ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

චිත්‍ර ලෙනෙහි අති සුන්දර නළඟන රුවෙහි හිමිකරුවා කවුද?

සියලු රහස් සඟවාගෙන නිහඬව බවුන් වඩන “ගිරිකුළ” කුමක් කියයිද?
චිත්‍ර ලෙනකට පිවිසීම දුෂ්කර කාරියකි. ලෙන් මිදුල පිහිටි ගල් පර්වතය දැඩි බෑවුම් සහිත වීම ඊට හේතුවයි. ලෙනට පිවිසීමට නම් අසීරුවෙන් හෝ බෑවුම් තරණය කළ යුතුය. බෑවුම් ගල් බිත්තියෙහි තැනින් තැන එක පේළියකට විඳින ලද සිදුරු සමූහයකි. ඒවා හෙළිකරන්නේ චිත්‍ර ලෙන පිළිබඳව පැරණි කතාවකි. චිත්‍ර ලෙන බෞද්ධ ආරාමයක්ව පැවැති අතීත සමයෙහි දැවයෙන් නිර්මිත පියගැට පෙළක් එහි සවිකර තිබෙන්නට ඇති බව ඒ කතා පුවතයි. පහළ කුඩා තැනි බිමෙහි සිට බලන විට චිත්‍ර ලෙන පිහිටා ඇත්තේ මීටර් 100කටත් වඩා උසිනි. චිත්‍ර ලෙන වූ කලී එක් ලෙනක් පමණක් නොවේ. දැවැන්ත ගිරි ශිඛරයෙහි එකිනෙකට යාබදව පිහිටි ලෙන් ගුහා තුනහතරක එකතුවකි. ඒවාද කටාරම් කෙටු ලෙන්ය. මේ ලෙන් පරිශ්‍රය හමුවන්නේ නීලගිරි කන්දේ මැද හරියට වන්නටය. චිත්‍ර ලෙනට උඩින් තවත් ඉහළට ගිරි කුළු පැතිර ඇති බව වන වඳුළු අතරින් පෙනෙයි. එහිද ලෙස ගුහා ඇති බව පුරාවිද්‍යා මිතුරෝ කීහ. අපි ඉතාමත් අසීරුවෙන් චිත්‍ර ලෙනටත් පිවිසියෙමු. එය ගල් පර්වතයේ කෝණාකාරව පිහිටි කටාරම් කෙටු ලෙන් ද්විත්වයකි. ලෙන් විවරය එකල ගඩොල් බිත්තියකින් ආවරණය කර ඇති බව තවමත් ඉතිරිව ඇති බිත්ති කොටස සාක්ෂි දරයි. චිත්‍ර ලෙන පහළ සිට ඉහළට විහිදෙන ෙශෙලමය පියගැටපෙළට මුහුණලා පිහිටි අතර, එහි බෑයා වූ අනෙක් ලෙන ගිරිකු‍ලේ අනෙක් බෑවුමට මුහුණලා පිහිටියේය. ලෙන් ද්විත්වය ස්වාභාවිකව තැනුණු කෙටි ගල්කුළකින්ද ගඩොල් බිත්තියකින් ද එකිනෙක වෙන්කර තිබිණි. චිත්‍ර ලෙන අඩි 10-12ක් පමණ පළලය.
චිත්‍ර ලෙන සිය බැතිබර අතීතයේදී “පිළිම ගෙයක්” ලෙස භාවිතා වන්නට ඇතැයි සම්පත් සහ පාලිත කීවෝය. එහි ෙශෙලමය අසුනක් මත බුදු පිළිමයක් තැන්පත් කර තිබුණු බවක් පෙනී යයි. පිළිමයට තැනූ ආවරණය ඇතත් දැන් එහි බුදුපිළිමයක් දක්නට නැත. සියල්ල බොහෝ කලක සිටම නිදන් සොරුන්ට බිළිවී තිබේ. අලංකාර චිත්‍ර සටහන් ඇත්තේ ලෙන් වියනේය. එය කිසියම් බදාමයකින් ආස්තරණය කර, ඒ මත චිත්‍ර ඇඳ ඇති බව පෙනී යයි.
