ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දාගැබ් පුරාණය


බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා හා චක්‍රවර්ති රජවරුන්ට අයත් ධාතුන් වහන්සේලා සහ භෂ්මාවශේෂ තැන්පත් කර ස්තූප හෙවත් දාගැබ් නිර්මාණය කළ බව සඳහන් වන්නේ ගෞරව කිරීම පිණිස හා පුද පූජා පිණිසය.
දාගැබක් සෑම විහාරස්ථානයකම දැකිය හැකියි. පුරාණ කාලයේදී විහාරස්ථානයක් සාදන ලද්දේ ඒ ප්‍රදේශයේ උසම ස්ථානයක ය. ලංකාවේ ඓතිහාසික හා පුරා විද්‍යාත්මකව සඳහන් කළ හැකි ප්‍රථම දාගැබ සාදන ලද්දේ (මහින්දාගමනයට පසුව) දේවානම් පියතිස්ස රජතුමා විසිනි. ඒ ස්තූපය ථූපාරාමය යන නාමයෙන් ප්‍රකටය. එම දාගැබ අනුරාධපුරයේ ඉහළම ස්ථානයක සාදා ඇති බව ජේතවනාරාම දාගැබ සංරක්ෂණය කරන කාලයේදී ඒ දාගැබ මුදුන ආසන්නයට ගිය අවස්ථාවලදී පැහැදිලි වූ කරුණකි. ථූපාරාමය ගොඩනගන ලද ආකාරය ඉතා දීර්ඝ ලෙසින් මහාවංසයේ පළමුවන කොටසේ විස්තර කර ඇත. ඒ ථූපාරාමයට පෙර ලංකාවේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ (ධරමාන කාලයේ) ලංකාවේ ඉදිකළ දාගැබ් දෙකක් ගැනද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒවා නම් මහියංගණ දාගැබ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති ගිරිහඬු වෙහෙර (තිරියාය) ය.
ස්තූපය ගැන ලංකාවේ ප්‍රථම ලාංකික පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් THE STUPA IN CEYLON  (ලංකාවේ ස්තූපය) නමින් ලියන ලද ග්‍රන්ථයට එතුමාට ආචාර්ය උපාධිය ලැබුණ බව ( ඕලන්දයේ ලෙයිඩින් විශ්ව විද්‍යාලය) ඉතා ප්‍රකටය.
දාගැබ යන සිංහල වචනය සෑදී ඇත්තේ සංස්කෘත භාෂාවේ ධාතු සහ ගර්භ යන වචන දෙක එක්වීමෙනි. ස්තූපය, ථූප, තුඹ, කුභ චෛත්‍යය සහ වෙහෙර යන නාමයන් මේ සඳහා යෙදේ. ස්ථූප යනුවෙන් ලිවීම වැරැදිය. එය ස්තූප යනුවෙන් ලිවිය යුතුය. අද සමහර පොත්පත්වල පවා මෙම වැරැදි ලෙසින් ලිවීම වැරැදි බව සඳහන් කිරීම ඉතා වැදගත්ය. ස්තූපයක ඉතා වැදගත්ම අංගය වන්නේ ධාතු නිදන් කළ ගර්භය හෙවත් ගැබය. මේ නිසා ඒ විශේෂ අංගය සලකා මුල් ස්මාරකයම දාගැබ වන නමින් ව්‍යවහාරයේ පවති. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ හෝ පාරිභෝගික ධාතුන් වහන්සේලා නිදන් කළ ස්මාරකය ස්තූප යන නාමයෙන් හැඳින්වේ.
චෛත්‍යය යන වචනයද භාවිතා වේ. එය සංස්කෘත භාෂාවෙන් චිත්චිති (කුස) යන්නෙන් බිඳී ආ වචනයකි. එසේ වුවද චෛත්‍යය යන්න (චේතිය) ස්තූපයට පමණක් නොව පූජනීය වෘක්ෂයකටද (රුක්ඛ චේතිය) හෝ ආරාමයකට (ආරාම චේතිය) හෝ භාවිතා වූ නාමයකි. අප රටේ සාමාන්‍ය ජනතාව ස්තූපය හඳුන්වන්නේ වෙහෙර යනුවෙනි. මේ පිළිබඳව විවරණයක් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි.
මෙම වචන සෑදී ඇත්තේ ආරාම නැතහොත් පන්සල යන අර්ථවත් විහාර යන සංස්කෘත වචනයෙනි. ඒවා අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හේතු කොට ගෙන මෙය සිදුවී ඇත. ලංකාවේ කිසියම් ස්තූපයක් ආරාමයකින් වෙන්වී ඇත්තේ ඉතාමක් කලාතුරකිනි. THE STUPA IN CEYLON DR. SENARAT PARANAVITANA P. L (1946)
පූජ්‍ය තිරාණගම රතනසාර හිමියෝ විසින් ලියන ලද බෞද්ධ ස්තූප නම් වූ ග්‍රන්ථයෙහි ස්තූප සඳහා විවිධ රටවල භාවිතාවන නාමයන් මෙසේ සඳහන් කරති.
1. සංස්කෘත ස්තූප, චෛත්‍යය, ධාතු ගර්භ, විහාර
2. පාලි – ථූප - චෙතිය, ධාතු ගබ්භ
3. සිංහල – තුඹ (වෙහෙර) දාගැබ - සෑය
4. චීන – ඉන්දියා- බුරුම (මියන්මාර් පැගොඩා)
5. ජපන් - පැගොඩා - ටවර්
6. ඉන්දුනිසියාව - වන්දි - පුර
7. නේපාල – නාත්
8. කාම්බෝජය – ලාඕස් - වට්
9. ඊජිප්තුව - පිරමිඩ
10. මෙක්සිකෝ - පිරමිඩ
11. තායිලන්තය – වට්
බෞද්ධ ස්තූප -පූජ්‍ය තිරණාගම රතනසාර හිමි – පි. 5-6 (1966)
ස්තූපයන් හෝ චෛත්‍යයන් ගොඩනංවනු ලැබුවේ බෞද්ධයන් විසින් පමණක් නොවේ. ජෛනාගමිකයින් විසින් හා නොයෙක් යක්ෂයන් ඇදහු අය විසින්ද ස්තූප සෑදීම සිරිතක් කරගෙන තිබුණි. එමෙන්ම ස්තූප සෑදීම ප්‍රාග් බෞද්ධ (බෞද්ධ යුගයට පෙර) චාරිත්‍රයක් විය.
චක්‍රවර්ති මහරජවරුන්ද අනුස්මරණය සඳහා ස්තූප සෑදීම ගැන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. මේ පිළිබඳ තතු පහදමින් මහාචාර්ය පරණවිතාන බුදුසමයේ පහලවීමට පෙර සිට තිබූ ආගම් විසින් ඇතැම් චෛත්‍යයන් ඉදිකරන ලද්දේ මෙම රජවරුන්ගේ මෘතදේහ තැන්පත් කොට විය හැකි යැයි ප්‍රකාශ කරයි.
(ලංකාවේ ස්තූප – ආචාර්ය සෙනරත් පරණවිතාන පි.2)
ඒ අනුව බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා හා චක්‍රවර්ති රජවරුන්ට අයත් ධාතුන් වහන්සේලා සහ භෂ්මාවශේෂ තැන්පත් කර ස්තූප හෙවත් දාගැබ් නිර්මාණය කළ බව සඳහන් වන්නේ ගෞරව කිරීම පිණිස හා පුද පූජා පිණිසය. පුරාණ ජම්බුද්වීපය මෙම ස්තූප ඉදි කරන්නට පෙර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ආදාහන පූජාවෙන් අනතුරුව ඉතිරි වූ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් එකල රජවරුන්ට බෙදා දුන් පසු ව ඒ රජවරුන් විසින් සර්වඥ ධාතූන්වහන්සේලා නිදන් කර ස්තූප නිර්මාණය කර ඇත. අසෝක රජතුමා (ක්‍රි. පූ 273 – 232) විසින් අසූහාර දහසක් සෑදු බව සඳහන් වේ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු නොයෙක් තන්හි විසිර පවත්නා ලෙසට කටයුතු සලස්වන්නේමැයි සිතාගත් අසෝක රජ තෙමේ සිව්රඟ සේනාව පිරිවරා නික්ම ගොස් අජාසත්ත රජතුමා විසින් “බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන්කොට කරවා තිබුණ ද්‍රෝණ නම් ස්තූපය උගුලුවාපිය”. මේ අයුරින් අසෝක රජතුමා පුරාණ ස්තූප බිඳවා ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ සතක් රැස්කරවා ගත්තේය. මෙසේ නො බිඳුන ලද්දේ රාම ග්‍රාමයෙහි තිබු ස්තූපය පමණකි. ඒ නාගයන්ගේ ආයාචනය නිසාය. අසෝක රජතුමා රාම ග්‍රාමයේ තිබු සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ තැන්පත් කරනු සඳහා වෙන්කොට තිබෙන බව ඔහුට කියා තිබුණ නිසායැයි ශ්‍රී ලාංකික පුරාවෘත්ත සඳහන් වෙයි. ඒ නිසා මහායාන මූලාශ්‍රවල රාමග්‍රාමය ගැන සඳහන් වන මේ පුවත ඉතා වැදගත්ය.
අසෝක රජතුමා මෙසේ රැස්කර ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා රන් , රිදී, පළිඟු හා වෛධූර්ය මාණික්‍යවලින් සාදන ලද කරඬු අසූ හතර දහසක් තැන්පත් කර එක් එක් කරඬුව නිදන් කොට එක්කෝටියක් ජනතාවට එක බැගින් ධර්මරාජික (දාගැබේ) අසූහතරදාහක් සාදවන සේ අණ කරවා නිලධාරින් අත ඒ නගර හා ගම් දනව් වෙත යැවීය. (ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය – ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ පි. 143 (2005) සහ සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවි විහාරය සිරිසමන් විජ්තුංග පි. 110 – 111 (2014)
ඉන්දියාවේ පසුකාලයේදී මේ ස්තූප ඉදිකළේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා ගේ ධාතු නිදන් කිරීමක් පමණක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාථයේද දාගැබක් සාදා ඇත. ඒ ස්තූපය ස්මාරක ස්තූප ලෙස හැඳින්වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සඳකඩපහණ ආරම්භය සහ විකාශය

