ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

බටතොට ලෙන වසර 712 ක්‌ සඟවා තැබුවේ

ඛණ්‌ඨමාරිගේ භූත ආත්මයද?


සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අවස්‌ථාවේ සමන්ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතුන් වහන්සේ සමග ගුවනින් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කර දහසක්‌ නිම් වළලුවලින් යුත් ශ්‍රී පාද පත්මය පිහිටුවා දිවා විහරන සඳහා දිවා ගුහාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

ගුහාවක්‌ යනු නිරන්තරයෙන්ම අඳුරක්‌ පවතින තැනක්‌ බව කිව හැකිය. එහෙත් ඉර පායා බැස යනතුරුම දිවාකාලය පුරාම ඉතාම හොඳින් හිරු එළිය පතිත වන ලෙන (දිවාකර හිරුට කියන තවත් නමක්‌) දිවාගුහාව යනුවෙන් පටබැඳුන බව සිතිය හැකිය. එසේ නම් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතන් වහන්සේලා සමග දිවා විහරණය වැඩි ලෙන දිවාගුහාව වුණාද? නැතිනම් දිවාගුහාවට බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දිවා ගුහාව නැතහොත් භාග්‍යාලෙන වශයෙන් පැවතියේ ද යන්න සිතා බැලිය යුතුය.

දිවාගුහාවට මිනිසුන්ට යා නොහැකි බවත් දිවාගුහාව සොයාගෙන ගිය එකම පුද්ගලයා වන සුළුගුළු උපාසකතුමාට සිදුවූයේ කුමක්‌ද? දිවාගුහාව වන්දනා කරන්නේ දේව, යක්‍ෂ, භූත යන කොටස්‌වලට පමණක්‌ යෑයි මතයක්‌ ඇතිවීමට ඉවහල් වූ හේතු සාධක මොනවාද යන්න සොයා බැලිය යුතුය.

දිවාගුහාවත් නොතිබුණා නම් හෝ ලංකාවේ බෞද්ධ ජනතාව එය නොදැන සිටියා නම් හෝ සොළොස්‌මස්‌ථාන වන්දනා ගාථාවේ (මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංචනං දිවාගුහං දීඝවාපී) ගාථාවේ පස්‌ වැනි තැනට මෙසේ සඳහන් වූයේ කෙසේද යන්නත් බුද්ධිගෝචරව සිතා බැලිය යුතුව ඇත.

"නා සවෙහි සහ පඤaච සතෙහි ගනත්වා

යස්‌මිං අකාසි භගවා සදිවා විහාරං

සංඵුල්ල සාල සුමණාචලපාද දේසේ

වෙJද සුසීතල මහං භගවා ගුහංතං"

දිවාගුහාව වන්දනාමාන කිරීමට ඉහත ගාථාව දක්‌වා ඇති අතර එහි පිහිටීම, පරිසරය ආදී සියලු ගුණාංග ඇතුළත් ගාථාවන් බෞද්ධයින් ඈත අතීතයේ සිට භාවිත කළේ කෙසේද? යටාලතිස්‌ස රජ සමයේ ආරම්භ කළ බවට පූජාවලියේ සඳහන් වන කැලණි රජමහා විහාරයේ බිතුසිතුවම් කර ඇති සොළොස්‌මස්‌ථාන අතරට දිවාගුහාව චිත්‍රයට නැගුවේ කෙසේද? එම චිත්‍රයට පසුබිම් වී තිබෙන්නේ බටතොට ලෙන බව අනුමාන කළ හැක. මෙම කරුණු සොයා බලා තීරණයක්‌ ගැනීම බුද්ධිමත් පාඨකයන්ට භාර කරමි.

පුරාණ බටතොට ලෙන අප්‍රසිද්ධියේ සහ අද්භූත සිදුවීම් තුළින් ජනතාව භීතියට පත් කරමින් වසර 712 ක්‌ බොදු ජනතාවගේ වන්දනා මානයට ලක්‌ නොවූයේ "ඛණ්‌ඨමාරි" භූත බලවේගය නිසාද?

මේ වන විට සොයාගෙන ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද අනුව බටතොට ලෙන හෙවත් දිවාගුහාව තුළ විහාර කර්මාන්තය මුලින්ම ආරම්භ කර ඇත්තේ නිශ්ශංකමල්ල රජ සමයේය. ඒ බවට හේතු සාධක බොහොමයක්‌ මෙම ලෙන තුළින් සොයාගත හැක.

වර්ෂ 1178 සිට 1207 දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල ශ්‍රී පාදය සොයා සමන්තකූඨ පර්වතයට යන ගමනේදී බටතොට පිහිටි ගල්ලෙනේ දින කිහිපයක්‌ම ගත කළ බවට ජනප්‍රවාද පවතියි. මෙම ලෙනේ සිට බැලූ කල ශ්‍රී පාදස්‌ථානය මනාව දිස්‌වන හෙයින් මෙය දිවාගුහාව යෑයි තීරණය කළ රජතුමා දිවා විහරණ සිද්ධියටම අදාළ වන සේ විහාර කර්මාන්තය කිරීමට තීරණය කර ඒ සඳහා ඔහුගේ ඥතිවරයකු සමග අවශ්‍ය පිරිස ඒ සඳහා පිටත් කර එවා ඇත.

විහාර කර්මාන්තය සිදු කරමින් යන කාලය තුළ දිනෙක එම රාජකීයයා විසින් අන්තඃපුර කුමාරිකාවක්‌ දූෂණය කර ඇයව ජීවිතක්‍ෂයට පත් කර ඇත. මෙම සිදුවීමෙන් බද්ධ වෛරයෙන් මරණයට පත් රත්නමාලි නම් වූ කුමරිය "ඛණ්‌ඨමාරි" නමින් යක්‍ෂණියක්‌ව ඉපිද අවුරුදු 712 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ මෙම බටතොට ලෙනට අරක්‌ගෙන සිට එහි පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරුකර ගනිමින් වසර 712 ක්‌ මෙම ලෙන හුදකලා පාළු ස්‌ථානයක්‌ බවට පත් කළ බව එම ස්‌ථානයට වර්තමානයේ පැමිණි ඇතැම් අයගේ ශරීරවලට ආවේශ වුණු භූත ආත්මවලින් හෙළි විය.

1999 වසරේ සංවර්ධන කටයුතුවලින් පසු එම වසරේ වෙසක්‌ මාසයේ සිට මෙම ස්‌ථානය මහජනයාගේ වැඳුම් පිදුම්වලට ඉඩ සලසාදීමෙන් අනතුරුව දිනකට විශාල පිරිසක්‌ මෙම දිවාගුහාව දැක බලා වන්දනාමාන කිරීම සඳහා පැමිණි අතර ඉන් දිනකට රූමත් කාන්තාවන් දෙතුන් දෙනෙක්‌ වත් භූත ආවේශයෙන් වියරු වැටී විවිධාකාර ස්‌වරූපයන්ගෙන් හැසිරීමට පටන්ගෙන ඇත.

මෙසේ සිදුවෙමින් පවතින අතරතුර 1999 ඇසල මාසයේ පසලොස්‌වක පොහොය දිනක දිවාගුහාවේ වස්‌ විසීමට වලල්ලාවිට සිට නිවුන්හැල්ලේ ධම්මරක්‌ත හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ භාරදී යැමට පැමිණි පිරිස අතර පොල්ගම්පල හරන්කහපොත විහාරවාසී සීවලී හිමියන් ද සිට ඇත. උන්වහන්සේ පිටත්ව යැමට පෙර බුදුකුටිය තුළට ගොස්‌ සර්වඥධාතූන් නිධන් කළ පිළිම වහන්සේට අත තබා වඳිනවාත් සමගම උන්වහන්සේ "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා. මෙතැන සිට සියල්ල කියන්න බැහැ. සියල්ල දැනගන්න මගේ තැනට වර" කියා නික්‌ම ගියහ.

අනතුරුව සීවලී හිමියන්ගේ ලිපිනය ධම්මරක්‌ත හිමියන්ගෙන් ලබාගෙන උන්වහන්සේ වැඩ සිටි හරන්කහපොත විහාරස්‌ථානය වජිර කිත්සිරි වැලිකල, කලාශූරි ඩී. පී. ඡේ. ජයදේව මහතා ඇතුළු පිරිසක්‌ ගොස්‌ භූතාත්මයකින් ආවේශ වී සිටි සීවලී හිමියන්ගෙ අසලට යත්ම "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා ඈ දෙවරක්‌ තෝ මරන්න හදලා තියෙවා. බුදුගුණ නිසා තෝ මරන්න බැරි වුණා. ඇය තොගෙ පස්‌සෙන් එනවා. ජීවිතයට ආස නම් තෝ.... ඔය ගෙන්න ගත්ත හාමුදුරුවොයි ගෙනාපු ධාතූන් වහන්සේලායි අරගෙන පල... එම නියෝගයෙන් බියට පත් පිරිස යක්‍ෂ බලවේගය එතැනින් ඉවත් කර දිය නොහැකිදැයි විමසූ විට "මම ඒවා කරන්නෙ නැහැ. තොට ඕනෑ තැනකට ගොස්‌ කරගනින්" දැන් ඉතින් පල කියා ගිගුරා පලවා හැර ඇත.

ඉන් පසු 1977 වසරේ දිනෙක කිරිවෙහෙරේදී මුණගැසී දිවාගුහාව ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවන් ගැන අවවාදයක්‌ දුන් කිරිඇල්ලේ චන්ද්‍රකාන්ති තරුණිය සොයාගෙන ගිය පිරිසට එහිදී "තෝ මෙහෙටත් ආවද? මම තොගෙ හතර වරිගෙම කනවා. තෝ සර්වඥ ධාතු ගෙනැත් තියලා මම අවුරුදු 712 ක්‌ හිටපු තැන මට නැති කළා" යනුවෙන් ගුගුරණවාත් සමගම බියෙන් තැතිගත් වැලිකල මහතා මෙසේ විමසා ඇත. බලංගොඩ නාහිමියන් දිවාගුහාව යෑයි ප්‍රකාශ කළ ස්‌ථානය මිනිසුන්ට මෙන්ම දෙවියන්ට, භූතයන්ට වන්දනාමාන කර පිංසිදු කර ගැනීමට දියුණු කළාට ද මගෙන් පලිගන්නවා දැයි විමසූ විට යළිත් භූතාත්මය "විහාරය හදන්න ඇවිත් තමයි උන් මාව මේ තත්ත්වයට ඇද දැමුවේ" ඇය පෙර භවයේ සිදුවීම මෙලෙස විස්‌තර කර ඇත.

පෙර ආත්මයේ කේරළයේ සිට ලංකාවට ගෙන ආ රත්නමාලි නම් කුමරියක්‌ බවත් විහාර තැනීමට පැමිණි රාජකීය පුද්ගලයා අතින් දූෂණයට ලක්‌ව මරණයෙන් පසු එතැන් සිට ඛණ්‌ඨමාරි නමින් අවුරුදු 712 ක්‌ ගල්ලෙනට අරක්‌ගෙන සිටිය බවත් පැහැදිලි කර ඇත.

අවුරුදු 712 ක්‌ ගෙවුණ මෙම ආත්මයෙන් මිදී සුගතිගාමී වීමට නම් ලෙනට අඩි 40 ක සීමාව තුළ තමන්ට වාසස්‌ථානයක්‌ වෙන්කර දෙන ලෙස ඉල්ලා ඇත.

1999 වසරේ අගෝස්‌තු මාසයේ පුන් පොහෝ දින ඛණ්‌ඨමාරි භූමාටු ආත්මයට පිංදීම සඳහා ලෙන් විහාරයේ අඩි 40 සීමාව තුළ කිරිනුග පැළයක්‌ සිටුවා එය දසසිල් මාතාවන් 15 කට වැඩි පිරිසකට කිරිපිඬු දානයක්‌ පිරිනමා ඔවුන් සමග සුදු මල් හා හේවිසි සහිත පෙරහැරකින් ගෙන ගොස්‌ අටපිරිකරක්‌ ඇයට කැප කරවා එම නුගය මුල තබා ඉන් පසු නැවත පෙරහැරකින් එය බුදුලෙනට වැඩම කරවා සැතපෙන පිළිම වහන්සේගේ සිරිපතුල පාමුල ඇය වෙනුවෙන් තබා පිං අනුමෝදන් කිරීමෙන් පසු වසර ගණනක්‌ පැවැති මෙම භයානක උවදුරෙන් මිදී සියලුම බැතිමතුන්ට මෙම පිං බිමේ දැකබලා වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව කියවෙන අතර මේ වන විට දහස්‌ ගණනින් මෙම ස්‌ථානයට පැමිණෙති.

දිවාගුහා ලෙන තුළ බුදු කුටියට පිටින් අරුම පුදුම විෂ්ණු දේවාලයක්‌ ඉදිකර ඇත. එහි ඇති චිත්‍ර හා මූර්ති අනුව රත්නමාලි කුමරිය සිදුවූ සිද්ධිය දනවන කරුණු රාශියක්‌ වටහා ගැනීමට හැකිය. දේවාලයේ ඉදිරිපස දොරටුපාල රූපයෙන් හින්දු ආභාෂය පිළිබිඹු වේ. දොරටුව ඉහළින් දැක්‌වෙන බ්‍රිතාන්‍ය යුගයේ ඔරලෝසුවක එය ඉදිකරන ලද වර්ෂය 1908 යනුවෙන් සඳහන්ව ඇත.

කුරුවිට කෝරළයේ වෙහෙර විහාර 14 ක්‌ ඉදිකිරීමට මූලිකත්වය දැරුවා වූ අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ එක්‌නැලිගොඩ පාර්ශ්වයේ මූලික නාහිමියන් ලෙස සැලකෙන බටතොට ශ්‍රී සුභූති නාහිමියන් යම්කිසි අද්භූත සිද්ධියක්‌ මුල්කර ගනිමින් එය මගහැරීමට මෙම දේවාලය ඉදිකරන ලදැයි එකල ජීවත් වූ වැඩිහිටියන් පිළිගත් මතයකි.

එවැනි ඉතිහාසයක්‌ ඇති මෙම දේවාලය තුළ නිර්මාණය කර ඇති චිත්‍ර මූර්ති තුළින් අපට යම් අවබෝධයක්‌ ලබාගැනීමට හැකිය.

විෂ්ණු දෙවියන් යම්කිසි දේව සභාවක විනිශ්චයක්‌ ප්‍රකාශ කරන දර්ශනයක්‌ එහි දැක්‌වේ. විෂ්ණු දේවරූපයේ දකුණු පස බිත්තියේ, ගම්භාර, කතරගම, කළුකුමාර, පත්තිනි ඇතුළු දේවරූප හතක්‌ සටහන් වී තිබේ. මෙය අද සමාජයේ ශේ්‍රෂ්ඨාධිකරණ ජුරි සභාවක්‌ ඉදිරියේ විභාග කරන නඩු විභාගයකට සමාන දර්ශනයකි.

විෂ්ණු රූපයේ වම් අත අසලින් ඉතා රූමත් තරුණියකගේ උඩුකය අඩ නිරුවත් චිත්‍රයක්‌ තිබේ. මෙය කාමුක හැඟීම් දනවන අන්තඃපුර කාන්තාවකගේය යන්න අනුමාන කළ හැක.

ඊට යාබදට වැඩි රාජකීය පුද්ගලයකුගේ යෑයි සිතිය හැකි පිළිරුවකි. එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අයකුගේ යෑයි සිතිය හැක. ඒ අසලම ඇත්තේ එම අංශයේම තරුණ කුමාරයකුගේ පිළිරුවකි.

මෙම ස්‌ථානයට ගොස්‌ දැක බලාගැනීමෙන් ඉහත සඳහන් පුවත පිළිගැනීම හෝ බැහැර කිරීම පාඨක ඔබ සතුය.

සෝමචන්ද්‍ර යකන්දාවල
2013 ජනවාරි 13 ඉරිදා දිවයින

බොදු පුනරුදයේ තිඹිරිගෙයයි ඒ ගිනිගත්තේ


ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත් ලෙස දොරට වැඩි 'ලංකාලෝකය' හා 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රය ද එහි අකුරු පුවරු සහ අනිකුත් ලීයෙන් නිම වූ කොටස්‌ ද පසුගියදා ගිනි රකුසා විසින් විනාශ කළ අයුරු එදිනෙදා ජනමාධ්‍යවලින් ජනතාවට අසන්නට හා දකින්නට ලැබිණි. එම මුද්‍රණාලය පිහිටි ගාල්ල හබරාදුව රන්වැල්ල ඓතිහාසික විහාරස්‌ථානයේ ද කොටසක්‌ ගින්නෙන් විනාශ වී ඇති අයුරු ලක්‌වැසි දැ හිතැති කාගේත් සිත් සතන් වේදනාවට පත් කළාට සැක නැත. එදින එම විහාරයේ වැඩ සිටි අහංගම ප්‍රේමානන්ද හිමියන් ද ජීවිතය බේරාගෙන ඇත්තේ පෙර පිනකින් යෑයි වාර්තා වේ. මෙම මුද්‍රණාලය මෙන්ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම විහාරය ගැන ද ලාංකික බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක්‌ සනිටුහන් වේ.

වර්ෂ 1840 දී බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ගොඩනඟන ලදැයි සැලකෙන ගිනිමැල්ලේ විහාරය දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හබරාදුව, කතළුව ප්‍රදේශයේ පිහිටියේ ය. ලංකාවේ දස දහස්‌ ගණන් විහාර අතුරින් මෙම විහාරය දුර්ලභ ඝනයේ ඓතිහාසික විහාරයකි. මෙම විහාරය සියම් ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියමින් අටකොන් හැඩයට නිමවා ඇති රමණීය විහාරයකි. ඓතිහාසික, ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක අතින් ද විශාල වටිනාකමක්‌ මෙම විහාරය සතුව ඇත. ලංකාවේ පැරැණිම සිංහල බෞද්ධ පුවත්පත් වූ 'ලංකා ලෝකය' සහ 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය සහිත මුද්‍රණාලය ද පැවතියේ මෙහිය. මේ විහාරයේ අධිපති ධුරය දැරූ බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එකල සියම් රටේ සියම් රජුගේ හිතවතෙකි. එබැවින් රජතුමා විසින් මේ හිමියන් වෙත පූජා කළ විශාල පොත්පත් සංඛ්‍යාවක්‌ මෙන්ම නොයෙකුත් තෑගි භාණ්‌ඩ රැසක්‌ ද මෙම විහාරය සතුව පවතී. එසේම ඓතිහාසික පුස්‌කොළ පොත් විශාල සංඛ්‍යාවක්‌ මෙන් ම දුර්ලභ බෞද්ධ පොත පත ද මේ පැරැණි මුද්‍රණය යන්ත්‍රය මගින් මුද්‍රණය කළ වටිනා ග්‍රන්ථ රාශියක්‌ ද මේ විහාරය සතුව පැවැතීම මේ විහාරයේ වටිනාකම ඔප්නංවයි.

මෙරට මුහුදුබඩ පෙදෙස්‌ අල්ලාගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ඈ යුරෝපීය ජාතීනට අවශ්‍ය වූයේ මුළු රටම තම අණසක යටතට ගැනීමය. ලක්‌දිව ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්‌ථානයක පිහිටීමත්, මෙහි පවත්නා උසස්‌ දේශගුණයත්, රන්, රිදී, මුතු, මැණික්‌ වටිනා සම්පත් පිහිටීමත්, ඔවුනට මේ රට තම අණසක යටතට ගැනීමේ අවශ්‍යතාව වඩාත් ප්‍රගුණ කළේය. තමුන්ගේ ආයුධ බලය හා යුද ශක්‌තිය යොදා මුහුදුබඩ පෙදෙස්‌ අල්ලා ගත් ඔවුනට මුළු රටම තම අණසක යටතට ගෙන පාලනය කිරීමට නම් ලාංකිකයන් තමනට අවනත ජනතාවක්‌ බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව ඔවුනට අවබෝධ වී තිබිණි. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ තමන්ගේ ආගම වූ ක්‍රිස්‌තියානි ආගමය. ක්‍රිස්‌තියානි ආගමිකයන් බිහිකර ගැනීම සඳහා මෙරට බෞද්ධයන් වඩ වඩාත් තම ලබ්ධියට හරවා ගැනීමට ඔවුනට අවැසි විය. ඒ සඳහා ඔවුන් යොදා ගත් එක්‌ වැදගත්ම උපක්‍රමය නම් මුද්‍රණ ශිල්පයයි. මෙකල යුරෝපීය රටවල මුද්‍රණ ශිල්පය දියුණු වෙමින් පැවතිනි. මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය වෙමින් පැවතිනි. පළමුවෙන් ඒ සඳහා අඩිතාලම දැමුවේ ලන්දේසීන්ය. ඔවුහු කොළඹ මුද්‍රණාලයක්‌ ස්‌ථාපිත කර පිටු 40 කින් යුත් Gospels පොත මුද්‍රණය කළහ. වර්ෂ 1740 දී Sinhalese Catechism නම් ක්‍රිස්‌තියානි ධර්මය ගැන සිංහල පාඩම් පොත ද, ඨදිචැකි නම් දෙමළ පොත ද බයිබලයේ නව ගිවිසුම් ක්‍රියා පොත, රෝම කොරෙන්ති සිට ගලානි දක්‌වා පොත ද, ශූභාරංචි පොත් හතර, පරණ ගිවිසුමේ උප්පත්ති කථාව, නික්‌මයැම, ලෙව් කථාව, ගණන් කථාව, ශබ්ද කෝෂ ද මුද්‍රණය කරන ලදී. මේ පොත පත, පත්‍රිකා දැන්වීම්, පත්‍රිකා මගින්, ලාංකික බෞද්ධ ජනතාව තම ලබ්ධියට හරහා ගැනීමට ලන්දේසීන් මුද්‍රණ ශිල්පය උපයෝගී කර ගති. ලන්දේසීන් පලවා හැර මුහුදුබඩ පෙදෙස්‌ තම අණසකට ගත් ඉංග්‍රීසීන් ද මේ මුද්‍රණ උපක්‍රමයම තම පැවැත්ම හා පාලන පහසුව සඳහා යොදා ගත්හ. ඔවුන් ලන්දේසින්ගෙන් අල්ලා ගත් මුද්‍රණාලය පමණක්‌ නොව තවත් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කළ බවට සාධක තිබේ. 1812 දී බයිබල් සමාගමත්, 1815 දී වැසිලියන් සමාගමටත්, 1832 එංගලන්ත සභාව කෝට්‌ටේ ආදී වශයෙන් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කරන ලදී. 1840 'ලංකා නිදාන' සඟරාවද, 1844 'විවේචකයා' සඟරාවද, 1846 කොළඹ කතෝලික සඟරාවද, 1853 දී 'සව්සන්දර වාදය' සඟරාවද, 1854 දී ලංකාභිවෘද්ධිය සඟරාවද, යාපනයේ මානිපායි හි 'උදය තාරගයි' පත්‍රය ද මුද්‍රණය කර ලාංකිකයන් අතරේ බෙදාහරිමින් ලාංකික බෞද්ධ හා හින්දු භක්‌තියත් තම 
ආගමට හරවා ගැනීමේ දැඩි ප්‍රයත්නයක නිරත විය. කොළඹ බයිබල් සමාගමේ මුද්‍රණාලයත්, කොළඹ වෙස්‌ලි විද්‍යාලයීය මුද්‍රණාලයත් එක්‌ව 'මාසික තෑග්ග' මාසික සඟරාව මෙන්ම විශාල පොත්පත් රාශියක්‌ මුද්‍රණය කරමින් රට තුළ බෙදාහරින ලදී. 'ඥානාර්ථ ප්‍රදීපය' නම් කතෝලික පත්‍රය ද ආරම්භ කළේය. මේ සඳහා යුරෝපීය රටවල සහ රජයේ සම්පූර්ණ අනුග්‍රහය හා ආධාර ලැබිණි. මේ සෑම පොත පතකින්ම සඟරාවකින්ම පත්තරයකින්ම හුවා දැක්‌වූයේ ක්‍රිස්‌තියානි ධර්මයේ උසස්‌කමය. බුද්ධාගමට මෙන්ම බෞද්ධ භික්‍ෂුන්ට හා බෞද්ධ දර්ශනයට මේවායින් නිර්දය ලෙස පහර ගැසිණි. බෞද්ධ දර්ශනය මිථ්‍යාදෘෂ්ඨික දර්ශනයක්‌ ලෙස හුවා දක්‌වමින්, එයට නිර්දය ලෙස පහර ගසමින්, ලිපි පළ කරන ලදී. බොහෝ විට අභූත චෝදනා පවා එම ලිපිවල අඩංගුව පැවැති බව සඳහන් ය. මේවාට පිළිතුරු දීමට එදා ලංකාවේ බෞද්ධයන්ට මෙන්ම භික්‍ෂුන් වහන්සේලාට කිසිම මාර්ගයක්‌ නොවීය. එක්‌ පැත්තෙන් රටේ පාලකයන්ගේ බලය, අනෙක්‌ පසෙන් ක්‍රිස්‌තියානු පල්ලියේ හා ජාත්‍යන්තර ආගමික සංවිධානවල බලය මත රටේ බෞද්ධ ජනතාව හා භික්‍ෂුන් වහන්සේලා අසරණ වූහ.

