ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල
හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකාවේ දළදා පෙරහැර පුරාණය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේ කිත්සිරි මේඝවණ්‌ණ (ක්‍රි. ව. 301 - 328) රාජ්‍ය සමයේය. එතැන් පටන් වාර්ෂිකව අනුරාධපුර යුගයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් දළදා පෙරහැර පවත්වා තිබේ.


අනතුරුව පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1150 - 1186) විසින්ද දළදා පෙරහැර පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්‌ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහැර වංශකථාව පෙන්වා දෙයි.

එය මහනුවර ඇසළ මංගල්‍යය ලෙස සමාජ ගතවන්නේ ක්‍රි. ව. 1592 සෙංකඩලගලපුර රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ පාලනයත් සමඟය. දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිට දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහැර ආරම්භ කිරීමට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මූලිකත්වය ගත්තේය. ඒ අනුව මේ දිනවල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ එක්‌දහස්‌ හත්සිය (1700) වැනි සිරි දළදා පෙරහැරය. මෙය මහනුවර පැවැත්වෙන හාරසිය විසිවැනි (420) පෙරහැර වෙයි.

පසුගිය 23 වැනිදා සිට 27 වැනිදා දක්‌වා කුඹල් පෙරහැර පැවැති අතර (පළමුවන දින කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ ඇස්‌වහ කටවහ දොස්‌ දුරුවෙන බවට විශ්වාසයක්‌ පවතී.) 28 වැනිදා සිට අගෝස්‌තු පළමුවැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර පැවැත්වෙයි. එයිනුත් අගෝස්‌තු පළමුවැනිදා පැවැත්වෙන පෙරහැර හඳුන්වනු ලබන්නේ මහා රන්දෝලි පෙරහැර ලෙසිනි.

එය නිමිතිකරගෙන ශ්‍රී දළදා මාළිගාව මගින් '1700 පෙරහරක පෙළහර' නමින් කෘතියක්‌ නිකුත් කර තිබේ.

මල්වතු, අස්‌ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රදීප් නිලංග දැල දියවඩන නිළමේතුමන්ගේ මගපෙන්වීම යටතේ දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත හිස්‌සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් කිසිදු ව්‍යාපාරික අරමුණකින් තොරව මෙය නිකුත්කර තිබේ. ක්‍රිෂාන්ත දයානන්ද මහතා මෙහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවන අතර, මහින්ද කුමාර දළුපොත මහතා නියෝජ්‍ය කර්තෘ පදවිය උසුලයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ කේ. මීගහකුඹුර යන මහත්වරු සෙසු කර්තෘ මණ්‌ඩල සාමාජිකයෝය. මෙය වසර 10 - 15 ක පර්යේෂණාත්මක හා ග්‍රන්ථ පරිශීලනයක ප්‍රතිඵලයක්‌ බව ඔවුහු කීහ. ගිය වසරේදී දළදා මාළිගාවෙන් මෙවැනි කෘතියක්‌ නිකුත් කෙරිණි. එවැනි පසුබිමක්‌ යටතේ යළිත් කෘතියක්‌ නිකුත් කරන්නේ ඇයි දැයි අපි මෙහි ප්‍රධාන කර්තෘත්වය දරන ක්‍රිෂාන්ත දයානන්ද මහතාගෙන් විමසුවෙමු.

"ගිය වර කෘතියට දළදා මාළිගාවේ පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර, දළදා සංස්‌කෘතිය ඇතුළත් කෙරුණේ නෑ. මෙවර ඒවා ඇතුළත්. ඒ වගේම සෙංකඩගල රාජධානියේ පෞරාණික උරුමය හා ඒ හා බැඳුණු සිද්ධාන්ත ගැනත් ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම පෙරහැරේ ඇති ඇතැම් සංස්‌කෘතිකාංග ගිය වර ඇතුළත් කෙරුණේ නෑ. නමුත් මෙවර පෙරහැරේ සෑම සංස්‌කෘතිකාංගයක්‌ ගැනම සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙනුත් පැහැදිලි කර තිබෙනවා. මෙහිදී දළදා පෙරහැරේ සම්ප්‍රදාය නිවැරදිව ඡායාරූප සහිත වාර්තා කරනවා විනා අපගේ පෞද්ගලික මතවාද කිසිවක්‌ ඇතුළත් කර නෑ" යෑයි දයානන්ද මහතා කීවේය.

ඔහු "පෞද්ගලික මතවාදයන්" ලෙස වැකියක්‌ සඳහන් කිරීම තරමක්‌ සංකීර්ණය. එනිසා අපි ඒ ගැන යළි ප්‍රශ්න කෙරුවෙමු.

"ඇතැම් විද්වතුන් හා නොමේරූ දැනුමක්‌ ඇති අය මෙම උතුම් සංස්‌කෘතිකාංගය ගැන තමන්ගේ පෞද්ගලික මතවාද සමාජගත කිරීම නිසා අද සියයට අසුවක්‌ පමණ ඇත්තේ වැරැදි නිර්වචනයන්. ඔවුන් එක්‌ එක්‌ සංස්‌කෘතිකාංග ගැන තමන්ට හිතෙන දේවල් සමාජ ගත කර තිබෙනවා. නමුත් ඒවා දළදා සම්ප්‍රදායට අනුව ඇත්ත නෙවෙයි. ඒ වගේම විද්යුත් මාධ්‍යයන් හරහාත් මෙම සංස්‌කෘතිකාංගයන්ට වැරදි අර්ථකථන සපයනවා. මෙම තත්ත්වය වහාම නිවැරදි කර සැබෑ දළදා සාම්ප්‍රදාය අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීමත් අපේ අරමුණක්‌.

පෙරහැරට දායකත්වය දක්‌වන ශිල්පීන්ට වර්තමානයේදී නිවැරැදි ඇගයීමක්‌ ලැබෙනවා ද යන්න සැකසහිතයි. ඒ නිසාම අලුත් පරපුර පරම්පරාවෙන් එන කලා උරුමයන් පසෙක ලා වෙනත් වෘත්තීන්ට යොමුවෙලා තිබෙනවා. මෙය ෙ€දනීය තත්ත්වයක්‌. එම නිසා ඒ ශිල්පීන්ට නිසි වටිනාකමක්‌ දිය යුතුය යන සමාජ වටපිටාවක්‌ ගොඩනැගීමත් අපේ අරමුණක්‌. මේ කෘතියට වැඩිහිටි සහ බාල පරම්පරාවේ ශිල්පීන්ගේ ඡායාරූප ඇතුළත් කර ඔවුන් දිරිමත් කර තිබෙනවා.

අනිත් කාරණය තමයි සංචාරක මගපෙන්වන්නන් මෙම උතුම් සංස්‌කෘතිකාංග ගැන විදේශිකයන්ට කරුණු කියන්නේ තමන් දන්නා සරල ඉංග්‍රීසියෙන්. එවිට ජාත්‍යන්තරයේ මේ ගැන හැදෙන්නේ විකෘති මතයක්‌. ඒ නිසා අපි කන්ද උඩරටට බැඳුණු වචනවලට ඉතාම සමීප අර්ථය දෙන ඉංග්‍රීසි වචන යොදාගෙන අදාළ පරිවර්තනයන් කර තිබෙනවා. මෙහිලා කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා දැක්‌වූ කැපකිරීම අගය කළ යුතුයි.

පසුගිය වසරවලදී අපි දුටුවා රූපවාහිනි නාළිකාවලින් පෙරහැර විකාශය කිරීමේදී නොගැළපෙන ලෙස සිද්ධීන් සම්බන්ධ කරන ආකාරයක්‌. ඒ නිසා මෙවර පෙරහැර රූපගත කරන්නේ දළදා මාළිගාවෙන්. එය රූපවාහිනී නාලිකාවලට නොමිලේ ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම පොත මුදලට අලෙවි නොකළත් දළදා වහන්සේ ගැන හැදෑරීමක්‌ කරන ඕනෑම අයෙකුට මාළිගාව හා සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකියි."

'දළදා පෙරහැරේ දියකැපීම' යන මතවාදය ගැනත් අපි ඔහුගෙන් ඇසුවෙමු.

මේක කරුණු පටලවා ගැනීමක්‌. බුදුන් උදෙසා කරන පූජාවන්ගේ දිය කැපීමක්‌ නෑ. එය සිදු කෙරෙන්නේ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාලවලයි. 

අපේ කෙරෙන්නේ මහා රන්දෝලි පෙරහැරෙන් පසු (මෙවර අගෝස්‌තු 1 දා අලුයම) කරඬුන් වහන්සේ මාළිගා පරිශ්‍රයට ගෙවදීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටි කුටියේ තැන්පත් කර ගිලන්පස පූජාවක්‌ පැවැත්වීමයි. පෙරහැර නිල වශයෙන් අවසන් වන්නේ එවිටයි. පසුව රාත්‍රි එකට පමණ ගෙඩිගෙය විහාරයට කරඬුවහන්සේ වඩම්මවා එහි පැය දොළහක්‌ තැන්පත් කර තිබෙනවා. එසේ කරන්නේ දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුවේ සිට නුවරට රහසිගතව වැඩම වූ පළමු දවසේ රෑ බෝවූ හෙයින් ආරක්‌ෂාව පිණිස එදා ගෙඩිගේ විහාරයේ රැය පහන්කර තිබෙන නිසයි. ඊට කෙරෙන ගෞරවයක්‌ විදියටයි මෙය සිදු කෙරෙන්නේ. පසුදා දහවල් (මෙවර අගෝස්‌තු 2 දා) පෙරහැරකින් පැමිණ යළිත් කරඬුන් වහන්සේ දළදා මාළිගාව වෙත වඩම්වනවා. එයයි සම්ප්‍රදාය. මෙය හැඳින්වෙන්නේ දවල් පෙරහැර ලෙසයි.

"එතකොට පෙරහැර පෙළ ගැසෙන්නේ මොන විදියටද?" අපි දයානන්ද මහතාට අවසන් ප්‍රශ්නය යොමු කළෙමු.

පෙරහැර අවසර පැතීම - පෙරහැර පිටත්වීමට පෙර මාළිගාවේ පෙරහැර හා සම්බන්ධ සියලුම නිලයන් දියවඩන නිලමේතුමාගෙන් අවසර ගත යුතුය. කාරියකෝරාළ, ගජනායක, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කංකානම්රාල, මොහොට්‌ටාල, සහ වට්‌ටෝරුරාළ, ඇතුළු සියලු නිලයන් දියවඩන නිළමේතුමාට වැඳ ආශිර්වාද ගෙන පෙරහැරට සහභාගිවීම සම්ප්‍රදාය වෙයි.

පෙරහැර වෙඩි හඬ - දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක්‌ නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින පෙරහැරකරුවෝ මාළිගා පෙරහැරට එකතුවෙති. දෙවැනි වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව, ඇතුපිට රැඳී රන්හිලිගේ තැන්පත් කළ බව කීමටය. තෙවැනි වෙඩි හඬත් සමඟ පෙරහැර ඇරැඹේ.

කසකරුවෝ - දළදා පෙරහැරේ පළමුවෙන්ම දර්ශනය වන්නේ කසකරුවන්ය. කස වැනුමෙන් අහසේ ගිගුරුමද විදුලි කෙටීමද සංකේතවත් වෙයි.

බෞද්ධ කොඩිකරුවෝ - කුඹල් පෙරහැර හා රන්දොaළි පෙරහැර බෞද්ධ පෙරහැරක්‌ බව සිහිපත් කිරීමට බෞද්ධ කොඩි රැගෙන යනු ලබයි.

පළාත් කොඩිකරුවෝ - මහනුවර රාජ්‍යයට අයත් පළාත්වල කොඩි පෙරහැරට එකතු කර තිබේ. ඒ ඒ පළාත් භාර නිලමේවරුන් විසින් හතර කෝරළය, සත්කෝරළය, මාතලේ, සබරගමුව, තුන්කෝරළය, ඌව වලපනේ, උඩරට පළාත් නියෝජනය කරන කොඩි මෙසේ රැගෙන ආ යුතුය.

අසිපත් ධාරියෝ - ලක්‌බිමට වැඩම කළ දා පටන් දළදා හාමුදුරුවන් මහනුවර දළදා මන්දිර වඩා හිඳුවන තෙක්‌ බොහෝ සතුරු කරදරවලට මුහුණ දුන් වග මින් සිහිපත් කෙරේ.

ගිනිබෝලකරුවෝ - විදුලි කොටන විට නැගෙන ආලෝකය දළදා පෙරහැරේදී පෙන්නුම් කරන්නේ මෙමගිනි.

පෙරමුණේ රාළ - දළදා පෙරහැරේ පළමු ඇතුපිට එන්නේ පෙරමුණේ රාළයි. දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු වතාවත් ඇතුළත් ලේකම්මිටිය ඔහු අතට ඇත.

පළමු හේවිසිකරුවෝ පෙළ - පෙරමුණේ රාළ පිටුපසින් නිත්‍ය හේවිසි කණ්‌ඩායම පැමිණේ. දළදා මාළිගාවේ සේවයේ නියුතු පනික්‌කියන් සිව් දෙනා මූලික හේවිසි කණ්‌ඩායමයි.

ගජනායක නිළමේ - රජුගේ ඇත් පන්තිය භාර නිලය ගජනායක නිළමේය. එය සංකේතවත් කරමින් දළදා පෙරහැරේ සියලු අලිඇතුන් භාරව ගජනායක නිළමේ ගමන් කරයි.

බුලත්පදය - "බුලත්පදය" ඉවහල් කර ගන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කරන ආරාධනයක්‌ ලෙසිනි.

ඇත්පන්ති - ජන විශ්වාසය අනුව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන විට කළු වැහි වළාකුළු සිහිගැන්වෙයි. එහෙයින් දළදා පෙරහැරේ තනිතණ්‌ඩලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි වේ.

හොරණෑකරුවෝ - හොරණෑව දළදා පෙරහැරේ නාද මාත්‍රාවයි. ඒ එම හඬින් ගජගා වන්නම් තාලය මුළු පෙරහැර පුරාවටම එක සේ සුසරවන බැවිනි.

කොතල පදය - පැන් කොතලය සශ්‍රීකත්වයේ සංකේතයකි. පිරිත් පැන් කළය සිහි ගන්වමින් සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කෙරේ. 

පොල්මල් නැට්‌ටුවෝ - පොල්මල සශ්‍රීකත්වයේ සංකේතයකි. මෙම නැටුමේ අරමුණ රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමයි.

ගොයම් නැටුම - කලට වැසි ලැබ කෙත් සශ්‍රීකවීමේ අභිමානයත් දළදා හාමුදුරුවන් වෙත දක්‌වන බැති සිතත් හඳුනා ගත හැක.

තම්මැට්‌ටම්කරුවෝ - හේවාවිස්‌ස, යකාවෙල, ඇරැව්වාවල, උඩුනුවර සහ රිදීගම යන පරම්පරා දළදා පෙරහැරේ තම්මැට්‌ටම් වාද්‍යකරුවෝ ලෙස පැසසුම් ලබති.

තාලම්පොටකරුවෝ - පෙරහැරේ රිද්මය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අවශ්‍ය විධානය මින් ලබා දෙයි.

දවුල්කරුවෝ - දවුල දළදා තේවාවන් සඳහා යොදා ගන්නා මෙවලමකි. එහෙත් පෙරහැරේදී එය රංගන මෙවලමකි. රන්දෝලි පෙරහැරට අතිවිශිෂ්ට දවුල්වාද්‍ය ශිල්පීහු පමණක්‌ එක්‌ වෙති.

රබන් නැට්‌ටුවෝ - මෙය පත්තිනි පූජාවකි. දිගු කලක්‌ ප්‍රගුණ කිරීමෙන් ලබාගතයුතු කුසලතාවකි. එහෙයින් දළදා පෙරහැරේ රබන් කැරකැවීම බුදුන්ට දක්‌වන පූජාවක්‌ ලෙස සැලකෙයි.

චාමර නැට්‌ටුවෝ - දළදා වහන්සේට චාමර සැලීම ගෞරවනීය පිළිවෙතකි. එම නිසා මෙය පෙරහැරේදී සධාතුක කරඬු වහන්සේට දක්‌වන හරසර පූජාවකි.

හවඩි දඟයා - ඉන වටා වට කරකැවෙමින් හවඩි බැඳීමේ රටාව රංගන නර්ථනයකට යොදාගත් එකම අවස්‌ථාව හවඩි දඟයා නැටුමයි.

පතුරු නැට්‌ටුවෝ - ලී කෙළි හා සමාන වුවද ලී පතුරු භාවිතා කිරීම නිසා පතුරු නැටුම ඊටම අනන්‍ය වූවකි.

පන්තේරුකරුවෝ - පන්තේරුව කවිකාර මඩුවේ නිත්‍ය වාද්‍ය මෙවලමකි. එය රවුම් හැඩැති පිත්තල භාණ්‌ඩ මෙවලමකි.

ලීකෙළිකරුවෝ - මනා පෞරුෂයක්‌ විදහා දක්‌වන මෙය උඩරට ශිල්ප පරම්පරාවන්ගේ අනන්‍යතාවකි.

වේවැල් වියන්නෝ - එක්‌ අයෙක්‌ වේවැල් කඳ ලෙස හඳුන්වන වේවැල් බඳ තිබෙන කොටස අල්ලා ගත යුතුයි. ඔහු වටා අනිත් ශිල්පීහු දුවති. ඒ දුවන රටාවේ හැඩතල කීපයක්‌ දැකගත හැක.

උඩැක්‌කිකරුවෝ - පෙරහැරේ උඩැක්‌කිකරුවන් ගමන් කරන්නේ කවි ගායනා කරමින්, තාලයට උඩැක්‌කිය වාදනය කරමිනි. දළදා පෙරහැරට එක්‌වීමට නම් පාරම්පරික නිසි උරුමය ලත් ශිල්පියකුගෙන් ශාස්‌ත්‍රය හදාරා තිබිය යුතුය.

ගැටබෙරකරුවෝ - දළදා පෙරහැරට ගැට බෙරය යොදා ගන්නේ පූජාවක්‌ ලෙසිනි.

නෛයණ්‌ඩි නැට්‌ටුවෝ - හිස්‌ වෙස්‌ තට්‌ටුවෙන් තොරව අලංකාර ලෙස හිස ඔලියල් බැඳගෙන අවුල්හැරයෙන් අලංකාර ලෙස උඩුකය වසාගත් නෛයණ්‌ඩි නැට්‌ටුවෝ වූ කලී ජව සම්පන්න උද්වේගකර නැට්‌ටුවෝම වෙති.

කාරිය කෝරාළ - සධාතුක කරඬුව රැගෙන එන ඇතු පැමිණීමට පෙර කාරියකෝරාළ පෙරහැරේ ගමන් කරයි. හෙතෙම දියවඩන නිළමේතුමාට පසුව සිටින දළදා මාළිගාවේ භාරකාරයාය.

දෑලේ ඇත්තු - පෙරහැර කරඬුවේ ආරක්‌ෂාව පිණිස දෑලේ ඇත්තු ගමන් කරති. එම ඇතුන් සද්ධන්ත කුලයේ විය යුතුයි.

නාගසිංහම් වාද්‍යවෘන්දය - පෙරහැර කරඬුව වීදි සරන විට එයට ශබ්ද පූජාවන් පැවැත්වීම සම්ප්‍රදායකි. මේ සඳහා නාගසිංහම් වාදනය පෙරහැර කරඬුව වඩිනා ඉදිරිපිට වාදනය කෙරේ.

පාවඩ එළීම - පෙරහැර කරඬුව සමඟ ඇතු මගට බසිනුයේ පාවඩය මතිනි. මේ පාවඩ එළීම දළදා මාළිගා භූමියේ සිටම සිදුවන්නකි.

මංගල හස්‌තිරාජයා - දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍ය හිමි ඇතාය. මංගල හස්‌තිරාජයා සරසනු ලබන ඇඳුම් ආයිත්තම් වෙනත් කිසිම ඇතකුට හිමිවන්නේ නැත.

රන්හිලිගේ - මංගල හස්‌තිරාජයාගේ කුඹතලය මත කරඬුව තැන්පත් කරන්නේ රන්හිලිගේ තුළය. මෙය රන්කමින් අලංකෘතය.

කවිකාරමඩුව - කරඬුව වඩමවන ඇතුට පසුව දළදා මාළිගාවේ කවිකාර මඩුව ගමන් කරයි. දළදා ගුණ ගයමින් ආශිර්වාද කිරීම පෙරහැර සම්ප්‍රදායකි.

වෙස්‌ නැට්‌ටුවෝ - හිස ඔටුන්න හැර සියලු රජවෙස්‌ දැරීම වෙස්‌ නැට්‌ටුවන් සතු බව පිළිගත් මතයකි. මංගල හස්‌තිරාජයා පිටුපසින් දෙපෙළ සැදී වෙස්‌ නැට්‌ටුවෝ පැමිණෙති.

දියවඩන නිලමේ - දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිළමේටය. වීදි බැස දළදාවහන්සේ පෙරහැරේ ගමන් ගන්නා විට ඒ පසුපසින් යන්නේද දළදා හිමි රැක ගැනීමේ උත්තම අපේක්‌ෂාවෙනි.

මුතුකුඩකරුවා - දළදා මාළිගාවේ රාජකාරි ඇඳුමෙන් සැරසී දියවඩන නිළමේතුමාට මුතුකුඩය ඇල්ලීම මාළිගාවෙන් පිවිසි තැන පටන් යළි ගෙවදින තෙක්‌ කළ යුතුය.

මුරායුධකරුවෝ - දියවඩන නිලමේතුමා රැක ගැනීම පැවරී ඇත. දියවඩන නිළමේතුමා පෙරහැරේ ගමන් ගන්නා විට මග දෙපසින් ආරක්‌ෂක වැටක්‌ සේ මුරායුධ ඔසවාගෙන ආරක්‌ෂකයන් ලෙස පැමිණෙති.

නාථ දේවාල පෙරහැර - දළදා මාළිගා පෙරහැරෙන් අනතුරුව සිව්මහ දේවාල පෙරහැර අතුරින් පළමුව පැමිණෙන්නේ නාථ දේවාල පෙරහැරයි. 

විෂ්ණු දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ දෙවැනි දේවාල පෙරහැරයි.

කතරගම දේවාල පෙරහැර - දළදා පෙරහැර සතු වාද්‍ය අනන්‍යතාව එකවර වෙනස්‌ වන්නේ කතරගම දේවාල පෙරහැර පැමිණෙන විටය. එමගින් මෘදංග හා නාගස්‌වරම් හඬ ඉස්‌මතු වෙයි.

පත්තිනි දේවාල පෙරහැර - දළදා පෙරහැරේ අවසාන දේවාල පෙරහැරයි. එහි නර්තනයන්ද නර්තන ශිල්පීන්ද වෙනස්‌ය.

රන්දෝලි - දළදා මාළිගා පෙරහැර අවසන් වන්නේ දොaලා ගෙන යැමෙනි. මේ ආකාරයට "දොaලා" පෙරහැරට එක්‌කර ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදීය. ඊට පෙරාතුව රජුගේ අගමෙහෙසිය ගමන් කළ අතර අද වන විට ඊට ගෞරවයක්‌ ලෙස දොaලා පමණක්‌ පෙරහැරේ ගෙනයනු ලැබේ.

අනුරාධ හිරිපිටියගේ
2012 ජුලි 29 ඉරිදා දිවයින

නිධන් මිථ්‍යාවෙන් වැනසෙන රටේ පුරාවිද්‍යාත්මක උරුමය


ශ්‍රී ලංකාව කුඩා බිම් ප්‍රමාණයකින් යුතු රටක්‌ වුව ද ලොව අනෙකුත් ඉපැරණි ශිෂ්ටාචාර සතු රටවල් හා සසඳන විට අද්විතීය උරුමයක්‌ සහිත ජනතාවක්‌ සිටින රටක්‌ ලෙස ඉදිරියෙන් සිටී. මේ අතර මානව ජනාවාසකරණයක පිළිබඳව අදින් වසර 125,000 ට පෙර ලැබී ඇති ප්‍රාග් ඓතිහාසික සාධකවල සිට 1815 මාර්තු මස 2 දින දක්‌වා අවධියට අයත් පුරාසාධක රැසක්‌ දිවයින පුරා විසිරී පවතී.

දිවයිනේ සියලු පුරාවිද්‍යා ස්‌ථාන හා ස්‌මාරක විධිමත් පරිදි වාර්තාගත කොට අවසන් කර නොමැති නමුත් රට පුරා විසිරී පවත්නා පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ සහිත ස්‌ථාන ලක්‌ෂ 3 ට ආසන්න බව දළ වශයෙන් ගණනය කොට ඇත.

මෙකී පෞරාණික උරුමය සුරැකීමේ නීත්‍යානුකූල බලය හිමි ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා කැපවී සිටී. දෙපාර්තමේන්තුව සතු සීමිත මානව හා මූල්‍ය සම්පත් ප්‍රමාණය මත දිවයිනේ ඇති පුරාවිද්‍යා ස්‌ථාන ප්‍රමාණය දළ වශයෙන් හෝ ගණනය සඳහා තවත් වසර සියයකටත්a අධික කාලයක්‌ ගත වනු ඇත. ඒ අතරතුර, දැනට පවත්නා වේගයෙන් පුරාවස්‌තු විනාශය සිදු වුවහොත් එවිට අගනා පුරාවස්‌තු රැසක්‌ දැයට සදහටම අහිමිව පවතිනු ඇත. නමුත් අප සතු සීමිත මානව හා ශ්‍රම සම්පත් හමුවේ පවත්නා පුරාවස්‌තු සුරක්‌ෂිත කිරීම දෙපාර්තමේන්තුවට පමණක්‌ හුදෙකලාව සිදු කළ හැකි කාර්යයක්‌ නොවේ. පුරාවස්‌තුවල සැබෑ උරුමකරුවන් ලෙස මහජනතාවගේ දායකFවය අත්‍යවශ්‍ය වේ. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්‌ව කටයුතු කරන වෙනත් ආයතනගත නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය වේ. 

මෑත වසර කීපය තුළ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුරාවස්‌තු සොරා ගැනීමේ හා විනාශ කිරීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටී. මෙකී සංහාරය පිටු දැකීම ජාතික අවශ්‍යතාවයක්‌ සේ සලකා අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‌ විය යුතු මොහොත උදා වී ඇති බව අපගේ විශ්වාසයයි. මහත් වූ අභාග්‍ය වන්නේ අද දවසේ අප විසින්ම අපගේ එකී අසහාය උරුමය වැනසීමට පෙළඹී සිටීමයි. අද වන විට මෙකී විනාශය ජාතික ව්‍යසනයක්‌ බවට පත් වී ඇති අතර කඩිනමින් පියවර නොගතහොත් පෙර කී අපගේ උරුමය නිකරුනේ වැනසී යාම නොවැලැක්‌විය හැකි වනු ඇත. මෙකී විනාශය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉපැරණි විහාරස්‌ථානවල, පැරණි ගොඩනැගිලි ආශ්‍රිතව රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වටිනා වස්‌තු තැන්පත් කර ඇතැයි යනුවෙන් ජනතාව තුළ පැතිර ඇති මිථ්‍යා විශ්වාසයන්ය.

වසර සියයකටත් අධික කාලයක්‌ පුරාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ විවිධ පළාත්වල සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ ඇතුළු අනෙකුත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් මෙම කට කථාවල ඇති පදනම් විරහිත බව සනාථ වී ඇත. මෙම සත්‍යතාවය කෙතරම් දුරට ජනතාව අතරට ගෙන ගිය ද එය යටපත් වී වස්‌තු සෙවීමේ තණ්‌හාවෙන් යුතුව පුරාවස්‌තු වනසා දමයි. පැරැන්නන් විහාරාරාම, දාගැබ්, ගොඩනැගිලි ඉදිකර ඇත්තේ වැඳුම් පිදුම් සඳහා මෙන්ම වෙනත් දෛනික පරිහරණ කටයුතු වෙනුවෙන්ය යන සත්‍ය පිළිගැනීමට බොහෝ පිරිස්‌ මැලි වෙතිs.

ඡේතවනාරාම රන් බණපොත, අභයගිරියෙන් ලැබී ඇති ස්‌වර්ණ පිණ්‌ඩික, ඉතා තුනී රන් තහඩු මගින් කළ කුඩා බුද්ධ ප්‍රතිමා හා කුඩා කරඬුq කීපයක්‌ හැර රත්‍රංවලින් නිපදවූ බුද්ධ ප්‍රතිමා, සෙම්බු, සතුන් හෝ රත්‍රං කුට්‌ටි මෙතෙක්‌ හමු වී නොමැති බව අවධාරණය කර සිටිමු. දාගැබ් තුළ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ සම්ප්‍රදායක්‌ තිබූ බව සත්‍යයකි. නමුත් මෙසේ තැන්පත් කළේ අෂ්ඨ මංගල සංකේත, ධාතූන් වහන්සේලා, කුඩා බුද්ධ ප්‍රතිමා, බෝධි සFව ප්‍රතිමා, දේවතා රූප වැනි අභිචාර විධි සඳහා උපයෝගී වූ ද්‍රව්‍ය මිස රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වස්‌තු සම්භාරයන් නොවේ.

මේ වන විට හමු වී ඇති රනින් කර ඇති කුඩා බුද්ධ ප්‍රතිමා කීපය ද කඩදාසියක තරම් ඝනකමැති ඉතා තුනී රන් තහඩු නවා නිමවා ඇත. ඝන වාත්තු ක්‍රමයට රත්‍රං වලින් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ඇතුළු වෙනත් දේ නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක්‌ නොවීය. සැබවින්ම දඹරන් ප්‍රතිමා යනු මුළුමනින්ම මිථ්‍යාවකි. රත්‍රං ලෝහයෙහි දැඩියාව ඉතා අඩු බැවින් ප්‍රතිමා හෝ වෙනත් ඕනෑම භාණ්‌ඩයක්‌ තැනීමේදී තඹ, සින්ක්‌ වැනි වෙනත් ලෝහ යම් ප්‍රමාණයකට එක්‌ කළ යුතු වේ. මෙතෙක්‌ හමූ වී ඇති බුද්ධ ප්‍රතිමා ඇතුළු අනෙකුත් නිර්මාණ ලෝකඩ වැනි බාල ලෝහයකින් නිමවා රත්‍රං ආලේප කර ඇති ඒවා ය. බොහෝ පිරිස්‌ මෙබඳු රන් ආලේපිත ප්‍රතිමා සොරා ගොස්‌ රත්‍රං නොවන බව දැන එක්‌කෝ මහ මග දමා යති. නැතිනම් නීතියේ රැහැනට හසු වී දඬුවම් විඳිති. 

තවත් වැදගත් කරුණක්‌ වන්නේ ගල් උණු කිරීම, දිය කිරීම සිදු කරන බෙහෙත් වර්ග ඇති බවට වූ මිථ්‍යා අදහසයි. අතීතයේ මුතුන් මිත්තන් කටුව හා මිටිය උපයෝගී කරගෙන විස්‌මිත නිර්මාණ සිදු කළා මිස බෙහෙත් ද්‍රව්‍ය යොදා ගල් මොලොක්‌ කොට මූර්ති කැටයම් හා අනෙකුත් ශෛලමය නිර්මාණ නිමවා නැත. මේ බව අපට හමු වන අඩක්‌ නිම කළ කලා නිර්මාණ වලින් ප්‍රතීsයමාන වේ. එසේ ම ලොව අනෙකුත් කවර ශිෂ්ටාචාරයක හෝ මෙබඳු බෙහෙත් වර්ග යොදා ගත් බවට පිළිගත හැකි සාධක අනාවරණය වී ද නැත. 

එසේම ගල්වල කොටා ඇති විවිධ සලකුණු නිධන් වස්‌තු පිළිබඳ හඳුනාගැනීම් සලකුණු ලෙස ඇතැම් අය විශ්වාස කෙරේ. නමුත් සැබවින්ම මේවා කඩ ඉම් සළකුණු මිස නිධන් වස්‌තු සළකුණු නොවේ. ප්‍රායෝගිකව සිතා බලන විට වුව ද යමෙකු තම වස්‌තුව තැන්පත් කොට ඒ මත කාටත් පෙනෙන පරිදි ප්‍රසිද්ධ සළකුණු තැබුවේ යෑයි පැවසීම ද විහිළුවකි. පණ්‌ඩුකාභය රජු ගම් 10,000 ක මායිම් සලකුණු කළ බව වංශ කථාවන්හි සඳහන් වේ. එසේම කලින් කල විවිධ පාලකයින් විසින් ග්‍රාම සීමා, රාජ්‍ය පාලන සීමා නිර්ණය කිරීම සඳහා මෙසේ එකිනෙකට වෙනස්‌ සංකේතයන්, හඳුනා ගැනීමේ සළකුණු ලෙස කොටා ඇත. නමුත් මෙම සළකුණු නිධන් වස්‌තු පිළිබඳ ඉඟි සපයන සළකුණු ලෙස සලකා මෙකී පැරණි මායිම් සළකුණු කඩා බිඳ විනාශ කර දමති. 

තම තමාතේ පෞද්ගලික කැමැත්ත පරිදි තම වස්‌තුව අවශ්‍ය විටක සඟවා තබා ගැනීමට අද මෙන්ම එදා ද නීතියෙන් බාධාවක්‌ නොවීය. නමුත් මෙම සැඟවීම වෙනුවට ප්‍රසිද්ධ සළකුණු සහිතව තැන්පත් කිරීමක්‌ සිදු නොවූ බව අවධාරණය කර සිටිමු. තව ද අවධාරණය කළ යුතු අනෙක්‌ කරුණ වන්නේ නටබුන් ගොඩනැගිලි, සඳකඩපහන්, සෙල් ලිපි, ඇතුළු පුරාවිද්‍යා නටබුන් ආශ්‍රිතව සාමාන්‍ය ජනතාව විශ්වාස කරනු ලබන ආකාරයේ වටිනා නිධන් වස්‌තු නොමැති බවයි. 

පුරාවස්‌තු වනසන්නන් කෙතරම් දුරට මේ සම්බන්ධව මුලා වී ඇත් ද යත් ස්‌වභාවිකව පිහිටා ඇති ගල් තලාවන්හි ගල්වල වර්ණය, ස්‌වභාවික පැලුම් පහරවල් (පැරැන්නන් ගල් කැඩීමේදී ගලේ පැලුම් පහරවල් ලෙස වටහා ගත් පැලුම් රටාවන්) මෙන්ම ගල දිරාපත් වීමේදී ඇති වන ස්‌වභාවික රටාවන් වස්‌තු තැන්පත් කොට අලවන ලද පාරවල් ලෙස මුලාවට පත් වී සිටී. මේ සම්බන්ධ කෙතරම් මිථ්‍යාවෙහි ඇලී සිටී ද යත් නිධන් වස්‌තු ගැනීම සඳහා වටිනා මිනිස්‌ ජීවිත බිලි පූජා උදෙසා විනාශ කිරීමට ද ඇතැමුන් පෙළඹී සිටී. 

අනෙක්‌ කරුණ නම් Ñනිධන් වදුල වටා ගෙතී ඇති මිථ්‍යා කථාන්දරයන් ය. මෙම නිධන් වදුල නැමැති ග්‍රන්ථය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර හුදෙක්‌ම ජන කතා එකතුවක්‌ පමණි. පුරාවස්‌තු විනාශයන් සම්බන්ධව සිදු වන වැටලීම් මගින් අත්අඩංගුවට පත් වන පුද්ගලයන් අතර බොහෝ විට කට්‌ටඬියන් යෑයි කියා ගන්නා පුද්ගලයකු ද වේ. ඇතැම් විට හමු වී ඇති නඩු භාණ්‌ඩ අතර මෙකී නිධන් වදුල යෑයි පැවසෙන පුස්‌කොළ පොතක්‌ ද වේ. පරීක්‍ෂා කිරීමේදී මේවා එක්‌කෝ වෙද පොත් ය. නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ පොත් හෝ ආගමික ග්‍රන්ථයන්ය. 

පුරාවස්‌තුවලට මිලක්‌ නියම කළ නොහැකිය. එබැවින් අප නිතරම පුරාවස්‌තු අමිල යෑයි කියන්නෙමු. එසේ පවසන්නේ පුරාවස්‌තුවක කෞතුක වටිනාකම මිල කළ නොහැකි වන බැවින් මිස එහි ආර්ථික වටිනාකම සලකා නොවේ. පුරාවිද්‍යාඥයින් ලෙස අපට, ඇසට නොපෙනෙන පරාග, ඩයටම් ආදියේ සිට රන්, රිදී ප්‍රතිමා හෝ වෙනත් අතිශය වටිනාකමකින් යුත් යෑයි පැවසෙන භාණ්‌ඩයක්‌ යෑයි කියා කිසිදු වෙනසක්‌ නැත. අපට වැදගත් වන්නේ පුරාවස්‌තුව අනාවරණය කරන තොරතුරු මිස එය නිර්මිත මාධ්‍ය නොවේ. ඕනෑම පුරාවස්‌තුවක සැබෑ අයිතිකරුවන් වන්නේ එකී පුරාවස්‌තුව අයත් සමාජයයි. එයට හේතුව එම පුරාවස්‌තු මගින් පුරාවස්‌තුව අයත් සමාජයේ පැතිකඩක්‌ පෙන්නුම් කරන බැවිනි. එබැවින් පුරාවස්‌තුවක වටිනාකම වැඩි වන්නේ ද පුරාවස්‌තුව අයත් සමාජය තුළ පවත්නා විටයි. මේ නිසා අප ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටින්නේ පුරාවස්‌තු පිළිබඳ පවත්නා මිථ්‍යා මතවාද කෙරෙහි වසඟ නොවී බුද්ධිමත්ව හා විචාරශීලීව පුරාවස්‌තු දෙස බලන ලෙසය. 

උදේනි වික්‍රමසිංහ
2012 ජුලි 18 බදාදා දිවයින