බෞද්ධ කලා ශිල්ප

පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

ශාස්ත්‍රපති සිරිසමන් විජේතුංග
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් 1970 වර්ෂයේ දී අපේ පුරාණ මූර්ති කැටයම් හාචිත්‍ර ශිල්පයද දාගැබ් හා බුදුපිළිම ආදිය පිළිබඳ ඉතා අගනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ග්‍රන්ථය ඉංගී‍්‍රසියෙන් ART OF THE ANCIENT SINHALES  (ආර්ට් ඔෆ් ද ඒන්ෂන්ට් සිංහලිස්) යනුවෙන් ලියන ලද ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථයට ඇතුළත්ව ලංකාවේ පුරාණ කාල කෘතින් රාශියක් ඡායාරූප සමඟ ඉදිරිපත් කර තිබේ. මෙම ග්‍රන්ථයට මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා නම තැබීමෙන්ම අප රටේ සිංහලයින්ගේ කලාව පිළිබද පමණක් නොව එයින් කියැවෙන තවත් අරුතක්ද ඇත. ඒ අරුත නම් සිංහල බෞද්ධයින් කලාව යන්නයි. ඒ ග්‍රන්ථය මීට වසර 40 පමණ ඉහතදී සිට පරිහරණය කළ කෙනෙකු ලෙසට බෞද්ධ උරුමයක් ලෙසින් ඒ ඇසුරින්ද තවත් අප රටේ බෞද්ධ මුර්ති චිත්‍ර හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ බෞද්ධ ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා අපි මෙම ලිපි මාලාව අරඹන්නෙමු.
අප රටේ පුරාණ මූර්ති ශිල්පියාගේ ඉතා විශිෂ්ටතම නිර්මාණයක් ලෙසින් අනුරාධපුර රාජධානිය සමයට අයත් සඳකඩපහණ ලොව පුරා ප්‍රකටය. ඒ සඳහා මුල්කාලයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන සේම අචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතාණන්ද මෑත භාගයේදී ආචාර්ය ආනන්ද ගුරුගේ සහ අපගේ ද ආචාර්යවරයෙකු වන මහාචාර්ය සේනක බණ්ඩාර නායක යන විද්වත්හු මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

සඳකඩ පහණේ ආරම්භය

සඳකඩපහණ පමණක් නොව මුරගල මෙන්ම පඩිපෙළ හා සම්බන්ධ වූ කොරවක්ගලද මුල් කාලයේදී දැව වලින් නිර්මාණය කරන්නට ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. සඳකඩපහණේ ඇති මූර්ති හා කැටයම් කිසිවක් මුල්ම කාලයේ සඳකඩපහණෙහි තිබුණේ නැත. එසේ නම් ඊට භාවිත කළ නාමය කුමක්ද? ඒ සඳහා වූ උදාහරණ අද දක්නට තිබේද යන ප්‍රශ්නයද ඒ සමඟ මතු වනු ඇත.
මුල් සඳකඩපහණ හැඳින්වූයේ පාටිකා (PATIKA) යන නාමයෙනි.
පැරණී විහාර ආරාමවලට ඇතුළු වන දොරටුව පාමුල ඉතා සරළ වූ හතරැස් ගල්පුවරුවක් ලෙසින් මුල්කාලයේදී මෙම පාටිකා දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින්ම අර්ධ කවාකාරව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාරව තිබුණි. එවැනි දිග ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු හැඳින්වූයේ “පාටිකා” යන නාමයෙනි.
මෙවැනි පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරි දාගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ ඇතුළු දොරටුවේ පඩිපාමුල දක්නට ලැබේ. මෙය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවනාරාමය දාගැබේ වැලිමළුවට ඇතුළුවන පඩිපෙළ පාමුල ඇත. ඔබ අනුරාධපුරයට ගියවිට මේවා දැකගත හැකිය.
දිගින් වැඩි පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල්පුවරුව පසු කාලයේදී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර රාජධානි සමයේ අවසාන කාලය වන විට “සදකඩපහණ” ලෙසින් සකස් වී ඇත.
සදකඩපහණේ මුල් ස්වරූපය ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු සැකසීමේදී (පාටිකාව) ඉදිරි කොන් දෙක රවුම් කර ඇත. එවැනි පාටිකා මිරිසවැටියට අයත් ගොඩනැගිලි වලද අනුරාධපුරයේ ගෙඩිගේ අසළද ඇත. මෙසේ ආයත චතුරස්‍රාකාර ගල්පුවරුවේ ඉදිරි නෙන්ති දෙක කකුල්වල හැප්පීම වැළැක්වීම සඳහා එසේ සකස් කරන්නට ඇතැයි සැළකේ.
සඳකඩපහණ (මුල්කාලයේ පාටිකා) පමණක් නොව ඒ සමඟම පඩි පෙළ පාමුල තවත් ශිලා පුවරු දෙකක් (පඬි පෙල දෙපස ) සිටුවා ඇත. මෙය පඬිපෙළෙහි ආරක්ෂාවට ද ඉතා වැදගත් වේ. එය මුරගල් දෙකකි. මුරගල් සහ පඬිපෙළද සම්බන්ධ කරන තවත් අංගයක් ඇත. එය හඳුන්වන්නේ කොරවක්ගල යන නාමයෙනි. පඩිපෙළ හා මුරගල් දෙක සම්බන්ධ කර මෙම කොරවක් ගල් දෙක පිහිටුවා ඇත. මෙම සියලුම අංගවල මුල්කාලයේ කිසිදු කැටයමක් නැත. ඉතා සරළවූ මෙම පාටිකා, මුරගල් සහ කොරවක්ගල් යන අංග සියල්ලටම කැටයම් මුල් කාලයේදී තිබුණේ නැත.
සඳකඩපහණ යන නාමය සෑදුණු අන්දමද ඉතා වැදගත්වේ. පැරණි පාලි පොත්වල සඳකඩපහණ යන නාමය භාවිතා කර නැත. ඒ වෙනුවට ඉහතින් සඳහන් කළ අන්දමට පාටිකා යන නාමය යෙදුණි. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේදී පමණ ලියන ලද පාලි පොතක් වූ “සමන්ත පාසාදිකා” ග්‍රන්ථයෙහි පාටිකා යන නාමය වෙනුවට අඩ්ඩ චන්ද පාසාණ” යන නාමය යෙදී ඇත. ඒ නාමය සිංහල භාෂාවට ව්‍යවහාර කරන විට “අඩසඳ පහණ” යනුවෙන් සඳහන් වේ.අනුරාධපුර රාජධානි කාලය මේ සඳහා භාවිතා කළේ මීට වඩා වෙනස් නාමයකි. එය අඪ්ඪ චන්දක පදගණ්ඨිකා” යන්නයි. දොළොස්වැනි සියවසේ පොළොන්නරු රාජධානි සමය වන විට අමාවතුර නමැති ගද්‍ය ග්‍රන්ථය ලියූ ගුරුළුගෝමි ලේඛකයා මේ සඳහා අඩසඳපහණ යනුවෙන් ඒ පොතෙහි ලියා ඇත. ඉන්පසුව දඹදෙණි රාජධානි සමයේදී ලියූ සද්ධර්මරත්නාවලි නමැති ග්‍රන්ථයෙහි (ධර්මසේන හිමි ලියූ) කුරුණෑගල රාජධානි සමයේ ලියන ලද සිංහල ජාතක පොතෙහිද අභිධානප්පදීපිකා නමැති පොතෙහිද “සඳකඩපහණ” යන නාමය මේ සඳහා යොදා ඇත.
සඳකඩ පහණේ මුල් ස්වරූපය “පාටිකා” යනුවෙන්ද භාවිතා වූ මෙම සඳකඩ පහණේ ප්‍රධාන අවස්ථා තුනක් ඇත.
1. අනුරාධපුර රාජධානි සමයේ සඳකඩ පහණ 
2. පොළොන්නරු රාජධානි සමයේ සඳකඩ පහණ 
3. ඊට පසු කාලයට අයත් සඳකඩ පහණ

ඉතා අලංකාර වූ සඳකඩ පහණ වන්නේ අනුරාධපුර රාජධානි සමයේ නිර්මාණය කරන ලද සඳකඩ පහණය.

අනුරාධපුරයේ සඳකඩපහණ

රාජ්‍ය වර්ෂ යන නාමය අප මෙහිදී භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ යන නාමය සඳහාය. රාජ්‍ය වර්ෂ 8 වන හා 9 වන සියවස් වලට අයත්වන සඳකඩ පහණ රාශියක් අනුරාධපුරයෙන් හමුවී ඇත. මෙම සඳකඩ පහණවල සිවුපා සතුන් සතර දෙනෙක් (වෘෂභ ගවයා) සිංහයා ,අශ්වයා සහ ඇතා මුර්තිමත් කර ඇත. අනුරාධපුර යුගයේ සදකඩපහණවල පොදුවේ විමසා බලන විට මධ්‍යයේ නෙළුම් මලක පෙති ලෙසින් නෙළා ඇත. (අර්ධ නෙළුම් මලකි) මේ සියලුම නිර්මාණ සදකඩ පහණ රවුමක අර්ථයක් ලෙසින් නිර්මාණය කර ඇති නිසා මෙසේ නිමවා තිබේ. නෙළුම් මලට පසුව තීරුවේ ලියවැලකි. එයින් පිටත තීරුවේ එකිනෙක ලුහුබැඳ ගමන් කරන හංසයින් පෙළකි. එම හංසයින් පෙළට පසු පිටත තීරුවේ ලියවැලකි.
එයින් පිටත තීරුවෙහි ඔවුනොවුන් ලුහුබැඳ ගමන් කරන ලෙසින් (සජීවිව) ඇතා, සිංහයා, අශ්වයා සහ ගවයා ඉතා තාත්වික අන්දමින් නෙළා ඇත. ඒ සතුන්ගේ ස්වරුපය ස්වභාවික අන්දමින් නෙළීමට කැටයම් ශිල්පීහු සමත්වූහ. මේ සතුන් ජීවමාන ලෙසින් කැටයම් කිරීමට ඒ ශිල්පීන් සමත් වී ඇත්තේ ඒ සිව්පාවුන්ගේ මෙන්ම හංසයාගේද ශාරීරික ලක්ෂණ ඉතා මැනවින් නිරීක්ෂණය කර කැටයමට මූර්තිමත් කර ඇති නිසාය. ලංකාවේ හමුවන ඉතා විශිෂ්ටතම සඳකඩපහණ වන්නේ අනුරාධපුර යුගයේ සඳකඩපහණ ය. මේ සඳකනඩපහණේ අවසානයට නෙළා ඇත්තේ පළා පෙති මෝස්තරයකි.

සඳකඩ පහණේ සතුන් පිළිබඳ මත

සඳකඩපහණ පිළිබඳ මෙන්ම එහි ඇති රූප ගැනද විවිධ විද්වත්හු අදහස් පළ කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අනුරාධපුර යුගයේ සඳකඩපහණ පිළිබඳ මතයක් ඉදිරිපත් කර තිබේ. සඳකඩපහණේ පිටත තීරුවේ කැටයම් කළ පළා පෙති මෝස්තරය ඒ අනුව ගිනි දලු ලෙසින් සැලකේ. එම ගිනිදලු වලින් සංකේතවත් වන්නේ රාගය නමැති ගිනිදැල් වලින් සත්වයා වෙළී සිටින ආකාරයයි. සතුන් සතර දෙනාගෙන් පිළිවෙළින් සිංහ, අශ්ව, හස්ති (ඇතා) සහ ගවයා ගෙන් නිරූපණය වන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භය ලෙසින් මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. ඊට පසු තීරුවේ කැටයම් වූ ලියවැල සංකේතවත් කරන්නේ තෘෂ්ණාව හෙවත් ආශාවය. ඊළඟ තීරුවේ කැටයම් කර ඇති හංසයින්ගෙන් නිරූපණය වන්නේ සංසාරයෙන් එතරවීම බව මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි.සඳකඩපහණේ මැද පිපුණු නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හැඳින්වූ පරිදි ලෝකයේ ඉපදී එහි නොඇලී මතු වී සිටින ආකාරයයි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ මෙම මතය සියලුම සඳකඩපහණවලට අදාළ නොවන බවද සඳහන් කළ යුතුව ඇත.
අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩ පහණ තුනක් ඇත. එම පුදබිම් මෙසේය.
1. අනුරාධපුර මහසෙන් මාලිගය ගොඩනැගිල්ල ඉදිරිපිට ඒ සඳහා ඇතුළුවන දොරටුවේ බිම ඇකි සඳකඩ පහණ. 
2. අනුරාධපුරයේ බිසෝමාලිගය ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිරිපස ඇති සඳකඩ පහණ .
3. අනුරාධපුරයේ ථූපාරාමයේ දළදා මාලිගය ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පාමුල සඳකඩපහණ.

මෙවැනි අලංකාරවු මූර්තිවලින් සැරසූ පුරාණ සඳකඩපහණ පුරාණ භාරතයේ හෝ චීනයේ හෝ වෙනත් කිසිදු රටක පුරාණ ශිෂ්ටාචාරයන් වලින් හමු වී නැත.
හිටපු පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතා සඳහන් කරන්නේ සඳකඩපහණ නමැති අපේ රටේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවය ලොවටම හෙළි කරන මේ සඳකඩපහණ පුරාණ ආගමික ගොඩනැගිලිවල දොරටු පාමුල සැරසීම සඳහා යොදාගන්නා ලද නිර්මාණයක් ලෙසිනි. එම අදහස පොදුවේ සෑම සඳකඩපහණකටම අදාළ වන බවද සඳහන් කළ යුතුව ඇත.
අනුරාධපුර රාජධානි සමයේ නැතහොත් අනුරාධපුර යුගයේ සඳකඩපහණ පිළිබඳ විවිධ මත පිළිබඳ විමසා බලමු.
අනුරාධපුර යුගයේ සඳකඩපහණවල මැද පිහිටි නෙළුම් මල අසලම තීරුවේ හංසයින් කැටයම් කර ඇත. එහෙත් පෙළොන්නරු යුගයේ සඳකඩ පහණවල (අප පසුව පොළොන්නරුවේ සඳකඩ පහණ ගැන විමසා බලමු) හංසයාගේ රූප කැටයම් කර ඇත්තේ සිව්පා සතුන් සහ ගිනිදැල් හෝ පළාපෙති මෝස්තරයන් අතර තීරුවේය.
හිටපු පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ සඳකඩ පහණ ගොඩනැගිලි දොරටු සැරසීමට යොදාගන්නා ලද උපායක් ලෙසිනි. ඒ මතය පොදුවේ සියලුම සඳකඩපහණවල් සඳහාම අදාළ කරගත හැකිය.
පොළොන්නරුවේ වටදාගෙයි සඳකඩපහණ
පොළොන්නරුවේ වටදාගෙයි සඳකඩපහණේ මුරගල් සහ පඩිපෙළ
පුරාණ භාරත දේශයේ මෙන්ම ලංකාවේද ක්‍රිස්තු වර්ෂ පළමු වැනි හා දෙවැනි සියවස් වල දී පැරැණි ස්ථාන සැරසීම සඳහා ශිලා කැටයම්වලට සිව්පා සතුන් නෙළුම් මල, මකර රූප, පුන්කලස, ලියවැල මෙන්ම මගුල් ලකුණූ අටද යොදාගෙන ඇත.
සඳකඩපහණ පිළිබද අපගේද ගුරු දෙවියෙකු වන මහාචාර්ය විනී විතාරණ මහතා මෑත කාලයේදි ඉතා දීර්ඝ ලෙසින් පර්යේෂණ සිදු කළ විද්වතෙකි. ඒ අනුව සඳකඩ පහණ චන්ද්‍ර සහ සූර්ය වස්තු දෙක පිළිබඳ විශ්වාසයටද එහි සංකේත සශ්‍රීකත්වය පිළිබඳ ඇදහීම්වලටද සම්බන්ධ බව එතුමාගේ අදහසය. නෙළුම් හෙවත් පද්මය මගින් සංකේතවත් කරන්නේ වාසනාව, සෞඛ්‍යය සුන්දරත්වය, සශ්‍රීකත්වය ,පවිත්‍රතාවය සහ දේවත්වයයි .
ඒ අනුව ලියවැල සංකේතවත් කරන්නේ සියලුම වෘක්ෂලතා බවත්, හංසයින් සංකේතවත් කිරීම විවිධ අවස්ථාවල දක්නට ලැබෙන බවත් ඔහුගේ මතයයි.
ඒ අනුව සූර්යයාද මහා බ්‍රහ්මයාගේ වාහනය වන හංසයාද– සංකේතවක් කෙරේ. මේ ආකරයට සිව්පා සතුන් පිළිබඳවද ඔහු විස්තර කරයි. සඳකඩ පහණේ ඉහත සදහන් සංකේතවල ඉන්ද්‍රජාලික බලයක් ඇති බවත් එම සංකේත ස්පර්ශ කිරීමෙන් කෙනෙකුට ඒ බලය ලැබෙන බවත් මහාචාර්ය විනී විතාරණ මහතා පෙන්වා දෙයි.
සඳකඩපහණෙහි සැරසිලි සඳහා මංගල වස්තු යොදාගෙන තිබේ. සඳකඩ පහණට පමණක් නොවේ.මුරගල කොරවක්ගලටද මංගල වස්තු කැටයම් කර ඇත. ඒවා පයට පෑගෙන ලෙසින්ද දැකීමට ලැබීමෙන්ද එම මංගල වස්තු ස්පර්ශ කිරීම (පයට පෑගීම) නිසා කෙනකුගේ සමෘද්ධිය හා දියුණුව මෙන්ම අපේක්ෂාවද දියුණුවට පත්වන බවටද මතයක් පවතී. සිරිපතුල් ගල් වලද මංගල ලකුණු කැටයම් කර ඇති අන්දම දැකිය හැකියි.
පොළොන්නරුවේ සදකඩපහණ
අනුරාධපුර යුගයේ සහ පොළොන්නරුවේ යුගයේ නිර්මාණ කරන ලද, සදකඩපහණවල ඇති විශේෂ වෙනස්කම් මොනවාද?
මූලික වෙනස වන්නේ පොළොන්නරු යුගයේ සදකඩ පහණෙහි සිව්පාවුන් සතර දෙනාගෙන් එක් සිව්පාවෙකුගේ රූපය මූර්තිමත් කර නොතිබීමය. ඒ අනුව පොළොන්නරුව යුගයේ සඳකඩපහණෙහි ගවයාගේ රූපය නැත. එසේ වීමට හේතුව කුමක්දැයි විමසා බැලිය යුතුය.
පොළොන්නරු යුගය වන විට එතෙක් පැවැති බුදුසමය තවත් දියුණුවට පත්වූ අතර ඒ සමයේදී තවත් ආගමක් ජනතාව අතර විශේෂයෙන් දමිළ ජනතාව අතර ජනපි‍්‍රය වූයේය.ඒ හින්දු දහමයි හින්දු දහම අනුව ගවයා පූජනීය වස්තුවකි. හින්දු ආගම ඇදහීම ඉතා බහුලව දක්නට ලැබුණු පොළොන්නරු යුගයේදී සඳකඩ පහණෙන් ගවයා මූර්තිමත් නොකළේ ඒ නිසාය.
පොළොන්නරු යුගයේ සිටි ප්‍රධාන සිංහල රජවරුන් වු මහවිජයබාහු, මහ පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන් බුද්ධාගම දියුණුවට මෙන්ම හින්දු ආගමේ දියුණුවටද ඉමහත් සේවාවක් ඉටු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ බව පොළොන්නරුවේ පිහිටි ශිව හා විෂ්ණු දේවාල වලින්ද මනාව පැහැදිළි වේ. ඒ කාලයේ අපේ සිංහල මූර්ති ශිල්පීන් විසින් ආගමික සහනශීලිතාවය ගැන කෙතරම් සැලකිලිමත් වීද යත් හින්දු ආගමේ පූජනීයත්වයෙන් සළකනු ලබන ගවයා සඳකඩපහණට යොදා ගත්තේ නැත.
මේ සමඟම සඳහන් කළ යුතු කරුණක් ඇත. අනුරාධපුර යුගයේදි සහ පොළොන්නරු යුගයේදි සඳකඩපහණවල නිර්මාණයන්හි ඉතා විශිෂ්ඨත්වයක් දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේ සඳකඩ පහණවලටය. පොළොන්නරු යුගයට පසුව නිර්මාණය කරන ලද සඳකඩපහණවල පවා එම අනුරාධපුර යුගයේ නිර්මාණවල තත්වයට පත්වීමට හැකිවී නැත.
අනුරාධපුර සඳකඩ පහණට වඩා වෙනස්වන පොළොන්නරු යුගයේ සඳකඩපහණේ හිතවත් ලක්ෂණයක් තිබේ. එනම් අනුරාධපුර යුගයේ සඳකඩපහණවල සතුන් සතර දෙනා ඒකා පසු පස එකා යන අන්දමින් නිර්මාණය කර ඇත්තේ පොළොන්නරු යුගයේ සඳකඩපහණවල එක් කවයක එක් සත්වයෙකුගේ රූපයක් නිරූපණය කර ඇත. පොළොන්නරුවේ ඇති ඉතා අගනා සඳකඩපහණ ලෙසින් පොළොන්නරුවේ වටදා ගෙයි සඳකඩපහණ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.
පොළොන්නරු යුගයේ සඳකඩපහණවල අනුරාධපුර සඳකඩපහණවලට වඩා ඇතැම් අවස්ථාවල විශාලත්වයකින් යුක්තය. පොළොන්නරු යුගයේ සඳකඩපහණට බහුල වශයෙන් යොදාගෙන ඇත්තේ සත්ව රූප දෙකකි. අශ්වයා සහ ඇතාය. ඒ අනුව සිංහ රූපයද පොළොන්නරුව සඳකඩපහණෙන් ඉවත් කර ඇත්තේ පූජනීය ගොඩනැගිලිවල බිත්ති සැරසීම සඳහා සිංහයා යොදා ගෙන ඇති නිසා බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මහනුවර යුගය වන විට සඳකඩපහණේ ස්වරූපය වෙනස්වන අතර අනුරාධපුර හෝ පොළොන්නරුව තරම් නිර්මාණාත්මක නැත. සඳකඩපහණේ හැඩය පවා වෙනස් වී ඇත.

බුදු සසුනේ අවසන් කෙම්බිම මේ ලක් දෙරණයි

ධර්මාශෝක රජතුමාගේ කාලයේදී ඉන්දියාව තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. රජතුමා බෞද්ධාගම ව්‍යාප්ත කිරීමට ඉතා විශාල වශයෙන් ඇප කැප වූ නිසා බුද්ධ ශාසනය දියුණු වන අතර ම එහි පිරිහීමක්ද දක්නට ලැබුණි. ලාභයන්ට ගිජු වූ බොහෝ අන්‍යාගමිකයෝ බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින් තම ජීවිකාව පවත්වාගෙන යාම පිණිස බෞද්ධ වේෂයෙන් පෙනී සිටීමට පටන් ගත්හ.
මේ නිසා සත්‍ය බුද්ධ ධර්මය යටපත් වන්නට වූ අතර බුද්ධ ධර්මයේ මුවාවෙන් වෙනත් අදහස්ද පැතිරෙන්නට විය. මෙයින් බුදුසසුනට බලවත් අනතුරක් වන බව දුටු මොග්ගලීපුත්ත තිස්ස මහා රහතන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය පිරිසුදු කිරීම පිණිස වැදගත් තීරණ රැසක් ගත් සේක. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ පැළලුප්නුවර අශෝකාරාමයේදි තුන්වන ධර්ම සංගයානාව පැවැත්විණ. මහරහතන් වහන්සේලා දහස් නමක් මෙයට සහභාගි වූ අතර විනය විරෝධි භික්ෂූන් වහන්සේලා හැට දහසක් සිවුරු හරවා සසුනෙන් නෙරපනු ලැබිණි.
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තුන්කල් දත් උත්තමයෙකු බව මැනවින් පැහැදිලි වනුයේ ලෝකයේ සම්මාසම්බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග ගැන බලන විටය.අනාගතයේදි ඉන්දියානු අර්ධද්වීපයේ හෝ ඈත බටහිර රටවල්වල බුදුදහම නොරැකෙන බව උන්වහන්සේ දිවැසින් දුටු සේක. ඒ වන විට ඉන්දියාවෙන් බටහිර වර්තමාන ඉරාණය දක්වා වූ ප්‍රදේශ බුදුදහමින් පෝෂණය ලබමින් පැවතුණ නමුත් අනාගතයේදී මෙම රටවල්වලින් පවා බුදුදහම තුරන් වන බවත්, අවසානයේදි මේ උතුම් සද්ධර්මය සුරැකෙන්නේ ඉන්දියාවට පිටතින් පිහිටා ඇති කුඩා රාජ්‍යවල බවත් දුටු උන්වහන්සේ එම රටවල්වල ධර්ම ප්‍රචාරය සඳහා මනා වැඩ පිළිවෙළක් සකස් කළ සේක. ඒ අනුව එබඳු රටවල් නවයකට ධර්ම දූතයන් පිටත් කර කරන ලද අතර ලංකාවද එයින් එක රටක් විය.
නමුත් මේ ශ්‍රී ලංකාවේ වටිනාකම උන් වහන්සේගේ දිවැසට මැනවින් වැටහුණි. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මෙරටට වැඩී බව උන්වහන්සේ දුටුසේය. එසේ වැඩමකොට මෙරට බුදුසසුන මැනවින් පිහිටුවීමට අවශ්‍ය කරන අඩිතාලම යෙදු බව තවදුරටත් උන්වහන්සේ දුටුවාසේය.
බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළේ යක්ෂයන් පළවා හැර මෙරට වඩාත් ශිෂ්ටත්වයෙන් යුතු සමාජයත් ඇති කිරීමටය. උන්වහන්සේ නාගදීපයට වැඩම කළේ සාමයේ වටිනාකම මෙරට වැසියන්ට කියාදීමටය. මේ සියලු කටයුතු සිද්ධ වූයේ අනාගතයේ බුදුසසුන මෙරට පිහිටුවීමෙන් පසු ලෝකයේ අන්තිමට සසුන අතුරුදන් වන වන රට මේ ලංකාද්වීපය බව දන්නා නිසාය. ඉන්පසු වසර දෙසීයකට අවබෝධ කරගෙන කළ යුතු කටයුතු මනාව සංවිධානය කළ උත්තමයාණන් වහන්සේ වූයේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේය. රටවල්වලට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ උන්වහන්සේ අන් කිසිම රටකට පිටත් නොකළ තරම් රාජ්‍ය තාන්ත්‍රික වටිනාකමක් ඇති පිරිසක් ලංකාවට යැවීම සදහා කටයුතු කළ සේක. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය , උත්තිය, සම්බල, භද්දසාල යන උපසපන් රහත් භික්ෂූන් පස් නමක්, ෂඩ්’ අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසක තුමාත් ලංකාවට එවීමට තෝරා ගන්නා ලදී.
ඉහත සඳහන් ධර්ම දූත පිරිස ධර්මාශෝක රජතුමාගේ ළඟම ඥාතීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් බව මනාව පැහැදිලි වේ. මිහිඳු මාහිමිපාණන් වහන්සේ එතුමගේ පුතනුවන්ය. සුමන සාමනේරයාණන් වහන්සේ රජතුමාගේ දියණියක වූ සංඝමිත්තා මහරහත් තෙරණියගේ පුතණුවන් හෙවත් රජතුමාගේ මුණුබුරාය. මිහිඳු මාහිමියන්ගේ මවගේ සොහොයුරියගේ දියණියගේ පුතෙකු ලෙස භණ්ඩුක උපාසක තුමා හඳුන්වා ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ඉතා උසස් රාජකීය පරපුරකින් පැවිදි වූ දූත පිරිසක් මේ ලංකාවේ ධර්ම ප්‍රචාරය කිරීම පිණිස එවන ලද බවය.
ධර්මාශෝක අධිරාජයා පාලනය කළ භුමි ප්‍රදේශය හා සසඳා බලන විට ලංකාව කිසිසේත්ම වැදගත් වූ රටක් ලෙස සැලකිය නොහැකිය. රටක් හෝ භූමි භාගයක් ලෙස නොවැදගත් වුවද අනාගතයේ පිහිටුවන බුද්ධ ධර්මය නිසා මේ රට ලෝකයේ උතුම්ම භූමිය බවට පත්වන බව මැනවින් අවබෝධ කර ගත් මේ අශෝක රජතුමා ඉතාමත්ම ස්ථිරව බුදු දහම පිහිටුවීම පිණිස වඩාත් විශ්වාසවන්ත වූත් දක්ෂවූත් දූත පිරිසක් ලෙස මිහිඳු මාහිමිපාණන් ප්‍රමුඛ පිරිස තෝරාගත් විට අතිශයින්ම සන්තෝෂයට පත්වන්නට ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය අවසානය තෙක් සුරැකෙන්නේත් බුදුසසුනේ අවසන් අනුගාමිකයා බිහිවී මියැදෙන්නෙත් මේ ලක් දෙරණේ බව අවබෝධ කරගත් රජවරුන් අතර ධර්මාශෝක රජුට මුල් තැනූ ලැබෙන අතර ශී‍්‍ර ලංකාවේ එවකට රාජ්‍ය කළ දේවානම්පියතිස්ස රජුට ලැබෙනුයේ දෙවන ස්ථානයයි. කුමන හෝ ක්‍රමයකින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය වටහා ගත් දේවානම් පියතිස්ස රජතුමා සෑම විටම උත්සාහ කළේ ලංකා ධරණිතලයේ බුදුදහම නිසි ලෙස ස්ථාපිත කිරීමටය. මෙම රජවරුන් දෙපළටම සසුනට උරුමකම් කීමට අවශ්‍ය විය. ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් මා වැන්නෙකු සසුනෙහි උරුමක්කාරයෙකු වන්නේදැයි” ඇසූවිට උන්වහන්සේ වදාළේ” “පොළොවේ පටන් බඹලොව තෙක් උසස් වූ මහා දානයක් භික්ෂු සංඝයාට නොඅඩුව දෙයිද ඔහු ප්‍රත්‍ය දායකයා යැයි කියනු ලැබේ. යමෙකු සිය පුතෙකු හෝ දියණියක සසුනේ පැවිදි කරවයිද ඔහු දායකයෙකු නොව උරුමක්කාරයෙකු වන්නේය” යන්නයි. මේ අනුව මේ ලක්දෙරණේ පිහිටි බුදු සසුන මැනවින් ස්ථාපනය කිරීම පිණිස දේවානම්පියතිස්ස රජතුමාද අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. ලංකාවේ බුද්ධ ශාසනය කෙසේනම් මුල්බැස ගන්නේදැයි රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇසු විට උන්වහන්සේ වදාලේ” “තම්බපණ්ණියේ ජීවත්වන මව්පියන්ට දාව, තම්බපණ්ණියෙන්ම උපන් දරුවෙකු මෙහිම පැවිදිව, විනය ඉගෙන තම්බපණ්නියෙහි ජනයා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ නම්’ එදින සසුන මුල් බැස ගන්නේය” යනුවෙනි.
මේ අනුව පැහැදිලි වනුයේ සසුනට උරුමක්කාරයෙකුවීමටත් සසුන මුල් බැස ගැනීමටත් තම තමන්ගේම දරුවන් පැවිදි කිරීම අත්‍යවශ්‍ය වන බවය.අපේ අතීත රජවරුන් හා මුතුන්මිත්තන් විසින් තම දූ දරුවන් සසුනට පූජා කළ නිසාත් බුදුසසුන මේ ලක්දෙරණෙහි පිහිටියා සේ යම්කිසි දවස අපගේ දූ දරුවන් මෙරට සසුනේ පැවිදි නොවුවහොත් සසුනේ අන්තර්ධානයද එසේම සිදුවන බව අප තේරුම් ගත යුතුය.
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය මැනවින් තේරුම්ගත් දේවානම්පියතිස්ස රජතුමා ලංකා ධරණි තලයේ බුද්ධ ධර්මය මැනවින් පිහිටීම පිණිස විවිධ උපායයන් රාශියක්ම අනුගමනය කරන ලද බව පෙනේ. ලක්බුදුසසුන මැනවින් පිහිටීම පිණිස රජතුමා අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේලාද දෙතිස්ඵලරුහ බෝධින්වහන්සේලාද යොදුනෙන් යොදුන විහාර කරවා ඒ ඒ තැන්වල රෝපණය කරවීය.එසේ බෝධින් වහන්සේලා රෝපණය කරවීමෙන් ලංකා ධරණිතලය පුරා ජය ශි‍්‍ර මහා බෝරජාණන් වහන්සේගේ ආශිර්වාදය පැතිර ගියේය.
බුද්ධ ශාසනය ලංකා ධරණි තලයේ පිහිටුවීම පිණිස දේවානම්පියතිස්ස රජතුමා ගත් තවත් ක්‍රියාමාර්ගයක් වූයේ ඒ ඒ ස්ථානවල චෛත්‍යයන්, ගොඩනැගීමයි. සුමන සාමණේරයාණන් වහන්සේ බුද්ධ පාත්‍රය පුරා වැඩමවාගෙන ආ ධාතුන් වහන්සේලා නිදන්කොට රජතුමා විසින් යොදුනක් බැගින් වූ ස්ථානයන්හි චෛත්‍යයන්ද කරවන ලදී. ලංකාව පුරා චෛත්‍ය රාජයාණන් වහන්සේලා කරවා ධාතු නිදන් කිරීමේ සිරිත ආරම්භ වූයේද මේ ලෙසිනි. ඊට පෙර තපස්සු භල්ලුක ආදීන් විසින් මෙරට චෛත්‍යයන් කරවා තිබුණද ඒවා ලංකාවාසීන්ගේ නිර්මාණ නොවිණ.
ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස පාත්‍ර ධාතුන්වහන්සේ සලකන්නට වූයේද දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලයේදීමය. පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා වඩමා හිස්වූ පාත්‍ර ධාතුව දෙවනපෑතිස් රජතුමා විසින් මාලිගාවේ තැන්පත්කොට බුදුරජාණන් වහන්සේට පූජා කරන්නා සේ පුද පූජාවන් පවත්වන ලදී.
ලංකාවේ සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවීම පිණිස දිවිහිමියෙන් කටයුතු කළේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ප්‍රථම ධර්ම දූත පිරිසත් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේත්ය. උන්වහන්සේලා මෙරට සම්මාසම්බුද්ධ ශාසනයේ චිරස්තිථීය පිණිස ද මුළු ජීවිතම කැප කළ සේක .
මිහිඳු මහරහතන් වහන්සේ උත්තිය රජුගේ අට වැනි රාජ්‍ය වර්ෂයේදි චේතියගිරියේ වස් සමාදන් ව වැඩ සිටින අතර වප් මස පුර අටවන දින පිරිනිවන් පෑ සේක. රජතුමා උත්කර්ෂවත් ලෙස ආදාහනෝත්සවය සංවිධානය කරන ලද අතර අවසානයේ ශි‍්‍ර දේහය චිතකයක තැන්පත්කොට ආදාහනය කරවීය. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ආදාහනය කරන ලද තැනද චේතියගිරියද තැන්පත් කර චෛත්‍යයන් කරවන ලද අතර සියලු විහාරවලද ධාතුන් තැන්පත් කර චෛත්‍ය කරවා පුද පූජා පවත්වන ලදී.

බුදු දහමින් පෝෂිත ලක්දිව පැරැණි සිප්සතර

පැරැණි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සිහිපත් කිරීමේ දී දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ එය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වූ බවයි. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය යනු ගුරුවරයා මූලික කරගත් අධ්‍යාපනයයි. එය වර්තමානයේ පවතින ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට සපුරා වෙනස්ය. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය තේරුම් ගැනීමට ගුරුවරයාගේ භූමිකාව තේරුම් ගැනීම වැදගත්ය.
පැරැණි ලක්දිව අධ්‍යාපනය තුළ සිසු අරගල නැත. විරැකියා ගැටලු නැත. වැටුප් අර්බුද නැත. එහෙත් ශාස්ත්‍රීය නිර්මාණ ඇත. පෘථුල චින්තන ශක්තියක් ඇත. වර්ණනීය සමාජ ආගමික ශික්ෂණයක් ඇත. දේශීය ආර්ථීකය හා සංවර්ධනය සඳහා ලබා දුන් විශිෂ්ට මඟ පෙන්වීමක් ඇත. අතිශයෝක්තියක් නොවන මෙම කරුණු වර්තමාන ශ්‍රී ලාංකික සමාජ දේහය ශක්තිමත් කරන සීගිරිය වැනි ජාතික උරුමයන් මෙන්ම අනුරපුර, පොළොන්නරු සංස්කෘතික නටබුන් අද වන විට ද දේශීය ආර්ථිකයට සපයන විශාල දායකත්වය පමණක් පිළිබඳව වුවද සිතන්නෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.
එමෙන්ම ශිෂ්‍ය අර්බුද යැයි සංකල්පයක් ගැන අතීත ලංකාවේ ඉතිහාසයෙන් සොයාගත හැකි කිසිවක් නැත. තවද පෙරදිග ඥාන සම්භාරය සුරක්ෂිත කළ සාහිත්‍යයක් මෙකල අධ්‍යාපන විසින් සුරක්ෂිත කරමින් පෝෂණය කරමින් අනාගතයට රැගෙන ආ හෙයින් විදේශීය පඬිවරුන් ද ලංකාවට ගලා ආහ. එබැවින් සුපුෂ්පිත සුසංවේදී හා සුසංවාදී ජන ජීවිතයකට මඟ පෑදූ බුදුදහමින් පෝෂිත ලක්දිව පැරැණි අධ්‍යාපනය ගැන පුනරාවර්ජනය කිරීම යුගයේ අවශ්‍යතාවක් වේ.
පැරැණි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සිහිපත් කිරීමේ දී දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ එය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වූ බවයි. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය යනු ගුරුවරයා මූලික කරගත් අධ්‍යාපනයයි. එය වර්තමානයේ පවතින ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට සපුරා වෙනස්ය. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය තේරුම් ගැනීමට ගුරුවරයාගේ භූමිකාව තේරුම් ගැනීම වැදගත්ය. ගුරු යන වචනයේ පැහැදිලි අර්ථ දෙකක් ඇත. ඉන් එකක් වන්නේ ගරු යන්නයි. අනෙක බර යන්නයි. අතීත ලංකාවේ ගුරුවරයා අතිශයින්ම ගුණවත් පුද්ගලයෙකි. සමාජය විසින් දැක වහා හුනස්නෙන් නැගිටීමේ ක්‍රියාවන් කළේත් දුටු තැන නමස්කාර කළේත් මෙම මාහැගි ගුණ පෞරුෂය නිසාය. අනෙක් අතින් ගුරුවරයා විස්මයාවහ ඥානසම්භාරයකින් හෙබි තැනැත්තෙකි. ශිෂ්‍යයාගේ භූමිකාව ද මීට සමානුරූපී වේ. ශිෂ්‍යයා ගුරුවරයාගේ දැනුමට හා ගුණයට සහේතුකව බෙහෙවින්ම ගරු කළ අතර ඉගෙනීම නමැති කර්තව්‍යය සාර්ථක කරගැනීමට තමන් ද ගුණගරුක හා කැපවීම සහිත කෙනෙකු වීමේ අවශ්‍යතාව ඔහුගේ බුද්ධියට හා හදවතට පසක් විය. බුද්ධ දේශනාවෙහි සඳහන් වන පරිදිම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පැවැතියේ පිය පුතු සෙනෙහසේ සබැඳියාවයි. දෙවන වැදගත් කරුණ වූයේ අධ්‍යාපනය හා බද්ධ වූ කාර්යභාරයයි. දිසාපාමොක් ගුරු භූමිකාව ප්‍රතිමූර්තිමත් කළ තත්කාලීන ගුරුවරයා ශිෂ්‍යයාගේ ජීවිතය හා ඔහුගේ ඉලක්ක මැනවින් හඳුනාගෙන ක්‍රියා කළේ ය. ඉගෙනීමට ඇති හැකියාව හා වුවමනාව පමණක් නොව ඔහුගේ ආහාර ගැනීම නියපොතු කැපීම් හා දත්මැදීම් වැනි ක්‍රියාදාමයන් ගැන ද ඔහු සැලකිල්ලක් දැක්විය. මානව හිතවාදී ක්‍රියාදාමයක් වූ එය නිමා වූයේ ඔහුට නිසි විවාහයක සහ වෘත්තියක පදනමක් ද සලසා දීමෙනි. අනෙක් අතින් දේශීය අනන්‍යතාවක් සහිත අවශ්‍යතා හඳුන්ගත් විෂය නිර්දේශයකට අනුව සැකසුණු අධ්‍යාපනයක් ද එකල පැවතුණි. ධර්මය පමණක් නොව ගණිත මිණිත ඡ්‍යොතිෂ ආයුර්වේද ආදී විෂයන් ද සාහිත්‍ය සංගීත නැටුම් ශිල්පය වැනි විෂයන් ඊට ඇතුළත් ය. අනවශ්‍ය හඹා යෑම් හා අභියෝගවලට පෙලඹවීම ඊට ඇතුළත් නොවීය.
වනපොත් කිරීම හා සජ්ඣායනය ශාස්ත්‍රීය දැනුම් තහවුරු කිරීමේ උපාය මාර්ගය විය. මෙම වනපොත් කිරීමේ ක්‍රමය අනවශ්‍ය බව වර්තමාන පිළිගැනීම වුවත් බෞද්ධ පිළිගැනීම සූත්‍රවල දැක්වෙන්නේ මෙසේය. විශ්වාසයක් ඇති ශිෂ්‍යයා ගුරුවරයා වෙත එළඹෙයි. එළඹ ගුරුවරයා ඇසුරු කරයි. ඇසුරු කරන්නා අවධානය යොමු කරයි. අවධානය යොමු කරන්නා ධර්මය හෙවත් කරුණු අසා දරයි. කරුණු සිහියේ දරන්නා හෙවත් කටපාඩම් තැනැත්තා අර්ථ පිරික්සයි. අර්ථය පිරික්සන්නාට කරුණු මනාව වැටහේ. එවිට ඔහුට වැඩිදුර හැදෑරීමේ කැමැත්ත හා උත්සාහය ඇතිවේ. ඉන්පසු ඔහු කරුණු තුලනය කරයි. තුලනය කොට යථාර්ථය තේරුම් ගැනීමට වෑයම් කරයි. ප්‍රඥාවෙන් කරුණු විනිවිද දකියි” යනුවෙනි. අන්තර්ජාලයෙන් ගීතයක් අසන්නෙකු එයින් ස්වල්ප ආශ්වාදයක් ලබන අයුරුත් එම ගීතය මතකයේ ඇති කෙනකු එහි අරුත් විනිවිද දකින අයුරුත් සැසඳීමෙන් මෙය ඔබට පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ නිසා සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව සහමුලින් අතහැර දැමීමෙන් වන හානිය දේශයේ අනාගතය තීරණය කරන්නකි.
තෙවන කරුණ ලෙස ගුරුකුල සතු කාර්යභාරය දැක්විය හැකිය. පැරැණි ලංකාවේ ගුරුකුල බිහි වී තිබූ බව අපි දනිමු. වියත් අටගණ නමින් ගුරුකුල අටක් පැවැතීමේ රහස එකිනෙකා අතර පැවැති භේද භින්නතා නොව විෂය ප්‍රාමාණිකත්වයයි. එකල සමාජයට ශිෂ්‍යයා දෙස බලා ගුරුවරයා හඳුනාගැනීමේ හැකියාවක් තිබුණි. ශිෂ්‍යයන් විසින් ඒ ඒ ආචාර්යවරයා හෝ ආචාර්යවරුන් තුළ පැවැති විශේෂඥ ශික්ෂණ ක්‍රමවේදයට ඇලුම් කිරීම හේතුවෙන් එම ගුරුවරයා හෝ අධ්‍යාපන ආයතනය වටා ඒකරාශීවීම නිසා ගුරුකුල බිහිවිය. ඇතැම් ශිෂ්‍යයන් තුළ පැවැති උසස් දැනුම් හා විධිමත් ශික්ෂණය ඇති වූයේ කෙසේද යන්න සොයා බලා ඔබගේ ආචාර්යවරයා කවරෙක් ද? ඔහු කෙබඳු ශාස්ත්‍රයක් උගන්වයි ද? යන විමසීමෙන් තීරණ ගැනීම මව්පියන්ගේ මෙන්ම දැනුම් සොයා යන ඡාත්‍රයන්ගේ ද අභිලාෂය විය. මෙකල එබඳු ගුරුකුල නැත. එකල ගුරුකුලවල කිසිදු වාණිජමය පරමාර්ථයක් නොවීය. ඔවුන්ගේ අරමුණු වූයේ ශිල්ප ශාස්ත්‍ර දානය උපරිම අයුරින් කිරීමය.
සිව්වන කරුණ ලෙස දැනුම ලබා ගැනීමේ පදනම දැක්විය හැකිය. විද්‍යාවෙන් විනය ඇතිවේ. (විද්‍යා දදාති විනයං) යන්න බෞද්ධ කියමනක් නොවේ. බෞද්ධ අදහස විය යුත්තේ විනයෙන් විද්‍යාව හෙවත් දැනුම ලැබේ යන්නයි. සීලය හැදිච්චකම නැතහොත් විනය ප්‍රඥාව සොයා යාමට හේතුවන එකම සාධකය බව තහවුරු කිරීමට බුදුගොස් හිමියන් විසින් විසුද්ධිමාර්ගය රචනා කිරිම ඊට නිදසුනකි. එබැවින් පැරැණි රටාව අනුව අධ්‍යාපනයක් ලබා දීමේ දී දැනුමට පෙර විනය සැකසීමේ ක්‍රමවේදයකට යා යුතු ය. වර්තමානයේ ඇතැම් ශිෂ්‍යයන් තුළ මූලික වශයෙන් හික්මීමක් නැත. එහෙයින් ඔවුන් ලබන දැනුම ද විධිමත් නැත. අර්බුද හටගැනීමේ මූලික සාධකය මෙයයි. අධ්‍යාපනය යනු විද්‍යා සාගරයකි. එහි මර්මස්ථාන ග්‍රහණය කිරිමේ හැකියාවක් මෙබඳු ශිෂ්‍යන්ට නැත. පැරැණි අධ්‍යාපනයේ පැවැති බව කියැවෙන ගුරුමුෂ්ටි යන්නෙත් අදහස් වන්නේ අධ්‍යාපනය පවතින මෙම මර්මස්ථානයයි. උසස්ම ශික්ෂණයකින් හෙබි ශිෂ්‍යයාට ගුරුමුෂ්ටි නොතබා ඉගැන්වූ බව ප්‍රසිද්ධ කරුණකි. පෙරදිග අධ්‍යාපන ක්‍රමය බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස් වේ. ඊට හේතුව බටහිර අධ්‍යාපනයේ නැති ආධ්‍යාත්මික හැදෑරීම්වලින් ලත් දැනුමක් පෙරදිග අධ්‍යාපනය තුළ පැවැතීමයි. යම් යම් ගුප්තමය විද්‍යාවන්ගේ ගුප්තමය තත්ත්වයන් සුරක්ෂිත කළ යුතු ය. ඒවා ආරක්ෂා කිරීමේ ශක්තිය ඇති ශිෂ්‍යයා, ගුරුවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එම දැනුම ලබා දී ඇත. ඒවා මිණිමුතු මෙන් අගනේ වේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ දී මෙසේ වැකියක් හමුවේ. “විද්‍යා සාගරයේ පතුලෙන් ගොඩගෙන අගනා මාණික්‍ය පැළඳීමි සිසු හෙළ” සැබෑ ගුරුවරයෙකුගේ අභිප්‍රාය වන්නේ වැදගත්ම කරුණු ඉගැන්වීමෙන් ශිෂ්‍යයාට පන්නරය ලබාදීමයි. මිණි මුතු වන් එම යථාර්ථ ප්‍රතිබද්ධ ධර්මතා සකලවිධ විද්‍යාවන් හැදෑරීමෙන් පමණක්ම ඵල නො දරන අතර ඒවා ආධ්‍යාත්ම විද්‍යාව සමඟ ද ප්‍රතිබද්ධ වන්නේ ය.

බුදුදහමින් ඔපවත් ව අපේ ජන කවිය

මහාචාර්ය 
දේවාලේගම මේධානන්ද හිමි
ජන කවිය වූ කලි පැරණි ගම්බද ජනයාගේ එදිනෙදා දිවි පැවැත්ම ඇසුරු කරගෙන උපන් විශිෂ්ට සාහිත්‍යාංගයකි. ව්‍යාජ සාටෝප සාඩම්බර ගති පැවතුම්වලින් තොර වූ හිස පුරවා ගත් මහා දැන උගත්තකම්වලින් බර නොවු සැහැල්ලු එහෙත් වඩාත් හරවත් ජීවන දැක්මකින් හා විවෘත සදාචාර සම්පන්න ගති පැවතුම්වලින්ද සරු වූ ගැමි ජීවිතය ජන කවියෙහි උල්පත වූයේය. ඒ ගැමියනට සුවිසල් මහ මන්දිවරල සුව පහසු යහන් නොවූයේය. රසමසුවුලු සහිත අහර ද නොවිණි. රන්, රිදී ,මුතු, මැණික්, යාන වාහන හෝ කසි සළු, රන්සළු ද ඔවුන් සතු නොවීය. එහෙත් ඔවුහු ලද පමණින් සතුටු වැ අපිස් සතොස් ගුණයෙන් සරු වැ නිහඬ නිස්කලංක හා ශිෂ්ට සම්මත ජීවිත ගත කළෝය.
ගමේ ගහකොළ, ඇළදොළ, කඳුහෙල්, මිටියාවත් , කෙත්වතු ඔවුන් තුළ පැවති ඒ හැදියාවටම අනුබල දෙමින් අව්‍යාජත්වයක්, රසකාමිත්වයක් එක් කළ බව නොරහසකි. ගමට ආවේණික වූ ඒ සැහැල්ලු එහෙත් හරවත් දිවි පැවැත්ම එසේ හැඩගැස්වීමට මුල්වූයේ බුදුදහමයි. ජන කවියට ගැමි අත්දැකීම් මෙන්ම ජීවිතාවබෝධයද පිළිබිඹු කරන කැඩපතක් වැනිය. එය ඔවුන් දිවි ගැටගසා ගැන්ම පිණිස කළ විවිධ වෘත්තීන් සමඟ වෙසෙසින්ම බැඳී පවතී. වී ගොවිතැන, හේන් ගොවිතැන, පතල් කර්මාන්තය, කරත්ත පැදවීම, පාරු පැදීම ආදි විවිධ ග්‍රාමීය ජිවිකා වෘත්තී ඇසුරු කර ගත් එබඳු රසබර ජන කවි ඔවුන්ගේ වෙහෙස නිවන්නටත්, රසවිඳින්නටත් උපකාරි වූයේය. ඒ හැර විවිධ ගැමි ක්‍රීඩා ඇසුරින්ද ජන කවිය ප්‍රභවය ලබා තිබේ.
ප්‍රතිභාව එනම් අපූර්ව නිර්මාණ කෞශල්‍යය, ද ව්‍යුත්පත්තිය එනම් පැසුණු නුවණද , සතතාභ්‍යාසය එනම් කාව්‍යමය ප්‍රකාශන විෂයෙහි වන පරිචය ද ප්‍රකට කළ මුඛ පරපුරින් පැවත එන එම පද්‍ය නිර්මාණ ගැමියාගේ උසස් කවීත්වයට දෙස් දෙයි. චිරන්තන සම්භාව්‍ය පද්‍ය කලාවට අයත් ක්‍රමවේදයන් හා සීමා නියමයන්ගෙන් ආවරණය නොවු ජන කවිය රස හර ඉස්මතු කරලීමෙහි වඩාත් සමත් වූ බවද පෙනේ. ඒවා නිතැතින්ම ගැමි මුවින් ගලා ආ අපූර්ව ගීතමය නිර්මාණ වූයේය. හිස පුරවා ගත් පාණ්ඩිත්‍යයෙන් තොර වූ බැවින් ගැමියෝ නිදහස්ව සිය අව්‍යාජ වූ සිතැඟි කවියට නැඟීමට සමත් වූහ. ගැමි පරිසරය සිසාරා ගිය ඒ ජන කවි අතර ඔවුන් බුදුදහමින් ලද පෝෂණය වෙසෙසින්ම ප්‍රකට වෙයි. මේ එක් නිදසුනකි.
රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද 
පැණි මීයේ කෑ මුත් බඩගිනි නැද්ද 
මිණි බරණින් සැදුමුත් ගත නොදිරද්ද 
පැණි වරකා ගහටත් හෙණ නොවදිද්ද
මෙය උපහරණ කවියකි. අපේ ගැමියන් බුදු බණ තුළින් ජීවිතය දුටු හැටි මින් පෙනෙයි. රත්රන් විමානයක බොහෝ සරුසාර ව සිටිය ද සසර දුක මිනිසාට උරුමය. ඉපදීම, ලෙඩ වීම, මහලුවීම, මරණය ඉක්මවා යා නොහැකිය. ගැමි සොබාදහම නිපදවන මිහිරිතම කෑම නම් මී පැණිය. බලවත් සතුටින් ආශාවන් කෑවේ ඒ මී පැණිය. එහෙත් එය තාවකාලික මිහිරකි. මී පැණි කෑවද නැවත බඩගිනි උපදියි. මුතු , මැණික් අබරණින් මේ කය සරසා ගත්තද මෙය දිරන සුළු කුණු කයක්ය. අනිත්‍යය. අසාරය. දුකය. ගහ පැණි වරකා ගහක් වුවද එයටත් හෙණ ගහයි. ජිවිතය කෙතරම් උපභෝග පරිභෝග සම්පතින් ආඪ්‍ය වුවද දුක මිනිසාට උරුම වන්නේය.උචිත රූපකද භාවිත කරමින් සිය අත්දැකීම් හා පරිසරය ඇසුරින් ගැමියකු කවි බණඛක් කී හැටි මින්පෙනේ. මේ තවත් එබඳු නිමැවුමකි.
කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ 
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ 
පව් කළා නොවෙද පිං පල නොදෙන්නේ ලොවුතුරා බුදුන් කවදද දකින්නේ
වී ගොවිතැනින් දිවි ගෙවු ගැමියෝ සිය අත්දැකීම්ද මුසු කර සසර පැවැත්මට තුඩු දෙන කර්මයද, සසර නැවැත්ම වූ නිවන ද එසේ කවියෙන් කීහ. කල්යල් බලා ගොවිතැන් කළ යුතුය. වැසි කල නියං කල නොබලා කරන ගොවිතැන නිසි පල උදා නොකරයි. පිනද එබඳුය. එය පල දෙන්නේද නිසි කලටය. කළ පව් ඇති’ විට පින් පල නොදෙන්නේය. මේ සසර පැවැත්මය. ගොයම කිරි වැද පැසෙන්නට නම් මල් වැරිය යුතුය. ඉවරයක් නැති දුක් සැප උදා කරන මේ සසරින් මිදි බුදුන් දැක නිවන් දකින්නේ කවදා දැයි ගැමියාට උපන් ඒ බුදු බණ සිතිවිල්ල එසේ කවියක් වූයේය. ගැමියන් කෙතරම් අපූරුවට සියදිවි පැවැත්ම තුළින් බුදු බණ තේරුම් ගෙන සිටියේ දැයි මින් පෙනේ.
ගොවිතැන ඔහුට සසරද, පින් පව් ද කියා දුන්නේය. නැවත නැවතත් සසර ඉපිද දුක් විඳිතියි වදාළ බුදු බණද මේ ගොවිතැනෙහි නිමක් නොපෙනෙන්නා සේ සසරෙහිද නිමක් නොපෙනේ යැයි දඹදෙණි දවස ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙහි කීවම ද මෙම පද්‍ය අසන්නෙකුට සිහිපත් වෙයි. පවක විපාකය දුක යැයි බුදු බණ උගන්වයි. දුක දිළිඳු ගැමියාට හුරු පුරුදුය. මේ ඒ ඇසුරින් උපන් කවියකි.
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට 
කන්නේ කරවලයි රට හාලේ බතට 
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට 
යන්නේ කවදාද මව්පියො දකින්නට
ඔහු දුරු රට ගොස් සිටියි. ඒ ගමින් බැහැරවය. පතල් කම්කරුවකු වූ මේ ගැමියාට හෙවන වී ඇත්තේ දුම්බර පිහිටි මහ කළුගලකි. ඔහුගේ වාසය එතැනය. ගමේ උපදින අල බතලින්ද, පලා කොළ ඇඹුලින්ද හේ දුරස්ව සිටියි. කන්නේ කරවල හොද්දත් රට හාලේ බතත් පමණි. එය ඔහුට නීරසය. ගමෙහි සිසිලස ඇති සුපිරිසුදු උල්පතකින් වෑහෙන දිය ඔහුට නැත. බොන්නේ දුම්බර බොර දියයි.මේ දුකින් මිදී සුව එළවන මව්පියන් දක්නට ගමට යන්නේ කවදා දැයි ඔහුට සිතේ. අපේ ගැමියෝ තදින්ම පින්පව් ඇදහූහ. ඔහුට පෙනෙන පරිදි ඒ පතල් දුක පවෙහි විපාකය. එයින් මිදී සැප ලබන්නේ කවදා දැයි උපන් අහිංසක සිතිවිල්ල හෙතෙම එසේ කවියට නැඟුවේය. මේ ගැමියන් තුළ කර්මය අරබයා පැවති දැනුම ප්‍රකට කරන තවත් ජන කවියකි.
තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා 
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා 
හපුතලේ කන්ද දැකලා බඩ දනවා 
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
මේ කරත්ත කවියකි. කරත්තය අදින ගොනු පසුපස රිය සක ඇදි එන්නා සේ පව් කළ තැනැත්තා පසුපස දුක ඇදි එන්නේ යැයි වදාළ බුදු බණ සිහියට නංවන මේ කවියද ගැමි අත්දැකීම් ඇසුරින්ම උපන්නකි. මේ ගැල්කරු දුෂ්කර වූ කඳු සහිත මගෙක ගැල පදවමින් කී කවියකි. ඔහුට හපුතලේ මහ කන්ද ඉදිරියෙන් පෙනේ. බඩ දන්නෙ එහි උස දකින විටය. ඒ කන්ද නැඟීම නම් මහ දුකකි. එහෙත් යා යුතුය. පව් කළ විට දුක් විඳින්නට සිදුවෙයි. සිය දිවි පැවැත්ම හා දහම එක්කර ගත් මේ කවියා තුළ මහා බරක්ද ඇදගෙන කඳු නඟින ගොනා කෙරේ ඇත්තේ අනුකම්පාවකි. ගොනු විඳින දුක ගැමියාටද දැනේ. පෙනේ.
නහින දෙහින කාලෙට පින් කෙරුම යුත 
වහින කලට කුරින් විල්වලින් වත 
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත 
පනින රිලවුන්ට ඉනිමං කමක් නැත
එක් අතකින් මිනිස් දුබලකම්වලට එල්ල කෙරෙන සියුම් උපහාසයද ඇණුම්පද ස්වරූපයද අනෙක් අතින් පුළුල් ජීවිතාවබෝධයද කැටි කර ගත් මේ කව මද සිනහවකින් ම ගායනා කළ බව නිසැකය. නහින දෙහින කාලෙට එනම් මහලු වියේ දීවත් පින්දහම් කර ගත යුතුය. එහි පල විපාක ලැබෙන්නේ නිසි කලටය. ඒ වැසි කලට විල් උතුරා කුරින් ගොඩට එන්නාක් මෙනි. මේ සංසාරගත ජීවිතයෙන් ගත යුතු එකම ඵලය වන්නේද පින්දහම් කර ගැනීමය.උපදින ජීවිතය මහලු විය තෙක් ගලා ගොස් නිමවෙයි. එබැවින් එසේම මියෙන්නට පළමු පින් කළ යුත්තේය. ඒ පින මැ පරලොව ද පිහිට වෙයි. බහින දියෙන් දෝතක් වුව ද ගත් තැනැත්තාට එය ඵලදායක වන්නාක් මෙනි.

සිංහල රටේ ප්‍රථම මහණ උපසම්පදාව

මඩිහේ පඤ්ඤාසීහ
මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
විසින් බුදුසරණට විශේෂයෙනි
ශ්‍රී.බු. 2509 පොසොන් පුර පසළොස්වක් දා බුදුසරණ පළමු පත්‍රයේ පළවූ ලිපියකි.
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් පුර පසළොස්වක් දා මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් ලංකා, සම්බුද්ධ ශාසනය ආරම්භ වූ බව අපේ ශාසන ඉතිහාසය කියයි. ඒ අතර ඊට ප්‍රථම බුද්ධ ධර්මය පැවැති බවත් බෞද්ධයන් සිටි බවත් ඇතැම්හු කියති. මේ කියුම් දෙක මැ සත්‍යයයි.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ බවත් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණයකොට ඇතැම් අය මාර්ගඵල ලැබූ බවත් අපේ පොත්වල මැ සඳහන් වෙයි. තවද දේවානම්පියතිස්ස රජුට පෙර ඉන්දියාවේ සිට පැමිණි බෞද්ධයන් මෙහි වාසය කළ බවත් සඳහන් වේ. එහෙයින් මිහිඳු මහරහතන් වහන්සේට පෙරැ බෞද්ධයන් සිටියා යයි කීමෙහිද සත්‍යයක් ඇත. එහෙත් අපේ පොත්වල සඳහන් වන පරිදි යම් කිසි ධර්මයක් යම්කිසි රටෙකැ පිහිටීම පිළිබඳ ප්‍රධාන ලක්ෂණයන් එකකුදු පහළ වී නැත. එනම් පිළිගැනීම, පිහිටීම, මුල්බැස ගැනීම යන කරුණු තුන මැ සිදු වූයේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණි අවස්ථාවෙහි ය.
මිහිඳු මහරහතන් වහන්සේ පැමිණි අවස්ථාවෙහි දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන පිරිස බණ අසා පැහැදි බුද්ධ ධර්මය මේ රටෙහි ජනතාවගේ ආගම හැටියට පිළිගන්නා ලද බව අපේ ඉතිහාසයෙහි සඳහන් වෙයි. බුද්ධ ශාසනයෙහි පිහිටීම වශයෙන් සැලැකෙන සීමා බන්ධන නම් වූ විනය කර්මය සිදු කිරීම ද මීට පෙරැ සිදුවී නැත. මේ කටයුතු ද අවසාන වී ටික දිනකට පසු මහරජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇසුවේ ‘ස්වාමීනි, දැන් රටෙහි බුදුසමය පිහිටා අවසානය ද යන්නයි’ මහරජ, මේ රටෙහි බුද්ධශාසනය පිහිටා ඇත. එහෙත් මුල් බැසගෙන නැත යනු මහරහතන් වහන්සේගේ පිළිතුර වීය. එවිට රජතුමා, ස්වාමීනි බුද්ධ ශාසනය මේ රටෙහි මුල් බැසගන්නේ කෙසේදැයි නැවතත් ඇසීය. ‘මහරජ සිංහලද්වීපයෙහි දෙමාපියන් ගේ සිංහල කුල පුත්‍රයකු, සසුන් ගත වැ. මහණ උපසම්පදා ලබා විනය ඉගෙන විනයධර වැ ශාසන භාරය ගන්නා තුරු ශාසනය මුල් බැසැ ගත්තා වන්නේ නැතැයි පිළිතුරු දුන්හ. පසු වැ අරිට්ඨ කුමාරයන් සසුන් ගත වැ මහණ උපසපන් ලබා විනය හදාරා විනය සංගායනාව කිරීමෙන් සම්බුද්ධශාසනය මුල් බැසැ ගන්නා ලදී. මේ කරුණු නිසා ලංකා ශාසනය ආරම්භ වූයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් යැයි කියනු ලැබේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට එවන ධර්මාශෝක රජතුමා බෝ පිරිවර වශයෙන් නානා ශිල්ප ශාස්ත්‍රය උගතුන් රැසක් ද එවන ලද බව වංශ කතාවන්හි සඳහන් වෙයි. එයින් ආගමික වශයෙන් පමණක් නොවැ සාමාජික වශයෙන් ද ලංකාවේ සිංහල පරිවර්තනයක් ඇති විය.
අභිෂේක ලත් දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු වශයෙන් නැවැත වර අභිෂේක කිරීමෙන් සමාජ පරිවර්තනය ආරම්භ කරන ලද්දේ අභිෂේක මංගල්‍යයට බෞද්ධ මුහුණුවරක් දීමෙනි සිංහලයන් බුද්ධ ධර්මය පිළිගත් ආකාරයට ලෝකයෙහි අන් කිසි මැ ජාතියක් බුද්ධ ධර්මය නොපිළිගන්නා ලදැයි කිව යුතු වේ. එසේ කිවයුත්තේ සිංහලයා සතුවැ තැබුණු ආගම ශිෂ්ටාචාරය ආදී හැම දෙයක් මැ හැරැ දමා බුද්ධාගමත් බෞද්ධ ශිෂ්ටාචාරයත් ආදී කොට ඇති හැම දෙයක් මැ සම්පූර්ණයෙන් මැ පිළිගත් බැවිනි. මෙයින් ඇති වූ සමාජ පරිවර්තනය කෙතරම් දැයි කිවහොත් බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට මැ නෑ. බුද්ධාගමයෙන් තොර සිංහලයකුත් නෑ. සිංහලයාට බුද්ධාගමයෙන් තොර කිසිවකුත් නෑ යනු සිංහලයන්ගේ සිද්ධාන්තයන් වී ඇත.
බුද්ධාගමයෙන් සිදු වූ සමාජ පරිවර්තනය කොතරම් විශිෂ්ට දැයි පෙන්වීමට එකම නිදසුනක් දක්වාලමි. මිහිඳු මහරහත් හිමියන් වහන්සේ වැඩම කරන්නට පෙරැ ද පොසොන් උත්සවය සිංහලයාගේ ජාතිකෝත්සවයක් ව පැවතිණි. එහි වූ නොයෙක් කෙළි සෙල්ලම් අතරට දඩයමේ යෑම එක් කොටසක් විය. ඒ බව එදා රජතුමා ප්‍රධාන දහස් ගණනක් ජනයා මිහින්තලාවේ මුව දඩයමේ ගොස් සිටි පුවතින් පහැදිලි වේ. එහෙත් අද පොසොන් උත්සවය කුරා කුහුඹුවකුට වත් හිංසාවක් පීඩාවක් නැති පූජෝත්සවයෙකි.
මේ කරුණු අනුව, සිංහල ජාතිය බුද්ධාගම නිසා ඔප් නැඟුණු සැටිත් අභ්‍යන්තරික වශයෙන් පමණක් නොවැ බාහිර වශයෙන්ද දියුණු වූ සැටිත් නුවණීන් සලකා බලා ඒ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කැරැගන්නටත් ඒ ධර්මය අනුවැ ජීවිතය සකස් කැරැගැනීමෙන් ඇතුළතින් පමණක් නොවැ පිටතින් ද මෙලොවින් පමණක් නොවැ පරලොවින් ද දියුණු වන්නට මේ පොසොන් පොහොදා ඉටා ගන්නේ මැනැවි.

සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ 

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි
වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවෙන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්‍යයක මූලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූවද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලි ගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වා මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. උත්තරවිහාරට්ඨ කතාවෙන් උපුටාගත් කොටසක් මුල් කොට කරන විවරණයකි ද වංසත්ථප්පකාසිනිය විජය ලක්දිවට පැමිණෙන අවධියේදී ද ජුතින්දර නම් යක්ෂයකු මෙම ප්‍රදේශය පාලනය කළ බව දක්වයි. ජුතින්දර යනු යක්ෂයකුට වඩා යක්ෂයන් විශ්වාස කළ ගෝත්‍රික නායකයෙකු ලෙසින් සැලකීම වඩාත් උචිතය.

ශ්‍රී ලාංකේය වංසකතාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින් මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන්කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින්ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයේ ලබාගත් ගී‍්‍රවා ධාතුව නිදන්කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකතාව දක්වන තොරතුරෙන් මෙම පින්බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට කෙරේ. බුදුරදුන්ගේ පළමු ශ්‍රී ලංකාගමනයේ දී රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැදි එහි රැස් වූ දේව සමූහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනා කළ බව වංසත්ථප්පකාසිනීය දක්වයි.
බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ දී මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත.
ගංගා නදි නිම්නයේ පිහිටි තුන්යොදුනක් දික් වූ එක් යොදුනක් පළල් වූ මහානාග නමින් හැඳින්වූ මෙම බිම්කඩ මහියංගණය නමින් එවකට හැඳින්වූ බව පැහැදිලි කරුණකි. එමෙන්ම දීපවංස මහියපොක්ඛල නමින් මහියංගණය හඳුන්වා තිබේ. පසුව මණිපො ද මණිභේද වැනි නාම වලින් ද මිණිපේ සහ ඒ ආශි‍්‍රත කලාපයම හඳුන්වා ඇති බව හත්ථවනගල්ල විහාර වංශයෙන් පෙනේ. එමෙන්ම මිණිබේ වේරමිණිබේ යන නාමාවලින් ද එම ප්‍රදේශය හඳුන්වා ඇත. මහනුවර අවධියේ සිට ව්‍යවහාරයට පත් බිම්තැන්න යන්නද මහි අංගන යන පද දෙකින් නිරූපිත වදනක් ලෙසින් සැලකෙන අතර සොරබොර ලේඛනයට අනුව සහ වංසකතාවට අනුව ද මියුගුණු යන නමින් අනුරාධපුර යුගයේ අවසන් භාගයේ සිට මහියංගණය වඩාත් ජනතාව අතර ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.
ඓතිහාසික සිද්ධින්වල අනුපිළිවෙළ හා එහි වටිනාකම් ද යම් ස්ථානයක් පිළිබඳ ඇගයීමේ දී ඉතිහාසය හා පුරාවිද්‍යාවේ දී වැදගත් වේ. බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය. පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි. ලක්දිව දී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භූමිය තුළ නිදහන් කිරීම තුළින් ස්ථූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගණයට සුවිශේෂත්වයක් හිමි වේ. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වන අතර ධාතුවංසයෙන් එම කරුණ තව දුරටත් තහවුරු කෙරෙයි. නමුත් රාජාවලිය රනින් කළ ථූපයක කේශධාතු නිදහන් කළ බව දක්වයි.
සරභු රහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ගී‍්‍රවා ධාතුව ද දහ අටරියනක් උස්වන ලෙසට නිමවන ලද ස්තූපයක නිදහන් කළ බව වංසකතා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකරයෙන් පැවැතියේද යන්න පෙන්වාදිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැම්පත් කරන අවස්ථාවේ ‘මේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයන් ගෙන එන ලද සීවලී හා සුමන නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනිය දක්වයි. එමෙන්ම ස්ථූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වයද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙසටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකට මහියංගණ නම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. මෙම මුල් ස්තූප පසුකාලීන ස්තූපවල තාක්ෂණික පාර්ශ්වය හා සංසන්දනයට අපහසු වුව ද දේශීය ස්තූප සම්ප්‍රදායක් මෙරට මහින්දාගමනයට පූර්වයේ සිටම පැවැතියේය යන අදහස මතු කිරීමට මෙම සාධක වැදගත් වේ.
බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම් පියතිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරු මහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකතාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත් මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ෂණීයත්වය දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම මහියංගණය හා ඒ ආශි‍්‍රත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව යුගයේ තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂූන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණු දිසාවට මඳ දුරකින් පිහිටි ඔලගංගලින් හමුවේ. ප්‍රාදේශීයව විසූ ‘පරුමක’, ‘බත’, ‘ගමික’ හා ‘ආචරිය’ වැනි විරුද දරන පුද්ගලයන් විසින් භික්ෂූන් විෂයෙහි පූජා කළ ලෙන් රැසක් පිළිබඳ තොරතුරු මාවරගලින් හමුව ඇත. නවලාර්කුලමින් ද ලිපි කීපයක් හමුව පැවැතීම භික්ෂූන් මෙම ප්‍රදේශවල විසූ බවටත් බෞද්ධාගම ක්‍රිස්තු පූර්ව යුගයේම මෙම කලාපය තුළ පැතිර තිබූ බවට සාක්ෂි ලෙසින් පෙන්වාදිය හැකි වේ.
දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශි‍්‍රත කලාපය වඩාත් සුවිශේෂ භූමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් ද මහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමිණිට නිතැතින්ම හිමිවේ. දුට්ටගාමිණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසූවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භූමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සූ බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය.
දුට්ඨගාමණි සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ. දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනග්ල විහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිව්වැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකතා තුළින් හෙළි දැක්වේ. සිව්වැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩ කොට අසූවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩ මුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණු මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිව්වැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොනරාගල දඹේගොවින් ලැබුණු ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජන දවස සිය මිණිපේ සෙල් ලිපියේ දි මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහාසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. මහනුවර රාජධානි සමයේ ද සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින්බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.
මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත් පලඳවා ප්‍රකෘතිතත්වයට පත් කොට තිබේ. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව්වීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකතාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගනීමට ද මං විවර විය.
එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලී හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේ දී හමු වූ තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණු අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු, මත කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග, ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය නිහඬව හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුර එමඟින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබූ ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.
හමුව ඇති බුදු පිළිමවල ද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන්ද හමුවීම නිසා මෙම පිළිම, පාල, යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක් ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.
මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇති මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ මෙම සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරුපණය කර ඇති එම බුදුරුවට දකුණු පසින් වැඩුණු රැවුලකින් යුත් සෘෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේවසමූහය පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතයි. ඒ අතරින් ත්‍රිශුලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටයක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරති. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපණය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පිනිබිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.