ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

රට වෙනුවෙන් ජීව්තය පූජාකළ කැප්පෙටිපොළ වීරයා


මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ සදා අමරණීය වීරයෙකි. අදින් වසර එකසිය අනූහයකට (196) ප‍්‍රථම දේශය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ එතුමා, මෙම මස 26 දින සැමරීමට නියමිතය. පරදේශක්කාර ජාතියකට යටත්ව, නිවට, නියාලූ අයුරින් ජීවත් වීම මදිකමක් ලෙස සිතූ ඔහු, තම ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය එඩිතරව පූජා කළ වීරයෙකි. එතුමා කඩුව ඔසවමින් ඌව වෙල්ලස්ස විමුක්ති සටනට නායකත්වය ලබාදෙමින් සටන මෙහෙය වූයේ, එවකට ලෝකයේ අවි ආයුධවලින් සන්නද්ධ ප‍්‍රබල යුද සේනාවක් සමඟය. ක‍්‍රි.ව 1817 සැප්තැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඇරඹුණි.


 කැප්පෙටිපොළ පරපුර 

කැප්පෙටිපොළ පරපුරෙහි ඉතිහාසය පිළිබඳ ජනප‍්‍රවාදයෙහි කතා කිහිපයක්ම පැවතිය ද, විශ්වාස කළ හැකි සාධක හමුවන්නේ මහනුවර යුගයෙනි. එය අවසාන සිංහල රජු වන වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය (ක‍්‍රි.ව. 1707-1739) දක්වා වූ ඈත අතීතයට දිව යයි. මෙම රජුගේ සලූවඩන පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොළ පරපුරේ ආදීම පුරුෂයෙක් වන රාජපක්ෂ වික‍්‍රමසේකර මුදියන්සේය. එම පදවියට අමතරව තමන්කඩුව, මාතලේ හා සත්කෝරලයේ දිසාපති පදවිය ද පිරිනමා තිබේ. සම්භාව්‍ය රදළ පවුලකි. සතරකෝරලයේ කැප්පෙටිපොළ උපන් ගම අතහැර මාතලේ මොණරවිලට පැමිණ තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ඉන්පසුව පැවත එන පරපුරේ නිලමේවරු කැප්පෙටිපොළ සහ මොණරවිල යන නම් දෙකෙන්ම හැදින්වීමට පටන් ගත්හ.
මාතලේ උඩසියපත්තුවේ මොණරවිල ගම පිහිටා තිබෙන්නේ උඩුගොඩ ගොලහැල ග‍්‍රාමයට සම්බන්ධවය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේගේ පියා කැප්පෙටිපොළ හෙවත් ගොලහැල නිලමේය. මව මොණරවිල කුමාරිහාමිය. පියා රාජාධි රාජසිංහ රාජ සමයේ (කි‍්‍ර.ව. 1781-1798) දියවඩන නිලමේ තනතුර හෙබ වූහ. ඔහු ශ‍්‍රී දළදා මාලිගාවේ සොල්දර තට්ටුවෙන් වැටී මියගිය බව කියැවේ. මෙතුමාට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියේය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් දියේ ගිල්වා අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත් කරනු ලබන ඇහැලේපොළ කුමාරිහාමි මෙතුමාගේ සහෝදරී වන අතර, ඇය විවාහවී සිටියේ ඇහැලේපොළ මහනිලමේ සමගය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ විවාහවී සිටියේ සබරගමුවේ කුල කාන්තාවක් වූ දෙල්වල එතනා සමඟිනි.
ඔවුන්ට කැප්පෙටිපොළ ලොකු බණ්ඩා නමින් පුත‍්‍රයෙක් ද සිටියේය.  සෙංකඩගල පුරවරයේ කැප්පෙටිපොළ දිසාව සතුව වලව්වක් තිබුණේ නැත. මහනුවරට පැමිණෙන අතරමඟදී, නැවතුණේ වර්තමානයේ ඉතිරිව පවතින මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේය. එය කාමර 16 කින් යුත් සුවිශේෂී ගෘහ නිර්මාණශිල්පයේ අලංකෘත දෙමහල් ගොඩනැගිල්ලකි. සඳලූ තල දෙකකි. හය වැනි පරම්පරාවේ මිණිබිරියක් වන ධනංජනී මොණරවිල කැප්පෙටිපොළ මහත්මිය තම ස්වාමිපුරුෂයා සමඟ අද මෙහි ජීවත්වෙති. මහනුවර දී තම නැඟනිය (දියේ ගිල්වා මරණයට පත් කළ ඇහැලේපොළ කුමාරිහාමි) විවාහවී සිටි ඇහැළේපොළ මහාඅදිකාරම්ගේ වලව්වේ නැවතුණි.
කැප්පෙටිපොළ පරපුර පිළිබඳ තවත් කතා කිහිපයක්ම ජනප‍්‍රවාදයේ පවතී. ඉන් එකක් නම් මෙසේය. එය ශ‍්‍රී විජය රාජසිංහ රජ දවස (කි‍්‍ර.ව 1739-1749) දක්වා වූ ඈත අතීතයට දිව යයි. එදවස, සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් අත්තනායක නම් එක්තරා රදළ පවුලක් සතරකෝරලයේ අඹහැර ගමෙහි සිට මහනුවරට පැමිණ සුදුහුම්පොළ ගමේ පදිංචිවී ඇත. මෙම සහෝදරිය අතිශය රූමත් ළඳකි. එක්වරක් දුටුව කෙනෙක් නැවත වරක් දැකීමට තරම් සිතෙන ආකාරයේ රූපශ්‍රීයෙන් යුක්ත විය. සහෝදරයන් ඇයව සඟවා ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ කළ ද, ඇයගේ රූමත් බව ශ‍්‍රී විජය රාජසිංහ රජතුමාට ද දැනගැනීමට ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජතුමා ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය.
තම එකම නැඟනිය වඩුග රජකුට විවාහ කර දීමට සහෝදරයන් කැමැත්තක් දැක්වූයේ නැත. අනාගතයේ දී රජුගෙන් ඇය ආරක්ෂා කර ගත හැකි ක‍්‍රමයක් ද සොයා ගත නොහැකි විය. සහෝදරියගේ ජීවිතය නැති කරනවා හැර සිදු කළ හැකි වෙනත් විකල්පයක් ද ඔවුන්ට නොතිබිණි. අකමැත්තෙන් වුවත්, සහෝදරිය මරා දමන සොහොයුරන් දෙදෙනා මාවනැල්ල ප‍්‍රදේශයට පලාගොස් එක් අයෙක් බැද්දෙවෙල, අනෙක් සහෝදරයා කැප්පෙටිගාලෙහි ද (පසුව කැප්පෙටිපොළ ලෙස ව්‍යවහාරයට පැමිණියේය) සැඟවිණි.
එවකට මාවනැල්ල කැළෑබද ප‍්‍රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක‍්‍රි.ව 1604-1635) එනම් ක‍්‍රි.ව 1630 වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි.
මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව
-සිංහලයන් පාගා දමමින් සිංහලයන්ම විනාශ කිරීමට සිංහලයන් භාවිත කරන විදේශිකයන් කෙදිනක හෝ ඔබවත් විනාශ කරනු ඇත. ඔවුන් විශ්වාස නොකරන්න, මෙම දේශය අපගේය. අප මෙම දේශය ආරක්ෂා කර නොගතහොත් පාපයකි. එමනිසා පෘතුගීසීන් පරාජය කිරීමට සහාය වන්න’’ යනුවෙනි.
මෙම හසුන්පත ලැබීමත් සමඟ ඔහුගේ දේශපේ‍්‍රමීත්වය මතුව ආවේය. දින කිහිපයක් ගත විය. පෘතුගීසි නිලධාරියකුගේ හිසක් රජතුමා වෙත යවන ලදී. ඒ තමන් රජුට සහාය වන බව දැන්වීමටය. පසුව සෙනරත් රජතුමා සමඟ එක්වී පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දේශය ඔවුන්ගෙන් මුදාගන්නා ලදී. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් -වික‍්‍රමසිංහ කුලතුංග” නාමයත්, ඌවේ පිහිටි කටුගහ වලව්ව සහ එය අවට පිහිටි ඉඩම් නින්දගම් වශයෙන් ඔහුට පිරිනමා තිබේ.   

