ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

රෝහණ රාජධානියේ අක්මුල් ලොවට හෙළි කිරීමට පේවෙන නීලගිරි සෑය

නීලගිරි සෑය කැණීම් භූමිය හුදෙකලා මහ වනමැද පිහිටියද මහා වැඩ කඳවුරක සිරි ගත්තේය. මේ දිනවල එහි කෙරෙන්නේ දාගැබෙහි පාදම මෙන්ම ඉපැරණි පේසා වළලුද, අවසාන වරට කෙරුණ ප්‍රතිසංස්කරණ අවධියද හඳුනා ගැනීමේ පර්යේෂණ කැණීමය.
පුරාවිද්‍යාඥයන් කියන හැටියට පැරණි දාගැබ් හෝ ස්ථූප සංරක්ෂණය කිරීම, ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. එය සම්පූර්ණයෙන්ම විද්‍යානුකූලව කළ යුත්තක් බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා නීලගිරි සෑය අබියසදී අපට කීවේය.
විශාලත්වයෙන් වැඩි පැරණි දාගැබ් සංරක්ෂණය කිරීම බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒක උන්හිටි ගමන් කරන්න බෑ. දැනට ක්‍රියාත්මක වන පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියේ හැටියට කිසිම පැරණි දාගැබක මුල් සැලැස්මත්, විශේෂයෙන්ම අවසන් ප්‍රතිසංස්කරණ අවධියත්, පැරණි පේසා වළලුත් අධ්‍යයනය කරන්නේ නැතිව ඒවා ප්‍රතිසංස්කරණයට අත ගහන්න බෑ. ආවාට ගියාට වැඩ කළොත් ඒ දාගැබ් කඩා වැටෙන්න පුළුවන්. දැන් නීලගිරියේ අපි කරගෙන යන්නේ එහි පාදමත් මුල් පේසාවත්, අවසාන ප්‍රතිසංස්කරණ අවධියත් සොයා ගැනීමේ කටයුත්තයි. ඒ සඳහා අපි 
පර්යේෂණ කැණීමක් කරගෙන යනවා” ඔහු පැහැදිලි කළේය.
නීලගිරි සෑය දුටුමතින්ම අනුරාධපුරයේ ඇති වන්දනීය මහා දාගැබ් සිහිපත් කරවන සුළු බව ඉකුත් සතියේද කීවෙමු. එසේම එය රුහුණේ ඇති තිස්සමහාරාම මහාරාම දාගැබ, යඨාල වෙහෙර, සඳගිරි දාගැබ සහ අම්පාරේ දීඝවාපී දාගැබද, බැති සිත් ඇතිව අපට සිහිපත් කරවන්නේද වෙයි. කිහිප ‍පොළකින්ම ගරා වැටී මුදුන් කොටසෙහි කැලෑ ගස් ගොමුවක්ම වැවුණු නීලගිරි සෑය අද දිස්වන්නේ අනුරාධපුරයේදී ඇස ගැටෙන ජේතවනය හෝ අභයගිරිය වැනි මහ දාගැබක් පරිද්දෙනි. සෑය බඳේ ගඩොළු බැම්මේ සෑහෙන කොටසක් කාලයේ සැඩ ප්‍රවාහයට හසුනොවී සුරැකී සිටින්නට වෙර දරනු වැන්න. අපි සෑරදුන් පැදකුණු කළෙමු. ගල්කණු, ගලින් කළ මල් ආසන සහ තවත් බොහෝ නටබුන් මළුව ආශ්‍රිතව විසිර ඇති සැටි දුටුවෙමු. අතරමග හමුවන ෙශෙලමය සඳකඩ පහනක හෝ පියගැටයක ගෙවී ගිය දාරයක්, වසර දෙදහසක් පමණ මුළුල්‍ලේ එහි ආ ගිය බැතිමත් බොදුනුවන් පිළිබඳව නිහඬව සාක්ෂි දරනු වැන්න.
නීලගිරි සෑයෙහි වපසරිය වට අඩි 628කි. ගරා වැටුණු තත්ත්වයෙන් පෙන්නුම් කෙරෙන උස අඩි 72කි. මේ වන්දනීය ජාතික ස්මාරකය අද ඈතට දිස්වන්නේ වන ගොමුවෙන් සුසැදි කුඩා කඳු ගැටයක් පරිද්දෙනි. දාගැබත්, ඒ ආශ්‍රිත වන භූමියත්, හැඩ ඔය නිම්නයෙන් පිබිදුණු ඉපැරණි රෝහණ රාජධානියේ අක්මුල් ලොවට හෙළිදරව් කරන්නට පේවී සිටිනු දැනෙයි.
අවිධිමත් ලෙස කෙරුණු ප්‍රතිසංස්කරණ නිසා ඉකුත් සමයෙහි ලංකාවේ මහා දාගැබ් දෙක තුනක්ම කඩා වැටුණි. අනුරාධපුරයේ මිරිසවැටිය සහ තිස්සමහාරාමයේ සඳගිරි යන දාගැබ්, ඒ සඳහා ප්‍රකට උදාහරණය. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාරේ දීඝවාපි මහා දාගැබත්, ලාහුගල නීලගිරි සෑයත් සංරක්ෂණය කරන්නේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ එන කොන්දේසිවලට අනුකූලව බොහොම පරිස්සමිනි. නීලගිරි සෑය, 1976 වසරේදී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරන්නට ගියේය. එහෙත් එය ඉදිරියට ගෙන යාමට හැකි නොවීය. ‘ඒ කා‍ලේ මේ වාගේ කැණීමක් කරලා දාගැබ අධ්‍යයනය කරලා. ඊට පස්සේ සංරක්ෂණය කරන ක්‍රමයක් තිබුණේ නෑ. දැන් අපි නිවැරදිව වැඩ කරගෙන යනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා කොළඹදී පවසා තිබිණි.
ඒ.එම්. හෝකාට් මහතාගේ (1928) ගමනින් පසුව නීලගිරි සෑය අරභයා සවිස්තරාත්මක සටහනක් තබන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. ඒ 1965 වසරේ දෙසැම්බරයේදී කළ ගවේෂණයෙන් පසුවය. 1992 වසරේදී පළ කළ ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කෘතියෙහි උන්වහන්සේ මෙසේ සඳහන් කරති.
ගරා වැටී මුළුමනින්ම රූස්ස ගසින් හා ලඳු කැලයෙන් වැසී කඳු ගැටයක් සේ පෙනෙන මෙහි ප්‍රමාණය නිර්මාණය කිරීම අපහසුය. ඉතා අපහසුවෙන් යටි වැවිල්ල මඩිමින් එය මුදුනට ගොස් නැවත වටා ගොස් පරීක්ෂා කර බැලුවෙමි. මට පෙනුණු හැටියට සෑ ගොඩැල්ල අඩි එකසිය තිහක් පමණ උස් වෙයි. එහි ගර්භයෙන් ඉහළ කොටස පහතට ගරා වැටී ගර්භයටද හානි සිදුවී තිබේ. ගර්භය නිදන් හොරුන් හාරා සම්පූර්ණයෙන් ‘පරීක්ෂා’ කර තිබේ. මේ නිසා ස්ථූපයේ ගර්භයට මහත් හානි සිදුවී ඇත. එහි ගල් පලු ඒ මේ අත දමා තිබේ. ගර්භය වසන සෙල් පුවරුව සුන්බුන් අතුරින් මඳක් ඉදිරියට නෙරා ස්ථූපය මත මතු වී තිබේ. කටු පඳුරු කැලය වැවී මේවා වසා ගත් බැවින් නියම පරීක්ෂණයක් කළ නොහැකි විය. පැරණි යුප කණුවේ කොටසක්ද ඒ මත පෙරැළී ඇත. ඡත්‍රග‍ලේ ඇතැම් කැබලි සෑය මතත් විශාල කොටසක් මදක් පහතටත් පෙරැළී රැඳී තිබෙනුත් දක්නට ලැබිණි. ස්තූපයේ ගඩොල් බැම්ම තැන තැන මුල් ස්වරූපයෙන්ම ශේෂ වී තිබේ. මේ ගඩොළක් දළ වශයෙන් අඩියක් පමණ දිගය. ලාහුගල ප්‍රදේශයේ ඉතා පැරණි ස්ථූපවල දක්නට ලැබෙන ගඩොල් මේ හා සමාන වේ. මෙය දැනට පවතින ස්වරූපයට වටා ප්‍රමාණය අඩි දහසක් පමණ වෙයි. ගරා වැටුණු ගඩොලින් හා පසින් පාදම වැසී ඒ මත ගස් වැල් වැවී තිබේ. ස්ථූපය මත වැඩී ඇති විශාල ගස් නිසා ගරා වැටීම නැවතුනා විය යුතුය. ශාස්ත්‍රවෙලද විශාල ස්ථූප දෙකක් රූස්ස ගස් වැවී ඇති නිසා සුරැකී තිබේ. නීලගිරිය රැකගෙන ඇත්තේ වනයම විසිනැයි සිතේ. සමස්තයක් ලෙස ගෙන සලකන විට මේ ස්ථූපය කොටස් දෙකකින් නිම වූවක් බව පෙනී යයි. ස්ථූපය වටා ප්‍රාකාරයක්ද තිබූ බවට එහි බිම විසිරී ඇති ශේෂවලින් පැහැදිලි කෙරේ. ඒ වටා ස්ථාන කීපයක නටබුන් ගොඩැලි වශයෙන් තිබේ. මේවායේ සමහරක පරණිම යුගයට වැටෙන චාම් නිමාවෙන් යුත් ගල් කණු තිබේ. ඇතැම් විට මේවා කිසියම් ගොඩනැගිලිවලට අයත් වූ ඒවා විය හැකිය. මෙවන් විශාල පුරාවස්තුවක් වුවද මේ ගැන හෝකාට් මහතාගේ ගවේෂණය හැර කිසිදු පරීක්ෂණයක් මේ තාක් කර නැත.
පසුව 2011 වසරේ සිට හැඩඔය නිම්නයට යන මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පත් ගුරුසිංහ, පාලිත අත්තනායක ඇතුළු කැණීම් කණ්ඩායමටත් මුණගැසෙන්නේ ඊටත් වඩා විනාශයට ලක්වූ නටබුන් සමූහයකි. 
‘යුප කණුවේ’ (කොත් කැරැල්ල පිණිස භාවිතා කරන ෙශෙලමය නිර්මාණය) කොටස් ගරා වැටුණු සුන්බුන් අතර තිබිලා අපිට හමුවුණා” සම්පත් සහ පාලිත දුක්මුසුව කීවෝය.
පුරාවිද්‍යා නිලධාරීන් සිය කැණීම් ආරම්භ කරනු ලැබුවේ සෑයෙහි ගර්භය ගරා වැටීමෙන් රූටා ගිය පස් රැඳුණු ස්ථානයෙනි. එහිදී ඔවුන්ට සධාතුක රන් කරඬු දෙකක්ද පළිඟු කරඬු දහයක්ද හමුවිය. දැන් ඔවුන් කැණීම් කරන්නේ දාගැබෙහි පාදම සහ මුල් පේසාවන් හඳුනා ගැනීම පිණිස එහි සිරස කැපුමක ආකාරයෙනි. එහිදී ඔවුන්ට ගලින් නිමකළ ඉපැරණි පේසා වළලු සහිත ස්ථරයක් හමුවී තිබේ.
“ගරා වැටිලා තියෙන්නේ අවසන් වරට පිළිසකර කෙරුණ වැඩිදියුණු කෙරුණු නිමැවුම කියලයි අපට හිතෙන්නේ. මේ ගල් පේසාවන් ඊටත් වඩා පැරණි අවධියක් පෙන්නුම් කරන බව පේනවා” යැයි සම්පත් ගුරුසිංහ මහතා කීවේය.
2012 මැයි 14 වෙනි සදුදා, ලක්බිම 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර, ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා