ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

බොදු පුනරුදයේ තිඹිරිගෙයයි ඒ ගිනිගත්තේ


ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත් ලෙස දොරට වැඩි 'ලංකාලෝකය' හා 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රය ද එහි අකුරු පුවරු සහ අනිකුත් ලීයෙන් නිම වූ කොටස්‌ ද පසුගියදා ගිනි රකුසා විසින් විනාශ කළ අයුරු එදිනෙදා ජනමාධ්‍යවලින් ජනතාවට අසන්නට හා දකින්නට ලැබිණි. එම මුද්‍රණාලය පිහිටි ගාල්ල හබරාදුව රන්වැල්ල ඓතිහාසික විහාරස්‌ථානයේ ද කොටසක්‌ ගින්නෙන් විනාශ වී ඇති අයුරු ලක්‌වැසි දැ හිතැති කාගේත් සිත් සතන් වේදනාවට පත් කළාට සැක නැත. එදින එම විහාරයේ වැඩ සිටි අහංගම ප්‍රේමානන්ද හිමියන් ද ජීවිතය බේරාගෙන ඇත්තේ පෙර පිනකින් යෑයි වාර්තා වේ. මෙම මුද්‍රණාලය මෙන්ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම විහාරය ගැන ද ලාංකික බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක්‌ සනිටුහන් වේ.

වර්ෂ 1840 දී බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ගොඩනඟන ලදැයි සැලකෙන ගිනිමැල්ලේ විහාරය දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හබරාදුව, කතළුව ප්‍රදේශයේ පිහිටියේ ය. ලංකාවේ දස දහස්‌ ගණන් විහාර අතුරින් මෙම විහාරය දුර්ලභ ඝනයේ ඓතිහාසික විහාරයකි. මෙම විහාරය සියම් ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියමින් අටකොන් හැඩයට නිමවා ඇති රමණීය විහාරයකි. ඓතිහාසික, ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක අතින් ද විශාල වටිනාකමක්‌ මෙම විහාරය සතුව ඇත. ලංකාවේ පැරැණිම සිංහල බෞද්ධ පුවත්පත් වූ 'ලංකා ලෝකය' සහ 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය සහිත මුද්‍රණාලය ද පැවතියේ මෙහිය. මේ විහාරයේ අධිපති ධුරය දැරූ බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එකල සියම් රටේ සියම් රජුගේ හිතවතෙකි. එබැවින් රජතුමා විසින් මේ හිමියන් වෙත පූජා කළ විශාල පොත්පත් සංඛ්‍යාවක්‌ මෙන්ම නොයෙකුත් තෑගි භාණ්‌ඩ රැසක්‌ ද මෙම විහාරය සතුව පවතී. එසේම ඓතිහාසික පුස්‌කොළ පොත් විශාල සංඛ්‍යාවක්‌ මෙන් ම දුර්ලභ බෞද්ධ පොත පත ද මේ පැරැණි මුද්‍රණය යන්ත්‍රය මගින් මුද්‍රණය කළ වටිනා ග්‍රන්ථ රාශියක්‌ ද මේ විහාරය සතුව පැවැතීම මේ විහාරයේ වටිනාකම ඔප්නංවයි.

මෙරට මුහුදුබඩ පෙදෙස්‌ අල්ලාගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ඈ යුරෝපීය ජාතීනට අවශ්‍ය වූයේ මුළු රටම තම අණසක යටතට ගැනීමය. ලක්‌දිව ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්‌ථානයක පිහිටීමත්, මෙහි පවත්නා උසස්‌ දේශගුණයත්, රන්, රිදී, මුතු, මැණික්‌ වටිනා සම්පත් පිහිටීමත්, ඔවුනට මේ රට තම අණසක යටතට ගැනීමේ අවශ්‍යතාව වඩාත් ප්‍රගුණ කළේය. තමුන්ගේ ආයුධ බලය හා යුද ශක්‌තිය යොදා මුහුදුබඩ පෙදෙස්‌ අල්ලා ගත් ඔවුනට මුළු රටම තම අණසක යටතට ගෙන පාලනය කිරීමට නම් ලාංකිකයන් තමනට අවනත ජනතාවක්‌ බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව ඔවුනට අවබෝධ වී තිබිණි. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ තමන්ගේ ආගම වූ ක්‍රිස්‌තියානි ආගමය. ක්‍රිස්‌තියානි ආගමිකයන් බිහිකර ගැනීම සඳහා මෙරට බෞද්ධයන් වඩ වඩාත් තම ලබ්ධියට හරවා ගැනීමට ඔවුනට අවැසි විය. ඒ සඳහා ඔවුන් යොදා ගත් එක්‌ වැදගත්ම උපක්‍රමය නම් මුද්‍රණ ශිල්පයයි. මෙකල යුරෝපීය රටවල මුද්‍රණ ශිල්පය දියුණු වෙමින් පැවතිනි. මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය වෙමින් පැවතිනි. පළමුවෙන් ඒ සඳහා අඩිතාලම දැමුවේ ලන්දේසීන්ය. ඔවුහු කොළඹ මුද්‍රණාලයක්‌ ස්‌ථාපිත කර පිටු 40 කින් යුත් Gospels පොත මුද්‍රණය කළහ. වර්ෂ 1740 දී Sinhalese Catechism නම් ක්‍රිස්‌තියානි ධර්මය ගැන සිංහල පාඩම් පොත ද, ඨදිචැකි නම් දෙමළ පොත ද බයිබලයේ නව ගිවිසුම් ක්‍රියා පොත, රෝම කොරෙන්ති සිට ගලානි දක්‌වා පොත ද, ශූභාරංචි පොත් හතර, පරණ ගිවිසුමේ උප්පත්ති කථාව, නික්‌මයැම, ලෙව් කථාව, ගණන් කථාව, ශබ්ද කෝෂ ද මුද්‍රණය කරන ලදී. මේ පොත පත, පත්‍රිකා දැන්වීම්, පත්‍රිකා මගින්, ලාංකික බෞද්ධ ජනතාව තම ලබ්ධියට හරහා ගැනීමට ලන්දේසීන් මුද්‍රණ ශිල්පය උපයෝගී කර ගති. ලන්දේසීන් පලවා හැර මුහුදුබඩ පෙදෙස්‌ තම අණසකට ගත් ඉංග්‍රීසීන් ද මේ මුද්‍රණ උපක්‍රමයම තම පැවැත්ම හා පාලන පහසුව සඳහා යොදා ගත්හ. ඔවුන් ලන්දේසින්ගෙන් අල්ලා ගත් මුද්‍රණාලය පමණක්‌ නොව තවත් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කළ බවට සාධක තිබේ. 1812 දී බයිබල් සමාගමත්, 1815 දී වැසිලියන් සමාගමටත්, 1832 එංගලන්ත සභාව කෝට්‌ටේ ආදී වශයෙන් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කරන ලදී. 1840 'ලංකා නිදාන' සඟරාවද, 1844 'විවේචකයා' සඟරාවද, 1846 කොළඹ කතෝලික සඟරාවද, 1853 දී 'සව්සන්දර වාදය' සඟරාවද, 1854 දී ලංකාභිවෘද්ධිය සඟරාවද, යාපනයේ මානිපායි හි 'උදය තාරගයි' පත්‍රය ද මුද්‍රණය කර ලාංකිකයන් අතරේ බෙදාහරිමින් ලාංකික බෞද්ධ හා හින්දු භක්‌තියත් තම 
ආගමට හරවා ගැනීමේ දැඩි ප්‍රයත්නයක නිරත විය. කොළඹ බයිබල් සමාගමේ මුද්‍රණාලයත්, කොළඹ වෙස්‌ලි විද්‍යාලයීය මුද්‍රණාලයත් එක්‌ව 'මාසික තෑග්ග' මාසික සඟරාව මෙන්ම විශාල පොත්පත් රාශියක්‌ මුද්‍රණය කරමින් රට තුළ බෙදාහරින ලදී. 'ඥානාර්ථ ප්‍රදීපය' නම් කතෝලික පත්‍රය ද ආරම්භ කළේය. මේ සඳහා යුරෝපීය රටවල සහ රජයේ සම්පූර්ණ අනුග්‍රහය හා ආධාර ලැබිණි. මේ සෑම පොත පතකින්ම සඟරාවකින්ම පත්තරයකින්ම හුවා දැක්‌වූයේ ක්‍රිස්‌තියානි ධර්මයේ උසස්‌කමය. බුද්ධාගමට මෙන්ම බෞද්ධ භික්‍ෂුන්ට හා බෞද්ධ දර්ශනයට මේවායින් නිර්දය ලෙස පහර ගැසිණි. බෞද්ධ දර්ශනය මිථ්‍යාදෘෂ්ඨික දර්ශනයක්‌ ලෙස හුවා දක්‌වමින්, එයට නිර්දය ලෙස පහර ගසමින්, ලිපි පළ කරන ලදී. බොහෝ විට අභූත චෝදනා පවා එම ලිපිවල අඩංගුව පැවැති බව සඳහන් ය. මේවාට පිළිතුරු දීමට එදා ලංකාවේ බෞද්ධයන්ට මෙන්ම භික්‍ෂුන් වහන්සේලාට කිසිම මාර්ගයක්‌ නොවීය. එක්‌ පැත්තෙන් රටේ පාලකයන්ගේ බලය, අනෙක්‌ පසෙන් ක්‍රිස්‌තියානු පල්ලියේ හා ජාත්‍යන්තර ආගමික සංවිධානවල බලය මත රටේ බෞද්ධ ජනතාව හා භික්‍ෂුන් වහන්සේලා අසරණ වූහ.

