ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දක්ෂිණ ථූපය දුටුගැමුණු සොහොන නොවේ

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය හා ඉසුරුමුණිය අතර කුරුණෑගල පාරේ දකුණු පසට වන්නට දක්‍ෂිණ ථූපය පිහිටා ඇත. මෙය එළාර සොහොන ලෙස ප‍්‍රසිද්ධ වී ඇතත් එච්.සී.පී බෙල් මහතා කරුණු දැක්වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ දාගබ විය යුතු බවටයි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ කැණීම්වලදී හමුවූ ශිලා ලේඛණයක සඳහන් වූයේ මෙය දක්‍ෂිණ විහාරයේ චෛත්‍ය බවයි. බෙල් මහතාගේ අදහස එයින් තහවුරු විය.
ආචාර්ය පරණවිතාන මහතා කළ වැඩිදුර පරීක්‍ෂණ වලින් පසුව ඔහුගේ විශ්වාසය වූයේ දක්‍ෂිණ ථූපය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ ඉදිකරන ලද්දක් බව සහ ඒ අනුව එය දුටුගැමුණ සොහොන මිස ප‍්‍රාදේශීය ජනප‍්‍රවාදයේ ලෙස එළාර සොහොන නොවන බවයි. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා 1948, 67 සහ 68 පිටු). ඇත්ත වශයෙන්ම අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සකස් කළ නාම පුවරුවේ මෙම ස්ථානය දැක්වෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය වශයෙනි.
මෙම මතය තහවුරු කිරීම සඳහා පරණවිතාන මහතා ඉදිරිපත් කළ සාක්‍ෂි වන්නේ (I) දක්‍ෂිණ ථූපය ආදාහනයක් කළ ස්ථානයක බොහෝවිට දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතිබව දැක්වෙන සාක්‍ෂි සහ (II) දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය හා දක්‍ෂිණ ථූපය ඇති ස්ථානය එකක් බව ලිපි ලේඛන මගින් හඳුනාගැනීමයි.

විවාදය


දැන් අපි මෙම එක් එක් තර්කය ගෙනහැර බලමු. දක්‍ෂිණ විහාරය ඉදිකරන ලද්දේ වට්ට ගාමිණී අභය රජුගේ දොළොස් මසක පාලනය (දෙවන වාරය) කාලයේදීය. එනම් දුටුගැමුණු රජුගේ අභාවයෙන් වසර පනහකටත් වැඩි කාලයක් ගතවූ පසුවය. එබැවින් දක්‍ෂිණ විහාරයේ චෛත්‍යද ඉදිකරන්නට ඇත්තේ දුටුගැමුණු රජු ආදාහනයෙන් වසර පනහකට වැඩි කාලයක් ගතවූ පසුවය.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ මෙම අතරමැදි කාලයේ යම් සිහිවටනයක් තුබුනේද? පරණවිතාන මහතා කියන්නේ මෙම ශ්‍රේෂ්ඨ රජතුමාගේ ආදාහනයෙන් පසුව එම ස්ථානයේ කුඩා සිහිවටනයක් ඉදිකර තිබෙන්නට ඇති බවයි. (පුරාවිද්‍යා වාර්තාව, 1948 පිට 73). එය එසේ නම් (දුටුගැමුණු රජතුමාට එවැන්නක් ඉදිකිරීමේ විශේෂිත වුවමනාවක් නොවූ බව සටහන් කළ යුතුය) එවැන්නක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් නොවීම අස්වාභාවිකය. පරණවිතාන මහතා කියන්නේ මහාවංශය ‘‘ඓතිහාසික සම්ප‍්‍රදාය තුළ සැලකිය යුතු නිරවද්‍යතාවකින් යුතුවන’’ බවයි. (1948 වාර්තාව 48 පිටුව)
දක්‍ෂිණ ථූපය තුබූ ස්ථානයේ කුඩා හෝ සිහිවටනයක් තුබූ බවට වෙනත් කිසිදු සාක්‍ෂියක් හමුවී නැත. නිධන් හාරන්නන් විසින් පැත්තකින් කපා තිබුණු දාගබේ මැද හරහා යන කැපුමෙන් ලැබෙන සාක්‍ෂි එහි පෙර තුබූ සිහිවටනයක් වේ නම් ඒ ගැන දැනගැනීමට  ඕනෑතරම් ප‍්‍රමාණවත්ය. එසේ වුවද එවැනි සාක්‍ෂි කිසිවක් හමුවී නැත.
1948 වසරේද  දක්‍ෂිණ ථූපයේ කළ කැණීම්වලදී අඟුරු කෑලි සහ මැටි ගුලි හමුවී තිබේ. මේවා බොහෝ තැන්වල හමුවිය හැකි දේවල් නිසා ඉතිහාසය ගැන නැවත සොයාබලන පුරා විද්‍යාඥයකුට එයින් එතරම් ප‍්‍රයෝජනයක් නැත.
අපරාධයක් ගැන දැනගැනීම තොරතුරු තුබූ පමණින් සිදු නොවන බව කියති. පරීක්‍ෂකයා වැඩකට නැති තොරතුරක් ලෙස පෙනෙන දෙයක් වැදගත් සාක්‍ෂියක් බවට පත්කර ගනිමින් අපරාධය සිදුවූ ආකාරය එයින් සොයාගන්නට හැකියාව ඇත. එලෙසම පුරාවිද්‍යාඥයකුද කළයුතු වන්නේ තමන් සතු තොරතුරු විද්‍යාත්මක ලෙස සලකා බලා එයින් අතීතය පිළිබඳව සැබෑ චිත‍්‍රයක් ගෙඩනගා ගැනීමයි.
පරණවිතාන මහතා ඉහත කී තොරතුරු ගෙන කියන්නේ එයින් එම ස්ථානයේ ආදාහනයක දී ඇතිවන ආකාරයේ මහා ගින්නක් ඇතිවූ බවට සාක්‍ෂි වන බවයි.

සාක්‍ෂි


අඟුරු හමුවීමේ සාක්‍ෂිය ගැන අපි සලකා බලමු. කොතරම් අඟුරු ප‍්‍රමාණයක් හමුවූවාද එම තට්ටුවේ ඝනකම කුමක්ද යන කාරණා ගැන අපට දැනගන්නට නැත. සොයාගත් දෑ විස්තර කොට ඇත්තේ ‘‘පරිපීඩිත අඟුරු තට්ටුවක කොටස් රාශියක්’’ වශයෙනි. එහි පරණවිතාන මහතා වැඩිදුරටත් කියන්නේ ‘‘ආවාටය හෑරූ පසුව එතරම් ගැඹුරු ස්ථානයක ගින්නක් අවුළුවා ගැනීමට වෙනත් සිතාගත හැකි හේතුවක් නැත’’ යනුවෙනි. එහි තේරුම නම් මෙම ආවාටය නිධන් හොරුන් විසින් හාරා ඇති බවයි.
මා කියන්නේ නිසැකවම රාත‍්‍රී කාලයේ සිදුකළ නිධන් සෙවීමකදී ආලෝකය ලබාගැනීම සඳහා මෙම ගින්න අවුළුවාගෙන ඇති බවයි. පරණවිතාන මහතා අවධාරණය කරන්නේ හානි වී නැති ගඩොල් තට්ටුවලට පහත ස්ථානයකින් අඟුරු හමුවූ බවයි. එයින් අපට නිගමනය කරන්නට යොමුවන්නේ මෙම අඟුරු නිධන් හොරුන් විසින් දමාගිය ඒවා නොවන බවයි.
කෙසේ වෙතත් මා අවධාරණය කරන්නේ මෙම අඟුරු හමුවී ඇත්තේ හානිවී නැති ගඩොල් තට්ටුවලට යන්තම් පහත ස්ථානයකින් නොවන බවත් හානි වූ ගඩොල් තට්ටුවලට යටින් තවත් ගැඹුරු ස්ථානයකින් බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් කරන ලද්දේ පැරණි කැනීමක් අනුගමනය කරමින් වන නිසා එම පැරණි කැනීම් සිදුකළ අය අඟුරු දමා යාමේ හැකියාවක් ඇත.
සිහිවටනය ඉදිකරන්නට පෙර ගින්න (ආදාහනයේ ගින්න) ඇතිවූ බව විශ්වාස කරන පරණවිතාන මහතා කියන්නේ දාගැබ ඉදිකළ පසුව ගින්නක් ඇතිවූවා නම් එයින් දාගැබේ බිත්තිවලටද බලපෑම් විය යුතු බවයි. එබඳු කිසිදු ලකුණක් නැති බව ඔහු කියයි.
එසේ වුවද අඟුරු හමුවී තිබෙන්නේ දාගැබේ හානි නොවූ ගඩොල් බිත්තිවල පහතම තට්ටුවට වඩා අඩි විසිපහක් පහත ස්ථානයකින්ය. (දක්‍ෂිණ ථූපයේ කැණීම්වල සැලැස්ම) මෙම හානි නොවූ ගඩොල් බිත්තිවලට යට ස්ථානයක විශාල ගින්නක් ඇතිව තිබීමේ හේතුව කුමක්ද?
එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ කැණීමේ මුදුනේදී එහි පළල අඩි දහසයක් වූ අතර අඟුරු හමුවූ ගැඹුරු ස්ථානයට යනවිට එහි පළල අඩි අටක් හෝ ඊට අඩු වීය. මෙම කැණීමේ වටේ බිත්ති ඊට පෙර නිධන් හොරුන් විසින් කරන ලද විශාල කැණීම පිරීම නිසා සකස් වූ එතරම් සවිමත් නැති පස් තට්ටුවලින් සැකසී තිබිය හැකිය.
යම්කිසි ගින්නක් අවුළුවා තුබුණද මෙම තත්ත්වය මත මෙම කුඩා කැණීමේ පැති බිත්තිවලින් එබඳු ගින්නක් පිළිබඳ සලකුණු ලැබේයැයි පරණවිතාන මහතාට අපේක්‍ෂා කළ හැක්කේ කෙසේද? ඒ කෙසේ වෙතත් නිෂ්පාදනයේදී එක් වරක් පිළිස්සී ඇති ගඩොල් තවත් ගින්නකින් තවත් වරක් පිළිස්සෙන්නේ කෙළෙසකද?

මැටි ගැන


දැන් අපි මැටි කුට්ටි පිළිබඳව බලමු. හමුවූ දෙය විස්තර කර ඇත්තේ ‘‘ගඩොල්වල වැඩියෙන් පිළිස්සුණු කැබලි වැනි යබොර ආකාරයට දැවුණු මැටි කුට්ටි’’ වශයෙනි. මෙම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට පරණවිතාන මහතා නිගමනය කිරීමට මෙම සොයාගැනීමද හේතුවකි.
සාමාන්‍ය පාඨකයාගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මැටි වියළි තත්ත්වයේදී සවිමත් හා අතිශයින් සවිමත් විය හැකි ද්‍රව්‍යයක් වන අතර කුට්ටි සෑදෙන බවයි. එසේ වුවත් තෙත් වනවිට එය නම්‍යශීලී තත්ත්වයට පත්වෙයි. එසේ වූත් මැටි පිළිස්සුණු විට එහි ගුණය වෙනස් වෙයි. හිරු එළියෙන් වියළී ගිය මැටි හා උඳුනක දැමීමෙන් හෝ ගින්නකින් දැවීමෙන් සවිමත්වූ මැටි වෙන්කර හඳුනාගැනීම ඇතැම් භෞතික, රසායනික සහ පාෂාණ විද්‍යා පරීක්‍ෂණ කිහිපයක් මගින් කළ හැකිය. පුරා විද්‍යාඥයන් අතර ප‍්‍රචලිතව ඇත්තේ සරලම ක‍්‍රමයකි.
වැඩියෙන් පිළිස්සුණු විට තද වර්ණයට හැරුණද පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි හඳුනාගැනීම වර්ණය මගින් සිදුකළ නොහැකිය. නොපිළිස්සුණු වියළි මැටි ඉතා සවිමත් විය හැකිය. වියැළී ගිය කුඹුරක හෝ වැවක හෝ පාවහන් රහිතව ඇවිද ගිය අයකුට එහි අපහසුව විඳගත හැකිය.
පිළිස්සුණු හා නොපිළිස්සුණු මැටි වෙන්කර හඳුනාගැනීම සඳහා දෘඩ බව යොදාගත නොහැකිය. එය පිටුපස ඇති න්‍යාය ගැන කීමට වෙහෙසෙන්නේ නැතිව කිව හැක්කේ පුරාවිද්‍යාඥයන් මේ සඳහා යොදාගන්නේ සරලම ක‍්‍රමයක් බවයි. ක්‍ෂේත‍්‍රයේදී පවා කළ හැකි එය නම් එය වතුරට දමා බැලීමයි. නොපිළිස්සුණු මැටි සිනිඳු කුඩක් බවට වෙන්වන අතර පිළිස්සුණු මැටිවල වෙනසක් සිදුවන්නේ නැත. ඒවා පෙඟී යන නමුත් කුඩු බවට පත්නොවී පවතියි.
මෙම දුඹුරු පාට මැටි ජලයට දමනු ලැබීය. ඒවා ඉතා ඉක්මණින් සිනිඳු කුඩු බවට පත්වීය. එහි එක් සාම්පලයක් ගෑස් දැල්ලක් මගින් ටික වේලාවක් රත්කරනු ලැබීය. එහි පාට සාමාන්‍ය ගඩොල් පාටට හැරුණි. ජලයේ ගිලූණු සාම්පලයේ පාට වෙනසක් වූයේ නැත. එයින් පෙනී ගියේ මෙම මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි බවයි.
දක්‍ෂිණ ථූපයෙන් ලැබුණු මැටි කුට්ටි නොපිළිස්සුණු මැටි වලින් සමන්විතය. එම ස්ථානයේ ප‍්‍රබල ගින්නක් ඇතිවූ බවට කිසිදු සාක්‍ෂියක් නැත. මෙයින් දැන් පෙනී යන්නේ නිදන් හොරුන් විසින් අඟුරු දමා ගිය බව (ඔවුන්ගේ ආලෝක දැල්වීම් මගින්) ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි බවයි. ඇත්තෙන්ම මෙය විය හැකිම දෙයකි.

අඟුරු ගැන


මෙම ස්මාරකය ආදාහනයක් සිදුවූ ස්ථානයක ඉදිකරන ලද්දක්ය යන නිගමනය සම්බන්ධයෙන් ගත්විට අඟුරු හමුවීම පිළිබඳ සාක්‍ෂිය හොඳින් පරීක්‍ෂාවට ලක් කිරීම අවශ්‍යය. අඟුරු හමුවූයේ දාගැබේ වේදිකාව මට්ටමේ සිට අඩි දහතුනක් යටින් බවද මතක තබාගත යුතුය. දාගැබ ගොඩනගා ඇති පදනමෙහි ඉහළම මතුපිට වන්නේ දාගැබේ වේදිකාවයි. ඒ වනවිට පොළොවේ මට්ටමේ සිට මෙයට උස ගණනය කිරීම අපහසුය.
අඟුරු හමුවූ ස්ථානයද දාගැබ ගොඩනගා ඇති පදනමෙන් සහ අත්තිවාරමෙන් ද එතරම්ම ගැඹුරුය. දාගැබ ඉදිකිරීමේදී බිම් මට්ටමෙන් යම් තරමක් යට සිට එය පටන්ගත යුතු බවද පැහැදිලිය. මෙය දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූ ස්ථානය නම් එම කටයුත්ත සිදුව තිබෙන්නේ දක්‍ෂිණ සෑයේ අත්තිවාරම පටන්ගන්නා ස්ථානය තරම් වූ කැණීමක පතුලෙහිය. එය පුදුමයට හේතුවන කරුණකි.
දැන් අපි වෙනත් ආකාරයකට කල්පනා කරමින් පවතින ලිඛිත තොරතුරු හා භූගෝලීය සාක්‍ෂි සලකා බැලීමට උත්සාහ දරමු. දුටුගැමුණු රජතුමාගේ අවසන් ප‍්‍රකාශ පිළිබඳව මහාවංශයේ සඳහන් කොටසේ පරිවර්ථනයට පරණවිතාන මහතා දෙන අර්ථ දැක්වීම මෙහිදී ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන න්‍යාය කෙරෙහි ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි.
ගිල්ගර්ගේ පරිවර්තනයට අනුව සඳහන් වන්නේ ‘‘විසිහත් වසරක් තිස්සේ මම සහෝදරත්වයට අනුශාසක වශයෙන් සිටියෙමි. එමෙන්ම මගේ දේහයද සහෝදරත්වයේ අනුශාසක වශයෙන් පවතිනු ඇත.’’ ඉන්පසුව රජතුමාගේ උපදේශය වන්නේ සංඝයා වහන්සේගේ චාරිත‍්‍රානුකූල කටයුතු කරන මාලකයේ දී ආදාහනය කරන ලෙසටය.
මෙම ප‍්‍රකාශයෙන් තේරුම් ගතයුතු වන්නේ තමන්ගේ මරණයෙන් පසුව සංඝයා වහන්සේ සමඟ සම මට්ටමෙන් සැලකිලි ලබන්නට දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූ බව සහ සංඝයා වහන්සේගේ ආදාහන කටයුතු සිදුවූ ස්ථානයේදී ආදාහනය කිරීමට එතුමාට අවශ්‍ය වූ බවයි. රජතුමාගේ වචනය අනුව එම අවමංගල්‍යය කළ බව පැහැදිලි හෙයින් එම ස්ථානය සොයාගැනීමට භූගෝලීය තොරතුරු විමසා බැලිය හැකිය.
තමා ආදාහනය කළ ස්ථානයේ හෝ භෂ්මාවශේෂ නිදන්කොට හෝ දාගබැක් ඉදිකරවන්නට රජතුමාට අවශ්‍ය වූ බව හෝ එවැන්නක් ඉදිවූ බව මහා වංශයේ කිසිදු ස්ථානයක හෝ වෙනත් තැනක හෝ සඳහන් වන්නේ නැත.

සිහිවටනය


මහාවංශයේ ඉහත කී ෙඡ්දය ආචාර්ය පරණවිතාන මහතා විසින් පරිවර්ථනය කරනු ලබන්නේ ‘‘වසර විසි හතරක් තිස්සේ මම සංඝයා වහන්සේට සහයෝගය දැක්වූවෙමි. මගේ (අජීවී) සිරුර ද සංඝයාට සහයෝගයක් වන්නට ඉඩ හරින්න. සංඝයාගේ සේවකයා වන මාගේ දේහය මහා ථූපය පෙනෙන ස්ථානයක ඇති සංඝයාගේ කම්ම මාලකයේදී දැවීමට කටයුතු කරන්න’’ වශයෙනි. මෙහිදී පාලියේහි එන ‘‘සංඝස්ස උපකාරකෝ’’ යන්න ‘‘සංඝයා වහන්සේගේ අනුග‍්‍රාහකයා’’ ලෙස (ගෙල්ගර් සහ විජේසිංහගේ පරිවර්ථනය) හෝ සංඝයාගේ උදව්කරුවකු ලෙස හෝ පරිවර්ථනය කර නැති අතර නැවත නැවත සඳහන් කරන්නේ සංඝයාට සහයෝගය දැක්වූ බවයි. එයින් අපට සිදුවන්නේ පළමුවනුව එය රූපකය වශයෙන් තේරුම් ගැනීමටත් දෙවනුව සහ ස්වභාවිකවම එය භෞතික වශයෙන් තේරුම් ගැනීමටත්ය.එමගින් අප යොමුකරනු ලබන්නේ තමන්ගේ භෂ්මාවශේෂ මත දාගැබක් හෝ සිහිවටනයක් ඉදිකිරීම මහරජතුමාට අවශ්‍ය වූ බවටය. ආචාර්ය පරණවිතාන මහතා කියන්නේ ‘‘රජතුමා මිය යන මොහොතේ දුන් මෙම උපදෙස් පිළිපදින්නට ඇති බවට සැකයක් නැති’’ බවයි.
මා කියන්නේ රජතුමාගේ එකී අවසන් ඉල්ලීමක් වන බව හා එනම් සංඝයා වහන්සේ සඳහා වෙන්වූ මළුවේ තමාගේ ආදාහනය සිදුකරන ලෙස බවයි. මෙම ඉල්ලීම නිසැකවම ඉටුකළ බව පැහැදිලිය.
රජතුමාගේ ඉල්ලීමට අනුව එතුමාගේ ආදාහන කටයුතු සිදුකළ යුතුව තුබුණේ මහා ථූපය පෙනෙන ස්ථානයකය. එනම් මහා ථූපය දැකගත හැකි ස්ථානයකය. දක්‍ෂිණ ථූපය ඇත්තේ මහා ථූපයට දකුණේ සැලකිය යුතු දුරකින් වන අතරම මහා විහාරයේ සීමාවෙන්ද පිටතය.
පරණවිතාන මහතා කියන පරිදි අද මෙම ස්ථානයට පෙනෙන්නේ මහාථූපයේ පැත්තක් පමණකි. දුටුගැමුණු රජුගේ කාලයේ මහාමේඝ වනය සාරවත්ව වැඞී තිබියදී එහි සෙවන සහිත ගස් වැවී තිබියදී උතුරු ප‍්‍රදේශය දැක ගැනීමට මීට බාධක තිබෙන්නට ඇත. එනම් මහාථූපය දිශාවේ බොහෝ බාධක තිබෙන්නට ඇත.
එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ මහින්ද හිමියන් විසින් සංඝයාට කැප කරන ලද තමxමාලකයේ නම් එහි සිට මහා ථූපය පෙනෙන්නට ඉඩක් නැත්තේ එයට උතුරු පැත්තෙන් ආසන්නයේම දේවානම් පියතිස්ස රජතුමාගේ මාළිගය පිහිටා තිබිය යුතු නිසාය. (මහාවංශය)
පරණවිතාන මහතා කියන පරිදි දුටුගැමුණු රජතුමාගේ කාලය වනවිට මෙම මාලිගය නටබුන් වී තුබූ බව පිළිගැනීම අසීරුය. එබැවින් දක්‍ෂිණ සෑය ඇති ස්ථානයේ සිට මහා ථූපය සම්පූර්ණයෙන් දකින්නට දුටුගැමුණු රජ සමයේදී හැකිවීමට ඉඩක් නැත.

සීමා


එබැවින් දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදුවූයේ සංඝයා වහන්සේගේ කම්ම මාලකයේ දී නම් එතුමාගේ ආදාහනය සිදුවී තිබෙන්නේ මහා විහාර සීමාව ඇතුළත විය යුතුයි. පරණවිතාන මහතාට අවශ්‍ය ආකාරයට කුමන විහාරයේ මාලකයේද යන්න මහා වශයෙන් සඳහන් නොවේ.
කෙසේ වෙතත් සෙල්ලිපිවල සඳහන් වන්නේ එයට සීමාවක් නොමැතිව හෝ සීමාවෙන් පිටත පිහිටි බවයි. (නිශ්ශංකමල්ල). කුමන සීමාවෙන් පිටතද? එය පැහැදිලිව දක්වා නැත. ගෙල්ගර් කියන්නේ ‘‘ආශ‍්‍රමයේ’’ බව හා උපුටාගත් කොටස එලෙස තේරුම් ගතයුතු බවයි.
එය එසේ නම් මෙහි දැක්වෙන ආශ‍්‍රමය විය යුත්තේ දුටුගැමුණු රජතුමාට තදින්ම බැඳී සිටි මහාථූපය වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මේ සඳහන ඒ ගැන බවට සැක නැත. කෙටියෙන් කිවහොත් මෙම ස්ථානය පිහිටියේ මහාථූපයේ ඉදිකිරීම් සීමාවට පිටතින් මිස මහා විහාර සීමාවට පිටතින් නොවේ.
එබැවින් දක්‍ෂිණ සෑය පසුව ඉදිකරන ලද්දේ දුටුගැමුණු රජතුමා ආදාහනය කරන ලද කම්ම මාලකය පිහිටි ස්ථානයේ බව පිළිගැනීමට හේතු නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් දුටුගැමුණු රජුගේ සංඝයා වහන්සේගේ කම්ම මාලකය දක්‍ෂිණ සෑයේ මහපුලි-ලා-මළුව ලෙස පිළිගත නොහැකි අතර 14වැනි සියවසේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ සඳහන් හා පරණවිතාන මහතා උපුටා දක්වන දක්‍ෂිණ සෑය මහපුල්ලා මළුව පිහිටි ස්ථානයේ ඉදිකළ බවට වන සඳහන සැක සහිතය. එබැවින් දක්‍ෂිණ සෑය ඉදිකොට තිබෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ බව පිළිගැනීම සඳහා ප‍්‍රමාණවත් ඓතිහාසික සාක්‍ෂි නොමැත.
පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සාක්‍ෂි දක්‍ෂිණ සෑය දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතැයි යන ඒ මහතාගේ න්‍යාය තහවුරු කිරීමට ආධාර වන්නේ නැත.
(1957 අපේ‍්‍රල් 4 දා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ පළවූ ලිපියකි)

පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ආර්.එච්.ඞී.සිල්වා


පරිවර්තනය - සී.ජේ. අමරතුංග
2012 සැප්තැම්බර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


ඉතිහාසය යක්‌කු කයිද බලධාරි බබ්බු දොයිද



සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම පාරේ සිට මෙම තැනට මීටර් හාර පන්සියයක්‌ ඇත. දැන් අපගේ යතුරුපැදි ගමන් කරන්නේ වී වගාවට බිම සැකසූ කුඹුරු හා නියරවල් උඩින්ය. බයිසිකල් දෙකම ආපු පැත්තට හරවලා තියන්න. තව ටිකෙන් අලි මෙතනට එනවා. ඈතින් අලින්ගේ කුංචනාදයක්‌ ඇසුණු සමන් පැවසීය.

කෝ කොතැනද ඩෝසර් කරපු දාගැබ තියෙන්නේ යනුවෙන් මම ඔවුන්ගෙන් විමසද්දී වී වගාවට තැනූ ලියෑදිවල නියර උඩින් ඔවුන් මා කැටුව මදක්‌ ඉදිරියට යන ලදී. අඩි දෙක තුනක්‌ උසට සැදූ නියරවල තිබුණේ ඉපැරැණි විවිධාකාර හැඩවලින් යුක්‌ත ගඩොල්ය. මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ සමන් පැවසීය. මාහට ඇස්‌ අදහාගත නොහැකිය. වසර සිය දහස්‌ ගාණක ඈත අතීතයේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ මුවින් නික්‌මුණු ධර්මය ශ්‍රවණය කරන එකල බොදු ජනතාව සාධු නාදයෙන් වන්දනා මාන කරන්නට ඇති දාගැබ් වහන්සේ හොරු අරගෙන ගොස්‌ ඇතිසේය. එය සිත්පිත් නැති මිනිසුන්ගේ ඩෝසර්වල තලයට හසුව ටිකෙන් ටික තල්ලු වී ගොස්‌ මුළුමනින්ම බිමටම සමතලා වී තිබිණි. ඒ දුටු අප දැඩි තිගැස්‌සීමට හා දැඩි වේදනාවකට පත්වුණි. මෙලෙස විනාශව ගොස්‌ ඇත්තේ හෙට දිනයේ පරපුරට දැකගන්නට තිබෙනා අපේ ඉතිහාසය නොවේදැයි අපට සිතුණි. 

මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ. මේ තියෙන්නේ බිම තිබ්බ ගඩොල් කැට ත්‍යාගරාජා අපට පැවසීය. එක්‌ පසෙක කඩා බිඳ දැමූ ගල් කරුවෙකි. දාගැබේ තිබූ විවිධ හැඩයේ ඉපැරැණි ගඩොල් තැන් තැන්හි විසිරී ඇත. මෙහි තිබුණු පස්‌ හා ගඩොල් යොදා නියරවල් සකසා වී වගාවට ලියෑදි 02 ක්‌ සකසා ඇත. දාගැබ්හි ධාතුන් තැන්පත් කර වසා දමා තිබුණායෑයි සිතිය හැකි ගඩොලින් සහ බදාමයෙන් සකස්‌ කළ පුවරුවක්‌ද දාගැබ තිබූ ස්‌ථානයේ සිට මීටර් 50 කට අධික දුරකට රැගෙන ගොස්‌ දමා තිබිණි. එම සෑරදුන් අසලින් ඉහළට එසවී තිබුණු තල්ගස්‌ දෙකද ඩෝසරයේ පහරින් ඉදිරී බිමට වැටී එකක්‌ නියරකට දමා ඇත. අනෙකද ඈතට ගොස්‌ දමා ඇත. තවත් කෙතරම් නම් ඉපැරැණි උරුමයන් මෙලෙස ඩෝසර් පාරට හසුව විනාශයට පත්වන්නට ඇත්ද? තවත් කෙතරම් නම් ප්‍රමාණයක්‌ මිනිසාගේ දෙනෙතින් වසන් කරලන්නට මෙම පස්‌ තලාවට ඔවුන් යටකරලන්නට ඇත්දැයි අපට ඒවා දකිද්දී සිතිනි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් වන අක්‌කරපත්තුව පදිංචි එච්. සමන් මහතා "දිවයින"ට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම පසුගිය 31 වැනිදා පෝය දිනයේ මෙම මොට්‌ටයාගල දාගැබ අසලට පැමිණ ඡායාරූප ලබාගත්තා. නමුත් ඊට දින 03 කට පමණ පසුව මෙම ස්‌ථානයෙන් යනවිට මම දැක්‌කා මෙම ස්‌ථානයේ තිබ්බ තල්ගස්‌ නොමැති බව. මම බයිසිකලය නතර කර බලද්දී මට පෙනුණ මෙතන ඩෝසර් කරලා තිබෙන අයුරු. මමත් ත්‍යාගරාජාත් දෙදෙනා ඒ වෙලේ එතනට ගොස්‌ බලද්දී තමයි අහස පොළොව නුහුලන මෙම මහා විනාශය සිදුකර තිබෙන අයුරු දුටුවේ. පස්‌සේ 119 දුරකථන අංකයෙන් අම්පාර පුරාවිද්‍යා පොලිසියටත් දැනුම් දුන්නා. පස්‌සේ අක්‌කරපත්තු=ව පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් මාව මුණගැසී මාත් සමග මොට්‌ටයාගල මෙම ස්‌ථානයට පැමිණියද කළුවර වැටී තිබුණු නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කරන්න බැරිවුණා. මට පසුදා අක්‌කරපත්තුව පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ දාන්න කීවා. මම පසුවදා ගිහින් පැමිණිල්ලක්‌ දාන්න හදද්දී ඊට පසුවදා ජනාධිපතිතුමා අක්‌කරපත්තුවට එන නිසා පොලිසියේ නිලධාරීන් විවිධ වැඩ නිසා මට පැමිණිල්ලක්‌ දාන්න බැරි වුණා.

අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා. නමුත් දිගාමඩුළු පුරවරයේ තිබෙන මෙම උරුමයන් අපි රැකගන්න ක්‍රියා කළහොත් ඒවාට නොදෙවෙනි උරුමයන් අම්පාරේ තිබෙන බව ලෝකයට පෙන්වන්න පුළුවන්. මේවා ත්‍රස්‌තවාදී කලබල සමයේදීවත් විනාශ වුණේ නැහැ. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේවා ඒ කාලෙත් රැකීමට කටයුතු කළා. මිනිසුන්ද කොටින්ට බයේ වනාන්තරවලට නොයැම නිසාද මේවා ආරක්‍ෂිත වුණා. මේවා අතීත බෞද්ධ උරුමයන්. සද්ධාතිස්‌ස රජ කාලේ මේවා අස්‌වැද්දුවේ ඒකාලේ සිංහලයෝ. නමුත් මේවා සිංහලයෝ කළා කියලා කිසිම අයිතියක්‌ මෙහේ දැන් ඉතිරි වෙලා නැහැ. අක්‌කරපත්තුවේ බොහෝ සිංහල අය පසුගිය කොටි කලබල සමයේ මෙහෙන් ගොස්‌ නැවත යුද්ධය නිමාවීමෙන් පසුයි පැමිණියේ.

දැන් අපි මෙහි සිටින සිංහල පවුල් 100 ක්‌ එකතුකොට අක්‌කරපත්තුව සිංහල සංවිධානය පිහිටුවා මෙහි සිංහල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට සමිතියේ සභාපති වන ධනපාල මහතාත් සමග කටයුතු කරමින් සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර අතීත උරුමයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉපැරැණි පුරාවස්‌තූන් වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙන ලෙසයි යනුවෙන් සමන් මහතා වැඩිදුරටත් "දිවයින"ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුන්ගේ වුවද ජාති භේද තුළ භේද නොමැතිව තමුන්ගේ සියලුම අතීත උරුමයන් රැකගත යුතුව ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අම්පාර මානව හිමිකම් සංවිධානයේ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ එන්. ත්‍යාගරාජා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය. 

මෙය මුස්‌ලිම් කෙනෙක්‌ කළ බවට තහවුරු වෙනවා. කාගේ වුවත් ආගමකට ගරුකළ යුතුයි. ඕනෑම ආගමක හෝ ජාතියක උරුමයන් රැකිය යුතුයි. නමුත් මේ වාගේ බෞද්ධ උරුමයන් විනාශවීම නවතාලිය යුතුය. නැගෙනහිර පළාතේ සිංහල දෙමළ උරුමය විනාශ වී යනවා. සිංහල දෙමළ ගම්බිම් විනාශ වී යනවා. මින් ඉදිරියටත් ජනාධිපතිතුමා හරහා මෙවැනි විනාශයන් සිදුවීම වැළැක්‌වීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොට්‌ටයාගල පුදබිමට කර තිබෙන හානිය දකිද්දී ඉමහත් වේදනාවක්‌ ඇතිවෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අපි මේවා ආරක්‍ෂා කළයුතුව ඇතැයි එන්. ත්‍යාගරාජා මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

මෙම මොට්‌ටගල කල්ලු ඉපැරැණි පුදබිම ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට පැවත එන බවට විවිධ වූ සාක්‍ෂි ඇත. ඇතැමුන් මෙයට මොට්‌ටියාකල්ලු, මොට්‌ටියාවල යන නම්වලින්ද හඳුන්වති. මෙහි අදට දක්‌නට ඇති මහඟු උරුමයන් අතීතයේ පැවැති ශ්‍රී විභූතියට කදිම සාක්‍ෂියකි. මෙහි එක්‌ පසෙක ගල් පර්වතයේ අර්ධ උන්නති රූපයකි. එකිනෙක පිරී ඉතිරී යන පොකුණු සංකීර්ණයකි. කටාරම් කෙටූ ලෙන් සහිත වටිනා සෙල්ලිපි හා විවිධ පුරාවිද්‍යා නටබුන් මෙම මොට්‌ටයාකුලම් පර්වතය පුරා විසිරී ගොස්‌ ඇති අතර ඒවායෙන් පෙනෙන්නේ එකල මෙහි තිබූ සමෘද්ධිමත් සශ්‍රීක වූ ජන ජීවිතය පිළිබඳ තොරතුරුය.

පුරාවිද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙම ස්‌ථානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසූහ.

මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්‌ත පුදබිමේ මහානාග යුව රජුගේ සිට යඨාලතිස්‌ස, ගෝඨාභය, කාවන්තිස්‌ස යන රජවරුන්ගේ තොරතුරු සඳහන් සෙල්ලිපි රැසක්‌ තිබෙනවා. 

මෙහි ආරම සංකීර්ණයක්‌ මෙන්ම එකිනෙක ජලය පිරි හෝ ජලය එකතු වන පොකුණු සංකීර්ණයක්‌ද තිබෙනවා. ඊට අමතරව විවිධ නටබුන් රැසක්‌ පවතිනවා. මේ වන විට මේවාට මේ දිනවල විවිධ තර්ජන එල්ලවෙමින් විනාශව ගොස්‌ ඇතැයිද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් "දිවයින" කළ විමසීමේදී අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ වනවිටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන මෙම පුදබිමේ ඇතැම් තැන්වල නිධන් හොරුන් විසින් නිධන් ගත් ස්‌ථාන මෙන් කඳු මුදුනේ ඇති ගරා වැටුණ ස්‌ථූපයේද නිධන් සෙවීමට හාරා තිබේ. 

ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට සශ්‍රීකත්වයට හා ජනාවාසයට පත්වූ බවට කදිම සාක්‍ෂියක්‌ වන මොට්‌ටයාකල්ලු සෙල්ලිපි හා නටඹුන් කදිම සාක්‍ෂියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් පරණවිතාණ මහතාගේ IMSCRITTION OF CYLON PART II නම් ග්‍රන්ථයේ 487 වැනි සෙල්ලිපියෙහි මෙම දස භානිකයන් ගැන සඳහන් වෙති. එම සුවිශේෂි සෙල්ලිපිය මොට්‌ටයාකල්ලු පර්වතයේ පිහිටා ඇත.

දශභතික - රනජධ වක - ණය උපරජධ නාග උපරජධ නගහ මරුවකනකේ මහ පශදිග අභය රජධහ පුතෙ ගමිණි තිසහ විහරෙ අගත අනගත වේකු සගශ නියතෙ.

මොට්‌ටයාගාකල්ලු සෙල් ලිපියේ ක්‍රි. පූ. 3 හා 1 සියවස්‌ වලට අයත් යෑයි සිතන පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් යුතු මෙම ගිරි ලිපියෙහි මෙසේ කියෑවේ.

දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂ්ත්‍රියන්ගේ පරම්පරාව විය හැකිය) උපතැර නාග නාග නම් රජ කෙනෙක්‌ ගමිනිතිස විහාරය කරවා පැමිණි නොපැමිණි පූජා කළ බව මෙයින් කියවේ. 

මෙම දසභානියන් සම්බන්ධ ගිරි ලිපිය නිසා මෙම ස්‌ථානයේ ඓතිහාසික බව ක්‍රි. පූ. 3 වැනි සියවස හෙවත් මහින්දාගමනය සිදුවූ වකවානුව දක්‌වා ඈතට දිවයයි. දසභානිකයන් පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් කියෑවුණ අතර එය පුරාවිද්‍යා මූලාශ්‍රයකින් සනාථ වන අවස්‌ථාවක්‌ ලෙස මෙම මොට්‌ටකල්ලු ගිරි ලිපිය සුවිශේෂී වේ.

මෙම දසභානිකයන් මහාවංශය ප්‍රමුඛ සාහිත්‍ය මූලාශවල සඳහන් කතරගම ක්‍ෂ්ත්‍රියන් හෙවත් දසබෑ රජවරුන් ලෙස හඳුනාගත හැකිය. මෙම දසභානික පරම්පරාව දේවානම් පියතිස්‌ස රජ සමය දක්‌වා දිවෙන බව සාහිත්‍ය මූලාශ වලින් කියෑවේ. ඒ අනුව බලන කල මෙම ස්‌ථානය ඉතාම සුවිශේෂි සෙල්ලිපි වලින් ග්‍රහණය.

මෙවන් වටිනා උරුමයන් සහිත ඉපැරැණි පුදබිමක්‌ වන මෙම මොට්‌ටයාකල්ලු පුද බිමේ පිහිටි ස්‌ථූපයට වූ හානියම මෙවන් සුවිශේෂී ඉතිහාසයත් සමගින් මෙතෙක්‌ විරාජමානව සිටින මෙම මහා කළු ගල් පර්වතය හෙට දිනයේ ඉතිහාසය වළදමන්නට උත්සහා දරන නරුමයෙක්‌ ගල්කොරියක්‌ දමා විනාශ කළද නිලධාරීන් නිහඬව සිටීමට ඉඩ තිබේ. දීඝවාපිය කොටිගල පුරාවිද්‍යා ස්‌මාරකයන් වන අතර එයද මේ වන විටත් ගල්කොරියක්‌ දමා විනාශ කර අවසන්ය. මඩකලපුව කුසලානගල ඇති ඉපැරැණි සෙල්ලිපි හා උරුමයන් සහිත ගල්කුළු රැසකට මේ වනවිට විවිධ හානි සිදුවෙමින් තිබේ. ඇතැමුන් මෙම පුරාවස්‌තු විනාශ කරන්නේ නීත්‍යානුකූල බලපත් රැගෙනය. එය එසේ කරන තෙක්‌ බලධාරීන්ද නිහඬය. මෙම මුස්‌ලිම් ප්‍රදේශවල සීගිරිය තිබුණා නම් එයටද ගල් මෝලක්‌ දමන්නට අවශ්‍ය අවසරපත් ලබාදීමට මෙම ප්‍රදේශවල සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු නොඅනුමානය.

