ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

ගාලු මුහුදේ තල්මසුන්


යාල, විල්පත්තුව, කුමන, වස්ගමුවේ ඉන්න සතුන්ගේ වැඩ බලන්න ඔබත් ගිහින් ඇති. ඒ වනෝද්‍යානවල වෙසෙන මුව රංචු, අලි ඇතුන්, ඌරන්, දිවියන්, පක්ෂීන් ආදී සතුන් ඔබට අලූත් අත්දැකීමක් වෙන්නටත් ඇති. ගවේෂකයන්ට, සංචාරකයන්ට, ඉගෙන ගන්නා ළමයින්ට මේ වනගත සංචාර අපූරු අත්දැකීමක්ද වෙයි.
තිස් වසක් පුරා රට හමුවේ තිබුණු යුද්ධය නිසා වනෝද්‍යාන බොහොමයක් කලින් කල වසා දැමිණි. එය දෙස් විදෙස් සංචාරකයන්ට අමිහිරි යුගයක් වූ බවද අපි විශ්වාස කරමු. යුද්ධය නිමාවීම සංචාරක ක්‍ෂේත‍්‍රයේ වේගවත් දියුණුවකට හේතු විය. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර අද දෙස් විදෙස් සංචාරකයන්ට නිදහසේ ඇවිදින්නට පුළුවන. අලූත් අත්දැකීම් ලබන්නට පුළුවන. සියලූ වනෝද්‍යාන සහිත ගොඩබිමක් දැන් කාටත් විවෘතය. මහ මුහුදත් හැමදෙනාටම විවෘතය. අරුගම්බේ, පාසිකුඩාවලින් පටන්ගත් විට හැම මුහුදු වෙරළම සංචාරකයන්ගෙන් පිරී ඇත. ඒ අපූරු නිදහසට අලූත් අත්දැකීම් ගෙනෙමින් දැන් අපේ මුහුදේදී තල්මසුන් හා ඩොල්පින් බලන්නට යන්නට ඔබට අවස්ථාව තිබේ.
‘‘තල්මසුන් ඩොල්පින් බලන්න රට ගිය කාලෙ ඉවරයි’’. අපට අද කියන්න ඇත්තේ එපමණකි. ලංකාවේ ලොකු කුඩා කාටත් නැවකින් ගොස් අපේ මුහුදු සීමාවේ සිටින මේ සතුන් බලන්නට පුළුවන. ඒ නොමැකෙන සටහන ඔබේත් පුංචි දුව පුතාගේත් ජීවිතවලට එකතු කර දෙන්නට ඔබට පුළුවන. කලින් රටේ හැමදෙනාම මුහුදින් ගියා නම් ඒ හික්කඩුවේ කොරල් පර නරඹන්නටය. නමුත් තල්මසුන් හා ඩොල්ෆින් නැරඹුමට ගැඹුරු මුහුදට යා යුතුය. මීටර 2000 ක් තරම් ගැඹුරු සයුර සොයා යා යුතුය. එය ‘අමුතු’ අත්දැකීමක් වන්නේ ඒ නිසාය. යුද්ධය නිවී සැනසුම ලැබීම මේ සඳහා වඩා පහසුවක් බව පෙනේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සුන්දර අත්දැකීම ඔබට එකතු කරන්නට මග බලා සිටී. ඔය කියන තරම් අපේ මුහුදේ තල්මස්සු ඩොල්ෆින් සිටීද? විටෙක ඔබ පමණක් නොව අපටද එය කුහුලක් විය. එය ඇත්තටම බලා ඔබට ලියන්නට පසුගියදා අපිත් ඒ සංචාරයට ගියෙමු. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර හිමි, එම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, පාලටුවේ ජිනරතන හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි සමග පසුගියදා අපිත් ගාල්ල වරායට ගියෙමු. එහිදී අපව ඉතා සුහදශීලීව පිළිගත්තේ ගාලූ වරාය නාවික කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසකි. ගාලූ වරායේ දැවැන්ත නැව් කීපයක්ද ඩෝරා යාත‍්‍රා සහ තවත් කුඩා යාත‍්‍රා රාශියක්ද ස්ථානගත කර තිබිණි. අපත් සමග සයුර බලා ඇදෙන්නට පි‍්‍රන්ස් ඔෆ් ලංකා නැව සූදානම් වී සිටී. තවත් දේශීය හා විදේශීය සංචාරකයන් 250 ක් පමණ අප සමග ඒ ගමනට එකතු වෙයි. ඉතා සුවපහසු ආසන කුඩා වෙළෙඳසල් සුහදශීලී නාවික නිලධාරීන් සංග‍්‍රහ ශීලී සේවය සෑම සංචාරකයකු විෂයෙහිම ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කැපවී සිටී. උදෑසන 7.00 ප‍්‍රින්ස් ඔෆ් ලංකා නැව මුහුදට ඇදෙන්නට විය. ඈතට යන තුරුම ගාල්ලේ සුන්දරත්වය අපි මුහුදේ සිට විඳ ගතිමු. මුහුදු රළට යන්තම් පැද්දෙන නැවේ නැරඹුම් ස්ථාන වෙත සියලූ සංචාරකයෝ ඇදෙන්නට වූහ. මුහුදු සුළඟ කපාගෙන ඉදිරියට ඇදෙන නැවේ සිට බලන විට කලින්දා රාත‍්‍රියේ මුහුදු ගිය ධීවර යාත‍්‍රා ගොඩ බිමට ඇදෙනු පෙනේ. අපි ක‍්‍රමයෙන් ගැඹුරු මුහුද කරා ගොඩබිම සීමාවෙන් මිදුනෙමු. ගොඩ බිම සීමාවට කිලෝමීටර් 15 කට එහායින් අපේ ගමන වැටී තිබේ. ඈත මුහුදේ හුදෙකලා වූ නාවුක හමුදාවේ ‘සාගර’ නෞකාව එක පසෙකින් පෙනේ. තවත් විශාල ප‍්‍රමාණයේ නැව් කීපයක්ද අප නෙත් මානයෙහි ළඟ ළඟම පෙනේ. පුංචි දරුවන්ට වැඩිහිටියන්ට තරුණ තරුණියන්ට ස්වාමීන් වහන්සේලාට මේ කාටත් වෙනස් වූ අත්දැකීමකි.
නැව ගාල්ලේ සිට ඈත මුහුද ඔස්සේ මාතර දෙවුන්දර දක්වා ගොස් ආපසු පැමිණේ. අප කිලෝමීටර් 30 ක් පමණ එහාට යන විට ඩොල්ෆින් මාළු ?නක් අප අසලම ගැවසෙන්නට විය. උන් සිටින සීමාවේ ඉහළ අහසේ සිය ගණන් ලිහිණියන් ගැවසේ. නැව ඒ දෙසට යාත‍්‍රා කරයි.ඇතැම් ඩොල්ෆින් මාළු මුහුදෙන් අඩි 5 ක් පමණ උඩ පැන බඹරයක් කැරකුවා සේ රැගුම් පා යළි මුහුදට පතිත වේ. තවත් මාළු රෑන් එකවර උඩට පැන යළි දියඹට එයි. උන්ගේ රැුඟුම් බලන්නට ආවාදෝයි සිතා නටන දඟලන අපුරුව යැයි කාටත් නොසිතුනා නොවේ. ඩොල්ෆින් රෑනේ දහස් ගණණක පිරිස තම තමන්ගේ අපූරු හැකියා මුහුද මැද රඟදක්වති. පුංචි දරුවෝද තරුණ තරුණියෝද කෑ ගසමින් ඒ රැඟුම් නරඹති. නැවෙහි බඳ ළඟටම එන ඩොල්ෆින්, මිනිසුන්ට තම ලෙන්ගතු කම කියා පායි.
මසුන් නරඹන ගල්බොඩ ශ්‍රී ක්‍දාණිස්සර හිමි.