ප්‍රසිද්ධ ස්‌ථානවල වේදිකා සාදා ආගමික වාද පැවැත්වීමට බෞද්ධ නායකයන් පටන් ගත්තේ ඉන් පසුවය. පානදුරාවාදය, උදම්විටවාදය, ගම්පොලවාදය, වනවාසලවාදය ආදී වාද පටන් ගත්තේ ආගම බේරා ගැනීමට හා අපවාදවලින් බුද්ධාගම ආරක්‍ෂා කර ගැනීමේ උදාර පරමාර්ථයෙනි. එහෙත් ඔවුන්ගේ මුද්‍රණ ශිල්පීය ක්‍රම ඉදිරියේ බෞද්ධ ජනතාවට විශාල පසුබැස්‌මක්‌ ඇති විය. මුද්‍රණාලයක අඩුපාඩුව බෞද්ධ ජනතාව තුළ නලියන්නට විය.


මෙවැනි පසුබිමක්‌ යටතේ ජාතිය ගැන, ආගම ගැන, බෞද්ධ ජනතාව ගැන, රට ගැන ඇති වූ වේදනාවෙන් සිටි බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස ස්‌වාමීන් වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් මුද්‍රණාලයක්‌ පිහිටුවීමට ඉදිරිපත් වූ සේක. විශාල බාධක රැසක්‌ මැද උන්වහන්සේට මේ උදාර කටයුත්ත සඳහා වෙහෙසවන්නට සිදුවිය. ගුණ ගරුකභාවය හා සිල්වත්භාවය නිසා උන්වහන්සේ රටේ මෙන්ම විදෙස්‌වල ද මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලීය. බෞද්ධ දානපතියන් දෙදෙනකු සහ දායකයන් රැසක්‌ මේ සඳහා මුදලින් ආධාර කළ ද, එය ප්‍රමාණවත් නොවීය. උන්වහන්සේ තම හිතවතකු වූ සියම් දේශයේ රජතුමාට මේ බව දන්වා යෑවීය. සියම් රජතුමාගෙන් ලද විශාල මුදලක්‌ නිසා සුමනතිස්‌ස හිමියනට මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලයට ගැනීමේ අවස්‌ථාව උදාවිය.

සිංහල බෞද්ධ මුද්‍රණාලයක්‌ මෙවැනි යුගයකදී ආරම්භ කිරීම මොනතරම් අසීරු කරුණවක්‌ ද යන්න අපට පෙනේ. ඒ පැවති දුෂ්කරතාව ගැන 'ලංකාලෝකය' පුවත්පතේම සඳහන් මේ ඡේදය කියෑවීමෙන් අපට මැනවින් පැහැදිලි වේ.

"ඒ කාලයේ මුදල් දීමට පොරොන්දු වූ දායකයන්ගෙන් දෙදෙනෙක්‌ කිසිසේත් මුදල් නුදුන්නෝ ය. පස්‌දෙනෙක්‌ පවුම් දහසයේ ගණන නොදී එයට අඩු ගණනින් දුන්නෝය. ඒ සියලු මුදල් පවුල් 181 ලැබුණාය. ඒ ලැබුණු මුදලින් ඇංගලන්තයෙන් මුද්‍රාංඛන යන්ත්‍රයක්‌ හා ඊට උවමනා බඩු ගෙන්වා සිංහල අකුරු ඊටම බැදුනු දායකයෙක්‌ ලවා කප්පවා අනිකුත් එයට උවමනා කරන බඩුත් ඒ ඒ කර්මාන්තකාරයන් ලවා කරවා යන්ත්‍රය තැබීමට ගෙයක්‌ බදු ගෙන කඩදාසි පිටු අටක්‌ එකවර අච්චු ගහන්නට පුළුවන් පමණ සිංහල අකුරු සපයා 'ලංකෝපකාරය' නමින් මුද්‍රාංකන යන්ත්‍රය තැබූ නමුත් එපමණකින් යන්ත්‍ර ශාලාවට ඕනෑකරන තරම් අකුරු ආදිය සම්පූර්ණ නොවූයේ ය."

(සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාසේකර හිමි) 

මුද්‍රණාලයක්‌ ඇරඹීම මත උන්වහන්සේ එංගලන්තයෙන් මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලට ගනී.

මෙම මුද්‍රණ යන්ත්‍රය ගාලු වාරයෙන් ලංකාවට ගෙන එන ලදී. මෙය 1801 දී එංගලන්තයේ කාස්‌ලන් සමාගම විසින් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රයකි. මුලදී පිටු 08 ක පමණ පොත් මුද්‍රණ කිරීම ආරම්භ විය. එහෙත් ක්‍රිස්‌තියානු පක්‍ෂය විසින් එල්ල කරනු ලබන චෝදනාවලට පිළිතුරු සැපයීමේ මුද්‍රණය කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවීය. එබැවින් උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම පිණිස උඩරට, පහතරට ප්‍රභූන් කිහිපදෙනෙකු මූල්‍යමය ආධාර කළ බව සඳහන් වේ. මුද්‍රණාලය පාලනය කිරීම පිණිස කමිටුවක්‌ පත් කර තිබිණි. ජොහානිස්‌ ද සිල්වා එහි කළමනාකරු ලෙස ද වූ කමිටුවේ මූලිකත්වය ධම්මාරාම හිමියන් විsසින් උසුලන ලදී. 1860 වර්ෂයේදී ආරම්භ කළ 'ලංකා ලෝකය' පුවත්පත ලියාපදිංචිව නොපැවැති බව සැලයි. මෙම මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද 'ලංකා ලෝකය' පත්‍රයේ මුල් පිටපතක්‌ අදත් දොඩන්දූවේ කුමාර විහාරයෙහි පොත්ගුලෙහි ප්‍රදර්ශනයව පවතී. ධම්මාරාම සුමනතිස්‌ස හිමියන්ගේ ගෝලයකු වූ ප්‍රඥාසේකර හිමියන් විසින් රචිත පිටු සිය ගණනකින් යුත් අභිධර්මය පිළිබඳ ග්‍රන්ථ දෙකක්‌ මෙම මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ඇත. ලංකාලෝකය පත්‍රයේ කතෘ ලෙස බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන තිස්‌ස හිමිවරුන් කටයුතු කර ඇත. දැනට ලැබී ඇති එහි මුල්ම පිටපත මුද්‍රණය කර ඇත්තේ 1860 සැප්. මස 10 වැනි දින දී ය. එහි පුවත්පත ජයවර්ධන මුදලිතුමා විසින් ගාල්ලේ ලංකාලෝක මුද්‍රණාලයේදී මුද්‍රණය කරන ලදැයි එහි සඳහන් වේ. 1862.09.11 දින 'ලක්‌මිණි පහන' ඇරඹිනි. එහි කතුවරු වශයෙන් බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන හිමිවරුන්ගේ නම් සඳහන් වේ. හික්‌කඩුවේ සිරි සුමංගල හිමි, වැලිගම සිරි සුමංගල හිමි, සියම් රටේ රජතුමා මෙන්ම අභයකෝන් ජයසුන්දර හේරත් බණ්‌ඩාර මුදලිතුමා මේ පුවත්පත් මුද්‍රණාලය සඳහා බොහෝ උදව් කළ බැව් සඳහන් වේ. සියම් රජතුමා ධම්මාරාම සුමනතිස්‌ස හිමියන් වෙත වටිනා දහම් පොත් රාශියක්‌ එවන ලද බැව් සැලයි. ඒවා අතරින් අට්‌ඨශාලිනි අත්ථයෝජක නම් අගනා බෞද්ධ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළ බුලත්ගම සිරි ධම්මාලංකාර හිමියන් එය පිටු 275 සිංහල පොතක්‌ ලෙස මුද්‍රණය කරන ලදී. එසේම මුන්වහන්සේ විසින් ලියන ලද 'විනෝදනී අස්‌ථයෝජනා' ග්‍රන්ථය ද පිටු 263 කින් මේ මුද්‍රණාලයේ දී ප්‍රකාශිතයි. මෙම