දීඝවාපිය පුදබිම ආශ්‍රිතව තිබුණු ස්‌ථූප රැසක්‌ මේ අයුරින් ඩෝසර් පහරට නතුව නැතුව විනාශව ගොස්‌ ඇත. මේ අයුරින් නැගෙනහිර පුරාවස්‌තු සංහාරය දිගින් දිගටම සිදුවෙමින් තිබේ. ඇතැමුන් ගල් කණුවක්‌ දුටුවත් සැනෙකින් එයට කුළුගෙඩි පහරදී විනාශ කරන්නට තරම් සැහැසි වී තිබේ. එම නිසා මේවා රකින්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඇතිකර ආකල්පමය වෙනස්‌කමක්‌ ඇති කිරීමට කාලය පැමිණ ඇත. 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය තෙක්‌ ඉතිහාසය විෂයක්‌ සමග පුරාවිද්‍යාවද විෂයන් වශයෙන් සිසුන්ට ඉගැන්වීම තුළින් මෙවැනි උරුමයන් රැකීමේ වටිනාකම මැනවින් බාල පරම්පරාවට අවබෝධ කිරීමට දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි පුරා විද්‍යා උරුමයට ලැදි අය පවසති. ජනාධිපතිතුමනි, නැගෙනහිර පුරාවිද්‍යා උරුමය අනතුරේ බවත් එසේ කරනා අයට දැඩි දඬුවම් දියයුතු බවත් අපි ඔබට අවධාරණය කරනු කැමැත්තෙමු.

විශේෂ ස්‌තුතිය - බුද්ධි නාගොඩවිතාන මහතාට
සුසන්ත අමරබන්දු
2012 සැප්තැම්බර් 16 ඉරිදා දිවයින

මීට දශක නවයකට පෙර අපේ ගම්වල මිනිස්සු අදට වඩා සැපසේ ජිවත් වුණා...


මහානායක හාමුදුරුවනේ, මහානායක හාමුදුරුවන්ගේ උපන්ගම බෙල්ලන. බෙල්ලන කියන ප්‍රසිද්ධ ග්‍රාමය පිහිටා තිබෙන්නේ පස්‌යොදුන් කෝරළයේ. පස්‌යොදුන් කෝරළය ගැන, බෙල්ලන ග්‍රාමය ගැන යමක්‌ මුලින්ම දැන ගන්න මා කැමතියි. 

මහාපරාක්‍රමබාහු රජතුමා යුද්ධය සඳහා සේනාව රැස්‌කළ, සේනාව සංවිධානය කළ ප්‍රදේශයක්‌ තමයි පස්‌දුන් කෝරළය කියන්නේ. ඕනෑම බුද්ධිමත් දක්‍ෂ රජ කෙනෙක්‌ ඉදිරියේ දී යුද්ධයක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්‌සරවෙලාම කළයුතු දේ තමයි ප්‍රදේශය හැම අතින් ම සංවර්ධනය කර ගැනීම. කාවන්තිස්‌ස රජතුමා කල්පනා කළා කොහොම නමුත් තම දරුවන් අනාගතයේ රජරට ආක්‍රමණය කරනව කියලා. ඒ අනුව රුහුණත්, දිගාමඩුල්ල ආදී ප්‍රදේශත් ඉතාමත්ම හොඳින් සංවර්ධනය කර ගත්තා. ඒ විතරක්‌ නොවෙයි කුඩා කුඩා ප්‍රදේශ පාලනය කරමින් සිටිය ප්‍රාදේශීය පාලකයනුත් හොඳට සමගි කරවගෙන තමයි යුද්ධයට සූදානම් වුණේ. ඒ වගේම තමයි මහාපරාක්‍රමබාහු රජතුමාත් යුද්ධයට සූදානම් වුණේ. එහෙම බලනකොට පස්‌දුන් කෝරළය විශේෂ ප්‍රදේශයක්‌. මහා යුද්ධයකට අවශ්‍ය ජනතාව ඉතාම හොඳින් සංවිධානය කරගන්න ලැබිච්ච ප්‍රදේශයක්‌. හොඳට බත බුලතින් සමෘද්ධිමත් වූ ජනතාව ඒ නිසාම හොඳ කාය ශක්‌තියක්‌ ද ඇතිව සිටියා. මහා යුද්ධයකට ජනතාව සංවිධානය කිරීම සඳහා පස්‌දුන් කෝරළය තෝරාගැනීමෙන් පේනවා ඒ වන විට පස්‌යොදුන් රට ජනතාව මොන තරම් කායික හා මානසික වශයෙන් ශක්‌තිමත්ව සමෘද්ධිමත්ව සිටියා ද කියන කාරණය. 

පස්‌යොදුන් කෝරළයේ පිහිටීම අනුව කියන්න පුළුවන් වගුරු බිම් වැඩි ප්‍රදේශයක්‌ කියලා. පහත් බිම් වැඩි ජලය බහුල ලෙස රැදෙන බිම් කොටස්‌ තමයි පස්‌යොදුන් කෝරළයේ වැඩියෙන්ම තියෙන්නෙ. කොහොම වුණත් පරාක්‍රමබාහු මහරජතුමා ප්‍රදේශය සශ්‍රීක කොට දියුණු කිරීම සඳහා හැම වතුර ඇලක්‌ම වගේ සකස්‌ කළා. ගංඟාවල් සංවර්ධනය කළා. අවශ්‍ය ආකාරයට ජලය ගෙන යැම සඳහා ජල මාර්ග සකස්‌ කළා. ඒ අනුව මුළු ප්‍රදේශයම සශ්‍රීක ප්‍රදේශයක්‌ බවට පත් කළා. ඒ වගේ ම පස්‌දුන් කෝරළේ කඳු ප්‍රදේශත් තියෙනවා. ඒ කඳු ප්‍රදේශවල පුරාණයේ ඉදලම ජනාවාස තිබුණු බවත් පැහැදිලිව පේනවා. ඔය වරාගොඩට එහායින් තියෙන විල්ගොඩ කන්ද, කොලින් කන්ද, පැළෑද පාහියන්ගල කියලා දිගට විහිදී යන කඳු යායක්‌ තියෙනවා. 

මහානායක හාමුදුරුවනේ ඔය පාහියන්ගල ගැන දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනව නේද? 

නෑ ... මම නම් ඔය කියන දේවල් ඔය විදිහට ම පිළිගන්න කැමති නැහැ. ඔය පැත්තේ තියෙනවා පැරණි නාම ගණනාවක්‌. ඒවා පුලහිං, වීරසිං, ජාහිං, පාහිං වශයෙන් සඳහන් වෙනවා. මේ පාහිං කියන එක ම පාහියන් වුණා කියල හිතන්න පුළුවන්. කොහොම උනත් ඈත අතීතයට ඇදිල යන ඉතිහාසයක්‌ මේ පස්‌යොදුන් කෝරළයට තියෙනවා. මේ ප්‍රදේශයේ හරියට පැරණි විහාරස්‌ථාන තිබුණු බවත් පේනවා. ගණේ නම යෙදී තියෙන්නේ ඒ විහාරස්‌ථාන තිබූ ප්‍රදේශවලටයි. ගණේගොඩ, ගණේමුල්ල, ගණේතැන්න, ගණේකන්ද, ගණේගල ආදී ප්‍රදේශ අදත් ඒ නම්වලින්ම ව්‍යවහාර වෙනවා. ඒවා ගණින්වහන්සේලා වාසය කළ ප්‍රදේශයි. ගණේ කියන්නේ විහාරස්‌ථානයටයි. ඒ විහාරස්‌ථානවල සිටින ඇත්තන්ට ගෞරව වශයෙන් පාවිච්චි කළා ගණින්වහන්සේ කියලා. ඒ ගණින්වහන්සේ කියන එකමයි ගණින්නාන්සේ වුණේ. 