කමාන්ඩර් ඉන්දික සිල්වා සහ ලූතිනන් කමාන්ඩර් දුමින්ද අතුකෝරළ

ප‍්‍රින්ස් ඔෆ් ලංකා නැව.
නැව මුහුදේ එක තැනක නවතා අපි ඒ දසුන් බැලූවෙමු. ඩොල්ෆින් රෑන ඈතට ඇදෙන විට අපි ඒ දෙසටම කැඳවා ගොස් පෙනෙන්නට ප‍්‍රින්ස් ඔෆ් ලංකා නැවේ කමාන්ඩර් හා ව්‍යාපෘති ප‍්‍රධානී ඉන්දික සිල්වා මහතා සහ එම නැවේ ලූතිනන් කමාන්ඩර් දුමින්ද අතුකෝරළ මහතා උත්සාහයක් දරනු පෙනේ.
එතැනින් මිදී තවත් දියඹට ඇදෙන විට දැවැන්ත තල්මසුන් නිරීක්ෂණය කරන්නට අපට හැකි විණි. සමහර තැන්හි තනිව ගැවසෙන තල්මසුන්ද තවත් තැන්හි දෙදෙනා ගැවසෙන තල්මසුන්ද අපට පෙනේ. තනි තල්මසාව මීටර් 50 පමණ මෙහා සිට නරඹන්නට අපට භාග්‍යය ලැබිණ. තල්මසා පණ පිටින් සැබෑවට දැකනොතිබුණු අපට ජීවිතයේ තවත් අලූත් එකතුවකි. තල්මසුන් දෙදෙනා ගැවසෙන තැන්හි උන් විනාඩි 10-15 ක් පමණ දිය මත ගැවසේ. ඉන් පසු පසුපස වරළ සමග ශරීරය බොහෝ උඩට මතු කොට ගැඹුරට කිමිදේ. ඉන් පසු යළිත් ඌ ගොඩබිම දිස් වන්නේ විනාඩි 15 ක් පමණ ගියපසු ඈත දියඹෙනි. මේ වැනි තල්මසුන් 12 ක් පමණ තැනින් තැන අපට දැකිය හැකි විය.

මේ සියලූ දේ අතරේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝත් මාත් නැවේ කමාන්ඩර් ඉන්දික සිල්වා සහ ලූතිනන් කමාන්ඩර් දුමින්ද අතුකෝරළ මුණ ගැසුනෙමු. ප‍්‍රින්ස් ඔෆ් ලංකා නැව හසුරුවමින් ඔව්හු අප හා මිත‍්‍රශීලී කතාවට එකතුවූහ.
‘‘සංචාරකයන් සඳහා තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නැරඹුම් කටයුතු ආරම්භ කළේ කොයි කාලෙද?’’
‘‘අපි 2011 දි තමයි මේ කටයුත්ත පටන් ගත්තෙ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ හැමෝටම ගොඩබිම වගේම මුහුදෙත් ඒ නිදහස තියන බවට පණිවුඩය දෙන්න මේක හේතු වුණා. ගොඩබිම වගේම ලංකා මුහුදු සීමාවේත් දැක බලා ගතයුතු වටිනා දේ තියන බව සංචාරකයන්ට පෙන්වීම මේකෙ අරමුණක්’’.
‘‘ලංකාවෙ මුහුදු තීරයේ ඩොල්පින් හා තල්මසුන් පිළිබඳ ඉතිහාසය දීර්ඝද?’’
‘‘ඔව්, හුඟක් ඉස්සර ඉඳන් හිටියා. නමුත් සංචාරකයන් සඳහා ඒ අවස්ථාව අහිමි වීම අඩුවක්’’.
‘‘ලංකා මුහුදු සීමාවෙ මේ තරම් තල්මසුන් ගැවසෙන්න විශේෂ හේතුවක් තියනවද?’’
‘‘ඒ ගැන මෙහෙම කියමු. ලෝකෙ තල්මසුන් හා ඩොල්ෆින් විශේෂ 87 ක් ඉන්නවා. නමුත් ලෝකයේ යම් රටක මුහුදු සීමාවේ තල්මසුන් විශේෂ එකක් දෙකක් හැර ඊට වඩා දකින්න නෑ. ලංකා මුහුදු සීමාවේ වර්ග 26 ක් දකින්න පුළුවන්. අද ඔයාලා දැක්කෙ නිල් තල්මසුන්. බෙංගාල බොක්කෙ සිට අරාබි මුහුද දක්වා වූ සීමාවේ වැඩිපුරම කෑම තියෙන්නෙ ලංකා මුහුදු සීමාවේ. ඒ නිසා ඔවුන් මෙතන රැඳෙනවා වෙන්න පුළුවන්. මුහුද ගොඩ බිම ඉඳල මීටර් 500 සිට 2000 ක් ගැඹුරු වෙන්න කිලෝමීටර් 5x6 ක් ආවම ඇති. ඒකත් විශේෂ හේතුවක්’’.
‘‘අර පේන තල්මසුන් කොපමණ විතර විශාලද?’’
‘‘මීටර් 30 ක් විතර’’.
‘‘තල්මස්සු බලන්න ලංකාවෙ පුළුවන් ගාල්ලෙදි පමණද?’’
‘‘නෑ. තව බොහෝ තැන්වලදි.’’


‘‘නාවුක හමුදාවෙන් තල්මසුන් නැරඹීමට එන එකම නැව මේකද?’’

‘‘ඔව් මේ නැව විතරයි’’.
‘‘යම් ආයතනයක හෝ පාසල් දරුවන්ට ගෙදර දොර අයත් මේවගෙ අත්දැකීම් ලබන්න කැමතියි. ඒ සඳහා ප‍්‍රින්ස් ඔෆ් ලංකා කොහොමද සූදානම’’.
‘‘අපි සූදානම්. සෑම සෙනසුරාදා සහ ඉරිදා උදේ 7.00 ට ගාල්ලෙන් නැව පිටත් වෙනවා. එකවර සංචාරකයන් 300 කට යන්න පුළුවන්. ගමනේ මුළු දුර කිලෝමීටර් 120 ක් පමණ. නැවත වරායට එන්නෙ දවල් 12.00 ට පමණ. ගාල්ල වරායෙන් ඔක්තෝබර් හා අපේ‍්‍රල් දක්වා මේ නැව පිටත් වෙනවා. ඉන් පසු ත‍්‍රිකුණාමල වරායෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පිටත් වෙනවා. හේතුව ගාල්ලෙ මුහුද සැරයි. දේශීය වැඩිහිටි සංචාරකයකුට රුපියල් 3500 ක් අය කරනවා. අවුරුදු 6 - 12 අතර දරුවකුට රුපියල් 2000 යි. අවු.6 න් පහළ දරුවන්ට නොමිලේ.’’
‘‘වෙන් කරවා ගැනීම් කොහොමද වෙන්නෙ?’’
‘‘සුළු පිරිසක් නම් උදේ 7.00 ට පෙර ආවත් සම්බන්ධ වෙන්න පුළුවන්. අත්තිකාරම් ගෙවීම් අවශ්‍ය නෑ. වැඩි විස්තර නැවට සම්බන්ධ 0777 323050 දුරකථනයෙන් විමසා බැලිය හැකියි. වෙබ් ලිපිනය whalewatching.navy.lk
මේ වැඩ සටහන පිළිබඳ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝද අදහසක් ප‍්‍රකාශ කළහ.
‘‘අපේ රටේ මිනිසුන්ට මේ රටේ තියන සම්පත බලාගන්න භාග්‍යයක් නෑ. එකක් ඒ ගැන දැනුමක් නෑ. අනික බලන ක‍්‍රමය දන්නෙත් නෑ. පිටරට මිනිස්සු මේවා හොයාගෙන එනවා. දෙවුන්දර, වැලිගම, ත‍්‍රිකුණාමල  ඕන දිහාකින් මුළු අවුරුද්දෙම තල්මසුන් නරඹන්න පුළුවන්. විදේශීය සංචාරක කටයුතු සඳහා දායක වන හෝටල්, රියදුරු කටයුතු කරන අය මේ ගැන සංචාරකයන්ට කියනවා මදි.
සංචාරකයන්ට මේගැන අවබෝධයක් දෙනවා නම් ලංකාවෙ හොඳ සංචාරක ඉල්ලූමක් ඇති කරන්න පුළුවන්. මේක දේශීය සංචාරකයන්ටත් තියෙන වටිනා අවස්ථාවක්. නාවික හමුදාව බොහෝම හොඳට ඒ කාර්ය කරනවා. එයාලට ඉන්ධන ගාස්තුව වත් පිරිමැසෙන්න සංචාරකයන් ආවොත් මේක දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ නිසා ප‍්‍රචාරය දිය හැකි අය විදෙස් සංචාරකයන්ට දේශීය සංචාරකයන්ට මේ ගැන දැනුම්වත් කරන්න  ඕනෑ. අනික ඩොල්ෆින් බලන්න තල්මස්සු බලන්න දැන් මොකටද පිටරට යන්නෙ.
 පුංචි මුදලක් දුන්නම ලංකාවෙ මුහුදු සීමාවෙදිම බලන්න පුළුවන්. ඒක රටට මොන තරම් වටිනාකමක්ද?’’
ඔබත් මොහොතක් හිතා බලන්න. දැවැන්ත තල්මසුන් විශාල ප‍්‍රමාණයක් ඩොල්ෆින් 500 හා 1000 ට වැඩි රංචු දැක බලා ගන්නනට දරුවන්ට පෙන්වන්නට මීට වඩා අවස්ථාවක් ඇත්ද? ජීවිතේ පසුපසට නොදැමිය යුතු අපූරු ගමනකි.
ගොඩබිමෙහි නැරඹීමෙන් පිට මුහුදත් නරඹන්න. එය ඔබට සාමය නිසා ලැබුණු තෑග්ගකි. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රින්ස් ඔෆ් ලංකා සති අන්තයේ සූදානමින්.
 2014 මාර්තු මස 06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය