ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

කොළඹ ආරක්ෂාවට හැදු කොළඹ කොටුව

එදා අද කොළඹ
එදා කොළඹ ගැන කතා බහ කරනවිට පෘතුගීසි හා ලන්දේසි යුගවල කොළඹ පැවැති ආරක්ෂක විධි විධාන ගැන සොයා බැලීමට අපි මේ සතියේ තීරණය කළෙමු.
මෙරටට ප‍්‍රථම වරට පැමිණි යුරෝපීය ජාතිය වූ පෘතුගීසීහු ස්වකීය ශක්තියෙන් තනාගත් කොළඹ බළකොටුව සතුරන්ගෙන් රැක ගැනීමටද ඒ සා ශක්තියක් හා යුද ශිල්ප දැක්වූහ.
ආහාර හිඟයෙන් ශරීර ශක්තිය දියව ගියද චිත්ත ශක්තිය නිසා ලන්දේසීන් සමඟ හත් මාසයක් යුද වැදෙමින් තම බළකොටුව රැක්මට එදා පෘතුගීසි සෙබළු 90 දෙනෙක් සමත්වූහ. ඒ අතරතුරදි කොටුවේ සිටි බල්ලන්, බළලූන්, මීයන් ආදී සතුන්ගෙන් තම ආහාර වේල පිරිමසා ගැන්මටද පෘතුගීසින්ට සිදුව ඇත. ඔවුන් ඒ සියලූ ශක්තිය ගත්තේ පෙරදිග ධාන්‍යාගාරයේ ආර්ථික මර්මස්ථානය වූ කොළඹ බළකොටුව රැක ගැන්මටය.
එවන්වූ බල කොටුවේ ඔවුන් එදා පවත්වාගන ගිය ආරක්ෂක විධි විධාන කවරේදැයි මීළඟට විමසා බලමු.
පෘතුගීසි පාලන සමයේදී එවකට තිබූ ප‍්‍රාදේශීය රාජධානිවලින් එල්ලවන අභියෝග නිසාම කොළඹ ප‍්‍රදේශයේ විශාල භූමි ප‍්‍රදේශයක බළකොටුවක් නිර්මාණය කරන ලදී.
එහි මුහුද දෙසට තිබූ කොටස එනම් ”ගල්බොක්ක” ලෙස හඳුන්වන ප‍්‍රදේශය ගල් පවුවකින් වැසී තිබූ නිසා ස්වභාවික රැකවරණය ලැබී තිබිණි. මුහුදු බොක්කේ ගැටිය වටා ඉදිව තිබූ උතුරු බැම්මේ යුද අට්ටාල පහක් ඉදිකර තිබිණි.
නව දිය කඩනය ආරම්භ වන ස්ථානයේ කෙළවරක ශාන්ත කෲස් හෙවත් වෝටර් කාසල්ද අනෙක් කෙළවර ශාන්ත ජො ආ ඕ හෙවත් ශාන්ත ජෝන් අට්ටාලයද, කියුරාංක් හෙවත් කවුරුස් ලෙස ද හැඳින්වූ ශාන්ත ෆ්රැන්සිස් සේවියර් යුද අට්ටාලයද පිහිටියේය.
මේ හැර ශාන්ත ස්ටීවන් ශාන්ත සෙබස්තියන් හා මැඩි‍්‍රඩියෝස් ලෙස තවත් යුද අට්ටාල තුනක්ද පිිහිටා තිබිණි.
ගොඩබිම් ප‍්‍රදේශ නිතරම පාහේ ආක‍්‍රමණයන්ට ලක්වූ නිසාම දැවැන්ත බැම්මක් ඉදිකර ඒ වටා ආරක්ෂාව තර කර තිබිණි.
කොටුවේ නැගෙනහිර සීමාව දිගේ ගලා ගිය දිය අගලකින්ද නැගෙනහිර දොරටුවට අමතර ආරක්ෂාවක් ලැබිණි.
කොටුවේ දකුණු දිශාව ආරක්ෂාවට ලැගෝප් යන පෘතුගීසි නමින් හැඳින්වූ කිඹුලන්ගෙන් පිරි ජල තටාකයක් පැවතිණි. එයින් ලැබෙන ආරක්ෂාව මඳ හෙයින් දෝ නාවික බළ ඇණි භාර සෝනි ජේකබ් ලියන්ස් ඇතුළු යුද බළ ඇණි දෙකක සොල්දාදුවන් මුරට යොදා තිබුණි. ඊටත් අමතරව චැංපොන් නම් චීන බෝට්ටුද ආරක්ෂාව පිණිස යොදා ගැනීමට පෘතුගීසීන් කටයුතු කර තිබිණි.