උඩරට පාලනය බි‍්‍රතාන්‍යයන්ට හිමිවූ පසු ඒ වන විට ඉංග‍්‍රීසීන් විසින් හජ්ජි මුහන්දිරම් කෙනෙක් වෙල්ලස්ස පාලනය සඳහා පත්කර තිබුණි. සිංහලයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැත. රදළ නායකයන්ට වඩා මෙම තත්ත්වය බෙහෙවින් දැනෙන්නට පටන් ගත්තේ සාමාන්‍ය මහජනතාවටය. සිය නායකයන් කළ වැරැුද්ද අවබෝධ කරගත් කිවුළේ ගෙදර, කොහු කුඹුරේ, ඇහැලේපොළ, ඉහගම ආදීහු ප‍්‍රමුඛත්වය ගත්හ. කැප්පෙටිපොළ දිසාව ද මෙයට රහසින් ආධාර කළේ අවස්ථාව ලද වහාම සම්බන්ධවීමේ අදහසිනි. (මේ බව ලූතිතන් ටි්‍යුලොක් කැප්පෙටිපොළ පවුලේ අය සිර භාරයට ගෙන දේපළ රාජසන්තක කළ අවස්ථාවේ දී, එහි පෙට්ටගමක තිබී හමු වූ ලිපි නිසාය. මේ බව ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් විසින් යටත් විජිත භාර ලේකම්වරයාට යවන ලද වාර්තාවල සඳහන් වේ*. -දොරේසාමී” (විල්බාව ගමේ උපත ලබා ඇති සිවුරු හල (හීරලවකු) කෙනෙකි) නම් වූ අමුත්තෙකු වෙල්ලස්සේ කොකාගල නම් ගමට පැමිණෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහු පැමිණියේ තනිවම නොවේ. භික්ෂූන්වහන්සේ අටනමක් ද සමඟය.
වෛද්‍ය හෙන්රි මාෂල්ගේ සටහනට අනුව මේ බව බදුල්ලේ උපරෙසිඩන්ට් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ට දැන ගැනීමට ලැබෙන්නේ ක‍්‍රි.ව 1817 ඔක්තෝම්බර් මස 10 වෙනි දිනදීය. දොරේසාමි අල්ලාගෙන ඒමේ වගකීම පැවරෙන්නේ හජ්ජි මුහන්දිරම්ටය. හජ්ජි තම සොහොයුරා සහ වෙල්ලස්සේ මරක්කල මිනිසුන් කිහිපදෙනකු සමඟ පිටත් විය. වෙල්ලස්සේ කඩවතට පැමිණි හජ්ජි ඇතුඵ පිරිසට සිංහලයන් කණ්ඩායමක් ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කළ අතර, ඔවුන්ගෙන් හතර දෙනකු අල්ලාගෙන බදුල්ලට යැවීය. මේ බව ආරංචි වූ වෙල්ලස්සේ සිංහල තරුණයන් පිරිසක් දුනු හී අතැතිව ඉදිරියට පැමිණෙමින් සිටින හජ්ජිගේ සොහොයුරාට තුවාල කර හජ්ජි අල්ලා ගත්හ. හජ්ජිගේ පිරිසෙන් කිහිප දෙනෙක් බදුල්ලට පළා ගියහ. 12 වැනි දින මෙම පුවත බදුල්ලට දැන ගැනීමට ලැබුු අතර, 14 දින උපරෙසිඩන්ට් විල්සන් සහ ලයිතන් නිව්මන් යටතේ ජා හේවා කණ්ඩායමක් සමඟ භාෂා පරිවර්තකයකු සහ දේශීය භටයෝ කිහිප දෙනෙකු ද වෙල්ලස්සට පිටත් වූහ. ඔවුහු පළමු රැුය අලූපොත ද, දෙවැනි දවසේ වෛනවැල්ලට ද ගොස් බුත්තල රාත‍්‍රිය ගත කළහ. පසුවදා සිංහල භට පිරිස් සමඟ සාකච්ජා කිරීමට උත්සාහ කළ ද, ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවක් විය. ඒ ඔවුන් සිංහල ජාතියට බොහෝ කෙණහිළිකම් කර තිබූ නිසාය.  

ඒ වන විට වෙල්ලස්සේ අතිදක්ෂ දුනු හේවායකු වූ මීගහපිටිය වලව්වේ හිටිහාමි රටේරාළගේ නායකත්වයෙන් යුත් භට පිරිසක් ඉංග‍්‍රීසින් වටකර සිටියේය. එකවරට කැලෑව දෙසින් ඉංග‍්‍රීසීන් වෙත පැමිණියේ ඊ වර්ෂාවකි. හිටිහාමි රටේරාළගේ ඉලක්කය විල්සන් වෙතය. තවත් මොහොතකින් විල්සන් ඇතුඵ කිහිප දෙනෙක් මැරී ඇද වැටුණි.

 මොණරවිල කැප්පෙටිපොළ දිසාව සටනට එක්වීම 

වෙල්ලස්සේ දිසාව ලෙස එවකට පත්කර සිටියේ මහලූ වයසේ පසු වූ මිල්ලවය. මහලූව සිටීම පමණක් නොව රෝගාබාධව සිටි නිසා රාජකාරී නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් විය. මේ නිසා මෙම දිසාව ද, ඌවේ දිසාව යටතට පත් කරන ලදී. මේ වන විට ඌව දිසාවේ ලෙස පත්ව සිටියේ මොණරවිල කැප්පෙටිපොළ නිලමේය. බදුල්ලේ අණදෙන නිලධාරී මේජර් මැක්ඩොනල්ඞ්ගේ අනුමැතිය ඇතිව වෙල්ලස්ස පළාත සමතයකට පත් කිරීමේ වගකීම කැප්පෙටිපොළට පවරා ඔහුගේ අතවැස්සන් දොළොස් දෙනකුට තුවක්කුව බැගින් හා වෙඩි බෙහෙත් ලබා දුන්න ද, යුද හමුදාවක් රැුගෙන ගියේ නැත. එහෙත් පරම්පරා ගණනාවක සිට පැවත එන ශ්‍රේෂ්ඨ යුද බෙර වයන්නකු වූ තිත්තවෙල මහ පනික්කියා ද ඔහු සමඟ ගියේය.
ක‍්‍රි.ව 1817 නෙවැම්බර් මස 01 දින කැප්පෙටිපොළ මහ නිලමේට අඵපොතදී කොහුකුඹුරේ රටේරාළ ඇතූඵ සටන් පිරිස හමුවිය. සටන් සංවිධානය කොහුකුඹුරේ රටේරාළ භාරයේ පැවති අතර, පිලිමතලව්වේ අධිකාරම, මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල සටන් පෙරමුණේ වූහ. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ. කලින් යොදාගත් සැළැස්මක් ක‍්‍රියාත්මක වීමකි. එහෙත් ඒ බව පෙන්වීමට රටේරාළ කැමති වූයේ නැත.
”අපේ රට මෙතෙක් දවස් අඳුරේ තිබුණත්, දැන් සූර්ය දිව්‍ය රාජයාට සමාන රජ කෙනෙක් පහළවී සිටිනවා. එතුමා කෙරේ විශ්වාසය ඇතිනම් අප හා එකතු වෙන්න. නැතිනම් ඔබ මෙතැනදීම මරා දමා හිස රජතුමා ළගට රැගෙන යනවා..” රටේරාළ පැවසීය.  
 ”රජතුමා කෙරෙහි මගේ විශ්වාසයක් නැතිනම්.. මම එන්නේ හේවායන් සමඟයි.. හිතවත් කෙනෙක් හැටියටයි මම ආවේ”.. යැයි කැප්පෙටිපොළ නිලමේ පිළිතුරු ලබා දුන්නේය. ඒ වන විට කැප්පෙටිපොළට පක්ෂපාත පිරිස පන්දහසක් පමණ වූහ. රටේරාළ සතුව සිටියේ දෙසිය පනහක පමණ පිරිසකි.. මේ නිසා කැප්පෙටිපොළ නිලමේට අවශ්‍යතාවක් තිබුණා නම්, බේරී පළා යාමට පවා ඉඩ තිබුණි. එහෙත් එසේ නොකර, සිංහල විමුක්කි සේනාවට එක්වූ කැප්පෙටිපොළ නිලමේ, ඔහු සමඟ පැමිණි ඉංග‍්‍රීසී හේවා පිරිසේ කිසිවකුටවත් කිසිදු ආකාරයෙන් හිංසා නොකර ඔවුන්ගේ අවි ආයුධ ද සමඟ ආණ්ඩුකාරයා වෙත පිටත් කර යවන ලද්දේ මහත්මා ගතිගුණ පෙන්වමිනි.
මොණරවිල කැප්පෙටිපොළ මේ ආකාරයෙන් සිංහල සේනාවට එක්වීමත් සමඟ සටන් පෙරමුණේ නායකත්වය ඔහුට හිමි විය. මේ බව දැනගත් රොබට් බ‍්‍රවුන්රිග් කෝපයෙන් වියරු වැටුණි. බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සටන් වැද සිටින සිංහල රණකාමීන්ගේ දේපළ රාජසන්තක කළේය. එපමණකින් සෑහීමකට පත් නොවූ ඔහු සංග‍්‍රාමික උපක‍්‍රමයක් වූ -බිම්පාඵ ප‍්‍රතිපත්තිය” ක‍්‍රියාත්මක කරමින් කෙත්වතු, ධාන්‍ය ගබඩා ගිනිතබා විනාශ කරන ලෙස මේජර් මැක්ඩොනල්ඞ් ඇතුඵ හමුදා නායකයන්ට උපදෙස් දුන්නේය. ඉංග‍්‍රීසි හා කුලී හේවායෝ සිංහලයන් සතු කෙත්වතු, ගෙවල් දොරවල්, ගව සම්පත කොල්ලකෑමෙන් නොනැවතී ගිනි තබා විනාශ කළහ. සටන ඉන් මර්දනය වූයේ නැත. තවත් උග‍්‍ර අතට හැරුණි. ඌව වෙල්ලස්සින් ඇරඹි සටන කන්ද උඩරට දක්වා ව්‍යාප්ත විය.  ඌව වෙල්ලස්සෙන් කි‍්‍ර.ව 1817 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සටන 1818 පෙබරවාරි මාසය වන විට බින්තැන්න, වලපනේ, දුම්බර හේවාහැට, හත්කෝරළේ, හාරිස්පත්තුව, මාතලේ, නුවර කලාවිය හා සබරගමුවේ එක් කොටසක් පුරා පැතිර ගියේය.

