ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දළදා ගමන් මාළිගාව


අස්‌ගිරි මහා විහාරයේ ආරම්භය
ලේඛනගත මූලාශ්‍ර ඇසුරින් දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජු (රා. ව. 1236 - 1270) විසින් කරවන ලදැයි සැලකෙන සෙංකඩගල නුවර ඉදිකරන ලද මුල් ම ඉදිකිරීම වශයෙන් මේ දක්‌වා හඳුනාගත හැකිව පවතින එක ම ස්‌ථානය වන්නේ අස්‌ගිරි මහා විහාරය යි. වනවාසී භික්‌ෂු මූලස්‌ථානය වූ එය නගරයේ පැරණිතම විහාරය බවද අස්‌ගිරි තල්පත සහ කුරුණෑගල විස්‌තරය අනුව පැහැදිලි වෙයි. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ සේනාපති වූ සිරිවර්ධන නමැත්තා විසින් සිරිවර්ධන පුර නොහොත් මහනුවර කරවීමෙන් පසුව අස්‌ගිරි විහාරයත් කරවා ඇතැයි අස්‌ගිරි තල්පතේ සඳහන් වෙයි. නමුත් කුරුණෑගල විස්‌තරය සඳහන් කරන්නේ මෙම විහාරයත්, සිරිවර්ධනපුරයත් යන යුගලය ම දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු (රා. ව. 1236 - 1270) රජු විසින් කරවන ලද බවකි. චූලවංශය ද මේ බව සනාථ කරයි.

"ඒ බුජො පරක්‌කන්බාහු මහරජ සෙංකඩගල රාඡ්ජය කළ කල්හි අස්‌ගිරි වෙහෙර වසන මහ සංඝයාට නිති දන් දෙති, සිවුරු දෙති." (කුරුණෑගල විස්‌තරය)

එසේ කුරුණෑගල විස්‌තරය සඳහන් කරන්නේ ස්‌වකීය සොහොයුරු දෙවැනි පරාක්‍රමබාහු (රා. ව. 1236 - 1270)විසින් සිරිවර්ධන නුවර කරවා එහි අස්‌ගිරි විහාරය ද කරවීමෙන් ඉක්‌බිතිව එහි රජ පැමිණි, කලක්‌ අස්‌මඬලේ අභයසුන්දරාරාමයේ පැවිදිව සිටි ඔහුගේ සොහොයුරු වූ බුජො පරාක්‍රමබාහු විසින් එම අස්‌ගිරියේ භික්‍ෂු සංඝයා වෙනුවෙන් මහත් සේ පුද පූජා පැවැත්වූ බවයි. නමුත් අස්‌ගිරි විහාරය සතුව වර්තමානයේ පවතින පැරණිතම පුරාවිද්‍යාත්මක සාධකය වශයෙන් හඳුනාගත හැක්‌කේ අස්‌ගිරි ආදාහන මළුව නමින් හඳුන්වන භූමියේ පිහිටි දා හතර වන සියවසට පමණ අයත් යෑයි නිගමනය කළ හැකි ගෙඩිගේ ගොඩනැඟිල්ල යි.

