ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

කාලිංග රජුත් ලොරෙන්සෝ ද අල්මේදාත් බලකොටු බැන්ද මඩකළපුව


සුප‍්‍රකට කල්ලඩි පාලම

1960 දශකයේ කතෝලික ලෑන්ග් පියතුමා සුප‍්‍රකට කල්ලඩි පාලම පාමුල මඩකළපුවේ සිංදු කියන මාළුන්ගේ සංගීත නාදය පටිගත කොට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශනය කර තිබේ. අදටත් පුර සඳ ඇති රැුයෙක එම ගී හඬ ඇසීමට හැකි වුවත් කලක් තිස්සේ එය ඇසීමට තරම් නිසල පරිසරයක් එහි නොතිබුණි.

ලංකාවේ සිවිල් යුද තත්ත්වය පැවතීමට පෙර ඉතාම සශ්‍රීකව පැවති නගරයක් ලෙස නැගෙනහිර පළාතේ මඩකළපුව හඳුන්වා දිය හැකිය. මඩකළපුවේ ශ්‍රී විභූතිය පිළිබඳවත් රෙදිපිළි, ඇලූමිනියම් භාණ්ඩ ඇතුළු ද්‍රව්‍යවලට ප‍්‍රචලිතව තිබූ අයුරු පැරැුණියෝ අභිමානයෙන් සිහිපත් කරති. මඩකළපු සරොන් කාලාන්තරයක් තිස්සේ හොඳ පටපිළි සොයන කා අතරත් එක සේ ජනප‍්‍රියව තිබිණි. පෙරදිගෙන් අලූයම පිබිදෙන හිරු දකින එක් නගරයක් වනුයේ ද මඩකළපුවයි. නැගෙනහිර මුහුදු ගැබෙන් රත් හිරුමල පිපෙන දසුන අතිශය චමත්කාරජනක ය. යුද බිය කාලාන්තරයක් තිස්සේ එම ප‍්‍රදේශය වෙලා පැතිර නොතිබුණේ නම් අදටත් ලංකාවේ සුපිරි නගර අතුරින් මඩකළපුව අද්විතීය වෙයි. අතීත ශ්‍රී විභූතිය අද එලෙසම මඩකළපුවේ දක්නට නැතත් පෙර සශ්‍රීකත්වයේ සාධක සම්පූර්ණයෙන්ම ගිලිහී නොමැත.

මඩකළපුව ඉංග‍්‍රීසි භාෂාවෙන් Batticaloa ලෙසින් හඳුන්වයි. මඩ සහිත වූ දැවැන්ත කළපුව නිසා සිංහල බසින් මෙම නගරය මඩකළපුව වශයෙන් හඳුන්වනු ලැබේ. භූමි ප‍්‍රදේශය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 2633.1 පමණ වෙයි. මඩකළපු දිස්ත‍්‍රික්කය භූමි ප‍්‍රදේශයෙන් 3.8% ක් පමණ ආවරණය වෙයි. දමිළ බසින් මෙම නගරය මට්ට කළප්පු Mattak Kalappu වශයෙන් හඳුන්වයි.
 



අනාදිමත් කාලයක සිට ලංකාව වටා පිහිටි වෙරළ තීරයේ පැරණි නැව් තොට හරහා විවිධ රටවල් සමග ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පවත්වාගෙන පැමිණි බව ඓතිහාසික මූලාශ‍්‍ර පිරික්සීමෙන් පෙනෙයි. මඩකළපුවේ අතීතය යක්ෂ සහ නාග ගෝත‍්‍රික ඉතිහාසය තෙක් දිවෙයි. කුල ගෝත‍්‍ර මත පදනම් වූ සමාජ සබඳතාවක් පවත්වාගෙන ගිය ඔවුහු දමිළ භාෂාව කථා කළ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එක් කාලයක කුතිකන් නම් රජෙකු විසින් ස්ථාපනය කළ මඩකළපු රාජධානිය චෝල රාජධානියේ සිට පැමිණි කරිකාල චෝලම් රජු නිසා ශක්තිමත් වූ බැව් කියැවෙයි. කරිකාල චෝලම් රජු ලංකාව ආක‍්‍රමණය කොට මෙරටින් පුද්ගලයන් දහසක් සිරකරුවන් වශයෙන් රැුගෙන ගියේය. 