 ඉංගී‍්‍රසීන්ට කන්ද උඩරටින් පිටවීමට නියෝග කෙරේ 

කැරැල්ලට සම්බන්ධ සියලූම සිංහලයන් රාජද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කරන මෙන් ප‍්‍රකාශයට පත් කළහ. මොණරවිල කැප්පෙටිපොළ ඌවේ දිසාව ඇතුඵ දහතුන් දෙනෙක් ප‍්‍රධාන රාජද්‍රෝහීන් ලෙස නම් කරමින්, ඔවුන් සතු දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළේය. එහෙත් සිංහලයන්ගේ විමුක්ති සටන පාලනය කිරීමට ඉංග‍්‍රීසි හේවායෝ අසමත් වූහ. ඉංග‍්‍රීසීන්ට උඩරටින් ඉවත් වන්නට සිදුවන තත්ත්වයක් ඇති විය. බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාගෙන් සහ ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙන් අමතර හේවා බළඇණි සමඟ යුද අවිද ඉල්ලා සිටියහ. ඒ සමඟම මෙම නිදහස් සටනේ නායකයා වූ කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට තාර්කා පගෝදි 2000 ක් ගෙවන බවට ප‍්‍රසිද්ධ වුණි.
පෙබරවාරි, මාර්තු ඉතාමත් දරුණු ආකාරයෙන් සටන් පැවති කාලයකි. තම හමුදා සේනාංක ඉවත් කර ගන්නා මෙන් යටත් විජිතභාර ලේකම් මෙරට ආණ්ඩුකාරවරයාට නියෝග කළේය. එහෙත් එම නියෝගය ලැබුණේ සතියක කාලයක් ප‍්‍රමාද වීමෙනි. එම ප‍්‍රමාදය අතර කාලයේ බලාපොරොත්තු රහිත ලෙස ඉන්දියාවෙන් හමුදාවක් පැමිණියේ ඉංග‍්‍රීසින්ගේ වාසනාවටය. ඉන් ඉංග‍්‍රීසින් දිරිමත් විය. මාස කිහිපයක් සටන් පැවතිණි. ඉංග‍්‍රීසින්ගේ මිලේච්ජ ක‍්‍රියා පමණක් නොව ආහාර, අවි ආයුධ හිඟකම ද සටන අඩාළ වීමට බලපෑවේය. මෙවන් කි‍්‍රයා සිදුවන අතරතුර කැප්පෙටිපොළ දිසාව අසනීපයෙන් පසුවිය. පෙරමුණ ගත් නායකයෝ එකිනෙකා ඇද වැටෙමින් මරු වැළඳ ගත්හ. සමහර නායකයන් ඉංග‍්‍රීසින් සිර භාරයට පත්විය. මෙවන් අයහපත් වාතාවරණයක් මධ්‍යයේ වුවද, කැප්පෙටිපොළ මහනිලමේ සටන අත්හැරියේ නැත.
ජෝන් ඩොයිලිට තොරතුරු සැපයූ උඩුගම උන්නාන්සේ නැමැති දුසිල්වත් සාමණේරයාණන්ගෙන් ලබාගත් ඔත්තුවකට අනුව, තමා සමඟ විල්බාවේ පන්සලේ වාසය කළ සිවුරු හැරගිය භික්ෂුවක්, දොරේසාමී නමින් රජෙකු ලෙස පෙනී සිටින බව පැවසීය. බ‍්‍රවුන්රිග් මේ බව ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කැප්පෙටිපොළ මහනිලමේ සහ අභිනව රජතුමා (දොරේසාමී) කණිෂ්ඨ පිළිමතලව්වේ ඇතුඵ රදළ නායකයන් විසින් සිරභාරයට ගන්නා ලද්දේ විල්බාවේ රදළයෙකු නොවන නිසා ඔහුට රජ වීමට අනුබල දුන් බව පවසමිනි. සැබවින්ම කැප්පෙටිපොළ ඒ බව දැන සිටියේ නැත. ඒ අතරේ පිළිමතලව්වේ ඩොයිලි සමඟ රහසේ සාකච්ජාවක් පැවතුණි. ඒ, කැප්පෙටිපොළ ඉංග‍්‍රීසින්ට භාරදී මහඅදිකාරම් තනතුර සහ නැති වූ දේපළ ලබා ගැනීමේ අරමුණෙනි. මෙවන් සාකච්ජා පවතින අතරතුරේ කැප්පෙටිපොළ සහ විල්බාවේ ඔවුන්ගෙන් මිදී පලාගොස් නුවර කලාවියේ, පරවහගම වලව්වේ නැවතුණි. මේ නිසා පිළිමතලව්ව සහ ඩොයිලි අතර පැවති සාකච්ජා අසාර්ථක විය.

නැවතත් පිළිමතලව්වට, කැප්පෙටිපොළ නිලමේ සොයා යාමට සිදුවිය. එහෙත් සිංහල ජාතියේ අවාසනාවට -ජා” පොට්ටනි වෙළෙන්දකු ලබාදුන් ඔත්තුවක් නිසා පරවහගම වලව්වෙහිදී ඔවූහු සියලූ දෙන ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වූහ. (ජා වෙළෙන්දාගේ ඉල්ලීම පරිදි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා, ඔහුගේ ආගම ඇදහීම සඳහා පල්ලියක් ඉදිකිරීමට, මහනුවර බෝගම්බර භූමියේ පර්චස් කිහිපයක ඉඩමක් ලබා දුන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ -කිරිමුහුදට” පහළින් අක්කරයක පමණ ප‍්‍රදේශයක පිහිටා ඇත්තේ එම පල්ලිය වේ.)
පරවහගම වලව්වේ කැප්පෙටිපොළ දිසාව පමණක් නොව, තවත් නායකයෝ රැසක් ද සිටියහ. මඩුගල්ලේ දිසාව ඇතුඵ සටන් පෙරමුණේ නායකයන් රැුසකට සැඟවී පළා යාමට අවස්ථාව ලබා දුන් මෙම වීරයා, ඒ වන විට ඔත්පලව ලෙඩ ඇඳේ වැතීරි සිටි පිළිමතලව්වේ තනිකර දමා නිවටයකු ලෙසින් පළා ගියේ නැත. ලූතිනන්  ඕනිල් වලව්වට ඇතුඵවන විටම.. -මා තමා කැප්පෙටිපොළ” යනුවෙන් උස් හඩින් පවසමින් ඔහු ඉදිරියට ගියේය. ඔවුන් අත්අඩංගුවට ගෙන දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන ආවේය. නොවැම්බර් දෙවැනි දින ඇළහැර දී මඩුගල්ලේ දිසාව ද ඉංග‍්‍රීසීන්ට හසුවිය.
නොවැම්බර් මස 13 වැනි දින යුද අධිකරණයක් ඉදිරියට කැඳවා මෙම වීරයන්ට මරණ දඬුවම ලබාදුන්හ. එය ක‍්‍රියාත්මක කරන ලද්දේ ක‍්‍රි.ව 1818 නොවැම්බර් මස 26 දින බෝගම්බරදීය. උදේ පෙරවරු 0800 බෝගම්බර වධක භූමියට කැඳවාගෙන පැමිණි කැප්පෙටිපොළ සහ මඩුගල්ල දිසාව අවසන් ගමන් ගියේ සෙංකඩගල පුරවරයම හඬවමිනි. ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබීය. මොණරවිල කැප්පෙටිපොළ වීරයකු වන්නේ ඌව වෙල්්ලස්ස සටන මෙහෙයවීම නිසාම පමණක් නොවේ. එයට නායකත්වය ලබාදෙමින් විදේශීකයන්ගෙන් තම රට මුදා ගැනීමට කළ උදාර මෙහෙය වෙනුවෙන් කනගාටුවෙමින් සමාව නොගත් බැවිනි.  
එදා රජයේ ගැසට් පත‍්‍රයේ මෙසේ සඳහන් විය. -මොණරවිල කැප්පෙටිපොළ දිසාව වීරයකු ලෙස සන්සුන්ව හැසිරුණේය. ජාතිය වෙනුවෙන් තමා ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා යන හැඟීමෙන් යුතුව මරණයට මුහුණ දුන්නේය” යනුවෙනි.  කැප්පෙටිපොළ මහනිලමේ මරණයට පත් කිරීමට ප‍්‍රථමව ඉතා රහසිගතව බිරිඳ වූ දෙල්වල කුමාරිහාමිට අවසාන කැමැත්ත දන්වා යවන ලදී. එහි සඳහන් කර තිබුණේ කැප්පෙටිපොළ වලව්ව සහ හැටපස් අමුණක ඉඩම් ද, සඟ සතුකර පූජා කරන ලෙසත්, කුමාරිහාමිට සහ තම දරුවාට සිය මව්පියන් වෙත ගොස් ජීවත්වන ලෙසත්ය. වර්තමානයේ මාවනැල්ලේ කැප්පෙටිපොළ විහාරය නමින් හඳුන්වන්නේ එයයි. ඒ වන විටත් තම මොණරවිල ගමට ආසන්නයේ (පල්ලේපොළ) විහාරස්ථානයක් ඉදිකර සංඝරත්නයට පූජා කර තිබේ. එය පල්ලේපොළ වේළුවන පිරිවෙන ලෙස හැදින්වේ.
කැප්පෙටිපොළ වීරයා එඩිතර විලාසයෙන් මරණයට මුහුණ දුන් ආකාරය විශ්මය දනවන්නකි. එබැවින්, ඔහුගේ හිස පරීක්ෂණයකට ලක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යාමට දොස්තර හෙන්රි මාෂල් අවසර ලබා ගත්තේය. ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්තු විද්‍යාඥයින් එම හිස් කබල පරීක්ෂා කිරීමෙන් පසු නිගමනය කළේ -කැප්පෙටිපොළ මහනිලමේ ලෝකයේ අතිශයින් විරල ගනයේ රණශූරයෙක්” බවය. පසුව එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමත් සමඟ ආපසු අපට ලැබුණ ද මහනුවර දළදා මාළිගා භූමියේ කි‍්‍ර.ව 1954 නොවැම්බර් මස 26 දින භූමදානය කර ඇත. එහෙත් ඒ ගැන විවිධ මත පළවෙමින් පවතී. බොහෝ දෙනකුගේ අදහස වනුයේ එය මතු පරපුරට දැක ගැනීම සඳහා මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කළා නම් වඩාත් සුදුසු බවය.  
ස්තුතිය- මහනුවර උලූක්කොණ්ඬේ නීිතිඥ අබේරත්න බණ්ඩාර කන්දේගම, මාතලේ, හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේ ධනරංජනී මොණරවිල කැප්පෙටිපොළ සහ වින්සර් හුලංගමුව යන මහත්ම මහත්මීන්ටය.
2014 දෙසැම්බර් මස 12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

නාග ශාපය

 

නාග ගෝත‍්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප‍්‍රබල ජන වර්ගයකි. එමෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන්වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට
 එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගලවලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් ස්වදේශික ජන ගෝත‍්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත‍්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත්
ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැලකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත‍්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ මතය එක් අතකින් ප‍්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.

දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.
දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක‍්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති.

දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය.
එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය.
නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.
ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.
මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.
එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය.
දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.
එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.
ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.
2014 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය

අනුරාධපුර අටමස්ථානාධිපති, 
උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය 

පල්ලේගම සිරිනිවාස නා හිමි

වසර 800 කට පසු යළි ප්‍රතිනිර්මාණය කළ “අනුරාධපුර මහාවිහාරය” 2014.12.07 වැනි දින සඟසතුකර පූජා කිරීම නිමිත්තෙනි
ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ සිදු වූ විජයාගමනයෙනි. ඊට පෙර මේ දිවයිනේ මනුෂ්‍යයෝ ජීවත් වුවද ඔවුන්, හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ පිළිබඳ ලිඛිත හා පුරාවිද්‍යාත්මක තොරතුරු ඉතා අල්පය. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ බව වංශකතාවල සඳහන් වේ. එසේ වුවද විජය ප්‍රධාන ආර්යයෝ බෞද්ධයෝ නොවූහ. බ්‍රාහ්මණාගම ප්‍රධාන එවකට උතුරු දඹදිව තිබූ විවිධ ආගම් හා විශ්වාස ඔවුන් මෙහි ගෙන ආවාට සැකයක් නැත. ඒ අනුව ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණාගම ද ජෛන ආදී ආගම් ද එවකට ලංකාවේ තිබූ යක්ෂයන් ඇදහීම, වෘක්ෂ වන්දනය ආදී විශ්වාස ද ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට තිබී ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

විජයාගමනය

මේ අතරින් එකල දඹදිව ඉතා බලවත්ව නැගී තිබූ බ්‍රාහ්මණාගම, ආර්යයන් සමඟ මෙරටට පැමිණ මෙරට ද බලවත් වී තිබුණු බව විශ්වාස කළ හැකිය. බ්‍රාහ්මණාගම විශේෂයෙන්ම විජය ඇතුළු ආර්යයන් අතර ඉතාම බලවත්ව තිබූ බවට තොරතුරු වංශකතාවල පැහැදිලිවම දැක ගත හැකි ය. වංශ කතාවලට අනුව විජය සමඟ මෙරටට පැමිණි උපතිස්ස බමුණා එකල ලක්දිව අගනුවර වූ උපතිස්ස ගාමය ගොඩනඟා තිබේ. ඔහු විජයට පසු ලංකාවේ රජකමද ලබා ඇත.
“පණ්ඩුකාභය” රජතුමා (ක්‍රි.පූ. 377 – 307) කුමාරවියේ දී ශිල්ප හදාරා ඇත්තේ “පණ්ඩුල” නම් බ්‍රාහ්මණයා වෙතිනි. පණ්ඩුකාභය රජතුමාගේ පුරෝහිතයා වූයේ ද පණ්ඩුල බමුණාගේ පුත්‍රයා වූ “චන්ද්‍ර” නම් බමුණා. බව මහාවංශයේ සඳහන් වේ. “දේවානම්පියතිස්ස” රජතුමා “අරිට්ඨ” කුමාරයා අත අශෝක අධිරාජයාට තුටු පඬුරු යවන විට ඒ කණ්ඩායමට කාලිපබ්බත නම් පුරෝහිත බ්‍රාහ්මණයාද ඇතුළත් විය. බෝධි රෝපණ උළෙලේ දී “තිවක්ක” නම් බමුණු ගමේ සිටි “තිවක්ක බමුණා” ගෞරවනීය ආරාධිතයෙක් විය. “අෂ්ඨඵලරුහ බෝධීන්වහන්සේ නමක්” ඔහුට ලැබුණේ එබැවිනි. දොරමඬලාවේ සිටි “කුණ්ඩල බමුණා” දුටුගැමුණු රජතුමාගේ මිතුරෙකි. එපමණක් නොවේ වළගම්බා රජතුමා රජවී හය මාසයක් ගිය තැන එතුමාට විරුද්ධව කැරලි ගැසුවේ නකුල නගරයේ තීය නම් බ්‍රාහ්මණයෙකි. මෙයින් අපට වටහා ගත හැකි වනුයේ මහින්දාගමනයට පෙර සිට මෙරට සිටි බමුණන්ගේ බලය, බෝධි ආගමනයෙන් පසුව ද යම් ප්‍රමාණයකින් තිබී ඇති බවයි.

බ්‍රාහ්මණ සමාජය

බමුණු සමාජය සකස් වී ඇත්තේ වර්ණාශ්‍රමධර්ම මතය. වර්ණ යනු චතුර් වර්ණයි. එනම් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර යන සතර කුලයයි. බමුණෝ ඉහළම කුලවන්තයෝ වූ අතර ක්ෂුද්‍රයෝ පහළම තත්ත්වයේ කුලහීනයෝ වූහ. මේ කුල භේදය බමුණු සමාජයේ කොතරම් තදින් තිබුණේද යත්, කුලහීනයෙකුගේ දර්ශනයෙන් කුල දූෂණයට පත්වීම නිසා බමුණෝ යළි ස්නානය කර පිරිසුදු වූහ.
මේ බුමුණු සමාජය පීතෘ මූලික සමාජයක් වූ අතර, ස්ත්‍රිය පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ ජීවත් විය යුතු වහලියකගේ තත්ත්වයට පත් කර තිබුණි. වේද මන්ත්‍රවල පැවසෙන්නේ ස්ත්‍රියගේ වත මලක් මෙන්ද වචන චන්දන සිසිලෙන්ද යුක්ත වූවත්, ඇය ළංකරගන්නෝ විනාශයට පත් වෙන බවයි. එමෙන්ම ස්ත්‍රිය, සිය ළමා විය පියා යටතේ ද තරුණ විය ස්වාමියා යටතේ ද මහලු විය වැඩිමහලු පුත්‍රයා යටතේ ද ගෙවිය යුතු සිරකාරියක් විය. ස්වාමියා මළ විට ඔහුගේ දර සෑයට පැන ජීවිතය විනාශ කරගන්නා සති පූජාව කිරීම, නැතහොත් ඉතිරි ජීවිත කාලය හිසකේ බූ ගා සුදුවත් හැඳ කණවැන්දුම් ජීවිතයක් ගත කිරීම බමුණු සමාජයෙහි ස්ත්‍රියකගේ උරුමය විය. පවුලක පිරිමි දරුවෙකුගේ උපත මංගල්‍යයක් ලෙස සැලකුණ අතර, ගැහැනු දරුවෙකුගේ උපත අවාසනාවක් විය. ස්ත්‍රියකගේ ඥානයට, දැනුමට හෝ කුසලතාවට බමුණු සමාජයේ තැනක් නොවිය. මේ ආකාරයට බමුණු සමාජය තුළ ස්ත්‍රියට උරුම වී තිබුණේ ඉතා දුෂ්කර වූත්, කටුකවූත් වහල් ජීවිතයකි.නිදහසක් නැති සිරකාරියකගේ තත්ත්වයකි. පිළිගැනීමත්, අගැයීමත් නැති ස්වාධීනත්වයක් රහිත පරාධීන භූමිකාවකි.
විජයාගමනයේ සිට මහින්දාගමනය තෙක් මෙරට ප්‍රධාන වශයෙන්ම පැවතුණේ ඉහත දැක්වූ දඹදිව පැවති බමුණු දහමට අනුගත වූ සමාජයකි. විජය කුමාරයා, තමාට මේ රටේ රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස අප්‍රමාණ උපකාර කළ කුවේණිය අතහැර දඹදිව පඬිරටෙන් ඒ රජුහුගේ දූ කුමාරිකාව ගෙන්වා සරණපාවාගත්තේ එකී බමුණු බලපෑමට නතුවීමෙනි. පණ්ඩුකාභය රජතුමා, මෙරට ස්වදේශික ජනතාව සමඟ මිශ්‍රවෙමින් යහපත් වූ සබඳතාවක් ගොඩනඟා ගත්ත ද යටකී බමුණු බලපෑම මුළුමණින්ම වෙනස් වූ බව සිතිය නොහැකිය.

