බෞද්ධ කලා ශිල්ප
පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
ශාස්ත්‍රපති සිරිසමන් විජේතුංග
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් 1970 වර්ෂයේ දී අපේ පුරාණ මූර්ති කැටයම් හාචිත්‍ර ශිල්පයද දාගැබ් හා බුදුපිළිම ආදිය පිළිබඳ ඉතා අගනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ග්‍රන්ථය ඉංගී‍්‍රසියෙන් ART OF THE ANCIENT SINHALES (ආර්ට් ඔෆ් ද ඒන්ෂන්ට් සිංහලිස්) යනුවෙන් ලියන ලද ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථයට ඇතුළත්ව ලංකාවේ පුරාණ කාල කෘතින් රාශියක් ඡායාරූප සමඟ ඉදිරිපත් කර තිබේ. මෙම ග්‍රන්ථයට මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා නම තැබීමෙන්ම අප රටේ සිංහලයින්ගේ කලාව පිළිබද පමණක් නොව එයින් කියැවෙන තවත් අරුතක්ද ඇත. ඒ අරුත නම් සිංහල බෞද්ධයින් කලාව යන්නයි. ඒ ග්‍රන්ථය මීට වසර 40 පමණ ඉහතදී සිට පරිහරණය කළ කෙනෙකු ලෙසට බෞද්ධ උරුමයක් ලෙසින් ඒ ඇසුරින්ද තවත් අප රටේ බෞද්ධ මුර්ති චිත්‍ර හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ බෞද්ධ ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා අපි මෙම ලිපි මාලාව අරඹන්නෙමු.
අප රටේ පුරාණ මූර්ති ශිල්පියාගේ ඉතා විශිෂ්ටතම නිර්මාණයක් ලෙසින් අනුරාධපුර රාජධානිය සමයට අයත් සඳකඩපහණ ලොව පුරා ප්‍රකටය. ඒ සඳහා මුල්කාලයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන සේම අචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතාණන්ද මෑත භාගයේදී ආචාර්ය ආනන්ද ගුරුගේ සහ අපගේ ද ආචාර්යවරයෙකු වන මහාචාර්ය සේනක බණ්ඩාර නායක යන විද්වත්හු මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.
සඳකඩ පහණේ ආරම්භය
සඳකඩපහණ පමණක් නොව මුරගල මෙන්ම පඩිපෙළ හා සම්බන්ධ වූ කොරවක්ගලද මුල් කාලයේදී දැව වලින් නිර්මාණය කරන්නට ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. සඳකඩපහණේ ඇති මූර්ති හා කැටයම් කිසිවක් මුල්ම කාලයේ සඳකඩපහණෙහි තිබුණේ නැත. එසේ නම් ඊට භාවිත කළ නාමය කුමක්ද? ඒ සඳහා වූ උදාහරණ අද දක්නට තිබේද යන ප්‍රශ්නයද ඒ සමඟ මතු වනු ඇත.
මුල් සඳකඩපහණ හැඳින්වූයේ පාටිකා (PATIKA) යන නාමයෙනි.
පැරණී විහාර ආරාමවලට ඇතුළු වන දොරටුව පාමුල ඉතා සරළ වූ හතරැස් ගල්පුවරුවක් ලෙසින් මුල්කාලයේදී මෙම පාටිකා දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින්ම අර්ධ කවාකාරව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාරව තිබුණි. එවැනි දිග ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු හැඳින්වූයේ “පාටිකා” යන නාමයෙනි.
මෙවැනි පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරි දාගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ ඇතුළු දොරටුවේ පඩිපාමුල දක්නට ලැබේ. මෙය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවනාරාමය දාගැබේ වැලිමළුවට ඇතුළුවන පඩිපෙළ පාමුල ඇත. ඔබ අනුරාධපුරයට ගියවිට මේවා දැකගත හැකිය.
දිගින් වැඩි පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල්පුවරුව පසු කාලයේදී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර රාජධානි සමයේ අවසාන කාලය වන විට “සදකඩපහණ” ලෙසින් සකස් වී ඇත.
සදකඩපහණේ මුල් ස්වරූපය ආයත චතුරශ්‍රාකාර ගල්පුවරු සැකසීමේදී (පාටිකාව) ඉදිරි කොන් දෙක රවුම් කර ඇත. එවැනි පාටිකා මිරිසවැටියට අයත් ගොඩනැගිලි වලද අනුරාධපුරයේ ගෙඩිගේ අසළද ඇත. මෙසේ ආයත චතුරස්‍රාකාර ගල්පුවරුවේ ඉදිරි නෙන්ති දෙක කකුල්වල හැප්පීම වැළැක්වීම සඳහා එසේ සකස් කරන්නට ඇතැයි සැළකේ.