මේ ලෙස ආරක්ෂාවුණු කොළඹ ඇතුළත කොටුව බාහිර ආක‍්‍රමණවලට කොතෙකුත් ලක්වුවද කිසිදු දිනක සතුරන් අතට පත් නොකරන්නට එදා සිටි පෘතුගීසිහු වග බලා ගත්හ.
1655 සැප්තැම්බර් මාසයේදී පමණ නැව් දහසයක නැගී සෙබළුන් 3000ක් පිරිවරාගෙන පැමිණි ලන්දේසි ජාතික හර් ජෙරාඞ් හල්ෆට් නම් යුද සෙනෙවියා ගාලූ වරායට පැමිණෙන තෙක්ම පෘතුගීසීන්ගේ බළකොටුවල ආරක්ෂාවට එතරම් තර්ජනයක් නොවීය.
එවකට උඩරට රාජ්‍යය පාලනය කළ සෙනරත් රජුගේ හා දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ පුතුවන අස්ථාන කුමරු හෙවත් දෙවැනි රාජසිංහ රජතුමා සමඟ හල්ෆට් සෙනෙවියා එදා මිත‍්‍ර සන්ධානයක් ගොඩනගා ගත්තේ මෙරටින් පෘතුගීසින් පන්නා දැමීමටය. ”ඉඟුරු දී මිරිස් ගත්තා” යැයි පසුව ප‍්‍රචලිත වූයේද දෙවැනි රාජසිංහ රජුගේ එම තීරණයත් සමඟය.
කෙසේ හෝ ඉන් මසකට පමණ පසු ලන්දේසි සේනා කොළඹ දක්වා පැමිණියේ කොටුවට පහර දී එහි බලය අල්ලා ගැනීමටය.
මේ බැව් සැළවූ පෘතුගීසින් කළේ තම කොටුව තුළ සිටි නිත්‍ය හමුදා සෙබළුන් 500 දෙනා ඇතුළු 1300 ක සේනාවක් සූදානම් කිරීමය. එම සේනාවට සිංහල පවුල්වලින් ආවාහ විවාහ වී පැවතුණු පවුල්වල තරුණයන් 300ක්ද අයත්ව ඇත. කෙසේ හෝ එම සෙබළු තම කොටුවේ ප‍්‍රධාන දොරටු 03 ඉබියතුරුලා වසා දමා යුද අට්ටාලවලට වී ලන්දේසීන් එනතුරු බලා සිටියහ.
මෙඞ් ඔෆ් කුයිසන් නම් ලන්දේසි නැව මුහුදෙන් ආරක්ෂාව ලැබූ කොටුවේ වෝටර් කාසල් දොරටුව බිඳීමේ අරමුණින් කාලතුවක්කු ප‍්‍රහාරයන් දියත් කරගන දොරටුව සමීපයටම ආවත් එහි රැකවල්ලා සිටි පෘතුගීසිහු එය විනාශ කළහ. එයට වූ විනාශය දුටු අනිකුත් ලන්දේසි නැව් ගැඹුරු මුහුදේ නැංගුරම්ලා බලා සිටි බවද ලන්දේසි හා පෘතුගීසි මූලාශ‍්‍රවල සඳහන්ය.
කපිතාන් කයිලන් බර්ග් හා මේජර් වොන් වැන්ඩර් ලෑන් යන ලන්දේසි යුද හමුදා නිලධාරීන් ප‍්‍රමුඛ සේනාවන් කියුරාස් හා ශාන්ත ජොආ ඕ යුද අට්ටාලවලට පහර දුන්න ද ඒවා යටත් කරගත නොහැකි විය.
ඒ අතර හර්ෆට් සෙනෙවි තෙමේ සෙබළුන් අටසිය දෙනකු පිරිවරා පුර්ටේ රෙයිනා හෙවත් බිසෝ දොරටුව ලෙස හැඳින්වූ නැගෙනහිර දොරටුව බිඳීමට වෑයම් කළේය. රද්ජුවා හෙවත් කයිමන් දොරටුව ලෙස වහරේ පැවතුණු එම නැගෙනහිර දොරටුවේ බලය අල්ලාගෙන බැම්මට ඉනිමං තබා කොටුවට ඇතුළුවීමට ද ලන්දේසීහු උත්සාහ කළහ.
එහෙත් යුද ශක්තියෙන් හෝ සේනා බලයෙන් ලන්දේසි හමුදාව හා සම තත්ත්වයක නොවුවද පෘතුගීසිහු තම බළකොටුව රැක්මට දිවි පරදුවට තබා සටන් කළහ. ඒ නිසාම පුරා මාස හතක් පමණ කොටුව තුළ සිරව සිටිය ද සිය කොටුවට සතුරාට ඇතුළුවීමට ඉඩක් නොදීමට එදා පෘතුගීසීහු කි‍්‍රයා කළහ. සවි ශක්තිමත් ලෙස බළකොටුවේ ද්වාර මෙන්ම ප‍්‍රාකාරද ඉදිකර තිබීමත් එයට හේතුවී ඇත.
කෙසේ වෙතත් පෘතුගීසි මූලාශ‍්‍ර රැසකට යස අගේට විස්තර කර ඇති පෘතුගීසින්ගේ බළකොටුවේ නැගෙනහිර දොරටුව හා බැම්ම ලන්දේසීන්ගේ කාල තුවක්කුවල බල මහිමයෙන් කුඩා ගල් කැබලි ගොඩකට කැඞී තිබුණි.
1655 ඔක්තෝබර්වල පරංගීන්ට එරෙහිව  ඕලන්දක්කාරයන් කොළඹදී ඇවිලවූ සටනේ ලන්දේසීන්ට ජයක් අත්කර ගන්නට ලැබුණේ ඉන් මාස හතකට පසු එනම් මැයි හත් වැනිදාය. එදා ශාන්ත ජෝන් හෙවත් ශාන්ත ජෝ ආ ඕ දොරටුවේ බලය ලන්දේසීන් අල්ලා ගත්තේ තම සේනාංකයේ සෙබළුන් හාරසියයකගේ ජීවිත කැප කරමිනි. ඊටත් වඩා පිරිසක් තුවාලකරුවන් බවට ද පත් කර ගනිමිනි.
ඒතරම් විනාශයක් ලන්දේසීන්ට අත්කර දුන් පෘතුගීසි හමුදාවේ සෙබළුන් කී දෙනෙක් එවකට ජීවත්ව සිටියාදැයි ලන්දෙසීන් දැන ගත්තේ ඉන් දින පහකට පසුවය.
ඒ කඩු කස්තාන තුවක්කු එල්ලාගෙන වැරැහිලි ඇඳුම්වලින් යුක්තවූ වැහැරී ගිය සිරුරෙන් හැරමිටි ගසමින් ආ සෙබළුන් හා තවත් පෘතුගීසි ජාතිකයන් අනූ දෙනෙක් මැයි දොළොස් වැනි දින යටත් වීමට පැමිණීමෙන් අනතුරුවය.
සාගතයෙන් මෙන්ම රෝග පීඩාවෙන්ද පෙළෙමින් සිටි මෙම පෘතුගීසීන්ගේ විලාසය දුටු ලන්දේසීන් පවා විස්මයට පත්ව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ට යටත්වීමට මෙලෙස පැමිණියේ කොටුවේ රැක්මට කළ හැකි කිසිවක්ම නුවූ තැනය.
සෞඛ්‍යයෙනුත් ශරීර ශක්තියෙනුත් සාගතයෙනුත් දරුණු ලෙස පීඩාවට පත්ව සිටි පෘතුගීසීන් පරාජය භාර නොගෙන මුළු නගරයම පුපුරුවා හරිමින් දිවි නසා ගන්නටද වෑයම් කර ඇත. එහෙත් නගරය පිපිරවීමට අවි ආයුධ පිරවීමට තරම්වත් වෙඩි බෙහෙත් නුවූ තැන මොවුන් මෙසේ සටන් නවතා යටත්වීමට පැමිණ ඇත.
පරංගීන් සිටි බළකොටු උඩරට රජුට කරදෙන පොරොන්දුව මත ලන්දේසීන් යුද වැදුනද යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේත් විනාශවූ යුද ආම්පන්න හා ඊට වැයවූ මුදලටත් සරිලනසේ රජුගෙන් ඊට අදාළ වන්දිය ඔවුහු ඉල්ලා සිටියහ. මෙයින් ෂෂ රාජසිංහ රජු දරුණු ලෙස කිපුණු බැව් දත් ලන්දේසීහු කොළඹ නගරයේ ඇතුළත පෘතුගීසින්ටද වඩා සවිමත් බළ කොටුවක් නිර්මාණය කළෝය.
පෘතුගීසින්ගේ කොටුවට වඩා ඉතාමත් කුඩා භූමි ප‍්‍රමාණයක මෙම කොටුව ඉදිවිණි. කොටින්ම එය පෘතුගීසීන්ගේ බළකොටුවෙන් තුනෙන් එකක් තරම්වත් නොවීය. ශක්තිමත් කොටු බැමි හා ගැඹුරු දිය අගල්ද එහි වටා ඉදිවූයේය.
එම බළකොටුවේ නැගෙනහිර මායිමේ ලෙයිඩන්, ඩෙල්ප්ට්, හූන් යන යුද අට්ටාලත් දකුණු මායිමේ රොටර් ඩෑම්, මිඞ්ල් බර්ග්, ක්ලිපන්බර්ග් හා එන් කුයිසන් යන යුද අට්ටාලත් බටහිර කොටසේ බ්‍රෙයිල් හා ඇම්ස්ටර්ඩෑම් යන යුද අට්ටාලත් ඉදිවීය.
වෝටර් පාස් හා සීබර්ග් යන යුද අට්ටාලද මෙයට අමතරව කොටුවේ ආරක්ෂාවට යොදා ගැනිණි. ”කාසල්” ලෙස පොදුවේ හැඳින්වූ කොටුවේ නැගෙනහිර මායිමේ තිබූ හිස් තැනිතලා භූමියක් වූ බෆලෝස් ලේන් හෙවත් මී හරක් තැන්නද ආරක්ෂාවට යොදා ගත්තේ වතර බැහැර කිරීමට තැනූ සොරොව්වකින් එය වතුරෙන් යට කිරීමට හැකිවන පරිදි නිර්මාණය කිරීමෙනි. ”බියර්” නම් ඉංජිනේරුවකු විසින් මෙම දිය අගල් හා ආරක්ෂක ජලාශ ක‍්‍රමයන් ඉදිකළා යැයි සලකනු ලැබීය. ඇතැම්හු මේ ”බියර්” ඉංජිනේරුවා සිහිවීමට එම වැව ”බේරේ වැව” ලෙස නම් කර ඇතැයිද කියති.
කෙසේ හෝ ඉහත යුද අට්ටාලවලට අමතරව මහ මුහුද හෝ වැව අසු නොවූ ස්ථානවල ගැඹුරු දිය අගල්ද තැනීමට  ඕලන්දකාරයෝ එදා පියවර ගත්හ.
කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළක් සාදා එයද බළකොටුවේ ආරක්ෂාවට යොදා ගති.  ඕලන්ද ඇළ හෙවත් ”කැනල් රොව්” ලෙස නම් වූයේ මේ ඇළය. එහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.
1550 වනවිට තාප්පවලින් වටව තිබූ පෘතුගීසි බළකොටුව ලන්දේසීන් සමඟ කළ සටනේදී විනාශව ගිය නිසා එය ගොඩ නංවන්නට ලන්දේසීන්ට බොහෝ කාලයක් ගතවීය. කැඞී බිඳී සුනු විසුනු වූ නැගෙනහිර කොටු පවුර ඉදිකිරීමට පමණක් විසි වසරකටත් වඩා වැඩි කාලයක් ලන්දේසීන්ට ගතව ඇත. අති විශාල ධනස්කන්ධයක් ඊට වැයවූ නිසාම  ඕලන්දයේ පාලකයන් කොටුවේ භූමි ප‍්‍රමාණය සීමා කිරීමට අණ දී ඇත.
ඒ නිසාම වර්තමාන කොටුවට සමාන භූමි කොටසක ලන්දේසි බළකොටුව ඉදිව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ගේ මේ සවිමත් බළකොටුව බිඳ පැමිණි එක් අයෙක් ගැන පමණක් එකල ලන්දේසීන් තම දෛනික වැදගත් සිදුවීම් සනිටුහන් කළ කොළඹ නිල වාර්තාව හි සඳහන්ය.ඒ 1751 නොවැම්බර් 27 දින පෙරවරු දෙකට පමණ කොටු බැම්මක් බිඳගෙන බේරේ වැවෙන් පිහිනා රොටර්ඩ‍්‍රෑම් අට්ටාලය විනාශ කළ දළ ඇතෙකිය. මෙම ඇතා රොටර් ඩෑම්හි සේවය කළ සෙබළුන් තුන් දෙනෙකුගෙන් එකෙකු මරා දමා තවකකුගේ අතපය බිඳ දැමූ බවද කොළඹ නිල වාර්තාවේ මැනවින් විස්තර කර ඇත.
18 වැනි සියවස වෙද්දී මෙම බළකොටුවේ වපසරිය වර්ග සැතපුමක් දක්වා අඩුවී තිබිණි. 1807 දී සන්නද්ධ තුවක්කු හතක් හා යෝධ ආධාරක කාල තුවක්කු 30 ක්ද බළකොටුවේ ආරක්ෂාවට යොදා තිබුණි.
1871 වනවිට ඝනකම් බිත්ති සහිතව දිගු උස ප‍්‍රාකාරවලින් සමන්විතව තිබූ බළකොටුවේ තාප්ප බොහෝමයක් කඩා දමා තිබිණි.
1796 පෙබරවාරි දහසය වැනි දින කොළඹ කොටුවේ බලය ලන්දේසීන් විසින් ඉංගී‍්‍රසීන්ට පවරා යන්නේ දෛවෝපගත සිද්ධියක් පරිද්දෙනි. මන්දයත් එයට වසර 140 පෙර පෘතුගීසීන්ගෙන් කොටුවේ බලය උදුරා ගත්තාටත් වඩා නින්දිත ලෙසය.
රටේ සෙසු  ඕලන්ද බළකොටු ක‍්‍රමයෙන් අල්ලාගන එන බි‍්‍රතාන්‍යයන්ට සටනක් නුදුන් මේ  ඕලන්දක්කාරයෝ මැලේ සෙපොධිවරුන් හා එක්ව පලා ගියහ. හූන් හා ඩෙල්ප්ට් යුද අට්ටාල අතර ඇති නැගෙනහිර දොරටුවෙන් එලෙස ගියේ කැලණි ගං මෝය අසල ඒ වනවිටත් නැංගුරම් ලා තිබූ බි‍්‍රතාන්‍ය ජාතික ආර්. එන්. ගාඞ්නර්ගේ යුද නැව් හා කර්නල් ජේම්ස් ස්ටුවට්ගේ යුද සේනාංක කොළඹ කොටුව වැටලූ පසුය. එදා නැගෙනහිර මළුව ලෙස හැඳින්වූ අද ලෝටස් මාවත ප‍්‍රදේශයේදී ලන්දේසීහු තම කඩු හැර අනිකුත් අවි ආයුධ බි‍්‍රතාන්‍යයන්ට භාර දුන්නෝය.
එදා ලන්දේසීන්ගේ යුද අට්ටාල තිබූ තැන්වල අද පවතින්නේ මොනවා දැයි අපි ඊළඟට විමසා බලමු.
නැගෙනහිර මායිමේ තිබූ හුන් අට්ටාලය අද ට‍්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි තැන පැවතිණි. එදා ඩෙල්ෆ්ට් අට්ටාලය පිහිටියේ අද ”මේන් ස්ටි‍්‍රට් හෙවත් කෙළින් වීථිය හා ගෆුර් ගොඩනැගිලි පිහිටි තැනය. ලෙයිඩන් යුද අට්ටාලය අද ගෆුර් ගොඩනැගිල්ල පිටුපස පිහිටියේය. වරායට යාබද ”ලේඩන් බැස්ටියන්” මාවත ඒ නෂ්ටාවශේෂයයි.
දකුණු මායිමේ එදා තිබූ යුද අට්ටාලය වූ එචිලන් බැරැුක්ක කෙළවර පිහිටි රොටර් ඩෑම් පිහිටියේ අද රීගල් සිනමාහල තිබූ තැනය. මිඞ්ල් බර්ග් තිබුණේ රැජිණ වීදියේ දකුණු කෙළවර ගාලූ මුවදොර පිටිය පෙනෙන පරිදිය. කොඩිගහ වීදියේ එන්කුයිසන් පිහිටියේය. රේගුවේ ප‍්‍රධාන දොරටුව අසළ ඇම්ස්ටර්ඩෑම් පිහිටා තිබිණි.
(විශේෂ ස්තුතිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රෝහිත දසනායක මහතාට)
2012 ජූලි මස 29 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 කයිමන් දොරටුව තිබෙන ප‍්‍රදේශයේ ට‍්‍රෑම් කාර් ගිය හැටි
 එදා ඩෙල්ෆ්ට් යුද අට්ටාලය තිබූ තැන මහ වීදිය පසු කලෙක දිස් වූ අයුරු.
 පැරැණි කොටුවේ ඕලන්ද ඇළ එදා තිබූ අයුරු.
 එදා ශාන්ත සෙබස්තියන් ඇළ තිබූ අයුරු.
 ශාන්ත ජෝන් යුද අට්ටාලය තිබූ තැන ශාන්ත ජෝන් මාළු වෙළෙඳ පොළ තිබූ ගොඩනැගිල්ල අද
 අද ශාන්ත ජෝන් වීදිය දිස්වන අයුරු.
එදා රොටර්ඩෑම් යුද අට්ටාලය තිබූ තැන අද ඇති රීගල් සිනමා හල