ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දළදාව සුරැකීමේ සම්මුතිය


වර්ෂ 1815 මාර්තු 2 වන දින සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වුණේ ඉංගී්‍රසි සිංහල ගිවිසුමට අනුවය. ගිවිසුමේ 5 වන වගන්තියෙන් බුද්ධාගම ආරක්‍ෂා කරන බවට කඩ කළ නොහැකි පොරොන්දුවකට ඉංගී්‍රසි ආණ්‌ඩුව බැඳුණි. ඒ අනුව දළදා වහන්සේ සුරැකීම ද ආණ්‌ඩුවේ වගකීමක්‌ විය. බෞද්ධයන්ගේ ආගමික වස්‌තුවක්‌ රැක බලා ගැනීම මිථ්‍යා ඇදහිලිවලට අනුබල දීමක්‌ යෑයි ක්‍රිස්‌තියානි මිෂනාරිවරු බ්‍රිතාන්‍ය පාලකයන්ට චෝදනා කළහ. ඒ නිසා දළදා වහන්සේ බෞද්ධයන්ට භාරදී ඒ පිළිබඳ වගකීමෙන් නිදහස්‌ වන්නට 1847 නොවැම්බර් මස 2 දින ආණ්‌ඩුව විසින් තීරණය කරන ලදී. එම තීරණය ක්‍රියාත්මක වුණේ 1853 මැයි 20 වැනිදාය. ඒ අනුව ඉංගී්‍රසි ආණ්‌ඩුව මල්වත්තේ විහාරේ පරකුඹුරේ විපස්‌සි, අස්‌ගිරි විහාරේ යටවත්තේ සුවණ්‌ණජෝති යන මහනාහිමිවරුන්ට සහ දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ දියවඩන නිලමේවරයාට දළදා වහන්සේ පවරා දුන්නේය. නායක පදවි පත්කර ගැනීමේ කාර්යයද භික්‍ෂූන් වෙත පැවරුණි.

දළදා වහන්සේ පිළිබඳ භාරකාරත්වය හා ශ්‍රී දළදා මාළිගාවේ ආධිපත්‍යය උභය මහා විහාරයේ මහනාහිමිවරුන්ට ලැබුණේ රජයේ නියමය අනුවය. එය දේපළ හා අරමුදල් පිළිබඳ වගකීම දරන්නා දියවඩන නිලමේවරයාය. දළදා වහන්සේ භාර ගැනීමෙන් පසු එහි ආරක්‍ෂාව හා සම්ප්‍රදායික පුද පූජා චාරිත්‍ර මැනවින් ඉටුකිරීම සඳහා උභය මහා විහාරය විසින් ජිනශාසනෝපකාර සමාගම නමින් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගනු ලැබීය. සම්බුදු සසුනේ පැවැත්මට අදාළ වැදගත් සම්මුති රාශියක්‌ එයට ඇතුළත්ය. මහනායක, නායක තනතුරු හා දියවඩන නිලමේ තනතුර සඳහා සුදුස්‌සන් පත්කිරීම සිදුකළ යුතු අයුරු එම ව්‍යවස්‌ථාවේ සඳහන් වේ. දළදා වහන්සේ සම්බන්ධ කටයුතුවලට අදාළ වැදගත් කරුණු රැසක්‌ ද එහි තිබේ. දළදා මාළිගාවේ දියවඩන නිලමෙට සුදුසු රදල කෙනකුන් තේරීමට සහ පත් කිරීමටත් මෙම සමාගමේ සම්මතය ඇතුව තිබෙන්ඩ ඕනෑ හැටියට මෙයින් නියම කරන්ඩ යෙදුනාත් ඇර බුද්ධාදී තුනුරුවන් කෙරෙහි ආදර භක්‌ති ඇතුව පස්‌පවින් දුරුව අක්‌බර ලේඛනුධාරණ කර්තව්‍යාකර්තව්‍ය දෙකෙහි විභාග දන්නා නුවණැති පුරාණ රදලකම් පේරුවලින් පැවතෙන සත්පුරුෂෝත්තම කෙනෙක්‌ දළදා මාලිගාවේ දියවඩන නිලමෙ යන ඨානාන්තරයට පත්කර ගන්නා හැටියටත් මෙයින් වැඩිදුරට නියෝග කරන්ඩ යෙදුනා ඇත.

මහනුවර උභය විහාර පාරුසෙ ශාසන ධුරන්ධර කමට පත්කරන්ඩ යෙදෙන ස්‌ථවිර දෙනම සදාකාලෙටම මෙම ජීනශාසනෝපකාර සමාගමේ ශේ්‍රෂ්ඨකම දැරීමේ පළමුවෙනි කමට පත්කරන්ඩ ද එසේම දළදා මාලිගාවේ දියවඩන නිලමෙ මෙම සමාගමේ දෙවැනිකමට ද එහෙත් ගිහි පක්‌ෂෙ රදළවරුන්ට පළවෙනියෙක්‌ හැටියට ද මෙයින් නියම කරන්ඩ යෙදුනාත් ඇර සදාකාලෙටම මෙම සමාගමේ පණ්‌ඩිතවරුන් විසින් ජිනශාසනෝපකාරත්වයෙන් යෙදී කරන්ඩ කියන්ඩ යෙදෙන කාරණාවල තත්ත්වය සහ තීරණවලුත් බුද්ධ වර්ෂේ වකවානු ඇතුව සුදු පුස්‌කොල පොත්වල ලියා ඒ ඒ කාරණාවල්වල කෙළවර මහානායක ස්‌ථවිර දෙනම සහ දියවඩන නිලමෙත් අත්සන් කර මෙම පොත් සදාකාලෙට දළදා මාලිගාවේ අරමුදල ගේක තිබෙන්ඩ මෙයින් නියම කළා ඇත.

දියවඩන නිලමෙවරයා සියලු රදලවරුන් අතර පළමුවැන්නා ලෙස සඳහන් කිරීමෙන් අදහස්‌ කරන්නේ ඔහු ගිහි බෞද්ධ නායකයා බවයි. ශ්‍රී දළදා මාලිගාවේ අයවැය වාර්තා සකස්‌ කළ යුතු අන්දම ද සම්මුතියේ දැක්‌වෙයි. එය දියවඩන නිලමේවරයාගේ වගකීමකි. අයවැය වාර්තාව පිටපත් තුනකින් සකස්‌ කොට අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන් වෙත ඉදිරිපත් කළ යුතුය.

"බුද්ධර්ෂෙ මුල ලකුණුකර සෑම අවුරුදුවලම දළදා මාළිගාවේ අයවැය ලේකම් මිටි එක එක අවුරුද්දට තුනක්‌ තුනක්‌ බැගින් සාදන්න ඕනෑ හැටියට සහ මෙම ලේකම් මිටි තුනේ කෙළවර දියවඩන නිලමේ සහ කාරියකරන අයත් කංකානම් සහ මොහොට්‌ටාලත් අත්සන්කර එයින් කෙළවර ඒ ඒ අවුරුදුවල තේවා මුර කරපු සාක්‌කියට අත්සන් කර මෙම ලේකම් මිටි තුනෙන් එකක්‌ දියවඩන නිලමෙ වෙත තබා අනික්‌ ලේකම් මිටි දෙක උභය විහාරවාසී මහානායක ස්‌ථවිර දෙනම වෙතට යවන හැටියට ජිනශාසනෝපකාර සමාගමේ සම්මතය ඇතුව මෙයින් නියම කළා ඇත.

දළදා වහන්සේගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද සංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ තිබිණි. ඒ සඳහා ආයුධ සන්නද්ධ හේවායන් පිරිසක්‌ මුර ක්‍රමයකට සේවයේ යොදවා සිටියහ.

ජිනශාසනෝපකාර සමාගමේ සම්මතය ඇතුව මෙවක්‌ පටන් දළදා මාලිගාවේ හේවා පන්නයක්‌ මුර තිබීමට දළදා මාලිගාවේ වියදමෙන් මේ පළමුවන වතාවට මාලිගාව ගණනෙ වැසියන්ගෙන්ම මිනිස්‌සු දොළහක්‌ නියම කර ඔවුන්ට ඊට වෙඩි බේත් සහ තුවක්‌කුත් කඩුකස්‌තානා දී ආවුදත් සමග හේවා පන්නෙට සෑහෙන ඇඳුමුත් භාරදී එයින් හතර දෙනකුට පසළොස්‌ දවසක්‌ හෝ මාසයක්‌ හෝ රාත්‍රියේ මුර සිටීමට නියම කර ඒ ඒ අවුරුදුවල කාරියකරන මුරේට පත්වෙන අයවල්වලට රෑ මුර බැලීමේ වැඩෙත් නියම කර ඔහු විසින් රෑ වූ දොළොස්‌ පැය වෙලාවට සහ විසිපැය වෙලාවටත් මාලිගාවේ මුර බැලීමට යන හැටියට ද දාවල් මුරේට පිදිවිලි ගංවලින් මිනිස්‌සු දෙන්න දෙන්නා බැගින් නියම කර ඒ ප්‍රකාර දාවල් මුරේට නියම කරන්ඩ යෙදෙන මුරකාරයෝ දෙන්නට ආවුද දෙකක්‌ බාරදී කාරියකරන මුලාදැනියා විසින් ඔවුන් දෙන්නා කැඳවාගෙන මුර බැලීමට යන හැටියට ද මෙයින් නියම කළා ඇත.