ලෙන් වියනෙහි ඇඳ ඇත්තේ විශාල චිත්‍රයකි. ලෙන ඉදිරිපිට සිටගත් විට එහි වම් පසින් වූ වියන් තලයෙහි විශාල ලියවැලක් ඇඳ ඇති බව පෙනෙයි. ලිපි පෙළ ආරම්භයේදී අප පළකළ ඡායාරූපයෙන් දැක්වුණු සුන්දර නාරි රූපය ඇඳ ඇත්තේ ඒ ලියවැල ආශ්‍රිතවය. නාරි රුව, බැලූ බැල්මටම සීගිරි අප්සරාවකගේ රුවට සමානය. රුවෙහි උඩුකය නිරාවරණය. යටිකයට කෙටි ඇඳුමකි. ඇඳුම් ආයිත්තම්ද සීගිරි අප්සරාවන්ගේ  රුවට සමානය. ඇය නළඟනකි. රූපයෙහි ඈ සිටින විලාශය. නර්තන ඉරියව්වකි. වියන් චිත්‍රයෙහි නාරි රුව වර්ග අඩියක් පමණ විශාලය. ලෙන් වියනෙහි දකුණු පස ලියවැල් නෙළුම් මල් ආදිය ඇඳ තිබේ. ලෙනෙහි දකුණු පස වියනෙහි අශ්වයෙකු යැයි සිතිය හැකි සතකුගේ රූපයක කොටසකි. ලෙන වියනෙහි ඇඳ ඇති චිත්‍ර අතීතයේදී ඉතා හොඳින් වර්ණ ගන්වා තිබුණු බවත් පෙනෙයි. 
කාශ්‍යප රජ්ජුරුවන් විසින් අනුරාධපුරයේ සීගිරිය කරවූහයි කියන්නේ ක්‍රිස්තු වර්ෂ 447දී පමණය. නීලගිරි සෑය සමග නම කියැවෙන භාතිකාභය තිස්ස රජ්ජුරුවන් විසුවේ ඊට වසර 400කට පමණ ඉහත ක්‍රි.වර්ෂ 01 වැනි සියවසේය. මේ කාරණය මහත් කුතුහලය උපදවයි. චිත්‍ර ලෙනෙහි ඇති සීගිරි අප්සරාවක් බඳු නළඟන රුව සීගිරි නිර්මාණය කරන්නට පෙර අඳින ලද්දක්ද. නැත්නම් සීගිරියටත් පසුකාලීනව අඳින ලද්දක්ද? යන්න ඒ කුතුහලයයි.
කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා නිලධාරීහු නීලගිරි කන්දේ නළඟන රුව, සීගිරිය සමග සම්බන්ධ කරනවාට කැමති නැත. “මේ චිත්‍ර සොයාගැනීම ඉතා වටිනා, වැදගත් අවස්ථාවක්. අපි ඉදිරියේදී ලෙන් චිත්‍ර පිළිබඳව විද්වත් පිරිසක් මගින් ඒ ගැන වැඩිපුර පරීක්ෂණ කරන්න යනවා. එතකල් වැඩිදුර යමක් කියන්න බෑ.” ආචාර්ය සෙනරත් දිසානායක මහතා එසේ කියයි.
ලෙන් වියනෙහි චිත්‍ර ඇඳ ඇති කොටසෙහි මෑතක ලියූ කුරුටු සටහන්ද දක්නට ලැබේ. ඉන් චිත්‍රවලට මහත් හානිවී ඇති බව පෙනෙයි. “එචි. රටේරාල 1946, සුදු බණ්ඩි- මැංචිනෝනා 1934, වී.මුදලිහාමි, බබා නෝනා සහ ඉංගිරිසි බසින් ලියූ කේ.බි. ඇඩ්වින්” සහ තවත් වගවාසගම් බොහෝමයක් ඒවා අතර වේ. යුද්ධය එන්නට පෙර නීලගිරි කන්දේ නටඹුන් බලන්නට මිනිසුන් පැමිණි ඇති බවක්ද කුරුටු සටහන්වලින් පැහැදිලි වෙයි.
1965 සහ 1981 වර්ෂවල නීලගිරි කන්ද ගවේෂණය කළ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ (වත්මන් පාර්ලිමෙන්තු මන්ත්‍රී) සිය උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය, කෘතියෙහි මෙසේ සඳහන් කරති.
“මේ ලෙන් මනා ලෙස බිත්ති බැඳ ඇත. මෙයින් එකක බිත්ති බැඳ ඇත්තේ ගල් කුට්ටිවලිනි. බිත්තිය නෙරා ගොස් දොරටුවද ඇලවී ඇත. පුරාතනයේ බිත්ති මනා ලෙස කපරාරු කර තිබේ. ඒවා තවමත් බෙහෙවින් ආරක්ෂාවී ඇත. බදාම මත තවරන ලද සායමකි. යම් යම් පුද්ගලයන් මේ බිත්තිවල මෑතදී ලිවීම නිසා ඒවායෙහි  තත්ත්වය කෙළෙසී අවලක්ෂණ වී තිබේ. ලෙන තුළ කරවන ලදැයි සැලකෙන ප්‍රතිමාවල ගඩොළු ශේෂ හා ආසනවල ශේෂ මිස වෙන කිසිවක් දක්නට නැත. එවා නිදන් හොරුන් විසින් විනාශ කරන්නට ඇත. (17) 
උන්වහන්සේ මේ විස්තර කරන්නේ චිත්‍ර ලෙන ගැනය. අද එය එදාටත් වඩා විනාශ වී ගොස් ඇති අයුරු. අපි දුටුවෙමු. ලෙන් වියනෙහි ඇති චිත්‍ර සටහන් එකලද මිනිස් ඇසින් සැඟවී තිබෙන්නට ඇත.
ගිරුකුළ කටාරම් සහිත සෙල් ලිපි කෙටූ ලෙන්ද සමගින් නිහඬව බවුන් වඩනු වැන්න. කන්දේ මුදුනටම යාමට නම් තව පැය තුන හතරක්වත් ඉහළට නැගිය යුතුය. කන්දේ මුදුන් මාලයට වන්නට මීටර් දෙකක් පමණ උසට මීටර් එකහමාරක් පමණ පළලට තැනූ ප්‍රාකාර බැම්මක් බඳු ව්‍යුහයක් එහි ඇති බව සම්පත් සහ පාලිත කීවෝය. කන්ද ඉහළට වන්නට තවත් ලෙන් ඇති බවද ඔවුහු පැවසූහ. ගරාවැටුණු ගල් පඩිපෙළ බැසගෙන අපි ආපසු එන්නට පිටත්වීමු. වන මැද ගමන මහත් දුෂ්කර එකක් විය. සලකුණු තබමින් ගියද ආපසු එන අතරතුරදී අපට පාර වැරදින. උණු උණු අලි බෙටිද, තැනින් තැන වූ වලස්  පා සටහන්ද සිතට එක් කළේ භීතියකි. එක් වගුරු බිමක් බඳු තැනක මේ දැන් බොර කැලැත්තුන මඩවළකි. මඩවළ වටේම කැළෑ පඳුරුවල පවා මඩ ඉහී තිබිණි.   “මේක අලින්ගේ බාත්රූම් එකක්. දැන් නම් ඌරෝ නාලද කොහෙද”, සම්පත් අප හිනස්සමින් කීහ.
නීලගිරිසෑය මුල්කර ගෙන පැතිර ඇති ඉපැරණි නටඹුන් සහිත භූමිය අතිවිශාල එකකි. එහි සෑම තැනකම ඇත්තේ බෞද්ධ විහාරාරාම සංකීර්ණයක පැරණි ශේෂයන්ය. ඒවා හැඩඔය නිම්නයෙහිද පැතිරුණු අතීත රෝහණය හෙවත් පැරණි මාගම රාජධානියේ සලකුණ බව ඉඳුරාම කිව හැකිය. කුමන රජකුගේ සමයේ ඉදිවූවාද යන්න තවම හරියට සොයාගෙන නැතත් නීලගිරි සෑය ඉසව්වේ ඇති පෞරාණික නටඹුන් අතීතයේ පැවති මහා බෞද්ධ ආරාම සංකීර්ණයක් පෙන්නුම් කරන බව නම් පැහැදිලිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට දවසේදී ඒ සියල්ල හෙළිකර ගනු ඇත.
දැන් හැඩඔය නිම්නයෙහි අතීත රූපශ්‍රීය අරභයා අලුත් ගැටලුවක් මතුවී තිබේ. ඒ හැඩ ඔයෙන් එගොඩ නීලගිරි සෑය වනබිමෙන් අක්කර දහසක් කැබැලිවලට බෙදා ප්‍රදේශවාසීන් අතර බෙදාදෙන්නට යතියි කියන අපූරු යෝජනාවයි. ඉඩම් දෙතියි කියන්නේ ගොවිතැන් කරන්නටය. ලාහුගල ප්‍රාදේශීය ‍ලේකම්වරයා නම් කියන්නේ  තවම එබඳු යෝජනාවක් ආණ්ඩුවේ ආයතනවලට ඉදිරිපත්ව නැති බවයි. එහෙත් ප්‍රදේශවාසීන් සිතා සිටින්නේ කොයි මොහොතක හෝ රජය ඒ යෝජනාව ඉටුකරන බවයි.
මේ කාරණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ඉඩම් අයිතිය පැවරුණු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඉඳුරාම විරුද්ධය. එහෙත් යටිකූට්ටු සැලසුම් ක්‍රියාත්මක නොවෙතියි කියා කිසිවකුටත් සහතිකයක් නැත. “මෙතැනින් ඉඩම් දුන්නොත් කැලෙත් ඉවරයි. පුරාවස්තුත් ඉවරයි.” ඔවුහු කියන්නෝය.
ආපසු ගමනේදී හොඳටම පාර වැරදුණු පසුව තරංග සංජීවත් අමිල චන්දික ප්‍රසන්නත් ගස් මත නැග නීලගිරි සෑය තිබෙන ඉසව්ව සොයා ගන්නට තැත් කළහ. කැලය නිසා නීලගිරි සෑය නොපෙනයි. අපි සවස 2.30 පමණ වනතුරු වනයේ ඇවිද්දෙමු. කොයි හැටිවෙතත් දැන් අප සෑය කිට්ටුවට පැමිණ සිටිය යුතු බව සම්පත්ගේත් පාලිතගේත් නිගමනය විය.
සම්පත්, නීලගිරිසෑය කැණීම් භූමියේ පුරාවිද්‍යා සේවකයකුට දුරකතන ඇමතුමක් දුන්නේය.
“මේ, අපි පාර හොයා ගන්න බැරුව ඉන්නවා. මෙතන ඉඳන් හූවක් කියන්න. එතකොට අපිට ඉසව්ව හොයාගන්න පුළුවන්.” ඔහු කීවේය.
ඊළඟ මොහොතේ අපට බොහොම ළඟින්ම හූ දෙක තුනක් ඇසිණි. අප සෑයට කිට්ටුවෙන් ඉන්නා බව ඉන් පැහැදිලි විය. අපිද පිළිතුරු හූ කිව්වෙමු. ඊළඟ මොහොතේ කැණීම් භූමිය දෙසින් නරි රැළක් මෙන් හූ කියනු ඇසිණි. “ඒ හූ කියන්නේ නම් අපට පල් එකට” බණ්ඩාර කීවේය. තවත් විනාඩි පහළොවකදී පමණ සෑය අසලට යාමට අපට හැකිවිය. සවස 3.30 පමණ වෙද්දී පුරාවිද්‍යා වාඩියට පැමිණීමට අපට හැකි විය.


ස්තූතිය - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ට සහ නීලගිරිසෑය කැණීම් වාඩියෙහි සියලුම හිතමිතුරන්ට.
2012 ජූනි 11 වෙනි සදුදා, ලක්බිම