ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

ශ්‍රී වික්‍රම රාජසිංහ රට පටවා අවුරුදු එකසිය අනුනවයයි

මෙම සිද්ධිය පුරාණ පුස්කොළවල සටහන්ව ඇත්තේ මෙසේය. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය දෙසැට වැන්නෙහි සන්දනංගම සිද්ධාර්ථ උන්නාන්සේ වන මා විසින් ඉංගලන්තේ පරදේශක්කාරයෝ කන්දේ නුවර වටලා යුද්ධ කර රාජසිංහ රජ්ජුරුවෝ අල්ලා ගත්තා කියා පුවක්ගොල්ලේ දහතැන් ගෙදර මොහොට්ටාලගේ අතේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයාගෙන් (අනෝමදස්සි) ආරංචි උනාය.
රජ්ජුරුවෝ අපේ විහාරයට සමීප පාරෙන් කොලොම්තොටට ගෙනියනවා බලන්ඩ අපේ ගුරුන් වහන්සේ ද මා ද අපේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයා වන මැණික්රාල මෙහොට්ටාල ද ශ්‍රී වික‍්‍රම රාජසිංහ  රජ්ජුරුවන්ගේ මාතෘ බිසෝ සාමි වූ සිරියම්මාල් දේවින් වහන්සේගේ හිසේ රුජාවට වෙදකම් කොට වෛද්‍යරත්න යන නාමය පටබැඳගත් පුංචිරාල මොහොට්ටාල ද මැණික්රාල මොහොට්ටාලගේ පහිනිපත් කාරයා වන නවගන්තර රාල ද (කාරියසේකර) කිරියා කියන කින්නර දුරයාද ගියාය.
රජතුමා, බිසෝවරුන් ඇතුළු රාජකීයයන් ගමන් ගෙන ඇත්තේ දෝලාවලිනි. මොහොට්ටාලාගේ ගෙදර ආරක්ෂාවට සඟවා තැබූ රජතුමා සතුවූ කවිච්චි රන් රිදී වාරාගන් කස්ථාන ආදී වටිනා බඩු වර්ග ද ඉංග‍්‍රීසින් විසින් පැහැරගත් බව දහනැක්ගෙදර මොහොට්ටාල කීවේය. රජ්ජුරුවෝ දෝලාව නවත්වා එහි සිටි පිරිස සමග කථා කර ඇත. රජ්ජුරුවන්ගෙ මවුබිසවුන් දෙන්නාත් කුඩා බිසවුන් දෙන්නාත් ගමන් කළ දෝලා කීපයක්ම ඒ අතර වී නමුත් කිසිවෙකු ජෝන් ඩොයිලි එම පිරිස අතර සිටි බවක් දැක නැත.


රජතුමාට දෝලාවෙන් පිටතට බැසගන්ට බැරිවන අයුරු ඉංග‍්‍රීසි සොල්දාදුවෝ එක් පසෙක ද අනික් පසින් ඉංග‍්‍රීසින් කුළියට ගත් සිංහල හේවායෝද මුරකරමින් ගමන් කර ඇත. රජතුමා අත් දෙකද පය ද එළියට දැමු පසු මැණික්රාල මොහොට්ටාල හා පුංචිරාල මොහොට්ටාල ද රජතුමාගේ අත පය සිඹ ඇඬුවා පමණක් නොව ‘‘දෙයියෝ අපෙන් වරදක් වුනානම් සමාවෙන්ට හොඳයි’’ කියා ඇත. මෙහිදී රජතුමා පැවසූ වදන් වලින් සිංහලයම කම්පාවනු නොඅනුමානය.
‘‘අයියේ උඹේ වැඩිමහල් සහෝදරයා පුවක්ගොල්ලේ දහනැක්ගෙදර කළිඟුරාළ සට්ටබිරාළ මට විශ්වාසවන්තකම් පා සිට පිළිමතලව්වෙන්, රත්වත්තෙත් එක්ක එකතුව මට ඌරුපා කඩවතදී හදිකළ නිසාවට හිස ගසා දැම්මාය. උඹලා මට එක්නැලිගොඩ වගේ හදි කළේ නැත. උඹලා යහතින් ජීවත් වෙයල්ලා. මම ආපසු එන්නේ නැත. මින් පස්සේ සිංහලේ රජකෙනෙක් නැත.’’
රජතුමාට සහෝදරයෙකුට මෙන් විශ්වාසවන්තව සිටි කීප දෙනෙකුගේ නම් මෙහිදී සිහිපත් කර ඔවුන් දිවිහිමියෙන් අමතක නොකරන බව කීවේය. ඔවුන් නම්, ගනන්ගොමුවේ මොහොට්ටාල, මොරගනේ මොහොට්ටාලය. එමෙන්ම රජතුමාට විරුද්ධව ඉංග‍්‍රීසින්ට උපකාර කළ රජතුමා නෑදෑයින්ට මෙන් සැලකූ පිිරිසගේ නම්ද රජතුමා මේ අවස්ථාවෙහි දී සිහිපත් කළේය. ඔවුන් වූයේ කවුඩුමුන්නේ මොහොට්ටාල, කන්දෙගෙදර මොහොට්ටාල, හුරුග්ගමුවේ, යක්කාවිට, උඩුමුල්ලේ, හංවැල්ලේ, මූනමලේ, මිරිහාන්පිටියේ, පතඟිවත්තේ හා කලූන්දෑවේ ගම්වල සිටි සමහරුන්ය. රජතුමා දෝලාවෙන් පිටත්වීමට පෙර එතැන රැුස්වී සිටි පිරිසට වැඳ ආචාර කොට අනෝමදස්සි හිමියන් ලියා දුන් ධම්ම පදය එතුමා ළඟ තිබී මොණරවිලට දුන් බවත් උන්වහන්සේගේ අකුරු මුතු ඇට මෙන් ලස්සන බවද කීවේය. මෙම ධම්ම පදය ද කැප්පෙටිපොල හිස ගසා දමන අවස්ථාවේ බදුල්ලේ දිසාපති සෝවස්ට දුන්නේ?
එසේම රජතුමා උන්වහන්සේට තෑගි දුන් පන්හිඳ රජතුමාගෙන් සිහිවටනයක් ලෙස තබාගන්නා මෙන්ද ඉල්ලීමක් කළේය. මෙම අවස්ථාව වී ඇත්තේ පිරිස කොළඹ බලා ගමන් ගත් මාර්ගයේ පිහිටි නූතන දඹදෙණියේදීය.
රජතුමා ඇතුළු පිරිස නොපෙනී යන තෙක්ම රැුස්ව සිටි පිරිස මහත් ආවේගයෙන් බලා සිට ඇත. මැණික්රාළ මොහොට්ටාල බිම පෙරලි පෙරලී හයියෙන් ඇඬුවේ ‘‘සිංහලේ දෙයියෝ නැති වුනා x අපට රජෙක් නැති වුණා, අපි නැති වුණා’’ යැයි විලාප නගමිනි.
මේ අතර පුංචිරාළ වෙදරාළ හැසිරුණේ වෙනත් ආකාරයකටය. ඔහු මැණික්රාළ මොහොට්ටාලටත් බැණ වදිමින්, ‘‘අපිට වින කරපු, දරුවන් කොටවපු වඩිගයා නැතිවුණා’’ යැයි කියමින් එම ස්ථානයෙන් පිටව ගියේය. අවුරුදු දෙදහස් පන්සිය ගණනකට වඩා අපට හිමිව තිබූ රාජ්‍යත්වයේ අවසානය මෙසේ සනිටුහන් කරමි.
1815 පෙබරවාරි 18 ඉරුදින ඉංග‍්‍රීසින් විසින් අල්ලාගනු ලදුව රජතුමා 1816 ජනවාරි 24 දින කොන්වෝලිස් නොෟකාවෙන් වෙල්ලෝරයට ගෙනයන ලදී. 1832 ජනවාරි 30 දින වෙල්ලෝරයේදී මිය යන විට රජතුමාට අවුරුදු පනස් දෙකක් වූ අතර රජු උස අඩි හයයි අඟල් දෙකක්ව කාලවර්ණ සිත්ගන්නාසුලූ දේහයකින් යුත් මදුරාසියේ සිටි නායර් නම් නායක්කාර වංශිකයෙකි. රජතුමා මියගොස් ඇත්තේ බඬේ අජීර්ණයකිනි.
(පන්නල සුමේධ නාහිමියන්ගේ මීවැව විත්ති පොත හා වෙනත් ලේඛන ආශ‍්‍රයෙනි.)
2014 පෙබරවාරි මස 27 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


අපේ ජාතික කොඩිය


අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු

1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම.

2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ.

3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා - රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව)

4. කඩුවක් අතින් ගත් සිංහය :- ( සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. ) කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ. සිංහයා සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කිරයි.

5. කෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම

6. ග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව

7. අයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බව

8. නාසය :- හරිවැරදි හඳුනා ගැනීම

9. දිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බව

10. ඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීම. ඇස කඩුව දෙසට යොමු වීමෙන් පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බව.

11. මුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීම

12. කේසර කැරලි 24 :- ගිහි විනය

13. වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බව

14. වලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය

15. කඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම

16 කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මය
කෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය.

17. නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීම.

18. අසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භූතයන්ගෙනි.

19. කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍ය

20. අසිපත් දැරීම:- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ.

21. හිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය

22. පාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතර

23. උඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යය

24. අත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීම

25. තැඹිලි වර්ණ තීරුව :- ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ.

26. කොළ වර්ණ තීරුව :- මුස්ලිම් ජනතාව

සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි.

ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා
*********************************************
එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය.

විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය.

සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය.

සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ.

වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය.

රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය. 

පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය.

පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි.

වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය.

වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය.

සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි.

හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය.

සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය. 

එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය.

නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය.

ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය.

ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය.

සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය.

කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි.

එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය.

රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය.

විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය.

සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි.

විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම
***************************************************
ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි. 

ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා
***************************************
කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය. 

ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ.

වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.

වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි.

ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය. 

කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය.

හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය. 

චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.

හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය.

මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.

ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය.

කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය.

කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.

ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය.

ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ.

ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක)

මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය.

ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය.

ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.

කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය.

කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ.

කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය.

ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය.

ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.

ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය.

ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය.

හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය.

පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. .

ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි.

වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය.


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම
වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි.

එළාර - දුටුගැමුණු සටනේ ප්‍රධාන සැපයුම් කඳවුර

අසේල රජු මරා රජරට පාලන බලය පැහැරගත් එළාර නමැති ආක‍්‍රමණිකයා (කි‍්‍ර.පූ. 205-161) උතුරේ පාලකයා වී සිටි සමයේ දකුණේ සිටි පාලකයන්ට මර්මස්ථානයක් වූයේ කටුගස්තොටත් (කඩුගත්තොට) පොල්ගොල්ලත් අතර මහවැලි ගෙඟ් වක්කලමට යාබද උතුරු ප‍්‍රදේශයයි. අද නවයාලතැන්න නමින් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි. එදා රුහුණු මායා පිහිටි (රජරට) යනුවෙන් ශ්‍රී ලංකාව බෙදී තිබුණු පරිපාලන මායිම්වල කේන්ද්‍රස්ථානය වූයේ කටුගස්තොට වීම නවයාලතැන්න කඳවුර පිහිටුවීමට බලපෑමේ ප‍්‍රධාන හේතුව වී ඇත. ගෙවීගිය දශකයේ නිම වූ තිස් අවුරුදු යුද්ධයේ යුධ නායකයන් මෙන්ම දුටුගැමුණු රජුගේ (කි‍්‍ර.පූ. 161-137) හා ඔහුගේ පිය රජු වන කාවන්තිස්ස රජුගේ යුධ නායකයන් ද මර්මස්ථාන හඳුනාගෙන ඒවාට රැකවරණය දී තිබුණු බවත් එදා කෙරුණ ජාතික විමුක්ති සංග‍්‍රාමයට මේ භූමිය ජය බිමක් වූ බවත් අනාගත දේශපේ‍්‍රමී පරපුරට හඳුන්වාදීමේ අරමුණින් මේ ලිපිය ලියමි.



තලගුණා වෙහෙර

ශ්‍රී ලංකාවේ වංශකතාව ලියූ භික්‍ෂූන් වහන්සේලා එම යුගයේ ජාතික වගකීමක් ඇති රහසිගත ස්ථාන සහ සැපයුම් මාර්ග පිළිබඳ තොරතුරු තම ලිපිවලට ඇතුළත් නොකළේ රහස්‍ය භාවය සැබවින්ම රැක ගත යුතු නිසාය. නවීන යුද තාක්‍ෂණයත් වර්තමානයේ ඉදිවන මහා මාර්ගත් අනුව එදා මර්මස්ථාන අද යුගයට අදාල වන්නේ නැත. එම හේතු නිසා දුටුගැමුණු රජුගේ පියාණන් රට මධ්‍යයේ ඉදිකළ මෙම සැපයුම් කඳවුර පිළිබඳ තොරතුරු සෙල්ලිපි ආදී ලිපිලේඛන වලින් සොයා ගැනීම අපහසු බැවින් එවැනි කඳවුරක් නොතිබුණා යැයි බැහැර කිරීමට ගියහොත් ඓතිහාසික සත්‍යයක් සදාකාලිකව වැසීයාමට පුළුවන. ජන ශ‍්‍රෑතියේ එන තොරතුරු හා වෙනත් ඓතිහාසික සාධකත් පරිසරික සාධකත් ගලපා එළඹෙන නිගමනවලින් ඉහත සත්‍ය ඔප්පු කිරීමට පුළුවන.
එදා රහස්‍ය භූමියක්ව පැවති නවයාලතැන්න දුම්බර මිටියාවතට අයත් බිම් කඩකි. අංක 54 දරන: 150,000 මහනුවර මෙට්ටි‍්‍රක් සිතියමට අනුව ප‍්‍රදේශය හඳුනා ගැනීම පහසුය. දුම්බර යන්නේ තේරුම දුමින් බර වූ එනම් දුමින් වැසී ගිය භූමිය යනුයි. වර්තමාන යුගයට වඩා අතීතයේ අවුරුද්දේ වැඩි දින ගණනක් මීදුමින් වැසී තිබුණ ප‍්‍රදේශයක් වූ බවට සැක නැත. වර්තමාන යුගයේ පවා මහවැලි නිම්නය මීදුමින් බර වී පවතින අවස්ථා ඇත. දේශගුණික වශයෙන් කඳුරට තෙත් හා කඳුරට වියළි කලාප වෙන් කෙරෙන මායිමේ පිහිටි බිමකි. ඒ අනුව යෙදෙන නමේ අර්ථයෙන්ම වැසීගිය භූමියක්ම එදා හෙළයින් මේ රහසිගත කඳවුරු ඉදිකිරීමට තෝරාගෙන ඇත.
ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයට අනුව යාලඅත්ත යනු මඩුව වැනි අර්ථයක් ගෙන දෙන වචනයකි. නවයාලතැන්න යන්නෙහි අර්ථය සාලතු නවයක් ඉදිකළ තැනි බිමක්ය යන්න ජනශ‍්‍රැතියේ සඳහන්ය. කඩුගත්තොට සිට පොල්ගොල්ල දක්වා අතර භූමියේ යුද්ධ කඳවුරු 9ක් ඉදිකර ඇත. මාගම්පුර රාජධානියේ සිට උතුර බලා ඇදී ආ මහා යුද්ධ සේනා මලය රටේ ගිරිදුර්ග මගහරවා ගනිමින් වෙරළබඩ තැන්නෙන්ම ගමන් ගත්තත් ඒ හමුදාවලට අවශ්‍ය සැපයුම් මාර්ග වල රහස්‍යභාවය සඳහා ඒවා වැටුනේ මලය රට හරහාය. මේ සඳහා මහවැලි ගංගාව යොදාගෙන ඇත. ගංගාව සමනොළ අඩවියේ සිට උතුර බලා ඇදී ගියත් නවයාලතැන්නේ දී ඇති කරන වක්කලමෙන් ගංගාව නැවත දකුණු දෙසට ගමන් කරයි. උතුරට ගමන් කරන සැපයුම් සේවා නැවත දකුණට හැරීම ප‍්‍රඥාගෝචර නොවේ. එබැවින් විවේකයත් ගබඩා පහසුවටත් යන දෙකටම ඉතා යෝග්‍ය ස්ථානය වූයේ නවයාලතැන්නය.
මේ යුගයේ කෙරුණ විදේශ වෙළෙඳාමේ දී අවි ආයුධ විකිණීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් පැවැති කටුගස්තොටින් අවශ්‍ය යුද උපකරණ ලබා ගැනීමේ පහසුවත් ඒවා ගබඩාකර යුද්ධ භූමියට සැපයීමේ පහසුවත් පැවතීම කඳවුර ඉදිකිරීමට බලපෑ තවත් සාධකයකි. දීඝවාපියේ සිට මිනිපේ හරහා ගෙන ආ ධාන්‍ය ගබඩා කිරීමටත් හොඳම හා ආරක්‍ෂිත මධ්‍යස්ථානය වූයේ මෙම කඳවුරුයි. රාජාඥාවෙන් දකුණු ප‍්‍රදේශ හැර දා පැමිණි ගිලනුන්, ළදරුවන්, මව්වරුන්, පූජ්‍ය පක්‍ෂය හා මහළු පිරිස්වලට රැුකවරණය විවේකය ලබාදීමට ඉදිකළා. වූ කඳවුරු වූයේ ද මෙයයි./div>
අතීතයේ ඉතා දක්‍ෂ දුනුවායන් දුම්බර ප‍්‍රදේශයේ වේඩුරුව ගම්මානයේ වාසය කළ බව පුරා විද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන්ගේ ප‍්‍රකාශන වල සඳහන් වේ. යුධ අභ්‍යාසවල දී එම ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට හොඳම ප‍්‍රදේශය වූයේ ද නවයාලතැන්නය. ජනශ‍්‍රැතියට අනුව ගෝඨයිම්බර යෝධයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහි දී හේවායින් යුද්ධ පුහුණුව ලබා ඇත.
යුද්ධයක දී විවිධ සේවා අවශ්‍ය වන බැවින් ඉදිකිරීම් කටයුතු කළා වූ විවිධ ශිල්ප ශ්‍රේණිවල පිරිස්වලට ද මෙහි රැුකවරණය ලැබී ඇත. වෛද්‍යවරුන්ට අවශ්‍ය රැුකවරණ දුන් කඳවුර වූ බැවින් වෛද්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද මේ කඳවුර පවත්වාගෙන ගොස් ඇත. ගැමුණු කුමරුගේ මව වූ විහාර මහාදේවිය පවා කඳවුර අධීක්‍ෂණයට පැමිණි බව ජනශ‍්‍රැතියේ සඳහන් වේ. තමාගේ ඥාතිවර උත්තිය, කුමරුගේ සැපදුක් බලා වටපුළුව දෙසින් වේඬුරුවට එතුමිය පැමිණි විට වෙඬරුවේ දේශහිතෛෂීන් වෙඬරු ඔරුවක් පරිත්‍යාග කර ඇත. එබැවින් ඒ ගම වේඬරුව නමින් ප‍්‍රසිද්ධ විය.
ඉතිහාසඥයන්ගේ පිළිගැනීම වන්නේ ගැමුණු රජු තම යුද්ධ හමුදා සඳහා විශාල තූර්ය වාදක කණ්ඩායම් ප‍්‍රමාණයක් ගෙන ගිය බවකි. එම තූර්ය වාදක කණ්ඩායම් රඳවා තබා ගැනීමට ද මේ කඳවුර උදව් වී ඇත. ගිලන් වූ සොල්දාදුවන්ට (හදිසි අනතුරු නිසා) රෝහලක් වශයෙන් ද පවත්වාගෙන ගොස් ඇත.
එළාර - දුටුගැමුණු සටන ජාතික විමුක්ති සංග‍්‍රාමයක් වූ බැවින් දීර්ඝ කාලයක් වුව ද එළාරගේ හමුදා සමඟ සටන් කිරීමට දකුණෙන් ජනතාව පැමිණියේ පවුල් පිටින්ය. ඒ පැමිණි ජනතාව නිසා මලය රටේ මෙම කඳවුර වටා තාවකාලික ජනාවාස ඇති විය. ඒ ජනතාවගේ සහයෙන් කඳවුර වටා හේන් එලිපෙහෙළි වී ඇත. එම හේන් අතරින් අද පවා හඳුනා ගැනීමට ඇති හේන් දෙක උඩතල හේන සහ පල්ලේතල හේනයි අද උඩතලවින්න හා පල්ලේතලවින්න වශයෙන් එදා තල වගා කළ හේන් දෙක ජනවහරට පැමිණ ඇත. වින්න යන්න ‘‘හේන්’’ යන වචනයෙන් බිඳීගිය වචනයකි. (හේන, හීන්න වී වින්න බවට පත් වී ඇත) කඳවුර අවට පොල් වගාව ද කෙරී ඇත. එම ගම්මාන පොල්ගොල්ල හා උයන්වත්ත වශයෙන් ජනවහරට එකතු වී ඇත.
කාවන්තිස්ස රජකළ රෝහණයත් එළාර රජකළ පිහිටි රට වෙන්කළ මායිම වූයේ මහාවාලූකා නදියයි. යථෝක්ත කඳවුර මහවැලි ගෙඟන් උතුරේ පිහිටි රටේ ඉදිකිරීමට තරම් කාවන්තිස්ස රජු බලසම්පන්න වී ඇත. කාවන්තිස්ස රජු යක්‍ෂ ගෝති‍්‍රක සම්භවයක් ඇත්තෙකු වෙයි. ඔහුට මලය රටේ දුම්බර ලක්ගල කඳු ආශ‍්‍රිතව වාසය කළ යක්‍ෂ ගෝත‍්‍රික ඥාතීන්ගේ සහය ලැබී ඇත. මලය රටේ වන දුර්ගයන්ගෙන් ද, උතුරින් බලකඩුව දුර්ගයෙන් ද, කාරනදිය මගින් ජල දුර්ගයකින් ද, නැගෙනහිරින් දුම්බර කඳුවැටියෙන් ද, බටහිරින් ගලගෙදර දුර්ගයෙන් ද, ස්වභාවික රැුකවරණ දීමට සමත් වී ඇත. ජනවහරට අනුව සොල්දාදුවන්ට අවි ආයුධ හා සාමාන්‍ය ජනයා සඳහා ගොවි උපකරණ සෑදීම හා අලූත්වැඩියා සඳහා කඳවුරට ආසන්නව මහා කර්මාන්ත ශාලාවක් පැවත ඇත.
ඒ කම්හල් පැවති ඉඩම පසුකාලයක කම්මලේ වත්ත ලෙස ජනවහරට එක් වී කාලයාගේ ඇවෑමෙන් හඳුනාගැනීමට පවා නොහැකි ස්ථානයක් බවට පත් වී ඇත. කඳවුරේ හේවායින්ට අධ්‍යාත්මික සුවය ලබා දීමට ඉදි කළා වූ විහාර භූමියත් උතුරේ යුද්ධය සඳහා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත් සැපයුම් මාර්ග අද වන විටත් හඳුනාගැනීමට පුළුවනි.
යුධ බිමට යෑමට සිටි හේවායන්ගේ මානසික සුවය සඳහා කඳවුරේ උතුරු දෙසින් පූජනීය ස්ථානයක් ඉදිකර ඇත. ශ්‍රී ලංකාවේ 1: 10,000 මෙටි‍්‍රක් සිතියම්වල අංක 54/14 දරන සිතියමේ පල්ලේතලවින්න, උඩගම්මැද්ද උඩතලවින්න මඩිගේ හා උඩතලවින්න මෙගොඩ ගම්මැද්ද යන ග‍්‍රාමසේවක වසම්වලින් මැදිව මෙම ස්ථානය පිහිටා ඇත. එකී ස්ථානය ගැන පුරාවෘත්ත රාශියකි.
කඳවුරට ‘තල’ නමැති ධාන්‍ය සැපයූ තලහේන් දෙක මගින් ලබාදුන්නා වූ ‘තල’ වලට කෘතගුණ පලකිරීමට මේ ස්ථානයේ ‘තලගුණා’ වෙහෙර නමින් චෛතයක් ගැමුණු රජුගේ අණින් ඉදිකර ඇත. කතුවරයා අඥාත මහනුවර යුගයේ සන්දේශ කාව්‍යයක ශේෂව පැවති පත් ඉරුවකින් උපුටා ගත් කාව්‍යයක මෙසේ දැක්වේ.

වනසනා විලස බලසෙන්     සතුරන්නේ
යන දිනා ගැමුණු සෙනඟක්    සමගින්නේ
නැවතුනා තැනක ලකුණකට කර    දුන්නේ
තලගුණා වෙහෙර ගලබල    තලවින්නේ

වෙහෙර පිහිටි ගල වේරගල නමින් අද ජනවහරට පැමිණ ඇත. මෙම ගල්තලාවේ අතීතයේ ගොඩනැගිලි පැවති බවට ද ලෙන් විහාරයක් පැවති බවට ද සලකුණු ඇත. එහි වටාපතක සහ සිරිපතුලක ලාංඡුනය කොටා ඇත. අනුරාධපුර යුගයේ සිරිපා වන්දනාව බහුලව පැවති බවට ඓතිහාසික තොරතරුැ ඇති නිසා මෙම චෙත්‍යය ගැමුණු යුගයේ ඉදි වූ පූජනීය ස්ථානයක් බවට එය හොඳම සාක්‍ෂියකි. කාවන්තිස්ස රජුගේ යුගයේ අම්බස්තලය හෙවත් මිහින්තලය එළාරයේ පාලනය යටතේ පැවති බැවින් අඹතලා භූමියක සිරි මවා පෑමට මෙම ස්ථානයේ අඹගස් වගාකර ඇත. අද පවා පැරණි අඹගස් දැකීමට ඇත.
අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වභාවික ආපදාවන්ට ගොදුරු වූ චෛත්‍ය මහනුවර යුගය වනවිට තුඹසක ස්වරූපයට පත්ව තිබූ බව ජනශ‍්‍රැතියේ දැක්වේ ඉංග‍්‍රීසි පාලනයේ මුල් සමයේ ප‍්‍රදේශයේ ප‍්‍රභූන් පිරිසක් උඩතලවින්න විහාරස්ථානයේ වැඩ විසූ නාරද නැමති ස්වාමීන් වහන්සේ කෙනකුගේ මග පෙන්වීමෙන් චෛත්‍ය අලූත්වැඩියා කර ඇත. ඒ ආසන්න කාලයක දී නැවතත් ගරා වැටීමකට ලක් වූ චෛත්‍යයේ ගල් කුට්ටියක් අසල්වැසියකු තම නිවසේ අවශ්‍යතාවකට ගෙනගොස් ඇත. නැවත ඔහු උමතුවෙන් එය චෛත්‍ය අසලටම ගෙනත් දැමූ බව ද ජනශ‍්‍රැතියේ සඳහන් වේ. මින්පසුව කලක් ගත වනතුරු කිසිවකු චෛත්‍ය ප‍්‍රතිසංස්කරණයකටවත් ඉදිරිපත් වී නැත.
1980 දශකයේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ රජය කාලයේ චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැනීම් වලට භාජනය විය. එයින් ලැබුණ රන්පිළිම ඇතුළු පූජනීය භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා අංශයට භාරදුන් බව එදා ජාතික පුවත්පත් වලින් අනාවරණය කර තිබුණි. එම කටයුතු සිදු වී ටික කලකින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයත් සමඟ චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ප‍්‍රමාද විය. පසුව බලයට පත් ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ පාලන කාලයේ චෛත්‍යයේ වැඩකටයුතු නිමාවෙන් පසුව ඇති තත්ත්වය මෙම ඡුායාරූපයෙන් දැක්වේ.
මුුහුදු මට්ටමේ සිට මීටර් 535ක් උසින් යුත් ස්ථානයක් කඳවුරට අදාළ ආරක්‍ෂාව සැපයීමේ බැලූන්ගල වශයෙන් යොදා ඇත. එම ස්ථානය බලනගල වශයෙන් ජනවහරට පැමිණ ඇත. (මහවැලි නිම්නයේ සිට අඩි 300ක් පමණ උස කන්දකි) ගල මුදුනේ සිට බලන විට කිලෝමීටර 5ක අරයකින් යුක්ත වටරවුමක් නැරඹීමට පුළුවනි.
කඳවුරේ සිට යුද්ධ භූමිය කරා වැටුන සැපයුම් මාර්ගය රවන්ඔය හෙවත් රාවණාඔය ඉවුර දිගේ උතුරු දෙසට වැටී වත්තේගමත් රයිතලාවෙලත් පසුකර සුදු ගංගා නිම්නයේ ඉවුරට වැටී කාරනදිය ඉවුර දිගේ උතුරට විහිදී ඇත.
30 අවුරුදු යුද්ධයේදී ද මෙවැනි මර්මස්ථානයක් හඳුනා ගැනීමට තිබුණි. එය යාන් ඔය ද්‍රෝණියේ වැලිඔය කඳවුරයි. උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කරන එම භූමිය එදා සතුරා සතුවූවා නම් සතුරාගේ ජය භූමිය වෙනවා වාගේම රජය සතුවීමෙන් ජාතියේ ජයබිම වූ බව එළාර - දුටුගැමුණු සටනින් ද තහවුරු කර ඇත.

  2014 පෙබරවාරි මස 19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

හෙළ බොදු හැදියාවේ කේන්ද්‍රස්‌ථානය

බණ මඩුව


නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා රට පුරා ඉදිකරගෙන තිබෙන නොයෙකුත් පොදු ගොඩනැඟිලි දක්‌නට ලැබේ. ග්‍රාම සංවර්ධන ගොඩනැඟිලි, පාසල් ගොඩනැඟිලි, ප්‍රජා ශාලා, ගම් සභා ගොඩනැඟිලි, කෘෂිකර්ම මධ්‍යස්‌ථාන, රෙදි විවීමේ ශාලා, රෝහල් ගොඩනැඟිලි ආදිය ඒ අතර දක්‌නට ඇති විශේෂ ගොඩනැඟිලි වේ.

පාසල්, විශ්වවිද්‍යාල ආදියෙහි පටන් අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට ආධාර වන සෑම පොදු ගොඩනැඟිල්ලක්‌ම අවශ්‍ය වන්නේ ජීවිතයේ එක්‌ යුගයකට හෝ එක්‌ අවස්‌ථාවකට පමණි. පාසල හෝ විශ්වවිද්‍යාල කරා යන ළමයා වැඩි වයසට පත්වී තම අරමුණු ඉටුකර ගත් පසු නැවත ඒ කරා අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් කිසි විටෙකත් නොයන්නේය.

මේ සෑම පොදු ගොඩනැඟිල්ලක්‌ පිළිබඳවම කාගේ වුවද සිතෙහි ඇත්තේ තාවකාලික බලපෑමක්‌ පමණි. ඒ ගොඩනැඟිsලි හා ජීවිතය සමග බැඳුණු නිරන්තර සම්බන්ධකමක්‌ කිසිවකුට කිසි විටෙක නැත්තේය. පොදු වුවද ඒ ගොඩනැඟිලි ප්‍රයෝජනවත් වන්නේ ජීවිතයේ සීමිත අවස්‌ථාවලට පමණක්‌වීම එයට හේතුවයි.

එහෙත් ඒ පොදු ගොඩනැඟිලි අතර උපන්දා පටන් මියයන මොහොත දක්‌වාම ජීවිතය හා බැඳී පවත්නා පොදු ගොඩනැඟිල්ලක්‌ දිවයිනේ සෑම පෙදෙසක්‌ පාසාම සිංහලයන් සතුව ඇත්තේය. එම ගොඩනැඟිල්ලේ විභාග පාස්‌ කිරීමක්‌ නැත. සහතික පිරිනැමීමක්‌ නැත. උස්‌මිටි කම්, බාල මහළු, ස්‌ත්‍රී-පුරුෂ භේදයක්‌ නැත. කාහටත් පොදු, කවුරුත් භාරගන්නා, ආගම් භේදයක, ජාති භේදයක්‌, කුල භේදයක්‌ පවා නැති එම ගොඩනැඟිල්ල පොදු බවේ අසීමිත මූර්තියක්‌ කොට සැලකිය හැකිය.

එහි සිවු දිගින් දොරටු හතරක්‌ තිබෙන අතර සිවු දිගින් පැමිණෙන සියලු දෙනාටම ඒ දොරටු හතරින්ම ගොඩනැඟිල්ලට ඇතුළු විය හැකිය. ප්‍රවේශ පත්‍ර හෝ හඳුනාගැනීමේ පත්‍ර කිසිවක්‌ ඒ සඳහා අවශ්‍ය නැත. කාගේවත් විශේෂ අවසරයක්‌ද නොවුවමනාය. ඒ ගොඩඩනැඟිල්ලේ පවතින ඉතා වැදගත් දෙයක්‌ නම් කිසිවෙක්‌ එහි උසක වාඩි නොවීමය. පුටු බංකු ආදියක්‌ තබා නැති එහි කිසිවෙක්‌ වාඩිවීමට පුටු බංකු සෙවීමක්‌ද නොකරයි.

ඒ මතු නොව එහිදී කිසිවෙක්‌ තම කිසිවකුගෙන් ගරු නම්බු, ස්‌තුති, ප්‍රශංසා කිසිවක්‌ බලාපොරොත්තු නොවේ. එහි පැමිණෙන්නේ වාද විවාද කර ගැනීමට නොවේ. තව කාගේවත් උස්‌මිටිකම් සෙවීමටද නොවේ.

ඒ ගොඩනැඟිල්ල පිළිබඳ බාල-මහළු සෑම දෙනාගේ සිත් සතන් තුළ ඇත්තේ පොදු හැඟීමකි. ඊට හේතුව කිසිදු බාහිර බලපෑමකින් තොරව කාගේවත් වුවමනාවකට නොව තමන්ගේම වුවමනාව පිණිස තමන්ගේම වියදමින්, තමන්ගේම වෙහෙස මහන්සියෙන් තනා ගන්නා ලද්දක්‌ වීමය. මේ ගොඩනැඟිල්ල නඩත්තු වන්නේද කිසිවකුට බරක්‌ නොවන පරිදිය.

දිනපතා උදයට, දහවලට හා රාත්‍රියට බත් පිසීමට ගන්නා හාලෙන් මිටක්‌ කුස්‌සියේ දුම්මැස්‌සේ එල්ලෙන කුඩා මල්ලකට දමනු ලැබේ. එසේ එකතු වන හාල්, ගෙයක්‌ පාසා ඇවිද මාස්‌පතා එකතු කරනු ලැබේ. ඒ හාල විකුණා ලබාගන්නා මුදල එම ගොඩනැඟිල්ල තනා ගනු සඳහා වැයකරනු ලැබේ. මේ මිටි හාලෙන් තනාගනු ලබන ගොඩනැඟිල්ල නඩත්තු කරගනු ලබන්නේද ඒ ආකාරයටම ගමකට, පවුලකට, පුද්ගලයකුට බර නොවන පරිදිය.

ගමක ජීවත් වන හැම දෙනාගේම ජීවිතය හා බැඳී පවත්නා මෙවැනි ගොඩනැඟිල්ලක්‌ ඇතැම් විට ලොව වෙනත් කිසිදු ජාතියක්‌ සතුව නැතැයි කිව හැකිය.

එය අප කවුරුන් විසිනුත් හඳුන්වනු ලබන්නේ බණ මඩුව යන සරල අපූරු නාමයෙනි. වෙනත් ගොඩනැඟිලි හැඳින්වීම සඳහා දැන්වීම් පුවරු සවිකර ඇතත් අනාදිමත් කලක පටන් කවුරුත් හඳුනන මෙම ගොඩනැඟිල්ල සඳහා වෙනම දැන්වීම් පුවරු අවශ්‍ය නැත. බැලු බැල්මට පාලුවට මෙන්පවතින මෙම ගොඩනැඟිල්ලට පාරේ සිඟමන් යදින අසරණ හිඟන්නාද රැයක්‌ ගත කර යැමට ඇතැම් දිනවල ගොඩවදින්නේය. අහල පහල තණකමින් සිටින ගවයාද වැස්‌සට නොතෙමී සිටින්නට ගොඩවදින අවස්‌ථා ඇත. දඩාවතේ ඇවිදින බල්ලාද සිය දරු පැටවුන් කිහිප දෙනා හදා වඩා ගැනීමට එහි මුල්ලක්‌ ආධාර කරගන්නා අවස්‌ථා නැතුවා නොවේ.

බණමඩුව එක්‌ අරමුණක්‌ පෙරදැරි කරගෙන, එක්‌ කරුණක්‌ ඉටුකර ගැනීම සඳහා ගොඩනඟා ගන්නා ලද්දකි. පොහෝ දිනයේදී විවේකීව අටසිල් සමාදන්වී දවස ගත කිරීම හා බණ ඇසීම බණ මඩුවෙන් ඉටුවන වැදගත් කාර්යය වේ.