දළදා වහන්සේ වැඩ සිටින කරඬුවල යතුරු අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන් සතුව පවතියි. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පූර්ණ බලය මහනාහිමිවරුන් දෙනමටත්, දියවඩන නිලමෙවරයා ඇතුළු දහතුන් දෙනකුටත් පැවරී තිබේ. එය රජයේ නියෝගයකින් හෝ එක්‌ මහනායක හිමිවරයකුගේ තනි තීරණයකට හෝ දළදා ප්‍රදර්ශනයක්‌ පැවැත්විය නොහැක. උභය මහා විහාරයේ භික්‍ෂුහූ වාර්ෂිකව මහනාහිමියන්ගේ නියමය පරිදි මාරුවෙන් මාරුවට තේවාව සිදුකරති. ඒ තේවාව මාරුවන විට පූජා භාණ්‌ඩ, වටිනා උපකරණ ආදිය පරීක්‍ෂා කොට ගණන් බලා ලිතව භාර ගැනීම හා භාරදීම සිදුවෙයි. යම් භාණ්‌ඩයක්‌ නැති වූවොත් එම වර්ෂයේ තේවාව සිදුකළ පාර්ශ්වය එහි වගකීම භාරගත යුතුය.

ජිනශාසනෝපකාර සමාගමේ සම්මතය ඇතුව මෙවක්‌ පටන් අපගේ දළදා ස්‌වාමිදරුවාණන් වහන්සේ වැඩ සිටින දළදා කරඬුවල යතුරු සහ මුද්දරයත් මහනුවර උභය විහාර පාරුසෙ මහනායක ස්‌ථවිරවරුන් දෙනම භාර තිබෙන හැටියට ද එහෙත් මල්වත්තේ විහාර පාරුසෙට තේවාව මුර තිබෙන සෑම අවුරුදුවලම මෙම දළදා කරඬුවල යතුරු සහ මුද්දරයත් අස්‌ගිරි විහාර පාරුසෙ මහා ස්‌ථවිරයන් වහන්සේ භාරෙ තිබෙන සැටියට ද සහ අස්‌ගිරි විහාර පාරුසෙට තේවාව මුර තිබෙන සෑම අවුරුදුවලම මෙම යතුරු සහ මුද්දරෙත් මල්වත්ත විහාර පාරුසෙ මහානායක ස්‌ථවිරයන් භාරෙ තිබෙන හැටියට ද, මෙසේ මෙම යතුරු සහ මුද්දරය ඔබිනොබ භාර ගැනීම සහ භාරදීමත් ඒ ඒ අවුරුදුවල කෙළවර තේවාව මුර ලබන ගෙවන දවස්‌වලදීම සිද්ධවෙන්න ඕනෑ හැටියට ද උඩුමාලේ දොරවල්වල සහ පල්ලේමාලෙ දොරෙ යතුරුත් උඩුමාලේ තේවාව කරන දෙනම භාරෙ තිබෙන හැටියටද අරමුදල්වල සහ පෙට්‌ටිවල යතුරුත් දියවඩන නිලමෙ භාරෙ තිබෙන හැටියට ද මෙයින් නියම කළා ඇත.

මහනුවර උභය විහාරවාසී මහානායක අනුනායක ස්‌ථවිර සතර නම සහ එවකට තේවාව මුරකරන දෙනම ඇර විහාර දෙකෙන් තේවාව මුර කිරීමට පත්ව සිටින වෙන දෙනමකුත් ඇතුළුව සංඝයා වහන්සේලාගෙන් මෙම සය නමද දියවඩන නිලමෙ ඇතුළුව ජිනශාසනෝපකාර සමාගමේ වැදගත් රදළවරුන් සත්දෙනෙක්‌ ද යන මෙම දහතුන් දෙනාගෙ සාකච්ඡා මන්ත්‍රණය ඇතුව සම්මතයෙන් නියමකර යෙදුනොත් මිස වෙන කොයි අන්දමටවත් ශ්‍රී ධාතූන් වහන්සේ යම් කෙනකුට දක්‌වන්ඩ නුපුළුවන හැටියට වැඩිදුරටත් නියම කරන්ඩ යෙදුනා ඇත.

මෙම සම්මුතිය පරිදි, පුද පූජා චාරිත්‍ර හා තේවා කටයුතු අදත් නොකඩවා සිදුකෙරෙයි. 1882 වර්ෂයේ ජූලි 15 දින අයි. එµa. ජැක්‌සන් මහනුවර ඒජන්තවරයා වූ මහතාට අස්‌ගිරි මල්වතු උභය පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ 40 නමකගෙන් 37 නමක්‌ අත්සන් කර ඉදිරිපත් කළ ලිපියක දියවඩන නිලමේවරයකු පත් කිරීමේ බලය තමන් සතු බව පෙන්වාදී ඇත. එම ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ කුඩා බණ්‌ඩා දුනුවිල දියවඩන නිලමේ අසනීපයෙන් සිටින නිසා වැඩබලන නිලමේවරයකු පත් කිරීම කාරක සංඝ සභාවල කැමැත්ත පරිදි සිදුකෙරෙන බවයි. 1931 අංක 19 විහාර දේවාලගම් ආඥ පණත දියවඩන නිලමේවරයාගේ බලය තහවුරු කොට ඇත. ඒ අනුව ඔහු දළදා මාළිගාවේ ගිහි භාරකරුවා වෙයි. එහෙත් එම ආඥ පනතින් බෞද්ධ අයිතිවාසිකම් නැවතත් රාජ්‍ය පාලකයන් යටතට පවරාගෙන ඇත. නිලමෙවරුන් පත් කිරීමේදී නිලධාරිවාදයට හා දේශපාලන බලපෑම්වලට ඉඩ සැලසී ඇත. දියවඩන නිලමෙවරයා තෝරා ගැනීම මහනාහිමිවරුන්, අධිකාරම්වරුන්,රටේ මහත්වරුන්, ආදායම් නිලධාරීන් හා දේවාල නිලමෙවරුන් යන අයගේ ඡන්දයෙන් සිදුකරන්නට එම ආඥ පනතෙන් නියම කොට ඇත. ආදායම් නිලධාරීහු ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස වර්තමානයේ හැඳින්වෙති. කාන්තාවන්ට ඡන්ද බලය අහිමි වී ඇත. අතීතයේ එම තනතුරු කාන්තාවන් නොදැරීම නිසා හෝ අර්ථකථනවල වරදකින් සිදුවූවකි.

නිලමේවරයකු තෝරා ගැනීමේදී අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වන අවස්‌ථා කොතෙකුත් දක්‌නට ඇත. දළදා වහන්සේ පිළිබඳ වගකීම්වලට සෘජුව නොබැඳුන රජයේ නිලධාරීන්ට නිලමේවරණයේ ඡන්ද හිමිකම් ලැබී ඇත. දැනට පවතින ක්‍රමය අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ගිහි භාරකරුවන්ට හිමි ඡන්ද සංඛ්‍යාව බලන විට භික්‍ෂූන්ගේ බලය ඉක්‌මවා යාමට ඉඩ ඇත. ප්‍රාදේශීය ලේකම් වරින්වර වැඩිවීමද එයට හේතුවෙයි. දළදා වහන්සේ පිළිබඳ සියලු කටයුතුවලට සම්බන්ධ උභය මහා විහාරීය කාරක සංඝ සභා සාමාජිකයන්ට ඡන්ද බලය නොමැත. දිගු කලක්‌ එකම තනතුරේ හා ඡන්ද බල සීමාවේ නොසිටින නිලධාරී පිරිසක්‌ විසින් තෝරා දෙනු ලබන දියවඩන නිලමෙවරයා සමග කටයුතු කරන්නට උන්වහන්සේලාට සිදුවෙයි.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ අනුශාසක