ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

අප්‍රිකාවෙන් නික්මුණු හෝමෝ සේපියන්ස් පාහියංගලින් මතු වෙයි

  • වසර 37000 ක් පැරණි විය හැකියි
  • හමුවී ඇත්තේ දකුණු ආසියාවේ පැරණිම සම්පූර්ණ ඇට සැකිල්ලයි
“ආහාර සම්පාදනය කර ගැනීමේ කාරණාවේදී මේ අයට කිසිම චාරයක් තිබුණු බවක් පේන්නෙ නෑ. එයාලා අතට අහුවෙන හැම සතෙක්ම දඩයම් කරලා කාලා තියෙනවා. වැඩිපුරම කාලා තියෙන්නේ වඳුරෝ. බෙල්ලෝ වර්ගත් කාලා තියෙනවා. ගස්වල ඉන්න පුවක් බෙල්ලෝ තිත්තයි. මේ අය උන් කොහොම කෑවාද දන්නෙ නෑ. අතටවත් අහුවෙන්නෙ නැති කුඩා බෙල්ලන්, සර්පයන් වගේම කබරගොයින් පවා කාලා තියෙනවා. කබරගොයි මස විෂ සහිතයි.  සමහර විට ඒ කා‍ලේ ඒවායේ විෂ ඉවත් කරන ක්‍රමයක් තිබුණාද දන්නෙ නෑ. අතට අහුවෙන ඕනෑම සතෙක් දඩයම් කරලා කාපු බව පේනවා.” පාහියන් ලෙන පිහිටි සුවිසල් ගල් පර්වතය යට වූ ගල් තැල්ලක හිඳගෙන සිටි ජූඩ් පෙරේරා මහතා අප හා කීවේය.
ජූඩ් පෙරේරා මහතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ව ඇට කටු විශ්‍ලේෂකවරයාය. ඔහු අපට මුණ ගැසුණේ  ඉකුත් අඟහරුවාදා (19), බුලත්සිංහල , යටගම්පිටියේ පිහිටි පාහියන් ලෙනෙහි කෙරෙන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් දැක බලා ගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය. 
පාහියන් ලෙන මුලින් ප්‍රසිද්ධ වූයේ , පාහියන් නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුව  ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවසේ දී පමණ එහි පැමිණි බව කියැවෙන ජනප්‍රවාද පුවත නිසාය. ලෙන ඉන් පසුව ප්‍රසිද්ධ වූයේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතාගේ මෙහෙයවීමෙන් 1986 සහ 1998 යන වර්ෂවල එහි කෙරුණු ප්‍රාග් ඓතිහාසික කැණීම් ද සමගිනි. ඉන් “බලංගොඩ මානවයන්” දොළොස්  දෙනෙකුගේ ඇට කටු අවශේෂ හමුවිණි. ඒවා අදින් වසර 31,000 ක් පැරණි බවට එකල කාලනිර්ණය කෙරිණි. පාහියන් ලෙන වූ කලී දකුණු ආසියාවේ පැරණිතම ආදි මානව ජනාවාසවලින් එකක් බව පර්යේෂණයෙන් හෙළි දරව් වූයේය. එහි විසූවෝ ඉපැරණි මධ්‍ය ශිලා යුගයට අයත් , “නවීන මානවයන්” (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) බව ද එයින් හඳුනා ගැනුණි. පුරාවිද්‍යාඥයින් ඔවුන් හඳුන්වන්නේ “බලංගොඩ මානවයන්” නමිනි. පසුව 2005 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පාහියන් ලෙනෙහි නැවත කැණීම් ඇරඹීය. එහිදී හෙළි දරව් වූයේ එහි පැවති බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 37,000ක් පැරණි බවයි.
පාහියන් ලෙන මේ දිනවල කතා බහට ලක් වී ඇත්තේ, මීට සතියකට පමණ ඉහත එයින් මතුකරගත් බලංගොඩ මානව ඇටසැකිල්ල නිසාය. ඉකුත් පෙබරවාරි මාසයේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි කැණීම් යළි පටන් ගත් අතර  කැණීම් නිලධාරීහු ලෙන් ‍පොළොවේ මීටර් එකහමාරක් ගැඹුරු පස් ස්ථරයකින් සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත්හ. එය “බලංගොඩ මානවයන්” යනුවෙන් හඳුන්වන “නවීන මිනිසෙකුගේ” ඇට සැකිල්ලකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසන්නේ නවීන මානවයාගේ මෙබඳු සම්පූර්ණ ඇට සැකිල්ලක් මින් පෙර දකුණු ආසියාවේ කිසිඳු රටකින් හමුවී නැති බවයි. මුලින් අනුමාන කෙරුණේ, එය අදින් වසර 12,000 ක් හෝ 15,000 ක් තරම් පැරණි විය හැකි බවයි. එහෙත් ඉකුත් අඟහරුවාදා (19) එය නිරීක්ෂණය කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු පැවැසුවේ ඇටසැකිල්ල ඊට වඩා බොහෝ පැරණි විය හැකි බවයි. එය ඇතැම් විට අදින් වසර 37,000 ක් පමණ පැරණි විය හැකි බවට සිරාන් දැරණියගල සහ නිමල් පෙරේරා යන මහත්වරු අනුමාන කළහ.