ඓතිහාසික මහින්දාගමනය

ඓතිහාසික මහින්දාගමනය සිදුවන්නේ එවැනි සාමාජික වාතාවරණයක් යටතේ බව සැලකිය යුතු ය. තමන්ට නුහුරු නුපුරුදු දහමක් ශ්‍රවණය කළ පමණින්, අනුලා බිසව ඇතුළු කුළ ස්ත්‍රීන් සහ අන්තඞපුර කාන්තාවන් පැවිදිවීමට අවසර පැතූ බව මහාවංශයේ සඳහන් වේ. මේ පුවත ගැඹුරින් විමර්ශනය කරනවිට පෙනී යන්නේ, නිර්මල බුදු දහම තුළ ස්ත්‍රියට එතෙක් සමාජයේ නොතිබූ සහනයක්, පිළිගැනීමක් හා නිදහසක් ඇති බව අනුලා බිසව ඇතුළු ස්ත්‍රීන් නුවණින් වටහා ගත්තා විය හැකි බවයි. එබැවින් පැවිදි බව පතා අනුලාව ඇතුළු කාන්තාවෝ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වඩිනතුරු සිටි ආකාරය මහාවංශයේ සඳහන් වෙන්නේ මෙලෙසිනි.
“එකල්හි වනාහි ශෛක්ෂවූ අනුලා දේවි තොමෝ පන්සියයක් කන්‍යාවන් හා අන්තඞපුරවාසී වූ ස්ත්‍රීන් පන්සියයක් ද සමඟ දසසිල් සමාදන්ව කසාවත් ඇත්තී පිරිසුදු වුවා පැවිදි පතමින් ස්ථවිරින්ගේ ආගමනය සොයන්නී නුවර එක් පෙදෙසෙක්හි නරනිඳුහු විසින් කරවන ලද සිත්කළු වූ මෙහෙණ අසපුවෙක්හි යහපත් වූ ඇතිව වාසය කළා ය. ඒ උපාසිකාවන් විසූ මෙහෙණවර ඒ කරනකොටගෙන උපාසිකා විහාරයයි ලක්දිව ප්‍රකට විය.”
වංශකතාවේ මේ සඳහන විමසන විට අනුලාව ඇතුළු කාන්තාවන්ගේ අභිප්‍රාය සේම, දේවානම්පියතිස්ස රජතුමා ඊට දක්වා තිබෙන නම්‍යශීලී අනුග්‍රහය ද ඉතා වැදගත් බව පෙනේ.

කාන්තාවන්ට පැවිද්ද

බුද්ධගයාවේ මහා බෝධීන්වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද වඩමවාගෙන වැඩම කළ සංඝමිත්තාවෝ බෝධි රෝපණ උළෙලෙන් පසුව අනුලා දේවිය ඇතුළු කාන්තාවන් දහස පැවිදි කරවා තිබේ. දීපවංශයේ සඳහන් වන ආකාරයට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සමඟ උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවි, පදුම, හෙමාසා උත්තලා, අඤ්ජලී සඟ සුමා යන භික්ෂුණීන් වහන්සේලා පැමිණ තිබේ. ලංකාවේ දී පැවිදි බව ලද භික්ෂුණීන් වහන්සේලා අතර, සද්ධම්මනන්දි, සොමා ගිරිද්ධි, දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, සොභනා, ධම්මතාපසා, නරමිත්තා, සාතා, කාලි සහ උත්තරා යන අය වූහ. මේ අනුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භයේදීම දියුණුවක් ඇති වූ බව ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතා පෙන්වාදී තිබේ.

සංඝමිත්තාගමනය

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙහි වඩිනතුරු අනුලා දේවිය ඇතුළු පිරිස රැඳී සිටි උපාසිකාරාමයේම, සංඝමිත්තාව ඇතුළු භික්ෂුණීන්වහන්සේලා ද විසූහ. එහි වූ ගොඩනැගිලි දොළසකින් තුනක් අනෙක්වාට වඩා විශාල විය. එයින් එකක බෝධිය වඩමවාගෙන පැමිණි නෞකාවේ “කූපයඨිය” හෙවත් “ කුඹගස” ද එකක “පියස හෙවත්” නෞකා දණ්ඩ” ද අනෙකෙහි “අරිත්‍රය” හෙවත් “නැවේ සුක්කානම” ද තැන්පත් කර තබන ලදී. මේ හේතුවෙන් එම ගොඩනැගිලි තුන” කූපයඨීඨපිතසර” පිය ඨපිත ඝර සහ අරිත්ත ඨපිත ඝර” යනුවෙන් හඳුන්වා තිබේ. මෙම උපාසිකාරාමය අත්හළ සමීපයේ වූ හෙයින් එය “හත්ථාල්හක උපාසිකාරාමය” නම් විය. නන්දන උයන ආශි‍්‍රතව තිබූ මෙම මෙහෙණවර, මහාවිහාරයට අයත් ස්වාධීන ආයතනයක් ලෙස පැවතී තිබේ. වර්තමානයේ ථූපාරාම දාගැබ අවට ඇති නටබුන් මේ ඓතිහාසික මෙහෙණවරට අයත් ඒවා විය හැකිය. විශේෂයෙන්ම දාගැබ සමීපයේ ඊට නිරිත දෙසින් ඇති ගල් කණු සමූහය, මෙහෙණවරේ පොහොය ගෙයි ඒවා ලෙස සැලකේ. එමෙන්ම දාගැබට යාව ඊට බටහිර දිශාවෙන් එහි බෝධීන්වහන්සේ රෝපණය කර තිබූ බෝධිඝරයේ නටබුන් ද මතුකරගෙන තිබේ. අනුරාධපුර යුගයේ ඉතා ප්‍රකටව තිබුණු අනෙක් මෙහෙණවර වූයේ, මිරිසවැටිය දාගැබ ආශි‍්‍රත මෙහෙණවරයි. මිරිසවැටිය දාගැබ බටහිරෙන් එහි පොහොය ගෙයි ගල්කණු ද හමු වී තිබේ. මිරිසවැටි දාගැබ මහා සංඝයාට පූජා කරන උත්සවයට භික්ෂුණීන්වහන්සේලා අනූදහසක් වැඩම කළ බව මහාවංශයේ දැක්වේ. එමෙන්ම දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලි මහා දාගැබ ඉදිකිරීම ආරම්භ කළ දිනයේ පියදස්සී මහ රහතන් වහන්සේ කළ ධර්ම දේශනාව අසා භික්ෂුණීන් වහන්සේලා, දාහතර දහසක් රහත්ඵලයට පත් වූ බව මහාවංශයේ සඳහන් වේ. මේ සංඛ්‍යාත්මක සඳහන අතිශයෝක්තියක් සේ ගත්තද නිසැක වශයෙන් ම මේ කාලයේ මෙරට භික්ෂුණීන්වහන්සේලා ඉතා විශාල සංඛ්‍යාවක් සිටි බව එයින් පැහැදිලි වේ.
විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා විනය ඉගැන්වීමෙහි විශේෂ සාමාර්ථයක් දක්වා තිබෙන බව වංශකතාවලින් පෙනේ. මහිලා, සමන්තා, ගිරිකාලි, දාසී සහ කාලි යන භික්ෂුණීන් පස් දෙනා තවත් භික්ෂුණීන්වහන්සේලා විසි දහසක් සමඟ රුහුණෙන් පැමිණ අනුරාධපුරයේ දී විනය ඉගැන්වූ බව දීපවංශයේ සඳහන් වේ. වළගම්බා රජ දවස පැමිණි බැමිණිටියා සාය අවසන් වීමෙන් පසු ලංකාවේ මුලින්ම විනය උගන්වා ඇත්තේ මහාසෙනා, දත්තා, සීවලා, නාගා, නාගමිත්තා, ධම්මගුත්තා, දාසියා, සමුද්දා, සපත්තා, ඡන්නා, උපාලි, රේවතා, මාලා, ඛේමා සහ තිස්සා යන භික්ෂුණීන් වහන්සේලා බව එහිම දක්වා ඇත. ඉන්පසුව වළගම්බා රජතුමාගේ ආරාධනාව පරිදි සීවලා සහ මහරූහා යන භික්ෂුණීන් දෙදෙන දඹදිව සිට අනුරාධපුරයට පැමිණ ඇත්තේ ද විනය ඉගැන්වීම පිණිස වේ. සමුද්දනාවා, දේවී, සීවලා, නාගමිත්තා, මහිලා සහ නාගමිත්තා නම් වූ තවත් භික්ෂුණියක් ඇතුළු මෙහෙණියෝ එසේ දඹදිව සිට පැමිණි භික්ෂුණීන් වහන්සේලා වෙතින් උපසම්පදාව ලබා තිබේ.

භික්ෂුණීන් වහන්සේ

ශ්‍රී ලාංකික භික්ෂුණීන් වහන්සේලා, පස්වැනි සියවස පමණ වන විට අන්තර් ජාතික කීර්තියට පවා පාත්‍ර වී සිටියහ. භික්ෂුණී සාසනය ශ්‍රී ලංකාවේ සිට චීනයට රැගෙන යාම ඊට මනා නිදසුනකි. චීන අධිරාජයාගේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකාවේ රජතුමා විසින් “දේවසාර” නම් භික්ෂුණිය මෙහෙණිසස්නට අදාළ උපසම්පදාව ඇති කිරීම පිණිස චීනයට යවා තිබෙන බව චීන වාර්තාවල සඳහන් වන බව හේමපාල විජයවර්ධන සහ පී.බී. මීගස්කුඹුර යන මහාචාර්යවරු පෙන්වා දෙති. චීනය පුරා පැතිරී ගිය එම භික්ෂුණී ශාසනය පසුව ජපානය, තායිවානය සහ කොරියාව ආදී රටවල්වලට පැතිර ගොස් තිබේ.
මේ ආකාරයට ඉන් පෙර බමුණු සමාජය තුළ යම් පමණකට හෝ මුළුගැන් වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්ට, ඉන් පෙර නොවූ විරූ ආකාරයට නිදහස සහ සැනසීම උදාවූයේ මෙහි භික්ෂුණී ශාසනය පිහිටුවීම හේතුවෙනි. මේ පිළිගැනීම කෙතරම් උසස් වී ද යත් වළගම්බා රජ දවස දඹදිවෙන් පැමිණි භික්ෂුණීන් වෙතින් උපසම්පදාව ලද සමුද්දනාවා, දේවී සහ සීවලා යන තිදෙනාම රජුගේ දියණියන් වූ බව දීපවංශයේ සඳහන් වේ. එමෙන්ම ජෙට්ඨතිස්ස රජතුමා මිය ගියවිට එම බිසව භික්ෂුණියක් බවට පත් වී තිබේ. ස්වාමියා හැර යාමෙන් අසරණ වූ හයවැනි අග්ගබෝධි රජතුමාගේ දියණිය රජතුමා විසින් සසුන් ගත කරනු ලැබුවාය. මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි පෙන්වාදෙන අන්දමට එකල කාන්තාවන් සෑහෙන පමණ අධ්‍යාපනයක් ලබා තිබේ. ඒ සඳහා ඔවුන් විසින් ලියන ලද සීගිරි කුරුටු ගී ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පළමුවැනි අග්ගබෝධි රජතුමාගේ කාලයේ සිටි සුප්‍රකට දොළොස් කවීන් අතුරෙන් “දළ බිසෝ” කාන්තාවක් විය හැකි බව ඔහුගේ අදහසයි. පළමුවන උපතිස්ස රජතුමාගේ මෙහෙසිය ද අභිධර්මය හදාළ තැනැත්තියකි.
එමෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක්ම සෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ වී හෝ පාලනය යහපත් කර ගැනීමට උපකාර කර හෝ තිබේ. අනුලා, ලීලාවතී රැජන ආදීහු රාජ්‍ය පාලනයට සෘජුවම සම්බන්ධ වූවෝ වෙති. විහාරමහා දේවිය, මහසෙන් රජතුමාගේ බිසව, පළමුවන උපතිස්ස රජතුමාගේ බිසව ආදීහු රටත්, ජාතියත්, ශාසනයත් බේරා ගනිමින් රජුන් තැනුවෝ වූහ. ඒ අතර ඉඩම් හිමි කාන්තාවන්, භික්ෂූන්වහන්සේලාට විවිධ පරිත්‍යාග කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වංශ කතාවල මෙන්ම ශිලා ලේඛනවල හමුවේ. මේ ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව පත්වී සිට උසස් තත්ත්වය මහාචාර්ය හෙට්ටිආරච්චි මෙසේ පවසයි.
“පොදුවේ සලකන විට කාන්තාවන් ගැන හොඳ ආකල්පයක් සමාජයේ පැවති අතර ඔවුන් දේශපාලන, සාමාජික ආර්ථික හා ආගමික වශයෙන් නිදහස භුක්ති විඳිමින් සමාජයේ වැදගත් තැනක් හිමිකරගෙන සිටි බැව් මූලාශ්‍රවලින් හෙළිවේ.”
මේ කරුණු සලකා බලන විට අපට වටහා ගත හැක්කේ, විජයාගමනයේ සිට මහින්දාගමනය තෙක්, උතුරු දඹදිව සමාජ ක්‍රමය අනුව සමාජයේ නොවැදගත් කොටසක් බවට පත් වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් එතෙක් සිර වී සිටි සිරගෙය බිඳ දමා ඔවුන් එයින් නිදහස් කොට ගෙන ඇත්තේ, සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් මෙරට භික්ෂුණී ශාසනය ඇති කරනු ලැබීමත් සමඟම බවය. එහි සම්පූර්ණ ගෞරවය අනුරාධපුර මහාවිහාරයට හිමි විය යුත්තේ මහාවිහාරය නොතිබුණි නම් කිසි විටෙකත් මෙරට භික්ෂුණී ශාසනයක් නොතිබිය හැකිව තිබූ බැවිනි. එමෙන්ම මහාවිහාරයේ පදනම වූ ථෙරවාදී බුදුසමයෙන් බැහැර වූ කවර භික්ෂුණීන්වහන්සේ නමක් හෝ පිළිබඳ කිසිම මූලාශ්‍රයක සඳහන් නොවන බැවිනි.

ජය ශ්‍රී මහාබෝධි ශාඛාව වැඩම වූ ලක්දිව දඹකොලපටුන

ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දඹදිව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කළේ නැව් මඟින්ය. එකල මෙහි රජ කළේ දේවානම්පියතිස්ස මහ රජතුමාය. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කර මාස හතරකට පමණ පසුව සිදු වූ මේ පූජනීය සිදුවීම ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන දුමින්දාගමනය ලෙසින් සැලකේ.
මෙම සිදුවීමට පෙර දේවානම්පියතිස්ස රජතුමා විසින් සිය ඇමැතිවරයා වූ අරිට්ඨ කුමරු දඹදිව මහා අධිරාජයා වූ අසෝක රජු (ක්‍රි.පූ. 272-232) වෙත දූත මෙහෙවරෙහි යොදවන ලද්දේය. අරිට්ඨ කුමරු දඹදිවට යෑම සඳහා නැව් නැංගේද මෙම දඹකොල පටුනෙන් බව මහාවංසයේ සඳහන් වන කරුණකි. එම දූත මෙහෙවරෙන් පසුව අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස අසෝක මහ අධිරාජයා හමුවීමෙන් පසුව යළි ආපසු පැමිණියේද ගංගානම් ගඟෙ තාමලිත්ති(නටලුක්) වාරයෙන් නැව් නැඟ ලංකාවට ගොඩබැස්සේද දඹකොල පටුනෙනි.
සංඝමිත්තා මෙහෙණිය වර ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා දඹදිව බුද්ධගායවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට ගොඩබැස්සේද දඹකොල පටුනෙන් බව මහාවංසයේ සඳහන් කරුණකි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණිය ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා වැඩම කරවන නැව් දඹකොලපටුනට සේන්දු වන බව දැනගත් දේවානම්පියතිස්ස රජතුමා සහ අමාත්‍ය පිරිස පමණක් නොව මිහිඳු මහ රහතන් වහන්සේද දඹකොලපටුනට පැමිණ සිට බව හා මග සැරසූ අයුරු මහා වංසයේ සඳහන් වන්නේ මෙසේය.
”මහාබෝධි තොමෝ එදවස දඹකොලපටුනට වැඩියාය. ලොවැඩෙහි ඇලුණු දෙවනපෑතිස් රජ තෙමේ වනාහි සුමන සාමණේරයන් අතින් පූර්වයෙහි අසන ලද ඒ බෝධි ධ්‍රැම ගමනය ඇත්තේ උඳුවම් මස පලමු දින පටන් (නුවර) උතුරු දෙසින් දඹකොලපටුන සියලු මහමඟ අලංකෘත කරවා මහා බෝධිය කෙරෙහි ගිය සිත් ඇතිසේ මුහුදු අසල ශාලාවෙක ස්ථානයෙහි සිට මුහුද වටා මහා බෝධිය මහතෙරණුවන්ගේ (මිහිඳු මහ රහතන් වහන්සේගේ) ඍද්ධිය කරන කොටගෙන දුටුයේය. ඒ අද්භූතය ප්‍රකාශ කරන පිණිස ඒ ස්ථානයෙහි කරන ලද ශාලාව මහා සමුද්‍රාසන ශාලාව යැයි ප්‍රකට විය.
යහපත් දේහ ඇතිනාවු මහ රජ තෙමේ (දේවානම්පියතිස්ස) සේනා සහිත වූයේ මහා ස්ථවිරයන් වහන්සේ (මිහිඳු මහ රහතන් වහන්සේ) ගේ අනුභාවයෙන් ඒ ස්ථවිරිනුත් හා සමඟ එදවසම දඹකොළපටුනට මහාබෝධිය ෙමි පැමිණී මෙහි පී‍්‍රතියෙන් ඔදපත් වූයේ ලංකේශ්වර නරේන්ද්‍ර තෙමේ පී‍්‍රතිවාක්‍ය පවත්වමින් ගී‍්‍රවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයන් සමඟ මහාබෝධිය හිසින් දරා ගෙන වෙරළට නඟාගෙන යහපත් වූ මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුයේය. නරේන්ද්‍ර තෙමේ තමන්ගේ රාජ්‍යය සොළොස් කුල ජනයන්ට පමුණුවා දොරටුපාල තන්හි සිට තුන්දිනක් එහිම විවිධ නානාවිධ පූජා කළේය. (මහාවංශය පළමු වන කොටස ) 19 වන පරිච්ඡේදය ගාථා 23-32 )
දේවානම්පියතිස්ස රජතුමා විසින් දඹකොලපටුන වරායේ කරවටක් මුහුදට බැස ජය ශ්‍රී මහාබෝධි ශාඛාව සහිත පාත්‍රය හිසින් දරාගෙන ගොඩබිමට පැමිණීමට නැව අසලට ගොස් සිටින අන්දම කැලණි විහාරයේ බිතුසිතුවමක් චිත්‍රයට නඟන ලද්දේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සොයිලියෙස් මැන්දිස් කලාකරුවා විසිනි.මෙම පුදබිම සෙම්බිල්තුරේ නමින් මෙකල හැඳින්වේ.
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ අයිතිය එදා අනුරාධපුරයේ පැවති සිංහල බෞද්ධ රාජධානියට අයත්ව නොපැවැතියේ නම් මෙසේ දෙවන පෑතිස් රජුට එසේ දඹකොලපටුනට ගොස් සිය රාජකාරි කටයුතු කිරීමට අවස්ථාවක් ලැබේද ? දෙවනපෑතිස් රජු විසින් ජම්බුකෝල පට්ටනයෙන් (දඹකොලපටුනෙහි) ශ්‍රී මහා බෝධින් වහන්සේ ගොඩබට පුදබිමෙහි ජම්බුකේල නමින් විහාරයක්ද කරවන ලදී. එහෙත් එදා සාදවන ලද ජම්බුකෝල විහාරය අද දක්නට නැතත් ජම්බුකෝල විහාරයට අයත් වූ විහාරය වාලුක විහාරය ලෙස සැලකේ. ජම්බුකෝල විහාරය පොළොන්නරුවේ රජ වු මහ විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජ විසින් ප්‍රතිසංස්කරණය කළ බව මහා වංසයේ දෙවැනි කොටසේ සඳහන් වේ. එයින් පැහැදිලි වන එක් කරුණක් නම් 12 වන සියවස වන විට පවා ජම්බුකෝල විහාරය පැවති බවය. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග – පිටු අංක 181-182 (2003)
ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ මීට වසර 2323 ට ඉහත දී රෝපණය කළ අවස්ථාවේදී අෂ්ඨ ඵලරුහවලින් එකක් (පැල අටකින්) දඹකොලපටුනේද රෝපණය කළ බව මහාවංසය සිංහල බෝධිවංසය සහ චූලබෝධිවංසය යන අපේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත.
ඉහත සඳහන් කරුණුවලින් දඹකොලපටුන පූජනීය වූ ස්ථානයක් පමණක් නොව ඊට ඉහත දී මෙන්ම ඉන් පසුවද පුරාණ නැව්තොටක් (වරායක්) ලෙසින් පැවතුණු බවට මෙසේ ඓතිහාසික සාක්ෂි හමුවී තිබීමෙන් ඉතා පුරාණ නාවික ගමනාගමනවලදී මෙම පුරාණ වරාය ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනේ. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙම දඹකොල පටුනේද ඒ කාලයේ රෝපණය කළා පමණක් නොව ඉන් පසු කාලයේ බොහෝ රජවරුන්ද මෙම දඹකොල පටුන විහාරය සංරක්ෂණ කටයුතු සිදුකර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. ) විසින් මෙහි අෂ්ට ඵලරූහ වලින් එකක් රෝපණය කළා පමණක් නොව ඒ අසල විහාරයක් සාදවා එය තිස්ස විහාරය නමින් නම් කර ඇත. කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-194) එහි වටදා ගෙයක්ද, වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 214-236) විසින් වටදාගෙයක් කරවු බවද මහා වංසයෙහි සඳහන් වී ඇත. ධාතුසේන රජු (ක්‍රි.ව. 477-495) විසින් ථූප ථූපවිට්ටි සහ ධාතුසේන යන නම් වලින් මෙන් දඹකොලපටුන අසල විහාර දෙකක් සාදවන ලද බවද, සඳහන් වේ. මේ නිසා තිස් අවුරුදු මහා යුද්ධයෙන් පසුව මෙම පුදබිම ආශි‍්‍රත වරාය පමණක් නොව මේ අසල භූමියේද ගවේෂණයට හා ඉන්පසු පුරාවිද්‍යා කැණීමකට භාජනය කළ යුතුව ඇති බව අදාළ ආයතනවල වගකීමක් බව සිහිපත් කළ යුතුව ඇත.
බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහබෝධින් වහන්සේගේ උද්භිද නාමය (ජ්ඪජභඵ අඥතඪඨඪධඵච) පිකුස් රෙලිජෝසා නම්වේ. අද එම පුද බිමේ ඇත්තේ බුදුරජාණන් වහන්සේට සෙවණදුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නොවේ. එය අසෝක රාජ යුගයේදී විනාශ වූ බව මහාවංසය සඳහන් කරයි. එසේ විනාශ කිරිමට පෙර අප රටට එහි දක්ෂිණ ශාඛාව වැඩම කළ බවද ඉතා වැදගත්ය. ලෝකයේ පූජනීය වෘක්ෂයන් අතර අසුවල් දිනයේ අසුවල් අය ඉදිරිපිට අසුවල් ස්ථානයේ රෝපණය කරන ලදැයි ඓතිහාසික සාක්ෂි සහිත වු පූජනීය වෘක්ෂරාජයාණන් වැඩසිටින්නේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ බව විදේශික සංචාරකයින් පවා ඉතා හොඳින් දන්නා කරුණකි.
එදා දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාවෙන් වෙන් කරගන්නා ආකාරය නිරූපණ කෙරෙන අර්ධ මූර්ති කැටයමක් සාංචි ස්තූපයේ තොරණක නිරූපණය කර ඇති බවද ඉතා ප්‍රකටය.
දඹකොලපටුනේ වරායේ මුහුදට බැස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු පිළිගන්නා සේම අසෝක රජ තුමාද ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීම සඳහා නැවෙහි තැම්පත් කිරීමට තාමලිත්ති නැව් තොටට පැමිණ මහමුහුදට බැස්සා වු ආකාරය මහාවංසයේ මෙසේ සඳහන් වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු පුරාවිද්‍යා සහාය අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග

ඉතිහාසයේ පළමු වතාවට බලය විමධ්‍යගත කළ වසභ රජතුමා

වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.

ඉතිහාසය අනේකවිධ අයුරින් යළි යළිත් අප අතරට එයි. බලය පිළිබඳ පාඩම් බොහෝමයක් කියා දෙයි. බල අරගල, බලය රැුක ගැනීම, කුමන්ත‍්‍රණ, යුද්ධ, පාලකයාගේ යුතුකම් හා කාර්යභාරය ඒ අතර ප‍්‍රධාන මාතෘකා වෙයි.
අප පසුගිය සතියේ මෙම බල අරගලයේ එක් සංධිස්ථානයක් වූ මෞර්ය රාජ්‍ය බිඳ වැටීම හා ලම්භකරණ වංශය රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ යසලාලකතිස්ස රජුගේ කතා පුවත ගෙන ආවෙමු.
එහි දී මෞර්ය රාජ්‍ය බිඳ වැටීමට පාදක වූ පාලකයාගේ ඇති දුර්වලතාවන් මොනවා දැයි සාකච්ඡුා කළෙමු. අද අප පාලකයෙකු ශ්‍රේෂ්ඨ පාලකයකු වන්නේ කුමන ආකාරයෙන් දැයි යන්න පිළිබඳ වසභ රජුගේ රාජ්‍ය කාලයත් සමග කතා කරමු.
එනම් අනුරාධපුර නගරයේ ආගමික සහජීවනය පතුරවමින්, ආර්ථිකය නගා සිටුවමින්, නගරය අලංකාර කරමින් පළමු වරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ ඒ අසහාය පාලකයාගේ ජීවිතය පිළිබඳ පුවත ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යවරයා වූ නන්ද ධර්මරත්න මහතා සමග මෙසේ පෙළ ගස්වමු.

යසලාලකතිස්ස රජු උපක‍්‍රමශීලීව මරුමුවට පත් කළ සබ හෙවත් සුභ දොරටු පාලකයා අනුරපුර රාජ්‍යත්වයේ හිමිකරු බවට පත් විය. ඔහු වසර හයක් අනුරපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර ඔහුට විශ්වාසදායී ලම්භකර්ණවංශික සෙන්පතියෙකුද වූයේය.
එම වකවානුවේ රාජ්‍ය බලය රැක ගැනීම හා තහවුරු කරගැනීම පිණිස දෛවඥයින්ගෙන් රටේ ඉතිහාසය හා තමන්ගේ බලපරාක‍්‍රමය පිළිබඳ විමසීම සුභ රජු ද සිදු කළේය.
එහි දී වසභ නම් කුමරුවකු රාජ්‍යත්වයට පත්වන බව ඔහු දැන ගත්තේය. ඉතිහාස කතාවලට අනුව සුභ රජු විසින් වසභ නමින් සිටි සිහළ කුමරුවන් ඝාතනය කිරීමේ ඛේදවාචකය ආරම්භ කළේය.
මෙහි දී රාජ්‍ය පාක්ෂිකයකු වූ ලම්භකර්ණවංශික සෙන්පතියකු ළඟ වසභ නම් ඥාති කුමරෙක් ද වාසය කළේය. එහි දී මෙම සෙන්පතියා වසභ කුමරු මාළිගාවට ගෙන ගොස් රජු අතට පත් කිරීමට සිත් ඇති වීමට තරම් අකාරුණික විය. ඒ නිසාම එක් දිනක් ඔහු වසභ කුමරු මාළිගයට රැගෙන යාමට කටයුතු කළේය.  එය දැනගත් සෙන්පති බිරිය නොහොත් වසභ කුමරුගේ නැන්දණිය සිය ස්වාමියාගේ බුලත් මල්ලට හුණු නොදමා ගමනට පිටත් කළාය.

මාළිගය අසලට ගිය සෙන්පති බුලත් විටක රස බැලීමට සූදානම් වූ අතර එහි හුණු නොමැති බව දැන ගත්තේය. පසුව හුණු ගෙන ඒම සඳහා වසභ කුමරු ආපසු නිවසට පිටත් කළේය.
සෙන්පතිගේ කූඨ උපාය දැනගත් වසභ කුමරුගේ නැන්දණිය ඔහුගේ ජීවිතයට ඇති අනතුරුදායක බව වටහා දී කහවණු දහසක් ද සමග ඔහු මහා විහාරයට පිටත් කර හැරියේය.
මහා විහාරයට ගිය වසභ කුමරු සිය ජීවිතයෙහි ඇති අනතුරුදායක බව භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන් අතර එහි දී ද අපූරු දෙයක් සිදු විය.
එනම් මහා විහාරයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කුෂ්ඨ රෝගියෙකු තාරකා ශාස්ත‍්‍රයට අනුව මේ කුමරු අනිවාර්යයෙන්ම රජ වන බවට අනාවැකි පල කළේය.
මේ සියලූ දේ පාදක කර ගනිමින් ජීවිතාරක්ෂාව පිළිබඳ සියලූ උපදෙස් ලබා දුන් භික්ෂූන් වහන්සේලා එනම් චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා අනුගමනය කළ මැහැල්ලක් වුණු කැවුමක් දරුවෙකුට කෑ යුතු ආකාරය පිළිබඳ දුන් අවවාදය පිළිබඳ ආදර්ශය සිහි කොට යුද කටයුතු මෙහෙයවීය.

ඒ අනුව දරුවා කැවුම මැද මුලින් නොකා වටේ කා අවසානයේ මැද කන ආකාරයට ප‍්‍රධාන රාජ්‍ය වටේ ඇති අන් ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්තේය.
මෙම යුද කටයුතුවලින් ජයග‍්‍රහණය ලබා ගැනීමට වසභ කුමරු රාජ්‍ය උරුමක්කාරයෙකු නොවූව ද ලම්භකර්ණ වංශිකයෙකු වීම එක් ප‍්‍රධාන හේතුවක් විය.
එනම් ඔහු රාජ්‍ය පාලනයේ උසස් නිලතල දැරූ වංශවත් ලම්භකර්ණ පරම්පරාවකට හිමිකම් කීම ප‍්‍රබල කරුණක් විය.

තව ද වසභ කුමරු වැහැබ් යන නමින් ද හැඳින්වීය. වැහැබ් නම වෘෂභයා නොහොත් ගවයාට යොදන නාමයකි. එම නිසා ගවයා ලම්භකර්ණ වංශයේ සංකේතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මේ සියලූ කරුණු සේම කලක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ද කිඹුල්වත්පුර රාජ්‍ය පාලකයෙක්ව සිටියේය. එතුමාගේ වංශය ද වෘෂභ විය. එබැවින් වසභ යනු රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයෙකු බව මහා විහාර භික්ෂූන් විශ්වාස කළ අතර බලය ලබා ගැනීම සඳහා පුරවැසියා ඒකරාශි කිරීමේ කටයුත්තට උන්වහන්සේලා ද උදව් උපකාර කළහ.
මේ සියලූ කරුණු නිසා රටවැසියාගේ පක්ෂපාතිත්වය තව තවත් ඒකරාශී  කරගත් වසභ කුමරු සුභ රජුගේ සේනාවත් සමග වසර දෙකක කාලයක් දරුණු යුද්ධයක් පවත්වාගෙන ගියේය.
අවසානයේ වසභ කුමරු ඔහුගේ සේනාව සමග රජ මාළිගය ආක‍්‍රමණය කළ අතර සුභ රජු රජ මැදුරේ මිදුලේ දී ඝාතනය කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි දී වසභගේ මාමා ද සුභ රජුත් සමගම මරණයට පත් විය.
අවසානයේ වසභ කුමරු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය.
පසුව තමන්ගේ ජීවිතය බේරා ගැනීමට මූලික වී කටයුතු කළ කනවැන්දුම් නැන්දණියට කෘතගුණ සැලකීම සඳහා සරණපාවා ගත්තේය. මෙය සිංහල සංස්කෘතියට අනුව හෙළාදකින ලද ක‍්‍රියාවක් වුව ද සිංහල ඉතිහාසයේ එවැනි අසම්මත විවාහයක් සිදුවූ පළමු අවස්ථාව ලෙස  පෙන්වා දිය හැකිය. කෙසේ වුව ද වසභ රජුගේ පාලනයත් සමග නැවත අනුරාධපුර රජධානිය නව මුහුණුවරක් ගත්තේය.
එනම් ආර්ථික, දේශපාලනික, සාමාජික, සාධක යළිත් නවතාවයකින් ඉදිරියට ආවේය.
මුළු ලංකාවේම ආධිපත්‍ය පැතිරවූ වසභ රජු පිළිබඳ ඓතිහාසික සාධක යාපනය, කතරගම ආදී ප‍්‍රදේශවලින් සොයාගත් සෙල් ලිපිවලින් පැහැදිලි වේ.
මේ කාලයේ දී රජවරුන් රටවැසියනුත් දෛවඥයන්ගේ අනාවැකි බොහෝ සේ විශ්වාස කළහ. එම නිසා වසභ රජු කුමරු කාලේ දෛවඥයන් කියූ අනාවැකිය සත්‍ය වූ බැවින් නැවතත් රජ වීමෙන් පසු අනාගතය පිළිබඳ විචාළේය.

එහි දී වසභ රජු කෙටි කාලයකින් මිය යන බව දෛවඥයෝ ප‍්‍රකාශ කළහ. එය ඇසූ වසභ රජු සංඝයා වහන්සේලා මුණ ගැසී මෙම අනාවැකිය සත්‍ය වේ ද, එය වළක්වාගත හැක්කේ කෙසේ දැයි විමසුවේය.
සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, ගරා වැටුණු විහාරාරාම පිළිසකර කිරීම, පෝයට අටසිල් සමාදන් වීම, පංචශීලය ආරක්ෂා කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු බව සංඝයා වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව යමින් කටයුතු කළ වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
එසේම වසභ රජු දේශපාලන ලෝකයේ ද කතිකා කළ යුතු නාමයක් විය. එනම් පළමු වරට නව පාලන රටාවක් ලංකාද්වීපයේ නිර්මාණය කළේ එතුමාය. මීට පෙර සෑම රාජ්‍ය පාලකයෙකුම බලය ඒකරාශී කරගෙන රට පාලනය කළේය. එහෙත් ලංකාවේ පළමු වරට බලය විමධ්‍යගත කළ රජු ලෙස වසභ රජු හඳුන්වා දීමට පුළුවන.
එනම් වසභ රජුට පුතුන් තිදෙනෙකු සිට ඇත. එහෙත් මහාවංශයේ සඳහන් වන්නේ වංකනාථ තිස්ස නම් එක් පුතෙකු ගැන පමණි. එහෙත් හැබැස්ස හා තම්මැන්නා සෙල් ලිපිවලට අනුව ඔහුට උත්තර සහ දුටක ලෙස තවත් පුතුන් දෙදෙනකු සිටි බව සඳහන්ව ඇත.
මෙහි දී වසභ රජුගෙන් පසු වංකනාථ තිස්සයින් අනුරාධපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර දුටක කුමරු වයඹ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාලනය ගෙන ගිය බවට අනුමාන කළ හැකි කරුණකි (තම්මැන්නා සෙල් ලිපිය). එසේම ඌව ප‍්‍රදේශයේ හැබැස්ස විහාරයේ සෙල් ලිපියක නාග නම් රජු කෙනෙක් පිළිබඳ සඳහන්ව ඇත. ඔහු වසභ රජුගේ මුණුබුරා බවත් උත්තර මහරජුගේ ප‍්‍රත‍්‍රයා බවත් එහි සඳහන්ව ඇත. මහාවංශයේ සඳහන් නොවූව ද උත්තර යනු වසභ රජුගේ තවත් පුතෙකු බව එම සෙල් ලිපියෙන් තහවුරු වේ.
මේ කරුණුවලට අනුව වංකනාථ තිස්ස, දුටක හා උත්තර ලෙස වසභ රජුට පුතුන් තිදෙනෙකු සිටිය බවත් ඒ අය මහරජ නාමය ආරූඪ කර ගනිමින් එක් එක් ප‍්‍රදේශ පාලනය කළ බවත් ගම්‍ය වන කරුණකි.
2014 දෙසැම්බර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

නාග ශාපය

 

නාග ගෝත‍්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප‍්‍රබල ජන වර්ගයකි. එමෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන්වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට
 එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගලවලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් ස්වදේශික ජන ගෝත‍්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත‍්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැලකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත‍්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ මතය එක් අතකින් ප‍්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.

දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.
දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක‍්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති.
දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය.
එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය.
නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.
ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.
මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.
එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය.
දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.
එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.
ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.
2014 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය