ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

බුද්ධ භෝගය


සිංහලයෝ ගොවීහුය. ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.


මහ පොළව, ගස්වැල්, සතා සීපාවා, තරහ නොකරගෙන ඒ සමග යාප්පුවෙන් ගොවිතැන් කිරීමට සිංහලයෝ දැන සිටියහ. රට පුරා අදටත් දැකගත හැකි වැව් අමුණු, ඇළ වේලි මගින් දැක්වෙන්නේ ඒ සහජීවනයයි. ලෝකය තමා වෙනුවෙන් මැවී ඇති බවත්, ලෝකය තමාට හැකි උපරිමයෙන් වෙනස් කර සිය සුඛ විහරණය උදෙසා යොදා ගත යුතු යැයි අදහන, දැක්වෙන සිතුවිලි ඇති කරවන චින්තනයක් තුළින් ජනිත වූ ගොවිතැනක සිංහල ගොවිතැනේ වූ සහජීවනය දක්නට නැත. අවාසනාවකට අද අප මේ රට ගොවිතැන් කරන්නේ සිංහල ක‍්‍රමයට නොව දෙවනුව කී බටහිර ක‍්‍රමයටයි. එය අප මත බලෙන් පැටවූවක් වෙයි. එසේ වූවත් ඒ පීඩාකාරී, විෂම ගොවිතැන කර තබා යෑමට පොර කකා ඉදිරිපත් වූ පිරිසක් ද මේ රටේම වෙසෙති.

බටහිර ගොවිතැන සමග තව දුරටත් අපට ඉදිරියට යෑමට නොහැකි බව අවබෝධ කර ගැනීමට රජරට වකුගඩු රෝගයම ප‍්‍රමාණවත් ය. යමකුට එසේ අවබෝධ නොවන්නේ නම් ඒ ඔහුගේ නොදැනුවත්කම හෝ කුහකකමයි. නිසි දැනුම්වත් වීමෙන් පළමුවැන්න මග හරවා ගත හැකි වුවද දෙවැන්නට දිය යුතු පිළියම බොහෝ අසීරු එකකි. නිදා සිටියවුන් ඇහැරවිය හැකි වුව ද හොරට නිදා සිටින්නන් ඇහැරවීම බොහෝ අපහසුය.

මේ බාධක හමුවේ වුවද ”රජරට වකුගඩු රෝගය සහ ආසනික්” තුළින් රටේ ඇති වූ සංවාදය ඵලදායී මගකට යොමු කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන් සිංහල තාක්‍ෂණික ක‍්‍රමවේදයක් අනුව (හෙළ ගොවිතැන) පැරණි වී වර්ග රට පුරා වගා කිරීමට ප‍්‍රචලිත වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල, කුඹුක්ගැටේ, කසාගල රජමහා විහාරයේ පැවති රැස්වීමක දී විහාරධිපති මැල්සිරිපුර විමලරතන හිමියෝ වී යනු ”බුද්ධ භෝගය” බව පවසා ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් දැක්වූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීම සමග ”බුද්ධ භෝගය” ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට කැමැත්තක් ඇති වුවද විවිධ හේතු නිසා එය Siyapath-al යටපත් විය.

මෑතක දී කොළඹට ආසන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ”හෙළ ගොවිතැන” ගැන පැවති රැුස්වීමක ප‍්‍රධාන ආරාධිතයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතාය. එතැන දී නැවත ”බුද්ධ භෝගය” ගැන කතා බහක් ඇති විය. ඒ සකලසූරිය මහතා අතිනි. හෙතෙම සුන්දර මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ගැමියෙකි. ලේකම්තුමා ලෙස කතාව ඇරඹුව ද විනාඩි කිහිපයක් ගතවන විට ඔහුගේ ලේකම්කම අමතක වී ගැමිකම ඉස්මතු වී එයි.

”අපි ඉතින් කන්තලේ ඈත ගම්මානවල මිනිස්සුනේ. මේ හෙළ ගොවිතැන මට අරුම දෙයක් නෙමේ. අපේ අත්තල, තාත්තල මේක තමයි කළේ. කොටින්ම අපි පොඩි කාලෙ මට මතකයි මයේ අප්පොච්ච බත්පත අතට ගත්තම ඒකට වැඳල තමයි කන්නෙ. බුද්ධ භෝගෙ කියලනේ කිව්වෙ. අපටත් පුරුදු කළේ එහෙම තමයි.”

මෙවර නම් බුද්ධ භෝගය ගැන තොරතුරු සොයා ගනිමියි මම එතැනදීම අදිටන් කළෙමි.

බුද්ධ භෝගය කීවේ වීවලට ද? නැතිනම් විශේෂ වී වර්ගයකටද? එසේ අපේ පැරැන්නන් යෙදුවේ ඇයි? මම පසුගිය කාලයේ බොහෝ පොත පත කියවා බැලූයෙමි. බොහෝ දෙනකු සමග සාකච්ඡ කළෙමි. එහෙත් ප‍්‍රමාණවත් සංගත පිළිතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් පැරණි වී වර්ග ගැනත්, ඒවා වගා කළ ක‍්‍රම ගැනත්, ඒවායේ ගුණ අගුණ ගැනත් බොහෝ තොරතුරු සොයා ගත හැකි විය. අවාසනාවකට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ මේ ගැන නිසි තොරතුරක් තබා අවම වශයෙන් සිංහල ගොවිතැන ගැන හෝ දැනුමක් ඇති අයකු සොයා ගැනීමට නොහැකි විය. ඒ ගැන යමක් දැන සිටියානම් ඒ උපාධියට කෘෂිකර්මය නොහැදෑරූ ලේකම්තුමා පමණි. අප හිතවත් මතුගම සෙනෙවිරුවන් මහතා, දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ ගුරුසිංහ මහතා වැන්නවූන් ස්වෝත්සහායෙන් පැරණි වී වර්ග රැසක් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබිණි.

බුද්ධ භෝගය කුමක්දැයි මට සතුටුදායක ලෙස පැහැදිලි නොවූ හෙයින් ඒ සඳහා ආසනික් ගැන කියූ ප‍්‍රියන්තා සේනානායක මහත්මියගේ උපකාරය ලබා ගැනීමට මම තීරණය කළෙමි. ඒ මහත්මිය බෞද්ධ භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කරන කෙනෙකි. මිනිස් ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර නොවන මනුෂ්‍ය නොවන ජීව කෝට්ඨාශ සමග සන්නිවේදනය කිරීමේ අපූර්ව හැකියාවක් ඇයට ඇත. කෙසේ වෙතත් ඇයට තොරතුරු ලබා දෙන විපස්සක දෙවියෝ් ලෙහෙසියෙන් දැනුමක් මනුෂ්‍යයකුට ලබා නොදෙතිි. ලබා දුන්නද ඒ බොහෝ කොන්දේසිවලට යටත්ව ය. අප තොරතුරු රැුසක් සොයාගෙන යම් තැනක සිරවී එතැනින් ඉදිරියට යාගත නොහැකිව සිටියදී පමණක් උපකාර කරයි.

”ආසනික් පිළිබඳ කාරණයේදී මා කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ ඇත්තන් සෑහීමකට පත්වී තිබූ හෙයින් දෝ බුද්ධ භෝගය ගැන දැනුම මට හිමි විය. ඒ දැනුම ලබාගත් ආකාරය ගැන හෝ ඒ හා බැඳුනු අනෙක් කාරණා ගැන හෝ කෙනෙකු එකඟ නොවූව ද, අසතුටට පත් වූව ද ලබාගත් දැනුම වැදගත් නිසා එය රටට ලබා දිය යුතු බව මම තීරණය කළෙමි.

බුද්ධ භෝගය යන්න පොදුවේ වීවලට යෙදු නමක් වුවද, එය විශේෂයෙන් එක් වී වර්ගයක් හැඳින්වීමට යොදා ඇත. ඒ වී වර්ගය ”සියපත් ඇල්” නමින් හඳුන්වයි. බුද්ධෝත්පාද කාලයට පෙර ප‍්‍රචලිතව තිබූ වී වර්ග ස්වංජාත වී ලෙස හඳුන්වා ඇත. ඒවා ප‍්‍රමාණයෙන් විශාල වී ශාක වන අතර වී ඇටයේ පොත්ත අද දක්නට ඇති මෙන් වර්ධනය වී නොතිබිණි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ පාරමී ශක්තිය හේතුවෙන් වැඩි දියුණු වූ වී වර්ග ඇති විය. ඒවා ”ඇල්” වී නමින් හඳුන්වනු ලැබීය. කල්ගත වන විට ඇල් වී විවිධ විභේදනයන්ට ලක් වෙමින් නව ප‍්‍රභේද ගණනාවක් බිහි විය. නවපත් ඇල්, ඉදිපත් ඇල්, කවුඩු ඇල්, කුරුලූ ඇල්, ආදී නම්වලින් ඒවා හඳුන්වයි. සියපත් ඇල් යනු ඇල් වී වර්ග අතුරෙන් විශේෂ එකකි. වී පත‍්‍ර සියයක නිපදවන ශක්තිය තරම් ශක්තියක් වී ඇටයක ගබඩා කළ හැකි වූ හෙයින් එය ”සියපත් ඇල්” නමින් හැඳින්වීලූ. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙල කිරීමට ”සියපත් ඇල්” යොදා ගත් හෙයින් එය ”බුද්ධ භෝගය” නම් විය.

ඇල් වී වර්ග තව දුරටත් විභේදනය වී ”දැල්” වී වර්ග ඇති විය. සියුම් දැලක් වැනි ව්‍යුහයක් සහල් ඇටය වටා පැවතීම නිසාත්, සියුම් දැලකින් වුවත් රිංගා යන හැකි පරිදි ප‍්‍රමාණයෙන් කුඩා වී ඇට පැවතීම නිසාත් මේ නම ලැබී ඇත. රත්ඇල්, සුවඳැල් මේ වර්ගයට අයත් ය.

ඇල් සහ දැල් වී යල කන්නය වැපිරීමට යොදා ගනී. සාමාන්‍යයෙන් මේවා තුන්මාසයේ වී ය. ගොඩ වගාව සදහාද යොදා ගෙන ඇත්තේ ද ඇල් වී වර්ගය. ප‍්‍රධාන වී වගා කන්නය හඳුන්වන්නේ මහා සස්ස/මාස්/මහ කන්නය ලෙසයි. සාමාන්‍යයෙන් වප් මාසයේ මහට වැපිරීම සිදු කරයි. මහ කන්නයට වගා කරන්නේ වැඩිමහල් වී වර්ගය. එනම් මාස 4 – 4 1/2 ක් අස්වැන්න ලබා දෙන හීනටි වී ය. මේවා ඖෂධීය ගුණයෙන් අනූන අතර කල් තබා ගැනීමේ හැකියාව ද වැඩි ය. කළුහීනටි, වෙද හීනටි, ගම්බොඩහීනටි, බඩ හීනටි, සුදු හීනටි යනු හීනටි වි වර්ගය කිහිපයකි. සිහින් දිගටි හැඩය නිසා මේ නම ලැබී ඇත.

ඇල් වී, දැල් වී සහ හීනටි වී හැරුණු කළ තවත් වී වර්ග 2 ක් අප සතුට. එනම් මා වී නමින් හඳුන්වන ජලය අධිකව රුඳී ඇති වගුරු බිම්, අමුණු ආශ‍්‍රිත ප‍්‍රදේශවල වගා කළ වී වර්ගත්, බාල වී නමින් හඳුන්වන තුන් මාසයකට අඩු කාලයක දී අස්වැන්න ලබා දෙන වී වර්ගත්ය. හැට දා වී යනු ඒ ආකාරයේ බාල වී වර්ගයකි. බාල වී අඩු වතුර තත්ව යටතේ වුව ද වගා කළ හැකිය. කෙසේ වෙතත් මහා සංඝරත්නයට දානය පිළියෙල කිරීමට බාල වී යොදා නොගනී. බොහෝ විට රස කැවිලි තැනීමට සහල් පිටි ලබාගෙන ඇත්තේ බාල වීවලිනි. අතීතයේ අපේ රටේ මෙන්ම දඹදිව ද වසරකට කන්න 3 ක් වගා කර ඇත. විනය පිටකයේ එක් තැනක දැක්වෙන්නේ දඹදිව කීටාගිරි නුවර කුඹුරු තෙවරක් වපුරන බවයි. මහ කන්නය සහ යල කන්නය අතර කාලයේ බාල වී වපුරයිි.

බුදු රජාණන්වහන්සේට දානය පිළියෙල කිරීමට යොද ගත් හෙයින් බුද්ධ භෝගය වූ ”සියපත් ඇල්” අද සොයා ගත හැකි දැයි මට දැනගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ඉඟියක්ද මට ලැබිණි. එනම් බුද්ධ භෝගයේ වී ඇටයේ පැහැය බුදුරජාණන් වහන්සේගේ ඡුවි වර්ණයට කිට්ටු පැහැයකින් වූ බවයි. ඒ තොරතුරත් සමග පැරණි වී වර්ග සොයා ගිය මට එදා සියපත් ඇල් නමින් හැඳින්වූ වී වර්ගය වෙනත් නමකින් හමුවිය. අද ”පච්චපෙරුමාල්” නමින් හඳුන්වන්නේ සියපත් ඇල්ය. පිරිසිදු පච්චපෙරුමාල් වී සැබැවින්ම රන්වන් කහ පැහැයකින් යුක්තය. සියපත් ඇල් පච්චපෙරුමාල් වූ Siyapat-al-02 ආකාරය ද අපූරුය.

ඉංග‍්‍රීසි පාලකයන් සිය විශ්වාසවන්ත සේවකයන් ලෙස බඳවා ගත්තේ යාපනයේ දෙමළ ජනතාවය. ලංකාවේ පිහිට වූ පැරණිතම දෙපාර්තමේන්තු දෙකක්වනුයේ මිනින්දෝරු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුයි. ලංකාවේ සිතියම් සකස් කරද්දී ගම්බිම්, වැව් ඇල වේලි සඳහා නම් ලබා දුන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දෙමළ සේවකයන්්ය. අදටත් අනුරාධපුරයේ සහ පොළාන්නරුවේ පවා ස්ථාන නාම, වැව් නාම දෙමළ බසෙන් යෙදෙන අවස්ථා ගණනාවකි. කොටින්ම සිංහලයේ පළමු රජතුමා වූ පණ්ඩුකාභය රජු තැන වූ අභය වැව අද සිතියම්වල දැක්වෙන්නේ ”බසවක්කුලම” කියාය. මිහින්තලේට නුදුරු පනාවැව ප‍්‍රදේශය සිතියම් ගත කරද්දී දෙමළ සේවකයෝ ඒ ප‍්‍රදේශවල සිටි ගැමියන්ගෙන් ප‍්‍රදේශයේ වැවේ නම ඇසූහ. එය පනාවැව යැයි ගැමියන් පැවසූ කල දෙමළ සහායකයා සිය ඉංග‍්‍රීසි නිළධාරියාට ”සීප්පුකුලම” ලෙස පැවසීලූ. එතැන් සිට සිංහලේ පනාවැව සීප්පුකුලම විය. මිහින්තලේ ගම් උදා වැඩ බිම විවෘත කිරීමට පැමිණි එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සීප්පුකුලම නමින් සටහන් කළ සමරු ඵලයක් දැක මිහින්තලේ සීප්පුකුලම් තිබෙන්නේ කොහොමදැයි අසා කතන්දරය දැන එවලේම සීප්පුකුලම ”පනාවැව” ලෙස නම් කළ බවත් එසේ නිවැරදි නම යෙදු පසු පමණක් ඵලකය විවෘත කළ බවත් කියැවේ. එම ඵලකය අදටත් මිහින්තලයේ සිට කටහගස්දිගිලිය දෙසට යන මාර්ගයේ දැකිය හැකිය.

සියපත් ඇල් පච්චපෙරුමාල් වී ඇත්තේද ඒ ආකාරයටය. එපමණක් නොව පැරණි සිංහල වී වර්ග බොහොමයකට ඇත්තේ දෙමළ නම්ය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ සේවකයන් ඉංග‍්‍රීසි නිලධාරීන්ට ලේඛණගත කිරීම්වල දී ලබා දුන් නම්ය. පච්චපෙරුමාල් සෘජු පරිවර්තනයට ලක්කල හොත් පච්ච යනු කොළ පැහැයයි. ඇතැම් විට ”අමු” යන තේරුම ද ඇත. පෙරුමාල් යනු කුමාරයා හෝ දෙවියන් යන අරුතයි. නමුත් පච්චපෙරුමල් එකට යෙදෙන විට එහි අර්ථය බුදුන්ගේ හෝ දෙවියන්ගේ පැහැය යන්නයි. පත‍්‍ර බොහොමයකින් (සියපත්* සමන්විතව අන් වී වර්ග අතර කුමාරයකු ලෙස වැජඹුණු නිසා පච්ච පෙරුමාලේ ලෙස යෙදෙන බවට ද අදහසක් ඇත.

පච්චපෙරුමාල් වී වර්ගයේ සිංහල නම කුමක්දැයි ආයුර්වේද වෛද්‍ය ජයනාත් අබේවික‍්‍රම මහතාද ගවේෂණය කර ඇත. ඔහු මට පැවසූයේ බොහෝ වෙහෙස වී තොරතුරු සෙවුව ද එවැන්නක් සොයා ගත නොහැකි වූ බවත් මේ ගැන අරිසෙන් අහුබුදු ශූරින්ට පැවසීමෙන් පසු ”නිල් කඳ” ලෙසින් අළුත් නමක් ලබා දුන් බවත්ය. ”සියපත් ඇල් ” වී ශාකයේ කඳ තුරුණු කාලයේ නිල් / දම් පැහැයක් ගන්නා හෙයින් අහුබුදු මහතා ඒ නම ලබා දී ඇත. රත්කඳ නමින් හඳුන්වන වී වර්ගයක් ද අප සතුය. ඒ නමින් හඳුන්වන වී පැලෑටියේ කඳ රත්පැහැයක් ගනී.

මැදවච්චිය, හොරව්පතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප‍්‍රදේශවල වන්නියෙ ගම් ලෙස හඳුන්වන පුරාණ සිංහල ගම් ගණනාවක් ඇත. ඒ ඇතැම් ගම්මානවල අදටත් පච්චපෙරුමාල් ලෙස අප හඳුනාගන්නා වී වර්ගය වගා කරයි. ඇතැම් විට එයට කහවණු ලෙස ද විටෙක මසුරං ලෙස ද තවත් විටෙක තවත් නමක්ද භාවිතා කරයි. මේ කුමන නමින් හැඳින්වූවද රූපියව බොහෝ් දුරට මේ වී වර්ග සමානය. වැදගත් කරුණු එය නොව පත්තිනි මෑනියන්ට, අයියනායක දෙවියන්ට සහ ගණ/පුල්ලෙයාර් දෙවියන්ට දේව පූජා සකස් කිරීමට වන්නියේ ගම්වල මිනිසුන් යොදා ගන්නේ අප මේ කතාබහ කරන වී වර්ගය වීමයි. එනම් දෙයියන්ගේ හාල් ය. දේව පූජා පැවැත්වීමට (මුරුතැන්ගෙයි බත් පිසීමට) වී ලබා ගැනීම උදෙසාම මුරුතැන්ගේ යාය නමින් කුඹුරු යායක්ද මේ ගම්මානවල තිබී ඇත. ඇතැම් ස්ථානවල අදටත් ඇත. මේ කන්නයේ සියපත් ඇල් වගාව ප‍්‍රචලිත කිරීමට අපට බොහෝ උපකාර කළ අයෙක් නම් වයඹ කෘෂිකර්ම අමාත්‍ය ඞී.බී හේරත් මහතාය. මේ කතාව මා ඒ මහතාට පැවසූ විට ඔහු කීවේ මුරුතන්ගේ යාය නමින් හඳුන්වන පුරාණ කුඹුරු යායක් කුලියාපිටියේ ඇති බවත් පොළොන්නරුවේ පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ සිට අද දක්වාම එහි ”පච්චපෙරුමාල්” වගා කරන බවත්ය.

සිංහල වී වර්ග පෝෂ්‍ය ගුණයෙන් අනූනය. පළාත අනුව, වයස අනුව, ශරීරයේ තත්වය අනුව අනුභවයට සුදුසු වී වර්ග ගණනාවක් අප සතු විය. අද ඒ දැනුම අප සතුව නැත. ඒ වෙනුවට බටහිර ක‍්‍රමයට වැඩි දියුණු කළ මතුපිට දිලිසෙන හාල් වර්ග කිහිපයක් පමණක් අපට ලබා දී ඇත බුද්ධ භෝගය වගා කළ, එය ආහාරයට ගත් බුද්ධවචනය පිළගත් ඒ අනුව ජීවත් වූ බුදුමග ගමන් කල ජාතියේ ආධ්‍යත්මය පිරිහීම සමග බුද්ධභෝගය ද යටපත්ව යෑම අරුමයක්් නොවේ. යටපත්ව ගියද එය තවම අතුරුදහන්ව නැත. මිනිසුන්ට පමණක් නොහැකි නම් ධාර්මික දෙවියන්ගේ ද සහාය ඇතිව ඒ මග අප සොයා ගත යුතුය. එහි ගමන් කළ යුතුය. ”බුද්ධ භෝගය” යලි සොයා ගැනීමෙන් ලැබෙන පණිවිඩය එයයි.

ආසනික් සංවාදය තමව අවසන් නැත. රජරට වකුගඩු රෝගයට ආසනික් හේතු නොවන්නේ යැයි පැවසීමට කිහිප දෙනෙකු අප‍්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු පෙනේ. ඔවුහු ඒ සඳහා දිවා ? වෙහෙසෙති. විදේශිකයන්ගේ ද සහාය ගෙන පර්යේෂණ කරති. එහෙත් අරුමයකට පර්යේෂණ කරන්නට කරන්නට ”ආසනික්” රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් බව තහවුරු වන සාධකම ඔවුන්ට ලැබේ. නමුත් ඒ වසන් කිරීමට ද රට නොමග යැවීමට ද ඔවුහු නොපැකිලෙති. මේ නම් කවර පාපයක්ද? ආසනික් බැහැර කිරීමට කිසිම ජගතකුට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මේ අයටම ”ආසනික්” බාර දී දැන් අපි වෙනත් කටයුත්තකට වෙහෙස වෙමු. එය ”ආසනික්”වලට වඩා බොහෝ දුෂ්කර වුව ද වෙහෙසකර වූ ද කටයුත්තක් බව අපි හොඳින්ම දනිමු. දැන් අපි බුද්ධ භෝගය රට පුරා වගා කරන්නෙමු.

උපුටා...-
- චන්න සුදත්