සඳකඩපහණ (මුල්කාලයේ පාටිකා) පමණක් නොව ඒ සමඟම පඩි පෙළ පාමුල තවත් ශිලා පුවරු දෙකක් (පඬි පෙල දෙපස ) සිටුවා ඇත. මෙය පඬිපෙළෙහි ආරක්ෂාවට ද ඉතා වැදගත් වේ. එය මුරගල් දෙකකි. මුරගල් සහ පඬිපෙළද සම්බන්ධ කරන තවත් අංගයක් ඇත. එය හඳුන්වන්නේ කොරවක්ගල යන නාමයෙනි. පඩිපෙළ හා මුරගල් දෙක සම්බන්ධ කර මෙම කොරවක් ගල් දෙක පිහිටුවා ඇත. මෙම සියලුම අංගවල මුල්කාලයේ කිසිදු කැටයමක් නැත. ඉතා සරළවූ මෙම පාටිකා, මුරගල් සහ කොරවක්ගල් යන අංග සියල්ලටම කැටයම් මුල් කාලයේදී තිබුණේ නැත.
සඳකඩපහණ යන නාමය සෑදුණු අන්දමද ඉතා වැදගත්වේ. පැරණි පාලි පොත්වල සඳකඩපහණ යන නාමය භාවිතා කර නැත. ඒ වෙනුවට ඉහතින් සඳහන් කළ අන්දමට පාටිකා යන නාමය යෙදුණි. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේදී පමණ ලියන ලද පාලි පොතක් වූ “සමන්ත පාසාදිකා” ග්‍රන්ථයෙහි පාටිකා යන නාමය වෙනුවට අඩ්ඩ චන්ද පාසාණ” යන නාමය යෙදී ඇත. ඒ නාමය සිංහල භාෂාවට ව්‍යවහාර කරන විට “අඩසඳ පහණ” යනුවෙන් සඳහන් වේ.අනුරාධපුර රාජධානි කාලය මේ සඳහා භාවිතා කළේ මීට වඩා වෙනස් නාමයකි. එය අඪ්ඪ චන්දක පදගණ්ඨිකා” යන්නයි. දොළොස්වැනි සියවසේ පොළොන්නරු රාජධානි සමය වන විට අමාවතුර නමැති ගද්‍ය ග්‍රන්ථය ලියූ ගුරුළුගෝමි ලේඛකයා මේ සඳහා අඩසඳපහණ යනුවෙන් ඒ පොතෙහි ලියා ඇත. ඉන්පසුව දඹදෙණි රාජධානි සමයේදී ලියූ සද්ධර්මරත්නාවලි නමැති ග්‍රන්ථයෙහි (ධර්මසේන හිමි ලියූ) කුරුණෑගල රාජධානි සමයේ ලියන ලද සිංහල ජාතක පොතෙහිද අභිධානප්පදීපිකා නමැති පොතෙහිද “සඳකඩපහණ” යන නාමය මේ සඳහා යොදා ඇත.
සඳකඩ පහණේ මුල් ස්වරූපය “පාටිකා” යනුවෙන්ද භාවිතා වූ මෙම සඳකඩ පහණේ ප්‍රධාන අවස්ථා තුනක් ඇත.
1. අනුරාධපුර රාජධානි සමයේ සඳකඩ පහණ
2. පොළොන්නරු රාජධානි සමයේ සඳකඩ පහණ
3. ඊට පසු කාලයට අයත් සඳකඩ පහණ
ඉතා අලංකාර වූ සඳකඩ පහණ වන්නේ අනුරාධපුර රාජධානි සමයේ නිර්මාණය කරන ලද සඳකඩ පහණය.
අනුරාධපුරයේ සඳකඩපහණ
රාජ්‍ය වර්ෂ යන නාමය අප මෙහිදී භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ යන නාමය සඳහාය. රාජ්‍ය වර්ෂ 8 වන හා 9 වන සියවස් වලට අයත්වන සඳකඩ පහණ රාශියක් අනුරාධපුරයෙන් හමුවී ඇත. මෙම සඳකඩ පහණවල සිවුපා සතුන් සතර දෙනෙක් (වෘෂභ ගවයා) සිංහයා ,අශ්වයා සහ ඇතා මුර්තිමත් කර ඇත. අනුරාධපුර යුගයේ සදකඩපහණවල පොදුවේ විමසා බලන විට මධ්‍යයේ නෙළුම් මලක පෙති ලෙසින් නෙළා ඇත. (අර්ධ නෙළුම් මලකි) මේ සියලුම නිර්මාණ සදකඩ පහණ රවුමක අර්ථයක් ලෙසින් නිර්මාණය කර ඇති නිසා මෙසේ නිමවා තිබේ. නෙළුම් මලට පසුව තීරුවේ ලියවැලකි. එයින් පිටත තීරුවේ එකිනෙක ලුහුබැඳ ගමන් කරන හංසයින් පෙළකි. එම හංසයින් පෙළට පසු පිටත තීරුවේ ලියවැලකි.