ඊට අවුරුදු 12 කට පසුව ගජබාහු රජු චෝල රට ආක‍්‍රමණය කොට දමිළ පුද්ගලයන් දහසක් ඒ වෙනුවෙන් රැුගෙන ආ බව කියයි. ඔවුන්ගේ කොටසක් නිදහස් කළ පසු මඩකළපු ප‍්‍රදේශයේ පදිංචි වූ බැව් මතයකි. වත්මන් දීඝවාපිය අතීතයේ දීප වාවී ලෙස හැඳින්වූ බවත් මඩකළපු රාජධානියේ අගනුවර වශයෙන් පවත්වාගෙන ආ බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි.

පළමු සියවසේ ඉන්දියාවේ පඬි රට හෙවත් වත්මන් තමිල්නාඩුවේ සිට මුක්කුවාවරු Mukkuvars නම් ජන කොට්ඨාසයක් පැමිණ ඇත. ඔවුහු මඩකළපුවට සංක‍්‍රමණය වූ අතර කේන්ද්‍රීය ගම්මාන 07 ක පදිංචි වූ බව කියැවේ. ඔවුන්ගේ ආගමනය හේතුවෙන් එතෙක් එම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදුනු ගෝත‍්‍රයක් වූ තිමිලාර්වරුන් සමග ගැටුම් ඇතිවිය. මුක්කුවාර්වරුන්ගේ මූලික ජනපද තිමිලේතිව් හෙවත් තිමිලාර් දුව වශයෙන් හඳුන්වා ඇත. එහි බලකොටුවක් ද තිබුණු බව ඇතැම් මූලාශ‍්‍රවල කියැවේ. ඔවුහු පදිංචිව සිටි ප‍්‍රදේශ අතර මත්ස්‍ය කර්මාන්තය වැඩි වශයෙන් බහුල වලයික්කාතිරේව් Valaikattiravu හෙවත් දැල් යොදා මාළු අල්ලන ප‍්‍රදේශයක් පිළිබඳව විස්තර වෙයි.

පසු කාලයේ ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ සිට සංක‍්‍රමණය වූ පට්ටනියාර් නම් මුස්ලිම් සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් මඩකළපුව සහ ත‍්‍රිකුණාමලය අතර මායිම් ගම්මානයක් වූ වෙරුගල් දක්වා පළවා හැරි බව මූලාශ‍්‍රවල සඳහන් වෙයි. තිමිලාර්වරුන් සහ පට්ටනියාර්වරුන් අතර ඇති වූ ගැටුම් හා සම්බන්ධ ජනප‍්‍රවාද රැුසකි. සතුරන් මැරූ ස්ථානය යන තේරුම සහිත සතුරුකෝඩන් (Sathurukondan) නම් ගමක් සහ පාර්ශ්ව දෙක නැවත හමුවුනු ස්ථානය යන තේරුම සහිත සාන්තිවේලි (Santhiwelli - (Meeting Field)නම් ගමක් ද මඩකළපුව ආසන්නයේ ඇත. යුද භටයන් ජයපැන් බී විවේකය ගත කළ ස්ථානය වර්තමානයේ නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටි වන්තාරුමූලෙයි ලෙස හඳුන්වයි. මුක්කුවාර්වරුන්ගේ ආධාර මත පාට්ටනියාර්වරුන්ට ස්ථානගතවීමට අවකාශ ලැබුණේ එරාවුර් ප‍්‍රදේශයයි. අදත් එහි මුස්ලිම් ජනතාව බහුලව වෙසෙති. 

12 වැනි සියවසේ ඉන්දියාවේ කාලිංග දේශයේ (වර්තමානයේ ඔරිස්සා) සිට පැමිණි මාහන් නමැති කාලිංග රජු ලංකාව අල්ලා ගැනීමෙන් පසු සිය රටෙන් සොල්දාදුවන් ගෙන්වමින් පාලන කටයුතු කළ බව කියයි. ඔවුන් වෙල්ලාලර් (Vellalar)ලෙස හැඳින්වීය. අදටත් ඔවුන්ගේ පරම්පරාවන් පැවත එන බව ජන විශ්වාසයයි.

කි‍්‍ර.ව. 1505 ලොරෙන්සෝ ද අල්මේදා ප‍්‍රමුඛ පෘතුගීසි ජාතිකයන් ලංකාවට පැමිණීමත් සමග ලංකාවේ පිහිටි සියලූ නැව් තොට පාලනය කිරීමේ බලය ගිවිසුම් ප‍්‍රකාරව ඔවුන් වෙත ලබාගැනීමට සමත්විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම නැව්තොටවල් ආරක්ෂා කර ගැනීමට එකී නගර කේන්ද්‍ර කරමින් ආරක්ෂක බලකොටු ඉදිවූයේය. ඒ අනුව මඩකළපුවෙහි ද පෘතුගීසීන් විසින් බලකොටුවක් තනනු ලැබීය. එම ප‍්‍රදේශයෙන් සපයාගනු ලැබූ හිරිගල්, මැටි, හුණු ආදිය භාවිත කරමින් පුලියන්තිව් නමැති දුපතේ එම බලකොටුව ඉදිකරනු ලැබීය. 1628 වර්ෂයේ පෘතුගීසීන් විසින් ස්වකීය බලකොටුව ඉදිකරනු ලැබූ බව කියැවේ.

ලන්දේසි පූජකවරයකු වූ පිලිප්පුස් බැල්ඩියස් විසින් 1672 දී රචනා කොට ප‍්‍රසිද්ධ කරනු ලැබූ ලේඛනයකට අනුව පෘතුගීසීන් විසින් ඉදිකරනු ලැබූ බලකොටුව පිළිබඳව තොරතුරු රැුසක් හඳුනාගත හැකිය. බලකොටුවේ බිම් සැලසුම කුරුසියක හැඩය ගෙන තිබුණි. මුර අට්ටාල 03 කින් මෙම බලකොටුව සමන්විත වී තිබුණි. මෙකී සෑම මුර අට්ටාලයකම කාලතුවක්කු සහ භට පිරිස් යොදවා ආරක්ෂාව තහවුරු කිරීම විශේෂත්වයයි. පිත්තල සහ යකඩ කාලතුවක්කු 11 ක් රඳවා තිබුණු බව මූලාශ‍්‍රවල කියැවේ. පෘතුගීසි බලකොටුව තුළ ගබඩා ගොඩනැගිලි නිවාස සහ එක් පල්ලියක් ද ඉදිකර තිබුණි. බලකොටුව දුපතක පිහිටා තිබීම නිසා ස්වභාවික ආරක්ෂාව තහවුරු වී තිබුණි. 1505 පෘතුගීසීන් මෙරටට පැමිණිය ද 1628 දී බලකොටුව තැනීම විශේෂත්වයකි. එතෙක් මඩකළපුව නැව්තොට භාර ප‍්‍රාදේශීය පාලකයා සමග යම් සබඳතාවක් සහිතව පාලන කටයුතු කරගෙන ගිය බව පෙනෙයි.

මඩකළපුව පිළිබඳව වැඩිවශයෙන් තොරතුරු හමුවූයේ ලන්දේසීන් ලංකාවට පැමිණීමත් සමගය. පෘතුගීසි පාලනය පිළිබඳව කළකිරීමට පත්ව සිටි ස්වදේශීය පාලකයෝ පෘතුගීසීන් පරාජයට පත් කිරීමට ලන්දේසීන්ගේ සහයෝගය ගනු ලැබූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1602 දී  ඕලන්දයේ සිට නැව් නැගි ජෝරිස් ෆන් ස්පිල්බර්ජන් 1602 මැයි 31 දින මඩකළපුවට සැපත් විය. ශාම් රාම් ලාම් නමින් හැඳින් වූ නැව් 03 කින් ජෙන්සන් ලී ෆෝර්ට් සහ කොර්නේලිස් ස්පෙක් යන නිලධාරීන් ස්පිල්බර්ජන්ගේ මූලිකත්වයෙන් යුතුව මෙම ගමනට සහභාගි වූහ.