ප්‍රසිද්ධ ස්‌ථානවල වේදිකා සාදා ආගමික වාද පැවැත්වීමට බෞද්ධ නායකයන් පටන් ගත්තේ ඉන් පසුවය. පානදුරාවාදය, උදම්විටවාදය, ගම්පොලවාදය, වනවාසලවාදය ආදී වාද පටන් ගත්තේ ආගම බේරා ගැනීමට හා අපවාදවලින් බුද්ධාගම ආරක්‍ෂා කර ගැනීමේ උදාර පරමාර්ථයෙනි. එහෙත් ඔවුන්ගේ මුද්‍රණ ශිල්පීය ක්‍රම ඉදිරියේ බෞද්ධ ජනතාවට විශාල පසුබැස්‌මක්‌ ඇති විය. මුද්‍රණාලයක අඩුපාඩුව බෞද්ධ ජනතාව තුළ නලියන්නට විය.


මෙවැනි පසුබිමක්‌ යටතේ ජාතිය ගැන, ආගම ගැන, බෞද්ධ ජනතාව ගැන, රට ගැන ඇති වූ වේදනාවෙන් සිටි බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස ස්‌වාමීන් වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් මුද්‍රණාලයක්‌ පිහිටුවීමට ඉදිරිපත් වූ සේක. විශාල බාධක රැසක්‌ මැද උන්වහන්සේට මේ උදාර කටයුත්ත සඳහා වෙහෙසවන්නට සිදුවිය. ගුණ ගරුකභාවය හා සිල්වත්භාවය නිසා උන්වහන්සේ රටේ මෙන්ම විදෙස්‌වල ද මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලීය. බෞද්ධ දානපතියන් දෙදෙනකු සහ දායකයන් රැසක්‌ මේ සඳහා මුදලින් ආධාර කළ ද, එය ප්‍රමාණවත් නොවීය. උන්වහන්සේ තම හිතවතකු වූ සියම් දේශයේ රජතුමාට මේ බව දන්වා යෑවීය. සියම් රජතුමාගෙන් ලද විශාල මුදලක්‌ නිසා සුමනතිස්‌ස හිමියනට මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලයට ගැනීමේ අවස්‌ථාව උදාවිය.

සිංහල බෞද්ධ මුද්‍රණාලයක්‌ මෙවැනි යුගයකදී ආරම්භ කිරීම මොනතරම් අසීරු කරුණවක්‌ ද යන්න අපට පෙනේ. ඒ පැවති දුෂ්කරතාව ගැන 'ලංකාලෝකය' පුවත්පතේම සඳහන් මේ ඡේදය කියෑවීමෙන් අපට මැනවින් පැහැදිලි වේ.

"ඒ කාලයේ මුදල් දීමට පොරොන්දු වූ දායකයන්ගෙන් දෙදෙනෙක්‌ කිසිසේත් මුදල් නුදුන්නෝ ය. පස්‌දෙනෙක්‌ පවුම් දහසයේ ගණන නොදී එයට අඩු ගණනින් දුන්නෝය. ඒ සියලු මුදල් පවුල් 181 ලැබුණාය. ඒ ලැබුණු මුදලින් ඇංගලන්තයෙන් මුද්‍රාංඛන යන්ත්‍රයක්‌ හා ඊට උවමනා බඩු ගෙන්වා සිංහල අකුරු ඊටම බැදුනු දායකයෙක්‌ ලවා කප්පවා අනිකුත් එයට උවමනා කරන බඩුත් ඒ ඒ කර්මාන්තකාරයන් ලවා කරවා යන්ත්‍රය තැබීමට ගෙයක්‌ බදු ගෙන කඩදාසි පිටු අටක්‌ එකවර අච්චු ගහන්නට පුළුවන් පමණ සිංහල අකුරු සපයා 'ලංකෝපකාරය' නමින් මුද්‍රාංකන යන්ත්‍රය තැබූ නමුත් එපමණකින් යන්ත්‍ර ශාලාවට ඕනෑකරන තරම් අකුරු ආදිය සම්පූර්ණ නොවූයේ ය."

(සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාසේකර හිමි) 

මුද්‍රණාලයක්‌ ඇරඹීම මත උන්වහන්සේ එංගලන්තයෙන් මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලට ගනී.

මෙම මුද්‍රණ යන්ත්‍රය ගාලු වාරයෙන් ලංකාවට ගෙන එන ලදී. මෙය 1801 දී එංගලන්තයේ කාස්‌ලන් සමාගම විසින් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රයකි. මුලදී පිටු 08 ක පමණ පොත් මුද්‍රණ කිරීම ආරම්භ විය. එහෙත් ක්‍රිස්‌තියානු පක්‍ෂය විසින් එල්ල කරනු ලබන චෝදනාවලට පිළිතුරු සැපයීමේ මුද්‍රණය කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවීය. එබැවින් උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම පිණිස උඩරට, පහතරට ප්‍රභූන් කිහිපදෙනෙකු මූල්‍යමය ආධාර කළ බව සඳහන් වේ. මුද්‍රණාලය පාලනය කිරීම පිණිස කමිටුවක්‌ පත් කර තිබිණි. ජොහානිස්‌ ද සිල්වා එහි කළමනාකරු ලෙස ද වූ කමිටුවේ මූලිකත්වය ධම්මාරාම හිමියන් විsසින් උසුලන ලදී. 1860 වර්ෂයේදී ආරම්භ කළ 'ලංකා ලෝකය' පුවත්පත ලියාපදිංචිව නොපැවැති බව සැලයි. මෙම මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද 'ලංකා ලෝකය' පත්‍රයේ මුල් පිටපතක්‌ අදත් දොඩන්දූවේ කුමාර විහාරයෙහි පොත්ගුලෙහි ප්‍රදර්ශනයව පවතී. ධම්මාරාම සුමනතිස්‌ස හිමියන්ගේ ගෝලයකු වූ ප්‍රඥාසේකර හිමියන් විසින් රචිත පිටු සිය ගණනකින් යුත් අභිධර්මය පිළිබඳ ග්‍රන්ථ දෙකක්‌ මෙම මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ඇත. ලංකාලෝකය පත්‍රයේ කතෘ ලෙස බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන තිස්‌ස හිමිවරුන් කටයුතු කර ඇත. දැනට ලැබී ඇති එහි මුල්ම පිටපත මුද්‍රණය කර ඇත්තේ 1860 සැප්. මස 10 වැනි දින දී ය. එහි පුවත්පත ජයවර්ධන මුදලිතුමා විසින් ගාල්ලේ ලංකාලෝක මුද්‍රණාලයේදී මුද්‍රණය කරන ලදැයි එහි සඳහන් වේ. 1862.09.11 දින 'ලක්‌මිණි පහන' ඇරඹිනි. එහි කතුවරු වශයෙන් බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන හිමිවරුන්ගේ නම් සඳහන් වේ. හික්‌කඩුවේ සිරි සුමංගල හිමි, වැලිගම සිරි සුමංගල හිමි, සියම් රටේ රජතුමා මෙන්ම අභයකෝන් ජයසුන්දර හේරත් බණ්‌ඩාර මුදලිතුමා මේ පුවත්පත් මුද්‍රණාලය සඳහා බොහෝ උදව් කළ බැව් සඳහන් වේ. සියම් රජතුමා ධම්මාරාම සුමනතිස්‌ස හිමියන් වෙත වටිනා දහම් පොත් රාශියක්‌ එවන ලද බැව් සැලයි. ඒවා අතරින් අට්‌ඨශාලිනි අත්ථයෝජක නම් අගනා බෞද්ධ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළ බුලත්ගම සිරි ධම්මාලංකාර හිමියන් එය පිටු 275 සිංහල පොතක්‌ ලෙස මුද්‍රණය කරන ලදී. එසේම මුන්වහන්සේ විසින් ලියන ලද 'විනෝදනී අස්‌ථයෝජනා' ග්‍රන්ථය ද පිටු 263 කින් මේ මුද්‍රණාලයේ දී ප්‍රකාශිතයි. මෙම වටිනා මුද්‍රණාලයෙන් වටිනා බෞද්ධ පොත් 39863 ක්‌ මුද්‍රණය කළ බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එසේම මිෂනාරි චෝදනාවලට පිළිතුරු දීම සඳහා පොත් දහස්‌ ගණනක්‌ මේ යන්ත්‍රාලයේ මුද්‍රණය කරන ලදී. ශ්‍රී සුමංගල හිමියන් රචිත 'සුදර්ශනය', 'බෞද්ධවාක්‌සාරය', සුමති සංග්‍රහ වැනි සඟරා ද මේ මුද්‍රණාලය තුළින් ජාතියේ සුරතට පත් විය. මෙම මුද්‍රණද්වාරයෙන් බිහි වු තවත් වටිනා ග්‍රන්ථයක්‌ නම් 'පංචවාදය' පොතය. කොටහේනේ දීපදුප්තාරාමයේ වැඩ විසූ වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රිස්‌තියානි පූජකයන් සහ දේශකයන් සමඟ පැවැති ගම්පලවාදය, පානදුරාවාදය, වරාගොඩවාදය, ඔරුගොඩවත්තවාදය, උදම්විටවාදය ආශ්‍රයෙන් මුද්‍රණය කරන ලද මේ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌වලට ප්‍රසිද්ධියට පත්විය. බෞද්ධ අධ්‍යාපනයේ මෙන්ම බුද්ධාගමේ උන්නතිය සඳහා කැප වූ කර්නල් ඕල්කට්‌තුමා, මියුසියස්‌ මැතිනිය වැනි විදෙස්‌ කතෝලිකයන් බුද්ධාගම වැළඳ ගැනීමට මේ ප්‍රකාශනය ඉවහල් විය. මුලදී මෙම මුද්‍රණාලය බද්දට ගත් ස්‌ථානයක පවත්වා ගෙන ගිය අතර පසුව එය ගාල්ලේ එලියට්‌ කන්දේ ශ්‍රී පරමානන්ද විහාරස්‌ථානයට ගෙන එන ලදී. එයට හේතු වූයේ බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එම විහාරස්‌ථානයේ අධිපති ධුරයට පත්වීමය. එම විහාර මන්දිරයේ පුස්‌තකාල ගොඩනැඟිල්ලේ එම මුද්‍රණාලය පවත්වා ගෙන එන ලදී. 1891 අගෝස්‌තු 24 දින උන්වහන්සේ අපවත් වන තුරුම එම මුද්‍රණාලය එම විහාරස්‌ථානයේ පවත්වා ගෙන එන ලදී. සිරි ධම්මාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු එම මුද්‍රණාලය ඒ හිමියන්ගේ ගෝල හිමිනමක විසින් කතළුව ගිණිවැල්ල පුරාණ රන්වැලි විහාරස්‌ථානයට ගෙන එන ලද්දේය. එදා පටන් ගිනිවැල්ල රන්වැලි විහාරයේ නායක හිමියන්ගේ ආවාසයේ වෙනම කාමරයක්‌ තුළ මේ මුද්‍රණ යන්ත්‍රය සුරක්‍ෂිතව තැන්පත් කර තිබිණි. ලක්‌දිව අන්‍ය ආගමිකයන් ක්‍රිස්‌තියානීන් බවට පත් කිරීමට 1735 දී ලන්දේසීන් ඇරඹි මුද්‍රණ කලාවත්, වර්ෂ 1835 දී ඉංග්‍රීසීන් විසින් 'කලම්බු ජර්නල්' මගින් ඇරැඹි ඉංග්‍රීසි පුවත්පත් කලාවත්, වර්ෂ 1841 දී යාපනයේ මානිපායි හි ඇරඹි 'උදය තරගායි' නමැති දෙමළ පුවත්පතත් ලක්‌දිව පුවත්පත් කලාවේ යම් ආරම්භයක්‌ කළ ද එසේම 'ලංකාලෝකය', 'ලක්‌මිණි පහන' පුවත්පත් ද, සිංහල බෞද්ධ පුවත්පත් කලාවේ විප්ලවකාරී ආරම්භයක්‌ සනිටුහන් කරයි. එවන් ජාතික, ආගමික පුනරුදයක්‌ ඇති කිරීමට උපකාරී වූ පුරාවිද්‍යාත්මක අගයකින් යුතු මේ මාහැඟි ජාතික වස්‌තුව (මුද්‍රණ යන්ත්‍රය) ගිනි රකුසා විසින් ඩැහැගත්තේ ජාතියේ අවාසනාවටය.

