ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

සීතාවක රජ මාලිගය හමුවේ

වර්ෂ 1819 ජුනි මාසයේ දී මහනුවර දක්වා වැටුණු මාර්ගයේ අවිස්සාවේල්ල අසලින්  ගමන් කරන විට, ස්වදේශිකයන් , වනයෙන් වැසුණු  පැරණි කොටුවක් වෙත මා කැඳවාගෙන යන ලදිමි. කුඩා ගැඹුරු දිය පාරක් ගඟට එක් වීමෙන්  සැදුණු උස්  තුඩුවක මෙය පිහිටියේය. මම ඔරුවකින්  ගඟ තරණය කර ගල්පඩි පෙළක් නැග එයට පිවිසුණෙමි. එකක් ඇතු‍ලේ  එකක් පිහිටි  පවුරු තුනකින්  යුත් එය මුළුමනින්ම පාහේ හරි හතරැස් විය.
පිට පවුර අඩි 8-10 තෙක් උස්ය. මේ පවුරේ  සිට ඊළඟ පවුරට දුර අඩි 24-30 පමණ වේ. මෙහි කොනක ගැඹුරු ළිඳකි.
ඉංගිරිසින් මෙරට යටත් කරගත් නොබෝ කලකින් සීතාවක කොටුවට ගොස් ලැබූ අත්දැකීම් මෙසේ  සටහන් කර ඇත්තේ ඉංගිරිසි නිලධාරියකු වූ ජෝන් ඩේව් ලංකාව ගැන ලියූ කෘතියෙහිය. 
(ඩේව් දුටු ලංකාව 309 පිට)
Sethawaka-rajadaniyaශ්‍රී ලංකාවේ රාජධානි අතර නොමැකෙන මතක සටහන් රැසක් තැබූ සීතාවක  රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක කොටුවයි.  මෙය පිහිටා ඇත්තේ අවිස්සාවේල්‍ලේ සිට කි.මී. 2 ක් දුරින් තල්දූවෙන් හැරී යන පනාවල පාරෙහි  බණ්ඩාරවත්ත ප්‍රදේශයේය. බටහිරින් හා නැගෙනහිරින්  සීතාවක නදියටද නිරිත දිගින් ගැට නැති ඔයටද මායිම් වූ මෙහි උතුරින් කුඩා  කඳුගැටයකි. ඊසාන දෙසින්  තැඹිලියාන කන්දයි. ජල දුර්ග හා ගිරිදුර්ග වලින් සුරක්ෂිත වූ  උස් බිම් කඩක පිහිටි මෙම කොටුව ප්‍රසිද්ධව තිබුණේ ඕලන්ද බලකොටුවක් ලෙසිනි. මෙම භූමියේ රජ මාලිගය පිහිටා තිබූ බවට ජනප්‍රවාද පැවතියද එය පුරා විද්‍යාත්මකව තහවුරු වී නොතිබුණි.
පසුගියදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව කාර්යාලය මගින් මෙහි කැණීම්  කටයුතු ආරම්භ කරන ලදී. එහිදී සීතාවක රජ මාලිගය මෙම භූමියේ පිහිටි බවට නිශ්චිත සාධක හමුවිය.
ඒ සමගම සීතාවක රාජධානියේ බලය තහවුරු කරගෙන සිටි මායාදුන්නේ සහ පළමුවැනි රාජසිංහ යන රජවරු යළිත් කරළියට පිවිස සිටිති. ක්‍රි.ව. 1521 දී කෝට්ටේ විජයබා කොල්ලයෙන් පසුව සිංහල රාජධානිය කොටස් තුනකට කැඩී ගියේය. ඒ කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙනි. විජයබාහු රජුගේ බාල පුතා වූ මායාදුන්නේ කුමරුට හිමි වූයේ සීතාවකයි. වැඩිමහල් පුතා වූ බුවනෙකබාහුට කෝට්ටේද රයිගම් බණ්ඩාර කුමරුට රයිගමද හිමිවිය.
කෝට්ටේ රාජධානියක් ගොඩනංවා එහි මාලිගා පවුරු පදනම් ආදියත් ඉදිකළ බව සීතාවක  හටන නම් ප්‍රශස්ති කාව්‍යයේ සඳහන්ය. මේ එහි එක් කවකි.
සපිරි නිති රජ සිටින එමන්දිර
සුපිරි ලෙස කළ මඟුල් මඩුව පුර
සපිරි පුරා සොද සක්මං වඩු තුර
ළපිරි ලෙසට කළ සළු මණ්ඩප පෙර
මායාදුන්නේ  රජුගේ පුතා වූ ටිකිරි බණ්ඩාර කුමරු  රණශූරයෙක් විය. මායාදුන්නේ රජුට වයස අවුරුදු 80 ක් වූ විට රාජසිංහ නමින් රජ බවට පත් වූයේ ටිකිරි කුමරුය. ඔහු පෘතුගීසීන්ට එරෙහිව යුද්ධ රාශියක් කළ පාලකයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. 1592 දී පළමු වැනි රාජසිංහ රජුගේ  හදිසි මරණයත් සමග සීතාවකට ලැබුවේ අඳුරු කලදසාවකි. 1594 දී පෘතුගීසීන් සීතාවක යටත් කර ගත්හ.
මායාදුන්නේ රජුගේ සීතාවක මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වේ. රාජ සභා ශාලාව, සක්මන්  මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය , බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ දැක්වේ. සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රයකි. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත්  පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබි ඇත. සැවුල් Sethawaka-rajadaniya1සංදේශ කතුවරයා පවසන්නේ මාලිගා සංකීර්ණය දෙව්පුරයක් මෙන් අලංකාර වූ බවයි.
පෘතුගීසීන් පලවා හැරි ලන්දේසීහු 1658 දී මෙරට මුහුදු බඩ පළාත් යටත් කර ගැනීමත් සමග උඩරට රාජධානියට එරෙහිව  සටන් කිරීමට බලකොටු කිහිපයක් ඉදිකළහ.  සීතාවක කොටුවද ඒ අතරින් එකකි. ක්‍රි.ව. 1675 දී රජ මාලිගා භූමියේම  සීතාවක  කොටුව ඉදිකර තිබේ. එය සිවුපසින් මුර අට්ටාල (බැස්ටියන්) හතරකින්  යුත් අඩි 200  ක් දිගින්ද අඩි 180 ක් පළලින්ද යුත් කොටුවක් විය. කොටු මැද තිබුණේ ආහාර පාන, ඖෂධ, අවි ආයුධ, වෙඩි බෙහෙත් සහිත ගබඩාවකි. මෙම කොටුව තැනීමට මාලිගාවේ තිබූ කළුගල් පුවරු, කබොක් ගල් ආදිය යොදාගෙන ඇති බව පුරාවිද්‍යා කැණීමේ දී 
හෙළිදරව් විය.
දීර්ඝ කාලයක් පස්වලට යටවී  ඒ මත ‍පොල් ගස් ඇතුළු ගස් වැල් වැවී, පැවති මාලිගා භූමියේ කැණීම් ආරම්භ කළේ 2012 අගෝස්තු මාසයේ දීය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැණීම්වල මුල් අදියර නිමාවට පත් විය. එහි දෙවන අදියර 2013 අප්‍රේල්වල ඇරඹිණි. 
ඒ පිළිබඳ අදහස්  පළ කරන පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (සබරගමුව) තිස්ස මදුරප්පෙරුම මහතා, 
සීතාවක රාජධානිය පිළිබඳ ඉතිහාසයේ සැඟවී තිබෙන කරුණු අනාවරණය  කර ගැනීමයි, කැණීම්වල අරමුණ වුණේ. මෙම භූමියේ  ඕලන්ද බලකොටුවේ  ශේෂ පැහැදිලිව දක්නට ලැබුණා. බලකොටුව මැද පිහිටි ගොඩැල්‍ලේ පස් ඉවත්  කළ විට කබොක් ගල්වලින්  කළ ප්‍රාකාරයක ශේෂ හමුවුණා. එහි හරස් කැණීමක් කර බලන විට කබොක්  ගල් බැමි හමුවුණා. එහි තවදුරටත් යටට කැණීම් කරන විට කළුගල් පදනමක් හමු වුණා. ගල් පඩි  තුනක් පමණ කොටසක් සහ කළු ගලින්  කළ ඇතිරුවක් දැක ගැනීමට ලැබුණා. 
මෙම කැණීම්  පිළිබඳව තවදුරටත් අපට කරුණු පැහැදිලි කළ  ප්‍රාදේශීය කැණීම් නිලධාරි  ජානකී බියන්විල,
අඩි 5 ක් පමණ උසට තිබූ පස් ගොඩැල්ල  කැණීමේදී ඕලන්ද බලකොටු ප්‍රාකාරයේ සාධක හමු වුණා. ඕලන්ද ප්‍රාකාරය ඉදිකර තිබෙන්නේ  කබොක් ගල්වලින් දෙපැත්ත බැඳ මැදට සක්කගල් හා කබොක් ගල් පිරවීමෙන්. මෙයට යොදාගෙන  තිබුණේ  රජ මාලිගයේ අවශේෂයි. එයට යටින් මතු වූයේ කළුගලින්  කළ ඉදිකිරීමක්. එය ඕලන්ද ඉදි කිරීම්වලදී වෙනස් වී නැති බව පෙනුණා. ඒ රජ මාලිගයේ ප්‍රවේශයක්.  එහි ගල් සියුම් අයුරින් වැද්දූ සලකුණු පවා තිබෙනවා.
ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි , කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.
සීතාවක රජ මාලිගය  මතු වූ බව ජනමාධ්‍ය මගින් දැනගත් පාසල් සිසුන් ප්‍රදේශවාසීන්  මෙන්ම දුර බැහැර  නරඹන්නෝ  පවා මේ වෙතට ඇදී එති. ඔවුන්ගේ අරමුණ එතෙක් සාහිත්‍ය මූලාශ්‍රවලින්  හා ජනකතාවලින් අසා තිබූ පෘතුගීසීන් බියපත් කළ සීතාවක රාජසිංහ රජු වාසය කළ මන්දිරය හැබැහින්  දැක ගැනීමය. ඓතිහාසික කතා පුවත්වලින් දැන සිටි රාජසිංහ චරිතය යම් පමණකට හෝ ස්පර්ශ කිරීමටය.
අප රජ මාලිගා ප්‍රවේශය අසල ගල්පුවරුවක හිඳගෙන සිටියෙමු. අප සිතට පිවිසියේ කඩුවක් අමෝරාගෙන පෘතුගීසීන්  පෙති ගැසීමට මුල්‍ලේරියා වෙළේ අසුපිටින් යන රාජසිංහ රුවයි. සබරගමුව පළාතේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සීතාවක මාලිගය කැණීම් නිමාකර සංරක්ෂණය කිරීම වැදගත්ය. ඒ සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
කුසුම්සිරි විජයවර්ධන 
ඡායාරූප : කුසුම්සිරි විජයවර්ධන,හාතාගොඩ ධර්මසේන