ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දිගාමඩුල්ලේ වනගත උරුමය හා බින්තැන්නේ ඓතිහාසික ස්‌ථාන


දිගාමඩුලු රජ දහනෙහි අතීත තොරතුරු හොයා යන කවරෙකු වුවද වනගත ව පවතින ඓතිහාසික ස්‌ථාන, විහාර පුද බිම් හා වාරි නටබුන් ඇති තැන් දැන හැඳින ඒවා දැක බලා ගනිමින් හැදෑරිය යුතු වේ.

වියළි කාලයේ වතුර පොදක්‌ නොමැති ව කරාගැටිවන වියළි වන බිම් ලඳු ගහන ඔස්‌සේ ගොස්‌ දිගාමඩුලු ඉතිහාසයේ අතීත පියසටහන් කියවීමට කැමැති ඇත්තන් අද විරලය. එහෙත් ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන ලාංකික ජන සංස්‌කෘතියේ ප්‍රාග්ධනය වැළලී ඇති පුරාණ රෝහණ දේශයේ නැගෙනහිර මායිමේ කැලෑව තුළ සැඟවී ගත් මේ සංස්‌කෘතික ප්‍රාග්ධන මූලයන් හාරා අවුස්‌සා ඒවා පිළිබඳ යම් අධ්‍යයනයක්‌ කර තැබීම අනාගත පරපුරට අප විසින් පවරා දිය යුතු දායාදයක්‌ සේ සලකා දිගාමඩුලු ඉතිහාසයේ ඉතා සුළු අංශු මාත්‍රයක්‌ මෙසේ හෙළි කර තබමි.

අපගේ අවධානයට ලක්‌වන්නේ දිගාමඩුලු බින්තැන්නට අයත් රෝහණ දේශයේ බිම් කඩෙන් අංශු මාත්‍රයක පිහිටි ඓතිහාසික තොරතුරුවලින් බිඳකි. දිගාමඩුල්ල පුරා ගමින් ගමට දක්‌නට ලැබෙන නටබුන්ව ගිය වැව් කණ්‌ඩි දස දහස්‌ ගණනක්‌ ඇසුරු කරගෙන නිර්මිත ව තිබූ ජනාවාස කොතෙක්‌ ද ඒ හැම ගම්මණ්‌ඩියකම එළි පෙහෙළි කළ විහාරස්‌ථානයක්‌ හෝ පුද බිමක්‌ තිබිණි.

දිගාමඩුලු බින්තැන්නේ දක්‌නට ලැබෙන නටබුන්ව ගිය වැව් කණ්‌ඩි හෙවත් වැව් කොටු අසල හෝ ඒවාට සමීපව හෝ ගරාවැටුණු ස්‌ථූපයක හෝ විහාරස්‌ථානයක හෝ නටබුන් දැක ගත හැකි වේ.

ඇතැම් විටක ගම්මානයක විහාරාරාම දෙක තුනක නටඹුන් හමු වේ. එහෙත් ඒවා එක ම කාලවකවානුවක ඉදි කළා නොවන්නට පුළුවන. දිගාමඩුලු බින්තැන්න කලාපය තුළ තැනින් තැන පැතිරී තිබෙන ශේෂ කඳු වැටී හා උස්‌ ගොඩැලි සහිත පර්වත මේ ප්‍රදේශගතව දක්‌නට ලැබෙන භූ විෂමතාවයේ සුවිශේෂ ලක්‍ෂණයකි. මේ උස්‌ නොවූ ශේෂ කඳු පර්වතවලත්, ගොඩැලි පර්වතවලත් නිසැක ව ම පැරණි විහාරස්‌ථානයක නටබුන් හෝ ස්‌ථූපයක ගරාවැටුණු අවශේෂයන් දැකිය හැකි වේ. එසේත් නොමැති නම් විචිත්‍රත්වයෙන් තොර ශිලා ස්‌ථම්භ සිරිපාද ලාංඡනය සහිත ගල් පුවරු ආදිය හා පාදක්‌මත නටබුන් දැකිය හැකි වේ.

මේ නටබුන් අතර බෞද්ධ වෙහෙර විහාර පමණක්‌ නොව දෙවි දේවතාවුන් ඇදහීම සඳහා වූ දේවාල, සංහිද ගල් පුවරු පුල්ලෙයාර් වැනි දේව ප්‍රතිමා ආදිය ද දක්‌නට ඇත. හින්දු ආගමික බලපෑමෙන් පසුකාලීන ව ඇති වූ ඇදහීම් රටාවේ ලක්‍ෂණ දක්‌වන දේව ප්‍රතිමා පොළොන්නරු යුගයේ දී ඇති වූ බලපෑම් හේතුවෙන් යාබද ව පිහිටි බින්තැන්න කලාපය වෙත ද පැමිණ ඇත.

දිගාමඩුලු බින්තැන්නේ දක්‌නට ඇති තරමක්‌ උසින් පිහිටි ශේෂ කඳුවැටි කිහිපය ආශ්‍රිත ව බලකොටු හෝ ප්‍රාදේaaශීය රාජධානි පැවති බවට එකී ගිරිමුදුන්වල තිබෙන පවුරු පදනම් දිය තටාක ආදියෙන් තහවුරු වේ. ගිරි මුදුන් කිහිපයක පිහිටි ගල්ලෙන්වල කටාරන් මෙන් ම ලෙන් ලිපි දක්‌නට ඇත. මේවා ක්‍රි. පූ. යුගයේ ඒවා බව නිගමනය කළ හැකි වේ. බ්‍රාහ්මී අක්‍ෂර සටහන්වලින් යුක්‌ත මෙබඳු ගිරි ලිපි හා ලෙන් ලිපි පිළිබඳ මෙතෙක්‌ ගවේෂණාත්මක අධ්‍යයනයක්‌ කර නැතත් ඉන් කිහිපයක්‌ සටහන් කරගත් පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ඒ පිළිබඳ විග්‍රහයක්‌ කර ඇත. (උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථය)

බින්තැන්නේ ස්‌ථාන කිහිපයක දක්‌නට ඇති මෙම සෙල්ලිපිවලින් දිගාමඩුලු බින්තැන්නේ වනගත උරුමය මැනවින් කියාපායි. මේ සෙල්ලිපි මැනවින් අධ්‍යයනය කිරීමෙන් ප්‍රදේශයේ පැරණි ස්‌ථාන නාම මෙන්ම, වාරි මාර්ග පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළිකරගත හැකි වේ.

දිගාමඩුලු ඉතිහාසය හැදෑරීමේ දී බින්තැන්න වෙල්ලස්‌ස එක්‌ කලාපයක්‌ වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම කිසිසේත් විදුහුරු නොවේ. දිගාමඩුලු බින්තැන්නත්, ඌව වෙල්ලස්‌සත් රෝහණට අයත් කලාපයක්‌ ලෙස එක ම ඈඳුත්තක බැඳී තිබුණු හෙයින් ලංකාවේ සංස්‌කෘතික ප්‍රාග්ධනය නිශ්චිතව ම රැඳී පැවැති රුහුණේ යටගියාව ද සමග ගෙන බින්තැන්න යටගියාව හැදෑරිය යුතු වේ. 

පළමු ලිපි කිහිපයක්‌ මගින් රෝහණ දේශයේ පුරාණය ගැන අප කරුණු දක්‌වා ඇත්තේ එහෙයිනි. එහෙත් රුහුණේ ඉතිහාසය අප වැන්නකුට එහෙත් මෙහෙන් අත ගා හැදෑරීමට තරම් ශක්‌තියක්‌ නැත. රුහුණේ ඉතිහාසය පිළිබඳ මෙතෙක්‌ පුරා විද්‍යාත්මක හැදෑරීමක්‌ කර නැතිවාක්‌ මෙන් ම ඒ පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණයක්‌ ද කර නැත. එවැනි භාරධූර කාර්යයකට අත ගැසිය යුත්තේ විශ්වවිද්‍යාලයක්‌ වැනි විද්‍යාර්ථින්ගෙන් සැදුම්ලත් ආයතනයකින් ය.

එබැවින් දිගාමඩුලු බින්තැන්නේ ඉතිහාසය පිළිබඳ පමණක්‌ අපගේ අවධානය යොමු කෙරේ. කවදා කව්රුන් විසින් කළයුතු දෙයකට මග පාදා තැබීම අරමුණු කරගත් අපගේ මේ උත්සාහයේ දී ආර්යන්ගේ පැමිණීමේ සිට බුදු දහමේ සම්ප්‍රාප්තියත්, රෝහණයේ නැගීසිටීමේ සිට අනුරාධපුර යුගයේ ප්‍රබෝධය දක්‌වා වූත් කාල සීමාවන් කෙරෙහි ද ඉංග්‍රීසින්ගේ ආක්‍රමණයෙන් පසු ඇති වූ සමාජ විපර්යාසයන් ඇතිවූ කාලය පිළිබඳව ද අපගේ සැලකිල්ල යොමු වේ.

වසර දෙදහස්‌ පන්සීයකටත් වැඩි සංස්‌කෘතික උරුමයක්‌ හිමි ශ්‍රෙෂ්ඨ ඉතිහාසයක්‌ තිබෙන අපට නොයෙක්‌ අවස්‌ථාවන්හිදී ඓතිහාසික විපර්යාසයන්ට මුහුණ පෑමට සිදුවුවද ලක්‌වැසියන්ගෙන් 70% ක්‌ පමණ තවමත් ව්‍යවහාර කරන්නේ පුරාණයේ සිට පැවත ආ සිංහල බසය.

ඒ අනුව මෙරට විසූ ජනයා වසර 3200 ක්‌ පමණ කාලයක්‌ භාවිත කර ඇත්තේ සිංහල භාෂාව බව ක්‍රි.පු. තුන්වන සියවසේ සිට මෙහි පිහිටුවා ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වේ.

ආදිම සිංහලයන් ලංකාවට පැමිණියේ දඹදිව සිංහ පුරයෙන් යෑයි පැවසේ. සිංහපුරය ලාට නම් රටෙහි පිහිටි බව මහාවංශයේ සඳහන් වෙයි. එම සඳහන අනුව ක්‍රි. පූ. 543 දී විජය ඇතුළු ආර්යන් පැමිණීමට පෙර ද මෙරට ජනාවාස පැවති බවට සාධක ඇත. ලිත ඉතිහාසයේ සඳහන් නොවෙතත් ඊට බොහෝ කාලයකට පෙර සිට මෙරට ශිෂ්ටාචාර ජනකොටස්‌ විසූ බවට සාධක තත් ඉතිහාස වෘතාන්තයෙන් ම ගෙනහැර දැක්‌වේ.

කුවේණි නම් තැනැත්තියක්‌ කපු කටිමින් සිටි බව මහාවංශයෙන් කියෑවෙන පුවත ඉතිහාසය යාවත්කාලින කරවීමට ඇති ප්‍රබල සාධකයක්‌ වේ.

දියුණු ජන මූලයක නායිකාව වූ කාලවර්ණී හෙවත් කුවේණි මෙරට විසූ ස්‌වදේශීය ජන නායිකාවකි. ඇයගේ අනුග්‍රහය නොලැබෙන්නට විජය ඇතුළු පිරිසට මෙරට තම බලය තහවුරු කර ගත නොහැකි වේ.

මහාවංශකරුවා දක්‌වන විජයගේ පැමිණීමේ සිද්ධියට වඩා විස්‌තරයක්‌ රාජාවලියේ සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට විජය මෙරටට පැමිණෙන අවධියේ දී ලංකාවේ ප්‍රධානීන් තිදෙනකු යටතේ ගෝත්‍රික ජන කොටස්‌ තුනක්‌ ව්‍යාප්ත ව සිටිය හ. උත්තර දේශයේ කොණ්‌ඩවාන නම් යක්‍ෂ ගෝත්‍රික නායකයා ප්‍රමුඛ ගෝත්‍රික ජන කොටසක්‌ වාසය කළහ. පසු කාලීනව වැදී ගෝත්‍රිකයන් වූයේ ඔවුන්ගෙන් පැවත එන්නන් යෑයි පැවසේ. 

මධ්‍යම දේශයේ කාලසේනගේ නායකත්වයෙන් යුක්‌ත ගෝත්‍රික ජන සමූහයකුත් දක්‌ණ දේහයේ චූලෝධර මහෝධර දෙදෙනාගේ නායකත්වයෙන් යුක්‌ත ජන කොටසක්‌ විසූහ.

මෙවන් ලිත ඉතිහාස තොරතුරු අනුවත්, මානව විද්‍යාත්මක ගවේෂණවලිනුත් ආර්යන්ගේ පැමිණීමට පෙර සිට මෙරට මිනිස්‌ ජනාවාස තිබූ බවට නිගමනය කළ හැකි වේ.

විජයගේ පැමිණීම සිදුවීමට පෙර සිට ම ලංකාවේ ස්‌වදේශීය ජනවර්ගයන් කිහිපයක්‌ ජීවත්වන්නට ඇතැයි නිසැකවම නිගමනය කළ හැකි වේ. බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදු වූ අවස්‌ථාවේ මහියංගනයේ දී සිදු කෙරුණු යක්‍ෂ ගෝත්‍රික දමනය ආදී සිද්ධීන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. විජයගේ ආගමනයෙන් පසුව එකී ආර්යයන් හා මෙරට විසූ ස්‌වදේශීය ජනයාත් අතර ඇති වූ සම්මිශ්‍රණය ලංකාවට පමණක්‌ සීමිත වූ සිංහල ජන කොටස බිහි කිරීමට හේතු කාරක විය. විජය පැමිණියා යෑයි සැලකෙන ලාට රට සිංහපුරයෙහිවත් නොමැති සිංහල ජන වර්ගය ලංකා භුමි තලයේ නිර්මිත වූයේ විජයගේ පැමිණීමෙන් පසු ව පැමිණි ආර්ය ජන කණ්‌ඩායම් හා දේශීය ජන වර්ගයන්ගේ එක්‌වීමෙනැයි කිව හැකි කරුණු අතර, ප්‍රධාන තැනක්‌ ගන්නේ අප මෙහි මුල් පරිච්ඡේදයක දක්‌වා ඇති පරිදි පන්ඩුවාස දේවයන්ගේ දුහිතෘ උන්මාද චිත්‍රාවන් කුසින් උපන් පණ්‌ඩුකාභය කුමරුන් පිළිබඳ වූ ඓතිහාසික වෘතාන්තයයි.

ඒ කෙසේ වෙතදු ලක්‌දිව පැරණි බෙදීම් අනුව උත්තර දේශය, මධ්‍යම දේශය හා දක්‌ණ දේශයන් හි ස්‌වදේශීය ජන කොටස්‌ සිය බලය තහවුරු කරගෙන සිටි සමයේ මෙරටට පැමිණි පිරිසේ සිටි ප්‍රධානියා වූ විජය තම්බපන්ණි නගරය ඉදි කළ අතර, අනුරාධ අමාත්‍යවරයා අනුරාධගාමය ඉදි කළ බවත්, එයට උතුරු දෙසින් ගම්භීර නදී තෙර උපතිස්‌ස ඇමැති විසින් උපතිස්‌ස ගාමය ඉදි කළ බවත්, පවසන වංශ කතාකරුවන් අනෙක්‌ ඇමැතිවරුන් උඡ්ඡේනි, උරුවෙල සහ විජිත ගාම ඉදි කළ බව ද සඳහන් කරයි.

ඉක්‌බිති විජය රජු සිය අභිෂේක මංගල්‍යය සඳහා මෙහෙසියක ගෙන්වා කුවේණිය පිටුවහල් කොට රාජ්‍ය විචාළේය. එහෙත් අභාග්‍යයකට මෙන් මධුරා පුරයෙන් ගෙන ආ මෙහෙසිය ගෙන් විජයට දාව දරුවන් නොලැබුණෙන් විජයගෙන් පසු ව ලංකා රාජ්‍ය විචාරීම සඳහා තම සොයුරු සුමිත්තගේ පුත් පණ්‌ඩුවාස දේව කුමාරයා ගෙන්වා ගැනීමට සිදු වේ. පණ්‌ඩුවාස දේවයන්ගේ මෙහෙසිය බවට පත් වූ භද්දකච්චානා කුමරිය ගෝණගාමක තොටින් ලක්‌දිවට ගොඩබටුයේ තම සොහොයුරන් ද සමගය. එයින් එක්‌ කුමරෙක්‌ වූයේ රෝහණ කුමරු ය. අනෙක්‌ කුමරුවෙකු වූ දීඝායු දීඝ ජනපදය පිහිටුවා ගත්තේය.

රෝහණ කුමරුන් පිහිටු වූ රෝහණ දේශයට අයත් වූ දීඝවාපිය හෙවත් දිගාමඩල් ප්‍රදේශය ද මේ අනුව මෙරට බිහි වූ සංවිධානාත්මක පැරණිම ජනාවාසයක්‌ බව තහවුරු වේ. ලංකාවේ මුලින් ම පිහිටු වූ සංවිධානාත්මක ජනාවාස අතරින් පසුකාලීන ව බලවත් ව ස්‌ථාවර තත්ත්වයට පත්වූයේ අනුරාධ ගාම, රෝහණ ගාම හෙවත් රෝහණය හා දීඝායුගාම හෙවත් දීඝ ජනපදයයි. දීඝ ජනපදය යනු දිගාමඩුල්ල ය.

මේ කරුණු අතර දිගාමඩුලු බින්තැන්න වඩාත් වැදගත් වන්නේ දිගාමඩුල්ලේ අනෙකුත් පෙදෙස්‌වලටත් වඩා ඉපැරණි ජනමූල අයිතියක්‌ හා සිංහල ජාතියේ ආරම්භයටත් පෙර සිට පැවත එන දේශීය වූ අනන්‍යතාවක උරුමය කියාපාන හෙයිනි.

මෙරට ආදිකාලීන ජනාවාස ඇතිවූ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පැවති දේශයක්‌ වශයෙන් මෙන් ම ඉන් පසු කාලයේ දී එම ආදි කාලින මානවයන්ගෙන් පැවත ආ වනගත ව විසූ ව්‍යාධ හෙවත් විඳින්නන්ගේ ජනාවාස පැවති පෙදෙසක්‌ වශයෙන් ද බින්තැන්නට ඇති අයිතිය හා ජන උරුමය ද බින්තැන්න සතුව පවතින සංස්‌කෘතික උරුමය ද ශ්‍රී ලංකාවේ වෙනත් කුමන හෝ දේශයක දක්‌නට නොමැති බව මෙහි ඇති සුවිශේෂත්වයයි. 

එවැනි පුරාතන යුගයක වනගත හෙළ උරුමයක්‌ දායාද කරගත් පෙදෙසක තිබෙන ඓතිහාසික ස්‌ථාන හා වාරි නටබුන් පමණක්‌ නොව ජන සංස්‌කෘතීන් ද එකින් එක තෝරා බේරා මැනවින් හැදෑරිය යුතුවේ. එම කාර්යෙහිදී බින්තැන්න පුරා පැතිරී ඇති නටබුන් වෙහෙර විහාර පමණක්‌ නොව අතීතයේ ගල් ලෙන් තුළ විසූවන් සත්ත්ව ලෙයින් හා අළුවලින් ගල් තුළ ඇඳි රූ සටහන් පවා අපට ඉතා වැදගත් වේ.

ආර්යන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු වූ ඓතිහාසික හා සංස්‌කෘතික විප්ලවයට මුල් වූයේ බුදු දහමේ සම්ප්‍රාප්තියයි. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ මෙරටට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මිහින්තලය ප්‍රමුඛ අනුරාධපුර පෙදෙස බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය වූ මෙරට මුල්ම කලාපය වශයෙන් යම් සේ වැදගත් වේද, මිහිඳු හිමියන් හා ඒ සමග මෙරටට වැඩම කළ ඉත්ථිය තෙරුන් වහන්සේ කලක්‌ ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් වැඩ විසූ දිගාමඩුල්ලද වැදගත් වේ.

මහින්දාගමනය සනාථ කරන ප්‍රධානතම සාධකය වන්නේ දිගාමඩුල්ලට අයත් රජගල ඇති සෙල්ලිපිය යි. එම සෙල්ලිපිය ලාංකික බෞද්ධයන්ගේ ඉතිහාසය සනිටුහන් කරන සාධකයක්‌ පමණක්‌ නොව රෝහණයට අයත් දිගාමඩුල්ලේ ඇති වැදගත්කමද සනිටුහන් කරයි.

දේවානම් පියතිස්‌ස නිරිඳුන්ගේ සමය වන විට ද රෝහණ දේශය දියුණුවට තිබුණ බවත්, දිගාමඩුල්ල එහි ප්‍රධාන ජනාවාසයක්‌ බවට පත්ව තිබුණ බවත් රජගල සෙල් ලිපියෙන් හා එහි ඉතිහාසයෙන් කියෑවේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන ගැන සඳහන් එකම සෙල් ලිපිය දිගාමඩුල්ලේ සටහන් කිරීමට තරම් දියුණු තත්ත්වයක මේ ප්‍රදේශය පැවැති බව ඒ අනුව සිතාගත හැකිය. දිගාමඩුල්ල අතීතයේ සංවර්ධනය වූ ආශ්චර්යවත් ප්‍රදේශයක්‌ ව පැවැති බව බින්තැන්න පුරා දක්‌නට ඇති වාරිමාර්ග හා පුදබිම්වල නටබුන්වලින් පැහැදිලි වේ.

උත්තිය රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු අනෙකුත් රහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු, එම ධාතුන් නිධන් කොට මෙහි ස්‌ථූපයක්‌ කළ බව රජගල ලෙන් ලිපියේ සඳහන් වේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ මිහිඳු මහ රහතන් ඇතුළු පළමු ධර්මදූත කණ්‌ඩායම සිය මෙහෙවර ඉටු කරමින් රජගල ආශ්‍රිත වද විසූ බවය. ලක්‌දිව බුදු දහම ප්‍රචලිත කිරීමේ මුල් අදියර රජරට අනුරා පුරයත් රෝහණයේ දිගාමඩුල්ලත් මධ්‍යස්‌ථාන කරගෙන සිදු නොකරන්නට ඇතැයි මෙම කරුණු අනුව නිගමනය කළ හැකි වේ. රජරට පෙදෙසේ මෙන්ම පැරණි යුගයේ බෞද්ධ විහාරස්‌ථානවල හා ඉපැරණි සඳකඩ පහන් ගල් කුළුණු ආදියේ නටබුන් රැසක්‌ දිගාමඩුල්ලේ දී දක්‌නට ලැබෙන්නේ මේ හේතුවෙන් බව ඉහත දැක්‌වූ ඓතිහාසික සංසිද්ධීන්ගෙන් සනාථ වේ.

දිගාමඩුල්ලේ දක්‌නට ලැබෙන ඉතා වැදගත් ඓතිහාසික ස්‌ථාන අතරින් දීඝවාපිය, රජගල, සමන්ගල, සමනබැද්ද, මඟුල්මහ විහාරය, කුඩුම්ඹිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්‌ත්‍රවෙල, කොටවෙහෙර, ඔවාගිරිය, උදයගිරිය, බුද්ධංගල ආදී ස්‌ථාන සුවිශේෂී ඒවා ය.

එමෙන් ම දිගාමඩුලු බින්තැන්නේ ද වැදගත් ඓතිහාසික ස්‌ථාන රැසක්‌ දක්‌නට ඇති අතර මෙතෙක්‌ අනාවරණය නොවූ පැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන රැසක්‌ තිබිය හැකි බව අපගේ හැඟීමයි. දැනට සොයා දැන හැඳින ඇත්තේ පුළුකුණාව, බොල්ලෑගම, වෙහෙරගල, රතුපස්‌ උහන, ඔමුණේගල, නුවරගල, මල්ගහඋස්‌ස, ගල්පෝරුයාය, ටැම්පිටිය, නියදවරාගල, ටැම්බිත්තිය, කොල්ලෑගම, බොල්ලෑගම, කුඩාහරස්‌ගල, හරස්‌ගල ගල්ලෙන් විහාරය, සේරන්කඩ, නාවින්න, පදීදොර, කොකාගල, කෙහෙල්උලුව, දන්කුඹුර, දියමල්කන්ද, ඇල්ලේගොඩ, හෙනන්නේගල, කොට්‌ඨාශ ආදී ස්‌ථානයන් කිහිපය පමණකි.

සඳරුවන් ලොකුහේවා
2010 ජුනි 06 ඉරිදා දිවයින