ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

හෙළ බොදු හැදියාවේ කේන්ද්‍රස්‌ථානය

බණ මඩුව


නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා රට පුරා ඉදිකරගෙන තිබෙන නොයෙකුත් පොදු ගොඩනැඟිලි දක්‌නට ලැබේ. ග්‍රාම සංවර්ධන ගොඩනැඟිලි, පාසල් ගොඩනැඟිලි, ප්‍රජා ශාලා, ගම් සභා ගොඩනැඟිලි, කෘෂිකර්ම මධ්‍යස්‌ථාන, රෙදි විවීමේ ශාලා, රෝහල් ගොඩනැඟිලි ආදිය ඒ අතර දක්‌නට ඇති විශේෂ ගොඩනැඟිලි වේ.

පාසල්, විශ්වවිද්‍යාල ආදියෙහි පටන් අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට ආධාර වන සෑම පොදු ගොඩනැඟිල්ලක්‌ම අවශ්‍ය වන්නේ ජීවිතයේ එක්‌ යුගයකට හෝ එක්‌ අවස්‌ථාවකට පමණි. පාසල හෝ විශ්වවිද්‍යාල කරා යන ළමයා වැඩි වයසට පත්වී තම අරමුණු ඉටුකර ගත් පසු නැවත ඒ කරා අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් කිසි විටෙකත් නොයන්නේය.

මේ සෑම පොදු ගොඩනැඟිල්ලක්‌ පිළිබඳවම කාගේ වුවද සිතෙහි ඇත්තේ තාවකාලික බලපෑමක්‌ පමණි. ඒ ගොඩනැඟිsලි හා ජීවිතය සමග බැඳුණු නිරන්තර සම්බන්ධකමක්‌ කිසිවකුට කිසි විටෙක නැත්තේය. පොදු වුවද ඒ ගොඩනැඟිලි ප්‍රයෝජනවත් වන්නේ ජීවිතයේ සීමිත අවස්‌ථාවලට පමණක්‌වීම එයට හේතුවයි.

එහෙත් ඒ පොදු ගොඩනැඟිලි අතර උපන්දා පටන් මියයන මොහොත දක්‌වාම ජීවිතය හා බැඳී පවත්නා පොදු ගොඩනැඟිල්ලක්‌ දිවයිනේ සෑම පෙදෙසක්‌ පාසාම සිංහලයන් සතුව ඇත්තේය. එම ගොඩනැඟිල්ලේ විභාග පාස්‌ කිරීමක්‌ නැත. සහතික පිරිනැමීමක්‌ නැත. උස්‌මිටි කම්, බාල මහළු, ස්‌ත්‍රී-පුරුෂ භේදයක්‌ නැත. කාහටත් පොදු, කවුරුත් භාරගන්නා, ආගම් භේදයක, ජාති භේදයක්‌, කුල භේදයක්‌ පවා නැති එම ගොඩනැඟිල්ල පොදු බවේ අසීමිත මූර්තියක්‌ කොට සැලකිය හැකිය.

එහි සිවු දිගින් දොරටු හතරක්‌ තිබෙන අතර සිවු දිගින් පැමිණෙන සියලු දෙනාටම ඒ දොරටු හතරින්ම ගොඩනැඟිල්ලට ඇතුළු විය හැකිය. ප්‍රවේශ පත්‍ර හෝ හඳුනාගැනීමේ පත්‍ර කිසිවක්‌ ඒ සඳහා අවශ්‍ය නැත. කාගේවත් විශේෂ අවසරයක්‌ද නොවුවමනාය. ඒ ගොඩඩනැඟිල්ලේ පවතින ඉතා වැදගත් දෙයක්‌ නම් කිසිවෙක්‌ එහි උසක වාඩි නොවීමය. පුටු බංකු ආදියක්‌ තබා නැති එහි කිසිවෙක්‌ වාඩිවීමට පුටු බංකු සෙවීමක්‌ද නොකරයි.

ඒ මතු නොව එහිදී කිසිවෙක්‌ තම කිසිවකුගෙන් ගරු නම්බු, ස්‌තුති, ප්‍රශංසා කිසිවක්‌ බලාපොරොත්තු නොවේ. එහි පැමිණෙන්නේ වාද විවාද කර ගැනීමට නොවේ. තව කාගේවත් උස්‌මිටිකම් සෙවීමටද නොවේ.