මානව ඇටසැකිල්ල හමුවූ පස් ස්ථර ආශ්‍රිතව තවත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් අවශේෂ විශාල සංඛ්‍යාවක් ද හමු විණි. 
ජූඩ් පෙරේරා මහතාගේ අත්දැකීම් අනුව, පාහියන් ලෙනෙහි වැසි මානවයෝ අලියාගේ පටන් කටුස්සා දක්වා වූ ගොඩබිම වෙසෙන සතුන්ද, ක්ෂීරපායී සත්ව විශේෂ 12ක් පමණ ද, ව්‍යාඝ්‍රයා, දියබල්ලා , රයිනෝසිරස්, ගෝනා, ඕලු මුවා, දඬු ‍ලේනා, වඳුරා, ‍ලේනා, වවුලා , පිඹුරා, කඹරගොයා, තලගොයා සහ විවිධ සර්පයන් ද, ලෙහෙල්ලා , ලූලා, දංකොල පෙතියා, මස් පෙතියා, මගුරා, හුංගා , අංකුට්ටා , මඩකනයා, ගං අරා වැනි මිරිදිය මසුන්ද, මෝරා , කිරිමෝරා සහ අඟුලුවා යන කරදිය මසුන්ද , ගොඩ බෙල්ලන් , දිය බෙල්ලන් ද , හබන් කුකුළා, වලිකුකුළා වැනි පක්ෂීන්ද, ආහාරයට ගෙන තිබේ. කැකුණ, වල් දෙල් , ඇටි කෙසෙල් සහ අල වර්ගද, වනයෙහි ඇති පලතුරු ද ඔවුන් භුක්ති විඳි ශාක ආහාර අතර වෙයි. කැණීම් නිලධාරීන් මේ තොරතුරු අපට කියන්නේ ඇට සැකිල්ල ආශ්‍රිත පස් ස්ථරවලින් සොයා ගත් ශාක සහ සත්ව අවශේෂ මූලික විශ්‍ලේෂණවලට ලක් කිරීමෙනි. ආහාර සකස් කරගෙන ඇත්තේ පුළුස්සා ගැනීමෙනි.
පාහියන් ලෙනෙහි වත්මන් පුරාවිද්‍යා කැණීම කෙරෙන්නේ, එහි ඇති මානව ජනාවාස සාධක තවදුරටත් විධිමත් ලෙස විද්‍යාත්මකව කාල නිර්ණය කිරීමේ අරමුණෙනි. එය මෙහෙය වන්නේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය  සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසිනි. පර්යේෂණයෙහි උපදේශකත්වය දරන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාය. 
පර්යේෂණ නිලධාරීන්ගේ අත්දැකීම් අනුව , ප්‍රාග්  ඓතිහාසික යුගයේ විසූ බලංගොඩ  මානවයන්ගේ ඇතැම් හැසිරීම් මහත් කුතුහලය උපදවන්නේය. ඉන් එකක් වන්නේ, ඔවුන් අදින් වසර දහස් ගණනකට ඉහත දී මුහුද සමග පැවැත්වූ සබඳතාවයයි. කුරුවිට බටදොඹ ලෙනෙහි කළ කැණීම්වලින් මඩු මාළුවෙකුගේ වලිගයක අස්ථි කොටසක්ද, මෝර මසෙකුගේ දතක්ද හමුවිය. උඩවලවේ, බෙල්ලන් බැඳි පැලැස්ස කැණීම් වලින් මෝර දත් සහ කරදිය මසුන්ගේ අවශේෂ සොයා ගැනුණි. කිතුල්ගල බෙලි ලෙනෙහි කළ කැණීම්වලින් මුහුදු බෙල්ලන්ගේ කටු හමු විය. ගම්පහ දිස්ත්‍රික්කයේ අලවල ගල් ලෙනෙන් ද මෝර දත් සොයා ගැනුණි. නොබෝදා පාහියන් ලෙනෙන් ද, කිරිමෝර දත් සහ මෝර පැටවුන්ගේ දත් ද, ලුණු බෙල්ලන්ගේ කටුද, හමු විණි. මේ සියලු බලංගොඩ මානව ජනාවාස රට මැද පිහිටි තැන්ය. ඒවායෙහි විසූ ආදි මානවයෝ මුහුද සහ මුහුදුබඩ පරිසරයෙහි විසූ සමකාලීන මානවයන් සමග සබඳතා පැවැත්වූ බව එම සාධකවලින් පෙනී යන්නේය. “මේක හරි පුදුම සහගතයි. ඒකා‍ලේ මුහුදුබඩ ඉඳලා රට මැදට මාළු ගෙනාවා කියලා හිතන්න බෑ. මොකද මාළු කුණු වෙනවා. සමහර විට රට මැද හිටපු අය මුහුදුබඩට ගමන් ගිහින්, එහේදී මාළු කාලා. කටු සහ අස්ථි කොටස් රට මැද ජනාවාසයට ගෙනාවා වෙන්න පුළුවන්. මාළු කටුවලින් ආයුධ සහ ආභරණ බඳු දේවල් නිපදවා ගත් බවට සාධක තියෙනවා.” එසේ කියන්නේ ආචාර්ය නිමල් පෙරේරා මහතාය.
කැණීම් නිලධාරීන්ගේ අත්දැකීම් අනුව, පාහියන් ලෙනෙහි විසූ මානවයන් ආභරණ පැළඳීම සහ ආ‍ලේපන ගැල්වීම කෙරෙහි සුවිශේෂ උනන්දුවකින් සිටි පිරිසකි. උරගා ඉතිරි කළ ගුරුගල්, සායම් මෙන් තවරා ගත හැකි උරගා ඉතිරි වූ මිනිරන් කැබලි, සත්ව ඇටකටු වලින් නිමවූ පබළු බඳු ද්‍රව්‍ය කැණීම්වලින් ඔවුන්ට හමුවී තිබේ. පාහියන් ලෙන කැණීම් භූමියෙහි ස්ථානභාර නිලධාරී ඔෂාන් වෙදගේ සහ කැණීම් නිලධාරී සුසන්ත නිහාල් යන මහත්වරු පවසන්නේ මෙවර කැණීමෙන් හමුවන “සත්ව ඇටකටු ආයුධ” සංඛ්‍යාව ඉතා ඉහළ බවයි.  මේ වන විට සත්ව ඇටකටු වලින් නිපද වූ ආයුධ 78 ක් හමුවී තිබේ. මීට පෙර කළ කැණීම් වලින් ගුරුගල් ආ‍ලේප කළ හිස් කබල්  දෙකක්ද පාහියන් ලෙනෙන් හමු වී තිබුණි. එය යම්කිසි අභිචාර ක්‍රමයක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
ප්‍රාදේශීය කෞතුකාගාර කැණීම් නිලධාරී පාලිත වීරසිංහ, කැණීම් නිලධාරීන් වන කමල්නන්ද සිරිසේන, යූ.ඩබ්ලිව්. කරුණාසේන, සුසන්ත නිහාල් , සමන් කුමාර ඇරෑගම, පී.ජී. ගුණදාස, විශ්‍රාමික කැණීම් නිලධාරී ඇල් ප්‍රඩ් ද මැල්, සත්ව අවශේෂ විශ්‍ලේෂක ජූඩ් පෙරේරා , රුවන් ප්‍රමෝද් , කේ.පී. සුමනදාස ඇතුළු පිරිසක්  පාහියන් ලෙනෙහි ඉතිහාසය මතු කර ගැනීමට වෙහෙසවෙමින් සිටිති. ජාතික උරුම විෂය භාර ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාද, අමාත්‍යංශ ‍ලේකම් කාන්ති විජේතුංග  මහත්මියද වරින්වර කැණීම් භූමියට දුරකතන ඇමතුම් දෙමින් අවශ්‍ය පහසුකම් සලසවමින් උදව් කරති.
පාහියන් ලෙනේ සහ ලංකාවේ කෙරෙන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලට සම්බන්ධ වී සිටින හා ඒවාට උදව් කරන සියලුම  දෙනා සහාය වන්නේ ලාංකේය කාරණාවකටම නොවේ පාහියන් ලෙනෙහි කෙරෙන පර්යේෂණය මගින් ලංකාවේ විසූ ආදි නවීන මානවයාගේ ඉතිහාස කතාව දිග හැරෙන බව ඇත්තකි. එහෙත් ඒ ඉතිහාසය කතාව ගැට ගැසෙන්නේ ජාත්‍යන්තර තලයටය. එනම්, අදින් වසර මිලියන දෙකකට ඉහත දී අප්‍රිකානු මහද්වීපයෙන් මිනිසා ලොවට බිහිවීමත්, ඉන් පසුව ඔහු එක් පැත්තකින් යුරේසියාවට (යුරෝපය) ත්, අනෙක් පැත්තෙන් ආසියාවේ ඉන්දියාව, ලංකාව, ඉන්දුනීසියාව, බෝර්නියෝ, සුළුවෙසි දූපත් යන රටවල් ඔස්සේ ඕස්ට්‍රේලියාව දෙසටත් කළ “මහා සංක්‍රමණය” ගැන කෙරෙන පර්යේෂණ ධාරාවටය. 
ජාත්‍යන්තර තලයේ පුරා විද්‍යාඥයෝ මෙම සංක්‍රමණය, “අප්‍රිකාවෙන් නික්මීම” (භබ ධට ඒටපඪජච) යනුවෙන් හඳුන්වති. එහි පැරණි තොරතුරු සොයා පර්යේෂණ කරති. පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට , අප්‍රිකාවෙන් ලොවට බිහිවූ මිනිසා, “නවීන මිනිසෙකු” (හෝමෝ සේපියන්ස් සේපියන්ස්) බවට පරිණාමය වී ඇත්තේ අදින් වසර ලක්ෂයකට පමණ ඉහත දීය. ඒ වසර දහස් ගණනක් මුළුල්‍ලේ අප්‍රිකාවෙන් නික්ම යන ගමනේ දීය. ලංකාව සම්බන්ධයෙන් මේ කාරණය වැදගත් එකක් බව පුරාවිද්‍යාඥයෝ කියති. දකුණු ආසියාවේ  නවීන  මානවයාගේ පැරණිම සාධක ලංකාවෙන්ද හමුවීම ඊට හේතුවයි. 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා  මහතා කළ පර්යේෂණ මගින් කුරුවිට, බටදොළ ලෙන සහ පාහියන් ලෙනෙන් අදින් වසර 37,000ක් ඉපැරණි නවීන මානව සාධක ලැබිණි. කිතුල්ගල, බෙලි ලෙනෙන් අදින් වසර 27,000 ක් (1986 වසර) පැරණි නවීන මානව සාධක හමුවිණි.
ලංකාව නවීන මානවයාගේ පැරණිම සාධක හමුවන රටක් වන බැවින් ඔහුගේ ව්‍යාප්තිය ගැන කෙරෙන ජාත්‍යන්තර තලයේ පර්යේෂණවල දී අපේ රටට හිමිව ඇත්තේ ඉමහත් කීර්තියකි. එබඳු අවස්ථා බොහොමයකි. 
වර්ෂ 1940 දී පමණ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා උඩවලවේ බෙල්ලන් බැඳි පැලැස්ස එළිමහන් ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය කැණීම් කළේය. ඉන් හමුවුණ නවීන මානව අවශේෂ විශ්‍ලේෂණය කළේ ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ. ආර්. කෙනඩි මහතාය. ඔහු එයින් ලංකාවේ විසූ නවීන මානවයාගේ ශරීර ලක්ෂණ හඳුනා ගත්තේය. ඊට පසුව ආචාර්ය සිරාන් දැරණියගල මහතා ද එහි කැණීම් පාහියන්ගලින් කළේය. ඉන් පසුව 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා මහතා කළ කැණීම් වලින් බෙල්ලන්බැඳි පැලැස්සේ විසූ නවීන මානවයන් අදින් වසර 12,000ක් පැරණි බව කාලනිර්ණය කෙරිණි. 1980-1998 වසරවලදී ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතා පාහියන් ලෙනෙහි කළ කැණීම් වලින් සොයා ගත් මානව අවශේෂ විශ්‍ලේෂණය කළේ ද කේ.ඒ.ආර්. කෙනඩි මහතාය. ඒවා නවීන මානවයන්ගේ ශරීර ලක්ෂණ පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.
කුරුවිට බටදොඹ ලෙන  අරභයා 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා සහ ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරු කළ පර්යේෂණයට , ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ඒ සිම්ප්සන් මහතාද සම්බන්ධ විය. ඔහු ලෙනෙහි කැණීම් පාංශු පැතිකඩ ඉතා නවීන තාක්ෂණික ක්‍රමය යටතේ විශ්‍ලේෂණය කර, දකුණු ආසියාවේ විසූ නවීන මානවයාගේ තොරතුරු සම්භාරයක් හෙළි කළේය. 2005 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් මුල්බෙක් සහ ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු, නවීන මානවයා ඕස්ට්‍රේලියාවට ගිය අතීත ගමනේ දී ලංකාවේ දායකත්වය කෙබඳුදැයි පිරික්සූහ. ඉකුත් මැයි මස 24 වැනිදා කොළඹ  රාජකීය ආසියාතික සමිතියට පැමිණි එංගලන්තයේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ඩී. පැට්‍රාලියා මහතා, ආදි මානවයන් අප්‍රිකාවෙන් නික්මීමේ පුවත සහ දකුණු ආසියාවේ පුරාවිද්‍යා  පර්යේෂණ අරභයා, දෙසුමක් පැවැත්වීය. බ්‍රිතාන්‍යයෙන් පැමිණි 
විශේෂඥවරියක් මේ දිනවල ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අපේ බටදොඹ ලෙනෙන් හමු වූ ගල් ආයුධ නැවත විමර්ශනයට ලක්කරමින් සිටින්නීය. නවීන මානවයන් ආසියාව ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා ගිය ගමනේ දී ලංකාවේ ගල් ආයුධවල දායකත්වය කෙසේ දැයි ජාත්‍යන්තර සංසන්දනයක යෙදීම ඇගේ පර්යේෂණයි  පාහියන් ලෙනෙන් හමු වූ ඇටසැකිල්ලද මේ පර්යේෂණ ධාරාවට වැටෙන එකකි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දෙන අන්දමට. එබඳු නවීන මානවයෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් මින් පෙර කිසිදු දකුණු ආසියාතික  රටකින් මතෛක් හමු වී නැත. “මේ තැනැත්තා මිය ගියාම මළ සිරුර ගෙබිමේ කුණු ගොඩේ වළලා ඇති බවක් පේනවා. ඊට පසුව එය උඩින් ගල් දෙකක් තබලා. එය ඇතැම් විට අවමඟුල් සිරිතක් වෙන්නත් ඇති. නැතිනම් මළ සිරුර සතුන් ඇදගෙන යාම වළක්වන්නත් එහෙම කරන්න ඇති. ඊට පසුව එතැනම ලිප් බොක්කක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයා මැරුණා කියලා ජනාවාසය අත්හැර දමා නෑ. ඔවුන් ඒ ගෙබිමෙහි ජීවත් වෙලා තියෙනවා. ලිප්බොක්කේ ගින්දර නිසා ඇට  සැකිල්‍ලේ දෙපා යාන්තමට පිළිස්සුණු ස්වරූපයක් පේනවා. මට හිතෙන්නේ මේක තරුණ ගැහැනු ළමයෙකුගේ බවයි. මං කියන මේ දේවල් වැරදි වෙන්නත් පුළුවන්. මේක විද්‍යාත්මකව විශ්‍ලේෂණය කළ පසුව නිවැරදි තොරතුරු කියන්නට පුළුවන් වේවි. මේක සමහර විට අදින් වසර 37, 000 ක් පමණ පැරණි එකක් වෙන්නටත් පුළුවන්. එය හරියටම කිව හැක්කේ කාල නිර්ණ පරීක්ෂණවලින් පසුවයි. අපි ඉක්මනින්ම ඇට සැකිල්‍ලේ ස්ථාන හතරකින් අළු සහ  අඟුරු සාම්පල් කාල නිර්ණ පරීක්ෂණවලට යවනවා.” එසේ කියන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාය.
ඇටසැකිල්ල නිරීක්ෂණය සඳහා අඟහරුවාදා (19) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු පාහියන් ලෙනට පැමිණියහ. ඇටසැකිල්ල පිහිටා තිබෙනුයේ ගල් ස්ථරයක් මතය. අනෙක එය තිබෙන්නේ ඉතා සුළු ගැස්මකින් පවා හානි විය හැකි තත්ත්වයකය. එබැවින් එය නිරුපද්‍රිතව ගොඩට ගත නොහැක. “ඉස්සෙල්ලා අපි මේක කාල නිර්ණය කරනවා. ඊට පසුව විදේශීය පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මෙතැනට කැඳවලා ඔවුන් ලවා විශ්‍ලේ   -ෂණ කටයුතු කරවනවා. ඇටසැකිල්ල මෙතැනින් ඉවත් කළ නොහැකි තත්ත්වයක තිබෙන නිසා අපට වෙන කළ හැකි දෙයක් නෑ. මේක ලංකාවට අලුත් අත්දැකීමක් වේවි.” ආචාර්ය සෙනරත් දිසානායක මහතා එහිදී කියා සිටියේය.
2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, ලක්බිම 
ක්‍රිෂ්ණා විජේබණ්ඩාර