බැලු බැල්මට හැම දෙනාටම ඇත්තේ එක්‌ ජීවිතයක්‌ පමණක්‌ වුවත්, ඉතා සැලකිල්ලෙන් බලන විට ඒ ජීවිතය තුළ තවත් ජීවිතයක්‌ පවත්නා බව පෙනේ. හැම දෙනාටම පෙනෙන හැම දෙනාම සතු ජීවිතය බාහිර පිටස්‌තර ජීවිතය කොට හඳුන්වතොත් එහි තුළ තිබෙන පිටට නොපෙනෙන ඇතුළත ජීවිතය හැඳින්විය යුත්තේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ජීවිතය යනුවෙනි. ඒ අනුව සියල්ලන්ම සතුව දෙවැදෑරුම් ජීවිතයක්‌ පවත්නා බව පෙනේ.

සිංහලයෝ බණමඩුව තනාගත්තේ ස්‌වකීය ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීම පිණිසය. එවැනි වැදගත් පරමාර්ථයක්‌ මුදුන්පත් කර ගැනීම සඳහා තමන්ගේ ධන වියදමින් හා වෙහෙස මහන්සියෙන් තනා ගත් ගොඩනැඟිල්ලක්‌ ලොව ඇත්නම් ඒ සිංහල බෞද්ධයා සතු බණ මඩුව පමණි.

කිතුවසින් යට තුන්වැනි සියවසේ මැද භාගයවූ කලී සිංහලයන් ගේ ප්‍රගතියේ එක්‌තරා තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌ විය. එතෙක්‌ පැවැති ඔවුන්ගේ ගුණ වගාවේද, හැදියාවේද සිතුම් පැතුම් වල හා ඇවතුම් පැවතුම්වලද පරිසරයේ වටාපිටාවේ හා වාතාවරණයේද උඩු යටිකුරු වීමක්‌, බලගතු වෙනසක්‌ පරිවර්තනයක්‌ සිදුවූයේ මේ අවධියේය. පළමුවෙන්ම සිංහලයන් බණ මඩුව හඳුනාගන්නා ලදදේ ඒ අවධියේය. ඉන් පෙර ඔවුහු බණ මඩුව ගැන තොරතුරු කිසිවක්‌ දැන නොසිටියහ.

කිතුවසින් යට තුන්වන සියවසේ මැද භාගය යෑයි කියන විට එය මෙයින් වසර 2250 කට ඉහත කාල පරිච්ඡේදයකි. ඒ අනුව බලන විට එය මේ දිවයිනේ තිබෙන ඉතාමත් පැරැණි අවුරුදු 2250 කට වඩා පැරැණි ගොඩනැඟිල්ල බණ මඩුව යෑයි කීම සියලු අතින්ම සුදුසුය. එදා මෙදා තුර වසර 2250 කට වැඩි කාලයක්‌ මුළුල්ලේ බණ මඩුව විසින් ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය ඒ ස්‌වරූපයේ වෙනත් පොදු ගොඩනැඟිල්ලකින් ඉටු වී නැති බව සිතිය හැකිය.

කිතුවසින් යට තුන්වැනි සියවසේ මැද භාගයේ එක්‌තරා අවුරුද්දක පොසොන් පොහොය දින එක්‌තරා ආගන්තුක අමුත්තෙක්‌ ලක්‌දිවට ගොඩබැස්‌සේය. ඔහු අත ලංකාවට දීමට ගෙනා රුපියල් රන්පවුම් ආදී මුදල් හෝ වෙනත් දෙයක්‌ නොවීය. මේ ආගන්තුක අමුත්තා අනුරාධපුරයට නුදුරින් පිහිටි මිස්‌සක පව්ව මතදී පළමුවෙන් හමුවූයේ දඩයමේ ගොස්‌ සිටි රටේ රජුටය. ඔහු අන් කිසිවෙක්‌ නොව දෙවනපෑතිස්‌ මහරජතුමාය.

මේ ආගන්තුක අමුත්තා පළමුවෙන්ම දුටු රජතුමා ඉන් පෙර දැක නැති අමුතු ආකාර ස්‌වරූපයක්‌ ගත් මේ අමුත්තා දෙස නෙත් නොසලා මඳ වේලාවක්‌ බලා සිටි 'ඔබ කවරෙක්‌දැයි' ඇසීය. එවිට ඒ අමුත්තාගෙන් ලැබුණු පිළිතුරෙන් රජතුමාගේ තිගැස්‌සුනු සිත සන්සුන් විය. ඒ අමුත්තාගේ මුවින් පළමුවෙන් පිටවුණු වචන ටික වූයේ 'සමණාමයං මහාරාජ, ධම්ම රාජස්‌ස සාවකා තමේව අනුකම්පාය ජම්බුධීපා ඉධා ගතා' යන ගාථාවය. - 'මහණ උන්නාන්සේලා යෑයි කියන්නේ අපටය. ඔබට අනුකම්පාව පිණිස අපි දඹදිව සිට මෙහි පැමිණියෙමු' යන්න එහි අදහසයි.

දෙවනපෑතිස්‌ මහ රජතුමන්ට තමන් කවුදැයි හඳුන්වාදීමේදී තමා ධර්මාශෝක මහා අධිරාජ්‍යයාගේ එකම පුත්‍රයා යෑයි නිකමටවත් සඳහන් නොකළේය. ඒ වෙනුවට කීවේ තමා ශාන්තිනායක තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතරින් කෙනකු බව පමණි.

කිසිම පූර්ව දැනුම්දීමක්‌ නොකර, පුද පෙළහර, ගරු බුහුමන් කිසිවක්‌ බලාපොරොත්තු නැතිව ඉතා අප්‍රසිද්ධියේ ලංකාවට පැමිණි මේ ධර්මශෝක පුත්‍රයාගේ අදහස වූයේ ලංකා රාජ්‍යය පැහැර ගැනීම නොවේ. දඹදිව වැනි විශාල රටක සිය පියාණන්ගේ ඇවෑමෙන් පසු කිරුළ හිමිවන්නට සිටි මේ පුත් කුමරුවා ලංකාවට පැමිණියේ කුමක්‌ සඳහාදැයි පළමු ප්‍රකාශයෙන්ම පැහැදිලි වූයේය.

ඒ හදිසි හමුවීමෙන් ඉමහත් ප්‍රීතියට පත් දෙවනපෑතිස්‌ රජු තම අගනගරයට පැමිණෙන ලෙස දම්සෝ පුත් මහා මහින්ද මහරහතන් වහන්සේට ආරාධනා කළේය. එම ආරාධනාව ඉවසා වදාළ මිහිඳු මාහිමියෝ පසුදින අනුරාධපුරයට වැඩම කළහ.

උන්වහන්සේට වැඩසිටීමට දීම සඳහා සුදුසු නිවහනක්‌ නගරයේ නොවූ බැවින් රජතුමාට වහ වහා අලුත් ගෙයක්‌ තැනීමට සිදුවිය. වහා තැනූ එම ගෙයි බිත්තිවල තෙතමනය වළකා වියලා ගැනීමට ගෙය තුළ ගිනි මැල ගැසීමට සිදුවිය. එම ගින්නෙක්‌ නැගි දුමෙන් බිත්ති කළු ගැසී ගියේය. මිහිඳු හිමි නගරයට පැමිණ පළමු රැය ගත කළ එම ගෙය 'කාල මත්තික පරිවේන' නමින් පසුව ප්‍රකට විය.

ලක්‌දිව ලිත ඉතිහාසයේ සිංහලයන් සමූහයක්‌ එකවර එකතැන රැස්‌වී කිසිවකුගේ දේශනාවකට පළමු වරට සවන් දුන්නාහු නම් ඒ මිහිඳු මාහිමියන්ගේ දේශනාවකටය. මේ අලුත් අපූරු අමුත්තා දැක බලා ගැනීමට මෙන්ම උන්වහන්සේගේ දේශනාවලට ඇහුම්කන් දීමටද පැමිණෙන සෙනඟ වැඩිවන්නට වූයෙන් ඔවුන්ට පහසුවෙන් රැස්‌වීමට සුදුසු ඉඩකඩ ඇති ගොඩනැඟිල්ලක්‌ නගරයේ සොයා ගැනීමට නොවූයෙන් රජතුමාට තමාගේ ඇතුන් බඳින මඩුව අස්‌පස්‌ කොට පිරිසිදු කොට දීමට සිදුවිය. පසුව මිහිඳු මහරහතන් වහන්සේ තමා බැලීමට වැල නොකැඩී එන මහ සෙනඟට ධර්ම දේශනා කළ සේක. ඒ එම මඩුවේ වැඩහිඳ ගෙනය.

ලංකාවේ පළමුවැනි බණ මඩුව එය වේ. එයින් ඇරැඹුණු බණ මඩු ක්‍රමය ඉන් ඉක්‌බිති රට පුරා සීග්‍රයෙන් පැතිර යන්නට විය. පළමුවෙන් බණ ඇසීමටද සිල් සමාදන්වීමටද පොල් අතුවලින් තනාගන්නා බණ මඩුව පසුව ස්‌ථිර ශක්‌තිමත් ගොඩනැඟිල්ලක්‌ බවට පත්කර ගන්නා ලද්දේය.

ධර්ම ශාලාවක්‌ එහි තිබෙන එකම ආසනය වන ධර්මාසනයත් විසින් පසුගිය අවුරුදු දෙදහස්‌ දෙසීය පනහකට වැඩි කාලය මුළුල්ලේ සිංහලයාට ලබාදුන් අධ්‍යාපනයත් සමග තරග කළ හැකි වෙනත් අධ්‍යාපනයක්‌ තවමත් ඔවුන්ට ලැබී නැත්තේය.

මිහිඳු බණ ඔස්‌සේ සිංහලයන්ගේ හැදියාවද, ගුණ වගාවද වැඩීගියේ ශත ගුණයෙන් නොව සහස්‍ර ගුණයෙනි. ජාතියක ඖදාර්යයද ආලෝකය හා ආටෝපයද උද්දීප්තියද, මේ කුඩා දිවයිනේ සෞභාග්‍යයද ශ්‍රී සමෘද්ධියද වැඩී වර්ධනය වී ගියේ ලක්‌දිව පහළ වූ මිහිඳු මාහිමියන් විසින් රට පුරා පිහිටවූ බණ මඩුවේ ආනුභාවයෙනි.

හික්‌මුණු, සංවර මෙන්ම ආචාරශීලී විනීත ගති පැවතුම්වලින් යුත් උදාර ජනතාවක්‌ රට පුරා පහළ කරවීමට බණමඩුව සමත්වූයේය.

නොකඩවා සිදුවූ පර සතුරු ආක්‍රමණ නිසා සිංහලයන් සතු සියල්ලක්‌ම විනාශ වී නටඹුන් පමණක්‌ ඉතිරිවූ නමුදු ඒ නටඹුන් මත එක්‌ දෙයක්‌ පමණක්‌ නොනැසී ඉතිරි විය. එය වූ කලී ඔවුන්ගේ ජාතිය හා ඔවුන් දිවි දෙවැනි කොට ඇදහූ ආගමය. එය වනාහී මහින්ද ශිෂ්ඨාචාරයේ අදෘශ්‍යමාන උත්තරීතර, අනූපම බලයේ අනුස්‌මරණීය සුවිශේෂ ප්‍රාතිහාර්යයෙකි.

බුදුදහමෙහි තැන ලැබෙන්නේ කියවීමට හෝ ලිවීමට නොව දේශනාවට, කතාවට හා සවන්දීමට ය. බුදුදහම සිතෙහි ධාරණය කරගත යුතු දහමකි. පසක්‌ කටයුතු, ආස්‌වාද කටයුතු, සාක්‌ෂාත් කටයුතු දහමකි. ලිය යුතු, ඉගෙනිය යුතු, හැදෑරිය යුතු දහමක්‌ පමණක්‌ නොව ඉන් ඔබ්බට යා යුතු දහමකි. පාලි සාහිත්‍යයෙහි තැන ලැබී ඇත්තේ ලේඛකයන්ට නොව භාණකයන්ටය. භාණක පරපුරක්‌ මිස ලේඛක පරපුරක්‌ පාලි සාහිත්‍යය තුළ දක්‌නට නැතේතේ එබැවිනි.

එබැවින් බිණීමට මුල්තැන දුන් දහමක්‌ පතුරුවා හැරීමට බණ මඩුව නැතිවම බැරි විය. ගම්බද ඈත පිටිසර ජීවත්වන අකුරු නොදත් උපාසක අම්මාද 'නිවන' වැනි ගැඹුරු විෂයක්‌ පිළිබඳව තව කෙනකුට සෑහෙන අවබෝධයක්‌ ලබාදීමෙහි සමත්ව සිටින්නී බණ මඩුවේ අපරිමිත බලය හා ආනුභාවයද කරණකොට ගෙනය.

ජාතියට මහත් ආශිර්වාදයක්‌ වූ අපේ බණ මඩුව වසර දෙදහස්‌ දෙසිය පනහකට වැඩි කාලයකට පසුව අදද නිහඬව තම සුපුරුදු කාරියෙහි යෙදෙමින් වැජඹෙන්නේය.

පූජ්‍ය පත්බේරියේ ඉන්දානන්ද හිමියන් විසින් 1983 ඔක්‌තෝබර් 'කල්පනා' සඟරාවට ලියන ලද ලිපියක්‌ ඇසුරිනි.)

සටහන - සනත් ලියනගේ

ටොලමිගේ සිතියමේ ලංකාව ලොකුවුනේ කොහොමද

එදා ටොලමිගේ සිතියම
අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි. එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ තොටමුණක් හා ප‍්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ  වත්මන් ගාල්ල පුරවරය යැයි බොහෝ විද්වතුන්ගේ විශ්වාසයක් ව පවතී. 
අතීතයේ පෙර අපරදිග රටවල නායක කාරකාදීන් මෙන්ම වෙළෙන්දෝ ද දේශ ගවේෂකයෝ ද මේ දිවයින දුටුවේ මිහිබට සුර පුරයක් ලෙසිනි. අතීත ලෝක සිතියම් සකස් කිරීමේදී ශී‍්‍ර ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන්නේ ද එබැවිනි. 
ලෝකයේ මුල්ම සිතියම කි‍්‍රස්තු පූර්ව 2800 දී මැටි පුවරුවක සටහන් කැර තිබියදී කැණීමකින් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව වරින් වර නිර්මාණය වූ ලෝක සිතියම් රාශියක් හමුවී ඇත. වත්මන් සිතියම් හා සැසඳීමේ දී එදා ඇඳි ලෝක සිතියම් ද බොහෝ දුරට නිවැරදි සාධක හා තොරතුරු මත පදනම්ව සකස් කැර ඇති බව පෙනී යන කරුණකි. 
එදා සිතියම් ඇඳීමේ දී අද මෙන් ගුවන් යානා, චන්ද්‍රිකා වැනි දියුණු තාක්ෂණික ක‍්‍රමෝපායයන් තිබුණේ නැත. දේශ ගවේෂකයන්ගෙන් ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ වෙහෙසකර කාර්යයක ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සිතියම් සැකසුණි. ඒවායේ නිරවද්‍යතාවෙන් පෙනී යන්නේ ඔවුන් සිය කාර්යය කොතරම් හොඳින් ඉටුකැර ඇත්ද යන්නයි. 
අතීතයේ මෙරටට පැමිණි විවිධ ජාතීහූ අප රටට විවිධ නම් කියූහ. සිංහළය, සිංහලද්වීපය, ලක්දිව්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යන නම් භාවිතා කළ බවට සාධක තිබේ. මේ අතරින් මේරට මුල් වරට ලෝක සිතියමක දැක්වෙන්නේ තැප්‍රොබේනය යන නමිනි. මේ සිතියම සකස් කැර ඇත්තේ ගී‍්‍රක ජාතික ක්ලෝසියස් ටොලමි විසිනි. ගී‍්‍රකයෝ එකල සිතියම් සකස් කිරීමෙන් ලොව අග‍්‍රගන්‍ය ස්ථානයක සිටියහ. ඒ සඳහා තාරකා ශාස්ත‍්‍රය හා ගණිතය පිළිබඳව ඔවුන් සතුවූ පුළුල් දැනුමත් හැකියාවත් උපයෝගී කරගන්නට ඇත. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ විසූ ටොලමි, තැප්‍රොබේන් හෙවත් වත්මන් ශී‍්‍ර ලංකාව ඇතුළත් ලෝක සිතියම නිර්මාණය කැර ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 90 ත් 168 ත් අතර කාලයේදීය. ටොලමි වත්මන් ශී‍්‍ර ලංකාවට හෙවත් එදා තැප්‍රොබේනයට කිසිදා පැමිණ නැත. මෙහි යන එන වෙළෙඳුන් හා රාජ්‍ය දුතයන් ටොලමිට පැවසූ තොරතුරු අනුසාරයෙන් ඔහු පෙරදිග මහා වෙළෙඳ මධ්‍යස්ථානය සිතියමට නගා තිබේ.
ටොලමිගේ සිතියම පිළිබඳ පැසසුම් මෙන්ම විවේචනද ඇත. ඔහු තම සිතියමේ අක්ෂාංශ හා දේශාංශ කිසියම් පරිමාණයකට අනුව ලකුණු කැර ඇත. නිවර්තන රේඛා තීරණය කැර ඇත්තේ අක්ෂාංශ 23ත් 50ත් ලෙසිනි.  ටොලමිට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු පෘථිවියේ ප‍්‍රමාණය අවප‍්‍රමාණ කැර ඇති බවයි. තව ද ඔහු ඇතැම් රටවල් වෙනස් වූ පුදුමාකාර හැඩ වලින් ද දක්වා තිබේ. ඇතැම් රටවල් විශාලව ද දක්වා තිබීම ටොලමිගේ සිතියමේ ඇති විශේෂත්වයකි. 
වත්මන් ශී‍්‍ර ලංකාව හෙවත් තැප්‍රොබේනය ද ටොලමි දක්වා ඇත්තේ විශාලත්වයෙන් බව පැහැදිලි සහ අප කවුරුත් දන්නා කරුණකි. ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ ටොලමි එකල තැප්‍රොබේනය නිසි විශාලත්වයකින් යුතුව සලකුණු කැර ඇතත් වර්තමානයේ මුහුදු ඛාදනය හේතුවෙන් දැනට ඇති ශී‍්‍ර ලංකාව නිර්මාණය වී ඇති බවයි. නමුත් බොහෝ විද්වතුන් පවසන්නේ ශී‍්‍ර ලංකාව අතීතයේ අත්කැරගෙන තිබූ ජාත්‍යන්තර කීර්තිය හා සමෘද්ධිමත් බව හේතුවෙන් ටොලමිට අසන්නට ලැබූ තොරතුරු අනුව තැප්‍රොබේනය විශාල දුපතක් ලෙස ඔහු දකින්නට ඇති බවයි. 
ටොලමි මේ සිතියම අඳින ලද්දේ කි‍්‍රස්තු වර්ෂ 139 හෝ ඒ ආසන්න කාලයේදීය. මහා වංශයට අනුව එවකට මෙරට රාජ්‍යත්වය දරා ඇත්තේ මහළුනා රජු හෝ දෙවැනි භාතිය තිස්ස රජුය. මේ කාලයේ මෙරට රජු රෝමය, ඊජිප්තුව, ඉතියෝපියාව, ගී‍්‍රසිය හා අරාබි රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකැර ගත් බවට තොරතුරු ඇත. ඒ හේතුවෙන්ම තැප්‍රොබේනය හෙවත් සිංහලද්වීපය ලොව පුරා ප‍්‍රචලිත රටක්ව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.
ටොලමිගේ සිතියමේ විශේෂත්වය වන්නේ තැප්‍රොබේනය ප‍්‍රමාණයට වඩා විශාලව දක්වා ඇතත් ඔහු මෙරට බොහෝ ස්ථාන නිවැරදිව ලකුණු කැර ඇති බවයි. බටහිර භාරතයෙන් මෙහි සංක‍්‍රමණය වූ ආර්යයන්ගෙන් පැවත එන මුල් කාලීන සිංහලයන් මෙරට බටහිර පෙදෙස්හි ජීවත් වූ බවත් ඔවුන් එකළ සංස්කෘත භාෂාවට සමාන වූ භාෂාවක් භාවිත කළ බවත් රටේ නම වශයෙන් යෙදුණු තැප්‍රොබේනය යන්නෙන් ද ඒ බව සනාථ වන බවත් විද්වතුන්ගේ මතයයි. 
තප්‍රොබේන් යන්න තම්බපණ්ණි යන මාගධික පදයක් නොව තාම‍්‍රපර්ණි යන සංස්කෘත පදයෙන් සෑදුනක් බව පැහැදිලිය. 
තව ද ටොලමිගේ සිතියමේ වඩාත් නිවැරදි ස්ථානයක් වන්නේ එකල රටේ රාජධානිය වූ අනුරාධපුරය නිවැරදිව දක්වා තිබීමයි. ඔහු එය සටහන් කැර ඇත්තේ අනුරෝග‍්‍රාමන් යනුවෙනි. අනුරාධග‍්‍රාමය යන්න ගී‍්‍රකයන්ට ඇසුණු ආකාරය විය යුතුය. එකල සංස්කෘත බස වෙනුවට හෙළ බසක් භාවිතයට ගත්තේ නම් රුහුණු දනව්වක් ලංකාවේ තිබිය යුතුය. නමුත් ටොලමි දක්වා ඇත්තේ රෝහණ දනව්ව යන්නයි. මෙයින් ද පෙනෙන්නේ ටොලමි ලංකාවේ සිතියම අඳින යුගයේ මෙරට ග‍්‍රාම නාම ව්‍යවහාරයන් සංස්කෘත ඌරුවකින් යුක්ත වූ බවයි. 
ටොලමි, නාගදීපය ද පැහැදිලිව සටහන් කැර ඇත. ටොලමි ලෝක සිතියම අඳින කාලයේ රටක් හැඳින්වීමට රෝමක, ජාවක, පාරසික ආදී වශයෙන් අගට ‘ක’ යෙදීම සිරිතක්ව පැවතිණි. මේ අනුව යමින් තැප්‍රොබේන් යනුවෙන් සිරිලක හැඳින්වූ ටොලමි මෙරට ‘සලිකේ’ යනුවෙන් හැඳින්වූ බව ද සටහන් කැර තිබේ. 
දඹදිව ගංගා නිම්නයේ සිට පැමිණි සංක‍්‍රමණිකයෝ මෙරට විශාලත ම ගංගා ව වූ මහවැලි නදිය වටා පදිංචිව සිටියහ. ඔවුන් මහවැලිය හඳුන්වන ලද්දේ ගං`ගා යන නමිනි. පසු කළෙක සිංහලයෝ රටේ ඇති සියලූ නදී ගංගා යැයි නම් කරන ලදී. ටොලමිගේ සිතියමේ මහවැලි නදිය හඳුන්වා ඇත්තේ ගැන්ජීස් යන නමිනි. ඒ මෙරටට පැමිණි පිරිස් ටොලමි හමුවන විට ගං`ගා යන්න වැහැරූ ආකාරය විය යුතුය. 
අතීතයේ මෙරට වූ මහානාගකුල නම් පෙදෙසක් රෝහණ පුරවරයේ වැදගත් ස්ථානයක් විය. එය අද රම්බා විහාර ප‍්‍රදේශය ලෙස විශ්වාස කැරේ. ටොලමි සිය සිතියමේ මේ ස්ථානය නම් කැර ඇත්තේ නාගථූප යනුවෙනි. දෙවුන්දර නගරය ද ටොලමිගේ කාලයේ පවා පූජනීය පෙදෙසක් වූ බව සිතීමට පුළුවන. එය ඔහු දගන යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම එය සඳ දෙවියන්ගේ පුද බිමක් බව ද ටොලමි සඳහන් කරයි. දෙවුන්දර, චන්ද්‍රයාගේ බලය සහිත ස්ථානයක් යැයි යන්න අදට ද විශ්වාසයක් පවතී. 
ටොලමිගේ සිතියමේ දැක්වෙන තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ රට මධ්‍යයේ පිහිටි කඳුකරයයි. එය ද එකල ඇඳි සිතුවම් අනුව ඉතාමත්ම නිවැරදි සඳහන් කිරීමකි. එහි තවත් සුවිශේෂී කරුණක් තිබේ. කඳුකරය ඔහු හඳුන්වා දී ඇත්තේ ‘මලය කඳු’ යනුවෙනි. අතීතයේ මධ්‍යම කඳුකරය හැඳින්වීමට යෙදුවේ මලය රට යන්නයි. ටොලමි වඩාත් නිවැරදි බවට එය ද සාක්කියකි. කෙසේ වෙතත් අද අප භාවිතා කරන නගරය යන වචනය ටොලමි භාවිතා කැර ඇත්තේ රෝහණ දනව්වේ අග නගරය වූ මාගම රාජධානිය හැඳින්වීමට බව ඔහුගේ සිතියම පිරික්සීමේ දී පෙනී යයි. එදා මාගමට නගරය යන්න භාවිතා කළ හේතුවක් හෝ දැන් සියලූ පුරවරයන්ට නගරය යන වදන ව්‍යවහාරයට පැමිණි ආකාරයක් ගැන හෝ සාධක නැත.
ටොලමිගේ සිතියමේ මර්ගන නම් වෙළෙඳ නගරයක් ගැන සඳහන් වේ. කණිට්ඨතිස්ස රජු පිහිටුවන ලද ඔච්චාප්පුකල්ලූ සෙල්ලිපියේ මගන නම් නගරයක් සඳහන් වේ. විද්වතුන්ගේ මතය වන්නේ මේ දෙකම එකක් බවයි. වසභ හා කණිට්ඨතිස්ස රජවරුන්ගේ කාලයට අයත් විල්පත්තු ආරාම නටඹුන්වල ඇති සෙල්ලිපි සාධක අතර ද මගණ නම් පුරවරයක් ගැන සඳහන්ය. මෙය ටොලමි විසින් සඳහන් කැර ඇති මර්ගන යන වරාය ආශි‍්‍රත පුරවරය විය යුතුය. 
මේ සියල්ල සලකා බැලූ විට ටොලමි කිසි දිනක තැප්‍රොබේනයට පය තබා නැතත් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව ඔහු ඇඳ ඇති ලක් සිතියමේ එකල භාවිත බොහෝ ස්ථාන ආසන්න වශයෙන් නිවැරදිව දක්වා ඇති බව පැහැදිලි කරුණකි. ඔහු මෙරට වඩාත් විශාල ලෙස සිතන්නට ඇත්තේ මෙහි ඇති ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී ගිය සම්පත් සමුදාය හා සංචාරකයන් කරන වර්ණනාවන් අසා විය යුතුය. 
අතීතයේ ලොව කීර්තිමත් රාජධානියක් වූ සිංහලද්වීපය හෙවත් තැප්‍රොබේනය ලෝකවාසීන්ට පමණට වඩා විශාලව පෙනෙන්නට ඇත්නම් එය අරුමයක් ද නොවේ. 
2014 පෙබරවාරි මස 12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සිංහල ආහාර සංස්‌කෘතියේ අරුත කියාදුන් රාජ භෝජනය



රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නම් නොවේ. රජෙක්‌ වාගේ කන්න ඕනෑ කිව්වම බොහෝ දෙනෙක්‌ තේරුම් ගත්තේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක්‌ කනවා කියාය. නමුත් ඉතිහාසයේ එවන් වැකියක්‌ පට බැදී තිබෙන්නේ, ඖෂධීය ගුණයෙන් යුතු ශක්‌තිය වඩන නිරෝගිමත් කෑම වේලක්‌ නොකඩවා ආහාරයට ගන්නේ ර-ජුරුවෝ පමණක්‌ම බවට මහජනතාව පිළිගත් සත්‍යයක්‌ව පැවතීම මතය.

රාජ භෝජනය සැකසීම අපූරුය. සැබැවින්ම එය ඓතිහාසික ගාම්භීරත්වයක්‌ සහිත සංස්‌කෘතික ක්‍රියාවලියකි. මනා පෙළ ගැස්‌මකි. රාජ භෝජනාගාරයේ දෛනික වැඩපිළිවෙල කොපමණ නම් සංකීර්ණද යන්න මොනවට පැහැදිලි වන්නේ එක්‌ වේලක්‌ සැකසීම ස`දහා පෙළ ගැසී සිටින සේවක පිරිසත් භෝජනය සැකසීමේ ක්‍රමවේදයත් පිළිබඳ සලකා බලන කලය. එහි යටගියාව අදටත් අපට පරිශීලනය කළ හැක්‌කේ, පුස්‌කොළ පොත් කියෑවීමෙනි. අදාළ පුස්‌කොළ පොතෙහි මූලික වෙළුම් දෙකක්‌ තිබී ඇති අතරම අදටත් එය ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්‌තකාලයේ සුරැකිව ඇත්තේය. 

එකල රාජමාළිගාවේ රාජභෝජනය සැකසීම මූලික සහ ප්‍රධානතම කාර්යය වූ අතර ඊට දායක වූ පිරිස ගණනින් සූසැටකි. ඉනුත් මුල් තැන ගත්තේ, සොලොසකි. බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිළමේ, මුලගිනා, මඩප්පු නිළමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ, ඇතුළුව රාජෝත්තමයන්ගේ ආයුවඩන්නට දිවි කැප කළ පිරිස බොහෝය.

රජ්ජුරුවන් උදෙසා වන ආහාර වේල් සැකසීමට වෙන් වෙන් වශයෙන් සේවක පිරිස්‌ සිට ඇත. දිවා ආහාරය සැකසීමට පෙළ ගැසෙන්නේ ර-ජුරුවන් උදෑසන මළපහ කළ අවස්‌ථාවේ සිටය. අද මෙන් නොව එදා සියල්ල සිදුව ඇත්තේ කලටය. වෙලාවටය.

රජු අවදිවූ මොහොතේ සිට ඒ අසල දැවටෙන්නේ බෙහෙත්ගෙයි මුහන්දිරම්ය. ඔහු රජුගේ මානසික තත්ත්වයත් පෙර දින නොවූ යම් වෙනසක්‌ වේද යන්න ගැනත් විමසිලිමත් වෙයි. මුව සෝදා පඩික්‌කමට හල කෙළ මුසු ජලයද, මුත්‍රා සහ මළපහද, හොඳින් පරීක්‌ෂා කරන බෙහෙත් ගෙයි මුහන්දිරම් එදින රජුගේ ශරීර සෞඛ්‍යයේ වත ගොත පිළිබඳව මුලුතැන්ගෙයි බත්වඩන නිළමේ වෙත දැනුම් දෙයි.

බෙහෙත් ගෙයි මුහන්දිරම්ගේ සේවාව ගම්පොළ යුගයේද පැවැති බව සඳහන්ය. ජාත්‍යන්තර මට්‌ටමේලා සැලකෙන එම වෛද්‍ය ක්‍රමය මුස්‌ලිම් ජනයාගෙන් උගත් බවත් වේගිරිය හා තදාසන්න ප්‍රදේශවල විසු වෛද්‍යවරු අතර ප්‍රචලිතව පැවැති බවත් ඉතිහාස කරුණු පෙන්වා දෙයි. 

බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්‌ටෝරු සකසයි. බොහෝවිට දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්‌ මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌ ද කැවිලි වර්ග පනස්‌ පහක්‌ද ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර ද ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද හීනටි හාල් අතුරුපසද කිරි පැණිද බුලත් විටද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්‌ටෝරුව සැකසේ.

එකල දිනපතා සැකසෙන රාජ භෝජනය නිත්‍ය රටාවක්‌ම බැවින් මුලුතැන්ගෙයි සේම ඒ අවට සේවය කළ උදවිය සිය ඒකාකාරි බව පලවා හරිනු වස්‌ කවි කීහ. ඒ අතර උන් ඇතැම්හු හිටිවන කවි තැනූහ. ඇතැම්හු උසුළු විසුළු පිණිසද කවි තැනූහ. ආහාර පිසින්නෝද සිය කාර්යය කවියට පෙරළා ගායනා කළෝය.

මුංපියලි නැලිය ක
සහල් ගනු තුන් නලිය ක
කෙටූපිටි විතර ක
උයාවී කිරිලා පදම්දැ ක

පත්පැර වියල නු 
අත්සුනු සකුරු මෙහිල නු
ඉසඉස බැද ග නු 
ඊට මුතුලාල යයි නම් ද නු

.....ආදි ලෙස ගායනා කර තිබේ. යටවර නමැති කිවි`දු රාජ භෝජන ආහාර වට්‌ටෝරු කවි තුන්සිය හතලිස්‌ හතරකින් පුස්‌කොළ පොතෙහි ලියා ඇති අතර පසු කාලීනව පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල පුස්‌කොළ පොතෙහි කවි සංස්‌කරණය කොට කෑම වට්‌ටෝරු එකසිය විස්‌සක්‌ පමණ ග්‍රන්ථාරූඪ කර ඇත. 

රාජ කෑම වට්‌ටෝරුවේ බත් වර්ග හත, සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවදැල්, ඇතුළු අග්‍රගණ්‍ය සහලින් සමන්විතය. මහනුවර යුගයේ වාසලට දෛනික සහල් සැපයූවේ පැණිදෙණිය, ගුරුදෙණිය අටුවලින් බවද ස`දහන් වේ. 

බත් වඩන නිළමේගේ ආහාර වට්‌ටෝරුව මඩප්පු නිළමේගේ අධීක්‌ෂණය යටතේ මඩප්පු රාළලාගේ කැපවීමෙන් රසවත් වේ. සාදා නිමකරන සෑම අහරක්‌ම ආරක්‌ෂා කරන්නේ පිහන රාළලා විසිනි. සෙසු කටයුතන්හිදී සේම දෙහි දොඩම්, පොල්, තුනපහ, දර, කෙසෙල් කොළ, පැණි හකුරු, ආදී සියලු අමුද්‍රව්‍යය මාළිගා මුලුතැන්ගෙට සපයන්නේ ඒ ඒ රාජකාරියේ නියුතු උදවිය විසිනි. අරක්‌කැමියා හෙවත් මුලගිනා ලුණු ඇඹුල් නොබලා, යස පදමට රස ගලපන්නේ සිය පලපුරුද්ද පෙරදැරිවය. මාළු පිනි හැටද කැවිලි පනස්‌ පහද සෙසු සියලුම ආහාරද පිසිනුයේ උදෑසනමය. පෙරදා සැකසූ කිසිවක්‌ රාජභෝජනයට කැප නොවේ. පිසින ලද සියලුම ආහාර රස බැලීමේ වරම් ඇත්තේ, අගුබලන්නාට පමණි. ඔහු සියලු ආහාර ගෙන සිංහල පැයක්‌ පසු වූ තැන බෙහෙත්ගෙයි මුහන්දිරම් ඔහුව පරීක්‌ෂා කොට, අනතුරුව ර-ජුරුවන්ට කෑමට ආරාධනා කරයි. 

රජු ආහාර ගන්නේ, කෑම ශාලාවක නොවේ. මාළිගයේ හිස්‌ ශාලාවක කිසිවෙකුටත් නොපෙනෙන මුලුගැන්වූ ස්‌ථානයක සිටය. බුමුතුරුණක්‌ මත එරමිණිය ගොතා හි`ද ගන්නා රජ තෙමේ ඔඩොක්‌කුව මත රන් සළුවක්‌ එලනු ලබයි. දිය වඩන නිළමේ පැමිණ රන්තලියක වතුර බහා අත සෝදවා තෙත මාත්තු කොට ඉවත්ව යයි. අනතුරුව බත්වඩන නිළමේ පැමිණ රන්තැටියක්‌ තබා, බත් හැන්දක්‌ එක්‌ ව්‍යංජනයක්‌ බැගින් වරින් වර බෙදනු ලබයි. ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය ස`දහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක්‌ බැවිනි. බත් හා ව්‍යංජන ඇතැයි රජ සැලකල පසුව, කැවිලි ද, කිරිවලින් තැනූ අහරද, හීනටිහාල් අතුරුපසද, කිරි පැණි ද, ආහාරයට ගනී. අනතුරුව රාජකීය වෛද්‍යවරයා නොහොත් බෙහෙත්ගෙයි මුහන්දිරම් සැකසූ ලෙය්‍ය වර්ග අහරට ගනී.

මේවා තලියක දමා පිළිගන්වද්දී රජ එය ලෙවකෑ යුතුය. නිසි ඖෂධීය ගුණ සිරුරට ලැබෙනුයේ එවිටය. 

රාජ භෝජනය ඓතිහාසික වූයේ, සූප කලා සාහිත්‍යය හරහාය. නිරෝගිමත් ජීවිතයක්‌ උදෙසා එවන් සාහිත්‍යයක හරය අදටත් වැදගත් වන බව සිතීමද වැදගත්ය.

උපේක්‌ෂා
 2014 පෙබරවාරි 09 ඉරිදා දිවයින