අස්‌ගිරියේ ආදාහන මළුව
අස්‌ගිරි මහා විහාරය දඹදෙණි යුගයේ ඉදිකරන ලද්දේ වී නමුත්, එහි දැනට ශේෂ වී තිබෙන ඇති පෞරාණික ම ඉදිකිරීම වන අස්‌ගිරි ගෙඩිගේ පිහිටා තිබෙන ආදාහන මළුව වූ කලී ගම්පොළ යුගයේ තුන්වැනි වික්‍රමබාහු රජු විසින් ස්‌වකීය මෑණියන් වූ චන්ද්‍රdවතී දේවිය ආදාහනය කරන ලද ස්‌ථානය යි. තවත් ප්‍රවෘත්තියකට අනුව එම චන්ද්‍රdවතී දේවිය වූ කලී මහනුවර සේනාසම්මත වික්‍රමබාහුගේ බිසව යි. එවක්‌ පටන් මෙම ස්‌ථානය ප්‍රකට වන්නේ උඩරට රජුන්ගේ ආදාහනය පැවැත්වන ස්‌ථානය වශයෙනි. පෘතුගීසි ඉතිහාස ලේඛක වැලන්ටයින්ගේ වාර්තාව අනුව පළමුවැනි විමලධර්මසූරිය (1604), ඔහුගේ පුත් වූ මහා අස්‌ථාන කුමරු, විමලධර්මසූරියගේ බිසව වූ කුසුමාසන දේවිය (1612), සෙනරත් මහරජු (1635), දෙවැනි රාජසිංහ (1687), දෙවැනි විමලධර්මසූරිය (1707), වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1739), ශ්‍රී විජය රාජසිංහ (1747), කීර්ති ශ්‍රී රාජසිංහ (1782) සහ රාජාධි රාජසිංහ (1798)යනාදීන්ගේ ආදාහන මංගල්‍යයන් පවත්වා ඇත්තේ ද මෙහි දී ය. සම්ප්‍රදාය අනුව රජු, රාජමාතාව සහ රජුගේ වැඩිමල් සොහොයුරිය යනාදින්ගේ පමණක්‌ ආදාහන කටයුතු මෙහි සිදුකරන ලද අතර සෙස්‌සන්ගේ ආදාහන කටයුතු සඳහා වෙන් කර පැවති කොටස වන්නේ උඩවත්ත කැලෑවේ රාම විහාරය පසුපසින් වූ බණ්‌ඩගෙතැන්න නම් ප්‍රදේශය යි. මුල්කාලීනව ආදාහන මළුව ප්‍රධාන මළු තුනකින් යුක්‌ත විය. උඩ මළුවේ ගෙඩිගේ විහාරය තිබුණු අතර, ආදාහන කටයුතු සිදු වී ඇත්තේ මැද මළුවේ ය.


බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩේවිගේ වාර්තාවලින් ද මේ බව පෙන්වා දෙනු ලැබේ. මේ හේතු කොටගෙන අද ද මෙම ස්‌ථානය හඳුන්වනු ලබන්නේ අස්‌ගිරි ආදාහන මළුව වශයෙනි. රාජකීය ආදාහනයන් හැරුණු විට මෙහි සිදු වී තිබෙන සුවිශේෂීම ආදාහනයක්‌ වශයෙන් හමුවන්නේ ශ්‍යාමෝපසම්පදාව පිහිටවූ උපාලි මහතෙරුන් වහන්සේගේ ආදාහනය සිදුවීම යි.

1815 දී බ්‍රිතාන්‍යයන් උඩරට අල්ලාගන්නා විටත් මෙම ආදාහන මළුවේ රාජකීය සුසාන ස්‌මාරක පැවති බව පෙනේ. 1828 දී සටහනක්‌ තබන මේජර් ෆෝබ්ස්‌ දක්‌වන ලද ආකාරයට 1828 මැයි මස වන විටත් දෙවැනි රාජසිංහ රජුගේ සොහොන මෙහි පැවතියේ ය. නමුත් 1837 දී රචනා කරන ලද වාර්තා අනුව පෙනී යන්නේ එම සොහොන් ස්‌මාරකයේ ගල් ඉවත් කිරීම නිසා එය පස්‌ කන්දක්‌ මෙන් දිස්‌ වූ බවයි. 1878 - 80 වකවානුවේ දී සිදු වූ දුම්රිය මාර්ග තැනීමේ කටයුතු නිසා මෙහි වූ සෙසු ස්‌මාරක ද ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදී. එහෙත් ආදාහන මළුවේ පිහිටි පැරණි ගොඩනැඟිල්ල පමණක්‌ ඉතිරි වී තිබුණි.

ගෙඩිගේ සම්ප්‍රදාය

අනුරාධපුර යුගයේ ගන්ධකුටි වර්ගයේ ප්‍රතිමාගෘහ ආකෘතියේ ම එක්‌තරා විකාශන අවධියක්‌ සේ සලකනු ලබන ගෙඩිගේ සම්ප්‍රදාය හැඳින්වීම උදෙසා පාළි බසින් 'ගිඤ්ජකාවස්‌ථ' යන පදය යොදනු ලැබේ යෑයි ආචාර්ය පරණවිතාන ශූරීන් විසින් මහා රූපසිද්ධි සන්නය ඇසුරින් දක්‌වයි.එච්. සී. පී. බෙල් මහතා විසින් අදහස්‌ දක්‌වා තිබෙන්නේ 'ගෙඩිගේ' යන්නෙහි 'ගෙඩි' යන සන්ධි පදය සංස්‌කෘත බසෙහි යෙදෙන ඝටිකා යන්නට සමාන බවයි. කෙසේ නමුත් ගෙඩිගේ යනු 'ගඩොලින් සැදි වහලක්‌ සහ බිත්ති සහිත ගොඩනැගිල්ලක්‌ බව' සනාථ කිරීමට ඒ ඒ විද්වතුන් උත්සුක වී තිබේ.මේ බව සනාථ කෙරෙන ප්‍රකාශයක්‌ පොළොන්නරු යුගයට අයත් බුත්සරණෙහි අන්තර්ගත වෙයි.

".....රිදී උළුයෙන් බැඳි ගෙඩි ගෙයෙක්‌හි වැඩහිඳිනා....."(බුත්සරණ, 239 පිට)

පොලොන්නරුව යුගයේදී මෙම ගොඩනැඟිලි විශේෂය'ගෙඩිගේ' යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ගඩොලින් තැනූ ගොඩනැඟිල්ලක්‌ නිසා බව ඒ ඇසුරින් වටහා ගැනීමට පිළිවන. එමෙන්ම බුද්ධඝෝෂ අටුවාචාරීන්ගේ රූපසිද්ධි සන්නයේ දක්‌වා තිබෙන්නේ ද 'ගඩොලින් පමණක්‌ කරවූ ගොඩනැඟිල්ල' ගෙඩිගේ නම් වන බවයි.

".....සියලු උළුමුවා ගෙයි හෙවත් ගෙඩිගෙයි....."(බුත්සරණ, 239 පිට)

මෙම ගොඩනැඟිලි සම්ප්‍රදාය බෙහෙවින් ජනප්‍රියභාවයට පත් ව ඇත්තේ පොළොන්නරු යුගයේ දී බව පෙනෙන්නට තිබේ. ගඩොලින් ම තැනූ වහළක්‌ සහිත මෙම දියුණු වාස්‌තු විද්‍යා ඉදිකිරීම් සම්ප්‍රදායට උදාහරණ වශයෙන් පොළොන්නරුවේ ථූපාරාම, ලංකාතිලක සහ තිවංක ප්‍රතිමාඝර හඳුනාගත හැකිය. අනුරාධපුරයේ ඇතුළු නුවර ද ගෙඩිගෙයක්‌ පැවති බව ඇතැම් තැනක සඳහන් වෙයි. මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් නාලන්දා ගෙඩිගෙය මේ යටතේ හඳුනාගෙන ඇති ඉහළම ගණයේ නිර්මාණයයි. දකුණු ඉන්දියාවේ මාමල්ලපුරම් හි ශෛලමය නිර්මාණාකෘති මේ සඳහා උපයෝගී කොටගෙන තිබේ. පසුකාලීනව 14 වැනි ශතවර්ෂයේ දී, එනම් ගම්පොළ යුගයේ දී කරවන ලද ගඩලාදෙණි විහාරය ද මේ ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ඉහළින් ම පිළිබිඹු කරන ස්‌ථානයකි.

ගෙඩිගේ යන්නෙහි නිරුක්‌තිය හා සම්බන්ධයෙන් කුරුණෑගල විස්‌තරය නම් විත්ති පොත මගින් ඉදිරිපත් කෙරෙන අදහස ද විද්වතුන්ගේ අවධානය පිණිස යොමුවිය යුතුය.

".....දන් වේලාවට දන්ගෙඩිය ගසන පිණිස තැනූ ගෙඩිගේ ද....." (කුරුණෑගල විස්‌තරය)

වනවාසී විහාරයන් හි දාන වේලාව පිළිබඳව භික්‍ෂුන් වහන්සේලාට සංනිවේදනය කිරීම පිණිස යොදාගන්නා ක්‍රමවේදය නම් 'දන් ගෙඩිය' නමින් හඳුන්වන දැවමුවා නිර්මාණයට තවත් දැව දඬුවකින් පහරදීම යි. ඉන් නැගෙන අඩු තාරතාවයකින් යුක්‌ත ශබ්දය ඔස්‌සේ දාන වේලාව පිළිබඳව සංනිවේදනය කෙරේ. කුරුණෑගල විස්‌තරය දක්‌වන්නේ එම ගෙඩිය තබනු පිණිස කරවන ලද ගොඩනැඟිල්ල ගෙඩිගේ නම් වන බවයි. එය බොහෝ දුරට සමාන වන්නේ වර්තමානයේ දී ද භාවිත වන ඝණ්‌ඨා කුලුන ආකෘතියට ය. පොළොන්නරු යුගයෙන් පසු ගෙඩිගේ නමින් හැඳින්වූයේ ගඩොලින් කරවූ ගොඩනැඟිලි විශේෂය පමණක්‌ නොවන බව මේ මගින් පැහැදිලිව පෙනී යයි.

අස්‌ගිරි ගෙඩිගේ

ආදාහන මළුවේ පිහිටා ඇති සුවිශේෂී ම ගොඩනැඟිල්ල වන්නේ 'ගෙඩිගේ' නමින් හඳුන්වන ඉදිකිරීම යි. බාහිර හා අභ්‍යන්තර සැකැස්‌ම අනුව නිශ්චිත වශයෙන් ම 14 වැනි ශතවර්ෂයට අදාළ කරගත හැකි මෙය ගඩලාදෙණි විහාරයේ හා මහනුවර නාථ දේවාලයේ සැලසුමට සමානකම් පළකරයි. ජනප්‍රවාදයකට අනුව තුන්වැනි වික්‍රමබාහු රජුගේ මෑණියන්ගේ ආදහනයෙන් පසුව භෂ්මාවශේෂ තැන්පත් කොට ගෙඩිගේ කරවා බෝධියක්‌ ද රෝපණය කරවා ඇත. අස්‌ගිරි ගෙඩිගේ එකල හැඳින්වුණේ 'රත්නභානු' නමින් බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කරයි. එය බොහෝ කලක පටන් රමණීය බුදු මැදුරක්‌ වශයෙන් පරිහරණය කරන ලද බව එහි ඇති පැරණි සිතුවම්වලින් ප්‍රකට වෙයි.

ගෙඩිගේ ඉදිකර තිබෙන්නේ විශාල කළුගල් කුට්‌ටි භාවිතයෙනි. පියස්‌ස ද කළුගලින් ම නිමවා ඇත. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශෛලියට අනුගත වෙමින් පොළොන්නරු යුගයේ පටන් විකාශනය වූ ප්‍රතිමාගෘහ ඉදිකිරීමේ පොදු ආකෘතිය අනුව යමින් ගර්භගෘහයක්‌ සහ ද්වාර මණ්‌ඩපයක්‌ සහිතව මෙම ගොඩනැඟිල්ල ඉදිකර ඇත. එහෙත් භාරතීය ගෘහ නිර්මාණවල දකින්නට ලැබෙන පියස්‌සේ විමාන වෙනුවට මෙහි දක්‌නට ඇත්තේ චෛත්‍යයකි.

මෙම ගොඩනැඟිලි ආකෘතියට බෞද්ධ මුහුණුවරක්‌ දීම එහි අභිප්‍රාය බව පැහැදිලි ය. ගෙඩිගේ ගොඩනැඟිල්ලේ පිටත බිත්තියේ ව්‍යාජ කුලුනු හා ව්‍යාජ දොරටු මෙන් ම විචිත්‍ර බොරදම් කැටයම් ද නිර්මාණය කර ඇත.

ගොඩනැගිල්ලේ පාදම සමසතරැස්‌ ය. එක්‌ පසෙක දිග අඩි 21 කි. ගර්භ ගෘහයේ පිටත බිත්තියේ සිට නෙරාගිය කොටස දිගින් අඩි 14ක්‌ හා පළලින් අඩි 10ක්‌ වේ. ද්වාර මණ්‌ඩපයේ ඇතුළත දිගින් අඩි 7.5ක්‌ වන අතර පළල අඩි 6.5කි. ශිඛරය ද සම`ග සම්පූර්ණ උස අඩි 35කි. ගෙඩිගෙයෙහි බිත්ති ව්‍යාජ කුලුනුවලින් යුක්‌ත වන සේ නිර්මාණය කර තිබේ. සෑම ව්‍යාජ කුලුනක ම ව්‍යාජ පේකඩ සහිත ය.

තුන්වැනි වික්‍රමබාහු රජු විසින් මෙම ස්‌ථානයෙහි ගෙඩිගේ නිර්මාණය කිරීමෙන් ඉක්‌බිතිව එය අස්‌ගිරි විහාරයේ ග්‍රන්ථධූරය පුරන භික්‌ෂුන් වහන්සේලා විෂයෙහි පූජා කරන ලදී. එහි වතාවත් කිරීමේ වගකීම පැවරුණේ රජුගේ සොහොයුරු වූ රාජනාරායණ වික්‍රමබාහු මහා ස්‌ථවිරයන් වහන්සේගේ වෙතට ය. උන්වහන්සේ ගෙඩිගේ ආදාහන මළුවේ වැඩ වෙසෙද්දී ආරම්භ වූ භික්‌ෂු පරපුරෙන් බොහෝ ධර්මධර යතිවරයාණන් වහන්සේලා බිහිවූහ. මෙයින් ආරම්භ වූ ස`ග පරපුර සෙංකඩගල වීර වික්‍රම, දෙවැනි විමලධර්මසූරිය ආදී රජුන්ගෙන් බුහුමන් ලදහ. එමෙන්ම බුදුසමය පිරිහී පැවති අවදියේ දී උන්වහන්සේලා විසින් ලක්‌දිව පුරා ධර්ම ශාස්‌ත්‍රීය කටයුතු පෝෂණය පිණිස කටයුතු කරන ලද ආකාරය ද මූලාශ්‍ර මගින් පැහැදිලි වෙයි.

දෙවැනි විමලධර්මසූරිය සමයේ දී සපුවිද සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය වූ රම්මල වනරතන හිමියන් අස්‌ගිරි ගෙඩිගේ විහාරයේ අධිපතීත්වය දැරූ අතර, එම පරපුරෙන් පැවත ආ 'ඒකනායක සුමංගල' නම් ගණින්නාන්සේ නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ දී කඩදොර විහාරයේ වැඩ වෙසෙමින් මහනුවර ගෙඩිගේ විහාරයේ ද භාරකාරීත්ව උසුළා ඇති බව කඩදොර තුඩපතේ සඳහන් වෙයි.

ශ්‍යාමෝපසම්පදාව පිහිටවීමෙන් පසුව ගොලහැන්වත්තේ ධම්මකීර්ති මහතෙරුන්ගේ ශිෂ්‍ය වූ ගොලහැන්වත්තේ ධම්මසිද්ධි මහතෙරුන් වහන්සේ විසින් මෙහි භාරකාරීත්වය දරන ලද බව ඇතැම් තැනක සඳහන් වෙයි. එමෙන් ම උපසම්පදාව පිහිටවීමෙන් පසුව ගෙඩිගේ විහාරයෙහී සීමා පනවා සම්මත කොට, උඩවාහලවත්ත අසල වූ අස්‌ගිරි සේනාසනයේ විදර්ශනාධූරයෙහි මෙන් ම, ගෙඩිගේ විහාරයට යාබද වෙනත් විහාරස්‌ථානවල ග්‍රන්ථධූරයෙහි ද යෙදීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබුණි. ඇතැම් විශ්වාසයන්ට අනුව ගෙඩිගේ බද්ධ සීමාව, ශ්‍යාමොපසම්පදාව පිහිටවීමට පූර්වයෙහි පටන් පැවති විනය සීමාව ලෙස සැලකේ.

අස්‌ගිරි ගෙඩිගේ සහ දළදා සංස්‌කෘතිය

සීතාවක රාජසිංහ සමයේ දී දෙල්ගමුවේ ස`ගවන ලද දළදා වහන්සේ පළමුවැනි විමලධර්මසූරිය රජු විසින් ඉදල්ගස්‌හින්න, ඌව මාර්ගයෙන් හෝ දැරණියගල, සතර කෝරළය මාර්ගයෙන් හෝ සෙංකඩගල වෙත වැඩමවාගෙන විත් දළදා වහන්සේ වෙනුවෙන් ස්‌ථිර මාලිsගාවක්‌ නොමැති වූ නිසා තාවකාලිකව එක්‌රැයක්‌ මෙම ගෙඩිගෙයෙහි ගත කර තිබේ.

වර්තමාන දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර රාත්‍රී විදි සංචාරයෙන් පසුව කරඬු වහන්සේ වැමවාගෙන යනු ලබන්නේ මෙම ගෙඩිගේ විහාරය වෙත ය. දළදා වහන්සේ දෙල්ගමුවේ සිට වැඩමවද්දී එක්‌ රැයක්‌ ගෙවූ ස්‌ථානයට කරන සත්කාරයක්‌ වශයෙන් ද, මෙහි පළමුවරට ආදාහනය කළ චන්ද්‍රdවතී දේවියගේ පටන් මෙහි ආදාහනය කරන ලද රජුන්ට කෙරෙන ගෞරවයක්‌ වශයෙන් ද මේ සිරිත පැවතෙන්නේ යෑයි අදහස්‌ පවතී. තවත් අදහසක්‌ අනුව රාජ්‍යත්ව සංකේතය වූ දළදාව සුරක්‌ෂා කිරීමේ වගකීම දැරූ වනවාසී භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙන් පවත්වනු ලබන ආචාර පූජාවක්‌ වශයෙන් මෙම සිරිත පැවතෙන්නේ යෑයි කියනු ලැබේ. දළදා පෙරහැරේ ගමන් මාර්ගයේ දී වැඩසිටින්නා වූ ස්‌ථානයක්‌ වන හෙයින් මෙම ස්‌ථානය 'දළදා ගමන් මාලිsගාව' යනුවෙන් ව්‍යවහාර වෙයි.

අවසන් රන්දෝළි පෙරහැර අවසානයේ දී පෙරහැර කරඬුව ගෙඩිගේ ගමන් මාළිගාවට වැඩම කරවූ පසුව,පෙරහැර කරඬුවට පළඳවා ඇති ආභරණ සියල්ලෙහි වට්‌ටෝරු කියවාබලා ගෙඩිගේ විහාරාධිපති නායක තෙරුන් වහන්සේ විසින් කරඬුව බාරගනු ලැබේ. අනතුරුව ගෙඩිගේ විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පෙරහැර කරඬුව වඩා හිඳුවා පුද සත්කාර පවත්වනු ලැබේ. මහදේවාලයේ (විෂ්ණු දේවාලයේ) බස්‌නායක නිලමේ විසින් ගෙඩිගේ මුරය වෙනත් පිටිසර දේවාලයක බස්‌නායක නිලමේ කෙනෙකු වෙත පවරා ඒ බව දියවඩන නිලමේතුමා වෙත වාර්තා කරයි. කරඬුව ගෙඩිගෙයෙහි වැඩසිටින කාලය තුළ සාමාන්‍ය පරිදි අලුයම් තේවාව, බුද්ධ පූජාව පවා සිදුකරන අතර දහවල් දානය දළදා මාලිගාවේ දී පිළියෙල කොට ගෙඩිගේ වෙත යනු ලැබේ. එතැන් පටන් පසුදින දහවල් පෙරහැර සඳහා කරඬුව ගෙඩිගේ විහාරයෙන් පිටත් කරන තැන තෙක්‌ ම එහි ආරක්‌ෂාව දැරිය යුත්තේ එම බස්‌නායක නිලමේවරයා විසිනි. ගෙඩිගේ විහාරයෙන් කරඬුව යළි වැඩමවීමේදී ද නැවතත් වට්‌ටෝරු පරීක්‌ෂා කිරීම සිදුකරනු ලැබේ. ආදාහන මළුව වූ කලි රාජකීය සුසානයක්‌ වුවත්, දළදා වහන්සේ විෂයෙහි 'කිල්ල' සංකල්පය බලනොපැවැත්වීම නිසා ගෙඩිගෙය දළදා ගමන් මාළිගාව වශයෙන් භාවිත කරනු ලැබේ. 

නිමේෂ තිවංකර සෙනෙවිපාල
ප්‍රාචීන පුස්‌තකාලය, ශ්‍රී දළදා මාළිගාව