එකල ඔවුන් පැමිණියේ ජාත්‍යන්තර වෙළෙඳ ආධිපත්‍ය ක‍්‍රමයෙන් වර්ධනය කරගත් නෙදර්ලන්ත මහ රජුගේ සහ මොරිෂස් හි නැසෝ කුමාරයාගේ සුබපැතුම් ද රැුගෙනය. ඔවුන්ගේ ගමන් විස්තර පිළිබඳ සිතියම් හා සිතුවම් සහිත ඉතා වැදගත් ලේඛනයක් 1605 දී රචනා වී තිබේ. මඩකළපුව පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැුසක් මේ ලේඛනයෙන් අනාවරණය වෙයි. ස්පිල්බර්ජන් මඩකළපුවට පැමිණියේ ගාලූ වරාය ආසන්නයෙන් වැටුණු ජාත්‍යන්තර නාවික මාර්ග භාවිත කරමිනි. මහනුවර රාජධානියට පිවිසිය හැකි ප‍්‍රධාන මාර්ගය පිහිටා තිබුණේ මඩකළපුව හරහාය.
 

 
ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ පැරණි මුර කුටිය


ස්පිල්බර්ජන් මඩකළපුවට පැමිණි පසුව මඩකළපු ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය පාලකයා විසින් එවකට කන්ද උඩරට මහ රජු වූ පළමුවැනි විමලධර්මසූරිය රජු නියෝජනය කරමින් පිළිගනු ලැබීය. මඩකළපු රජු ඉතා උසස් වර්ගයේ කපුවලින් නිර්මිත ඇඳුම් හැඳපැළඳ සිටි බව විස්තර වෙයි. හිස පැළඳි හිස් වැසුම දෙබාහු දක්වා එල්ලෙන විශාල අරුංගල් බඳ වටා හැඳ කපු රෙද්ද, ඉණෙහි රැුඳුනු කිණිස්ස මඩකළපු රජුගේ ඇඳුමේ විශේෂාංග ලෙස උපුටා දක්වයි. දුනු ඊතල රැුගත් විශාල බට පිරිසක් සමග ලන්දේසි නියෝජිතයන් පිළිගැනීමට පැමිණි බව සිතියම්වල දැක්වේ.

එම ලේඛනයේ එකල මඩකළපු නගරයේ තොරතුරු දැක්වෙන සිතුවම් කිහිපයක් දක්නට ලැබේ. රජුගේ ලාංඡුනය වූයේ කඩුවක් අතින් ගත් පුද්ගලයෙකු ගේ රුවකි. නුවණට අධිපති ගණ දෙවියන්ට වන්දනා කිරීම රජු ඇතුළු මඩකළපු වැසියන්ගේ සිරිත වූ බව එම ලේඛනයේ විස්තර වෙයි. ස්පිල්බර්ජන් මඩකළපුවේ රජු හරහා පළමුවැනි විමලධර්මසූරිය රජු සමග යහපත් සබඳතාවක් ගොඩනගා ගත් පසුව තෙමසක් මඩකළපුවේ ගත කළ බැව් කියැවේ ආර්.එල්. බ්‍රෝහියර් ගේ කෘතියකට අනුව සමන්තුරෙයි කල්මුනෙයි ආශ‍්‍රිත ප‍්‍රදේශයේ එවකට මඩකළපු රජුගේ මාලිගය පිහිටා තිබෙන්නට ඇතැයි සඳහන් කරයි.

ස්පිල්බර්ජන් පැමිණ තෙමසකට පසුව සී. බෝල්ට් ද වීට් නෙදර්ලන්තය නියෝජනය කරමින් ලංකාවට පැමිණියේය. නැව් 15 කින් සමන්විත කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පැමිණි වාට් 1602 නොවැම්බර් 28 ප‍්‍රථම වරටත් ඊට පසු කිහිපවරක්ම ලංකාවට පැමිණියේය. මෙම දුත ගමන්වලින් පසුව ලන්දේසි ජාතිකයෝ කිහිප දෙනෙක්ම ලංකාවේ රජු සමග සබඳතා ගොඩනගා ගැනීමට පැමිණියහ. දෙවැනි රාජසිංහ රජු විසින් 1636 සැප්තැම්බර් 09 දාතමින් පෘතුගීසීන් මැඞීමට ලන්දේසි ආධාර ඉල්ලමින් පුලිකට් හි ආණ්ඩුකාර තැන්පත් කැරල් රිජිනියස් ට ලිපියක් යවනු ලැබීය. මෙම වකවානුව පෘතුගීසීන් සහ සිංහල රජුන් අතර ගැටුම් ඇති වූ උච්චතම අවස්ථාව විය. සුප‍්‍රකට ගන්නෝරුව සටන සිදුවූයේ ද මෙම කාලයෙහි ය.