එයින් පිටත තීරුවෙහි ඔවුනොවුන් ලුහුබැඳ ගමන් කරන ලෙසින් (සජීවිව) ඇතා, සිංහයා, අශ්වයා සහ ගවයා ඉතා තාත්වික අන්දමින් නෙළා ඇත. ඒ සතුන්ගේ ස්වරුපය ස්වභාවික අන්දමින් නෙළීමට කැටයම් ශිල්පීහු සමත්වූහ. මේ සතුන් ජීවමාන ලෙසින් කැටයම් කිරීමට ඒ ශිල්පීන් සමත් වී ඇත්තේ ඒ සිව්පාවුන්ගේ මෙන්ම හංසයාගේද ශාරීරික ලක්ෂණ ඉතා මැනවින් නිරීක්ෂණය කර කැටයමට මූර්තිමත් කර ඇති නිසාය. ලංකාවේ හමුවන ඉතා විශිෂ්ටතම සඳකඩපහණ වන්නේ අනුරාධපුර යුගයේ සඳකඩපහණ ය. මේ සඳකනඩපහණේ අවසානයට නෙළා ඇත්තේ පළා පෙති මෝස්තරයකි.
සඳකඩ පහණේ සතුන් පිළිබඳ මත
සඳකඩපහණ පිළිබඳ මෙන්ම එහි ඇති රූප ගැනද විවිධ විද්වත්හු අදහස් පළ කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අනුරාධපුර යුගයේ සඳකඩපහණ පිළිබඳ මතයක් ඉදිරිපත් කර තිබේ. සඳකඩපහණේ පිටත තීරුවේ කැටයම් කළ පළා පෙති මෝස්තරය ඒ අනුව ගිනි දලු ලෙසින් සැලකේ. එම ගිනිදලු වලින් සංකේතවත් වන්නේ රාගය නමැති ගිනිදැල් වලින් සත්වයා වෙළී සිටින ආකාරයයි. සතුන් සතර දෙනාගෙන් පිළිවෙළින් සිංහ, අශ්ව, හස්ති (ඇතා) සහ ගවයා ගෙන් නිරූපණය වන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භය ලෙසින් මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. ඊට පසු තීරුවේ කැටයම් වූ ලියවැල සංකේතවත් කරන්නේ තෘෂ්ණාව හෙවත් ආශාවය. ඊළඟ තීරුවේ කැටයම් කර ඇති හංසයින්ගෙන් නිරූපණය වන්නේ සංසාරයෙන් එතරවීම බව මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි.සඳකඩපහණේ මැද පිපුණු නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හැඳින්වූ පරිදි ලෝකයේ ඉපදී එහි නොඇලී මතු වී සිටින ආකාරයයි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ මෙම මතය සියලුම සඳකඩපහණවලට අදාළ නොවන බවද සඳහන් කළ යුතුව ඇත.
අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩ පහණ තුනක් ඇත. එම පුදබිම් මෙසේය.
1. අනුරාධපුර මහසෙන් මාලිගය ගොඩනැගිල්ල ඉදිරිපිට ඒ සඳහා ඇතුළුවන දොරටුවේ බිම ඇකි සඳකඩ පහණ.
2. අනුරාධපුරයේ බිසෝමාලිගය ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිරිපස ඇති සඳකඩ පහණ .
3. අනුරාධපුරයේ ථූපාරාමයේ දළදා මාලිගය ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පාමුල සඳකඩපහණ.
මෙවැනි අලංකාරවු මූර්තිවලින් සැරසූ පුරාණ සඳකඩපහණ පුරාණ භාරතයේ හෝ චීනයේ හෝ වෙනත් කිසිදු රටක පුරාණ ශිෂ්ටාචාරයන් වලින් හමු වී නැත.
හිටපු පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතා සඳහන් කරන්නේ සඳකඩපහණ නමැති අපේ රටේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවය ලොවටම හෙළි කරන මේ සඳකඩපහණ පුරාණ ආගමික ගොඩනැගිලිවල දොරටු පාමුල සැරසීම සඳහා යොදාගන්නා ලද නිර්මාණයක් ලෙසිනි. එම අදහස පොදුවේ සෑම සඳකඩපහණකටම අදාළ වන බවද සඳහන් කළ යුතුව ඇත.
අනුරාධපුර රාජධානි සමයේ නැතහොත් අනුරාධපුර යුගයේ සඳකඩපහණ පිළිබඳ විවිධ මත පිළිබඳ විමසා බලමු.
අනුරාධපුර යුගයේ සඳකඩපහණවල මැද පිහිටි නෙළුම් මල අසලම තීරුවේ හංසයින් කැටයම් කර ඇත. එහෙත් පෙළොන්නරු යුගයේ සඳකඩ පහණවල (අප පසුව පොළොන්නරුවේ සඳකඩ පහණ ගැන විමසා බලමු) හංසයාගේ රූප කැටයම් කර ඇත්තේ සිව්පා සතුන් සහ ගිනිදැල් හෝ පළාපෙති මෝස්තරයන් අතර තීරුවේය.
හිටපු පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ සඳකඩ පහණ ගොඩනැගිලි දොරටු සැරසීමට යොදාගන්නා ලද උපායක් ලෙසිනි. ඒ මතය පොදුවේ සියලුම සඳකඩපහණවල් සඳහාම අදාළ කරගත හැකිය.
|
පොළොන්නරුවේ වටදාගෙයි සඳකඩපහණ
|
|
පොළොන්නරුවේ වටදාගෙයි සඳකඩපහණේ මුරගල් සහ පඩිපෙළ
|
පුරාණ භාරත දේශයේ මෙන්ම ලංකාවේද ක්‍රිස්තු වර්ෂ පළමු වැනි හා දෙවැනි සියවස් වල දී පැරැණි ස්ථාන සැරසීම සඳහා ශිලා කැටයම්වලට සිව්පා සතුන් නෙළුම් මල, මකර රූප, පුන්කලස, ලියවැල මෙන්ම මගුල් ලකුණූ අටද යොදාගෙන ඇත.
සඳකඩපහණ පිළිබද අපගේද ගුරු දෙවියෙකු වන මහාචාර්ය විනී විතාරණ මහතා මෑත කාලයේදි ඉතා දීර්ඝ ලෙසින් පර්යේෂණ සිදු කළ විද්වතෙකි. ඒ අනුව සඳකඩ පහණ චන්ද්‍ර සහ සූර්ය වස්තු දෙක පිළිබඳ විශ්වාසයටද එහි සංකේත සශ්‍රීකත්වය පිළිබඳ ඇදහීම්වලටද සම්බන්ධ බව එතුමාගේ අදහසය. නෙළුම් හෙවත් පද්මය මගින් සංකේතවත් කරන්නේ වාසනාව, සෞඛ්‍යය සුන්දරත්වය, සශ්‍රීකත්වය ,පවිත්‍රතාවය සහ දේවත්වයයි .
ඒ අනුව ලියවැල සංකේතවත් කරන්නේ සියලුම වෘක්ෂලතා බවත්, හංසයින් සංකේතවත් කිරීම විවිධ අවස්ථාවල දක්නට ලැබෙන බවත් ඔහුගේ මතයයි.
ඒ අනුව සූර්යයාද මහා බ්‍රහ්මයාගේ වාහනය වන හංසයාද– සංකේතවක් කෙරේ. මේ ආකරයට සිව්පා සතුන් පිළිබඳවද ඔහු විස්තර කරයි. සඳකඩ පහණේ ඉහත සදහන් සංකේතවල ඉන්ද්‍රජාලික බලයක් ඇති බවත් එම සංකේත ස්පර්ශ කිරීමෙන් කෙනෙකුට ඒ බලය ලැබෙන බවත් මහාචාර්ය විනී විතාරණ මහතා පෙන්වා දෙයි.
සඳකඩපහණෙහි සැරසිලි සඳහා මංගල වස්තු යොදාගෙන තිබේ. සඳකඩ පහණට පමණක් නොවේ.මුරගල කොරවක්ගලටද මංගල වස්තු කැටයම් කර ඇත. ඒවා පයට පෑගෙන ලෙසින්ද දැකීමට ලැබීමෙන්ද එම මංගල වස්තු ස්පර්ශ කිරීම (පයට පෑගීම) නිසා කෙනකුගේ සමෘද්ධිය හා දියුණුව මෙන්ම අපේක්ෂාවද දියුණුවට පත්වන බවටද මතයක් පවතී. සිරිපතුල් ගල් වලද මංගල ලකුණු කැටයම් කර ඇති අන්දම දැකිය හැකියි.
පොළොන්නරුවේ සදකඩපහණ
අනුරාධපුර යුගයේ සහ පොළොන්නරුවේ යුගයේ නිර්මාණ කරන ලද, සදකඩපහණවල ඇති විශේෂ වෙනස්කම් මොනවාද?
මූලික වෙනස වන්නේ පොළොන්නරු යුගයේ සදකඩ පහණෙහි සිව්පාවුන් සතර දෙනාගෙන් එක් සිව්පාවෙකුගේ රූපය මූර්තිමත් කර නොතිබීමය. ඒ අනුව පොළොන්නරුව යුගයේ සඳකඩපහණෙහි ගවයාගේ රූපය නැත. එසේ වීමට හේතුව කුමක්දැයි විමසා බැලිය යුතුය.
පොළොන්නරු යුගය වන විට එතෙක් පැවැති බුදුසමය තවත් දියුණුවට පත්වූ අතර ඒ සමයේදී තවත් ආගමක් ජනතාව අතර විශේෂයෙන් දමිළ ජනතාව අතර ජනපි‍්‍රය වූයේය.ඒ හින්දු දහමයි හින්දු දහම අනුව ගවයා පූජනීය වස්තුවකි. හින්දු ආගම ඇදහීම ඉතා බහුලව දක්නට ලැබුණු පොළොන්නරු යුගයේදී සඳකඩ පහණෙන් ගවයා මූර්තිමත් නොකළේ ඒ නිසාය.
පොළොන්නරු යුගයේ සිටි ප්‍රධාන සිංහල රජවරුන් වු මහවිජයබාහු, මහ පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන් බුද්ධාගම දියුණුවට මෙන්ම හින්දු ආගමේ දියුණුවටද ඉමහත් සේවාවක් ඉටු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ බව පොළොන්නරුවේ පිහිටි ශිව හා විෂ්ණු දේවාල වලින්ද මනාව පැහැදිළි වේ. ඒ කාලයේ අපේ සිංහල මූර්ති ශිල්පීන් විසින් ආගමික සහනශීලිතාවය ගැන කෙතරම් සැලකිලිමත් වීද යත් හින්දු ආගමේ පූජනීයත්වයෙන් සළකනු ලබන ගවයා සඳකඩපහණට යොදා ගත්තේ නැත.
මේ සමඟම සඳහන් කළ යුතු කරුණක් ඇත. අනුරාධපුර යුගයේදි සහ පොළොන්නරු යුගයේදි සඳකඩපහණවල නිර්මාණයන්හි ඉතා විශිෂ්ඨත්වයක් දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේ සඳකඩ පහණවලටය. පොළොන්නරු යුගයට පසුව නිර්මාණය කරන ලද සඳකඩපහණවල පවා එම අනුරාධපුර යුගයේ නිර්මාණවල තත්වයට පත්වීමට හැකිවී නැත.
අනුරාධපුර සඳකඩ පහණට වඩා වෙනස්වන පොළොන්නරු යුගයේ සඳකඩපහණේ හිතවත් ලක්ෂණයක් තිබේ. එනම් අනුරාධපුර යුගයේ සඳකඩපහණවල සතුන් සතර දෙනා ඒකා පසු පස එකා යන අන්දමින් නිර්මාණය කර ඇත්තේ පොළොන්නරු යුගයේ සඳකඩපහණවල එක් කවයක එක් සත්වයෙකුගේ රූපයක් නිරූපණය කර ඇත. පොළොන්නරුවේ ඇති ඉතා අගනා සඳකඩපහණ ලෙසින් පොළොන්නරුවේ වටදා ගෙයි සඳකඩපහණ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.
පොළොන්නරු යුගයේ සඳකඩපහණවල අනුරාධපුර සඳකඩපහණවලට වඩා ඇතැම් අවස්ථාවල විශාලත්වයකින් යුක්තය. පොළොන්නරු යුගයේ සඳකඩපහණට බහුල වශයෙන් යොදාගෙන ඇත්තේ සත්ව රූප දෙකකි. අශ්වයා සහ ඇතාය. ඒ අනුව සිංහ රූපයද පොළොන්නරුව සඳකඩපහණෙන් ඉවත් කර ඇත්තේ පූජනීය ගොඩනැගිලිවල බිත්ති සැරසීම සඳහා සිංහයා යොදා ගෙන ඇති නිසා බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මහනුවර යුගය වන විට සඳකඩපහණේ ස්වරූපය වෙනස්වන අතර අනුරාධපුර හෝ පොළොන්නරුව තරම් නිර්මාණාත්මක නැත. සඳකඩපහණේ හැඩය පවා වෙනස් වී ඇත.