ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

වීර මද්දුම බණ්ඩාරගේ පිය ගැටුණු මහ වලව්ව

වීර මද්දුම බණ්ඩාර ළදරුවා ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුර පුරා දිව ඇවිදිමින් කෙළි දෙළෙන් පසුවූ අයුරු සිහියට නගා ගැනීම ඇහැලේපොල මහාදිකාරම් වලව්වතුළ මොහොතක් සැරිසරන  ඕනෑම අයෙකුගේ සිතට නැගෙන සිතුවිල්ලකි.
වීර හෙළ කුලකතක් විසූ ඓතිහාසික කන්ද උඩරට ”ඇහැලේපොල වලව්ව” බොහෝ දෙනකුට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ විසූ අන්තිම රජු වූ ශ්‍රී වික‍්‍රමරාජසිංහ නරපතිඳුන් සිදු කළ අමානුෂික සමූහ ඝාතනයය.

සිය දයාබර සැමියා වෙනුවෙන් සිය පතිදම් සුරකින්නට තම දරුවන්ගේද ජිවිත පූජා කළ ඇය පසුව බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලද්දේ කෲර රජතෙමේගේ නොසන්සිඳුන රාගාධික ආශාවන් ඉටු කිරීමට ඇහැලේපොළ කුමාරිහාමි එකඟ නොවූ නිසා බව ඉතිහාසය පිළිබඳ පොත පතෙහි සඳහන් වෙයි.
ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙම ඓතිහාසික නිල මැදුරේ වටිනාකම පිළිබඳව තැකීමක් නොකරමින් හෙළ ඉතිහාසයට අවමන් කිරීමේ අදහසින් ඇහැලේපොළ වලව්ව ඔවුන්ගේ සිර කඳවුරක් බවට පත් කරමින්, මෙරට නිදහස පතා අධිරාජ්‍යවාදී ඉංග‍්‍රීසි පාලකයන්ගේ දුර්දාන්ත පාලනයට එරෙහිවූ හෙළ විරුවන් වධ බන්ධනයට ලක් කරවන ස්ථානයක් බවට පත්කරවා ගත්හ. වඩිග රජු ප‍්‍රථමයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් මෙහි සිර අඩස්සියේ තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
ඉන්පසුව ඉංග‍්‍රීසින්ට එරෙහිව නැගී සිටි වීර කැප්පෙටිපොළ නිළමේ තුමන් ඇතුළු විරුවන් 55 ක් මෙම ස්ථානයේ සිරකර තැබූ ඉංග‍්‍රීසි පාලකයෝ එතැන් පටන් මෙම ඓතිහාසික මැදුර සිපිරි ගෙයක් බවට පත්කළහ.
අදත් මෙම නිල මන්දිරය තුළ එදා මෙරට නිදහස පතා සටන් වැදුණු මේ පොළොවේ පසට යාවුණු විරුවන්ගේ සෝ සුසුම් මෙහි සිසාරා හමා ගොස් ඇතැයි පැවසීම පුදුමය දනවන කරුණක් නොවන බව පසක් කර ගත යුතුය.
කෙතරම් ප‍්‍රතාපවත් අභිමානයක් මෙම වලව්ව තුළ පැවතියේද යත් එහි විසූ ඇහැලේපොල මහාදිකාරම් තුමන්, ඇහැලේපොල කුමාරිහාමි, වීර මද්දුම බණ්ඩාර කුමරු සහ ඔහුගේ සොහොයුරා පිළිබඳව මෙනෙහි කරද්දී හෙළයන්ගේ සිතටද නැගෙන්නේ මහා අභිමානයකි.
වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමාද වී හෝ මෙම ඓතිහාසික මැදුර විනාශ වී යාමට ඉඩ නොතබා අනාගත පරපුර කෙරෙහි ඉතිහාසය පිළිබඳව දැනුමක් ලබාගැනීම් වස් රජය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් බව ”මහනුවර” වැසියෝ පවසති. ඇහැලේපොල කුමාරිහාමිගේ සොහොයුරු විරකැප්පෙටිපොල නිළමේතුමන් ඉංග‍්‍රීසි පාලකයන් හා උරණව ඔවුනට එරෙහිව කැරැුල්ල මෙහෙයවීමේ චෝදනාව මත ඉංග‍්‍රීසින් කැප්පෙටිපොල සෙනවිතුමන් අල්ලා ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුරේ රඳවා තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
අදත් ඉතා මනරම් සහ ප‍්‍රතාපවත් අයුරින් පවතින මෙම ගොඩනැගිල්ල සංස්කෘතිකමය අතින්ද, පුරා විද්‍යාත්මක අගයෙන්ද ඉන් උසස් අගයක් හිමිකර ගනියි.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුගේ මාළිගයට ආසන්නව රජ වීදිය හා කල්‍යාණ වීදිය නමින් හඳුන්වන වීදියේ පිහිටි ඇහැලේපොල මහාදිකාරම් වලව්ව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන කාලය තුළ ඉදිවූවක් විය හැකි බව මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක (එජාප) ශ්‍රී දළදා මාළිගාවේ හිටලූ දියවඩන නිලමේ තැන්පත් නෙරංජන් ප‍්‍රියදර්ශන දුල්ලෑව විජේරත්න මහතා පවසයි.


ඇහැලේපොල වලව්වේ අයිතිය බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් සන්නසක් මගින් ජනපතිට භාරදීම

මෙරට පාලනය කළ වඩිග රජුවන ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුට තම ආත්මය පාවා නොදුන්  දයාබර සැමියා වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය හා තම ජීවිතය පරිත්‍යාග කළ ඇහැලේපොල කුමාරිහාමි ලංකාවේ කතුන්ට ගෞරවයක් හා ආදර්ශයක් දුන් කාන්තාවක් ලෙසින් එදා සිට මේ දක්වා හඳුන්වති.
කෲර රජු විසින් රාජ අණින් ඇහැලේපොල කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කිරීමෙන් පසු මහනුවර පුරවරයේ. නිවාසවල විසූ කුල කතුන් තම නිවසෙහි සතියක් පමණ කාලයක් ලිප් ගිනි දල්වා නැතැයි ඉතිහාසයේ සඳහන් වෙයි. ඉංග‍්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ ඇහැලේපොල කුමාරිහාමිගේ දයාබර සැමියා වූ ඇහැලේපොල මහාදිකාරම්තුමා මුරිසි දිවයිනට පිටමං කරන තෙක්ම නිවාස අඩස්සියේ රඳවා තබාගනු ලැබුවේද ඔහුසතු මෙම වලව්වේය.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ මහ රජතුමා හා ඇහැලේපොල කුමාරිහාමි සම්බන්ධ කරමින් විවිධ ජනප‍්‍රවාද පැවතියද එදා වඩුග රජුගේ අදහසකට එකඟත්වය පළනොකිරීම හේතුවෙන්, තම දරුවා වංගෙඩියේ දමා කොටා මරා දමන්නට රජ අණ නිකුත් කරද්දී එම කාර්ය ඉටු කිරීමට නොහැකිව ඇහැලේපොල කුමාරිහාමි සිහිසුන්ව ඇද වැටුණු පුවත හා ඇයට බෝගම්බර වැවේ ගිලී මියයන්නට සිදුවූ පුවත තුළින්ම වටහා ගත හැකි වන්නේ ඇහැලේපොල කුමාරිහාමි මෙරට විසූ ශ්‍රේෂ්ඨ තුළ කාන්තාවක් බවය.

එවන් ශ්‍රේෂ්ඨ කුල කතක් විසූ නිල මැදුර යම් තරමකට හෝ රාජ්‍ය නායකයාගේ අවධානයට ලක්ව, ඔහුගේ මුවින්ම ප‍්‍රකාශ කළ පරිදි ”මෙවන්වූ පෞඪ ඉතිහාසයක් තිබෙන ඉපැරණි ශ්‍රේෂ්ඨ ස්ථානයක් අනාගත පරපුරට, මෙරට පෞඪ ඉතිහාසය පිළිබඳව දැණුම ලබාගත හැකි පරිදි සුරක්‍ෂිත කළ යුතුය” යන්න බොහෝ දෙනෙකුගේ ප‍්‍රසංසාවට ලක්විය යුතු කරුණකි.