දෙවැනි රාජසිංහ රජුගේ ඉල්ලීම මත පෘතුගීසීන් පරාජය කිරීමට ලන්දේසීන් සහාය ලබාදීමට කැමැත්ත පළ කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1638 මැයි 23 දෙවැනි රාජසිංහ රජු සහ ඇඩම් වෙස්ටර් වරලඞ් සහ විලියම් ජාකෝබ් කෝස්ටර් විසින් ද්විපාර්ශවීය ගිවිසුමකට පැමිණෙනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එවකට පෘතුගීසීන්ට හිමිව තිබූ මඩකළපු බළකොටුව ලන්දේසීන් අතට පත් විය.
 

පැරණි ඝණ්ටා කුලූන
පෘතුගීසීන් විසින් ඉදිකර තිබූ බළකොටුව පිළිබඳ එවකට ලේඛකයෙක් වූ ප‍්‍රන්සුවා වැලන්ටයින් විසින් ද විස්තරයක් සපයා ඇත. ඒ අනුව කිලෝමීටර් 3 ක් පරිධියෙන් යුතු දුපතක මෙම බළකොටුව පිහිටා ඇති බව කියයි. ලෝහ තුවක්කු 11 ක් සවිකර තිබුණු අතර මිනිසුන් 100 ක් විසින් එම කොටුවට ආරක්ෂාව සපයා තිබුණි. මුහුදේ සිට බලන කල්හි කොටුව පිටුපස කඳු පන්ති කිහිපයක් පැරණි සිතුවම්වලට අනුව විද්‍යමාන වෙයි. Friar's Hood  ලෙස ලන්දේසීන් හඳුන්වා ඇති මෙම කඳු පංතිය බළකොටුවේ සිට කිලෝමීටර් 32 ක් දුරින්  දක්නට ලැබෙන බව කියයි. මුහුදේ ගමනාගමනයේ යෙදෙන නාවිකයින් හට ගොඩබිම් මාර්ගය පෙන්වන නාවික සලකුණක් ලෙස ලන්දේසීන් විසින් මෙම කඳු පංතිය හඳුන්වා ඇත.

1638 දී ලන්දේසීන් මඩකළපුවේ පිහිිටි බළකොටුව අල්ලා ගැනීමෙන් පසුව විධිමත් සැලසුමකට අනුව කොටුබැම්ම ගොඩනගාගැනීම ඔවුන්ගේ අවශ්‍යතාව වූයේය. ඒ අනුව පෘතුගීසි පාලන සමයේ මුර අට්ටාල 03 ක් වශයෙන් ඉදිකරන ලද කොටුබැම්ම මුරඅට්ටාල 04 ක් එකතුවන සේ සංවර්ධනය කරනු ලැබීය.

Colombo, Haarlem, Galle, Amsterdam වශයෙන් එම මුර අට්ටාල හඳුන්වනු ලැබීය. ලන්දේසි ආණ්ඩුකාර ඉසාක් ඔගස්ටින් රම්ෆ් ගේ දින සටහන්වල 1721 දී මඩකළපුවේ බළකොටුවේ සවිස්තර සැලසුම් සකස් කර තිබේ. මුරඅට්ටාල 04 න් විශාලම මුර අට්ටාලය වනුයේ Colombo අට්ටාලයයි. බළකොටුවේ ඝණ්ඨාර කුලූන එම මුර අට්ටාලයෙහි සවිකර තිබුණු අතර ලන්දේසි පාලන සමයේ ඝණ්ඨාර කුලූනු 02 ක් තිබුණු බව පෙනෙයි. ලංකාවේ ලන්දේසි බලකොටු සෑම එකකටම මෙවැනි ඝණ්ඨාර කුලූනු සවිකර තිබුණි. හෝරාව ඇඟවීමටත් බළකොටුවේ පාලනයක් සඳහා විධාන නිකුත් කිරීමටත් ආගමික කටයුතු සඳහාත් මෙම ඝණ්ඨා භාවිතා වූ බව පෙනෙයි. කොලොම්බෝ මුර අට්ටාලයෙත් හාර්ලීම් මුර අට්ටාලයෙත් කාලතුවක්කු 12 බැගින්ද ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් යන අට්ටාලවල කාලතුවක්කු 10 බැගින්ද ස්ථාන ගත කර තිබුණු බව එම සැලසුම්වලට අනුව පෙනෙයි.

ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලය මත නෙදර්ලන්ත කොඩිය සවි කර තිබුණි. මුහුදේ සිට මාර්ගය සෙවීමට වෙහෙසෙන නාවිකයන්ගේ පහසුව තකා බිම් සලකුණක් a (Landmark) ලෙස මෙලෙස කොඩියක් සවිකර තිබුණි. ලන්දේසි බළකොටුවේ ප‍්‍රධාන ගොඩනැගිලි දෙකකි. එම ගොඩනැගිලි තනි මහලෙන් යුතු ගබඩා ගොඩනැගිලි ලෙස හඳුනාගත හැකිය. කොලොම්බෝ මුර අට්ටාලයේ සිට හාර්ලිම් මුර අට්ටාලය දක්වා කොටු බැම්මට සමාන්තරවද ගෝල් මුර අට්ටාලයේ සිට කොලොම්බෝ මුර අට්ටාලය දක්වා කොටු බැම්මට සමාන්තරවද මෙම ගොඩනැගිලි ඉදිකර තිබුණි.

ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් මුර අට්ටාල දෙක අතුරින් කොටුවට ප‍්‍රධාන පිවිසුම ඉදිකර තිබුණි. පිවිසුම් දොරටුවට ඉහළින් ත‍්‍රිකෝණාකාර ගල් පුවරුවක  1682 ලෙස සලකුණු කර ඇති බවක් දක්නට ලැබෙයි. ප‍්‍රධාන පිවිසුමට ඉදිරියෙන් කළපුවේ සිට පැමිණෙන යාත‍්‍රාවලට ජැටිය ඉදිකර තිබුණි. එම ජැටිය ආසන්නයේද ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනු පැරණි සිතුවම් අනුව හඳුනාගත හැකිය. ගෝල් මුර අට්ටාලය සහ කළපුව අතරින් කොටුවට ප‍්‍රධාන පිවිසුම් මග ඉදිකර තිබුණු අතර වර්තමානයේ ද එම පිවිසුම් මාර්ගය භාවිත කරයි. පෘතුගීසි පාලන සමයේ දුපතක් වශයෙන් පිහිටි මඩකලපුව කොටුව ලන්දේසි පාලන සමයේ යම් ප‍්‍රමාණයක සංවර්ධනයත් සමග බළකොටුව ආරක්ෂාව සපයන දිය අගලක් වශයෙන් නිර්මාණය වූයේය.

1796 දී ලන්දේසීන් සතුව තිබූ වෙරළ කළාපයේ පාලන බලය බි‍්‍රතාන්‍ය ජාතිකයින් අතට පත්වීමත් සමග ලන්දේසි බළකොටු යම් යම් වෙනස්කම් සිදුකිරීමට බි‍්‍රතාන්‍යයෝ කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් මඩකළපු බලකොටුව ආකෘතිමය වශයෙන් වෙනස්කම්වලට භාජනය නොකළද ස්වකීය පරිපාලන අවශ්‍යතා සඳහා ඇතුලත පිහිටි ගොඩනැගිලි වෙනස්කම්වලට භාජනය කරන ලදී. ඒ අනුව ලන්දේසින් විසින් ඉදිකරනු ලැබූ කොටුව ඇතුළත පිහිටි ප‍්‍රධාන ගබඩා ගොඩනැගිලි 02 දැවැන්ත ආලින්ද කණු සහිත ද්විමහල් ගොඩනැගිල්ලක් ලෙස පරිවර්තනය කර දිසාපති කාර්යාලය බවට පත්කරමින් කොටුව ස්වකීය පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කරුනු ලැබීය. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ පිහිටි යුධ කාමරවලින් තවමත් දෙකක් දක්නට ලැබෙන අතර, වර්තමානයේ එම කොටස් භාවිතයකින් තොරව වසා දමා ඇත.

ලන්දේසි ගොඩනැගිලි බි‍්‍රතාන්‍ය පාලන සමයේ වෙනස්කම්වලට භාජනය කර භාවිත කර ඇති අතරම නිදහසෙන් පසුවද අවිධිමත් ලෙස එම ගොඩනැගිලි වෙනස් කර ඇති නිසා යටත්විජිත පාලන සමයේ නියෝජනය කරන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ප‍්‍රබල ලෙස ගිලිහී යමින් පවතී. එම ගොඩනැගිලි අතරට මෑතකාලීනව එක් වූ ගොඩනැගිලි රැුසක් ද දක්නට ලැබේ. කොටුව වටා පිහිටි දියඅගල වර්තමානයේ ද දක්නට ලැබුණු ද නිසි නඩත්තුවත් නොවීම නිසා කොටුවේ සෞන්දර්යාත්මක පෙනුමට ප‍්‍රබල බාධාවක් වෙයි.

මුර අට්ටාල 04 ද යම් ප‍්‍රමාණයක ආරක්ෂාවක් සහිතව අදටත් දක්නට ලැබුණ කොටු බැම්මත් සමග සංරක්ෂණය  කළ යුතු මට්ටමක පවතී. පැරණි ඝණ්ඨා කුලූනු 02 න් එකක් පමණක් කොළොම්බෝ මුර අට්ටාලයේ දක්නට ලැබෙයි. වර්තමානයේ එම ඝණ්ඨාරය භාවිත කරනු නොලැබේ. ආකෘතිකමය වශයෙන් මඩකළපුවේ කොටු බැම්ම එලෙස ආරක්ෂා වී ඇති නිසා සංචාරකයන් සඳහා නැරඹීමට සුදුසු තත්ත්වයක පවතී. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලය මත  රැඳවූ සම්පූර්ණ අංග සහිත කාලතුවක්කුවක් තවමත් එහි දක්නට ලැබීම විශේෂත්වයකි.
 

අදටත් නිරුපද්‍රිතව ඇති ලංකාවේ එකම කාල තුවක්කුව



ලංකාවේ බොහෝ ස්ථානවල මෙවැනි කාලතුවක්කු දක්නට ලැබුණද අංගසම්පූර්ණ ආධාරක සහිත කාලතුවක්කුවක් දක්නට ලැබෙනුයේ මඩකළපුව කොටුවේ පමණක් බැව් කිය යුතුය. තාමත් එම කාලතුවක්කුව සක‍්‍රිය කළ හැකි මට්ටමේ පවතී. වෙඩි බෙහෙත් තුවක්කු බටය තුළට පුරවා යකඩ බෝලයක් බහා සිදුරකින් ඇතුලූ කළ තිරයකට ගිනි දැල්වීමෙන් මේ කාලතුවක්කු කි‍්‍රයාත්මක කරනු ලැබීය. සක‍්‍රිය කළ හැකි ආධාරක සහිතව දැනට ලංකාවේ ඉතිරිවී ඇති එකම කාලතුවක්කුව මෙය නිසා සංචාරකයින් ගේ නැරඹීම සඳහා ප‍්‍රදර්ශන අංගයක් ලෙස දියුණු කළ හැකිය.

ඒ ආසන්නයේම පිහිටා ඇති යුද කාමර මේ වන විට වසා දමා ඇති අතර,  සුදුසු වැඩපිළිවෙලක් යටතේ එම යුද කාමර විවෘත කර සංචාරකයන්ට නැරඹීමට සුදුසු පරිසරයක් සකස් කිරීම අවස්ථාවෝචිතය. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ සිට බලන කල්හි සුප‍්‍රසිද්ධ කල්ලඩි පාලම දක්නය ලැබේ.
”කල්ලඩි පාලම පාමුල සිංදු කිවුව මාළුවෝ

ඇයි ගොළු ගැසුනේ....................”

ගුණදාස කපුගේ එදා එලෙස ගැයුවද අද යුදබිය තුරන් වී මඩකළපුවේ මාළුවන් නැවත ගී ගයන්නට පටන් ගෙන ඇත. කල්ලඩි පාලම හරහා පැමිණ මඩකළපුව මගහැර පාසිකුඩා වෙරළේ සිරිය විඳීමට කලින් එක්තරා අවධියක ලංකාවේ පරිපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ මඩකළපු බළකොටුව නරඹා මඩකළපුවේ චිරප‍්‍රසිද්ධ පට පිළි විකුණන සල්පිල්හි සිරි විඳීමට ඇරයුම් කරමු. පොල් රුප්පාවෙහි සෞන්දර්යාත්මක බවට තල් රුප්පාවේ සෞන්දර්යාත්මක බව දෙවැනි නොවන බව ද ඔබට දැනේවි.
 
ගෝල් මුර අට්ටාලය

 2014 මාර්තු මස 20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය