ලි ගස්‌ 02
* වැල්මී කුඩු තේ හැඳි 04
* රණවරා කොළ අහුරු 02
අක්‌කරයට වී වගාව පිදුරු අඩි 20×20 ප්‍රමාණයෙන් අඟල් 6 ඝනකමට ගොම බෙටි 30ක්‌ සහ අළු පොල්කටු 10ක්‌ පමණ ප්‍රමාණවත් ය.
- වෛද්‍යය චන්න සුදත් ජයසුමන / විදුසර