රණසිංහ ඒ. එන්. පෙරේරා
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින

"යෝධයන්" කැපූ ඇළ

අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය. කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.
කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.
කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත. ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.
යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය -  වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත. යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.
කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය. අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය.   වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය. මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.
ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත. නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.
රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ. මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.

සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක
2012 ඔක්තෝබර් මස 28 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 යෝධ ඇළ
 යෝධ ඇළේ සමරහ ස්ථාන විනාශවී

මහඉලුප්පල්ලම භූගත ජල විද්‍යාඥ ආචාර්ය පී. බී. ධර්මසේන මහතා

එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි


අඩුවෙන් ගමන්කළ මාර්ගයක් ඔස්සේ 
කොළඹ මාර්ගවල පැරැණි නම් වෙනුවට අලූත් නම් යෙදීම සිදුවෙමින් පවතිද්දී සන්ඬේ ටයිම්ස් හි කුමුදුනී හෙට්ටිආරච්චි  සමග කළ සාකච්ඡාවක් මගින් ෆ්‍රෙඞ්රික් මෙන්ඩිස් අප රැගෙන යන්නේ දීප්තිමත් ඓතිහාසික සංචාරයකය.
නමක වටිනාකම කුමක්දැයි කවියා විමසුවද පොත් හා ලිය කියවිලි මගින් දැනුම ලබාගෙන මෙන්ම දුවිලි මාවත් දිගේ දිවිය පුරා ඇවිද ඇති වයස අසූ ගණන්වල සිටින ප්‍රෙඞ්රික් මෙන්ඩිස්ට සැම දෙයක්ම ඇත්තේ නම තුළය.
කෙසේ වෙතත් දෙපසෙහි ගස් වවා ඇති හෝර්ටන් පෙදෙසට නම ලැබුණු ආකාරයත් එහි පවුල් ප‍්‍රශ්න හා ඒ පිටුපස ඇති කවි පිළිබඳව ඔහු දැනුම ලබා ගන්නේ කවියාගෙන් නොව බයිරොන් සාමිවරයාගෙනි.
මෙන්ඩිස් මහතා සමග කළ දිගු සාකච්ඡුාවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැන ගන්නට ලැබුණේ ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයකුව සිටි ශ්‍රීමත් රොබර්ට් විල්මට් විවාහ වූ අවස්ථාවේ ඔහුගේ මාමා ස්ථිර ලෙස ප‍්‍රකාශ කළේ තමන්ට හිමිවන දේපළවල උරුමය ලැබීමට නම් ශ්‍රීමත් විල්මට් වාසගම් ද්විත්වයන් භාවිත කළ යුතු බවයි.
ආණ්ඩුකාරවරයාගේ විවාහයෙන් පසුව තම බිරිඳගේ වාසගම එකතුවීම නිසා ඔහුගේ නාමය ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් බවට පත්වූ අතර අවසානයේදී කුරුඳුවත්තේ මධ්‍යම ප‍්‍රදේශයේ ඇති මාර්ගයකට එම නම ලැබුණේද ඒ ආකාරයෙනි. මෙන්ඩිස් මහතා කියන ආකාරයට කතාව එතැනින්ද නවතින්නේ නැත. සම්මානනීය කවි බයිරන් සාමිවරයා ආණ්ඩුකාරවරයාගේ බිරිඳගේ ඥාතියකුවන අතර ඔහු ”රාති‍්‍රයේ සුන්දරත්වය මෙන් ඇය ගමන් කරයි” කෘතිය කරන්නේ ආණ්ඩුකාර බිරිය කළු ගවුමකින් සැරසි සිටිනු දුටු අවස්ථාවකට පසුවය.
87 හැවිරිදි මෙන්ඩිස් මහතාගේ මතකය තුළින් නම් දින සහ නොවැදගත් තොරතුරු ද වචනයට නැගුණේ සන්ඬේ ටයිම්ස් සම්මුඛ සාකච්ඡුාවේදී පමණක් නොවේ. ශ්‍රී ලංකා ජාතික භාරය විසින් අගෝස්තු 30දා හැටන් නැෂනල් බැංකු ශ‍්‍රවණාගාරයේ පවත්වනු ලැබූ මාර්ග හා ස්ථාන නාම පිළිබඳ අතුරු සමීක්ෂණයේ සම්මන්ත‍්‍රණයේදී විශාල පිරිසක් ඉදිරියේ කළ කතාවේදී ද එය එසේ සිදුවිය.
කවි ගැන මෙන්ම බි‍්‍රතාන්‍යයන්ගේ කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ද කතා කළ අතර බලවත් ලෙස පෑන මෙහෙයවූ අයිරිස් ජාතික ආචාර්ය කි‍්‍රස්ටෝපර් එලියට් ගැනද සඳහන් කරමින් කීවේ ඔහුගේ නමින් නම්කළ මාර්ගයේ නාම පුවරුවේ එම නමේ අකුරු වැරැදියට ලියා ඇති බවයි. ත්‍යාගශිලියකු වූ ආචාර්ය එලියට් බොරැල්ලේ පදිංචිව සිටි අතර කලම්බු ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේය. බි‍්‍රතාන්‍යයන් විසින් පනවනු ලැබූ බලූ බද්ද සහ තුවක්කු බද්ද ඇතුළු බදුවලට එරෙහිව ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු එයින් නොනැවතී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි විරෝධතා සඳහා ද ජනයා මෙහෙයවීය.
බලූ බද්ද ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ඔහු වේදිකාවට ගොඩවී ඉංගී‍්‍රසියෙන් මෙන්ම සිංහලෙන් ද දේශීය ජනයා අමතා කතා කළ බව කී මෙන්ඩිස් ඔහුගේ එම කි‍්‍රයා කලාපයට එල්ලවූ බරපතළ ප‍්‍රතිචාර ගැනද සඳහන් කළේය.
එලියට් මහතා විසින් 1848 ජුලි 26 වැනිදා සංවිධාන කළ මහා විරෝධතාවයෙන් කලබලයට පත් බි‍්‍රතාන්‍ය හමුදාව පිටකොටුවේ සහ මරදානේ සිට බොරැල්ල කරා මෙහෙයවන ලද්දේ එම මහජන කැළඹිලි මැඩ පැවත්වීම සඳහාය. කැරලිකරුවන් පෙරළා පහරදුන් නිසා බි‍්‍රතාන්‍යයන් කළ වෙඩි තැබීමෙන් විශාල පිරිසක් මිය ගියහ. යටත් විජිත ලංකාව තුළ යුද නීතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මුහුදින් එතර සිට කි‍්‍රයාත්මක වූ බලගතු බි‍්‍රතාන්‍ය පාලනය බලවත් පීඩනයකට ලක්වූ බව පෙනී ගියේය.
මෙම සිදුවීම ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කිරීමේ බරපතළ ප‍්‍රතිවිපාක ඇතිවූ අතර අගමැති ජෝන් ලෝඞ් රසල් තම කිට්ටු ඥාතිවරයකු වූ ටොරින්ටන් සාමිවරයා ආණ්ඩුකාරවරයා ලෙස පත්කර එවනු ලැබීය. මෙය ඥාති සංග‍්‍රහයක් ලෙස විවේචනයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ටොරින්ටන් සාමිවරයා සහ වෙනත් ප‍්‍රධාන නිලධාරීන් ආපසු කැඳවීමට සිදුවූ අතර බි‍්‍රතාන්‍යයේ කැබිනට් මණ්ඩලය ද විසුරුවා හරිනලද බව මෙන්ඩිස් මහතා කියයි.ඊළඟට බේරේ වැව ගැන විස්මය ජනක විස්තර කිරීමක යෙදෙන ඔහු එය කැලණි ගඟට සම්බන්ධ විශාල මඬ වගුරක් බවත් බොරැල්ල දෙමටගොඩ සහ කොළොන්නාව හරහා එම සම්බන්ධය තුබූ බවත් කියයි. සුළඟත් සමග ප‍්‍රදේශයට මෝසම් සුළං ලැබෙන විට මෙහි දිය රැලි ඇතිවන බවත් මෙහි බොර ඇළක් ඇතිවූ බවත් (පසුව බොරැල්ල වූයේ එයයි) පවසයි. නාරාහේන්පිට දක්වා පැතිරෙන මෙම මඩ වගුර වෙත දැදුරුඔය කැලයේ සිට කැලණි ගඟ ඔස්සේ පැමිණෙන අලින් නොපෙනී යන බවද මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
මෙහි මුල් සිංහල නම නාරහත්පිටිය බවට විශ්වාසයක් පවතින බවත් එහි නා යනු අලින් බවත් එහි තේරුම අලින් අතුරුදන්වන ස්ථානය බවත් ඔහු හෙළි කළේය.
ඉන්පසුව ජලය ගලා යන්නේ නාවලටය. එය එකල ඝන වනාන්තරයකි. බුවනක බාහු මරා දැමිමෙන් පසුව කෝට්ටේ අත්හැර දමා තුබූ බවද මෙන්ඩිස් මහතා විස්තර කළේය.  ඕලන්ද ජාතික ඉතිහාසඥයකු වන වැලන්ටයින් පසුව විස්තර කොට තිබෙන්නේ ප‍්‍රදේශය ඇත් ගාලක් තත්ත්වයට පත්ව තුබූ බවයි.  නාවලින් පසුව පාගොඩ (හල්ගොඩ හෙවත් හබල් ඔරු නැවතුම) හරහා ජලය දියවන්නාවට ගලා යයි.
ඒ දිනවල මෙම ප‍්‍රදේශ හරහා අලින්ගේ ගමන් මගක් වූ බව ඔබ දන්නවා දැයි මෙන්ඩිස් මහතා විමසයි. නාවල, නාවින්න (නැහින්න) එනම් අලි සිටින ළඳු කැලෑව, පාදුක්ක, සිංහරාජ වනාන්තරය සහ දකුණේ පනාමුරේ දක්වා ප‍්‍රදේශයේ අලි ගමන් මගක් වූ බව පැහැදිලිය.
කුරුඳුවත්ත පසුබිම පිළිබඳව නැවත කතා කරමින් ඔහු කීවේ රොස්මීඞ් පෙදෙස නම් කොට තිබෙන්නේ රොස්මීඞ් සාමිවරයා වූ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් නාමයෙන් බවයි. ගිල්ෆර්ඞ් පෙදෙස නම්කොට තිබෙන්නේ ලංකාවේ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ හා ග්ලිෆර්ඞ් හි අර්ල්වරයා වූ ෆෙඞ්රික් නෝර්ත් වෙනුවෙනි. එමෙන්ම ස්ටැන්මොරි ක්‍රෙසන්ට් නම්කර ඇත්තේ සැටැන්මොර් සාමිවරයා වූ ශ්‍රීමත් ආතර් ගොර්ඩන් වෙනුවෙනි.
මේවා ගැන මතුපිටින් කතා කරන්නේ නැතිව මෙම පුරාවස්තු ලෝලියා ඉතිහාසය තුළ එක් පියවරක් නොව පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇති අතර දිවයින පුරා ස්ථාන 900ක ස්ථාන නාම පිටුපස තිබෙන කුඩා රහස් සහ කතා පිළිබඳ හෙළිදරව් කරගෙන තිබේ. කොළඹ 4 ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මෙන්ඩිස් මහතා මෙම විෂයයට ඇලූම් කරන්නට වූයේ ඔහුගේ පියාද පුරාවස්තු රැස් කරන්නකුවීම නිසාය. ”නුගේගොඩ අපගේ නිවසේ තාත්තා සතු පෞද්ගලික කෞතුකාගාරය තුබූ” බව කියන ඔහු වැඩි දුරටත් කියන්නේ එහි ප‍්‍රධාන වශයෙන් තඹ, පොර්සිලේන් හා ඇත් දළ භාණ්ඩ තුබූ බවයි.නැවතත් තමන්ගේ පි‍්‍රයතම විෂයයට ගිය මෙන්ඩිස් කොළඹ හෙවත් කොළොන්තොට පිළිබඳව දිගු විස්තරයක් කෙළේය. කොටුව ප‍්‍රදේශයේ තුබූ අඹ ගසක කොළ මිස ගෙඩි නොතිබිණි.  ඕලන්දකාරයෝ මෙය ඔවුන්ගේ රාජදුත ලාංඡනයට ද ඇතුළත් කළහ. එයින් ද නොනැවතුණ  ඕලන්දකාරයන් මෙම නම යොදා ගත්තේ  ඕලන්දකාරයන් භාවිත කළ ලතින් භාෂාවේ එන කොලූම්බා යන යෙදුම ඇසුරින්ය.
ස්ථාන නාම පිළිබඳ ඔහුගේ දැනුම ගැන වමේ සිටි උදවිය ආකර්ශනය කර ගැනීමට බගතලේ පාර පිළිබඳව ඔහු කළ විස්තරය ද හේතුවිය.
”බගතලේ” යනු ”කිසිවකුට දෙවැනි නැති” යන අර්ථය ඇති වචනයක් බව කී ඔහු එය සුළු මුදල් ඔට්ටු සඳහා කෙරෙන ඉතාලියානු කී‍්‍රඩාවක් බව සඳහන් කළේය. සති අන්තවල මෙම ප‍්‍රදේශයට රැස්වන ජනයා බියර් පානය කරමින් මෙම කී‍්‍රඩාව කළෝය. ”එය බිලියඞ් වැනි කී‍්‍රඩාවකි. ඇලවූ ලෑල්ලක කරන එම කී‍්‍රඩාවේදී කුඩා බෝලවලට පොලූමතින් පහර එල්ල කරමින් ඒවා චලනය කරන්නේ ඇතැම් ඇනවල වැදීම සඳහාය. පසුව මෙම නම සිංහලීකරණය වී ඇත.”
අන්වීක්ෂයට හසුවූ ඊළඟ ස්ථානය නම් කොළඹ 4 පිහිටි මිලාගිරියයි. මුලදී එහි වූයේ ”නොස්සා සෙනොරා ඩොස් මිලාගෙස් (අවර් ලේඩි ඔෆ් මිරකල්ස්) නම් පෘතුගීසි පල්ලියකි. පසුව  ඕලන්ද පාලනය යටතේ  ඕලන්ද ප‍්‍රතිසංස්කරණවලට ලක්වූ එය සමග පාසලක්ද ආරම්භ කරනු ලැබීය. එහි විදුහල්පති වූ ස්වදේශිකයා ජඞ්නිමෝ ගේ‍්‍රරෝ නම්වූ අතර ඔහු තොම්බකරුවකු හෙවත් බෞතිස්මය, විවාහ සහ මරණ රෙජිස්ට‍්‍රාර්වරයකු ද වීය. එම පවුලේ ඉතිහාසය මෙබඳුය. ගේ‍්‍රරෝගේ බිරිඳ නෝනා බාබා නම්වූ අතර ඔවුන්ගේ දියණිය විරිතමුල්ලේ දෝන ඉසබෙලා කොර්නෙලියා පෙරුමාල් නමින් බෞතිස්මය ලැබූ අතර පසුව ගජමන් නෝනා ලෙස මාතර ප‍්‍රසිද්ධියට පත්වූයේ ඇයයි.
ඕලන්ද කාලයේ කොළඹ මාර්ග ජාලයක් තිබිණි. ඔහු කියන පරිදි මුලින්ම තුබුණේ කොනින්ග් ස්ටාර්ට් හෙවත් රජ වීදියයි. එමෙන්ම කුමාර වීදියක් ද තිබිණ. එය නම්කොට තිබුණේ  ඕලන්දයේ ඔරේන්ජ්හි කුමරු නාමයෙනි.
කුමුදුනී හෙට්ටිආරච්චි විසිනි
සන්ඬේ ටයිම්ස්හි පළවූ ලිපියකි / පරිවර්තනය - සී. ජේ. අමරතුංග
2012 ඔක්තෝබර් මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

එදා කොළඹ ලස්සන



දක්ෂිණ ථූපය දුටුගැමුණු සොහොන නොවේ

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය හා ඉසුරුමුණිය අතර කුරුණෑගල පාරේ දකුණු පසට වන්නට දක්‍ෂිණ ථූපය පිහිටා ඇත. මෙය එළාර සොහොන ලෙස ප‍්‍රසිද්ධ වී ඇතත් එච්.සී.පී බෙල් මහතා කරුණු දැක්වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ දාගබ විය යුතු බවටයි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ කැණීම්වලදී හමුවූ ශිලා ලේඛණයක සඳහන් වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ චෛත්‍ය බවයි. බෙල් මහතාගේ අදහස එයින් තහවුරු විය.
ආචාර්ය පරණවිතාන මහතා කළ වැඩිදුර පරීක්‍ෂණ වලින් පසුව ඔහුගේ විශ්වාසය වූයේ දක්‍ෂිණ ථූපය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ ඉදිකරන ලද්දක් බව සහ ඒ අනුව එය දුටුගැමුණ සොහොන මිස ප‍්‍රාදේශීය ජනප‍්‍රවාදයේ ලෙස එළාර සොහොන නොවන බවයි. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා 1948, 67 සහ 68 පිටු). ඇත්ත වශයෙන්ම අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සකස් කළ නාම පුවරුවේ මෙම ස්ථානය දැක්වෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය වශයෙනි.
මෙම මතය තහවුරු කිරීම සඳහා පරණවිතාන මහතා ඉදිරිපත් කළ සාක්‍ෂි වන්නේ (I) දක්‍ෂිණ ථූපය ආදාහනයක් කළ ස්ථානයක බොහෝවිට දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතිබව දැක්වෙන සාක්‍ෂි සහ (II) දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය හා දක්‍ෂිණ ථූපය ඇති ස්ථානය එකක් බව ලිපි ලේඛන මගින් හඳුනාගැනීමයි.

විවාදය


දැන් අපි මෙම එක් එක් තර්කය ගෙනහැර බලමු. දක්‍ෂිණ විහාරය ඉදිකරන ලද්දේ වට්ට ගාමිණී අභය රජුගේ දොළොස් මසක පාලනය (දෙවන වාරය) කාලයේදීය. එනම් දුටුගැමුණු රජුගේ අභාවයෙන් වසර පනහකටත් වැඩි කාලයක් ගතවූ පසුවය. එබැවින් දක්‍ෂිණ විහාරයේ චෛත්‍යද ඉදිකරන්නට ඇත්තේ දුටුගැමුණු රජු ආදාහනයෙන් වසර පනහකට වැඩි කාලයක් ගතවූ පසුවය.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ මෙම අතරමැදි කාලයේ යම් සිහිවටනයක් තුබුනේද? පරණවිතාන මහතා කියන්නේ මෙම ශ්‍රේෂ්ඨ රජතුමාගේ ආදාහනයෙන් පසුව එම ස්ථානයේ කුඩා සිහිවටනයක් ඉදිකර තිබෙන්නට ඇති බවයි. (පුරාවිද්‍යා වාර්තාව, 1948 පිට 73). එය එසේ නම් (දුටුගැමුණු රජතුමාට එවැන්නක් ඉදිකිරීමේ විශේෂිත වුවමනාවක් නොවූ බව සටහන් කළ යුතුය) එවැන්නක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් නොවීම අස්වාභාවිකය. පරණවිතාන මහතා කියන්නේ මහාවංශය ‘‘ඓතිහාසික සම්ප‍්‍රදාය තුළ සැලකිය යුතු නිරවද්‍යතාවකින් යුතුවන’’ බවයි. (1948 වාර්තාව 48 පිටුව)
දක්‍ෂිණ ථූපය තුබූ ස්ථානයේ කුඩා හෝ සිහිවටනයක් තුබූ බවට වෙනත් කිසිදු සාක්‍ෂියක් හමුවී නැත. නිධන් හාරන්නන් විසින් පැත්තකින් කපා තිබුණු දාගබේ මැද හරහා යන කැපුමෙන් ලැබෙන සාක්‍ෂි එහි පෙර තුබූ සිහිවටනයක් වේ නම් ඒ ගැන දැනගැනීමට  ඕනෑතරම් ප‍්‍රමාණවත්ය. එසේ වුවද එවැනි සාක්‍ෂි කිසිවක් හමුවී නැත.
1948 වසරේද  දක්‍ෂිණ ථූපයේ කළ කැණීම්වලදී අඟුරු කෑලි සහ මැටි ගුලි හමුවී තිබේ. මේවා බොහෝ තැන්වල හමුවිය හැකි දේවල් නිසා ඉතිහාසය ගැන නැවත සොයාබලන පුරා විද්‍යාඥයකුට එයින් එතරම් ප‍්‍රයෝජනයක් නැත.
අපරාධයක් ගැන දැනගැනීම තොරතුරු තුබූ පමණින් සිදු නොවන බව කියති. පරීක්‍ෂකයා වැඩකට නැති තොරතුරක් ලෙස පෙනෙන දෙයක් වැදගත් සාක්‍ෂියක් බවට පත්කර ගනිමින් අපරාධය සිදුවූ ආකාරය එයින් සොයාගන්නට හැකියාව ඇත. එලෙසම පුරාවිද්‍යාඥයකුද කළයුතු වන්නේ තමන් සතු තොරතුරු විද්‍යාත්මක ලෙස සලකා බලා එයින් අතීතය පිළිබඳව සැබෑ චිත‍්‍රයක් ගෙඩනගා ගැනීමයි.
පරණවිතාන මහතා ඉහත කී තොරතුරු ගෙන කියන්නේ එයින් එම ස්ථානයේ ආදාහනයක දී ඇතිවන ආකාරයේ මහා ගින්නක් ඇතිවූ බවට සාක්‍ෂි වන බවයි.

සාක්‍ෂි


අඟුරු හමුවීමේ සාක්‍ෂිය ගැන අපි සලකා බලමු. කොතරම් අඟුරු ප‍්‍රමාණයක් හමුවූවාද එම තට්ටුවේ ඝනකම කුමක්ද යන කාරණා ගැන අපට දැනගන්නට නැත. සොයාගත් දෑ විස්තර කොට ඇත්තේ ‘‘පරිපීඩිත අඟුරු තට්ටුවක කොටස් රාශියක්’’ වශයෙනි. එහි පරණවිතාන මහතා වැඩිදුරටත් කියන්නේ ‘‘ආවාටය හෑරූ පසුව එතරම් ගැඹුරු ස්ථානයක ගින්නක් අවුළුවා ගැනීමට වෙනත් සිතාගත හැකි හේතුවක් නැත’’ යනුවෙනි. එහි තේරුම නම් මෙම ආවාටය නිධන් හොරුන් විසින් හාරා ඇති බවයි.
මා කියන්නේ නිසැකවම රාත‍්‍රී කාලයේ සිදුකළ නිධන් සෙවීමකදී ආලෝකය ලබාගැනීම සඳහා මෙම ගින්න අවුළුවාගෙන ඇති බවයි. පරණවිතාන මහතා අවධාරණය කරන්නේ හානි වී නැති ගඩොල් තට්ටුවලට පහත ස්ථානයකින් අඟුරු හමුවූ බවයි. එයින් අපට නිගමනය කරන්නට යොමුවන්නේ මෙම අඟුරු නිධන් හොරුන් විසින් දමාගිය ඒවා නොවන බවයි.
කෙසේ වෙතත් මා අවධාරණය කරන්නේ මෙම අඟුරු හමුවී ඇත්තේ හානිවී නැති ගඩොල් තට්ටුවලට යන්තම් පහත ස්ථානයකින් නොවන බවත් හානි වූ ගඩොල් තට්ටුවලට යටින් තවත් ගැඹුරු ස්ථානයකින් බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් කරන ලද්දේ පැරණි කැනීමක් අනුගමනය කරමින් වන නිසා එම පැරණි කැනීම් සිදුකළ අය අඟුරු දමා යාමේ හැකියාවක් ඇත.
සිහිවටනය ඉදිකරන්නට පෙර ගින්න (ආදාහනයේ ගින්න) ඇතිවූ බව විශ්වාස කරන පරණවිතාන මහතා කියන්නේ දාගැබ ඉදිකළ පසුව ගින්නක් ඇතිවූවා නම් එයින් දාගැබේ බිත්තිවලටද බලපෑම් විය යුතු බවයි. එබඳු කිසිදු ලකුණක් නැති බව ඔහු කියයි.
එසේ වුවද අඟුරු හමුවී තිබෙන්නේ දාගැබේ හානි නොවූ ගඩොල් බිත්තිවල පහතම තට්ටුවට වඩා අඩි විසිපහක් පහත ස්ථානයකින්ය. (දක්‍ෂිණ ථූපයේ කැණීම්වල සැලැස්ම) මෙම හානි නොවූ ගඩොල් බිත්තිවලට යට ස්ථානයක විශාල ගින්නක් ඇතිව තිබීමේ හේතුව කුමක්ද?
එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ කැණීමේ මුදුනේදී එහි පළල අඩි දහසයක් වූ අතර අඟුරු හමුවූ ගැඹුරු ස්ථානයට යනවිට එහි පළල අඩි අටක් හෝ ඊට අඩු වීය. මෙම කැණීමේ වටේ බිත්ති ඊට පෙර නිධන් හොරුන් විසින් කරන ලද විශාල කැණීම පිරීම නිසා සකස් වූ එතරම් සවිමත් නැති පස් තට්ටුවලින් සැකසී තිබිය හැකිය.
යම්කිසි ගින්නක් අවුළුවා තුබුණද මෙම තත්ත්වය මත මෙම කුඩා කැණීමේ පැති බිත්තිවලින් එබඳු ගින්නක් පිළිබඳ සලකුණු ලැබේයැයි පරණවිතාන මහතාට අපේක්‍ෂා කළ හැක්කේ කෙසේද? ඒ කෙසේ වෙතත් නිෂ්පාදනයේදී එක් වරක් පිළිස්සී ඇති ගඩොල් තවත් ගින්නකින් තවත් වරක් පිළිස්සෙන්නේ කෙළෙසකද?

මැටි ගැන


දැන් අපි මැටි කුට්ටි පිළිබඳව බලමු. හමුවූ දෙය විස්තර කර ඇත්තේ ‘‘ගඩොල්වල වැඩියෙන් පිළිස්සුණු කැබලි වැනි යබොර ආකාරයට දැවුණු මැටි කුට්ටි’’ වශයෙනි. මෙම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට පරණවිතාන මහතා නිගමනය කිරීමට මෙම සොයාගැනීමද හේතුවකි.
සාමාන්‍ය පාඨකයාගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මැටි වියළි තත්ත්වයේදී සවිමත් හා අතිශයින් සවිමත් විය හැකි ද්‍රව්‍යයක් වන අතර කුට්ටි සෑදෙන බවයි. එසේ වුවත් තෙත් වනවිට එය නම්‍යශීලී තත්ත්වයට පත්වෙයි. එසේ වූත් මැටි පිළිස්සුණු විට එහි ගුණය වෙනස් වෙයි. හිරු එළියෙන් වියළී ගිය මැටි හා උඳුනක දැමීමෙන් හෝ ගින්නකින් දැවීමෙන් සවිමත්වූ මැටි වෙන්කර හඳුනාගැනීම ඇතැම් භෞතික, රසායනික සහ පාෂාණ විද්‍යා පරීක්‍ෂණ කිහිපයක් මගින් කළ හැකිය. පුරා විද්‍යාඥයන් අතර ප‍්‍රචලිතව ඇත්තේ සරලම ක‍්‍රමයකි.
වැඩියෙන් පිළිස්සුණු විට තද වර්ණයට හැරුණද පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි හඳුනාගැනීම වර්ණය මගින් සිදුකළ නොහැකිය. නොපිළිස්සුණු වියළි මැටි ඉතා සවිමත් විය හැකිය. වියැළී ගිය කුඹුරක හෝ වැවක හෝ පාවහන් රහිතව ඇවිද ගිය අයකුට එහි අපහසුව විඳගත හැකිය.
පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි වෙන්කර හඳුනාගැනීම සඳහා දෘඩ බව යොදාගත නොහැකිය. එය පිටුපස ඇති න්‍යාය ගැන කීමට වෙහෙසෙන්නේ නැතිව කිව හැක්කේ පුරාවිද්‍යාඥයන් මේ සඳහා යොදාගන්නේ සරලම ක‍්‍රමයක් බවයි. ක්‍ෂේත‍්‍රයේදී පවා කළ හැකි එය නම් එය වතුරට දමා බැලීමයි. නොපිළිස්සුණු මැටි සිනිඳු කුඩක් බවට වෙන්වන අතර පිළිස්සුණු මැටිවල වෙනසක් සිදුවන්නේ නැත. ඒවා පෙඟී යන නමුත් කුඩු බවට පත්නොවී පවතියි.
මෙම දුඹුරු පාට මැටි ජලයට දමනු ලැබීය. ඒවා ඉතා ඉක්මණින් සිනිඳු කුඩු බවට පත්වීය. එහි එක් සාම්පලයක් ගෑස් දැල්ලක් මගින් ටික වේලාවක් රත්කරනු ලැබීය. එහි පාට සාමාන්‍ය ගඩොල් පාටට හැරුණි. ජලයේ ගිලූණු සාම්පලයේ පාට වෙනසක් වූයේ නැත. එයින් පෙනී ගියේ මෙම මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි බවයි.
දක්‍ෂිණ ථූපයෙන් ලැබුණු මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි වලින් සමන්විතය. එම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට කිසිදු සාක්‍ෂියක් නැත. මෙයින් දැන් පෙනී යන්නේ නිදන් හොරුන් විසින් අඟුරු දමා ගිය බව (ඔවුන්ගේ ආලෝක දැල්වීම් මගින්) ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි බවයි. ඇත්තෙන්ම මෙය විය හැකිම දෙයකි.

අඟුරු ගැන


මෙම ස්මාරකය ආදාහනයක් සිදුවූ ස්ථානයක ඉදිකරන ලද්දක්ය යන නිගමනය සම්බන්ධයෙන් ගත්විට අඟුරු හමුවීම පිළිබඳ සාක්‍ෂිය හොඳින් පරීක්‍ෂාවට ලක් කිරීම අවශ්‍යය. අඟුරු හමුවූයේ දාගැබේ වේදිකාව මට්ටමේ සිට අඩි දහතුනක් යටින් බවද මතක තබාගත යුතුය. දාගැබ ගොඩනගා ඇති පදනමෙහි ඉහළම මතුපිට වන්නේ දාගැබේ වේදිකාවයි. ඒ වනවිට පොළොවේ මට්ටමේ සිට මෙයට උස ගණනය කිරීම අපහසුය.
අඟුරු හමුවූ ස්ථානයද දාගැබ ගොඩනගා ඇති පදනමෙන් සහ අත්තිවාරමෙන් ද එතරම්ම ගැඹුරුය. දාගැබ ඉදිකිරීමේදී බිම් මට්ටමෙන් යම් තරමක් යට සිට එය පටන්ගත යුතු බවද පැහැදිලිය. මෙය දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූ ස්ථානය නම් එම කටයුත්ත සිදුව තිබෙන්නේ දක්‍ෂිණ සෑයේ අත්තිවාරම පටන්ගන්නා ස්ථානය තරම් වූ කැණීමක පතුලෙහිය. එය පුදුමයට හේතුවන කරුණකි.
දැන් අපි වෙනත් ආකාරයකට කල්පනා කරමින් පවතින ලිඛිත තොරතුරු හා භූගෝලීය සාක්‍ෂි සලකා බැලීමට උත්සාහ දරමු. දුටුගැමුණු රජතුමාගේ අවසන් ප‍්‍රකාශ පිළිබඳව මහාවංශයේ සඳහන් කොටසේ පරිවර්ථනයට පරණවිතාන මහතා දෙන අර්ථ දැක්වීම මෙහිදී ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන න්‍යාය කෙරෙහි ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි.
ගිල්ගර්ගේ පරිවර්තනයට අනුව සඳහන් වන්නේ ‘‘විසිහත් වසරක් තිස්සේ මම සහෝදරත්වයට අනුශාසක වශයෙන් සිටියෙමි. එමෙන්ම මගේ දේහයද සහෝදරත්වයේ අනුශාසක වශයෙන් පවතිනු ඇත.’’ ඉන්පසුව රජතුමාගේ උපදේශය වන්නේ සංඝයා වහන්සේගේ චාරිත‍්‍රානුකූල කටයුතු කරන මාලකයේ දී ආදාහනය කරන ලෙසටය.
මෙම ප‍්‍රකාශයෙන් තේරුම් ගතයුතු වන්නේ තමන්ගේ මරණයෙන් පසුව සංඝයා වහන්සේ සමඟ සම මට්ටමෙන් සැලකිලි ලබන්නට දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූ බව සහ සංඝයා වහන්සේගේ ආදාහන කටයුතු සිදුවූ ස්ථානයේදී ආදාහනය කිරීමට එතුමාට අවශ්‍ය වූ බවයි. රජතුමාගේ වචනය අනුව එම අවමංගල්‍යය කළ බව පැහැදිලි හෙයින් එම ස්ථානය සොයාගැනීමට භූගෝලීය තොරතුරු විමසා බැලිය හැකිය.
තමා ආදාහනය කළ ස්ථානයේ හෝ භෂ්මාවශේෂ නිදන්කොට හෝ දාගබැක් ඉදිකරවන්නට රජතුමාට අවශ්‍ය වූ බව හෝ එවැන්නක් ඉදිවූ බව මහා වංශයේ කිසිදු ස්ථානයක හෝ වෙනත් තැනක හෝ සඳහන් වන්නේ නැත.

සිහිවටනය


මහාවංශයේ ඉහත කී ෙඡ්දය ආචාර්ය පරණවිතාන මහතා විසින් පරිවර්ථනය කරනු ලබන්නේ ‘‘වසර විසි හතරක් තිස්සේ මම සංඝයා වහන්සේට සහයෝගය දැක්වූවෙමි. මගේ (අජීවී) සිරුර ද සංඝයාට සහයෝගයක් වන්නට ඉඩ හරින්න. සංඝයාගේ සේවකයා වන මාගේ දේහය මහා ථූපය පෙනෙන ස්ථානයක ඇති සංඝයාගේ කම්ම මාලකයේදී දැවීමට කටයුතු කරන්න’’ වශයෙනි. මෙහිදී පාලියේහි එන ‘‘සංඝස්ස උපකාරකෝ’’ යන්න ‘‘සංඝයා වහන්සේගේ අනුග‍්‍රාහකයා’’ ලෙස (ගෙල්ගර් සහ විජේසිංහගේ පරිවර්ථනය) හෝ සංඝයාගේ උදව්කරුවකු ලෙස හෝ පරිවර්ථනය කර නැති අතර නැවත නැවත සඳහන් කරන්නේ සංඝයාට සහයෝගය දැක්වූ බවයි. එයින් අපට සිදුවන්නේ පළමුවනුව එය රූපකය වශයෙන් තේරුම් ගැනීමටත් දෙවනුව සහ ස්වභාවිකවම එය භෞතික වශයෙන් තේරුම් ගැනීමටත්ය.එමගින් අප යොමුකරනු ලබන්නේ තමන්ගේ භෂ්මාවශේෂ මත දාගැබක් හෝ සිහිවටනයක් ඉදිකිරීම මහරජතුමාට අවශ්‍ය වූ බවටය. ආචාර්ය පරණවිතාන මහතා කියන්නේ ‘‘රජතුමා මිය යන මොහොතේ දුන් මෙම උපදෙස් පිළිපදින්නට ඇති බවට සැකයක් නැති’’ බවයි.
මා කියන්නේ රජතුමාගේ එකී අවසන් ඉල්ලීමක් වන බව හා එනම් සංඝයා වහන්සේ සඳහා වෙන්වූ මළුවේ තමාගේ ආදාහනය සිදුකරන ලෙස බවයි. මෙම ඉල්ලීම නිසැකවම ඉටුකළ බව පැහැදිලිය.
රජතුමාගේ ඉල්ලීමට අනුව එතුමාගේ ආදාහන කටයුතු සිදුකළ යුතුව තුබුණේ මහා ථූපය පෙනෙන ස්ථානයකය. එනම් මහා ථූපය දැකගත හැකි ස්ථානයකය. දක්‍ෂිණ ථූපය ඇත්තේ මහා ථූපයට දකුණේ සැලකිය යුතු දුරකින් වන අතරම මහා විහාරයේ සීමාවෙන්ද පිටතය.
පරණවිතාන මහතා කියන පරිදි අද මෙම ස්ථානයට පෙනෙන්නේ මහාථූපයේ පැත්තක් පමණකි. දුටුගැමුණු රජුගේ කාලයේ මහාමේඝ වනය සාරවත්ව වැඞී තිබියදී එහි සෙවන සහිත ගස් වැවී තිබියදී උතුරු ප‍්‍රදේශය දැක ගැනීමට මීට බාධක තිබෙන්නට ඇත. එනම් මහාථූපය දිශාවේ බොහෝ බාධක තිබෙන්නට ඇත.
එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ මහින්ද හිමියන් විසින් සංඝයාට කැප කරන ලද තමxමාලකයේ නම් එහි සිට මහා ථූපය පෙනෙන්නට ඉඩක් නැත්තේ එයට උතුරු පැත්තෙන් ආසන්නයේම දේවානම් පියතිස්ස රජතුමාගේ මාළිගය පිහිටා තිබිය යුතු නිසාය. (මහාවංශය)
පරණවිතාන මහතා කියන පරිදි දුටුගැමුණු රජතුමාගේ කාලය වනවිට මෙම මාලිගය නටබුන් වී තුබූ බව පිළිගැනීම අසීරුය. එබැවින් දක්‍ෂිණ සෑය ඇති ස්ථානයේ සිට මහා ථූපය සම්පූර්ණයෙන් දකින්නට දුටුගැමුණු රජ සමයේදී හැකිවීමට ඉඩක් නැත.

සීමා


එබැවින් දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ සංඝයා වහන්සේගේ කම්ම මාලකයේ දී නම් එතුමාගේ ආදාහනය සිදුවී තිබෙන්නේ මහා විහාර සීමාව ඇතුළත විය යුතුයි. පරණවිතාන මහතාට අවශ්‍ය ආකාරයට කුමන විහාරයේ මාලකයේද යන්න මහා වශයෙන් සඳහන් නොවේ.
කෙසේ වෙතත් සෙල්ලිපිවල සඳහන් වන්නේ එයට සීමාවක් නොමැතිව හෝ සීමාවෙන් පිටත පිහිටි බවයි. (නිශ්ශංකමල්ල). කුමන සීමාවෙන් පිටතද? එය පැහැදිලිව දක්වා නැත. ගෙල්ගර් කියන්නේ ‘‘ආශ‍්‍රමයේ’’ බව හා උපුටාගත් කොටස එලෙස තේරුම් ගතයුතු බවයි.
එය එසේ නම් මෙහි දැක්වෙන ආශ‍්‍රමය විය යුත්තේ දුටුගැමුණු රජතුමාට තදින්ම බැඳී සිටි මහාථූපය වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මේ සඳහන ඒ ගැන බවට සැක නැත. කෙටියෙන් කිවහොත් මෙම ස්ථානය පිහිටියේ මහාථූපයේ ඉදිකිරීම් සීමාවට පිටතින් මිස මහා විහාර සීමාවට පිටතින් නොවේ.
එබැවින් දක්‍ෂිණ සෑය පසුව ඉදිකරන ලද්දේ දුටුගැමුණු රජතුමා ආදාහනය කරන ලද කම්ම මාලකය පිහිටි ස්ථානයේ බව පිළිගැනීමට හේතු නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් දුටුගැමුණු රජුගේ සංඝයා වහන්සේගේ කම්ම මාලකය දක්‍ෂිණ සෑයේ මහපුලි-ලා-මළුව ලෙස පිළිගත නොහැකි අතර 14වැනි සියවසේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ සඳහන් හා පරණවිතාන මහතා උපුටා දක්වන දක්‍ෂිණ සෑය මහපුල්ලා මළුව පිහිටි ස්ථානයේ ඉදිකළ බවට වන සඳහන සැක සහිතය. එබැවින් දක්‍ෂිණ සෑය ඉදිකොට තිබෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ බව පිළිගැනීම සඳහා ප‍්‍රමාණවත් ඓතිහාසික සාක්‍ෂි නොමැත.
පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සාක්‍ෂි දක්‍ෂිණ සෑය දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතැයි යන ඒ මහතාගේ න්‍යාය තහවුරු කිරීමට ආධාර වන්නේ නැත.
(1957 අපේ‍්‍රල් 4 දා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ පළවූ ලිපියකි)

පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ආර්.එච්.ඞී.සිල්වා


පරිවර්තනය - සී.ජේ. අමරතුංග
2012 සැප්තැම්බර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


ඉතිහාසය යක්‌කු කයිද බලධාරි බබ්බු දොයිද



සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම පාරේ සිට මෙම තැනට මීටර් හාර පන්සියයක්‌ ඇත. දැන් අපගේ යතුරුපැදි ගමන් කරන්නේ වී වගාවට බිම සැකසූ කුඹුරු හා නියරවල් උඩින්ය. බයිසිකල් දෙකම ආපු පැත්තට හරවලා තියන්න. තව ටිකෙන් අලි මෙතනට එනවා. ඈතින් අලින්ගේ කුංචනාදයක්‌ ඇසුණු සමන් පැවසීය.

කෝ කොතැනද ඩෝසර් කරපු දාගැබ තියෙන්නේ යනුවෙන් මම ඔවුන්ගෙන් විමසද්දී වී වගාවට තැනූ ලියෑදිවල නියර උඩින් ඔවුන් මා කැටුව මදක්‌ ඉදිරියට යන ලදී. අඩි දෙක තුනක්‌ උසට සැදූ නියරවල තිබුණේ ඉපැරැණි විවිධාකාර හැඩවලින් යුක්‌ත ගඩොල්ය. මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ සමන් පැවසීය. මාහට ඇස්‌ අදහාගත නොහැකිය. වසර සිය දහස්‌ ගාණක ඈත අතීතයේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ මුවින් නික්‌මුණු ධර්මය ශ්‍රවණය කරන එකල බොදු ජනතාව සාධු නාදයෙන් වන්දනා මාන කරන්නට ඇති දාගැබ් වහන්සේ හොරු අරගෙන ගොස්‌ ඇතිසේය. එය සිත්පිත් නැති මිනිසුන්ගේ ඩෝසර්වල තලයට හසුව ටිකෙන් ටික තල්ලු වී ගොස්‌ මුළුමනින්ම බිමටම සමතලා වී තිබිණි. ඒ දුටු අප දැඩි තිගැස්‌සීමට හා දැඩි වේදනාවකට පත්වුණි. මෙලෙස විනාශව ගොස්‌ ඇත්තේ හෙට දිනයේ පරපුරට දැකගන්නට තිබෙනා අපේ ඉතිහාසය නොවේදැයි අපට සිතුණි. 

මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ. මේ තියෙන්නේ බිම තිබ්බ ගඩොල් කැට ත්‍යාගරාජා අපට පැවසීය. එක්‌ පසෙක කඩා බිඳ දැමූ ගල් කරුවෙකි. දාගැබේ තිබූ විවිධ හැඩයේ ඉපැරැණි ගඩොල් තැන් තැන්හි විසිරී ඇත. මෙහි තිබුණු පස්‌ හා ගඩොල් යොදා නියරවල් සකසා වී වගාවට ලියෑදි 02 ක්‌ සකසා ඇත. දාගැබ්හි ධාතුන් තැන්පත් කර වසා දමා තිබුණායෑයි සිතිය හැකි ගඩොලින් සහ බදාමයෙන් සකස්‌ කළ පුවරුවක්‌ද දාගැබ තිබූ ස්‌ථානයේ සිට මීටර් 50 කට අධික දුරකට රැගෙන ගොස්‌ දමා තිබිණි. එම සෑරදුන් අසලින් ඉහළට එසවී තිබුණු තල්ගස්‌ දෙකද ඩෝසරයේ පහරින් ඉදිරී බිමට වැටී එකක්‌ නියරකට දමා ඇත. අනෙකද ඈතට ගොස්‌ දමා ඇත. තවත් කෙතරම් නම් ඉපැරැණි උරුමයන් මෙලෙස ඩෝසර් පාරට හසුව විනාශයට පත්වන්නට ඇත්ද? තවත් කෙතරම් නම් ප්‍රමාණයක්‌ මිනිසාගේ දෙනෙතින් වසන් කරලන්නට මෙම පස්‌ තලාවට ඔවුන් යටකරලන්නට ඇත්දැයි අපට ඒවා දකිද්දී සිතිනි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් වන අක්‌කරපත්තුව පදිංචි එච්. සමන් මහතා "දිවයින"ට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම පසුගිය 31 වැනිදා පෝය දිනයේ මෙම මොට්‌ටයාගල දාගැබ අසලට පැමිණ ඡායාරූප ලබාගත්තා. නමුත් ඊට දින 03 කට පමණ පසුව මෙම ස්‌ථානයෙන් යනවිට මම දැක්‌කා මෙම ස්‌ථානයේ තිබ්බ තල්ගස්‌ නොමැති බව. මම බයිසිකලය නතර කර බලද්දී මට පෙනුණ මෙතන ඩෝසර් කරලා තිබෙන අයුරු. මමත් ත්‍යාගරාජාත් දෙදෙනා ඒ වෙලේ එතනට ගොස්‌ බලද්දී තමයි අහස පොළොව නුහුලන මෙම මහා විනාශය සිදුකර තිබෙන අයුරු දුටුවේ. පස්‌සේ 119 දුරකථන අංකයෙන් අම්පාර පුරාවිද්‍යා පොලිසියටත් දැනුම් දුන්නා. පස්‌සේ අක්‌කරපත්තු=ව පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් මාව මුණගැසී මාත් සමග මොට්‌ටයාගල මෙම ස්‌ථානයට පැමිණියද කළුවර වැටී තිබුණු නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කරන්න බැරිවුණා. මට පසුදා අක්‌කරපත්තුව පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ දාන්න කීවා. මම පසුවදා ගිහින් පැමිණිල්ලක්‌ දාන්න හදද්දී ඊට පසුවදා ජනාධිපතිතුමා අක්‌කරපත්තුවට එන නිසා පොලිසියේ නිලධාරීන් විවිධ වැඩ නිසා මට පැමිණිල්ලක්‌ දාන්න බැරි වුණා.

අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා. නමුත් දිගාමඩුළු පුරවරයේ තිබෙන මෙම උරුමයන් අපි රැකගන්න ක්‍රියා කළහොත් ඒවාට නොදෙවෙනි උරුමයන් අම්පාරේ තිබෙන බව ලෝකයට පෙන්වන්න පුළුවන්. මේවා ත්‍රස්‌තවාදී කලබල සමයේදීවත් විනාශ වුණේ නැහැ. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේවා ඒ කාලෙත් රැකීමට කටයුතු කළා. මිනිසුන්ද කොටින්ට බයේ වනාන්තරවලට නොයැම නිසාද මේවා ආරක්‍ෂිත වුණා. මේවා අතීත බෞද්ධ උරුමයන්. සද්ධාතිස්‌ස රජ කාලේ මේවා අස්‌වැද්දුවේ ඒකාලේ සිංහලයෝ. නමුත් මේවා සිංහලයෝ කළා කියලා කිසිම අයිතියක්‌ මෙහේ දැන් ඉතිරි වෙලා නැහැ. අක්‌කරපත්තුවේ බොහෝ සිංහල අය පසුගිය කොටි කලබල සමයේ මෙහෙන් ගොස්‌ නැවත යුද්ධය නිමාවීමෙන් පසුයි පැමිණියේ.

දැන් අපි මෙහි සිටින සිංහල පවුල් 100 ක්‌ එකතුකොට අක්‌කරපත්තුව සිංහල සංවිධානය පිහිටුවා මෙහි සිංහල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට සමිතියේ සභාපති වන ධනපාල මහතාත් සමග කටයුතු කරමින් සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර අතීත උරුමයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉපැරැණි පුරාවස්‌තූන් වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙන ලෙසයි යනුවෙන් සමන් මහතා වැඩිදුරටත් "දිවයින"ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුන්ගේ වුවද ජාති භේද තුළ භේද නොමැතිව තමුන්ගේ සියලුම අතීත උරුමයන් රැකගත යුතුව ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අම්පාර මානව හිමිකම් සංවිධානයේ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ එන්. ත්‍යාගරාජා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය. 

මෙය මුස්‌ලිම් කෙනෙක්‌ කළ බවට තහවුරු වෙනවා. කාගේ වුවත් ආගමකට ගරුකළ යුතුයි. ඕනෑම ආගමක හෝ ජාතියක උරුමයන් රැකිය යුතුයි. නමුත් මේ වාගේ බෞද්ධ උරුමයන් විනාශවීම නවතාලිය යුතුය. නැගෙනහිර පළාතේ සිංහල දෙමළ උරුමය විනාශ වී යනවා. සිංහල දෙමළ ගම්බිම් විනාශ වී යනවා. මින් ඉදිරියටත් ජනාධිපතිතුමා හරහා මෙවැනි විනාශයන් සිදුවීම වැළැක්‌වීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොට්‌ටයාගල පුදබිමට කර තිබෙන හානිය දකිද්දී ඉමහත් වේදනාවක්‌ ඇතිවෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අපි මේවා ආරක්‍ෂා කළයුතුව ඇතැයි එන්. ත්‍යාගරාජා මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

මෙම මොට්‌ටගල කල්ලු ඉපැරැණි පුදබිම ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට පැවත එන බවට විවිධ වූ සාක්‍ෂි ඇත. ඇතැමුන් මෙයට මොට්‌ටියාකල්ලු, මොට්‌ටියාවල යන නම්වලින්ද හඳුන්වති. මෙහි අදට දක්‌නට ඇති මහඟු උරුමයන් අතීතයේ පැවැති ශ්‍රී විභූතියට කදිම සාක්‍ෂියකි. මෙහි එක්‌ පසෙක ගල් පර්වතයේ අර්ධ උන්නති රූපයකි. එකිනෙක පිරී ඉතිරී යන පොකුණු සංකීර්ණයකි. කටාරම් කෙටූ ලෙන් සහිත වටිනා සෙල්ලිපි හා විවිධ පුරාවිද්‍යා නටබුන් මෙම මොට්‌ටයාකුලම් පර්වතය පුරා විසිරී ගොස්‌ ඇති අතර ඒවායෙන් පෙනෙන්නේ එකල මෙහි තිබූ සමෘද්ධිමත් සශ්‍රීක වූ ජන ජීවිතය පිළිබඳ තොරතුරුය.

පුරාවිද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙම ස්‌ථානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසූහ.

මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්‌ත පුදබිමේ මහානාග යුව රජුගේ සිට යඨාලතිස්‌ස, ගෝඨාභය, කාවන්තිස්‌ස යන රජවරුන්ගේ තොරතුරු සඳහන් සෙල්ලිපි රැසක්‌ තිබෙනවා. 

මෙහි ආරම සංකීර්ණයක්‌ මෙන්ම එකිනෙක ජලය පිරි හෝ ජලය එකතු වන පොකුණු සංකීර්ණයක්‌ද තිබෙනවා. ඊට අමතරව විවිධ නටබුන් රැසක්‌ පවතිනවා. මේ වන විට මේවාට මේ දිනවල විවිධ තර්ජන එල්ලවෙමින් විනාශව ගොස්‌ ඇතැයිද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් "දිවයින" කළ විමසීමේදී අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ වනවිටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන මෙම පුදබිමේ ඇතැම් තැන්වල නිධන් හොරුන් විසින් නිධන් ගත් ස්‌ථාන මෙන් කඳු මුදුනේ ඇති ගරා වැටුණ ස්‌ථූපයේද නිධන් සෙවීමට හාරා තිබේ. 

ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට සශ්‍රීකත්වයට හා ජනාවාසයට පත්වූ බවට කදිම සාක්‍ෂියක්‌ වන මොට්‌ටයාකල්ලු සෙල්ලිපි හා නටඹුන් කදිම සාක්‍ෂියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් පරණවිතාණ මහතාගේ IMSCRITTION OF CYLON PART II නම් ග්‍රන්ථයේ 487 වැනි සෙල්ලිපියෙහි මෙම දස භානිකයන් ගැන සඳහන් වෙති. එම සුවිශේෂි සෙල්ලිපිය මොට්‌ටයාකල්ලු පර්වතයේ පිහිටා ඇත.

දශභතික - රනජධ වක - ණය උපරජධ නාග උපරජධ නගහ මරුවකනකේ මහ පශදිග අභය රජධහ පුතෙ ගමිණි තිසහ විහරෙ අගත අනගත වේකු සගශ නියතෙ.

මොට්‌ටයාගාකල්ලු සෙල් ලිපියේ ක්‍රි. පූ. 3 හා 1 සියවස්‌ වලට අයත් යෑයි සිතන පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් යුතු මෙම ගිරි ලිපියෙහි මෙසේ කියෑවේ.

දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂ්ත්‍රියන්ගේ පරම්පරාව විය හැකිය) උපතැර නාග නාග නම් රජ කෙනෙක්‌ ගමිනිතිස විහාරය කරවා පැමිණි නොපැමිණි පූජා කළ බව මෙයින් කියවේ. 

මෙම දසභානියන් සම්බන්ධ ගිරි ලිපිය නිසා මෙම ස්‌ථානයේ ඓතිහාසික බව ක්‍රි. පූ. 3 වැනි සියවස හෙවත් මහින්දාගමනය සිදුවූ වකවානුව දක්‌වා ඈතට දිවයයි. දසභානිකයන් පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් කියෑවුණ අතර එය පුරාවිද්‍යා මූලාශ්‍රයකින් සනාථ වන අවස්‌ථාවක්‌ ලෙස මෙම මොට්‌ටකල්ලු ගිරි ලිපිය සුවිශේෂී වේ.

මෙම දසභානිකයන් මහාවංශය ප්‍රමුඛ සාහිත්‍ය මූලාශවල සඳහන් කතරගම ක්‍ෂ්ත්‍රියන් හෙවත් දසබෑ රජවරුන් ලෙස හඳුනාගත හැකිය. මෙම දසභානික පරම්පරාව දේවානම් පියතිස්‌ස රජ සමය දක්‌වා දිවෙන බව සාහිත්‍ය මූලාශ වලින් කියෑවේ. ඒ අනුව බලන කල මෙම ස්‌ථානය ඉතාම සුවිශේෂි සෙල්ලිපි වලින් ග්‍රහණය.

මෙවන් වටිනා උරුමයන් සහිත ඉපැරැණි පුදබිමක්‌ වන මෙම මොට්‌ටයාකල්ලු පුද බිමේ පිහිටි ස්‌ථූපයට වූ හානියම මෙවන් සුවිශේෂී ඉතිහාසයත් සමගින් මෙතෙක්‌ විරාජමානව සිටින මෙම මහා කළු ගල් පර්වතය හෙට දිනයේ ඉතිහාසය වළදමන්නට උත්සහා දරන නරුමයෙක්‌ ගල්කොරියක්‌ දමා විනාශ කළද නිලධාරීන් නිහඬව සිටීමට ඉඩ තිබේ. දීඝවාපිය කොටිගල පුරාවිද්‍යා ස්‌මාරකයන් වන අතර එයද මේ වන විටත් ගල්කොරියක්‌ දමා විනාශ කර අවසන්ය. මඩකලපුව කුසලානගල ඇති ඉපැරැණි සෙල්ලිපි හා උරුමයන් සහිත ගල්කුළු රැසකට මේ වනවිට විවිධ හානි සිදුවෙමින් තිබේ. ඇතැමුන් මෙම පුරාවස්‌තු විනාශ කරන්නේ නීත්‍යානුකූල බලපත් රැගෙනය. එය එසේ කරන තෙක්‌ බලධාරීන්ද නිහඬය. මෙම මුස්‌ලිම් ප්‍රදේශවල සීගිරිය තිබුණා නම් එයටද ගල් මෝලක්‌ දමන්නට අවශ්‍ය අවසරපත් ලබාදීමට මෙම ප්‍රදේශවල සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු නොඅනුමානය.

දීඝවාපිය පුදබිම ආශ්‍රිතව තිබුණු ස්‌ථූප රැසක්‌ මේ අයුරින් ඩෝසර් පහරට නතුව නැතුව විනාශව ගොස්‌ ඇත. මේ අයුරින් නැගෙනහිර පුරාවස්‌තු සංහාරය දිගින් දිගටම සිදුවෙමින් තිබේ. ඇතැමුන් ගල් කණුවක්‌ දුටුවත් සැනෙකින් එයට කුළුගෙඩි පහරදී විනාශ කරන්නට තරම් සැහැසි වී තිබේ. එම නිසා මේවා රකින්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඇතිකර ආකල්පමය වෙනස්‌කමක්‌ ඇති කිරීමට කාලය පැමිණ ඇත. 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය තෙක්‌ ඉතිහාසය විෂයක්‌ සමග පුරාවිද්‍යාවද විෂයන් වශයෙන් සිසුන්ට ඉගැන්වීම තුළින් මෙවැනි උරුමයන් රැකීමේ වටිනාකම මැනවින් බාල පරම්පරාවට අවබෝධ කිරීමට දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි පුරා විද්‍යා උරුමයට ලැදි අය පවසති. ජනාධිපතිතුමනි, නැගෙනහිර පුරාවිද්‍යා උරුමය අනතුරේ බවත් එසේ කරනා අයට දැඩි දඬුවම් දියයුතු බවත් අපි ඔබට අවධාරණය කරනු කැමැත්තෙමු.

විශේෂ ස්‌තුතිය - බුද්ධි නාගොඩවිතාන මහතාට
සුසන්ත අමරබන්දු
2012 සැප්තැම්බර් 16 ඉරිදා දිවයින