ඇහැලේපොල වලව්වේ මැද මිදුල

වලව්වේ ඇතුළත

ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයට යන තරප්පු පෙළ

මුළුතැන්ගෙය පෙදෙස

අද දක්වාම පවතින ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයේ ලී තරප්පු මන්දිරය ඇතුළත දොර උළු වහු අවට අනෙකුත් ඉපැරණි කාමර සෙවිලි රට උළු වහල, එකල මෙරට පැවැති ගෘහ නිර්මාණ ශිල්පයේ හැකියාවන් විදහා දක්වයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති නිසාම මෙම ඓතිහාසික මන්දිරය සුරක්‍ෂිතව යළීත් රජයට බාර ගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් එහි නිල ධාරීන්ටත්, අදාළ දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය, චන්ද්‍රසිරි ගජධීර මහතාටත් ස්තුතිය පුද කළේය.
එහෙත් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සිංහල ජාතියේ පෞඪත්වය ලොවට කියාපාන තත්ත්වයකට එය සුරක්‍ෂිත කිරීමට එදා මෙදා තුර මෙම ගොඩනැගිල්ල භාරව සිටි සැවොම ක‍්‍රියාකර තිබීම මැනවින් දැකගත හැකිවන්නේ පසුගියදා එම ගොඩනැගිල්ලට ගොස් එහි යථා තත්ත්වය දැක බලාගත් අවස්ථාවේදීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ දැනට ස්ථාපිත කර තිබෙන වීරමද්දුම බණ්ඩාර පිළිරුව දුටුවිට එදා ගහලයාගේ කඩු තුඩට අභීතව ගෙලදුන් මද්දුම බණ්ඩාර දරුවා කෙළිදෙළෙන් දුව පැන ඇවිද්ද මේ මහා මන්දිරය කෙතරම් සුන්දර ස්ථානයක් ලෙස පවතින්නට ඇද්දැයි සිතා බැලිය යුතුය.
මහනුවර පැවැති ඉපැරණි ”වලව්” රැසක් මේ වන විට විවිධ ආයතනවලට හා විවිධ පුද්ගලයන්ට හිමිවී මේ වන විට එම වලව් ඉපැරණි තත්ත්වයෙන් ඉවත්කර නවීකරණයට ලක්කර තිබේ. මහනුවර යුගයේ නායක්කර් යුගය ලෙස සලකනු ලබන ශ්‍රී ලංකාවේ අන්තිම රජවූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (1815) රජ සමයේ මහනුවර නගරය තුළ වලව් 18 ක් තිබී ඇති බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 1818.03.27 දින සිතියම අනුව අනුමාන කළ හැකිය. එම යුගයේ රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් දිසාවේ, අදිකාරම්, මහ අදිකාරම් ආදී නිලධාරීන්ට ලබාදී ඇති රාජ්‍ය නිල නිවාස ඒ වලව් 18 බැව් පැරණි ග‍්‍රන්ථවලින් සනාථ වෙයි.
ඇහැලේපොල වලව්ව, ඇල්ලේපොල වලව්ව, දුනුවිල වලව්ව මොලදණ්ඩ වලව්ව, නුගවෙල වලව්ව. මුල්ලේගම වලව්ව කපුවත්තෙ වලව්ව. වෑගොඩපොල වලව්ව, පිළිමතලාව වලව්ව, එරමුදුලියද්දේ වලව්ව, දෙහිගම වලව්ව, මීගස්තැන්න වලව්ව, මාම්පිටිය වලව්ව, ඇරැව්වාවල වලව්ව, ඇරෑපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව, දුල්ලෑව වලව්ව, රත්වත්තේ වලව්ව අවසන් රජු යටතේ සේවය කළ ප‍්‍රභූන්ගේ නිල නිවාස බව පැරණි පොත පතෙහි සඳහන්ය.

අද වනවිට මෙම වලව් අතරින් ඉතිරිවී ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල, මහනුවර මහනගර සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා රජවීදිය රිමාන්ඞ් බන්ධනාගාරය පවත්වාගෙන  යන ඇහැලේපොල නිලමේ තුමාගේ පැරණි වලව්වය.
මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල. අතීතයේ පිළිමතලාව වලව්ව වන අතර පසු කලෙක ඉංග‍්‍රිසි පාලනය පැවැති අවදියේ එම ගොඩනැගිල්ල ඉංග‍්‍රීසි පාලකයන් විසින් විවිධ වෙනස් කිරීම් වලට ලක්කර තිබේ.
මහනුවර ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල රජ සමයේ දුල්ලෑව වලව්ව වශයෙන් පැවැති අතර ඉංග‍්‍රිසින් මහනුවර, අත්පත් කරගත් පසු දුල්ලෑව වලව්ව විවිධ වෙනස් කිරීම් වලට ලක්කොට ඉංග‍්‍රීසින්ගේ නවාතැනක් ලෙසට භාවිත කර පසුව එය ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල බවට පරිවර්තනය වී තිබේ.
ඉංග‍්‍රීසි පාලකයන් සමයේ දුල්ලෑව වලව්ව ක්වින්ස් හෝටලය බවට පත් කිරීමෙන් පසුව එහි ගොඩනැගිලි මුදුනේ ඉංග‍්‍රිසි හමුදාවේ නිල හිස්වැසුම සහිත දැවැන්ත ලාංඡුනයක් ඉදි කර ඇති ඔවුන් එය ශ්‍රී දළදා මාළිගාවට මුහුණලා මැනවින් දර්ශණය වන ආකාරයෙන් නිර්මාණයකර තිබී ඇත.
මහනුවර ඇහැලේපොල වලව්වේ ඉපැරණි ඉදිකිරීම් සඳහා ඉපැරණි ගඩොල් යොදා ගෙන තිබේ. මෙහි කුලූනු තනා ඇත්තේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රම උපයෝගී කරගනිමිනි. ආරුක්කු සහිත ඇතුළුවීමේ ද්වාර කීපයක්ද ඇහැලේපොළ වලව්ව ඇතුළත දක්නා ලබේ.
දුනුවිලදිසාවට අයත්ව තිබූ දුනුවිල වලව්ව අද වනවිට මහනුවර මහ නගර සභා ගොඩනැගිල්ල ලෙස පවත්වාගෙන යයි. එම ගොඩනැගිල්ලේ ඉපැරණි ඉදිකිරීම් අදද දක්නා ලැබේ. එදා තිබූ ඉපැරණි දොර උලූවහු අදද ඉතා ශක්තිමත්ය.

ජේ.ඒ.එල්. ජයසිංහ

2013 ජූලි මස 21| ලංකාදීප කර්තෘ මණ්ඩලය

දඹදෙණියේ සිට ලක්දිව එක්සේසත් කළ රජතුමාගේ පුරාවෘත්තය

වයඹ පළාතේ සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන දඹදෙණිය සොබාසිරියෙන්ද සම්ප‍්‍රදායික ගැමි ජීවන රටාවෙන්ද යුතු ගම්මානයකට නිදර්ශනයකි. දඹදෙණිය නගරය මැදින් ගමන් ගන්නා  ඕනෑම අයෙකුට තම වම්පසින්ද දකුණු පසින්ද සුවිශාල පර්වත දෙකක් දැකගත හැකිය. මෙම ප‍්‍රදේශයේ ඇති උසම ස්ථාන වන්නේද මෙම පර්වත දෙකයි. එතෙර ආක‍්‍රමණ දෙකකින් රට ගලවාගෙන එක් ධජයක් යටතට ගෙන ආ නරේන්ද්‍රයාගේ ජයභූමිය පිහිටියේ මෙම පර්වත දෙක අතරය.

මාලිගාව පිහිටි පර්වතය

දඹදෙණිය තම ප්‍රෞඩ උරුමය අදටද මහීකාන්තාවගේ ඇකයේ සැඟවෙන්නට ඉඩදී නිහඬව බලා සිටියි. අප්පුවා ලෙස ජනවහරට එකතුවූ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා මේ බිම තම විජිතය කරගෙන ලංකා රාජ්‍ය පාලනය ඇරඹුවේ ක‍්‍රිස්තු වර්ෂ 1236 දීය. එවකට තිබූ පොලොන්නරු රාජධානිය 1215 දී කාලිංග මාඝගේ මෘග ප‍්‍රහාරයට ලක්වූ පසු  දඹදෙණිය මාළිගාගල තරම්මවූ හුදකලා බෙලිගල නමැති ගල් පර්වතයක රාජ්‍යයක් පැන නැගුණේය. මෙම ප‍්‍රදේශය ප‍්‍රාදේශීය පාලනයකට අයත් වූයේය. එවක සිරිලක පරිපාලන යාන්ත‍්‍රණය සකස් වී තිබුණේ මෙවැනි කුඩා ප‍්‍රාදේශීය රාජ්‍ය කිහිපයකිනි. බෙලිගලට සමාන්තරව නූතන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ යාපහුවේ පිහිටි සුහගිරි පව්වද ප‍්‍රාදේශීය පාලකයකුට වාසභූමිය විය. ඔවුහු පොලොන්නරු මහ වාසලට කප්පම් ගෙවමින් ප‍්‍රදේශය පාලනය කළහ.
මෙකී පැරණි බෙලිගල රාජධානිය අද පොල්ගහවෙල සිට සැතපුම් දහයක් පමණද අලව්වේ සිට සැතපුම් 8 ක් පමණද දුරින් කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ පිහිටියේය.
ක‍්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාඝ මහා බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩා වැදුණේය. ඔහුගේ හමුදාව නූතනයේ ඇෆ්ගනිස්ථානයට කඩාවැදුණු ඇමෙරිකාව ප‍්‍රමුඛ සන්ධාන හමුදාවට සමකළ හැක්කේ ඔවුන් සතුව තිබූ කෲරත්වය නිසාය. තමාද බෞද්ධයකු බවත් තම ඥාතීන්ගේ උරුමය සොයා පැමිණි බවත් කී කාලිංග මාඝ පොලොන්නරුව රාජධානිය වැරහැලි බවට පත් කළේය. එවකට එහි රජකළ පරාක‍්‍රම පාණ්ඩ්‍ය රජතුමා අල්ලා ඔහුගේ දෑසම අන්ධ කළ කාලිංග මාඝ පොලොන්නරුවේ සිට වසර හතළිහක් පමණ රාජ්‍ය පාලනය කළේ කොල්ලකෑමෙන්, ස්ත‍්‍රී දුෂණයෙන් හා කඩුවෙනි.
කාලිංග මාඝ සැලකිය යුතු බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩාවදින විට මහා පරාක‍්‍රමබාහු හා මහා විජයබාහු යටතේ වසර දෙසීයකට ආසන්න කාලයක් විටින් විට බුරුමය හා මැලේසියාව තෙක්ම ඉන්දියානු සාගරයේ තම බලය පැතිරූ ලක්දිව නාවික හමුදාව අකර්මණ්‍ය වෙමින් පැවතිණ. මහා රජවරුන් දෙදෙනෙකුගෙන් පසු බේද භින්න වෙමින් තිබූ පොලොන්නරු රාජධානියට මාඝ කඩා වැදුණේ ඉන්දියාවේ උතුරේ සිට දකුණ දක්වා විවිධ ප‍්‍රාන්ත වලින් සොයාගත් දාමරිකයන් දහස් ගණනක් රැගෙනය.
බෙලිගල රාජධානිය මතුවන්නේ මෙහිදීය. මාපා නමින් හැඳින්වූ තුන්වැනි විජයබාහු හැර  රජ පවුලට උරුමකම් කී කිසිදු කුමාරයකු මේ වන විට ලක්දිව නොසිටින්නට ඇත. බෙලිගල ලංකා රාජ්‍යයට අලූත් රාජ වංශයක් ඇරඹීය. වසර ගණනාවක් බෙලිගල රජකළ තුන්වැනි විජයබාහු රජතුමා මෙයටත් වඩා තැනිතලාවක පිහිටි ජම්බුද්දෝණිය කරා පියමං කළේය. එය අද හැඳින්වෙන්නේ දඹදෙණිය නමිනි.
දඹදෙණිය ලංකා ඉතිහාසයේ අමරණීය තැනකට ගෙන ආවේ ඔහුගේ පුත් දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා විසිනි. මහා විජයබාහු රජතුමා ගමෙන් ගම වීදියෙන් වීදිය බළකොටුවෙන් බළකොටුව මුදාගෙන ඈත රුහුණේ සිට පොලොන්නරුව කරා සතුරු කඳවුරු බිඳලූ අයුරින්ම දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා පොලොන්නරුව දක්වා ගමෙන් ගම වීදියෙන් වීදිය මුදා ගත්තේය. ඔහු මේ සටන කළේ තම ආදි මුත්තනුවන් වන මහා විජයබාහු නර දේවයාණන් ගේ සංග‍්‍රාමෝපාය ආදර්ශයට ගනිමිනි. ඔහුට කුඩා කල සිටම තිබූ ඥාති කරදර මැද මේ සංග‍්‍රාමය සඳහා මග සොයා ගන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා කුඩා කල ගෙවූයේ තම පියාණන්ගේ මුල්ගම යැයි සැලකෙන නැම්බඹරයේය. මෙම නැම්බඹරය අද නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරම්මල නගරයේ සිට සැතපුම් හතරක් පමණ දුරින් ඇති කළුන්දාව නමැති සුන්දර ගම්මානයේ පිහිටි වෙල්යායකි. එම නමින්ම යුතු ගල් තලාවක්ද එහි වේ.

දඹදෙණි රාජධානිය උදාවෙමින් පවතිද්දී පොලොන්නරුව මිහිපිට අපායක්ව පැවතිණ. කුලීනයන් හා කුලහීනයන් අතර බලහත්කාරයෙන් විවාහ කරවූ මාඝ තම කුලී සොල්දාදුවන්ට කුලීන සිංහල කතුන් බලහත්කාරයෙන්ම විවාහ කරදුන්නේය. ප‍්‍රතිමා විනාශ කර විහාරස්ථානවල හමුදා කඳවුරු ඇති කළේය. ඉතිහාසය ඔහු ගැන තවත් බොහෝ දෑ කියයි.
තුන්වැනි විජයබාහු රජතුමාට විවිධ බිසවුන්ට දාව දරුවන් කීපදෙනෙකු සිටින්නට ඇත. කිරීටයට නිත්‍යානුකූල උරුමය හිමිවූ දරු දෙදෙනා වූයේ පරාක‍්‍රමබාහු හා බුවනෙකබාහුය. පසුව පරාක‍්‍රමබාහු දඹදෙණියේද බුවනෙකබාහු කුරුණෑගල ද රජවූහ. පියාගේ අන්‍ය බිසවකගේ කුස උපන් වත්හිමි ගෙන් මේ දරු දෙදෙනාට කරදර ඇති විය. වත්හිමි වූ කලී මුස්ලිම් බිසවකගේ පුතකු යැයි සමහර ජනකතාවල සඳහන් වේ.
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ නැම්බඹරය ඔහුට බලවත් ඥාති පිරිසකගේ රැුකවරණය ලබාදෙන්නට ඇත. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙස බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙතත් එය දුටුගැමුණු කුමරු කොත්මලයට පළාගොස් ගමගෙදර ජීවත්වූ කතාවට ඉතාම සමානය. ඔහු ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනාට පෙම් කරන්නට උත්සාහ කළත් ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනායි. අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්න පොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොසිටින්නට සිංහල ජාතිය අතිමහත් විපතකට මුහුණපානු ඇත. මාඝගේ බළකොටු රුහුණු පුරවරය ළඟටම විහිදී පැවතියේ ඔහුගේ වසර හතළිස් ගණනක පාලන සමය අතරතුරය. දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොවන්නට මෙම ව්‍යාප්තිය ත‍්‍රිසිංහලය පුරාම පැතිරයාම සිදුවන්නට ඉඩ තිබිණ.

දඹදෙණියේ රජකම් කරමින් සිහල රාජ්‍යයේ ඒකීය භාවය රැුකදුන් පරාක‍්‍රමබාහු කුමාරයාගේ බාල කාලයට සමරූප කතා අදටත් කළුන්දාව ගමේ පැරැුන්නන් තුළ ඇත. ඒ කතාවක් සිරිපැරකුම් නමින් චිත‍්‍රපටයකට නගා ජාත්‍යන්තරයට ගෙනයාමෙන් සෝමරත්න දිසානායක මහතා කර ඇත්තේ අගනා සේවයකි. ඔහු කුඩා කලසිටම උදේ සවස දකින දඹදෙණි පර්වතයත් ඒ හා බැඳී ඇති අප‍්‍රමාණ වූ ජනප‍්‍රවාදත් සිරි පැරකුම් චිත‍්‍රපටයට උපත දෙන්නට ඇත. වසර පනහකට ආසන්න රාජ්‍ය කාලයේ හා එයට වඩා බොහෝ පැරණි ප‍්‍රාදේශීය රාජධානි යුගයේ සිටම සිංහල රජවරුන්ගේ සන්නාහ සන්නද්ධ සේනා රැස්කරවූ දඹදෙණි රාජ අංගනය අද දැකිය හැක්කේ පරක් තෙරක් නොපෙනෙන වෙල් යායක් ලෙසය. මේ වෙල්යාය මැදින් නුදුරේදීම කටුනායක යාපනය අධිවේගී මාර්ගය ගමන් කිරීමට නියමිතය. පැරණි රාජධානිය දෙකඩ කරමින් වැටී ඇති මහ මාවත දිගේ ගමන් ගන්නා සැමවිටම සිංහලය එක්සේසත් කළ දඹදෙණි රජු වෙනුවෙන් ඔබගේ හිසද නැවෙන්නේ නම් එය ඔබට කළ හැකි උපරිම ආචාරය වේ.
 පේ‍්‍රමකීර්ති රණතුංග
2013 ජූලි මස 07  | ලංකාදීප කර්තෘ මණ්ඩලය