ඒ ගොඩනැඟිල්ල පිළිබඳ බාල-මහළු සෑම දෙනාගේ සිත් සතන් තුළ ඇත්තේ පොදු හැඟීමකි. ඊට හේතුව කිසිදු බාහිර බලපෑමකින් තොරව කාගේවත් වුවමනාවකට නොව තමන්ගේම වුවමනාව පිණිස තමන්ගේම වියදමින්, තමන්ගේම වෙහෙස මහන්සියෙන් තනා ගන්නා ලද්දක්‌ වීමය. මේ ගොඩනැඟිල්ල නඩත්තු වන්නේද කිසිවකුට බරක්‌ නොවන පරිදිය.

දිනපතා උදයට, දහවලට හා රාත්‍රියට බත් පිසීමට ගන්නා හාලෙන් මිටක්‌ කුස්‌සියේ දුම්මැස්‌සේ එල්ලෙන කුඩා මල්ලකට දමනු ලැබේ. එසේ එකතු වන හාල්, ගෙයක්‌ පාසා ඇවිද මාස්‌පතා එකතු කරනු ලැබේ. ඒ හාල විකුණා ලබාගන්නා මුදල එම ගොඩනැඟිල්ල තනා ගනු සඳහා වැයකරනු ලැබේ. මේ මිටි හාලෙන් තනාගනු ලබන ගොඩනැඟිල්ල නඩත්තු කරගනු ලබන්නේද ඒ ආකාරයටම ගමකට, පවුලකට, පුද්ගලයකුට බර නොවන පරිදිය.

ගමක ජීවත් වන හැම දෙනාගේම ජීවිතය හා බැඳී පවත්නා මෙවැනි ගොඩනැඟිල්ලක්‌ ඇතැම් විට ලොව වෙනත් කිසිදු ජාතියක්‌ සතුව නැතැයි කිව හැකිය.

එය අප කවුරුන් විසිනුත් හඳුන්වනු ලබන්නේ බණ මඩුව යන සරල අපූරු නාමයෙනි. වෙනත් ගොඩනැඟිලි හැඳින්වීම සඳහා දැන්වීම් පුවරු සවිකර ඇතත් අනාදිමත් කලක පටන් කවුරුත් හඳුනන මෙම ගොඩනැඟිල්ල සඳහා වෙනම දැන්වීම් පුවරු අවශ්‍ය නැත. බැලු බැල්මට පාලුවට මෙන්පවතින මෙම ගොඩනැඟිල්ලට පාරේ සිඟමන් යදින අසරණ හිඟන්නාද රැයක්‌ ගත කර යැමට ඇතැම් දිනවල ගොඩවදින්නේය. අහල පහල තණකමින් සිටින ගවයාද වැස්‌සට නොතෙමී සිටින්නට ගොඩවදින අවස්‌ථා ඇත. දඩාවතේ ඇවිදින බල්ලාද සිය දරු පැටවුන් කිහිප දෙනා හදා වඩා ගැනීමට එහි මුල්ලක්‌ ආධාර කරගන්නා අවස්‌ථා නැතුවා නොවේ.

බණමඩුව එක්‌ අරමුණක්‌ පෙරදැරි කරගෙන, එක්‌ කරුණක්‌ ඉටුකර ගැනීම සඳහා ගොඩනඟා ගන්නා ලද්දකි. පොහෝ දිනයේදී විවේකීව අටසිල් සමාදන්වී දවස ගත කිරීම හා බණ ඇසීම බණ මඩුවෙන් ඉටුවන වැදගත් කාර්යය වේ.

බැලු බැල්මට හැම දෙනාටම ඇත්තේ එක්‌ ජීවිතයක්‌ පමණක්‌ වුවත්, ඉතා සැලකිල්ලෙන් බලන විට ඒ ජීවිතය තුළ තවත් ජීවිතයක්‌ පවත්නා බව පෙනේ. හැම දෙනාටම පෙනෙන හැම දෙනාම සතු ජීවිතය බාහිර පිටස්‌තර ජීවිතය කොට හඳුන්වතොත් එහි තුළ තිබෙන පිටට නොපෙනෙන ඇතුළත ජීවිතය හැඳින්විය යුත්තේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ජීවිතය යනුවෙනි. ඒ අනුව සියල්ලන්ම සතුව දෙවැදෑරුම් ජීවිතයක්‌ පවත්නා බව පෙනේ.

සිංහලයෝ බණමඩුව තනාගත්තේ ස්‌වකීය ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීම පිණිසය. එවැනි වැදගත් පරමාර්ථයක්‌ මුදුන්පත් කර ගැනීම සඳහා තමන්ගේ ධන වියදමින් හා වෙහෙස මහන්සියෙන් තනා ගත් ගොඩනැඟිල්ලක්‌ ලොව ඇත්නම් ඒ සිංහල බෞද්ධයා සතු බණ මඩුව පමණි.

කිතුවසින් යට තුන්වැනි සියවසේ මැද භාගයවූ කලී සිංහලයන් ගේ ප්‍රගතියේ එක්‌තරා තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌ විය. එතෙක්‌ පැවැති ඔවුන්ගේ ගුණ වගාවේද, හැදියාවේද සිතුම් පැතුම් වල හා ඇවතුම් පැවතුම්වලද පරිසරයේ වටාපිටාවේ හා වාතාවරණයේද උඩු යටිකුරු වීමක්‌, බලගතු වෙනසක්‌ පරිවර්තනයක්‌ සිදුවූයේ මේ අවධියේය. පළමුවෙන්ම සිංහලයන් බණ මඩුව හඳුනාගන්නා ලදදේ ඒ අවධියේය. ඉන් පෙර ඔවුහු බණ මඩුව ගැන තොරතුරු කිසිවක්‌ දැන නොසිටියහ.

කිතුවසින් යට තුන්වන සියවසේ මැද භාගය යෑයි කියන විට එය මෙයින් වසර 2250 කට ඉහත කාල පරිච්ඡේදයකි. ඒ අනුව බලන විට එය මේ දිවයිනේ තිබෙන ඉතාමත් පැරැණි අවුරුදු 2250 කට වඩා පැරැණි ගොඩනැඟිල්ල බණ මඩුව යෑයි කීම සියලු අතින්ම සුදුසුය. එදා මෙදා තුර වසර 2250 කට වැඩි කාලයක්‌ මුළුල්ලේ බණ මඩුව විසින් ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය ඒ ස්‌වරූපයේ වෙනත් පොදු ගොඩනැඟිල්ලකින් ඉටු වී නැති බව සිතිය හැකිය.

කිතුවසින් යට තුන්වැනි සියවසේ මැද භාගයේ එක්‌තරා අවුරුද්දක පොසොන් පොහොය දින එක්‌තරා ආගන්තුක අමුත්තෙක්‌ ලක්‌දිවට ගොඩබැස්‌සේය. ඔහු අත ලංකාවට දීමට ගෙනා රුපියල් රන්පවුම් ආදී මුදල් හෝ වෙනත් දෙයක්‌ නොවීය. මේ ආගන්තුක අමුත්තා අනුරාධපුරයට නුදුරින් පිහිටි මිස්‌සක පව්ව මතදී පළමුවෙන් හමුවූයේ දඩයමේ ගොස්‌ සිටි රටේ රජුටය. ඔහු අන් කිසිවෙක්‌ නොව දෙවනපෑතිස්‌ මහරජතුමාය.

මේ ආගන්තුක අමුත්තා පළමුවෙන්ම දුටු රජතුමා ඉන් පෙර දැක නැති අමුතු ආකාර ස්‌වරූපයක්‌ ගත් මේ අමුත්තා දෙස නෙත් නොසලා මඳ වේලාවක්‌ බලා සිටි 'ඔබ කවරෙක්‌දැයි' ඇසීය. එවිට ඒ අමුත්තාගෙන් ලැබුණු පිළිතුරෙන් රජතුමාගේ තිගැස්‌සුනු සිත සන්සුන් විය. ඒ අමුත්තාගේ මුවින් පළමුවෙන් පිටවුණු වචන ටික වූයේ 'සමණාමයං මහාරාජ, ධම්ම රාජස්‌ස සාවකා තමේව අනුකම්පාය ජම්බුධීපා ඉධා ගතා' යන ගාථාවය. - 'මහණ උන්නාන්සේලා යෑයි කියන්නේ අපටය. ඔබට අනුකම්පාව පිණිස අපි දඹදිව සිට මෙහි පැමිණියෙමු' යන්න එහි අදහසයි.

දෙවනපෑතිස්‌ මහ රජතුමන්ට තමන් කවුදැයි හඳුන්වාදීමේදී තමා ධර්මාශෝක මහා අධිරාජ්‍යයාගේ එකම පුත්‍රයා යෑයි නිකමටවත් සඳහන් නොකළේය. ඒ වෙනුවට කීවේ තමා ශාන්තිනායක තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතරින් කෙනකු බව පමණි.

කිසිම පූර්ව දැනුම්දීමක්‌ නොකර, පුද පෙළහර, ගරු බුහුමන් කිසිවක්‌ බලාපොරොත්තු නැතිව ඉතා අප්‍රසිද්ධියේ ලංකාවට පැමිණි මේ ධර්මශෝක පුත්‍රයාගේ අදහස වූයේ ලංකා රාජ්‍යය පැහැර ගැනීම නොවේ. දඹදිව වැනි විශාල රටක සිය පියාණන්ගේ ඇවෑමෙන් පසු කිරුළ හිමිවන්නට සිටි මේ පුත් කුමරුවා ලංකාවට පැමිණියේ කුමක්‌ සඳහාදැයි පළමු ප්‍රකාශයෙන්ම පැහැදිලි වූයේය.

ඒ හදිසි හමුවීමෙන් ඉමහත් ප්‍රීතියට පත් දෙවනපෑතිස්‌ රජු තම අගනගරයට පැමිණෙන ලෙස දම්සෝ පුත් මහා මහින්ද මහරහතන් වහන්සේට ආරාධනා කළේය. එම ආරාධනාව ඉවසා වදාළ මිහිඳු මාහිමියෝ පසුදින අනුරාධපුරයට වැඩම කළහ.

උන්වහන්සේට වැඩසිටීමට දීම සඳහා සුදුසු නිවහනක්‌ නගරයේ නොවූ බැවින් රජතුමාට වහ වහා අලුත් ගෙයක්‌ තැනීමට සිදුවිය. වහා තැනූ එම ගෙයි බිත්තිවල තෙතමනය වළකා වියලා ගැනීමට ගෙය තුළ ගිනි මැල ගැසීමට සිදුවිය. එම ගින්නෙක්‌ නැගි දුමෙන් බිත්ති කළු ගැසී ගියේය. මිහිඳු හිමි නගරයට පැමිණ පළමු රැය ගත කළ එම ගෙය 'කාල මත්තික පරිවේන' නමින් පසුව ප්‍රකට විය.

ලක්‌දිව ලිත ඉතිහාසයේ සිංහලයන් සමූහයක්‌ එකවර එකතැන රැස්‌වී කිසිවකුගේ දේශනාවකට පළමු වරට සවන් දුන්නාහු නම් ඒ මිහිඳු මාහිමියන්ගේ දේශනාවකටය. මේ අලුත් අපූරු අමුත්තා දැක බලා ගැනීමට මෙන්ම උන්වහන්සේගේ දේශනාවලට ඇහුම්කන් දීමටද පැමිණෙන සෙනඟ වැඩිවන්නට වූයෙන් ඔවුන්ට පහසුවෙන් රැස්‌වීමට සුදුසු ඉඩකඩ ඇති ගොඩනැඟිල්ලක්‌ නගරයේ සොයා ගැනීමට නොවූයෙන් රජතුමාට තමාගේ ඇතුන් බඳින මඩුව අස්‌පස්‌ කොට පිරිසිදු කොට දීමට සිදුවිය. පසුව මිහිඳු මහරහතන් වහන්සේ තමා බැලීමට වැල නොකැඩී එන මහ සෙනඟට ධර්ම දේශනා කළ සේක. ඒ එම මඩුවේ වැඩහිඳ ගෙනය.

ලංකාවේ පළමුවැනි බණ මඩුව එය වේ. එයින් ඇරැඹුණු බණ මඩු ක්‍රමය ඉන් ඉක්‌බිති රට පුරා සීග්‍රයෙන් පැතිර යන්නට විය. පළමුවෙන් බණ ඇසීමටද සිල් සමාදන්වීමටද පොල් අතුවලින් තනාගන්නා බණ මඩුව පසුව ස්‌ථිර ශක්‌තිමත් ගොඩනැඟිල්ලක්‌ බවට පත්කර ගන්නා ලද්දේය.

ධර්ම ශාලාවක්‌ එහි තිබෙන එකම ආසනය වන ධර්මාසනයත් විසින් පසුගිය අවුරුදු දෙදහස්‌ දෙසීය පනහකට වැඩි කාලය මුළුල්ලේ සිංහලයාට ලබාදුන් අධ්‍යාපනයත් සමග තරග කළ හැකි වෙනත් අධ්‍යාපනයක්‌ තවමත් ඔවුන්ට ලැබී නැත්තේය.

මිහිඳු බණ ඔස්‌සේ සිංහලයන්ගේ හැදියාවද, ගුණ වගාවද වැඩීගියේ ශත ගුණයෙන් නොව සහස්‍ර ගුණයෙනි. ජාතියක ඖදාර්යයද ආලෝකය හා ආටෝපයද උද්දීප්තියද, මේ කුඩා දිවයිනේ සෞභාග්‍යයද ශ්‍රී සමෘද්ධියද වැඩී වර්ධනය වී ගියේ ලක්‌දිව පහළ වූ මිහිඳු මාහිමියන් විසින් රට පුරා පිහිටවූ බණ මඩුවේ ආනුභාවයෙනි.

හික්‌මුණු, සංවර මෙන්ම ආචාරශීලී විනීත ගති පැවතුම්වලින් යුත් උදාර ජනතාවක්‌ රට පුරා පහළ කරවීමට බණමඩුව සමත්වූයේය.

නොකඩවා සිදුවූ පර සතුරු ආක්‍රමණ නිසා සිංහලයන් සතු සියල්ලක්‌ම විනාශ වී නටඹුන් පමණක්‌ ඉතිරිවූ නමුදු ඒ නටඹුන් මත එක්‌ දෙයක්‌ පමණක්‌ නොනැසී ඉතිරි විය. එය වූ කලී ඔවුන්ගේ ජාතිය හා ඔවුන් දිවි දෙවැනි කොට ඇදහූ ආගමය. එය වනාහී මහින්ද ශිෂ්ඨාචාරයේ අදෘශ්‍යමාන උත්තරීතර, අනූපම බලයේ අනුස්‌මරණීය සුවිශේෂ ප්‍රාතිහාර්යයෙකි.

බුදුදහමෙහි තැන ලැබෙන්නේ කියවීමට හෝ ලිවීමට නොව දේශනාවට, කතාවට හා සවන්දීමට ය. බුදුදහම සිතෙහි ධාරණය කරගත යුතු දහමකි. පසක්‌ කටයුතු, ආස්‌වාද කටයුතු, සාක්‌ෂාත් කටයුතු දහමකි. ලිය යුතු, ඉගෙනිය යුතු, හැදෑරිය යුතු දහමක්‌ පමණක්‌ නොව ඉන් ඔබ්බට යා යුතු දහමකි. පාලි සාහිත්‍යයෙහි තැන ලැබී ඇත්තේ ලේඛකයන්ට නොව භාණකයන්ටය. භාණක පරපුරක්‌ මිස ලේඛක පරපුරක්‌ පාලි සාහිත්‍යය තුළ දක්‌නට නැතේතේ එබැවිනි.

එබැවින් බිණීමට මුල්තැන දුන් දහමක්‌ පතුරුවා හැරීමට බණ මඩුව නැතිවම බැරි විය. ගම්බද ඈත පිටිසර ජීවත්වන අකුරු නොදත් උපාසක අම්මාද 'නිවන' වැනි ගැඹුරු විෂයක්‌ පිළිබඳව තව කෙනකුට සෑහෙන අවබෝධයක්‌ ලබාදීමෙහි සමත්ව සිටින්නී බණ මඩුවේ අපරිමිත බලය හා ආනුභාවයද කරණකොට ගෙනය.

ජාතියට මහත් ආශිර්වාදයක්‌ වූ අපේ බණ මඩුව වසර දෙදහස්‌ දෙසිය පනහකට වැඩි කාලයකට පසුව අදද නිහඬව තම සුපුරුදු කාරියෙහි යෙදෙමින් වැජඹෙන්නේය.

පූජ්‍ය පත්බේරියේ ඉන්දානන්ද හිමියන් විසින් 1983 ඔක්‌තෝබර් 'කල්පනා' සඟරාවට ලියන ලද ලිපියක්‌ ඇසුරිනි.)

සටහන - සනත් ලියනගේ