ගණින්නාන්සේ කියන එක අගෞරවයට වගේ කියනවා. ගණයා, ගණගෙඩියා කියලත් කියනවා. නමුත් ගණින්වහන්සේ කියන එක ගෞරවාන්විත වචනයක්‌. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ පාවිච්චි වෙන මේ ගණේ කියන යෙදුමෙන් පුළුවන් තේරුම් ගන්න එදා මේ ප්‍රදේශවල ගණින්වහන්සේලා වාසය කළ බව. විහාරස්‌ථාන තිබුණු බව. ගණේලන්ද පන්සල, ගණේගොඩ දේවාලය වගේ යෙදුම් බස්‌නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලත් දකින්ට ලැබෙනවා. ඒ හැම යෙදුමකින්ම පේන්නේ ඒ ඒ ප්‍රදේශවල විහාරස්‌ථාන තිබුණ බවත් සංඝයා සිටිය බවත් ය. මේ ගණේ කියන යෙදුම් නුවර යුගයටත් වඩා පරණයි. ගණේ කියන්නේ සමූහය කියන තේරුමයි. පස්‌දුන් කෝරළයේ හරියට ගණේ කියන නමින් ස්‌ථාන තිබුණා. ඒ වායේ භික්‍ෂුන් වහන්සේලාත් සිටියා. ගණින්නාන්සේ කියන එක එච්චර පරණ නැහැ. ඒක නුවර යුගයේ සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව පටන්ගත්තට පස්‌සේ ඇති වූ වචනයක්‌. ඒක ගෞරවාන්විත වචනයකුත් නොවේ. සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව ලබන කොට ලංකාවේ එකද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කතාව තව දුරටත් පරීක්‍ෂා කළ යුතු වෙනවා. මොකද විමලධර්මසූරිය රජතුමාගෙ කාලෙ උපසම්පදාව ආරම්භ කරල ගතවෙලා තිබුණෙ අවුරුදු අනූවක විතර කාලයක්‌. ඒ නිසා එක ද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කථාව ඉතා හොඳින් පරික්‍ෂා කළ යුතු වෙනවා.

මහාවංශයේ තියෙනවා පංචයොජන රට්‌ටේ කියලා. ඒකෙ ඉතාම පැහැදිලිව පේන දෙයක්‌ තමයි පස්‌යොදුන්රට කියන එක පාලියට පෙරලා ගැනීමක්‌ කියලා. ගලපාත විහාර සෙල්ලිපියේ තියෙනවා පස්‌යොදුන්රට කියන යෙදුම. පස්‌යොදුන් කෝරළේ පන්සල කියලයි ගලපාත විහාරය හඳුන්වල තියෙන්නෙ. ගලපාත විහාරය ගැන පොතක්‌ අච්චුගහලත් තියෙනවා. ඒකේ මේ සෙල්ලිපිය තියෙනවා. මට මතකයි කලකට පෙර ගුවන්විදුලි සාකච්ඡාවක්‌ කළා ගලපාත විහාරය ගැන. එහිදී මං ප්‍රකාශ කළා, ගලපාත විහාරය යි වනවාස විහාරය යි කියන්නෙ දෙකක්‌ නොවේ එකක්‌ කියලා. වනවාස කියන්නේ වනවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස. ගලපාත කියන්නේ ග්‍රාමවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස. 

මහානායක හාමුදුරුවන්ගේ උපදීමේ සිට කුඩා කාලය ගැනත් බෙල්ලන ගම ගැනත් කරුණු ටිකක්‌ සඳහන් කලොත් හොඳයි. 

මං උපදින කොටත් බෙල්ලන පහුකරගෙන බස්‌ දුවනවා. ඒ කියන්නේ මීට අවුරුදු අනූතුනකට එහා ඉඳල බෙල්ලන පාරෙ බස්‌ ගියා කියන එකයි. ලත්පඳුර දක්‌වා බස්‌ ගමන් කළා. ඒකාලේ තිබුණෙ එක එක පුද්ගලයන්ට අයිති බස්‌. බස්‌ කොම්පැණි පටන් අරගෙන තිබුණෙ නැහැ. එකදාස්‌ නවසිය හතළිස්‌ ගණන්වලයි බස්‌ කොම්පැණි පටන් ගත්තෙ. මට වයස තුන හෝ හතර කාලෙ බස්‌එකෙන් ගියා කියල මට මතකයි. බෙල්ලනින් බස්‌එකට නැගල ලත්පඳුරට බස්‌ එකෙන් ගියා. ඔය අපේ ගෝලනමගෙ (ලත්පදුරෙ රාහුලගෙ) ගෙදර පිරිත් පිංකමක්‌ තිබුණා. මගේ අම්මා මාවත් එක්‌කරන් පිරිත් ගෙදර ගියා. බස්‌එකට නැග්ගේ බෙල්ලන පන්සල ගාවදි. ඒක මට හොඳට මතකයි. එතන ඉදළ හැතැක්‌ම තුනක්‌ තියෙනව ලත්පඳුරට. ඒ වෙනකෙට මගේ වයස අවුරුදු තුනත් හතරක්‌ ඇති. 

ඒකාලෙ ඒ දේවලුත් මහානායක හාමුදුරුවන්ට මතක තියෙනවාද, කියල මා අසන විට මහානායක හාමුදුරුවෝ සිනාසුනහ.

එතකොට පාරෙ තාරදාල තිබුණෙ නැහැ. කළුගල් දාලා ඇන්ජින් රෝලෙන් තලල තිබුණා. ඒ කාලෙත් කාර් තිබුණා. මතුගම කාර් කීපයක්‌ ම තිබුණා. පවුල් කීපයකට විතරයි කාර් තිබුණේ. ඒ කාලෙ හයර් දුවන කාර් තිබුණෙ නෑ. 

මට මෙතනදී කියන්න පුළුවන් ඒ කාලේ මිනිස්‌සු දැනට වඩා සැපසේ ජීවත් වුණා කියලා. ජනගහනය හිටියෙ ටිකයි. හොඳට කුඹුරු තිබුණා. හැම ගෙදරකට ම වගේ මීහරක්‌ එළහරක්‌ කොටස්‌ දෙකම හොඳට හිටියා. කිරිපැණි හොඳට තිබුණා. එළවලු කොටුවක්‌ හැම ගෙදරකටම තිබුණා. අපේ ගෙදරටත් ඒ ඔක්‌කොම දේවල් අඩුවක්‌ නැතුව තිබුණා. හොඳ පිරිසිදු වතුර තිබුණා. බොන්නත් නාන්නත් ඉතාම හොඳ වතුර තිබුණා. කුඹුරු මඩවන්න වගේම ගොයම් පාගන්නත් හරකුන් යොදා ගත්තා. ඒකාලෙ ගොයම් කපල එක සැරේට ගෙදරට ගේන්නෙ නෑ. පාවර කියල කුඩා බිම් ප්‍රදේශයක්‌ කුඹුරුයාය අද්දරම තියෙනවා. එතැන රවුමට මඩුවක්‌ හදල තියෙනවා. ඒ මැද කණුවක්‌ තියෙනවා. හරකුන් බැඳගෙන රාත්‍රියට තමයි වැඩිපුර ගොයම් පාගන්නේ. 

අපිත් පුංචිකාලේ ඒවාට සම්බන්ධ වුණා. ඒවාට සම්බන්ධ වීම හරිම විනෝදයක්‌. ගොයම් පාගන්නෙත් පාවරේ. වී මණින්නෙත් පාවරේ. ඒ කාලෙ තිබුණු තත්වය ඒකයි. අපට අයිති එළවළු කොටුවකුත් තිබුණා. ඒකෙ අල, බතල, එළවළු හැම දෙයක්‌ ම තිබුණා. ඒකට යන්න මාත් හරි කැමතියි. මොකද ඒ ගියාම බතල ගලවගෙන පුච්චගෙන කාල තමයි අපි ආපහු එන්නෙ. පුංචි මඩුවකුත් තිබුණ කොටුව ඇතුළෙ. ඒ වගේම කොහොම වත්ම වගේ නිවන්න බැරි ලිපකුත් තිබුණ මඩුව ඇතුළෙ. ඒක පොල්කටු අඟුරෙන් දැල්වෙන ලිපක්‌. ඒ මඩුවේ හරක්‌ බලන්න නවත්ත ගත්ත මිනිහෙකුත් හිටියා. ඒ මිනිහගෙ නම නම් මට හරියට මතක නෑ. දුම්පොල්ලා කියල සමහරු කිව්වා. 

ඉතින් ඔය කාලේ මහනායක හාමුදුරුවො කුඩා කාලෙ. ඒ කුඩා වයසේ ගෙදර අය අවසර දුන්නද ඔය කොටුවේ පැලට යන්න. 

දුම්පොල්ලා පැලේ නැති දවස්‌වලට අපේ ලොකු අයියා යනවා ඔය කොටුව රකින්න පැලට. එතකොට මාත් කොහොම හරි යනවා. විනෝදෙට කැමති නිසයි යන්නෙ. සමහර දවස්‌වල වල් ඌරොත් ආව බව මට මතකයි. 

ඔය කාලෙ බෙල්ලන ගමේ හු`ගක්‌ ජනගහනය හිටියද? 

ඇත්තවශයෙන් ම බෙල්ලන ගම ලොකු ගමක්‌. ඒ නිසා හත් අට සීයක්‌ විතර ජනගහනය හිටිය කියල කියන්න පුළුවන්. එක එක වැඩ කරන අය එක එක කොටස්‌වල ජීවත් වුණා. රෙදි අපුල්ලන අය එක කොටසක හිටියා. රිදී රත්තරන් වැඩ කරන අය තව කොටසක හිටියා. වඩුවැඩ කරන අය තවත් කොටසක හිටියා. කම්මල් වැඩ යකඩ වැඩ කරන අයත් එක කොටසක හිටියා. ඒ විතරක්‌ නොවෙයි ශාන්තිකර්ම කරන අයත් තවත් කොටසක හිටියා. ඒ කාලේ හැම ලොකු ගමකම ඔය කොටස්‌ වෙන වෙන ම හිටියා. ගම ආසන්නයේම තිබුණා ලොකු වනාන්තරයක්‌. ඒක ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමාගේ කාලේ අක්‌කර දෙක බැගින් මිනිස්‌සුන්ට බෙදල දුන්නා. ඒ නිසා ගම වඩාත් විශාල වුණා. ඒ කන්ද හැඳින්වූයේ පනාදඬු කන්ද කියලා. ඔය කාලෙ වෙන විටත් බෙල්ලන පන්සල හොඳට තිබුණා. බෙල්ලන පිරිවෙන පටන් ගත්තේ පස්‌සෙ කාලෙ. ඒ වගේම බෙල්ලනට ඉස්‌කෝලෙකුත් තිබුණා. අපේ තාත්ත ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලෙ, මං ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලේ. දැන් ඒක බෙල්ලන මහා විද්‍යාලය. ඒ ඉස්‌කෝලෙ පටන් ගත්තෙ ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙ. එකදාස්‌ අටසිය ගණන්වල අවසාන හරියෙ. ඒකාලෙ බාලක-බාලිකා කියල ඉස්‌කෝල දෙකක්‌ වශයෙන් තිබුණෙ. ගමේ නිතරම තිබුණෙ ගැහැණු - පිරිමි වශයෙන් කොටස්‌ දෙකකට බෙදුණු ඉස්‌කෝල. නගරවල බොහෝ විට එකටම තිබුණා. 

ඔය කාලේ ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යනවා අඩුයි. ගැහැණු ළමයින්ට අකුරු උගන්වන එක හොඳ නෑ කියල සම්මතයක්‌ තිබුණා. අපේ අම්මා මතුගම නගරයේම කෙනෙක්‌. නමුත් අම්මා අකුරු ඉගෙන ගෙන නැහැ. අම්මා අකුරු ඉගෙන ගත්තේ තාත්තා කසාද බැන්දට පස්‌සෙ තාත්තගෙන්. මතුගමත් ගැහැණු ළමයින්ට ඉස්‌කෝල තිබුණා. ඉගෙන ගත්තාම ගැහැණු ළමයි නරක්‌ වෙනවා කියලා ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යවන්න මව්පියෝ කැමති වුණේ නැහැ. 

මේ තත්ත්වය ඉක්‌මණින් වෙනස්‌ වුණා ද මහානායක හාමුදුරුවනේ. වෙනස්‌ වුණානම් ඒකට හේතුව මොකක්‌ ද? 

ඒකට හේතුව තමයි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්තයාගේ අධ්‍යාපන වැඩපිළිවෙළ. නිදහස්‌ අධ්‍යාපනයේ පළමුවන මධ්‍ය මහා විද්‍යාලය මතුගම තමයි පටන් ගත්තෙ. එතුමා නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෙ. ඒ කාලෙ ඉස්‌කෝලෙ හැඳින්වුණේ කන්නන්ගර මහා විද්‍යාලය කියලා. ඔය කාලේ අදිකාරම් මහත්තයගෙත් තිබුණ, අධ්‍යාපන වැඩ පිළිවෙළක්‌. එතුමා මතුගම පටන්ගත්ත ආනන්ද විද්‍යාලය නමින් පාසැලක්‌. කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ශාඛාවක්‌ වශයෙන් තමයි ඒක පටන් ගත්තෙ. මතුගම කතෝලික ඉස්‌කෝලෙකුත් තිබුණා සෙන් මේරීස්‌ කියලා. ඒකත් පරණයි. ඒකාලෙ දුප්පත් කියන අය අඩුයි. කාටත් හොඳට කන්න බොන්න තිබුණා. කවුරුත් සතුටෙන් ජීවත් වුණා. කයියට වැඩ කළේ දෙන්නටම කුඹුරු ඉඩම් තියනෙවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩකළේ කුලියට. හැබැයි කුලියට කියන්නේ ගොයම් කැපුවාම වී කුරුණිය යි, ගොයම් පෑගුවාම වී කුරුණි දෙක යි. ඒක තමයි කුලිය. හවස ගෙදර එනකොට ඒකත් අරගෙනයි එන්නෙ. 

මේ අතර දිවෙල් දීමකුත් තිබුණා. ඒ අය එන්නෙ පරණ අවුරුද්දට. රෙදි අපුල්ලන අය, බුලත් කෑමට හුණු පුච්චන අය, ඒ ඔක්‌කෝට ම දෙන්නෙ වී හාල් එළවළු ආදිය යි. එක එක ගෙවල්වලින් එකතුවුනාම මහ ගොඩක්‌. ඒවා ඔක්‌කොම කරත්තවල පටවගෙන අරන් යනවා. ඒ අයත් ඒ ක්‍රමවලින් පොහොසත් වෙනවා. වළන් හදන අයත් එනවා. ඒ ගොල්ලන්ටත් වී හාල් තමයි දෙන්නෙ. හැම ගෙදරකටම හොඳට වී හාල් තියෙනවා. කොටුවේ එළවළු තියෙනවා. කිරි, හරකුන්ගෙන් ලැබෙනවා. වත්තේ කිතුල් ගහක්‌ දෙකක්‌ මදිනවා. එයින් පැණි හකුරු ලැබෙනවා. ඔය අතර හැම ගෙදරකට ම වගේ රබර් ටිකකුත් තිබුණා. රබර් විකුණලා ගන්න සල්ලිවලින් කඩේට ගිහින් දුරු මිරිස්‌ පහේ ටික, කරෝල ටික ගන්නවා. අඳින්න රෙදි කෑල්ලක්‌ ගන්නවා. බොහොම සතුටින් කවුරුත් ජීවත් වුණා. ඒ කාලෙ අඳින්න රෙදි ගත්තේ අවුරුද්දට විතරයි. අද වගෙ හැමදාම රෙදි ගැනීමක්‌ නැහැ. අවුරුද්දට කලින් දවසේ ගෙවල්වල හදන කැවිලි පෙවිලි හැම දෙයක්‌මත් හාල්, පොල් ආදී දේවලුත් නොවරදාවාම පන්සලටත් ගේනවා. මේ හැම දෙයක්‌ ම ගෙනාවාම විශාල ප්‍රමාණයක්‌. අද නම් මේ තත්ත්වය හු`ගාක්‌ අඩුයි.


ආචාර්ය 
ඉත්තෑපානේ ධම්මාලංකාර 
අනු නාහිමි
2012 සැප්තැම්බර් 16 ඉරිදා දිවයින