වටිනා මුද්‍රණාලයෙන් වටිනා බෞද්ධ පොත් 39863 ක්‌ මුද්‍රණය කළ බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එසේම මිෂනාරි චෝදනාවලට පිළිතුරු දීම සඳහා පොත් දහස්‌ ගණනක්‌ මේ යන්ත්‍රාලයේ මුද්‍රණය කරන ලදී. ශ්‍රී සුමංගල හිමියන් රචිත 'සුදර්ශනය', 'බෞද්ධවාක්‌සාරය', සුමති සංග්‍රහ වැනි සඟරා ද මේ මුද්‍රණාලය තුළින් ජාතියේ සුරතට පත් විය. මෙම මුද්‍රණද්වාරයෙන් බිහි වු තවත් වටිනා ග්‍රන්ථයක්‌ නම් 'පංචවාදය' පොතය. කොටහේනේ දීපදුප්තාරාමයේ වැඩ විසූ වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රිස්‌තියානි පූජකයන් සහ දේශකයන් සමඟ පැවැති ගම්පලවාදය, පානදුරාවාදය, වරාගොඩවාදය, ඔරුගොඩවත්තවාදය, උදම්විටවාදය ආශ්‍රයෙන් මුද්‍රණය කරන ලද මේ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌වලට ප්‍රසිද්ධියට පත්විය. බෞද්ධ අධ්‍යාපනයේ මෙන්ම බුද්ධාගමේ උන්නතිය සඳහා කැප වූ කර්නල් ඕල්කට්‌තුමා, මියුසියස්‌ මැතිනිය වැනි විදෙස්‌ කතෝලිකයන් බුද්ධාගම වැළඳ ගැනීමට මේ ප්‍රකාශනය ඉවහල් විය. මුලදී මෙම මුද්‍රණාලය බද්දට ගත් ස්‌ථානයක පවත්වා ගෙන ගිය අතර පසුව එය ගාල්ලේ එලියට්‌ කන්දේ ශ්‍රී පරමානන්ද විහාරස්‌ථානයට ගෙන එන ලදී. එයට හේතු වූයේ බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එම විහාරස්‌ථානයේ අධිපති ධුරයට පත්වීමය. එම විහාර මන්දිරයේ පුස්‌තකාල ගොඩනැඟිල්ලේ එම මුද්‍රණාලය පවත්වා ගෙන එන ලදී. 1891 අගෝස්‌තු 24 දින උන්වහන්සේ අපවත් වන තුරුම එම මුද්‍රණාලය එම විහාරස්‌ථානයේ පවත්වා ගෙන එන ලදී. සිරි ධම්මාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු එම මුද්‍රණාලය ඒ හිමියන්ගේ ගෝල හිමිනමක විසින් කතළුව ගිණිවැල්ල පුරාණ රන්වැලි විහාරස්‌ථානයට ගෙන එන ලද්දේය. එදා පටන් ගිනිවැල්ල රන්වැලි විහාරයේ නායක හිමියන්ගේ ආවාසයේ වෙනම කාමරයක්‌ තුළ මේ මුද්‍රණ යන්ත්‍රය සුරක්‍ෂිතව තැන්පත් කර තිබිණි. ලක්‌දිව අන්‍ය ආගමිකයන් ක්‍රිස්‌තියානීන් බවට පත් කිරීමට 1735 දී ලන්දේසීන් ඇරඹි මුද්‍රණ කලාවත්, වර්ෂ 1835 දී ඉංග්‍රීසීන් විසින් 'කලම්බු ජර්නල්' මගින් ඇරැඹි ඉංග්‍රීසි පුවත්පත් කලාවත්, වර්ෂ 1841 දී යාපනයේ මානිපායි හි ඇරඹි 'උදය තරගායි' නමැති දෙමළ පුවත්පතත් ලක්‌දිව පුවත්පත් කලාවේ යම් ආරම්භයක්‌ කළ ද එසේම 'ලංකාලෝකය', 'ලක්‌මිණි පහන' පුවත්පත් ද, සිංහල බෞද්ධ පුවත්පත් කලාවේ විප්ලවකාරී ආරම්භයක්‌ සනිටුහන් කරයි. එවන් ජාතික, ආගමික පුනරුදයක්‌ ඇති කිරීමට උපකාරී වූ පුරාවිද්‍යාත්මක අගයකින් යුතු මේ මාහැඟි ජාතික වස්‌තුව (මුද්‍රණ යන්ත්‍රය) ගිනි රකුසා විසින් ඩැහැගත්තේ ජාතියේ අවාසනාවටය.

රණසිංහ ඒ. එන්. පෙරේරා
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින